Thursday, February 4, 2021

අඹගොල්ලෙ ගාමිණී

 පුරුද්දට උදේ පාන්දර අක්කර පහක් වෙච්ච හේන වටේ දුවන වට රවුම ඉවර වෙද්දි ගාමිණී ගෙ හෑන්ඩ් ෆෝන් එකට මිස්ඩ් කෝල් තුනක් තිබුණා.. ගෙදරට උවමනාවක් උනත් කාන්ති මෙච්චර පාන්දරින් කෝල් කරන්නෙ නෑ කියලා දන්න නිසාම ගාමිණී ෆෝන් එක එබුවෙ ප්‍රශ්නාර්ථයක් හිතේ තියාගෙනම...

තුන්පාරම කෝල් කරලා තිබුණෙ චුට්ටෙ අයියා කියලා දැනගත්තම ආයෙමත් වැඩක් කරන්න කාලෙ හරි කියලා ගාමිණීට ඉවෙන් වගේ කල්පනා උනා.. හදිසි වැඩක් නෙවෙයි නම් චුට්ටෙ අයියා එක පාරට වඩා කෝල් නොකරන බව අත්දැකීමෙන්ම දන්න නිසා උදා වෙලා තියෙන්නෙ හදිසි තත්වයක් බව අමුතුවෙන් කල්පනා කරලා දැනගන්න දෙයක් තිබුණෙ නෑ.
බටන් කීපයක් ඔබලා ෆෝන් එක කනේ තියාගන්න පමාවට අනිත් පැත්තෙන් චුට්ටෙ අයියාගෙ කටහඩ ගාමිණීගෙ කන ලගින් ඇහුනා.

ගාමිණියො ආයෙමත් කුඹරක් මඩ කරන්න තියෙනවා.... ලබන සදුදා පැලට වරෙන්..
චුට්ටෙ අයියෙ සදුද වෙන්න සතියක්වත් නෑනෙ... තෙල් බෙහෙත් බලලා ලෑස්ති වෙන්න වෙලා ඇතිද?
වෙලාව අරන් ඕවා කරන්න විදියක් නෑ ගාමිනී... ටැට්ටරෙත් අරන් සදුදට පැලට වරෙන්..මං සුදු පුතාටත් පණිවිඩේ දුන්නා..
අයියෙ මහ ටැට්ටරේද ගේන්න ඕනි....?
නෑ අත් ටැට්ටරෙන් කරගන්න පුලුවන්.උඹ ඒකත් අරන් වරෙන්
අයියෙ හේනෙ ඉන්දපු බටු ටික නම් පැහිලා මදි තාම...
ඒකට කාරි නෑ.. හෙට පහළ වෙලේ රාජා බඩ ඉරිගු ලෝඩ් එකක් පටවනවා.. උඹ උදේට ඌ මුණ ගැහියන්..
හරි අයියෙ....
ඇමතුම විසංධි වෙලා ඇති වෙච්ච නිහඩ නිමේෂයේදි ගාමිණී කරන්න ඕනි සියල්ල හිතේ ඇදගෙන ඉවරයි...කොහොමත් දන්න කියන කාලෙක ඉදන් හැමවෙලේම වැඩකට ලෑස්ති වෙන්න ගාමිණීට ලැබුණෙම ඉතාම සුලු කාලයක්..

උදේට කන්න තම්බලා තිබුණු බතල අල දෙක තුනක් මුට්ටියෙන්ම අරන් බඩට දාගත්ත ගාමිණී උදැල්ල කර තියන් පිම්මෙ ගියෙ හේන මැද හදලා තිබුණු වගා ලිද ලගට.චුට්ටෙ අයියා කියපු අත් ට්‍රැක්ටරේ තිබ්බෙ සරුවට වැඩුනු කෙසෙල් පදුර පාමුල..රම්පෙ ගාල යට මහ ට්‍රැක්ටරේ තිබුණත් මේ මහ ට්‍රැක්ටරෙන් කරන්න ඕනි වැඩක් නොවන නිසා ආයෙ ඒ ගැන හිතන්න දෙයක් තිබුණෙ නෑ.

අවශ්‍ය වෙන වෙලාවට ගොඩ දාගත්තු වලක් නිසා පස් හයි වෙලා තිබුණෙ නෑ..පැයක් යද්දි ගාමිනී අදාල උපකරණය ගොඩ අරන් තිබ්බ විදියට වල වහලත් ඉවරයි.ගලවන්න පුලුවන් උපරිමයට ගලවලා ග්‍රීස් තවරපු බ්‍රවුනින්ග් වර්ගයේ උපකරණය පොලිතින් උර දෙකකටත් පස්සෙ පොහොර උරයකිනුත් ආරක්ෂා වෙලා තිබුණෙ..
මහ ට්‍රැක්ටරෙත් අත් ට්‍රැක්ටරේ ඇතුලු උපකරණ කීපයක්ම දෙදාස් හය අවුරුද්දෙ කොටින්ගෙ නැගෙනහිර බලය බිද වැටෙද්දි පොළව යටට ගිය ඒවා..ඉතුරු වෙච්චි කීප දෙනා පිල්ලෙයාන් එක්ක එකතු වෙලා කරුණා ගෙ කල්ලිය එක්ක සීතල යුද්දයක් යද්දි ඒවා නැවතත් පොලව උඩට ආවා.ගේම් එක එහෙන් මෙහෙන් සෙට්ල් වෙද්දි පිස්තෝල ටී56 ආදී උපකරණ බොහොමයක් නොයෙකුත් කැලෑබද මාර්ග ඔස්සේ චුට්ටෙ අයියා ඇතුලු බොහෝ දෙනෙක් ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු උනා..ගාමිණීගෙ අතේ තියෙන මිලිමීටර් නවයේ බ්‍රවුනින්ග් එකත් එහෙම ආව එකක්.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ ගත කරපු අති දුෂ්කර මාස 9ක පුහුණු කාලයේදි මිලි මීටර් 9 පිස්තෝල, ටී56 ආදිය කුඩා කොටස් වලට ගලවලා නැවත සවි කරන එක කිරි කජු කනවටත් වැඩිය පහසු කටයුත්තක් බවට ගාමිණී ඇතුලු මුලු බැජ් එකම ඉගෙනගෙන උන්නෙ.ඒ පුහුණුවෙන් ලැබුණු ශිල්ප ක්‍රම යොදාගෙන ගොඩට ගත්තු තමන්ගෙ උපකරනය පිරිසිදු කරන් සීරුවට සවි කරගන්න ගාමිණීට ඒ හැටි වෙලාවක් ගත උනේ නෑ..මීටර කීපයක් ඈතින් තිබුණූ බටු ගෙඩිය ඉලක්ක කර කොකා ගස්සපු සැනින් පිටත් උන උණ්ඩයට බටු ගෙඩිය සුනු විසුනු කරන්නට මිලි තත්පර කීපයක් ගතවෙන්න ඇති.. තමන්ගේ හැකියාව ගැන සියුම් ආඩම්බරයක් ගාමිණීගේ හිතට ආවෙ විසිර යන දවසේ යුධ හමුදාපතිතුමන් අතින් දක්ෂතම වෙඩික්කරුට හිමි ත්‍යාගය ගත් මොහොතෙදි වගේමයි.මේ ඉලක්කය නිවැරදිවෙන තාක් කල් තමන්ගේ වටිනාකම කොපමණක්ද යන්න ඔහු හොදාකාරවම දන්නවා.

එකලස් කල තමන්ගේ සගයා නැවත කැබලි කර පහල වෙලේ රාජා අයියාට දෙන්නත් ඒවා ඇතුලත් වන බඩ ඉරිගු පිරවූ ගෝනි මතුපිටින් සලකුණක් ඇදීමත් ගාමිණීට ආයෙ ආයෙමත් මතක් කරන්න ඕනි කාරණා නෙවෙයි.හේනේ හැදුනු බටු වගාව සාර්ථක නම් ඒවා උර වල ඇසිරීමේ වගකීමත් ගාමිණීට පැවරෙනවා.රාජා ගෙ ලොරිය අඹගොල්ලෙ ඉදන් ඔක්කම්පිටිය හරහා බුත්තලටත් එතනින් පස්සර බදුල්ල හරහා කොළඹට හෝ තණමල්විල උඩවලව හරහා කොළඹට යන්නෙ යම් කිසි රටාවකට.කොහොමත් රාජා ට බාරදුන්නු දෙයක් ගැන මෙතුවක් කාලෙකට වදවෙන්න දෙයක් වෙලා නෑ, මැනිං මාර්කට් එකට ලගා වෙන ලොරියෙන් සලකුණු කරපු එළවලු ගෝනි කීපය ගෙනියන්න හැටේ වත්තෙ එකෙක් යනවා.ගාමිනීට තියෙන්නෙ අදාල දවසට පැය විසි හතරකට කලින් චුට්ටෙ අයියා කියන පැලට යන එක.ඒක මහරගම පිලියන්දල පාරෙ ඇරැව්වල හරියෙ පුරන් වෙච්චි කුඹුරු යායක් ලග තිබ්බෙ.

සදුදා උදේ 10 වෙද්දි පැය හත අටක ගමනකින් පස්සෙ ගාමිනී පැලට ගියා.යතුරුපැදි සුන්බුන් ගොඩක් ඩීසල් ත්‍රිවිල් එකක පටවගත්තු සුදු පුතා එද්දි ගාමිනී පැලට ඇවිත් කහට උගුරක් වත්කරා විතරයි.

ආහ් සුදු පුතා... උඹත් ආවද..
ඔව් ගාමිණී අයියෙ..ලොක්කා මට පණිවිඩේ දුන්නා.. මං යක්සයත් පටවගෙන ආවෙ..
හ්ම්ම්... කහට උගුරක් බීලම ඉමු එහෙනම්..

සුදු පුතා කහට බොන අතරෙ ගාමිණී ත්‍රීරෝද රථය අසලට ගියේ තමන් කවදත් ආසා කරන yamaha D tracker 450 cc යක්සයා බලන්න..එතැන තිබ්බෙ යතුරු පැදි කොටස් ගොඩක්.පැය කීපයක ඇවෑමෙන් අධිවේගී යක්සයා ගොඩ නැගෙන්න නියමිතයි.

විශේෂ දවසට සැකයක් නොසිතෙන්න අදින සරමත් කමීසයක් ඇදගත්තු චුට්ටෙ අයියා සුඛෝපභෝගී වාහන පැත්තක තියලා බස් එකේම වාඩියට ගියා.දවල් කෑමට බුරියානි පාර්සල් තුනකුත් ලීටරේ විස්කි බෝතලයකුත් එක්ක හැටේ වත්තෙන් බාර දුන්න උපකරණ කොටස් ටිකත් උරේක එල්ලන් හිටි මල්ලේ තිබුණා.

කෑමෙන් පස්සෙ සුදු පුතා තමන්ගෙ රාජකාරිය පටන් ගත්තා..ගාමිණීත් චුට්ටෙ අයියාත් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ම සුදු පුතාට අත් උදව් දුන්නා..හවස හත වෙද්දි යක්සයා අවදි උනා.. උතුරු නැගෙනහිර ශුෂ්ක බිම් වල යක්ශයෙක් සමග ගිය ගමන් වලට ගාමිණී හරි කැමතියි.ඒ මතකයන් නිසාම අවදි උනු සැනින් සුදු පුතාටත් කලියෙන් මහරගම ටවුමට ගිහින් එන්න ගාමිණීට උවමනා උනා.
රෑ විස්කි බෝතලය හිස් කරන අතරේ චුට්ටෙ අයියා ගාමිණීට අවශ්‍ය උපදෙස් තොරතුරු සියල්ල දුන්නා..මාස කීපයක් කොළඹ හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කල නිසා කෝප්‍රල් තිලකරත්න ඊජී ට එහෙමත් නැත්නම් එදිරිසූරියගේ ගාමිණී තිලකරත්නට පාරවල් ගැන අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.පැවරෙන රාජකාරිය මොකක් උනත් ඊට තමන්ගෙ මුලු අවධානයම යොදන්නට ගාමිණී පුහුණූ කරලා තියෙන්නෙ..ඒ නිසා විස්කි බෝතලය සුදු පුතාත් චුට්ටෙ අයියාත් අතරෙ බෙදිලා ගියා.

හරියටම හවස තුනට කලල්ගොඩ පාරෙ තියෙන නිවාස ව්‍යාපෘතියෙන් මහ පාරට ඇතුල් වෙන නිල් පාට නිසාන් බ්ලූබර්ඩ් රථයේ රියදුරා තමන්ගෙ ඉලක්කය බව දැනගත්තු ගාමිණී දවස් කීපයකට කලින් ගන්නට ඇතැයි සැක කල හැකි ඡායාරූප සියල්ල මතකයේ ගබඩා කර ගත්තා.

අගහරුවාදා හවස තුනයි තිහ පහුවෙද්දි රටේ ප්‍රධාන විද්‍යුත් නාළිකා සියල්ලම පාහේ බත්තරමුල්ල කලල්ගොඩ මාර්ගයේ නිවාස ව්‍යාපෘතියක් ඉදිරිපටදී නන්නාදුනන තුවක්කු කරුවකු විසින් සිදු කල වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය ගිය පුවත වාර්ථා කලා.

තමන්ට පැවරුනු රාජකාරිය අකුරට ඉෂ්ට කල ගාමිණී අංගොඩ රෝහලේ නිල නිවාස අසල නවතා තිබුණු සුදු පුතාගේ ලොරි රථය සොයා ඉගිලුනා..වෙනදා වගේම පිටුපස දොර පියන් විවෘත කරන් සූදානම් ව හිටි ලොරි රථයේ රියදුරු අසුන චුට්ටෙ අයියාගේ විශ්වාසවන්ත සගයෙකුට භාර වෙලා තිබුණා.

ආ වේගයෙන්ම යකඩ පුවරුව මතින් ලොරියට ඇතුල් කල යතුරු පැදිය ඒ වෙනුවෙන්ම නිමවා තිබූ සැකිල්ල මත නතර උනා.දොර පියන් වසා ගමන ආරම්භයට නිමේෂයක් ගත වෙන්නට ඇති.සුදු පුතා නැවතත් යක්ෂයා නිදි කරවන අතරේ ගාමිණී අඹගොල්ලෙ හේන් ගොවියාගේ චරිතයට ආරූඩ උනා.බොරු කොණ්ඩයත් රැවුලත් ඒ වෙස් මාරුවට ටක්කෙටම ගැලපුනා.

වැඩි සෙනග නැති තැනකින් ලොරියෙන් බැසගත් ගාමිනී, රුවන් පුෂ්පකුමාර නමින් නිකුත් වී තිබූ ජාතික හැදුනුම්පත තමන් සතුව ඇති බවට තව වතාවක් තහවුරු කරන් අඹගොල්ල බලා යන දීර්ඝ ගමන ඇරඹුවේ වෙනදාට නොකරන මට්ටමේ අවධානමක්ද ගනිමින්..මෙවැනි වැඩක් අවසානයේ යක්සයා අසුරන ලද පෙට්ටි තුන හතර තුල කැබලි වලට බෙදී ඇසිරෙන ගාමිණීගේ අත් ට්‍රැක්ටරය, මුලින්ම හැටේ වත්තටත් මාස කීපයක ඇවෑමෙන් අඹගොල්ලේ හේනටත් යැවෙන ක්‍රමය හිතා මතාම බිදිමින් තමන් සතුව තබා ගත්තේ නිශ්චිත හේතුවකටම නෙවෙයි.. ඒත්,...... දකුණු කණට ඉහලින් පලමු උන්ඩය ඇතුල් වෙද්දී තමන්ගේ ජීවිතය බේරා ගැනීම පසෙක තබා වෙඩි පහරින් ඉදිරි අසුනේ සිටි තම සිගිති පුතු ආවරණය කර ගන්නට ඉලක්කය යෙදුනු දුප්පත් උත්සාහය රථයේ දොර අසලම හිටි ගාමිණී හොදාකාරවම දැක්කා.

සිගිත්තාගේ බියකරු දෑස්, ගමන අතර තුර දහ පහලොස් වතාවකට වඩා ගාමිණීගේ මනසේ ඇදී වියැකී ගියා....

මේ කිසිත් නොදැන කාන්තීගේ තුරුල්ලේ නිදන තම සිගිත්තා ද එකම වයසේ විය හැකි බව යකඩ හිත ගණනය කලා..
.............................................................................................................................................................................................................
කලබලකාරී අගහරුවාදා ව අවසානව ගෙවුනු එකලොස්වන පැයේදී ගාමිණී සිටියේ අඹගොල්ලේ තමන්ට සුපුරුදු හේනේ මැස්ස මතයි.. පාපකාරී මාර්ගයෙන් ඉවතට යා යුතු බව කිසිදු ධර්මයකට ඒත්තු ගන්වන්නට නොහැකි උවද සිගිත්තාගේ බියකරු දෑස ක්ෂණිකව ඒ සිතුවිල්ලෙන් යකඩ සිත උණූ කරන්නට සමත් උනා.

ආවේගයෙන් සුරතට වන් පිස්තෝලයේ ඉතිරිව තිබූ උන්ඩය ගාමිනීගේ වම් අත්ල සිදුරු කරමින් අනෙක් පසින් පිටව ගියේ අතිශය දරුණු තුවාලයක් ඇති කරමින්.

අවසාන සිදු වීමෙන් වසර එක හමාරකට පසු වලව මිටියාවතේ දුෂ්කර බිමක ගාමිණීගේ දහදිය බිදු දියවෙමින් පැවතියේ ජීවිතය සරි කරන බඩ ඉරිගු වගාවක් වෙනුවෙන්.. චුට්ටෙ අයියාට කල සේවය වෙනුවෙන් උපයා ගත් ලක්ෂ කීපයක් වූ මුදල් නන්නාදුනන වෙඩික්කරුවා විසින් නිහඩවම ළමා නිවාසයක ගිණුමට බැර කර තිබුණා.