Sunday, March 31, 2019

පටලවා ගන්න එපා.මේක ජාතිවාදය නෙවෙයි

මේ කියන්න යන්නෙ බැනුම් අහන්න නියමිත මාතෘකාවක්.....

ලංකාවෙ අපි බහුතරයක් කරන්නෙ කවුරු හරි දෙයක් කිවුවම ඒ ගැන කල්පනා නොකර සංස්කෘතිය,ආගම,ජාතිය,දේශප්‍රේමීත්වය වගේ රාමු වලට ක්ෂණිකව ඒ කතාව ගලපගන්න පුලුවන්ද කියල බලන එක.පලවෙනි උත්සාහයෙන්ම ඒක බෑ වගේ තේරුණොත් හෙම එතන ඉදන් අර කතාව කියපු එකාගෙ අම්මල තාත්තල විතරක් නෙවෙයි උගෙ ගෙදර ඇති කරන සුරතල් බල්ලගෙ පෙලපතත් හොයන් ගිහින් පාරක සංසර්ගයේ යෙදුන කියල බලු මී මුත්තෙකුට බණින ජාතියෙ උදවිය.ඒ නිසා මේ කතාව කියවලත් බණින උදවිය වැඩිවෙයි.

ඔබ අනුරාධපුර පොලොන්නරුව ඇතුලු බහුතර සිංහල බෞද්ධ පිරිසක් ඉන්න පලාතක යද්දි පාරවල් අයිනෙ හදල තියෙන බුදු මැදුරු කීයක් විතර දැකල ඇතිද? පුංචි කදු ගැටයක් දැක්කොත් ඒක උඩ පංසලක් හදල හෝ හදමින් ඉන්නව කියල කල්පනා වෙලා තියෙනවද? ආසියාවේ උසම, ලංකාවේ විශාලතම ආදී විවිධ විශේෂාංග පද ඉස්සර කරන් හදන බුදු පිලිම දැකල තියෙනවද?

එතකොට,

මීගමුව ප්‍රධාන කරගත්තු බහුතර කතොලික පිරිසක් ඉන්න පැති වල ගියාම දකින පුංචි පුංචි කුරුස ලකුණු, මරිය මව්තුමියගෙ ප්‍රථිමා....

හුංඩු බිත්ති හතරකින් පටන් අරන් අක්කරයක් විතර විසාල කරන මුස්ලිම් පල්ලි,ගෙවල් දහයට එක පල්ලියයි කියල හිතන් එක ගමට පල්ලි දෙක තුනක් හදල තියෙන එව්ව

වත්තෙ මිනිස්සු රබර් කිරි කපල,දලු කඩල හම්බ කරගන්න තුට්ටු දෙකෙන් කීයක් හරි තමන්ගෙ අරමුදලට කියල කපාගන්න කෝවිල්

මේ සියල්ල දැන් ඇති කියල හිතෙන්නෙ නැද්ද? හදපු දේවල් ඉවත් නොකලත් අඩුම තරමෙ අලුතෙන් හදන්න නොදී ඉන්න කෙනෙක් නැති වෙයිද.යාන්තම් පණ ගැට ගහගෙන දුවන රජයවල් මේ වගේ සංවේදී මාතෘකා වලට අත තියයි  කියල හිතන්නබෑ.ඒත් යන දේවාලෙකින් පලච්චාවෙ කියල මේව නියාමනය නොකලොත් අපි විනාස වෙනව.පිිලිමයක් පංසලක් පල්ලියක් කෝවිලක් හැදුන කියල මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්නෙ නෑ.
මිනිස්සුන්ව යොමු කරන්න ඕනි තමන් අදහන ධර්මයක ධර්මාවබෝධය පිණිස මිස සිමෙන්ති ගොඩවල් වර්ධනය කරන්න නෙවෙයි.අනික පිට රටක මනුස්සෙක් දැකල මේව මොහෙම වෙන්නෙ ඇයි කියල ඇහුවොත් විලි ලැජ්ජාවෙ බෑ.පාරක් අයිනෙ සරුවට වැඩුනු ගහක් දකිනකොට,ස්වාභාවික පරිසරයෙන් පිරිච්ච නොයිදුල් කදු මුදුන් දකිද්දි එන සැනසීම අර අන්ධ භක්තියෙන් ගොඩ නගපු ආගමික ස්ථාන දකිද්දි කොහොමටවත් එන්නනෙ නෑ.

Saturday, March 2, 2019

විමලේ නොදන්නා මහින්ද

කිසි දිනෙක පරාජය නොවනු ඇතැයි සිතූ මහින්ද ජනාධිපතිවරණය පැරදී ගෙදර ගියේය.පස මිතුරු කදවුර සේම මහින්දගේ කදවුරේ බොහෝ දෙනෙකුද සිතූයේ මහින්දගේ දේශපාලනය එතැනින් අහවර බවය.නමුත් පැරදි මාස 7ක් යන්නට මත්තෙන් නැවතත් ක්‍රියාකාරී  දේශපාලනයට මහින්දව කැන්දාගෙන ඒමට එවක විපක්ෂයට තල්ලු කර සිටි අතලොස්සකට හැකි විය.විමලේ එතැනින් සුවිශේෂී චරිතයක් වු බව රහසක් නොවේ.
ජවිපේ සිටි විමල්ටත් ජානිපේ නිර්මාණය කරමින් ජවිපේට ආයුබෝවන් කියූ විමල්ටත් එක පොදු සාධකයක් ඇත.ඒ තමන් විශ්වාස කරමින් ඇති මතවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය.විමල්ගේ බොහෝ ක්‍රියාකාරකම් වලට මා එකග නොවූවද ඉහත කී ගුණය නිසා මා ඔහුට ගෞරව කරමි.විමල් විශ්වාස කලේ ජනාධිපති මහින්ද පැරදී යද්දී පරාද වූයේ මහින්ද නොව මහින්ද නියෝජනය කල ජාතිකවාදී මතවාදය බවය.
විමල්ලාගේ මතය නිසා මහින්ද නැවතත් පාර්ලිමේන්තු ආයේය.නමුත් මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව තරවටුවෙන් සම්මත කරගත් 19වැනි සංශෝධනය නිසා මහින්දට නැවත කිසි දිනෙක ජනාධිපති විය නොහැක.මහින්දට ජනාධිපති විය නොහැකි නම් ඔහුගේ පාලනයේ කෙලින් වැඩ කල ඝෝඨා, විමල්ලා විශ්වාස කරන ජාතිකවාදී මතය රැගෙන ඉදිරියට යා යුතු යැයි සාමාන්‍ය ජනතාව තුල රැල්ලක් නිමැවෙමින් ඇත.දේශපාලනයේ පරිණත මහින්දට වඩා ඉදිරි දැක්මක් ඝෝඨා තුල ඇති බව පෙනෙමින් ඇති නිසා සාම්ප්‍රදායික දේශපාලන බල කදවුරු කලබල වී ඇත.
මහින්දත් පසමිතුරු මෛත්‍රීත් එක් තැනට එන්නේ මේ සියලු සංතෑසියන් අතරතුරදීය.ඝෝඨාභයගේ දේශපාලන ආගමනය තමන්ටද තමන්ගේ පෞද්ගලික චේතනා වලටද අභියෝගයක් බව මහින්දට වැටහී ඇති සේය.බැසිල් නිර්මාණය කල පොහොට්ටුව තුල ඝෝඨාභයට එරෙහි කණ්ඩායම් කල එළි බහින්නේ ඒ නිසාය.එසේම පවතින ව්‍යවස්ථාමය අවුල් ජාලය තුල විධායක බල තල සහිත ජනාධිපතිවරයෙකුගේ භූමිකාව අහෝසි කරවන්නට දගලන රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ ගන්නේද  මහින්දගේ බල කෑදරකමින් තමන්ගේ යටි අරමුණු සපුරා ගැනීම සදහාය.
මහින්ද නොම්මර එකේ බල පෙරේතයෙකු වි ඇත.එසේ නැතිනම් 19වැනි සංශෝධනයෙන් අවුල් වියවුලක් බවට පත් කර ඇති රටට බල කේන්ද්‍රය අහිමි කරන්නන්ට උල්පන්දම් දෙන්නේ නැත.මෛත්‍රී දෙවැනි වර ජනාධිපතිවරණයට තරග කලහොත් ඇප මුදලද රාජසන්තක විය හැක.ඔහු ජනාධිපති කරවන්නට දැන් ශ්‍රිලනිපයක් නැත.පොහොටුවේ බහුතරයක් මෛත්‍රී ප්‍රතික්ශේප කරති.රනිල්ගේ තත්වයද එසේමය.තමන්ගේ පක්ෂ නායක කම ඉවත් කරන්නට උද්ඝෝෂන කල පක්ෂයක් ඔහු ජනාධිපති කරවන්නට දිව යන්නේ නැත.පාක්ෂිකයන්ට රනිල් තිත්තය.මහින්දට තරග කල නොහැක.
රටේ නායකත්වය තීන්දු කිරීමේ තරගය පාර්ලිමේන්තුවට ගෙන ආ යුත්තේ ඒ නිසාය.එවිට එය රටේ ප්‍රධාන බල කණු තුන අතර තරගයක් වනු ඇත.එතැනිනුත් මහින්දට වැඩි වාසි ඇත.විමල්ලා නාදුනන මහින්ද මතුවන්නේ බලයේ අවශ්‍යතාවය දැනී ඇති විටය.ජාතික මතවාදයට වඩා රනිලුත් මහින්දත් මෛත්‍රීත් හීන දකින්නේ තමන්ගේ බලය රදවා ගත හැකි ආකාරයක් පිලිබදවය.යහපත් ,නොබිදුන රටක් ඔවුන්ට ඇවැසි කරන්නේ නැවතත් මැතිවරනයකදී ඡන්ද ටික ඩැහැ ගැනීමට පමණි.