Friday, August 25, 2017

රන්දී - පියවර 5








සෙනසුරාදා පංති යෑමට පෙර අම්මාගෙන් මුදල් ඉල්ලා සිටියෙමි.

"අම්මේ කාඩ් එක ගන්න ඕනි..."
"කීයද පුතේ  තුන්සීයයි නේද?"
 ඈ මුදල් දමා තිබූ කුඩා ටින් බෙලක්කයෙන් ගත් නෝට්ටු කිහිපයක් සකස් කරන්නට විය.

පංති ගාස්තු තවත් රුපියල් සියයකින් ඉහල දමා ඇති බව කියන්නට මගේ හිත ඉඩ දුන්නේ නැත.තාත්තා
ගෙනත් දුන් මුදල් පංති ගාස්තු ගෙවීමට ඉතිරි කර ගන්නට ඇය ගන්නේ සුලු පටු උත්සාහයක් නොවේ.
        හිග මුදල් අම්මාගෙන් ඉල්ලනවාට වඩා. අක්කා  මාසයක් පාසා ඇය ගන්නා සුලු වැටුපෙන් මගේ වියදමට දෙන මුදලින්  පියවා ගැනීමට මම තීරණය කලෙමි.

"ආ..! බඩගින්නෙ ඉන්නැතුව මේකෙන් තේ කක් වත් බොන්න."
අම්මා තවත් රුපියල් දහයක් මට පෑවෑය.මම එය නැවතත් ඇයටම දුන්නෙමි

"ඕනි නෑ අම්මෙ.. ලොකූ දුන්න සල්ලි තියෙනව.. මං ඒවයින් තේ බොන්නම්.."
අක්කා දුන් මුදල් වලින් පංති ගාස්තු සදහා අමතරව වියදම් වෙන මුදල් හැරුනු විට තවත් ඉතිරි වන්නේ රුපියල් දෙසියයකි.මට මං ගැනම දුක සිතුනි.මගේ උසස් අධ්‍යාපනය නොවූවේ නම් අපේ පවුලට මේ තරම්ම ආර්ථික අහේනියක් නොවන්නට තිබුණි.ඉදින් මේ සියල්ල පසෙක දමා රැකියාවක් සොයා ගන්නට නොසිතුනාම නොවේ.නමුත් මගේ හීන තිබුණේ වෙනත් මාර්ගයක නිසා එවැනි තීරණයක් ගැනීමට මගේ හිත ශක්තිමත් නැත.
මිතුරන්ටද මගේ ජීවිතයේ ආර්ථික ප්‍රශ්න රහසක්ම විය.ඒවා දැන ගතහොත් ඔවුන් මට අසරණයෙකු ලෙස සලකන්නට ඉඩ ඇති නිසා මම එයට බිය වීමි.
පංතිය බලා යෑමට මා නැගි බසයටම ආසිරි ඔවුන්ගේ නිවස අසලින් ගොඩ විය.වැඩි සෙනගක් නොවූ බසයේ මගේ අසුනේ තව අයෙකුට ඉඩ තිබූ නිසා ආසිරි එතැනට එක් වූයේය.

"ගුඩ් මෝනින් හුඩා"
"මෝනිං මචං!"

"ගණන් ටික හැදුවද බං? "
"ටිකක් හැදුව බං"
 මම පිලිතුරු දුන්නෙමි
"කෙමිස්ට්‍රි ක්ලාස් එකෙයි ෆිසික්ස් එකෙයි දුන්න ටියුට් දෙක ඇල්ලුවෙ වත් නෑ බං.. මෝලේ කචල් වගේ..."
"ඕක දාපං ඇලක.ටිකක් පෙගුනම හරියයි........"  සිනහව යටපත් කරගෙන උත්තර බැන්දෙමි

"රෝෂාන්!"
"ම්හ්..."
ආසිරි මොකක්දෝ කියන්නට වෑයම් කරයි
"මචං මං ලබන සතියෙ අරකිගෙන් අහනව"
"ඔව් ඔව් ඒක හොදයි.. නැත්තම් ඕක හන්ද උඹ වැඩ ක් කරගන්නෙ නෑ.."
"බලන් හිටියොත් පරාදයි බං.. දන්නවනෙ පස්සෙන් එන සෙට් එක"

"හොදයි හොදයි උඹ සෙට් වෙලා වරෙන්කො.මං ඉන්දුට කියන්නම් ඒකිව උඹට මුණ ගස්සන්න කියලා..."

ආසිරිගේ මුහුණේ සිනා රැල්ලක් ඇදී යන සැටි මං හොරැහින් බලා සිටියෙමි.
සදුදා මම වේලාසනින් පාසලට ගියේ ඉන්දු හමු වී ආසිරි වෙනුවෙන් සැලසුමක් ඇති කර ගැනීමටය.නමුත් ඇය පාසලට පැමිණෙන විට සීනුව නාද වීමට ඉතාම ආසන්නව තිබූ නිසා පසුව වේලාවක් එන තුරු බලා ඉන්නට සිදු විය.

උදෑසන අාගමික වතාවත් ඉටු කිරීමෙන් පසු අංශ භාර ආචාර්ය වරයා දොලහ ශ්‍රේණියේ සියලුම සිසුන් විද්‍යා අංශය ඉදිරිපිට වූ එළිමහනට කැදවූයේ කෙටි රැස්වීමකටය.

"ඔයාලට පේනව ඇතිනෙ..දහතුන වසරෙ ලමයි දැන් ඉස්කොලෙ එන්නෙ නෑ.ඒ අයට ස්ටඩි ලීව් දීල තියෙන්නෙ.කොහොමටත් තව මාස කීපයකින් එයාල උසස් පෙළ ට මූණ දෙනව..... ඉතිං දැන් ඔය ලමයි තමයි ඉස්කෝලෙ ඉන්න වැඩිහිටි පිරිස.එහෙමත් නැත්නම් දහතුන වසර..."

කවුදෝ එකෙකු පටන් ගත් අත්පුඩිය මහ හඩක් නගමින් මිනිත්තු කීපයක් පැවතුණේය..

"හා හා ඇති! දැන් ඉතිං නවත්තනවලා.. ඔය මදෑ! අත්පුඩි ගැහුව වගෙම තව අවුරුද්දක් විතරනෙ තියෙන්නෙ..දැන්ම ඉදං හරියට වැඩ ටික කරගෙන යනව මිසක් අනං මනං වලට කාලෙ නාස්ති කරන්නෙහෙම නෑ හොදද..ලබන සතිය වෙනකොට දොලහ වසර පංති ටික පටන් ගන්නවා..ඒ අයටත් ආදර්ශයක් වෙන විදියට වැඩ කරන් ඉන්න.."

"හොදයි දැන් තම තමන්ගෙ පංති කාමර වලට යන්න..."

අපි උසස් පෙල ට ඇතුලත් වූ මුල් දිනය අද වගේ මතකය.ඒ දිනය පසු කර වසරක් ගත වී ඇතත් මා කල දෙයක් නැතුවා සේය.තවත් වසරකින් විභාගයට මොනවා ලියන්න දැයි කල්පනා වෙන්නේ නැත.මනස තනිකරම හිස් කරදාසියක් වාගේය.
 පංති කාමරයේ සිට තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ලේ ඉහළ ම මහලේ සිහිටි රසායන විද්‍යා විද්‍යාගාරයට යන අතරමගදී මට ඉන්දු මුණ ගැසුනි.

"ආ.... කලු මැණිකේ.... ගුඩ් මෝනිං"
"අනේ... යනව මැට්ටෝ.... ඈ මගේ උරහිසට පහරක් ගැසීය"
"මොනවද තියෙන්නේ..."
"අපිට බයෝ..ඔයාලට?"
"කෙමිට්ටි! ඒක නෙවෙයි ඉන්දු.මෙහෙ එනවකො පොඩි බඩුවක් කියන්න තියෙනවා.."
 මම ඉන්දුව පසෙකට කැදවා ගියෙමි.
"ආසිරිය රන්දිගෙන් අහන්න කල්පනාව.අද හෙට බැරිද ටයිම් එකක් දා ගන්න?"
"ම්.... ඔයාලට අද අනිතිම පීරියඩ් එක මොනාද රොෂාන්? අපිට ලයිබ්‍රි පීරියඩ් එක.. ඒකෙදි වෙලාවක් සෙට් කරගන්න පුලුවන්"
"රායිට්..... අපිට ප්‍රොජෙක්ට් එක.මං ආසිරියව ඇදන් එන්නම්..."
"වැඩේ හරිනෙ එහෙනම්...? "
තවත් වරක් ස්ථිර කරගැනීමෙන් පසු විද්‍යාගාරයට ගිය මා ආසිරිට පණිවිඩය දුන්නෙමි.

එතැන් පටන් අප බලා සිටියේ අවසාන කාල පරිඡ්ඡේදය එළඹෙන තුරුය.

Wednesday, August 23, 2017

රන්දී - පියවර 4

"ඇයි මොකද අවුල?"
"එහෙම අවුලක් නෙවෙයි අනේ.... දහතුන වසරෙ කොල්ලො ටික ඒකිගෙ පස්සෙන්ම නෙ.දන්නැද්ද ඉතිං.."
"අන්තිමට රණ්ඩු වෙලා තමයි නතර වෙන්නෙ."
"ආ.... මේ ඒකද..."
"ඔහොම බය  වෙන්න එපා මෝඩියෙ..."


"විහිලු නෙවෙයි රොෂාන්.. ඔහාල ඇත්තට ම ඒ ලමය ගැන දන්නවද ?"
"මං දන්න දෙයක් නෑ ඕයි.. නමයි ඉන්නෙ කොහොද කියලයි ඇරෙන්න වෙන දෙයක් දන්නෙ නෑ.."

"ඒකනෙ..., උන්ගෙ අම්මයි තාත්තයි ලොකු රස්සාවල් කරන අයලු.කලින් ඉස්කෝලෙ ගිහිල්ලත් තියෙන්නෙ කොළඹ එකකලු."
"මටත් එහෙන් මෙහෙන් ඇහිච්ච දේවල් තමයි.තව විස්තර ෂේප් එකේ අහල බලන්නම් කො... "

"මගුලකටද බං කොළඹ ඉදන් මෙහෙ ආවෙ...?.ජල්ලි ටික ඔක්කොම අල්ලල මෙහෙට අවිත් හිඹිච්ච වගේ ඉන්නවද දන්නෙ නෑ"
 හරි හමං විස්තරයක් නොදැන ලව් කරන්නට යෑමත් එක අතකට හරි අපූරුය.අපි කෙල්ලන්ගේ ලස්සනට කතා විලාසයට ආදරය කරමින් සිටින්නෙමු!

කෙසේ උවද රන්දී ගැන හරි හමං විස්තරයක් සොයා ගැනීම ඉන්දුටම පැවරූ මං මිතුරන් සමග එක්වුනි.

දවසේ සිව් වැනි හා පස්වැනි කාල පරිච්ඡේද වෙන් වී තිබුණේ රසායන විද්‍යාව සදහාය.පංතියේ පැවොම විද්‍යාගාරයට කැදවා ප්‍රායෝගික පරීක්ෂණයක් පිළිබදව ගුරුතුමිය විස්තර කරමින් සිටියාය.තමන් වටා පරීක්ෂණ නල, බීකර හා රසායනික ද්‍රාවණ පුරවාගෙන තුෂාර වෙනමම පරීක්ෂණයක් ගැන මුමුණමින් සිටියේය.ඔහු කියනා සේ වලට නැගෙන සිනාව විශාල මේසයක් වටා වාඩි වී සිටි අපි අපහසුවෙන් දරා ගත්තේ ගුරුතුමියගේ ක්ෂණික අවධානයට ලක් වන කලාපයක අප සිටි නිසාවෙනි.

           "බූරු රැල, බලපල්ල! මෙතන තියෙන නයිට්‍රික් අම්ල ද්‍රාවණයට වතුර බෝතලයකට පොඩ්ඩක් අඩුවෙන් දාලා.... ගිනිකූරක් ගැහුවොත් ඇමරිකව ජපානෙට ගැහුව වගේ දැවැන්ත නියුට්‍රෝන පිපිරීමක් ඇති වෙලා සමාජයීය කාරණා උඩු යටිකුරු වීම තුලින් ඇති වන දැවැන්ත දේශපාලන අවපාතය පිරවීම සදහා එක්ස් ධන දෙක අවකලනය කිරීමෙන් ලැබෙන බව........"

තුෂාරයාගේ කෝච්චි කට නතර වූයේ බාලාංශ පංතියක සිසුවෙකු පැමිණ ගුරුතුමියට යමක් පවසනු දැකීමෙනි

"නියමයි මල්ලී..... මරු! ම්ස් ට බොස් එන්න කියල නේද?" " ජයවේවා!"
 පණිවුඩය කුමක් දැයි නොදැන උවත් තුෂාරගේ කට  ක්‍රියාත්මක වේ.උගන්වන විලාසයෙන් රසායන විද්‍යාව අපට එපාම කරවන්නට ඒ ගුරුතුමියට හැකි විය.ඒ නිසා පාසලේ රසායන විද්‍යා විශය මග හරින්නට හැකි ඕනෑම වෙිලාවක එසේ කරන්නට අපි පසුබට වූයේ නැත.ශිෂ්‍යයා පිටවී ගියද ගුරුතුමිය සිටි අයුරින්ම සිටියාය..


"රොෂාන්....., අන්න ප්‍රින්සිපල් පණිවිඩයක් එවල, ගිහින් බලල එන්න..."

තුරුතුමියගේ විධානයෙන් මා තිගැස්සී ගියෙමි.විදුහල්පතිතුමා හමුවට කැදවීමට තරම් වරදක් මා අතින් සිදුව නැත.පසුගිය දින කීපයේදී පාසලේ සිදු වූ විශේෂිත සිදුවීම් සියල්ල මගේ මනසේ ක්ෂණයෙන් ඇදී ගියේය.එහෙත් මා අතේ වරදක් නැත!
"පලයං පලයං.... උඹට ටීචිං පොස්ට් එකක් දෙන්න වෙන්න ඇති එන්න කිවුවෙ..."

පිටුපස මේසයේ සිටි සොමියාගේ හඩට මුලු පංතියම සිනහ විය.හිතට දිරි ගෙන මං විද්‍යාගාරයෙන් පිට වුනෙමි.තෙමහල් ගොඩනැගිල්ලක් වූ විද්‍යාගාර සංකීර්ණයේ ඉහළම මහලේ සිට ආ මා පිලිගන්නට මෙන් පහල දොරටුව ලග ආසිරි සිටියේය.
"ආ..... වරෙන් වරෙන් පණිවිඩේ එවුවෙ මං..."
ඇගට ලේ ටිකක් ඉණුවේ එවිටය.

"ඇයි උඹ දැන් මේකෙ ප්‍රින්සිපල්ද?"
"මචං උඹට වටින පාඩමක්ද?"
"මොන...... මටත් එපා වෙලා හිටියෙ බං.මෙලෝ දෙයක් තේරෙනව කියලයැ.."  "මොකද හදිසිය? උඹලට දැන් ඕෆ් ද?"
"අපිට ලයිබ්‍රි පීරියඩ් එක බං"
"හරි හරි ඉතිං කියපංකො පංතියෙ හිටිය  මාව ගෙන්න ගන්න තරම් මොකක්ද උඹේ  උවමනාව කියල"

"මෙහෙට වරෙන් ., මෙතන ඉදල හෙඩාට මාට්ටු උනොත් අපි දෙන්නම ගස්  "  
ආසිරි කැන්ටිම දෙසට යන්නට විය

"අයියේ.., ප්ලේනටි දෙකයි..."
  කැන්ටිම පිටුපස කොන්ක්‍රීට් බංකු පේලියෙන් ඉද ගන්නා විට ආසිරි ඇණවුම් කලේය

"මං දැක්ක උඹ උදේ ඉන්දු එක්ක කදේ දාගෙන ඉන්නව.., කොහෙද ඉතිං අහගත්තෙ මොනාද කියල දැනගන්න විදියක් තිබුනෙ නෑනෙ.ඒකයි මං තෝව ගෙන්න ගත්තෙ... " 
 ආසිරි කාරණාව පැහැදිලි කලේය.



"හ හා.... කොල්ලට පෙම්බර මාන්දම ඔලුටම ගහල වගේ ආ...?."

"ඒක නෙවෙයි.... මොනවද උඹ හොයා ගත්තු නිවුස්? කියපංකො....... "   ඔහුට ඉවසුමක් නැත.
"වැඩි දෙයක් නෑ බං.ඉන්දුත් ලොකු විස්තරයක් දන්නෙ නෑලු..."
"අරුන්ගෙ අම්මයි තාත්තයි හොද ජොබ් කරනව කියන්නෙ... ඒකි ඕ ලෙවල් වෙනකන් කොළඹ ඉස්කෝලෙකලු ගිහින් තියෙන්නෙ...."
"ඔච්චර තමයි දන්නෙ.මං ඉන්දුට කිවුව තව විස්තර ටිකක් හොයා ගන්න කියල... මොකක් උනත් ටිකක් පරිස්සමෙන් වැඩ කරපං ආසිරි.. පිටින් ලස්සනට හිටියට මොක්කුද කියල අපි දන්නෙ නෑනෙ.."


"සිරාවටම!!! " ආසිරි වික්ෂිප්ත වී ඇත.

Tuesday, August 22, 2017

රන්දී - පියවර 3

අම්මාත් තාත්තාත් අක්කාත් මමත් එකට ඉද කෑම වේලක් ගන්නේ නම් ඒ රෑ කෑම වේලය.මේසයක් වටකර අසුන්ගෙන නොයෙක් දේ පිරිවරාගෙන නොකෑවත් අපි සියලු දෙනා අම්මාගේ රස බත් සතුටින් කෑවෙමු.
                       
                                අම්මාත් තාත්තාත් අපේ ජීවිත වෙනුවෙන් කරනා කැපකිරීම් මටත් අක්කාටත් රහසක් නොවීය.සමහර විට ඒ කැපකිරීම් අපගෙන් වසන් කරන්නට ඔවුන් උනන්දු නොවූයේ ඒවා ආදර්ශයට ගෙන අපි අපේ ජීවිත ගොඩනගා ගනිතැයි විශ්වාසයෙන් විය යුතුය.කවදත් හොදින් ඉගෙන ගෙන හොද රැකියාවක් ලබා ගන්නට උත්සාහ කරන්නට දිරි ගන්වමින් අම්මා අප සමග උන්නාය.
     
අක්කා ඇයට හැකි උපරිම සීමාවට ඉගෙන ගෙන ඊට සරිලන රැකියාවක් ලැබෙන තුරු නොසිට තාවකාලික රැකියාවක් සොයා ගත්තාය.සම වයසේ මිතුරන් හා බලන කල මාගේ  උවමනා එපා කම්ද මා වටාම සීමා උවද මා ඊට හැඩ ගැසුනෙමි.එනිසාම ලැබෙන රුපියල පවා ඉතිරි කිරීමට පෙළඹුනෙමි.

           ඉඩ ලැබුණු වේලාවට අක්කර කාලක් පමණ වූ ඉඩමේ නොයෙක් දේ වගා කරන්නට අම්මාටත් මටත් අක්කාටත් හැකි විය.සමහර දිනවලදී ටියුෂන් සදහා මුදල් ගෙවීම ට මුදල් හිග වූ තැන අපගේ වගාව මහත් උපකාරී විය.රජයෙන් නිදහස් අධ්‍යාපනයත්, නොමිලේ නිල ඇදුම් ලැබීමත්, වාර ප්‍රෙව්ශ පත්‍ර ලබා දීමත් නිසා පාසල් අධ්‍යාපනය එතරම් දුෂ්කර වූයේ නැත.


"ළමයී.... , අද කාලෙ තරමි ජීවත් වෙන්න අමාරු කාලයක්...,."
සංයුක්ත ගණිත ගුරුවරයා ටියුෂන් පංතිය අවසාන වීමට මොහොතකට කලින් කියන්නට පටන් ගත්තේය.

"ඔන්න බලපන් මිනිහ දගලන්නෙ මොකක් හරි රොබරියක් පෙරලන්න..... " ගැබා කණට කර මුමුණයි
මම  සාවධානව අසා සිටියෙමි

"හැමදේම ගණන් ගියත් මේ මාසෙ අන්තිම වෙනකන්ම ක්ලාස් පීස් වැඩි නොකර හිටියට තව දුරටත් එහෙම කරන්න අමාරුයි... ඒ නිසා ලබන මාසෙ ඉදන් ක්ලාස් පීස් රුපියල් සීයකින් වැඩි කරන්න සිද්ද වෙනවා..."

ගුරුවරයා බැරෑරුම් බවක් ආරූඩ කරගෙන කියවාගෙන ගියේය.

ඒ ගාස්තු ඉහළ දැමූ දෙවැනි ටියුෂන් පංතියයි.රසායන විද්‍යා ගුරුවරයාද මීට පෙර පංති ගාස්තු රුපියල් සියයකින් ඉහළ දැමුවේය.


"හොදයි ළමයි...., ආයුබොවන්! ලබන සතියෙත් වේලාසනින් එන්න..."
ගුරුතුමා වාක්‍යය අවසන් කරන විට අපි එක පොදියට ශාලාවෙන් පිටතට පැමිණ සිටියෙමු.

"අඩෝ මූ මාර පොරක් නෙ බං,එක පාරම සීයකින් දුන්න ගේම! "
 තොසාගේ ඉවසීම ඉක්මවා ගොස් ඇත.

අපි මග දිගට පංති ගාස්තු ඉහල දැමූ ගුරුවරුන්ට බැන වැදුනෙමු.ඒ බැනුම අවසන් වූයේ බස් නැවතුමට සේන්දු වීමෙන් අනතුරුවය.

එකම බස් රථයෙන් නිවෙස් වලට යා හැකි මමත්,තොසා, පිංතු, ආසිරි හා සොමියා බසයකට නැග පිටුපස අසුන වෙත ඇදුනෙමු.සියල්ලන්ටම එකට යා හැක්කේ එතැන නිසා අප නිසැකවම යන්නේ පිටු පස ආසනය වෙතය.තරුණ යුවලක් හැර ආසනයේ ඉතිරි ඉඩ නිදහස්ව තිබූ නිසා අපි එතැනින් හිද ගත්තෙමු.ඉඩ මදි වූ අය අපගේ උකුල් මතට නැගීය.

"හුඩ්ර් ර් .....ර් උඹට පේනවද  අර ඈත ඉන්න කෑල්ල....? "
ජනේලය අසල සිටි පිංතුවා කෑ ගසයි.

"කොයිකද බං?"

"ඔය ඉන්නෙ", "අර බයෝ කරන්න අලුතෙන් ආවෙ බං"

"හා හා....!" "පිංතූ උඹ කැරකෙන්නෙ පොල් පැලේ කන්න වගේ.. "        
 සොමියාගේ හඩට නවතා තිබූ බස් රථයේ පිටි පිරිසෙන් අඩක් වත් අප දෙස බලන්නට ඇත.
අපගේ හැසිරීම නිසාදෝ ගයාන්ට එපිටින් අපගේම ආසනයේ සිටි පෙම්වතුන් යුවල බසයෙන් බැස ගියේය.සොමියාට එය  අපූරු ජයග්‍රහනයකි.

"අඩෝ.... බලපං ඉදගන්න සීටි ගන්න හැටී!"


"අනේ මේ......."  "කෙල්ල නොහිටිය නම් තෝව දෙකඩ කඩයි අරූ..."


ආසිරි සොමියාට දිය යුතු පිළිතුර ලබා දුන්නේය.


මිතුරන් එකා දෙන්නා නිවෙස් වෙත බැස ගිය පසු බසයේ ඉතිරි වූයේ ආසිරිත් මමත් පමණි.අපට තවත් කිලෝ මීටර කිහිපයක් එක්ව ගොස් ආසිරිට සමුගන්නට සිදුවේ.

"මචං හුඩා, මට අරකිට අයිඩියා  බං"
ආසිරි රහසක් හෙලි කරන්නට විය

"කවුද .. අර.., පිංතුව පෙන්නපු එකද?  "  නිකමට මෙන් මං ඇසුවෙමි

"ම්හ්!, ඒකිගෙ නම රන්දී..," " මං තව පොඩි පොඩි විස්තර ටිකක් හොයා ගත්තා...."

"අඩෝ........, මාරයි... නෙ! "

"ඒ....යි, එහෙම කියන්න එපා බං., දියංකො පොඩි අයිඩියා පාරක්"   අසුනේ තවත් හොදින් හිද ගනිමින් ආසිරි මා වෙත හැරුනේය.

"කවුද බං දන්නෙ ඕව එක එකා බුක් කරලද කියල..කොහොම උනත් ඕනි සපොර්ට් එකක් කියපං., හුඩා බොක්කෙන්"

"තෑන්ක්ස් මචං.."


දුටු සැනින් ආසිරිගේ සිත ඇය වෙත ඇදී යාමේ පුදුමයක් නැත.එක වරක් බැලූ කෙනෙකු තවත් වරක් ඇය දෙස බලන තරමේ ලස්සනක් ඇයට විය.මුදු ගැසුනු කෙහෙ රැල් නිසා ඇයගේ ලස්සන තවත් තියුණු විය.

පසු දින පාසලේදී ඉන්දු මුණ ගැසුණු විට මම රන්දී ගැන විමසුවෙමි.

"ම්..... මොකද මේ කවදාවත් නැතුව රොෂාන් කෙල්ලෙක් ගැන හොයන්නේ?"
ඉන්දු සිතන්නට ඇත්තේ මං රන්දී ගැන අදහසක් ඇති කරගෙන බව විය යුතුය.

"ආ.....පෝ..! මට නෙවෙයි, ආසිරියට. මිනිහ ෆුල් ලව් වගේ"
"එහෙනම් ඉතිං එයාට ටිකක් මහන්සි වෙන්න වෙයි."
ඉන්දුගේ පිලිතුරෙන් මා තිගැස්සී ගියෙමි.

Monday, August 21, 2017

රන්දී - පියවර 2

උසස් පෙල වෙනුවෙන් පාසලට ඇතුලත් වූ මුල් මාස කීපය ගෙවී ගියේ අධයාපන කටයුතු වලට වඩා වෙනත් කටයුතු වලට අපගේ වැඩි අවධානයක් ලබා ගනිමින්ය.උසස් පෙළ විභාගයේ බැරෑරුම් කම බිදක් වත් මගේ මනසේ නම් නොරැදුනු බව විශ්වාසය.මේ කාලයේ කවුරුන් හෝ යහලුවෙක් ඉලක්ක කර ගනිමින් මඩ පෝස්ටර් ගැසීමට අප පුරුදු වී සිටියෙමු.චිත්‍ර ඇදීමේ යම් නිපුනක්වයක් මට තිබුණු නිසාවෙන් බොහෝ විට මඩ පෝස්ටර් නිර්මාණය කිරීම ද මා වෙතම පැවරිණි.
        කැන්ටිම, පුස්තකාලය පිටු පස කොරිඩෝව ආදී ගුරුවරුන් ගේ වැඩි  අවධානය නොලැබෙන තැන් අපගේ මඩ පෝස්ටර් ව්‍යාපාරයේ ප්‍රචාරක ස්ථාන විය.කලින් දිනයේ සූදාම්කර ගන්නා පෝස්ටර් රැගෙන අප හිමිදිරියේ්ම පාසලට යන්නේ කිසිවෙකුටත් සැකයක් නොසිතෙන ලෙසය.මේ වෙනුවෙන් මා සමග මාගේ අතිජාත මිත්‍රයන් තිදෙනාගෙන් පිංතුවාත් තොසාත් උපරිම සහාය දෙන්නට නොපැකිලව සිටින හෙයින් වැඩ කටයුතු නියමිත ලෙස කර ගැනීමට පහසුවක්ම විය.

දිනක් උදෑසනම මමත් තුෂාරත් ගයානුත් පාසලට ගියේ මඩ පෝස්ටර් ව්‍යාපාරයේ තවත් අදියරක් වෙනුවෙන්ය.එදින මාතෘකාව ගැබාය!
           දොලහ මැත්ස්  ඒ, දහතුන මැත්ස් ඒ, දොලහ බයෝ ඩී, දහතුන මැත්ස් බී, කෘෂි විද්‍යා, දොලහ මැත්ස් බී ආදී එක පෙලට පිහිටා තිබූ පංති කාමර සියල්ල පසු කරමින් ගොස් අප නැවතුනේ අපගේ තිත්පල වන දොලහ බයෝ සී පංතියේ ය.කවදත් වේලාසනින් පැමිණෙන ඉන්දු එදිනද පැමිණ පත්තරයක් සමග ගැටෙමින් සිටියාය.වේලාසනින් අප තිදෙනා පාසලට පැමිණෙන්නේ කුමන කාරණාවකටදැයි දන්නා ඇය කියවමින් සිටි පුවත් පත පසෙකට දමා අප වෙත පැමිණියාය.ඒ වන විටත් අපගේ බෑග් තුලින් පෝස්ටර් කිහිපයත් ගම් බෝතල් ආදියත් පිටතට ගෙන සිටියෙමු.


"අා..... අද කවුද බයිට් එක? "  
 ඉන්දු මෙවැනි දේ වලට බොහෝ කැමැත්තෙන් දායක වන්නීය.

"ගැබාට! "
 කතාවට වැඩි වේලාවක් ගත වීම කාර්යය අසාර්ථක වීමට හේතුවක් නිසා කඩිනම් කලෙමි.

"ඒයි! හරිද බං?.... යමං යමං   "  
 පිංතුවා වට පිට බලමින් කෑ ගසයි

"හරි හරී...., මේ එනව., යං "

 තොසා පෝස්ටර් කිහිපයක් ගෙන පිංතුවා සමග එක්විය.ඉතිරි අඩුම කුඩුම ටික කලිසම් සාක්කු දෙකට පුරවා ගත් මමද ඔවුන් සමග ඉදිරියට ඇදුනෙමි.

ගමනේ මගක් ගිය විට ගම් බොතලය අමතක කර ආ බව දැන ගත් තුෂාර මටත් පිංතුවාටත් කුණුහරප වර්ෂාවකින් අමතන්නට විය.මෙවැනි වැඩ වලදී සුලු අතපසු වීමක් නිසා ලැබෙන ප්‍රතිඵල දිරවීමට බොහෝ කාලයක් ගතවේ! 
  ඉන්දූ දෙවියෙක් මෙන් ගම් බොතලයත් රැගෙන අපට එකතු වූ නිසා ගැටුම අවසන් කර යොදා ගත් කාර්යය අවසන් කර ගන්නට අපට හැකි විය.ඒ දවසේ අපගේ මාතෘකාව ගැබාය!




පාසල, ටියුෂන් පංති වලට අපේ ජීවිත ගෙවී යන්නේ නොදැනුවත්වමය.විභාගය දිනෙන් දින ලං වන බව දැනෙන සෑම විටම දැනෙන්නේ අමුතුම භීතියකි.වෙලාවකට මේ සියල්ල අතහැර දැමීමට සිත කියයි.එහෙත් මාගේ ප්‍රශන වලින් 99% කටම පිලිතුර වන්නේ අධ්‍යාපනය නිසා එසේ අත්හැර දැමීමටද සිත එකග වන්නේ නැත.සිහින වලට පාර කියන්නේ අධ්‍යාපනය බව දැනුනු විට තව තවත් හොදින් පාඩම් කටයුතු කිරීමට සිතට යම් උත්තේජනයක් ලැබේ.

Sunday, August 20, 2017

රන්දී - පියවර 1

"ඒයි සිපා... වරෙන්! සිංදුවක් කියමූ.."
අපි කිහිපු දෙනෙක් ජිව විද්‍යා පංතියේ සිට ඈත යන හර්ෂ දෙස බලා කෑ ගැසුවෙමු.ඉබාගාතේ ඇවිදිමින් සිටි ඔහු දෙපයට නව පණක් ගෙන අප සමග එක් විය.
  සිපා ගේ බෙර පද වලට කිහිප දෙනෙක් ගි ගැයූහ.ඇතැමෙක් යකඩ පුටුවේ ඇන්ද මත  හිදිම්න් අත්පුඩි තැලූහ.

ඒ අප  දොලහ ශ්‍රේණියට ඇතුලත් වූ මුල් කාලයයි.දිනකට නියමිත කාල පරිඡ්ඡේද අටම හැල්මේ අකුරු කරන අපට මෙසේ නිදහස් වේලාවක් ලැබුනේ එහෙමත් කලාතුරකිනි.එසේ ලැබුන විට ගණිත, ජීව විද්‍යා විශය ධාරා වලට වෙන් වී සිටි මිතුරු කැල බොහෝ විට රොක් වන්නේ  විද්‍යා අංශය පිහිටා තිබූ තෙමහල් ගොඩනැගිල්ලේ කෙලවරක පිහිටි ජීව විද්‍යා පංති කාමරයටය.එය  එක් කොණකට වන්නට පිහිටා තිබූ නිසාවෙන් එතුල කෙරෙන කෑ කෝ ගැසීම් වලින් අනෙක් පංති කාමර වල කෙරෙන ඉගැන්වීම් කටයුතු වලට බාධා වන්නේ ඉතා අල්පවය.

           "හුඩ්ඩා ..... උඹෙන් එකක්! "
ඈත කෙලවරක සිටි පිංතුවා මා දෙස බලා කෑ ගසයි.මිතුරන්  කේන්ති ගස්සන්නට සිතූ මං ගැයෙමින් තිබූ වේග රිද්මයට නොගැලපෙන ගීතයකට මුල පිරුවෙමි.

"ඒ....යි! මොන හු! ද බං..... ",
 සහන්ගේ අමනාපයත් සමග ගී ගැයීම අඩපණ විය.මිතුරන් අතර සිටි අයෙකුගේ හූ ශබ්දයත් සමග අපගේ සාජ්ජය අවසන් විය.

"යමං...මැච් එකක් ගහමු.. " පන්දුවත් පිත්තත් දෑතට ගෙන සිටි කල්පගේ ආරාධනයට කිහිප දෙනෙක් ඔහු සමග එක් විය.

පිට්ටනියට ගොස් දගලන්නට කම්මැලි සිතුන නිසාවෙන් මා පංති කාමරයෙන් පිටත පිහිටි තුරු සෙවනට ඇදුනෙමි.එතැන ට ගොස් වැඩි වේලාවක් ගත වන්නට මත්තෙන් තුෂාර පැමිණ නැවතත් මා ජීව විද්‍යා පංති කාමරය දෙසට ඇදගෙන යන්නට විය.

"තොසා...! කොහෙද ඕකව ඇදන් යන්නේ..? " ඒ ගයාන්ය.කවුරුන් හෝ සමග එක්ව වල බැසීම ගයාන්ගේ පුරුද්දකි.

"අඩෝ පිංතුවා! වරෙන් වරෙන්..., බයෝ කරන්න පිටින් ආව කෑලි ටිකක් ක්ලාස් එකේ ඉන්නවා...."

කට කොනකින් සිනා වෙමින් තුෂාර පැවසූ තාලයෙන් වෙන්නට යන දේ ගැන මටත් ගයාන්ටත් ඉගියක් ලැබිණි.


"හම්මට! යමං..., උන් ව අපි අදුන ගන්න එපැයි  "

ගයාන් ගමන ඉක්මණ් කලේය.ද්විතීයික පාසලක් වූ අපේ පාසලේ 6 ශ්‍රේණියේ සිටම ඉගෙනුම ලැබූ අප සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව උසස් පෙළ පංති වලට ඇතුලත් වූයේ උසස් පෙළ සදහා වෙනත් පාසල් වෙතින් අප පාසලට ඇතුලත් වූ අයට වඩා ජ්‍යේශ්ඨත්වයක් ආරෝපණය කරගනිමින්ය.

   අපි තිදෙනා පංති කාමරයට ඇතුල් වනවා දුටු ඉන්දු මට කතා කලාය..එකම පාසලේ වසර ගණනාවක්ම ඉගෙනුම ලැබූ ඉන්දු මා හා කතා කල ප්‍රථම වතාව එය නිසා මං පුදුම උනෙමි.ඉන්දුටත් මටත් ගනු දෙනුවක් නැත.

"රොෂාන්..... ඔයා කලින් කියපු සිංදුවෙ පද ටික ඔක්කොම දන්නවද? "

"ම්හ් ..,ඔව්! මොකටද? "

"අනේ... මොනවත් නෙවෙයි, පුලුවන් නම් ඒකෙ පද ටික ලියල දෙන්නකො...."

මටත් පෙරලෙන්නේ අමුතුම බාල්දිය. 

 "ම්හ්... ලියාගනින් එහෙනම්...."

ලිවීම ඉන්දුටම පැවරූ මම ගීතය රචනාවකට පෙරලා කියාගෙන ගියෙමි.

"තෑන්ක්ස් රොෂාන් .."

"මොකටද බං ඔය බූට් සිංදු? බූට් පාරක් වත් කෑවද ඔිව එකතු කරන්නේ...? "

"මට නෙවේ අනේ යාලුවෙක්ට ." යි පවසමින් ඈ යහලුවන් සමග එක් විය.


තොසාත් පිංතුවාත් අලුතෙන් පැමිණි ගැහැනු ලමුන් සියල්ලම පිලිවෙලට තමන් ලගට කැදවාගෙන සම්මුඛ පරික්ෂණයට ලක් කලෝය.නවක සිසුන් සිටි පංති ගැන ගුරුවරුන් අවධානයන් සිටි නිසා මං මිතුරන්ගේ සහායට ඔත්තු බලමින් සිටියෙමි.උන් දෙන්නාගේ වදය නිසා ඇතමෙක් මුහුණ රතු කරගත්හ.තව අයෙක් හැඩුවාය.මට නම් සිනහව නවතා ගැනීමට අපහසු විය.

 තුෂාරගේත් ගයාන්ගේත් බල කිරීම නිසා සමහරුන්ට ගී ගැයීමට සිදු විය.තවත් සමහරුන්ට කතා පවත්වන්නට සිදු විය.නමුත් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වූ බව දුටු නිසා දෙමිතුරන්ද කැටුව පංති කාමරයෙන් පිට වූනෙමි.

උසස් පෙළ පංති වලට ඇතුලත් වූ මුල් මාස කීපයම ගෙවී ගියේ මේ අයුරිනි.වේලාවක් ලැබෙන ඕනෑම දිනයක අපි නවක සිසුන් ට නොයෙක් දේ කරන්නට කියමින් විනෝද විය.ආරම්භයේදී අපහසුවෙන් ඒවාට සම්බන්ධ වූ ඔවුන් දින කීපයක් ගත වුනු විට අපහසුවකින් තොරව අපට සම්බන්ධ වූයේ අප අනවශ්‍ය විහිලු නොකල නිසා විය යුතුය.

මේ කාලයේදී මට තවත් යහලුවෙක් මුණ ගැසිනි.යහලුවෙකු කීවද ඇය යෙහෙලියකි.
ඉන්දූ.... සාමාන්‍ය පෙළ කාලයේදී වෙනත් පංතියක සිටි නිසා අපේ ගනු දෙනුවක් සිදු නොවුනද උසස් පෙළ පංති වලදී නිතර මුණ ගැසෙන්නට කාරණා සිදු වූ නිසා අප මිතුරන් බවට පති විය.ඇයගේ බොහෝ ගතිගුණ ගැහැනු ලමයෙකුට වඩා ලං වූයේ පිරිමි ලමයෙකුටය.ඒ හේතුව නිසාම බාලාංශ පංති වලදී අප ඇයව ගණනකටවත් ගත්තේ නැත.නමුත් ටිකෙන් ටික දැන හදුනා ගන්නට ලැබුණු පසු ඇය තුල තිබූ අවංක මිත්‍රත්වය අත්විදින්නට මට හැකි විය.කාන්තා පාර්ශවය අජීර්ණ වී සිටි මගේ හොදම යහලුවන් තුන් දෙනා අතරට  එක්ව එය  හොදම යහලුවන් පස් දෙනෙකුගේ කල්ලියක් බවට පත් කිරීමට ඉන්දුට වැඩි කාලයක් ගත වූයේ නැත.ඇයගේ ගති ගුණ නිසා වැඩිපුර යෙහෙලියන් ඇයට නොවූයෙන් ඇයගේ හෑම දේටම ලගින් සිටියේ අප කිහිප දෙනා ය.

Thursday, August 3, 2017

අපේ වෙඩිම

මට වෙඩිමක් ගන්නට ලොකු උවමනාවක් තිබ්බේය.බිරිදගේ  නිවැසියන්ගේ පුහු ආටෝපයට රිදෙන්නට ගසන්නට හැකි උපරිම අවස්ථාව එය නිසා හොද වෙඩිමක හීනයක් මට තිබුණේය.නැකැත් සූදානම් කරගත් පසු හෝටල් බලන්නට ගිය වෙලේ හීනය සුලු පටු කාරණාවක් නොවන බව දැනෙන්නට ගත්තේ ගණන් මිණුම් ඇසූ පසුය.ඉතිං මොනවා කරන්නද මං එකක් තෝරා ගත්තේය.

බිරිදගේ දෙමව්පියන් ආටෝපයත් විරෝධයත් ඉදිරියට දමා වෙඩිමේ කටයුතු වලින් ඉවත් විය.අම්මා දහ දුක් විද එකතු කර ගත් අර්ථසාදක මුදල් මං බිස්නස් කටයුතු වලට දිය කර දැම්මේය.දැන් වෙඩිමක් ලැහැස්තිය.මුදල් නැත.බිරිදගේ නමින් ණය මුදලක් ඉල්ලුම් කරන්නේ ඒ අතර තුරේදීය.වෙඩිමට මාසයකට කලින් ලැබිය යුතු ඒ මුදල් ලැබුණේ වෙඩිම දවසේදීය.ඉතිං මුල් වියදම් වලට ආයෙත් ණය වෙන්නට සිදු විය.සිය වාරයක් කල්පනා කර පුලුවන් උපරිමයෙන්  වියදම් අවම කර කරන්නට පුලුවන් උපරිම හොදින් වෙඩිම තිබ්බෙමි.ණය මුදලින් ලැබෙන්නේ අවැසි මුදලින් අඩකි.ඉතිරිය වෙඩිමෙන් ලැබෙන ලියුම් කවර වලට බාර දෙන අවදානම අප දෙන්නා ගත්තෙමු.වියදම් පියවීම් වෙඩිමෙන් පසු යොදා ගත්තේ ඒ අදහස ඇතුවය.

    වෙඩිමෙන් බාගක් යත්දී ලියුම් කවර එකින් එක ලැබෙන්නට ගත්තේය.නොමිලයේ මෙන් සංගීතය සැපයූ බෑන්ඩ් එකේ තාලයට හදවත ගැහෙන්නට ගත් එක ලියුම් කවර එකකින් දෙකකින් අඩු කරන්නට හැකි වුනේ නැත.කොහොමින් හරි එකතු වුනු ලියුම් කවර ටික බිල් ගෙවීම් සදහා යොදා ගන්නට මල්ලීට බාර දී නැකතට පිටවීමට අපට සිදු විය.හිස් ලියුම් කවර ටික අතට ලැබුණුු පසු ඒවායේ ලියා තිබූ නම් දුටු විට මා ඒ තරම් ප්ලෑන් කර ගැසූ ගේම ගැන මහා කලකිරීමක් ඇති විය.ඇත්තටම මා කිසි විටෙක බලාපොරොත්තු නොවූ නම් කිහිපයක් එහි විය.

නැන්දා... ඒ අම්මාට පසු මාව ඇති දැඩි කල තැනැත්තියයි.එකම ආදායම් මාර්ගය වූ මාමාගේ පේන්ට් වැඩ නැවතුනේ මීට දශකයකට විතර පෙරය.වයස නිසා මාමාට ඉද හිට හෝ ආදායමක් ලැබූ රස්සාවට ආයුබෝවන් කියන්නට සිදු විය.ඉතිං නැන්දලා ජීවත් උනේ  ඇය අරන් හදා ගත් දරුවා උපයන සුලු මුදලත් කවුරුන් හෝ දුන් දෙයකුත් එකතු කරගෙනය.මාමා මිය ගියායින් පසු ඇගේ ජීවිතය තවත් දුෂ්කර වූ මිසක් සරල වූයේ නැත.වෙඩිමට යන්නට මේකප් උලන්නට සාරි හදන්නට යන වියදම් ඇයට මහ මෙරක් මිස වෙනකක් නොවේ.


චානක අයියා.... නැන්දා අරන් හදා ගත් දරුවා ඔහුය.මාලු රස්සාවෙන් නැන්දාත් ජීවත් කරගෙන  පාසල් යන පොඩි දුවගේ වියදම් දරාගෙන ඌ කරන්නේද සුලු පටු යුද්ධයක් නොවේ.වෙඩිමට එන්නට කමිසයක් ගන්නටත් ඊට සරලන සපත්තු ජෝඩුවක් (ආයේ බොහෝ විට උවමනා නොවූ වත්) ගන්නටත් ලෝබ නොවූවේ චූටි අප්පෝට ලැජ්ජා වනවාට අකමැති කමට මිස වෙන කිසි කාරණාවකට නොවන බව මං හොදාකාරවම දනී.

ඉතිං ඒ නම් ලියූ ලියුම් කවර දැක්කාම මං ගැසූ ගේමෙන් මංම පැරදුනා.වෙඩින් වලට හෙන ගැහියන්!