Sunday, September 10, 2023

ඉන්දියානුවන් දෙදෙනෙකුට මැදිව

එකෙක් කේරලයේ පදිංචි හිංදු භක්තිකයෙකි. හොඳ හිතක් ඇති ඔහු පෞද්ගලික ප්‍රශ්න මොන තරම් තිබුණද තම මව් බිම වන ඉන්දියාව ගැන අසීමිත ආදරයකින්, ආඩම්බරයකින් ජීවත් වන අයෙකි. විවාහකයෙකි. ඉන්දියාවට විශේශ වන ඕනෑම දවසක තමන්ගේ මුල්ම රාජකාරිය තානාපති කාර්‍යාලයට යෑම යැයි සිතන මිනිසෙකි. දේශානුරාගය කෙතරම් ද යත් අපි ඔහුට කියන්නේ චන්ද්‍රයාන් 3 කියාය. අනෙකා කේරලයේම පදිංචි ක්‍රිස්තියානි භක්තිකයෙකි. සතියේ දිනක් ආගමික කටයුතු හා ස්වේච්චා සේවයට යොදවන අයෙකි.අනුන්ට හෙණ ගැසුවද මුලින් තමන් ගොඩ යා යුතුයැයි සිතන මිනිසෙකි. එකම හීනය නවසීලන්තය හෝ යුරෝපා රටකට සංක්‍රමණය වීමය.ඌ අපට ටොමී ය. මිටි, සැලකියයුතු ප්‍රමාණයේ බඩක් ඇති ඔහුට ටොමී කීම ආශ්වාදයකි. දැනට ඉන්දියාවේ පවතින පාලනයට අකමැති විපක්ශයට සහයෝගය දක්වන අයෙකි. ලංකාවේ කෙල්ලෙක් දුටු සැනින් නංගී කීමට තරම් අපි උන්ට සිංහල උගන්වා ඇත. ඒ කෙල්ලන්ගේ ඇඟ පසඟ විස්තර කිරීමට උන් දන්නා සිංහල වචන, කේරලයේ භාශාව, දෙමළ හා ඉංග්‍රීසි වචනත් සමහර විට උන්ට මදි වන්නේය. අවසානයේ දෑතෙන්ම හැඩ තල මවා පෙන්වමින් පැහැදිලි කරන්නට පෙලඹෙන්නෝය. ටොමියා ටිකක් සයිලන්ට් ය. චන්ද්‍රයාන් හැම විටම විවෘත විනෝද කාමියෙකි. හැඩ ඇති බිරිඳක් ගෙදර උන්නද උගේ කැමැත්ත චබී කෙල්ලන්ටය. චන්ද්‍රයාන්ට අනුව මෝදි ඉතා දක්ශ පාලකයෙකි.කිසිම ජාතියකට විශේශිත වූ නීති මේ වන විට ඉන්දියාවේ නැත.මේ නිසාම සමහර ජන කොටස් වලට මෝදි පාලනය ඉවසුම් දෙන්නේ නැත. එසේම රාහුල් ගාන්ධි යනු ප්‍රකට ගාන්ධි පවුලේ සාමාජිකයෙක් නොවන වග කීවේද මේ චන්ද්‍රයාන්මය. චන්ද්‍රයාන් කියන ඉන්දියාවේ සාධනීය කරුණු අතිමහත් ය. උන් ගොවියන්ට 4% අඩු පොලියට ණය දෙති. අස්වැන්න නෙලන යන්ත්‍ර මිලට ගැනීම සඳහා වැය වන මුදලින් කොටසක් රජයෙන් ගෙවන්නේය. ජංගම දුරකතන , ලැප්ටොප් ගන්නට තම පුරවැසියන්ට බැංකු හරහා ගෙවීමේ ක්‍රම ඇත. කේරල ප්‍රාන්තයේ දූශිත පාලනය චන්ද්‍රයාන් කිසි විටෙකත් අනුමත නොකලද මධ්‍ය්ම රජය ගැන ඌට ඇත්තේ දැඩි විශ්වාසයකි. චීන ආයෝජන නිසා ලංකවට අත් වී ඇති තත්වය ගැන චන්ද්‍රයාන් දුක් වන්නේය. අසීරු අවස්ථාවේදී අපට උපකාර කල ඉන්දියාව ගැන ඌ ආඩම්බර වන්නේය. ටාටා, අම්බානි ඇතුලු අප අසාවත් නැති ව්‍යාපාරිකයන් ගැන ඌ ආඩ්ම්බරය.දිනෙන් දින දියුණු වන ඉන්දියාව දෙස බලා සිටීම තරම් වෙනත් සැනසිමක් නැත්ටා සේය. මට මේ සියල්ල අසා සිටීමෙන් අප ගැන මහා සාංකාවක් ඇති වන්නේය.අපේ රටෙන් දශමයක් දෙනා වත් පවතින පාලනයට කැමති නැත. දශක හතකටත් වඩා දේශපාලනයෙන් බැට කෑම හැර ලාංකිකයන්ට කිසි දෙයක් උරුම නැත. අපට ආඩම්බර විය හැකි දේශීය නිශ්පාදන ඉතා අල්පය. ව්‍යාපාරිකයන්ද එසේමය. දැන උගත් සියල්ලන්ම ප්‍රාර්ථනා කරන්නේ මේ කොදෙව්වෙන් පලා යෑමට මගකි. අපි ඇත්තටම නිධානයක් උඩට වී සිඟමන් යදින්නෝම ය. සමහර වේලාවට මාද රැගෙන ටොමියා තේ බොන්නට යයි. සියපාරකට වඩා අසා ඇති මගේත් බිරිඳගේත් අධ්‍යාපන තත්වය නැවත වරක් අසා දැනගෙන යුරෝපයේ රටකට යන්නට ඇති හැකියාව ගැන උපදෙස් දෙයි. රනිලප්පච්චී 2048 දී ලංකාව දියුණු කරන තෙක් මේ නරා වලෙන් ගොඩ යා හැකි මගක් සොයා ගනු නොහැකි වේ යැයි සිතමින් මම නිහඬ වෙමි. මේ යන ක්‍රමයෙන් 2048 දී නොව 3048 දීත් උඹලා ඔතැනමයි මට තේරෙන්නට පවසා ටොමියාත් චන්ද්‍රයානුත් උන්ගේ භාශාවෙන් මොන මොනවදෝ කතා කරති.

5 comments:

  1. හෙහ්..හෙ. මුතු ඇටේ අමුතු ආඩම්භරය 😉

    ReplyDelete
    Replies
    1. අපිට ආඩම්බර වෙන්න කාරණාවක් නෑ මචං.අපිට පිටිපස්සෙන් හිටපු රටවල් දියුනු වෙලා තියෙන තරම දැක්කම පට්ට දුකයි අපි ගැන

      Delete
  2. අජිත් ඩී කීර්තිSeptember 11, 2023 at 3:48 PM

    රටට ගරහන කාලකන්නි උබලා

    ReplyDelete
    Replies
    1. මේ රට ගැන උඹලටත් කැක්කුමක් ආව දවසට යන්තම් හරි වෙනසක් වෙයි.එහෙම නොවුනොත් හැමදාම එකම තැන තමයි

      Delete