ඒ විස්තරේ ඇහුවම මම වරද්ද ගත්තද කියලා මටම හිතුනා.ඩිලාන් කතා කරන්න ගත්තු පලවෙනි විනාඩි කීපයෙදිම මේ තරම් විවෘත උනා නම් ඉතිරි කාලය ඇතුලත තව මොනවා කියයිද කියන සාධාරණ සැකයක් ඇති නොවුනා නෙවෙයි. ප්‍රෝග්‍රෑම් එක ප්‍රොඩියුස් කරන නිශ්ශංකට ඩිලාන් ගැන කියලා එයාව ගෙන්න ගන්න ඇහුවම කිසි විරුද්ධත්වයක් නැතුව මට අවසර දුන්නත් දුලාංජලී නම් මට අනතුරු ඇඟෙව්වා..
"උඹේ ප්‍රෝග්‍රෑම් එක උඩින් තියෙන්නෙ සෙලිබ්රිටිලගෙ ජීවිත වල ඇතුලාන්තය දැන ගන්න මිනිස්සු ආස නිසා... එහෙම එකකට කවුරුවත් දන්නෙ නැති, බොහොම සාමාන්‍ය මනුස්සෙක්ව ගෙන්නගෙන ඕනවට වැඩි රිස්ක් එකක් ගන්න යන්න එපා.. "
"පීක් එකේ ඉද්දි උඹව වර්ණනා කරන එවුන්ම තමයි පොඩි වරදක් උනාම උඹව පාගලම දාන්නෙත්.., ෆීල්ඩ් එකේ අය ගැන උඹට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.."
මට දුලා ගෙ වචන ටික ආයෙ ආයෙත් ඇහෙන්න ගත්තා..
ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කලත් මම කවදාවත් ආරාධිතයන්ගෙ කතාව කලින් අහගන්නෙ නෑ.. එයාල තෝරගන්න ගීත කීපය ඉල්ලගෙන අදාල වෙලාවට මම ලෑස්ති වෙනව විතරයි.. ඒ ආරාධිතයන්ගෙ කතා වල තියෙන විශ්මය, දුක, සතුට මම සජීවීව ශ්‍රාවකයො එක්ක බෙදා ගත්තා.. සමහර දවසට ඇඬුනා, සතුටට හිනා උනා.. ඒ සජීවී අත්දැකීම නිසා සහ සමාජ මාධ්‍ය ජාල වල ප්‍රසිද්ධියත් නිසාම ටික කාලයකින් මම ලංකාවෙ ජනප්‍රියම වැඩසටහනක නිවේදිකාවක් උනා..
"ඩිලාන්..., මීලඟට ඔබේ තේරීම මොකක්ද? "
"සාවිත්‍රි..., මම පුංචි කාලෙ රූපවාහිනී නාලිකාවක අඹ යහලුවෝ කියලා කතාවක් ගියා.. වලව්වෙ හාමුගෙ පුතයි..වලව්වටම බැලමෙහෙවරකම් කරන මනුස්සයෙක්ගෙ පුතයි අතර තිබ්බ යාලුකම ගැන කියැවුන කතාවක්.මං තෝරගන්නෙ ඒ කතාවෙ තේමා ගීතය.."
"ඩිලාන් ඒ ගීතය තෝරා ගත්තෙ කතාවට තියෙන කැමත්ත නිසාද..?"
"මම ඒ ටෙලි නාට්‍යයට හරි ආසයි.. ඒක බලපු මුල්ම වතාවෙ ඒ ගැන හරි අවබෝධයක් නොලැබුණාට පහු කාලෙකදි මට තේරුණා ඒ කතාවෙන් කියන්න හදපු සමාජය ගැන.."
"ඒ වගෙම සාවිත්‍රි , මට මගේ පාසල් කාලෙ ඉඳන් ලඟින් හිටි යාලුවො කීපදෙනෙක් හිටියා.ඇත්තටම මම යමක් කමක් තිබ්බ පවුලක කෙනෙක් නෙවෙයි.සමහර මාස වලට පංති ගාස්තු ගෙවා ගන්න බැරි අවස්ථා තිබ්බා. ගෙදර තිබුණ අන්තිම හාල් ටික උයලා උදේට කාල රෑට කන්නෙ කොහොමද කියලා හිතපු දවස් තිබ්බා...මේ යාලුවො නිසා මට ඒ අමාරු කාලවල් ගෙවා ගන්න පහසු උනා. ඒ අය කවදාවත් මාව පහත් කරලා සැලකුවෙ නෑ.. අඩුම තරමෙ මං දිහා අනුකම්පාවෙන් බැලුවෙ නෑ.."
"මට ඒ යාලුවන්ගෙ ගෙවල් මගේම ගෙදර වගේ වෙලා තිබ්බෙ.."
"අවුරුදු ගානක් මම ඇන්දෙ ඒ අයගෙ ඇඳුම්.. කොටින්ම මගෙ මුල්ම රැකියාවට යන්න ඕනි කරන ඇඳුම් ටික පවා අරන් දුන්නෙ ඒ යාලුවන් ගෙන් කෙනෙක්.. ඒ උදව් අපේ රවුමෙන් පිට යන්න නොදී ඒ අය මගේ පෞද්ගලිකත්වය ආරක්ශා කලා.."
"මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ගිය ද්විතීයික පාසලේම තමයි උසස්පෙල වෙනකන් ඉගෙන ගත්තෙ. එතනදි මට මගේ මිතුරු හවුලට තව සාමාජිකයො කීපදෙනෙක් මුණ ගැහෙනවා. අපි ඔක්කොම හයදෙනෙක්. ගැහැනු යාලුවො දෙන්නයි පිරිමි යාලුවො තුන්දෙනෙකුයි මමයි.. පාසල් කාලෙදි වගෙම ඊට පස්සෙදිත් අපි කොන්දේසි විරහිතව අපි වෙනුවෙන් පෙනී හිටියා.."
ඇත්තටම අඹ යහලුවො කියන්නෙ ඒ වගේ අයට.. කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී තමන්ගෙ ලඟ ඉන්න අය ගැන හිතන පිරිසක් ලබන්න මං හරි වාසනාවන්තයි සාවිත්‍රී... ඒ යාලුවො නොඉන්න මම මේ තත්වෙන් වත් යමක් ග්රහනය කරගන්න ඉගෙන නොගන්න තිබ්බා.. පාසල් කාලෙදිත් ඉන් පස්සෙදිත් යාලුවන්ගෙන් ලැබුන ශක්තිය ලොකු යහපත් බලපෑමක් මගේ ජීවිතයට සිද්ද කලා..
" ඉතිං ඒ යාලුවන්ට, ඔවුන් මට දුන්න අව්‍යාජ මිත්‍රත්වයට උපහාරයක් විදියට තමයි මම මේ ගීතය තෝරා ගත්තෙ.."
No comments:
Post a Comment