Tuesday, December 10, 2024

ප්‍රකම්පන - 10 කොටස

 


ජීවිතයේ තනි මංසල අතර මං වෙලා..

හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා..

අතීතයේ සතුට රැගෙන යලි වඩින්න

ආරාධනා...

ආරාධනා....


අමරදේව මාස්ටර්ගෙ ගැඹුරු හඬින් ගැයුන ගීය අවසන් වෙද්දි ඩිලාන් එයාගෙ මතකය දිහ හරින්න ලෑස්ති වෙලා උන්නා..


"මං කලින් කිව්වා වගෙම මගේ ජීවිතේ සතුට වැඩි කලක් නොරැඳෙන ගතියක් තියෙනවා සාවිත්‍රී.... ණය කන්දක් එක්ක හීන මවපු තරුණ කාලය නිකන්ම ගෙවිලා යද්දි මම හීන දැක්කෙ ලැබෙන පලවෙනි අවස්ථාවෙදිම මගේ බිරිඳ එක්ක පවුලක් හැටියට සතුටින් ජීවත් වෙන එක ගැන.. අපි ආස කරන විදියේ නිවසක් ගොඩ නගා ගන්න එක.. ආස කරන ගමන් බිමන් යන එක, ලස්සන ඇඳුම් ගන්න එක... ,


"කොටින්ම අපිට මගහැරුණ අපේ තරුණ කාලෙ පහු වෙලා හරි විඳින එක...."   


"හරි හමන් නින්දක් නැතුව.., බඩ පිරෙන්න කෑමක් නැතුව, අග හිඟකම් නිසා ඇති උන මානසික පීඩනය එක්කත් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තිබ්බ නම් ඒ මගේ හීනය සාවිත්‍රී...."


"කාලයක් තිස්සේ මම අතමාරු ඉල්ල ගත්තු අය ගැන සටහන් තියා ගන්න පුරුදු උනා.. පියවන දිනයක් නැතුවත් මං වෙනුවෙන් තමන් මහන්සි වෙලා උපයපු මුදල් දුන්නු හැමෝටම මට පුලුවන් උන පලවෙනි අවස්ථාවෙදිම ආපහු මුදල් දෙන්න මට උවමනාව තිබ්බා...."


"හදිසි ණය මුදල්  එකින් එක පියවලා සියල්ල මගේ පාලනය යටතට ආවම බිරිඳ එයා උපයන මුදල් ඉතිරි කරන්න පටන් ගත්‍තා.. වයසට ගිහින් රැකියාවක් කරන්න බැරි කාලයක් ආවම එයාට ජීවත් වෙන්න පුලුවන් තරමේ මුදලක් ලඟ තියෙන්නෙ ඕන බව එයා හිතුවා.. ඒක බොහොම සාධාරණ සිතිවිල්ලක්.."


"විවාහයෙන් වසර කීපයකට පස්සෙ ඉඳන් උපයපු සියලුම මුදල් ණය පියවන්න යෙදෙව්වා මිසක් අපි අපේ අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කරගත්තෙ නෑ.. බිරිඳ  හැමවෙලේම කිව්වෙ සියල්ල මගෙ පාලනය යටතට එනකන් එයා ඕනිම දුකක් විඳගෙන මට උදව් කරනව කියන එක....,"


" ඒ කතාව අහද්දි අනාගත හීන ගැන මට බයක්, අවිනිශ්චිත කමක් ඇති නොවුනා නෙවෙයි.. ඒත් මට බිරිඳ එක්ක තර්ක කරන්න අවශ්‍ය උනේ නෑ.. මං වෙනුවෙන් එයා කරපු කැපකිරීම් නිසා දශමෙකින් හරි එයාගෙ හිත රිදෙනවට මම කැමති උනේ නෑ සාවිත්‍රී..."   


"සියල්ල මගෙ පාලනයට යටත් වෙලා ගතවුන  දෙවෙනි මාසයෙදි බිරිඳ එයා ආස කරන ජීවිතය ගෙවන්න පටන් ගන්න ඕන කියන එක මට කිව්වා.. දරුවො, පුංචි ගෙයක්, ආදී සියලු බලාපොරොත්තු පහු කරන් බිරිඳට අවශ්‍ය උනා ඈත පිටිසර පලාතකට ගිහින් රැකියාවක් කරන්න...." 


" මට ඒ එකකටවත් විරුද්ද වෙන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ගැහැනියක් හැටියට එයාගෙ ආසාවන් සියල්ල කැප කරලා මම වෙනුවෙන් මහන්සි උන කෙනෙක්ගෙ එක බලාපොරොත්තුවක් හරි ඉශ්ට කරන්න මට යුතුකමක් තිබ්බා.."


"මං දැකපු හීන ඔක්කොම පැත්තකින් තියලා බිරිඳගේ ආසාවට මම එකඟ උනා සාවිත්‍රී..  එයා මං වෙනුවෙන් උහුලපු දුක් කන්දරාවට යන්තම් හරි ස්තූතියි කියන්න මට වෙන විදියක් කල්පනා උනේ නෑ.. මනුස්සෙක්ට නැති වෙන්න පුලුවන් සියල්ලම නැති වීමේ අත්දැකීම විඳලා හිටිය මට බිරිඳගෙ ඉල්ලීම දරාගන්න බැරි උනේ නෑ...."


"එතකොට ඩිලාන් ඔයා එහෙ ගියෙ නෑ..?"



"නෑ සාවිත්‍රී.. මගේ බිරිඳ ප්‍රාර්ථනා කලේ තනියම පිටිසර පලාතකට ගිහින් රැකියාවක් කරන එක. සමහර විට තරුණ කාලෙ අපි අනිත් සියල්ල පැත්තකින් තියලා උපයන මුදල් ණය ගෙවන්න යොදවද්දි අපිව පහු කරන් ලෞකික ජීවිතය ගොඩනගා ගත්ත පිරිසගෙන් පලා යෑමක් වගේ එයාට හිතෙන්න ඇති....."


"කොහම නමුත් හරියට ඒක අපි නොනිල වශයෙන් වෙන් විමක් වගේ මට දැනුනෙ..සියල්ල මගෙ පාලනයට යටත් උනත්   අවසන් කල යුතු වැඩ රාශියක් මට ඉතිරි වෙලා තිබ්බා.. ඒ දේවල් කොලඹ තියලා මට බිරිඳ එක්ක ඈතකට යන්න පුලුවන් කමක් තිබ්බෙම නෑ..   එහෙම ගියා නම් ඉතිරි උන ණය ටික ගෙවන්න වෙන්නෙත් නෑ.. "


"මං පුංචි ඉල්ලීමක් විදියට මගෙත් එක්ක නතර වෙන කියලා එයාගෙන් ඉල්ලුවා..  ඒත්..., ඒත් ඒ වෙද්දි එයා සියල්ල සැලසුම් කරලා ඉවරයි සාවිත්‍රී... , එයා යම් දෙයක් ගැන තීරණයක් ගත්තම ආයෙ ඒක වෙනස් කරන ජාතියෙ කෙනෙක් නෙවෙයි..ඉතිං මං ඇගේ සතුට වෙනුවෙන් සියල්ල ඉවසා දරා ගත්‍තා.. "


ඒ කතාව ඇහුවම මට ඩිලාන් ගෙ ගැන දැනුනෙ දුකක්ද තරහවක් ද කියන්න මට අදටත් තේරෙන්නෙ නෑ.. මනුස්සෙක්ට මේ තරම් දේවල් දරාගන්න, මේ තරම් සාධාරණ විදියට හිතන්න, පුලුවන් උනේ කොහොමද..?       

Wednesday, December 4, 2024

ප්‍රකම්පන - 9 කොටස

" මහා ලොකු ණය කන්දරාව නිසා අසීමාන්තිකව අපේ ආසාවල් හිර කරන් හිටපු අපිට අවුරුදු හතකට පස්සෙ යම් සැනසිල්ලක් උදා වෙනවා සාවිත්‍රී..""


"ඔය ණය මුදල් එක්ක අරගල කරණ කාලෙ මගේ හොඳ පුරුදු සමහරක් වියැකිලා ගියා.. ණය මුදල් ඉල්ලපු අයට නියමිත දවසට ගෙවා ගන්න බැරි උනාම බොරු කිව්වා.., කඩේකින් යම් භාන්ඩයක් අරන් මුදල් ගෙව්වම වැරදිලා මට වැඩි මුදලක් ආපහු  දුන්නොත් ඒක නොදී ඉන්න මම පුරුදු උනා.. "


"හෘද සාක්ශියට එකඟව මට එහෙම කරන්න පුළුවන් කමක් නැති උනත් ඒ කාලෙ සවයිව් වෙන්න නම් මට එහෙම කරන්න උනා... "


"මිනිස්සු හරි අසරණයි සාවිත්‍රී.. ක්ශනික කෝපය නිසා මිනී මරණ, කරගන්න දෙයක් ඇත්තෙම නැති තැන හොරකමට පුරුදු උන මිනිස්සු පව්.. මගේ ඇත්දැකීම් එක්ක මට හිතන්නෙ ම  ඒ අයට මුල් අවස්ථාවෙ උදව් කරන්න කෙනෙක් හිටියා නම් කවදාවත් එහෙම තැනකට පත් වෙන්නෙ නෑ කියන එක..."


"කොහොම හරි, බිරිඳත් මමත් රැකියා වල එක්තරා ඉහල තනතුරු වලට පත් වෙන්නෙ එකම කාලෙක.. ව්‍යාපාර බිඳ වැටුනට පස්සෙ පහලම තැනක ඉඳන් රැකියාවක් කරන්න මට සිද්ද උනා."


" මේ කිසිම සංතෑසියකට වග කියන්න ඕන නැති මගේ බිරිඳත් ගැහැනියක් හැටියට එයාගෙ තිබ්බ ආශාවල් පැත්තකින් තියලා උපයන හැම සතේම මගේ පව් ගෙවන්න වියදම් කලා...ඒ වගේ බිරිඳක් ලබන්න මම ආත්ම ගණනාවක් පිං කරන්න ඇති සාවිත්‍රි.."


"මම කරපු දේවල් වල ප්‍රතිඵල මටම තනියෙන් ගෙවන්න කියලා බිරිඳ මගෙත් එක්ක නොහිටියා නම් ඒ පීඩනය දරාගන්න බැරුව මම  ජීවිතේ නැති කරගන්න පවා ඉඩ තිබුණා.."



බිරිඳ ඩිලාන් වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන, ඒ තේරුම් ගැනීම ගැන ඩිලාන් හිටියෙ පුදුම තරම් කෘතඥව..  


අපේ ජීවිත වලට මොන තරම් අහිමිවීම් තිබ්බත් ආදරෙන් කතා කරන්න කෙනෙක් ඉන්න එක මොන තරම්ද කියලා මෙච්චර කරදර වලට මුහුණ නොදීපු මටත් තේරුම් යනවා නම් ඩිලාන් වගේ කෙනෙක්ට ඒක මහ මෙරක් තරම් වෙන්න ඇතිකියලා අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බෙ නෑ.රැවටිලිකාර පෙම්වතෙක්ගෙන් හෙම්බත් වෙච්චි අතීතයක් තිබ්බ මට ඩිලාන් ගෙ ආදරේ ගැන ඉරිසියා හිතුනා..


"අවුරුදු ගානකට පස්සෙ අපි ණය ගෙවන්න පටන් ගත්තා සාවිත්‍රී.. පලවෙනි රුපියල් දහදාහ ගෙවලා දාපු දවසෙ අපි දෙන්නටම සතුටට ඇඬුනා.. ඒ ආරම්භය ගන්න තමයි අවුරුදු ගානක් අපි පෙරුම් පිරුවෙ.."


" මූලික ණය මුදල ටිකෙන් ටික අඩු වෙද්දි පොලිය හැටියට මාසිකව ගෙවපු මුදල් ටික අපි අතේ රැඳෙන්න ගත්තා..ඒකෙන් උනේ මම ගෙවන්න තිබ්බ දේවල් වල බර වේගයෙන් අඩු උන එක..."


"පලවෙනි අවුරුද්ද ගෙවෙනකොට සියල්ලම වගේ මගේ පාලනයට යටත් කරගන්න පුළුවන් උනා.ඒ කියන්නෙ මං උපයපු මුදලින් ණය සහ පොලිය දෙකම ගෙවන්න පුළුවන් වාතාවරණයක් ඇති උනා.. අපි ජීවිතේ ඇත්තටම විඳින්න පටන් ගත්තෙ ඒ කාලෙ සාවිත්‍රී.. අපිට මගහැරුන බොහෝ දේවල් අපිට අත් විඳින්න පුළුවන් උනා.."


"හඳ අල්ලන්න ආස ගමනේ .. කියන ගීතය මම තෝරා ගත්තෙ ඒ සැනසීම ගැන කියන්න..අපි සැහැල්ලුවෙන් පාවෙලා ගියා ඒ කාලෙ..."


"දන්නවද සාවිත්‍රී මගෙ ජීවිතේ සතුට කියන එක වැඩි කාලයක් රැඳෙන්නෙ නැති ගතියක් තියෙනවා..මොන හේතුවකට හරි විවාහයෙන් වසර ගණනාවකට පස්සෙ අවුරුද්දක් එක හමාරක් වගේ කාලයක් මටත්  බිරිඳටත් සතුටත් , ආදරෙත් උතුරලා යන්න තරම් ලඟා උනා.. වචන වලින් ඒ ගැන මෙහෙම කිව්වට ඒ සැනසීම වෙනුවෙන් උහුලපු දුක දන්නෙ මමත් බිරිඳත් විතරමයි.. "


"අතේ තිබ්බ අන්තිම රුපියල් දාහ ඉතුරු කරගන්න ඕන කමට දවසට වේලක් දෙකක් නොකා හිටපු, කිලෝමීටර් ගණන් පයින් ගියපු අතීතයක් අපිට තිබ්බා.., "


"ඉරුණ, හිල් උන යට ඇඳුම් හෝද හෝද අඳින්න උනා..අලුත් අවුරුදු වලට වැඩිය ඇඳපු නැති පරණ ඇඳුම් ඇඳගෙන යුතුකම් ඉශ්ඨ කරන්න  උනා... දැන් ඒ ගැන මතක් වෙද්දි පුදුමත් හිතෙනවා.. ඒ දවස් වල මං ඇඬුවෙ නැත්තෙ අඬන්න තරම් වත් මනස එක තැනක තිබ්බෙ නැති නිසා.. ඒ වෙනුවට සමහර කැපකිරීම් ඉවසා ගන්න බැරුව මගේ බිරිඳ ඕනි තරම් අඬලා ඇති සාවිත්‍රී..සමහර දවස් වලට මහ මගදි පවා..ඒ වැටුන කඳුලක් ගානෙ මම ඇයට ණය ගැතියි සාවිත්‍රී ..."


"ඩිලාන්...., ඔයා මේ හැම තැනකදිම ඔයා වෙනුවෙන් අති මහත් දේවල් කලා කියන ඔයාගෙ බිරිඳගෙ නම නොකියා ඉන්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා..ඔයා එයාගෙ පුද්ගලිකත්වය ආරක්ශා කරන්නද එහෙම කරන්නෙ??"


"නෑ සාවිත්‍රී...බිංඳුවට වැටිලා අමාරුවෙන් දෙපයින් හිට ගත්තු කෙනෙක් හැටියට මට හංගන්න දෙයක් නෑ..හංගලා මට ලබා ගන්න දෙයකුත් නෑ..., බොහොම විවෘතව මේ දේවල්  ඔයාගෙ වැඩසටහන අහන අය එක්ක මම බෙදා ගන්න කැමතියි..අමාරු කාලෙ මං වෙනුවෙන්, මගේ පවුලේ අය වෙනුවෙන් වචනයකින් හරි උදව් උන, සහයෝගය දුන්න අයට කෑ ගහලා ස්තූතියි කියන්න මම කැමතියි. මගේ කතාවෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක මට සතුටක්.මම හිතාමතා ම එයාගෙ නම නොකියා හිටියෙ හේතුවක් ඇතිව.. වැඩසටහන අවසන් වෙද්දි ඔයාගෙ ඒ ප්‍රශ්නෙට පිලිතුරක් ලැබෙයි.."


ඩිලාන්ලගෙ හිත් වල මොනතරම් දුකක් කැකෑරෙන්න ඇද්ද කියලා මට හිතා ගන්න බෑ.. හොඳින් හිනා වෙලා ඉන්න මිනිස්සුන්ගෙත් බිංදුවට වැටුන දුක්ඛදායක ඇතුලාන්තයක් තියෙනවා කියන්න ඩිලාන් තරම් මට වෙන උදාහරණ නෑ.. 


චන්දිමාගෙ උපන්දින පාටිය වෙලාවෙදි බියර් වීදුරුවක් අතින් අරන් බොහොම ප්‍රසන්නව හිටිය මනුස්සයගෙ කතාව මෙහෙම වෙයි කියලා නිකමටවත් මට හිතා ගන්න බැරි උනා... එයාගෙ යාලුවෙක් කියලා චන්දිමාම මට ඩිලාන්ව හඳුන්වා නොදෙන්න මේ මනුස්සයා මේ කතාව තියන් සදාකාලිකවම ඉන්නත් තිබුණා... දේශපාලනය , කලාව, මිනිස්සු ගැන හරි පලල් විදියට ඩිලාන් එදා මගෙත් එක්ක කතා කලේ මේ ජීවිත කාලෙ ඇතුලත එයා ට අත්විඳින්න සිද්ද උන අත්දැකීම් නිසා වෙන්න ඇති.. ඕන මනුස්සෙක්ගෙ මානසික තත්වය අවබෝධ කරගන්න එයාට පුළුවන් උනේ ඒ නිසා වෙන්න ඕන.


ඩිලාන් වගේ සහකම්පනය, කෘතවේදීත්වය තියෙන මිනිස්සු තමයි රටේ තීන්දු තීරණ ගන්න තැන් වල ඉන්න ඕනි. ඒ වගේ අය තව මනුස්සෙක්ට පුංචිම හරි හානියක් වෙන තීරණ ගන්නෙ නෑ.. නොයෙක් හේතු නිසා ඩිලාන් වගේ මිනිස්සුන්ට සමාජයේ වගකීමක් ඇති තනතුරු දරන්න ලැබෙන්නෙ නෑ. එක අතකට මේ ලෝකෙ මේ තරම් විවිධාකාර වෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. සියල්ල සුමටව ගලාගෙන ගියොත් කිසි ගැටුමක් නැති වෙනවනෙ...       


Tuesday, December 3, 2024

ප්‍රකම්පන - 8 කොටස


"දරුවගෙ වියෝවෙන් පස්සෙ මගෙ බිරිඳ තීරණය කරනවා ආයෙ දරුවන් ගැන හිතන්නෙ නැතිව ඉන්න..රැකියාව නිසා සතියෙ වැඩ කරන දවස් පහ බෝඩිමක හිටිය එයාට ප්‍රෙග්නන්ට් කාලෙ සියලුම වැඩ තනියම කරගන්න උන එක ගැන දැනිලා තිබ්බෙ අසරණ කමක් හැටියට.."


"ඒ කාලෙ එයාට කන්න බොන්න ඕනි කරපු දේවල් මගේ මට්ටමින් උපරිම දුන්නට එයාගෙ අනිත් යාලුවන්ගෙ, නෑයන්ගෙ මට්ටමත් එක්ක බැලුවම ඒ සියල්ල සුලු දේවල් වගේ එයාට දැනුන  බව මම පස්සෙ කාලෙක දැන ගත්තෙ...,"


"ඉතිං එයා හිතුවෙ ආයෙම දරුවෙක් හදන්න නම් කොලඹ ඉඳන් විශේෂ වෛද්‍ය උපදෙස් ගන්න ඕන කියලා...සියලු පහසුකම් කොලඹට ගොනු වෙලා තියෙන නිසා කලින් වගේ අවාසනාවන්ත තත්වයක් ඇති උනත් දරුවා බේර ගන්න අවස්ථාව මහ ගොඩක් කියලා එයා හිතුවා..," 


"බලන් යද්දි එහෙම හිතන එකේ වරදක් නෑ සාවිත්‍රි.දරුවෙක් පිලිසිඳ ගත්තු දවසෙ ඉඳලා ගැහැනියක් කරන කැපවීම, දරාගැනීම වගේ දේවල් එක්ක පිරිමියෙක්ට හැරෙන්නවත් බෑ..  ඇත්තටම මගේ තත්වෙත් එක්ක මට තව දරුවෙක් ගැන හිතලා  ඒ වෙනුවෙන් බිරි‍ඳ බලාපොරොත්තු උන දේවල් සම්පූර්ණ කරන්න කිසිම හව් හරණක්  තිබ්බෙම නෑ ..."


"එතකොට ඩිලාන් ඔයාලගෙ හීන වලට මොකද උනේ ??"


"මට ඒවා දරාගන්න සිද්ද උනා සාවිත්‍රී..., ණය කන්දක හිරවෙලා හිටිය මට බිරිඳව ගෙදර නතර කරගන්න හැකියාවක් තිබ්බෙ නෑ. එයාගෙ මාසික වැටුපෙන් මගේ උවමනාවකට  ගත්තු බැංකු ණයක් පියවෙමින් තිබ්බෙ.."


" ඇත්තටම මගේ වැරදි කලමණාකරණය නිසා මමත් බිරිඳත් නොසෑහෙන විදියට වන්දි ගෙව්වා.. අපේ සතුට, අපේ හීන ඒ වන්දිය වෙනුවෙන් දියවෙලා යද්දි හූල්ල හූල්ල බලන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දෙයක් තිබබෙ නෑ.."


"ඒ අසරණකම ගැන දුක් වෙලා එයා අනන්තවත් ඇඬුවා..., ආදරේ කියන කාරණාව මුල් කරන් මම එයාව විවාහ කරගත්තු එකෙන් එයාට ඉතාම සැපවත්, පහසු ජීවිතයක් ගෙවන්න තිබ්බ එක නැති කලා කියන පසුතැවීම මට කිසිම තැනකදි අමතක කරන්න බෑ..."


සල්ලි නිසා මිනිස්සුන්ගෙ ජීවිත මොන තරම් වෙනස් වෙනවද කියන්න ඩිලාන්ගෙ කතාව අහන් හිටපු ඕන කෙනෙක්ට හිතෙන්න ඇති.. , කමර්ශල් බ්‍රේක් එකකදි කියපු හැටියට සාමාන්‍ය මාසයක උපයන මුදලට අමතරව ඒ මාසය ඇතුලත තවත් රුපියල් ලක්ශයක් උපයන ක්‍රමයක් හොයා ගන්න එයාලට අවුරුදු හතක්  උත්සාහ කරන්න වෙලා තිබ්බා..


ඩිප්‍රෙශන් තත්වයකට බෙහෙත් ගත්තත් ඩිලාන් ඉතාම පැහැදිලිව සංයමයෙන් වැඩසටහනට සහභාගී උන විදිය පුදුම සහගතයි.. එයාලගෙ තරුණ කාලෙ නිස්කාරණේ ගෙවිලා නොගියා නම් මේ මනුස්සයාගෙන් මීට වඩා වැඩක් මේ රටටත්, සමාජයටත් වෙන්න තිබ්බා.. එයා ඒ තරම් ම හැම දෙයක් ගැනම විවෘතව බලපු ඉතාම සාරවත් අදහස් තියෙන බුද්ධිමත් කෙනෙක්..


ඩිලාන් ඊලඟට තෝරා ගත් "අපි අසරණ වෙලා වගේ හිතෙට දැනෙනවා.. " ගීතය වාදනය වෙද්දී  ඩිලාන්ලා කොයි තරම් අසරණව ඉන්නට ඇත්දැයි මම කල්පනා කලෙමි...


"ඔයාලා කොහොමද ඒ දැනුන පීඩනය කලමණාකරණය කර ගත්තෙ එතකොට?"


"පීඩනය කලමණාකරණය කරන එක කොහොම උනත් අපි දෙන්නම කලේ අපේ ආසාවල්, අවශ්‍යතාවල් සීමා කරපු එක සාවිත්‍රී..." 


"සමහර අවුරුදු වල අපි දෙන්නගෙන් කෙනෙක් වත් අලුත් ඇඳුමක් අරන් නෑ.. නමුත් අපි අපේ දේවල් සීමා කරගෙන උනත් අපෙන් අනිත් අයට වෙන්න තිබ්බ යුතුකම් පුළුවන් උපරිමයෙන් ඉශ්ඨ කලා.."


"අපි දෙන්නා එක්ක මාසිකව සැලකිය යුතු මුදලක් උපයා ගන්න පුළුවන් රැකියාවල් කරලත්, සමහර දේවල් අපි මග අරිද්දි යාලුවො උනත් හිතන්න ඇති අපි මහා ලෝභයො කියලා.. "


"නමුත් ඇත්ත තත්වය ඊට වඩා හුඟාක් වෙනස්.. අපිට තිබ්බ ප්‍රශ්න ලෝකෙට කෑ ගහලා කියලා ලබා ගන්න දෙයක් තිබුණේ නෑ... "


"අපි අමාරුවෙන් උනත් ඒවා විඳ දරාගත්තා...හැබැයි හැම වෙලේම අපි උත්සාහ කලේ, සැලසුම් කලේ, මේ පීඩනයෙන් ගැලවෙන ක්‍රමයක් ගැන..තව දුරටත් ණය නොවී ඒ වෙද්දි උපයපු මුදලට වඩා අමතර මුදලක් හොයාගන්න එක ගැන..., ඒ ගැලවීමේ පලවෙනි අඩිය තියන්න අපිට අවුරුදු හතක් උත්සාහ කරන්න උනා.."


"අපේ එකම හීනය උනේ කවදාම හරි දවසක අපි මේ සියලු භාදක ජය ගන්නවා කියන එක.. ඒ වෙනුවෙන් මොන තරම් හිත කලකිරවන වැඩ සිද්ද උනත් ඉවසීමෙන් උත්සාහ කරන්න අපේ හිත් හයිය උනා.."


"සැමියන්ගෙ ආර්ථික ප්‍රශ්න නිසා දුක් උන බිරින්ඳෑවරු ඒක මූලික කරන් ඇති කරගත්තු හිත් අමනාපක, පවුල් ප්‍රශ්න එක්ක බලද්දි අපි දෙන්නට තිබ්බ සංයමය සහ දෙන්නට දෙන්නා අතර තිබ්බ අවබෝධය කොයි තරම් දෙයක් ද කියලා මට සතුටක් එනවා.. සිද්ධ උන බොහෝ අඩුපාඩු වලට සෘජු වගකිවයුත්තා මම නිසා අහම්බෙන් හරි බිරිඳගෙන් පිට උන හිත රිදෙන වචන වලට මම දුක් උනේ නෑ..මට පුළුවන් උපරිමයෙන් මං ඇයට ආදරේ කලා... ආදරේ දැනෙන්න දුන්නා..."


"එයා මං වෙනුවෙන් කල කැපකිරීම් වෙනුවෙන් මට එයාට දෙන්න තිබ්බෙ ආදරේ විතරයි සාවිත්‍රී.."


"මනුස්සෙක්ට ලැබෙන්න ඕනි මගේ බිරිඳ වගේ ගැහැනියක්. ඒ වගේ සහකාරියක්... මහ මෙරක් වගේ සියල්ල දරාගන්න කෙනෙක්.. "


"මුලු ලෝකෙන් ම මාව ප්‍රතික්ශේප වෙද්දිත් මං වෙනුවෙන් හිට ගන්න කෙනෙක් ඉන්න බව දන්න නිසා ප්‍රශ්න වලට මූණ දෙන්න, ප්‍රතික්ශේප වෙන්න මම බය උනේ නෑ...ඒ හයිය නිසාම මට කල් ගත වෙලා හරි සියල්ල විසඳගන්න පුලුවන් උනා මිසක් ඇය ත් ප්‍රශ්න ඇති කලා නම් මේ වෙද්දි මම සියදිවි හානි කරන් ලොකු කාලයක් ගත වෙන්න තිබ්බා..."


ඩිලාන්ගේ කතාව අහන් ඉද්දි මට ඩිලාන් ගැන පුදුම තරමේ අනුකම්පාවක්, ගෞරවයක් ඇති උනේ.. මිනිහෙක්ට මේ තරම් දේවල් දරාගෙන ඉන්න පුලුවන්ද....,



Monday, December 2, 2024

ප්‍රකම්පන - 7 කොටස


පොරොන්දු උනා වගෙම සැමියත් දරු දෙදෙනාත් ඩුබායි දේශයේ සුඛෝපභෝගී නිවසේ තනිකරලා පහුවෙනිදා උදේ වෙද්දි සයූරි  ලංකාවට ආවා..මගේ ඉල්ලීම නිසා ඩිලාන් ඇයව මුණ ගැහෙන්න එකඟ උනා..


වසර ගණනාවකින් පස්සෙ ඔවුන්ට මුණ ගැහෙන්න අවස්ථාව ලැබුණෙ මගේ වැඩසටහන හේතු වීම නිසාද මංදා ඔවුන් දෙදෙනාම දවල් කෑම වේලකට මටත් ආරාධනය කලා..


මං හිතන්නෙ මම මේ ඩිලාන්ගෙ කතාවට ඕනවට වඩා සම්බන්ධ වෙනවා...


මුණ ගැහුණ වෙලේ ඉඳන් සයුරි කලේ සමාව ඉල්ලන එක..


"අයි ඈම් රියලි සොරි ඩිලාන්.එක්ස්ට්‍රීම්ලි සොරි.., ඔයා මේ තරම් ප්‍රශ්න ගොඩක ඉන්නවා කියලා දන්නවා නම් මම මගෙ උපරිමයෙන් ඔයාට උදව් කරනවා.. ඒත්, .. ඒත් කිසිම තැනක ඔයා එච්චර ටිකක් දරාගෙන ඉන්නවා කියලා අහන්න දකින්න තිබ්බෙ නෑනෙ.."


"මගේ ප්‍රශ්න ලෝකෙට කෑ ගහලා කියන්න මට උවමනාවක් තිබ්බෙ නෑ සයුරී.. ඔයා ඒ කාලෙ ඉඳන් ම මම ගැන දන්නවනෙ.. මගෙ ලඟම ඉන්න කීපදෙනා එක්ක මම ඒවා ශෙයා කරගන්නවා ඇරෙන්න කෑ ගහලා කියන පුරුද්දක් නෑනෙ මට.."


"ලඟම ඉන්න අයට කිව්වා නම් ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ..?"


"අපි තව දුරටත් ලඟම අය නෙවෙයි නෙ සයුරී..ඔයා ඔයාගෙ මැරේජ් එක කන්ෆර්ම් උන දවසෙ ඉඳන් හිතා මතා හෝ නොහිතා අපිව මගෑරියා මතකද.. ඒ මගෑරීම නිසා එක බඩවැල කඩන් ආව අය වගේ තිබ්බ යාලුකම් ටිකෙන් ටික මැකිලා ගියා ...අඩුම තරමෙ මාසෙකට වතාවක් වත් උඹලා හොඳින්ද කියලා අහන්න, මැසේජ් එකක් දාන්න බැරිකමක් නෑ කියලා තමා අපි හැමෝම හිතුවෙ.. එහෙම නොවෙද්දි ඔයා අපේ යාලුකම් මතක තියන් නෙවෙයි ඉන්නෙ කියලා හිතෙන එක සාධාරණයි නෙ..""


" ඒක ඇත්ත ඩිලාන්.. අපේ යාලුකම් ගැන හශාන් ඒ තරම් සතුටක් නෑ.අපි සෙට් එක ට්‍රිප් ගියපුවා, ඩිනර් අවුට් ගියපුවා දිහා එයා බැලුවෙ අමුතු විදියට.. ඉංජිනේරුවෙක් වෙලත් එයා පුදුම තරම් සාම්ප්‍රදායිකයි.. බෝයිෆ්‍රෙන්ඩ් හැටියටත්, හස්බන්ඩ් හැටියටත් එයාගෙ වෙන අඩුපාඩුවක් මට නැති නිසා මමත් එයාගෙ විදියට හැඩ ගැහුනා.."


"වින්දි, සහන්, ප්‍රසන්න, අධියා මේ කාටවත් මම අවුරුදු ගානකින් කතා කරලා නෑ.. මං දන්නවා එයාලත් මං ගැන වැඩි කැමැත්තකින් නෙවෙයි ඇත්තෙ.."


"හ්ම්ම්..., දැන් ඕවා කතා කරලා වැඩක් නෑ සයුරී..උනුත් උන් හදාගත්තු ලෝක වල බිසී උනා.හැබැයි අදටත් ඉඳලා හිටලා හරි මොකද වෙන්නෙ කියලා හොයලා බලනවා..."


"වෙච්චි දෙවල් වෙලා ඉවරයි නෙ.කොහොම උනත් ටුටූ වෙන සම්බන්ධයක් තියාගෙන අහු උන දවස් වල ඔයා මං ගැන හොයලා බලපු විදිය මැරුණත් අමතක වෙන එකක් නෑ සයුරී..පහු කාලෙ ඔයාගෙ හැසිරීම, ඉස්කෝලෙ කාලෙ යාලුකම් වල මතක එක්ක බලද්දි දුකක් උනත් ඔයා මගෙ වෙනුවෙන් කරපු කැපකිරීම් ඒ ඔක්කොටම වඩා විශාලයි.. මං හැමදාම ඒ වෙනුවෙන් ඔයාට ගෞරව කරනවා.."


"මෙයා ඒ මූසල දවස් ටිකේ හරියකට කෑමක් බීමක් ගත්තෙ නෑ නංගි....  මගෙ කටේ බලේට තමා මොනවා හරි කෑවෙ.. මං හැමදාම මොන වැඩේ තිබ්බත්  කෑම වෙලාවට ඩිලාන්ට වීඩියෝ කෝල් අරන් කෑම කනකන් කතා කලා.. මාව මගාරින්න බැරි නිසා තමා මෙයා ඒ දවස් වල කෑවෙ.."


"ඒක නම් සහතික ඇත්ත...සයුරි ඒ දවස් වල මට කතා කරලා වැටෙන්න නොදී අල්ලන් හිටිය  නිසා තමයි මම ඉක්මණට රිකවර් උනේ. එහෙම නොවුනා නම් මේ වෙද්දි මම කියලා කෙනෙක් ඉන්නෙ නැති වෙන්නත් තිබ්බා.."


"ඉස්සර මෙයලා හරි වසයි සාවිත්‍රි.... එක වතාවක් ටියුශන් ක්ලාස් එක ලඟදි කොල්ලෙක් මෙයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට විහිලු කලා කියලා මෙයාල සෙට් එක ඒ කොල්ලට ගහලා.. .."


"පහුවදා ඒ කොල්ලා ටවුමෙ යාලුවො කට්ටියක් එක්කන් ඇවිත් මෙයාලට ගහලා තිබ්බා තුවාල වෙනකන්.. අතකුත් වෙලාගෙන සතියක් විතර හිටියද කොහෙද... මම තමා ගෙවල් වලට කතා කර කර බැලන්ස් කලේ..."  


සයුරිගේ හිනාවට ශාලාවේ සිටි කිහිප දෙනෙක් ම අපේ දෙස හැරී බැලුවෝය..


"අම්මෝ.... ඩිලාන් ඒ කතා ප්‍රෝග්‍රෑම් එකේදි කිව්වෙ නෑනෙ.. ඇත්තටම ඇයි ඩිලාන් ඔයා හොඳට ප්ලෑන් කරලා ඔයාගෙ ජීවිත කතාව ප්‍රෝග්‍රෑම් එකේදි කිව්වෙ..........? එතකොට කවුද ටුටූ කිව්වෙ? එයා ගැන කිව්වෙ නෑනෙ ප්‍රෝග්‍රෑම් එකේ?  " තැනට ගැලපෙන ප්‍රශ්නයක් නොවුනත් මම මගේ ඔලුවේ කැකෑරුන ප්‍රශ්නය ඩිලාන් ට යිමු කලෙමි.


"මම පහුගිය ජනවාරිය වෙනකන්ම එක එක බැඳීම් එක්ක හිර වෙලා හිටියෙ සාවිත්‍රි..ජනවාරියෙදි මම තිබ්බ අවසාන බැඳීමත් ලිහලා දැම්මා..ඊට පස්සෙ මම නිදහස්.. ඒ නිදහස කෑ ගහලා කියන්න තරම් වටින එකක්.ඔය බැඳීම් ටික ලිහලා දාන දවස වෙනකන් මම මගේ ජීවිතේ කැප කරන්න පුළුවන් සියල්ලක්ම කැප කරලා තියෙනවා.."


 "අහම්බෙන් ඩොක්ටර් ගෙ බර්ත් ඩේ පාටි එකේදි ඔයා මුණ ගැහුන එකෙන් මට මගේ නිදහස ගැන ලෝකෙටම කෑ ගහලා කියන්න තරම් අවස්ථාවක් ලැබුණා. මං දැන් ඇත්තටම වගකීම් වලින් නිදහස් මනුස්සෙක්.හැමෝටම මගෙ කතාව කියලා මේ තරම් කාලයක් මාව දරාගෙන හිටිය අයට ස්තූති කරන්න ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක තරම් වෙන අවස්ථාවක් නෑ කියලා මට තේරුම් ගියා..  ඒ නිසා මම ඒකට හොඳට ලෑස්ති උනා.., "


"..එතකොට ටුටූ කිව්වෙ මගේ පාසල් ප්‍රේමයට, ඒ මම එයාට ආදරේට කියපු නම.. මට එදා ටුටූ කියලා හඳුන්වලා දෙන්න බැරි උනා.."


කලබලකාර මගේ හිත අතීත වර්තමාන සිද්දි  ගලපන්න වෙහෙසෙද්දි ප්‍රෝග්‍රෑම් එක නොන්නවත්වා ම ප්ලේ උනා..

Sunday, December 1, 2024

ප්‍රකම්පන - 6 කොටස

 


ඩිලාන් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරපු දවසට පහුවෙනිදා හවස් වරුව වෙද්දි ප්‍රෝග්‍රෑම් එකේ කොටස් සෝශල් මීඩියා ඇතුලෙ වයිරල් වෙන්න ගත්තා..අපි කොහොමත් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවත් එක්කම ඒකෙ කොටස් සමාජ මාධ්‍ය වලට එකතු කරනවා. නිදහස් වෙලාවට ඒ කොටස් වලට පහලින් විවිධාකාරයේ මිනිස්සු පලකරලා තියෙන අදහස් මම කියවනවා.. 


මාකටින් අරමුණක් ඇතිව වැඩසටහනේ කොටස් සමාජ මාධ්‍ය වලට එක් කලත් ඒ තැන් වලත් මගේ ප්‍රෝග්‍රෑම් එකේ රසික පිරිසක් ගොඩ නැගිලා හිටියා.. දවසේ වැඩ රාජකාරි එක්ක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් රසවිඳින්න බැරි අය අන්තර්ජාලය හරහා මගෙත් එක්ක රැඳිලා ඉන්නවා..


තමන්ටත් මේ වගේ අත්දැකීම් තියෙන, සමහරවිට ඊටත් එහා ගිය කතා දරාගෙන ඉන්න මිනිස්සු නොයෙක් වෙලාවට මට කතා කරනවා. අන්තර්ජාලය හරහා පණිවිඩ එවනවා.. සයුරි මට කතා කලේ ප්‍රෝග්‍රෑම් එක කරලා ගත උන දෙවෙනි දවසේ.


"සාවිත්‍රී..., මම සයුරි.. ඔයා කරපු ප්‍රෝග්‍රෑම් එකේ හිටිය ඩිලාන් ගෙ යාලුවෙක්..මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද..?"   


මැසෙන්ජර් හරහා ලැබුණ පණිවිඩයෙන් පැය භාගයකට පස්සෙ අපි දුරකතන සංවාදයක පැටලිලා උන්නා 


"ඩිලාන්ගෙ ජීවිතයට මේ තරම් දෙවල් වෙලා තියෙනවා කියලා මම දැනන් හිටියෙ නෑ සාවිත්‍රි..මේ තරම් කාලෙකට මට හම්බුණ හොඳම යාලුවා එයා.. අපි ඉස්කෝලෙ යන කාලෙ, ටියුශන් ගිය කාලෙ මාව හරි පරිස්සමට බලා ගත්තු මනුස්සයව මට මගෑරුනා කියලා දැනෙන ලොකු පසුතැවීමකින් මම ඔයාට කෝල් කලේ..  මගේ නිහැඬියාවෙන් එයා විඳෙව්වා කියලා දන්නෙ ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බ එයාගෙ ක්ලිප්ස් බැලුවට පස්සෙ.."


"මේ මනුස්සයා පාවිච්චි කරන කිසිම සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් එකක මේ ගැන කිසිම දෙයක් හෝඩුවාවක් නෑ නෙ..ඉතිං දකින ඕන කෙනෙක් හිතන්නෙ එයා සාමාන්‍ය විදියට ඉන්නවා කියලා.."


ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගෙදර ගිය වෙලාවෙ ඉඳන් මමත් කලේ ඩිලාන්ගෙ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් චෙක් කර කර එයා කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරපු එක.ඒ කිසිම එකක එයාට වෙච්චි දේවල් ගැන හෝඩුවාවක් තිබ්බෙ නෑ..මං හිතන්නෙ එයා කිව්වා වගෙම එයාගෙ ලඟම හිටිය කීප දෙනත් එක්ක එයා ඒවා දරා ගන්න ඇති..


"සාවිත්‍රි.. , මම හෙට උදේ ලංකාවට එනවා. මට ඩිලාන්ව මුණ ගැහෙන්න ඕන. ඔයාට පුළුවන් ද මට එයාව මුණගස්සන්න. මම සෝශල් මීඩියා වලින් එයාව කන්ටැක්ට් කරන්න හදනවා පැය ගානක් තිස්සෙ.. ඒත් එයා රෙස්පොන්ස් කරන්නෙ නෑනෙ.."


"මගෙ ලඟ එයාගෙ නම්බර් එක තියෙනවා. මං කතා කරලා ඔයාට තොරතුරක් දෙන්නම් සයුරී.."


ඩිලාන්ව මුණගස්සන්න මම උත්සාහ කරනවා කියලා සයුරිට කිව්වට ඩිලාන්ගෙ දෙවල් එක්ක මම ඕනවට වඩා බැඳෙන්න යනවද කියලා මට නොහිතුනා නෙවෙයි.. මෙච්චර කාලෙකට මගේ ප්‍රෝග්‍රෑම් එකකට ආව ආරාධිතයෙක් කරපු ආන්දෝලනාත්මකම මතක ආවර්ජනය ඩිලාන්ගෙ කතාව බව ඇත්ත. නමුත් මම ඒක එක්ක නතර උනොත් ඊලඟ සතියෙ මගේ වැඩසටහන හරියට කරගන්න බැරි වෙනවා. නමුත් මොකක්දෝ හේතුවකට ආයෙ වතාවක් මට ඩිලාන් ව දකින්න ආසාවක් හිත යට තිබුණා..

................................................................................

ඩිලාන් ඊලඟට තෝරා ගත්තෙ මිල්ටන් මල්ලවාරච්චි මහතා ගයන "තරහා වනු එපා " කියන ගීතය.. මං ඒක මගෑරලා කතාවට හැරුනා..


"අපි ඉස්කෝලෙ ගිය කාලෙ මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයා අපේ කැමතිම ගායකයන්ගෙන් කෙනෙක්...යාලුවො එකතු වෙන බොහෝ වෙලාවල් වල අපි කිව්වෙ එයාගෙ සිංදු..."


 "ඒ අතරින් මේ ගීතය හරි විශේශයි.මං හිතන්නෙ මේක ටිකක් උපහාසය, දුක ගැබ් වෙලා තියෙන ගීයක්.. කාලෙකට පස්සෙ දකින තමන්ගෙ යෙහෙලිය තමන්ව අඳුනන්නෙ නෑ වගේ ගියාම ඒක අඳුනා ගැනීමේ වරදක් වෙන්න ඇති කියල ලියැවිලා තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති..."


"මං මුලින් කීව මගේ පාසල් කාලෙ ලඟම යාලුවො පස්දෙනාගෙ අතර හිටියා බොහොම දඟකාර යෙහෙලියක්.සාමාන්‍ය පෙනුමක් ඇති ඉගෙන ගන්න දක්ශ ලමෙක්. නමුත් කරපු බොහොමයක් වැඩ පිරිමි ලමයි කරන ජාතියෙ ඒවා..අපි දෙන්නම ගියෙ එකම ටියුශන් ක්ලාස් ටිකක් නිසාත්, එයා මගේ ප්‍රේම සම්බන්ධයට උදව් කරපු නිසාත් අනිත් යෙහෙලියට වඩා කාලයක් අපි දෙන්නට කතා බහ කරන්න අවස්ථාව හම්බුණා.. ඒ වගෙම යාලුවෙක් විදියට එයාව ආරක්ශා කරන්න ඕන තැන් වලදි දෙපාරක් නොහිතා මම ඒ වෙනුවෙන් හිටියා. මම විතරක් නෙවෙයි.අපේ අනිත් යාලුවො ටිකත් එහෙම තමයි..."


"උසස්පෙල විභාගය ලියපු අන්තිම දවසෙ අපි අපිට පොරොන්දු උනා මැරෙනකන් ඒ යාලුකම තියාගන්නවා කියලා.විභාගයෙන් පස්සෙදිත් අවුරුදු ගණනාවක් අපේ යාලුකම තිබ්බා. එයා ඇත්තටම මගේ වයිබ් එකේ ලමෙක්. පාසල් ප්‍රේමවන්තිය හරිම තැම්පත් කෙනෙක් නිසා පාසලේදි අපි කරපු පිස්සු වැඩ වලට සගභාගී උනේ මේ යාලුවා."


"ප්‍රේමවන්තියගෙ රැවටිල්ලට අහු වෙලා මං විඳවද්දි දවසක් නෑර මට කෝල් අරන් කෑම කන්න බල කරපු ඒ වෙනුවෙන් කොන්දේසි දාපු පුදුමාකාර චරිතයක්.මං හැරෙනකොට ඒ මොකටද කියන්න, මගෙ කටහඬින් මං ඉන්නෙ ප්‍රශ්නෙකද නැද්ද කියන්න පවා ඇයට සුවිශේශ හැකියාවක් තිබ්බා. අවුරුදු ගණනාවක් පුරා  සිංහල අලුත් අවුරුද්දට ගනු දෙනු කරන නැකතෙන් පස්සෙ මුලින්ම සුභ පතා ගත්තෙ අපි දෙන්නා.."


"ඒ යාලුකම ඇහුවම ඉරිසියා හිතෙනවා ඩිලාන්.."


"ඔව් සාවිත්‍රී එකම වයිබ් එකේ ඉන්න දෙන්නෙක්ගෙ යාලුකම ගැන ඉරිසියා හිතෙන එක සාධාරණයි.. ඩිජිටල් ලෝකෙ අතරමං වෙලා ඉන්න වර්තමාන පාසල් දරුවන්ට සාපේක්ශව අව්‍යාජ යාලුකම් අපේ කාලෙ තිබ්බා.. අපි සෝශල් මීඩියා වෙනුවට පාවිච්චි කලේ පොත් පත්.. ඒවයෙ තිබ්බ දේවල්, පොතක් කියවලා රසවිඳින්න අපිට තිබ්බ සංයමය නිසා අපේ ඇතුලෙ හිටිය සංවේදී මිනිස්සු අවදි වෙලා හිටියෙ.."


"කොහොමින් හරි....., ටික කාලයක් යද්දි මැරෙනකන් යාලුකම් නොවෙනස් ව තියාගන්නවා කියලා පොරොන්දු උන අපිට අපිව මග ඇරෙනවා.. මං හිතන්නෙ විවාහයත් එක්ක ඇය හිතා මතා එහෙම කරනවා.. අවසානයේ දුරකතන අංකයක් වත් ලඟ නැති තරම් අපි දුරස් වෙනවා."


"ඉඳලා හිටලා දවසකට මට මගේ යෙහෙලියව හීනෙන් පේනවා.. එහෙම දැක්ක දවසට මම ඒ අය හොඳින්ද කියලා අහලා මැසෙන්ජර් පණිවිඩයක් තියනවා.. ඇයගෙ උත්තරය වෙන්නෙ සනීපෙන් ඉන්නවා කියන එක.ඉන් පස්සෙ එයා මගෙන් අහනවා මම හොඳින්ද කියලා.මමත් ඔව් කිව්වම අපේ කතා බහ ඉවර වෙනවා..."


"මේ එකම පණිවිඩ ටික පහු ගිය අවුරුදු දහයක් පහලවක් තිස්සෙ අවුරුද්දට කීප වතාවක් ගානෙ අපි අතර හුවමාරු වෙනවා.."


"තේරුම් ගන්න බැරි නිහැඬියාවල් දිහා උපහාසයෙන් බලනවා ඇරෙන්න වෙන දෙයක් නෑ සාවිත්‍රී.. අපි අතර තිබ්බ යාලුකමේ  හැටියට අපිට ඕනිම දෙයක් කෙලින් කතා කරන්න බා‍ධාවල් තිබ්බෙ නෑ.. කා අතින් හරි අනිත් කෙනාට වරදක් උනා නම් ඒ ඇයි කියලා අහන්න බැරි කමක් අපිට තිබ්බෙ නෑ "


"මං ඒ නොස්ටැල්ජික් මතක දිහා උපේක්ශාවෙන් බලන් ඉන්නවා.. කොටින්ම මම මගේ යාලුවා විදියට හිතන් ඉන්නෙ අන්තිමට මම දකිද්දි හිටිය කෙනාව.. සරලව ජීවත් උනු, මේකප් නැති, කොන්ඩෙ පාට නොකරපු කෙනාට.."


"ඒ කියන්නෙ ඔයාගෙ යාලුව එයාගෙ පෙනුම ගොඩක් වෙනස් කරගෙන වගේ?"


"මං එහෙම දකිනව සාවිත්‍රී..එයා දැන් පවත්වාගෙන යන පෙනුම කිසිම ගැලපීමක් නෑ කියලා එයාගෙ මහත්තයා ට වත් කල්පනා වෙන්නෙ නැතුව ඇති..ඒත් වැඩිහිටි  ජීවිත වල හොඳ නරක කියලා දෙන්න තවත් අවශ්‍ය නෑනෙ.."


"ඒ යාලුකම්, අපි කරපු පිස්සු වැඩ නිසා ඒ මතක අමතක වෙන්නෙ නෑ සාවිත්‍රී ... මං ඒ මතක එක්ක ජීවත් වෙනවා.."


Saturday, November 30, 2024

ප්‍රකම්පන - 5 කොටස



චන්දිමාගෙ ෆෝන් එක රින් වෙන එක මොහොතක් වත් බලන් ඉන්න තරම් ඉවසිල්ලක් මට තිබ්බෙ නෑ.. ගතවෙන නිමේශයක් පාසා මම චන්දිමාට හිතෙන් දොස් කීවා..

එහා  කොනෙන් චන්දිමා ෆෝන් එක කනේ තියාගන්න පරක්කුවට මම මගේ ප්‍රශ්න ටික ලිහලා දැම්මා..


"චන්දිමා උඹට මතකද උඹගෙ බර්ත්ඩේ පාටි එක දවසෙ මුණ ගැහුන මනුස්සෙක්ව මම ප්‍රෝග්‍රෑම් එකට ගත්තා.. ඩිලාන් කියලා..?"

 

"ඇත්තටම ඒ කවුද චන්දිමා? "

"එයා ඔයාගෙන් මොන වගේ ලෙඩකටද බෙහෙත් ගත්තෙ??"


"සාවී.., මොකද කලබල වෙලා? මොකක්ද ප්‍රශ්නෙ?"


"ඩිලාන් ඔයාගෙන් බෙහෙත් ගත්තෙ මොන වගේ ලෙඩකටද කියන්නකො චන්දිමා.. ඔයා එයාව දන්නෙ කොහොමද?"


"මං අවුරුදු කීපයක ඉඳලා ඩිලාන්ව දන්නවා බං.. එයාට නින්ද යන්නෙ නැති ගැටලුවක් තියෙනවා කියලා මගෙන් ට්‍රීට්මන්ට් ගන්නෙ.. ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එකේදි කියපු කතා ටික මගෙත් එක්ක කියලා තියෙනවා.. ඒ නිසා තමයි එයා ගෙ ගැටලුව තියෙන්නෙ. හරියටම කියනවා නම් ඩිලාන් හයි ඩීප්‍රෙශන් සිටුවේශන් එකක ඉන්නෙ ..මාසෙකට වතාවක් විතර ඇවිත් මගෙත් එක්ක කතා කරලා බෙහෙත් අරන් යනවා..එයා හරි හොඳ මනුස්සෙක්. අතීතය ගැන කල්පනා කරන්න එපා කිව්වට එයාට එතනින් ගැලවෙන්න අමාරුකමක් තියෙනවා. "


මං හිතන්නෙ මගේ හිතට සැනසිලිදායක උත්තරයක් චන්දිමාගෙන් හම්බුණා..බරපතල මානසික ව්‍යාකූල කමක පැටලුන මනුස්සෙක්ව ප්‍රෝග්‍රෑම් එකට ගෙන්න  ගත්තා කියන ලේබලය වැදුනොත් මම මේ වෙනකන් පවත්වාගෙන ආව මගේ ප්‍රමිතිය කුඩු පට්ටම් වෙලා යනවා. 


ඒත්... , ඒත් මට තිබ්බෙ ප්‍රෝග්‍රෑම් එකේ තත්වයට හානි වෙයි කියන බය විතරක්ම ද.. ?


මං පියවි සිහියට ආයෙමත් ඇවිත් හෙඩ් සෙට් එක දාගන්නකොට ඩිලාන් තෝර ගත්තු ඊලඟ සිංදුව අවසන් වෙන්නත් ලඟයි..


"දිල්හානී දුව නී.. නාඬා නිදියන්නේ.. "


"ඩිලාන් ඔයාට ඒ ගීතයත් එක්ක තියෙන මතකය මොන වගේද...?"


"විවාහක යුවලකට තමන්ගෙ විවාහයෙන් පස්සෙ තියෙන ලොකුම බලාපොරොත්තුව දරු සුරතල් විඳින එක සාවිත්‍රී.., ටිකෙන් ටික අපි පරිණත වෙද්දි දරු උණුහුම කියන සැනසිල්ල කොයි තරම් වටිනවද කියලා දැනෙන්න ගන්නවා.. ඉතිං විවාහයෙන් වසර කීපයකට පස්සෙ මමත් මගේ බිරිඳත් දරුවෙකු ගැන හීන මවන්න පටන් ගන්නවා.. ඇත්තටම අපි දෙන්නම පුංචි දරුවන්ට හරි ආදරෙයි.."


"මාස කීපයක උත්සාහයෙන් පස්සෙ බිරිඳ ගැබ් ගත්තු බව අපි දැන ගන්නවා.. ඒ දවසෙන් පස්සෙ අපි තවත් වගකීමෙන් වැඩ කරන්න පටන් ගත්තා.."


"හැබැයි මම කලින් කිව්වා වගෙම ඒ වෙද්දි මම ව්‍යාපාර බංකොලොත් වෙලා ණය කන්දක හිර වෙලා ඉන්න කාලයක්.. බිරිඳ රැකියාව කරන ගමන් ඇයගේ වැටුපෙන් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙක් මුණ ගැහිලා උපදෙස් ගත්තා.. අපි කොහොමත් සැලසුම් කලේ රජයේ රෝහලකදි දරු උපත සිද්ද කරන්න.."


"කිරි හීන එක්ක අපේ ලෙයින් ජාතක උන සිඟිත්තිය බිරිඳගෙ කුස ඇතුලෙ දවසින් දවස  හොඳින් වැඩෙමින් හිටියා.."


"මං හීන ගොඩක සහනය විඳිමින් හිටියෙ.." 


"මගේ සිඟිත්තිය එක්ක රටපුරා ඇවිදින්න.. "


"ඇයට ලෝකය ගැන කියලා දෙන්න.. ,"


"වෙනකක් තියා ඇය වැඩිවියට පත් උනාම චාරිත්‍ර ඉශ්ට කරන ඒ සංස්කෘතික පසුබිම ඇයට කියලා දෙන්නෙ කොහොමද කියන එක ගැන පවා මම හිතූවා.."


"ජීවිතේ කියන්නෙ මල් යහනාවක් නෙවෙයි සාවිත්‍රී.. .මම මගේ දෛවය වෙනස් කරන්න පුදුම තරම් මහන්සි උන මනුස්සෙක්... ඒත් සටනකින් පස්සෙදි හරි අපිට කර්මයට මුහුණ දෙන්න ම වෙනවා.."


"කුසට  මාස හයක් විතර වෙද්දි එක්තරා දවසක බිරිඳගෙ අතකුත් කකුලකුත් හිරි වැටෙන්න  ගත්තා.. ගැබ්නි කාලෙ ඔහොම සංකූලතා එන බව වැඩිහිටියො කියපු නිසා අපි ඒ දවස බලලා අඩුවක් නොවුන තැන පහු  වෙනිදා රෝහලට ගියා.."


"බිරිඳව රෝහලට ඇතුලත් කරගත්තු වෛද්‍යවරු පරීක්ශන කීපයකට පස්සෙ බිරිඳත් දරුවාත් අතර තියෙන සම්බන්ධක නහර වලින් සිද්ද වෙන ලේ ගමනාගමනය නතර වී ඇති බව සොයා ගත්තා.. ඒ අයගෙ තීරණය හදිසි සැත්කමකින් දරුවා බිහි කරන එක.."


"එවැනි කාලයක බිලිඳු දරුවන්ගේ පෙනහළු වර්ධනය වී නැති නිසා ඒවා හැකි ඉක්මණින් වර්ධනය වීමට අවශ්‍ය බෙහෙත් ගණනාවක් එන්නත් කරලා අධික  වේදනා සහිත සිසේරියන් සැත්කමකින් අපේ සිඟිත්තිය මේ ලෝකෙට බිහි උනා.."


"දරුවෙක් වෙනුවෙන් ගැහැනියක් මොන තරම් වේදනාවක්, අසරණකමක්, තනියම දරා ගන්නවද කියන එක හිතාගන්න බැරුව තියටර් එක ලඟ මම බලන් හිටියා.. "


"නොමේරූ දැරිය සතපවපු දැඩි සත්කාර වීදුරු කුටීරය අදාල ඒකකය ට අරන් යද්දි  රෝස පාට ඇඟිලි තුඩු දිහා බලලා මම අපමණ සතුටු උනා.."


"දන්නවද සාවිත්‍රී.., සැත්කමට පෙරාතුවත් ඉන් පස්සෙත් වෛද්‍යවරු, හෙදියන් හැමෝම දරුවගේ ජීවත් වීමේ සම්භාවිතාවය 50:50 බව කියද්දි අපි හැමෝම ඒ අය එක්ක කේන්ති ගත්තා.. කුලුඳුලේ උපදින සිඟිත්තියට කරදරයක් නොවෙන්නයි කියලා බාර හාර නොවුන පංසලක්, දෙවියෙක් හෝ දේවාලයක් ඇති කියලා මම හිතන්නෙ නෑ.. ඒ වෙලාවට මිනිස්සු අන්ත අසරණ තත්වයට පත් වෙනවා... "


"මොන තරම් උගත් කෙනෙක් උනත් ඒ වෙලාවට විද්‍යාවට එහා ගිය හාස්කම් වෙනුවෙන් දෙවියන් යදිනවා... දරු කැක්කුම ඒ තරම් විශාලයි සාවිත්‍රී.. හරි විසාලයි.."


"" ඩිලාන්... අපි බ්‍රේක් එකකට ගිහින් එමු..," 


හැඩි දැඩි මිනිසෙකුගේ දෑසින් කඳුලු කඩන් වැටෙන හැටි ජීවිතයේ පලමු වතාවට මම බලන් සිටියෙමි.. පපුවෙන්  පටන් ගත් විදුලි ස්ඵන්දනයක් ස්නායු පද්ධතිය හරහා ගොස් මොලය ගිනියම් කරන හැටි ස්ටූඩියෝවේ වායු සමීකරණය පරයා මට දැනෙන්නට විය.


"කමක් නැහැ සාවිත්‍රී.., අපි මේ මතකය සම්පූර්ණ කරලා ඉමු.."  


පරාජිත එහෙත් පැහැදිලි හඬින් ඔහු නැවත ආරම්භ කලේය..


"දවස් හතරක සටනකින් පස්සෙ, මූසල දවසක මැදියම් රැයක අපේ පුංචි කුමාරිකාව පරාජයට පත් වෙනවා.. ප්‍රසූතියට ආසන්න ගැබිනි මව් වරුන් ඉන්න රෝහල් වාට්ටුවක කොරිඩෝවකට වෙලා මම බිරිඳව තුරුලු කරන් පැය ගණනාවක් ඇඬුවා සාවිත්‍රී.., "


"දරුවා වෙනුවෙන් දෙතනින් එරුනු කිරි නිදහසේ බිරිඳගෙ ඇඳුම් තෙත් කරද්දි ඇය දෝරෙ ගලායන තරම් ඇඬුවා.. අපේ අසරණකම ගැන අපිටම දුක හිතුනා....ඒ හැඟීම දරාගන්න හරි අමාරුයි..ඊටත් වඩා මට බිරිඳ ඉස්සරහා මගේ දුක පිට කරගන්න බැරුව ලත උනා..මං හීන දැක්ක අනාගතය හැබෑ නොවෙන දුකට මගෙ ඇහෙන් කඳුලු වැටුනා නම් බිරිඳ තවත් කඩා වැටෙනවා..                         


"මට එවෙලෙ මොනවා කරන්නද කියන හැඟීමක් තිබ්බෙ නෑ.. මං වෙනුවෙන් මගේ මිත්‍රයන් හැකි ඉක්මණින් එයි කියන බලාපොරොත්තුවෙන් මම එස් එම් එස් එකක් යැව්වා.. බිරිඳගේ හිත ශක්තිමත් කරන්න නම් මම ඇයව දරාගන්න ඕනිමයි.. ඒත් අභ්‍යන්තරයෙන් මම සම්පූර්ණයෙන් ම කඩන් වැටිලා හිටියෙ.. යාලුවො ඇවිත් මගෙ ලඟින් ඉඳියි කියන කාරණාව මම ලොකුවට බලාපොරොත්තු උනා.."


"පහුවෙනිදා උදේ හත අට වෙද්දි ආරංචිය ලැබුණ නෑදෑයො බොහෝ දෙනෙක් රෝහලට ආවා... ඒ වෙද්දි අතේ තිබුණු මුදල් සියල්ලම ඉවර වෙලා මම හිටියේ.. අලුත උපන් බිලි‍ඳියට අවශ්‍ය රෙදි ගන්න ලෝභ නැතුව මම අතේ තිබුණු මුදල් වියදම් කරලා පැය හතලිස් අටක් ගත වෙලා තිබුණෙ නෑ එතකොට.."


"මෙහෙම වෙලාවක මිනිස්සු කොහොම අසරණ වෙනවද  කියල මට හිතාගන්න බෑ ඩිලාන්.. ඔයා කොහොමද හොඳ සිහියෙන් මේ දේවල් මැනේජ් කරගත්තෙ..?"


මනුස්සෙක්ගෙ ජීවිතයට මේ තරම් සංවේදී දේවල් එක පිට එක වෙන එක කොයිතරම් අවාසනාවක්ද ... මගේ උගුර හිර වෙලා කතා කරගන්න අපහසු වෙන්නෙ ලොකු දුකක් දැනුන වෙලාවට.. ඩිලාන්ගෙ මේ මතකය මාව  ලොකු අපහසුතාවයකට පත් කලා.. කෑ ගහලා අඬන්න හිතෙන තරමට දුකක් උනත් ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙ මට එහෙම කරන්න අවකාශයක් නෑ.. ඒත් කඳුලු නතර කරන්න ක්‍රමයක් මං දැනන් හිටියෙ නෑ.. ඇස් වලට මෝදු වෙච්චි කඳුලු කැටි දෙක තුනක් මික්සර් එක ලඟට වැටුනම තමයි මට ඒ ගැන කල්පනා උනේ...


"ඉතිරි වැඩ කටයුතු වලට මුදල් අවශ්‍ය උනොත් මගේ යාලුවො ඒ වෙනුවෙන් යමක් කරයි කියන බලාපොරොත්තුව නිසා තමයි මම වැඩිමනක් ඒ මොහොතට යාලුවන්ව බලාපොරොත්තු උනේ.. විවාහයට අකමැති උන බිරිඳගේ පාර්ශවයෙ අය මම මුදල් නැතිව අසරණ වෙලා ඉන්න බව දැන ගත්තා නම් එවෙලෙදි නැතත් කොයිම වෙලාවකදි හරි බිරිඳට දොස් පවරණ බව මං දැනන් හිටියා..."


"අපි අපේ ජීවිත වල මිල මුදල් නිසා පුදුම විදියට අසරණ වෙනවා සාවිත්‍රී.., උප්පැන්න, මරණ සහතික එක්ක හෙම්බත් වෙලා හිටි මාව පැත්තකට අරන් ගිහින් එපා කියද්දි මගෙ මහප්පගෙ දුව  මට යම් මුදලක් දුන්නා.. ඇත්තටම හරි හමන් උසස් අධ්‍යාපනයක් ලබලා නැති ස්වයං රැකියාවක් කරමින් හිටිය එයාට ඒ අදහස කොහෙන් ආවද කියලා මට තවම හිතා ගන්න බෑ..."


"යම් උපකාරයක් වෙනුවෙන් මං සංසාරිකව ස්තූතිවන්ත වෙනවා නම්, ඒ මේ සහෝදරිය කරපු උදව්ව සාවිත්‍රී.. ඒ මුදල නිසා ඒ මොහොතෙ මට ලැබුණ සහනය කොයිතරම් ද කියන්න මට වචන නෑ..."


"මට දුන්නු මුදලින් මිලදී ගත්තු පුංචි පෙට්ටියක සතපවලා අපේ පුංචි කුමාරිකාව සුසාන භූමියට අරන් ගියෙ මේ අත් දෙක උඩ තියාගෙන සාවිත්‍රී... මේ ලෝකෙ අම්මෙක්ට තාත්තෙක්ට කිසිම දවසක ඒ වගේ අවාසනාවන්ත අවස්ථාවට මූණ දෙන්න නොලැබේවා කියන එක තමා මගෙ එකම ප්‍රාර්ථනාව..."


"සියලු සන්තෑසි අහවර වෙලා, බලාගත්තු අත බලන් හිටපු දවල් එකට විතර අර මගේ ල‍ඟින්ම ඉඳීවි කියලා හිතපු යාලුවො ඇවිත් සිද්ධ වෙච්චි දේ කියලා කෝල් නොකරපු එකට මට දොස් කීවා.."


"හවස් වෙද්දි මට සිහිය විකල් වෙනකන් මත් පැන් පානය කරලා හිත නිදහස් වෙනකන් අඬන්න උවමනාව තිබ්බා. දවල් දවසම තොල කට විකාගෙන මම අවශ්‍ය කරන සියලු රාජකාරි කලා.. බිරිඳව ශක්තිමත්ව තියන්න අවශ්‍ය නිසා ඇය ඉදිරිපිට මම ධෛර්‍යවන්තව පෙනී හිටියා.එයාට කෑම ගෙනිහින් දුන්නා.. "


"අවාසනාව කොයි තරම්ද කියනවා නම් කතා කරපු කිසිම යාලුවෙක් ට හවස මං ඉන්න තැනට එන්න හැකියාවක් තිබ්බෙ නෑ.. සමහරවිට එන්න උනන්‍ඳු නොවුනද මංදා.. අර අක්කා දුන්න මුදලින් ඉතිරිය අරන් මම ජීවිතේ පලවෙනි වතාවට තනියෙන් මත් පැන් පානය කලා.."


"මේ තියෙන්නෙ මරණ සහතිකය වෙනුවෙන් කලබලේ මම අපේ කුමාරිකාවට දාපු නම.. "


ඩිලාන් ඔහුගේ දකුණු අතේ ඇතුල්  පැත්තේ තිබූ පච්චා සටහනක් මට පෑවේය..


රේඛාවන්ගෙන් සටහන් කල මවටත් පියාටත් මැදිව සිටි සිඟිත්තියකගේ සටහනට පහලින්


"Hope Abeysinghe ❤️ "ලෙස සටහන් කර තිබුණි. 


සිඟිති දියණියත් , අවාසනාවන්ත ඇගේ දෙමව්පියන් වෙනුවෙනුත් නැගුනු සංතාපය නිසා බිඳුනු හඬින් මම නම කියවීමි..කියවා මයික්‍රෆෝනය වසා දැමීමි..


Friday, November 29, 2024

ප්‍රකම්පන - 4 කොටස


"ඩිලාන් ඔබ තෝරාගත්තු ගීත සහ ඔබේ කතාව අහද්දි මට හීතෙන්නෙ ඔබ ජීවිතයේ බොහෝම හැල හැප්පීම් ගොඩකට මූණ දුන්න කෙනෙක් වගේ...? "


"ඔයත් ඇතුලුව මේ වැඩසටහන අහන් ඉන්න අය දැනට දන්නෙ මගේ ජීවිතයෙන් කොටසක් විතරයි සාවිත්‍රී.., මම අද වෙනකන් සිදුවීම් සියල්ල පෙලගස්වලා තියෙනවා.. වැඩසටහන අවසන් වෙද්දි ඔයාට ඒ ඔක්කොම දැනගන්න පුළුවන් වේවි..මං ආසයි අවසානයේ ඔය අය ඒ ගැන විනිශ්චයකට එනවට... "


" හොඳයි...ඔබ මුලින් ඔබේ මව වෙනුවෙන් ගීතයක් තෝරාගත්තා.යහලුවන්ට සහ ආදරය කරපු කෙනා වෙනුවෙන් ගීත තේරුවා. . ඔබේ ඊලඟ තෝරා ගැනීම මොකක්ද?"


"නිසැක වශයෙන්ම එය මගේ බිරිඳ වෙනුවෙන් සාවිත්‍රී... , මගේ ජීවිතයට ලැබුණු ජයග්‍රහන පෙලගස්වන්න කිව්වොත් මම අංක එකට තියන්නෙ ඇයව.. ඇය නිසා මගේ ජිවිතයට ලැබුණ පහසුව මේ තරම් කියලා කියන්න බෑ...යහලු මිත්‍රයන් විවාහ ජීවිතය කටු ඔටුන්නක් කියලා කියද්දි මම ඒ ජීවිතයෙ සතුට වින්දා.. සමහරු හිතේ පීඩනය නැති කරගන්න අරක්කු සිගරට් වලට යොමු වෙද්දි මම ගෙදර දිව්වා.. මගේ සැනසුම තිබ්බෙ බිරිඳ ලඟ.."


"මගේ බිරිඳව මම විවාහ කරගන්නෙ ප්‍රේම සම්බන්ධයකින්.. ඒ විවාහයට ඇගේ දෙමව්පිය පාර්ශවයෙන් කිසිම කැමැත්තක් ලැබුනෙ නෑ.. නමුත් අපි එක අදහසක සිටි නිසා අවසානයේ  ඒ අයට අපට එකඟ නොවී ඉන්න බැරි උනා.. ඒ වෙද්දි මම ව්‍යාපාරයක් කරන කාලයක්. ඇයගෙ දෙමව්පියන් බලාපොරොත්තු උනේ වෛද්‍යවරයෙක් හෝ ඉන්ජිනේරු වැනි සමාජයේ පිලිගත් කියලා සම්මත කෙනෙක්ට ඇයව විවාහ කර දෙන්න.. මට අකමැති වෙන්න හේතුව ඒක වෙන්න ඇති.."


"කොහොම උනත් අපි අපේ විවාහ උත්සවය ඉතාම හොඳින් කලා.සියලු දේ මුල ඉඳන් සැලසුම් කරලා නියම විදියට ඉවර කරගන්න අපිට පුළුවන් උනා. ඇගේ දෙමව්පියන්ට තිබ්බෙ අදාල දිනයට සහභාගී වෙන්න විතරමයි. කැවිලි වලට අවශ්‍ය වියදම්, කොටින්ම අදාල හෝටලයට එන යන වාහනය පවා අපි සූදානම් කරලා දුන්නා.."


"ඒ දෙමව්පියො තමන්ගෙ අකමැත්ත පෙන්නන්න කරපු ලොකුම දේ තමයි අපේ හෝම් කමින්  එක දවසෙ මනමාලිව නිකන්ම ගෙනත් භාර දුන්න එක. අපි කිසිම විදියකින් දෑවැද්දක් බලාපොරොත්තු උනේ නෑ.නමුත් යුතුකමක් හැටියට තමන්ගෙ දුවව තවත් ගෙදරකට ඇරලද්දි ඇඳක්, කණ්නාඩි මේසයක් ගෙනිහින් දෙන එක ඒ කාලෙ ඉතාම දුප්පත් මනුස්සයගෙ උනත් චාරිත්‍රයක්..ඒ අය ඒ විදියට අමනාපකම් පෙන්නුවට මගේ නෑදෑයො හැමෝම ඇයව ඉහලින් පිලිගත්තා. මාස කීපයකට පස්සෙ මගේ අම්මා තමයි ඇයට අල්මාරියක් අරන් දෙන්න.."


"තමන්ගෙම  දෙමව්පියන්ගෙ හැසිරීම නිසා මගේ බිරිඳ අපහසුතාවයට පත් උන්නාද කියන්න මම තවම දන්නෙ නෑ.. ඒත් මමවත් මගේ පවුලෙ අයවත් ඒ කිසි දෙයක්  ප්‍රශ්නයක් උනේ නෑ..."           


" විවාහයෙන් අවුරුදු දෙකක් විතර ගත වෙද්දි මගේ ව්‍යාපාර අවුල් සහගත තත්වයකට යන බව පෙන්නුම කරන්න පටන් ගත්තා.. ඒක පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මුදල් සොයා ගන්න එක තමා ලොකුම අභියෝගය උනේ. මුල් කාලෙදි හිතවතුන්ගෙන් දින කීපයකට අතමාරු කරගත්තු මම ටිකෙන් ටික බැංකු ණය, පොලී මුදලාලිලා අතර හිර උනා.. අවසානයේ බිරිඳ ඇය විසින්ම මිලට ගත් රන් භාණ්ඩ, කොටින්ම අපේ විවාහය දවසෙ පලන්දපු රන් මුදු පවා උකස් කරන්න සිද්ද උනා.."


" විශ්වාස කරන්න.... මේ සංතෑසි සියල්ල විවාහ නැකත් වෙනුවෙන් මගේ ජන්ම පත්‍රය පරික්ශා කල නැකත් කාරියක් කියලා තිබුණා.."


" විවාහයෙන් වසර හතරක් ගත වෙද්දි ණය කන්ද විතරක් ඉතිරි කරලා මගේ ව්‍යාපාර සියල්ල වසා දැමුණා.."


" ව්‍යාපාර හොඳින් ගලාගෙන යන කාල වලට වඩා සියල්ල නැති වෙද්දිත් බිරිඳ මාව දරාගෙන උන්නා.. රැකියාවෙන් ඇය උපයන මුදල් පවා මං වෙනුවෙන් වියදම් කරමින්, ලක්ශ ගණනින් පොලී මුදල් ගෙවන්නට සහය වෙමින් ඇය ඉටු කල කාර්‍ය , විශේශයෙන්ම ඒ අවබෝධය හා දරා ගැනීම තවත් ගැහැනියකට තියේවි කියලා මම හිතන්නෙ නෑ සාවිත්‍රී..."


" රචකයා මම වගෙම අසරණ තත්වයකට පත් වෙලා ඉන්න කාලෙක යෙදුන තමන්ගෙ බිරිඳගෙ උපන් දිනය වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතිව ඉද්දි ලියැවුන, පහු කාලෙක ලංකාවම ගෞරවයෙන් වැලඳගත්තු ගීතයක් තමයි මම ඊලඟට තෝරා ගත්තෙ.."


" පහු කාලෙක අපේ ජීවිත මොන විදියට වෙනස් උනත්, මේ ගීතයෙ කියවෙනවා වගෙම,"


" ජී...විතයට මොනවා තිබුණද.., 

නෑ.. කිසිවාක් නුඹ වාගේ..."


ඔවුන්ගේ ආදරය වෙනුවෙන් නැගුනු කඳුලු කැට ඩිලාන්ගේ ඇස් අග නලියනවා මම බලන් සිටියෙමි... ගීතය වාදනය වූ වහාම මයික්‍රෆෝනය වසා දමා වැසිකිලිය කොහේ දැයි අසන්නට තරම් ඔහු ඒ මතක වලින් හැඟීම්බර වන්නට ඇත..


ඔහු පිලිවෙලකට ඔහුගේ කතාව ගොඩ නංවමින් සිටියද අපැහැදිලි තැන් අතෝරක් ඇති බව මගේ සිත කෑ ගසන්නට විය.. ඕනෑ තරම් අය සමග මම මගේ වැඩසටහන මෙහෙයවා ඇතත් ඩිලාන්ගේ කතාව ඉදිරියේ මම අපහසුතාවයට පත්ව සිටියෙමි.. මා කුඩා කල පාසල් යෑමට අවශ්‍ය දේ සපයා දෙන්නට මගේ පියා මොන තරම් නම් පීඩනයක් උහුලන්නට ඇත්ද.., ඔහුත් මවත් අතර සතියකට වරක් දෙවරක් ඇවිලුණු ගිනි නිසා ඔහු කොයි තරම් නම් විඳවන්නට ඇත්දැයි මට සිහියට නැගිනි.. ඩිලාන්ගේ බිරිඳ මෙන් අපේ අම්මාත් තාත්තා ලඟින් සිටියා නම් අපි කොයි තරම් ප්‍රීතිමත් පවුලක් වෙන්නට තිබුණාද..,


ඩිලාන්, තැනින් තැන සුදු පැහැ ගැන්වුනු කැරලි කොන්ඩය යම් තරමක් වැවෙන්නට හැර පිටුපසට පීරා ඇත. මුණ පුරා වැවුණු රැවුල, නියමිත ප්‍රමාණයෙන් පවත්වාගෙන ඇත.තද කොල පැහැති ඩබල් පොකට් කමිසයේ වැලමිට තෙක් අත් නවා ඇත.ක්‍රීම් පැහැයට හුරු කොට්න් කලිසමට ගැලපෙන සපත්තූ ජෝඩවක් පැලඳගෙන ඇත.දකුණතෙහි ඔහුගේ පාසලේ නම රැඳි බෑන්ගලයකි..රිදී මෙන් පෙනුම ඇති අත් පලඳනාවක් බෑන්ගලයට තනි රකින්නට සිටී.වමතෙහි ඔරලෝසුවකි..උස අඩි හයක් හෝ ඊට ආසන්න වන්නට ඇත..මේ එදා චන්දිමාගේ නිවසේ සාදයේදී මට මුණ ගැසුණු ඩිලාන්මය. ඒ ඇඳුම් කට්ටලයමය..



මේ මිනිසා දෙස බලන කිසිවෙකුත් ඔහු මේ තරම් කතාවක් ඇති කෙනෙකු යැයි සිතන්නේ නැත..ඔහු මිනිසුන් අතරදී සාමාන්‍ය මිනිසෙකු මෙන් කටයුතු කරමින් සිටී.. අභ්‍යන්තරය දැවෙද්දී ඒ පීඩනය බාහිරට නොදැනෙන්නට කටයුතු කරන්නට ඔහු මහත් වෙහෙසක් ගන්නට ඇත...


දෙයියනේ චන්දිමා!!!!!


චන්දිමා ප්‍රියදර්ශනී 

මනෝ වෛද්‍ය උපදේශක

MBBS (colombo)


චන්දිමාගෙ පීපී එක ඉස්සරහ තිබ්බ බෝඩ් එක මට මැවි මැවී පෙනුනා.. දෙයියන්නටම ඔප්පු වෙන්න මට ඒ ගැන සිහිකල්පනාවට ආවේම නැති හැටියක්.


එතකොට ඩිලාන්.., ??


Thursday, November 28, 2024

ප්‍රකම්පන - 3 කොටස


"සාවිත්‍රී.., මං තෝරා ගත්තු ගීත එකතුවේ මීලඟ ගීතය මම වෙන් කලේ මගෙ ආදරය වෙනුවෙන්..."


බ්‍රේක් එකකින් පස්සෙ ඔන් එයා ගිය ගමන් පුරුදු කාරයෙක් වගේ ඩිලාන් කිව්වම මම ටිකක් පුදුම උනා..කැමරා ඉදිරියෙ අවුරුදු ගණනාවක් ර‍ඟපෑම් කල සමහර ප්‍රසිද්ධ චරිත වලටත් වඩා හොඳට මේ ආරාධිතයා ස්ටූඩියෝ එකට හුරු වෙලා තිබ්බා..



"මගේ පලවෙනි ආදරය මට මුණ ගැහෙන්න පාසල් යන කාලෙදිමයි.. ඇය ඉතාම හුරු බුහුටි හරිම පිලිවෙල කෙනෙක් ඒ කාලෙ.මම ඇතුලුව සම වයසෙ හිටි හැමෝම හිතුවෙ ඒ වගේ පෙනුම සහ ඉගෙන ගන්න දක්ශ කෙනෙක් කා එක්කවත් පෙම් සබඳතාවයකට එකඟ වෙන එකක් නෑ කියන එක.ඒ කාලෙ මගේ පෙනුම එක්ක මම වගේ කෙනෙක්ට එයා කොහොමටවත් කැමති වෙයි කියලා හිතන්න  බෑ.. "


"දෛවයේ මුණුගැස්වීම් හරි පුදුම සහගතයි සාවිත්‍රී.. "


"අර කැමති වෙන්න කිසිම හේතුවක් නොතිබ්බ කෙනා අහම්බයෙන් වගේ උසස් පෙල පංති වලදි මගේ එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න කැමති වෙනවා...ගොඩාක් අය විශ්මයෙන් අපි දිහා බලද්දි අපේ සම්බන්ධය ගලාගෙන ගියා.ඇත්තටම ආදරේ කරනව කියන්නෙ මොකක්ද කියලා හරි අදහසක් අපිට ඒ කාලෙ තිබ්බා කියලා මම හිතන්නෙ නෑ..අපි ඒ කාලෙ කලේ ඉඩක් ලැබෙන වෙලාවට ආගිය තොරතුරු කතා කරපු එක.."


සුන්දර අතීතය සිහිපත් කරන හැම විටම ඩිලාන්ගේ ඇස් දීප්තිමත් ව බැබලුන හැටි මට ආයෙමත් සිහිපත් විය. එක එල්ලේ මගේ දිහා බලාගෙන ඔහු බොහොම සැහැල්ලුවෙන් වැඩසටහන ට සහභාගී වෙද්දී මම වික්ශිප්ත වී සිටියෙමි... මේ ඔහුගේ පලමු ගුවන් විදුලි වැඩසටහන යැයි කීම බොරුවක් විය හැක. එසේ නොමැති නම් නුපුරුදු පුද්ගලයෙකුගෙන් මෙවැනි හැසිරීමක් දැකිය හැකි නොවේ..


"සම්බන්ධය පටන් අරන් මාස දෙක තුනක් ගත වෙද්දි ඇයට එය නතර කරන්න උවමනා වෙනවා..මං හිතන්නෙ පෙම්වතියක් වීම ඇයට අමතර බරක් වෙන්න ඇති.. නමුත් ඒ සම්බන්ධය නිසා ඇයට එක වාසියක් ලැබුණා.අපේ සම්බන්ධය දැනගත්තු එයාගෙන් ආදරය පැතුව පිරිමි ලමයි ආයෙ එයා පස්සෙන් ආවෙ නෑ..."


" කිසිම කෙනෙක් බලෙන් ලඟ තියා ගන්න උවමනා නෑ කියලා විශ්වාස කරපු මම හිතේ කනගාටුවෙන් උනත් සම්බන්ධය නතර කරන ඉල්ලීමට එකඟ වෙනවා.. "


"ඔය සිද්ධියෙන් පස්සෙ ඒ වෙද්දි මම පුරුදු වෙලා හිටිය පාන්දරින් පාසලට යන්න තිබ්බ උනන්දුව මගෙන් නැති වෙලා ගියා.මොකද තවදුරටත් පාන්දරින් පාසලට ගිහින් ගුඩ් මෝනිංග් කියන්නවත්, ගෙදර මල් වැලෙන් කඩා ගනිපු පිච්ච මලක් අතට දෙන්නවත් කෙනෙක් නැහැනෙ.... මූණෙන් උනත් ඒ අහිමිවීම පෙන්නුම් කරන්න ඇති.... ඒ නිසාමද කොහෙද සතියකට හෝ දෙකකට පස්සෙ නැවතත් ඇයම කිසිම දෙයක් සිද්ද නොවුන ගානට මගෙත් එක්ක කතා කරන්න පටන් ගන්නවා...ඇයට මම දුකෙන් හිටි හැටි දරාගන්නට අපහසු වෙන්න ඇති.., එහෙමත් නැත්තම් එයාගෙ හැසිරීම නිසා තව කෙනෙක් දුක් වෙනවා කියන එක වරදක් කලා වගේ දැනෙන්න ඇති.."


"දෙවෙනි වතාවටත් උත්සාහ කරපු උසස්පෙල විභාගයෙන් පස්සෙ විභාගය අසමත් උන මම රැකියාවක් හොයාගෙන යද්දි ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වෙනවා..මට තුන් වෙනි අවස්ථාවටත් උත්සාහ කරන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑ.. ඒ වෙද්දි පවුලෙ එකම ආදායම උන අම්මගෙ වෙලඳ සේවිකා රැකියාව අහිමි වෙලා එදා වේල පිරිමහ ගන්නත් අමාරු තැනක අපි හිටියෙ..."


"මම ආදර්ශමත් මනුස්සෙක් නෙවෙයි සාවිත්‍රී..මගෙ ජීවිතේ අඩු වැඩි වශයෙන් කලු , සුදු දෙවර්ගයම තියෙනවා... "


"පෙම්වතිය කිලෝ මීටර සියයකට වඩා ඈත නගරයක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දී මම   ගෙදර ඉ‍ඳන් රැකියාවට ගියා.. "


"රැකියාවට යන අතර තුර මුණ ගැහුනු ගැහැනු ලමයෙක් එක්ක නමක් නොදන්නා සම්බන්ධයක් ඇති උනේ මටත් නොදැනිමයි. .. ස්ථිර වශයෙන්ම ඒක ආදර සම්බන්ධයක් නෙවෙයි.. යෞවන කාලෙ ඇති වෙන හැඟීම් සහ ආසාවල් සංතෘප්ත කර ගන්න ඇති කරගත්තු සම්බන්ධයක්..මම ඒ වෙද්දිත් පෙම්වතෙක් බව මේ අලුත් හිතවතිය දැනන් උන්නා.."


"මුණ ගැහීම් කීපයකට පස්සෙ මට ඒ නමක් නොදන්නා සම්බන්ධය එපා වෙනවා.. ඒ වෙද්දි මගේ පෙම්වතිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා ආයතනගත පුහුණුවක ඉන්න කාලෙ.. මට එක්තරා දවසක නාඳුනන අංකයකින් දුරකතන ඇමතුමක් ආවා.. කාගෙද නමක් කියලා ඒ මමද අහන්න තමයි ඒ පුද්ගලයා කෝල් කරලා තිබ්බෙ.."


"අදාල කෙනා මම නොවෙන බව කියලා දුරකතනය විසන්ධි කරන්න යද්දි තමයි මම හරි කාරණාව දැන ගත්තෙ.ඒ කතා කරලා තිබ්බෙ මගේ පෙම්වතියගෙ පෙම්වතා.. ඔව් ඇය මගේ එක්ක අවුරුදු හතක ප්‍රේම සම්බන්ධයක් තියාගෙනත් තව කෙනෙක් එක්ක යාලු වෙලා තිබ්බා. ඒ වෙද්දි ඒ සම්බන්ධයට මාස හයක්.. ඔවුන් වැඩිපුර මුණ ගැහිලා තිබ්බෙ හෝටල් කාමර අස්සෙදි..පෙම්වතිය සති අන්තයේ නිවාඩුවට ගෙදර එන්න කලින් දවසෙ රැයත් ගෙදර ඉඳන් ගිය දවසෙ රැයත් ඔවුන්ට ඒකට ඉඩ හදලා තිබ්බා.."


"පාඩම් වැඩ වෙනුවෙන් අපිට කතා කරන්න තිබ්බ කාලයත් ඇයට දීලා පංති සාමාර්ථයක් එක්ක උපාධිය සම්පූර්ණ කරන්න දන්න තරමින් උපකාර කල, අවස්ථාව හදලා දුන්න මං වෙනුවට ඇය තෝරාගෙන තිබුණේ බස් රථයක කොන්දොස්තර වරයෙක්.. බීමත් කමට තදින්ම විරුද්ධ ඇය ඇගේ අලුත් පෙම්වතා බීමත්ව යතුරු පැදියෙන් යද්දි අත් අඩංගුවට ගත්තම දඩ මුදල් ගෙවන්නට මුදල් අරන්  තිබුණේ ඇගේ එදිනෙදා වියදම් වෙනුවෙන් මම මගේ වැටුපෙන් මාස්පතා මුදල් තැම්පත් කල ගිණුමකින්.."


"දමිත් අසංක කියන ගායකයා මේ ගීතයේ එක තැනක,  ඒ වේදනාව බර වැඩියි....  කියලා හරි හැඟීම් බරව ගයද්දි අදටත් මට මගේ පපුවේ යම් දෙයක් හිරවෙනවා වගේ දැනෙනවා..ඒ සිදුවීම දවස් ගණනක් රෑ අඩ නින්දෙන් මාව වෙව්ලව්වා.. හරියට මීට කලින් මම මතක් කරපු අවාසනාවන්ත සිද්දියෙදි වගෙම..."


"සාවිත්‍රි, මම අනුගමනය කරන බෞද්ධ දර්ශනයේ කියවෙන බොහෝ දේවල් ප්‍රායෝගිකයි කියලා මම විශ්වාස කරනවා.. අපි කරන කියන යම් දෙයක් වේද, එහි හොඳ හෝ නරක ප්‍රති විපාකය අපි පස්සෙන් එනවාමයි.."


"බෞද්ධ දර්ශනයේ කියවෙන දිට්ඨ දම්මවේදණීය කර්මය කියන එක මට බලපෑවෙ ඒ විදියට!.."


"මං හින්දා කවදාවත් කඳුලු සලන්න එපා..

නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා.. ඒ වේදනාව බර වැඩියි...

ඒ වේදනවා බර වැඩියි

එය නුඹට උහුලන්න බෑ..."


ඔලුව ඇතුල කම්මලක් වගේ සිතුවිලි හොල්මන් කරද්දි දමිත් අසංකගෙ හඬ මගේ කන් ඇතුලෙ දෝංකාර දෙන්න පටන් ගත්තා...මගෙ ඔලුවෙ වැඩ කලේම සයුරි එවපු මැසේජ් එක..ඉක්මණට එයා ඉන්න තැනට යන්න ඕන මම පැය එකහමාරක පරණ ප්‍රෝග්‍රෑම් එකක් අහන් ඉන්න කාරණාව මටම පැහැදිලි නෑ.. ගෙවුන දවස් කීපය තරම් මගේ ජීවිතේ කලබලකාර , පුදුම සහගත කාලයක් මම ගෙවලම නෑ..

Wednesday, November 27, 2024

ප්‍රකම්පන - 2 කොටස



ඒ විස්තරේ ඇහුවම මම වරද්ද ගත්තද කියලා මටම හිතුනා.ඩිලාන් කතා කරන්න ගත්තු පලවෙනි විනාඩි කීපයෙදිම මේ තරම් විවෘත උනා නම් ඉතිරි කාලය ඇතුලත තව මොනවා කියයිද කියන සාධාරණ සැකයක් ඇති නොවුනා නෙවෙයි. ප්‍රෝග්‍රෑම් එක ප්‍රොඩියුස් කරන නිශ්ශංකට ඩිලාන් ගැන කියලා එයාව ගෙන්න ගන්න ඇහුවම කිසි විරුද්ධත්වයක් නැතුව මට අවසර දුන්නත් දුලාංජලී නම් මට අනතුරු ඇඟෙව්වා..


"උඹේ ප්‍රෝග්‍රෑම් එක උඩින් තියෙන්නෙ සෙලිබ්‍රිටිලගෙ ජීවිත වල ඇතුලාන්තය දැන ගන්න මිනිස්සු ආස නිසා... එහෙම එකකට කවුරුවත් දන්නෙ නැති, බොහොම සාමාන්‍ය මනුස්සෙක්ව ගෙන්නගෙන ඕනවට වැඩි රිස්ක් එකක් ගන්න යන්න එපා.. "


"පීක් එකේ ඉද්දි උඹව වර්ණනා කරන එවුන්ම තමයි පොඩි වරදක් උනාම උඹව පාගලම දාන්නෙත්.., ෆීල්ඩ් එකේ අය ගැන උඹට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.."


මට දුලා ගෙ වචන ටික ආයෙ ආයෙත් ඇහෙන්න ගත්තා..


ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කලත් මම කවදාවත් ආරාධිතයන්ගෙ කතාව කලින් අහගන්නෙ නෑ.. එයාල තෝරගන්න ගීත කීපය ඉල්ලගෙන අදාල වෙලාවට මම ලෑස්ති වෙනව විතරයි.. ඒ ආරාධිතයන්ගෙ කතා වල තියෙන විශ්මය, දුක, සතුට මම සජීවීව ශ්‍රාවකයො එක්ක බෙදා ගත්තා.. සමහර දවසට ඇඬුනා, සතුටට හිනා උනා.. ඒ සජීවී අත්දැකීම නිසා සහ සමාජ මාධ්‍ය ජාල වල ප්‍රසිද්ධියත් නිසාම ටික කාලයකින් මම ලංකාවෙ ජනප්‍රියම වැඩසටහනක නිවේදිකාවක් උනා..


"ඩිලාන්..., මීලඟට ඔබේ තේරීම මොකක්ද? "


"සාවිත්‍රි..., මම පුංචි කාලෙ රූපවාහිනී නාලිකාවක අඹ යහලුවෝ කියලා කතාවක් ගියා.. වලව්වෙ හාමුගෙ පුතයි..වලව්වටම බැලමෙහෙවරකම් කරන මනුස්සයෙක්ගෙ පුතයි අතර තිබ්බ යාලුකම ගැන කියැවුන කතාවක්.මං තෝරගන්නෙ ඒ කතාවෙ තේමා ගීතය.."


"ඩිලාන් ඒ ගීතය තෝරා ගත්තෙ කතාවට තියෙන කැමත්ත නිසාද..?"


"මම ඒ ටෙලි නාට්‍යයට හරි ආසයි.. ඒක බලපු මුල්ම වතාවෙ ඒ ගැන හරි අවබෝධයක් නොලැබුණාට පහු කාලෙකදි මට තේරුණා ඒ කතාවෙන් කියන්න හදපු සමාජය ගැන.."


"ඒ වගෙම සාවිත්‍රි , මට මගේ පාසල් කාලෙ ඉඳන් ලඟින් හිටි යාලුවො කීපදෙනෙක් හිටියා.ඇත්තටම මම යමක් කමක් තිබ්බ පවුලක කෙනෙක් නෙවෙයි.සමහර මාස වලට පංති ගාස්තු ගෙවා ගන්න බැරි අවස්ථා තිබ්බා. ගෙදර තිබුණ අන්තිම හාල් ටික උයලා උදේට කාල රෑට කන්නෙ කොහොමද කියලා හිතපු දවස් තිබ්බා...මේ යාලුවො නිසා මට ඒ අමාරු කාලවල් ගෙවා ගන්න පහසු උනා. ඒ අය කවදාවත් මාව පහත් කරලා සැලකුවෙ නෑ.. අඩුම තරමෙ මං දිහා අනුකම්පාවෙන් බැලුවෙ නෑ.."


"මට ඒ යාලුවන්ගෙ ගෙවල් මගේම ගෙදර වගේ වෙලා තිබ්බෙ.."


"අවුරුදු ගානක් මම ඇන්දෙ ඒ අයගෙ ඇඳුම්.. කොටින්ම මගෙ මුල්ම රැකියාවට යන්න ඕනි කරන ඇඳුම් ටික පවා අරන් දුන්නෙ ඒ යාලුවන් ගෙන් කෙනෙක්.. ඒ උදව් අපේ රවුමෙන් පිට යන්න නොදී ඒ අය මගේ පෞද්ගලිකත්වය ආරක්ශා කලා.."


"මම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ගිය ද්විතීයික පාසලේම තමයි උසස්පෙල වෙනකන් ඉගෙන ගත්තෙ. එතනදි මට මගේ මිතුරු හවුලට තව සාමාජිකයො කීපදෙනෙක් මුණ ගැහෙනවා. අපි ඔක්කොම හයදෙනෙක්. ගැහැනු යාලුවො දෙන්නයි පිරිමි යාලුවො තුන්දෙනෙකුයි මමයි.. පාසල් කාලෙදි වගෙම ඊට පස්සෙදිත් අපි කොන්දේසි විරහිතව අපි වෙනුවෙන් පෙනී හිටියා.."


ඇත්තටම අඹ යහලුවො කියන්නෙ ඒ වගේ අයට.. කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී තමන්ගෙ ලඟ ඉන්න අය ගැන හිතන පිරිසක් ලබන්න මං හරි වාසනාවන්තයි සාවිත්‍රී... ඒ යාලුවො නොඉන්න මම මේ තත්වෙන් වත් යමක් ග්‍රහනය කරගන්න ඉගෙන නොගන්න තිබ්බා.. පාසල් කාලෙදිත් ඉන් පස්සෙදිත් යාලුවන්ගෙන් ලැබුන ශක්තිය  ලොකු යහපත් බලපෑමක් මගේ ජීවිතයට සිද්ද කලා..



" ඉතිං ඒ යාලුවන්ට, ඔවුන් මට දුන්න අව්‍යාජ මිත්‍රත්වයට උපහාරයක් විදියට තමයි මම මේ ගීතය තෝරා ගත්තෙ.."



Tuesday, November 26, 2024

ප්‍රකම්පන - 1 කොටස

ආරංචිය අරන් ආව එස් එම් එස් එක ලැබෙද්දි මං හිටියෙ ඔෆිස් එකේ ලිෆ්ට් එක ලඟ..යන්න ගිය ගමන පැත්තකට කරලා මං ආයෙම ඔෆිස් එක ඇතුලට ගිහින් දුලංජලීට කියලා කලින් සතියෙ මගෙම ප්‍රෝග්‍රෑම් එකේ එඩිට් නොකරපු ස්ටූඩියෝ රෙකෝඩිං එක ප්ලේ කරලා හෙඩ් සෙට් එක දාගත්තා.. ................................................................................ හිරු අවරට යන විවේකී ඉරිදාවක ජීවිතේ ගැඹුරුම තැන් වල තැන්පත්ව ඇති මතක වල සැරිසරන්නට අපි එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය මිනිස් පිරිවරට ආයුබෝ වේවා.. 


 අද මේ සුන්දර ඉරිදා රාත්‍රිය මැක්ස් එෆ් එම් හිත ලඟ වැඩසටහන සමග එකතු වෙන්නේ ඔබ දන්නා හඳුනන කෙනෙක් නෙවෙයි.. 


මේ මිතුරෙකුගේ සාදයකදි මට අහම්බෙන් මුණ ගැහුනු මහත්මයෙක්.. ඒ අහම්බය අමතක කරලා ඔහු අපේ වැඩසටහනට ගෙන්වා ගන්න තරම් ඔහුගේ විශේශ හේතුව ඔබ දන්නවද... 

 ඒ ඔහුගේ විශිෂ්ට ජීවන දැක්ම.මං ඔහුත් එක්ක කතා බහ කරපු කාලය ඇතුලත මට දැනුන ඒ විශේශ හැ‍ඟීම නිසා තමයි අද ඔහු මෙතන ඉන්නෙ... අපි ජීවිතේ බොහෝ දේවල් දිහා එකම විදියට බලද්දි අපේ ආරාධිතයා ඒ දේවල් දිහා බලන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් විදියකට.ඒ වෙනස තමයි හිත ලඟ වැඩසටහනේ මේ ආරාධිත ආසනය ඔහුට වෙන් කරන්න හේතුව වෙන්නෙ.. 


 ඉතිං වැඩසටහනේ ආරම්භයේදි අපේ ආරාධිතයා ඔහුගේම වචනයෙන් හඳුනාගෙන පටන් ගත්තොත් හොඳ බව මම හිතනවා.. "


 ඩිලාන් මහත්මයා.. ඔබ ගැන කෙටි හැඳින්වීමක් කලොත්...? "


 "මේ ආරාධනයට බොහොම ස්තූතියි සාවිත්‍රි.. මේ මම ජීවිත කාලෙ කවදාකවත් ලැබෙයි කියලා හිතපු අවස්ථාවක් නෙවෙයි.. ." 


 "සහ ජීවිතේ කිසිම දවසක මේ වගේ වැඩසටහනකට සහභාගී උන කෙනෙක් නෙවෙයි.. නුහුරු කම නිසා මගෙ අතින් යම් වරදක් උනොත් සමාවෙන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා.." 


 "මම ඩිලාන්.., ඩිලාන් අබේසිංහ. පෞද්ගලික ආයතනයක ගබඩා භාර කරුවෙක් විදියට රැකියාව කරන, ජීවිත කාලෙන් වැඩි හරියක් ගෙවා අවසන් කියලා විශ්වාස කරන බොහොම සාමාන්‍ය මනුස්සෙක්.." 


 පූර්විකාවෙදි කිව්වා වගෙම ඩිලාන් කියන්නෙ ටිකක් අමුතු විදියට හිතන බොහොම නිහතමානී කෙනෙක් කියලා මගේ අසන්නන්ට හිතෙන්න ඇති. 


 "හො‍ඳයි ඩිලාන්.., අපි ආරම්භක ගීතය රස විඳලාම ඒ ගැන කතා කරමු.. මේ ඩිලාන් අබේසිංහ සිත ලඟ වැඩසටහනට තෝරාගත් පලමු ගීතය..." 


 ආරම්භ උනු ගීතය මගහැර මම ඔහුගේ කතාවට සවන් දුන්නෙමි.. 


 ... අපේ අනිත් ආරාධිතයන්ට තිබුණා වගෙම ඩිලාන්ටත් මේ ගීතය තෝරන්න හේතුවක් තියෙන්න ඇති..? 


 "ඔව් සාවිත්‍රි .. මේ වගේ වැඩසටහන් වලට එන හැමෝම වගේ මමත් අම්මා ගැන කියවෙන ගීතයක් මුලින් තෝරා ගත්තෙ අම්මා කියන චරිතයට පලමු තැන දෙන්න ඕන නිසා..මේක රැල්ලට එහමත් නැත්තම් සම්ප්‍රදායට මුල් තැන දීමක් නෙවෙයි.ඇත්ත අවබෝධයෙන් මුල් තැන දීමක්.." 


 මට වයස අවුරුදු 30ක් විතර වෙනකන් ම අම්මා ගැන තිබ්බෙ බොහොම සාමාන්‍ය හැඟීමක්.මිනිස්සු කියපු විදියට අම්මා තමයි අංක එක හෝ ලෝකෙ කවුරු නැතත් අපි වෙනුවෙන් අම්මා ඉන්නවා කියන එක මට එහෙම දැනුනෙ නෑ.. 


 මගෙ පාසල් අවධියෙදි එක්තරා මූසල දවසක අපේ අම්මගෙ අනියම් සම්බන්ධය මගෙ අතට අහු වෙනවා..ඒ හැඟීම දරාගන්න බැරුව මම රැයක් එලි වෙනකන් වෙව්ලුවා... එදා ඒ දැනුන හැඟීම එක්ක අම්මා කියන චරිතය මට තව ටිකක් දුරස් වෙනවා... 

ඒ සිද්දියෙන් පස්සෙ කේන්ති ගිය තැන් වලදි මම ඕන තරම් අම්මට කෑ ගහලා තියෙනවා..හැබැයි පුතෙක් විදියට මං මගේ මට්ටමෙන් අම්මට කරන්න ඕන යුතුකම් ටික නොකලා කියන්න බෑ.. 

 පහු කාලෙකදි, මට අවුරුදු තිහත් පහූ උනාට පස්සෙ මට දැනෙන්න ගන්නවා අම්ම කෙනෙක්ගෙ ආදරේ මොන තරම්ද කියලා....


 මගේ අම්මා මං වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න පටන් ගන්නවා..මගේ සමහර ප්‍රශ්න වලදි මට වෙන්න තිබ්බ හානිය අවම කලේ හෝ නැති කලේ අම්මා..ඊටත් වඩා, . සාවිත්‍රි දන්නවා ඇති රත්තරං ආභරණ ගැන කාන්තාවන්ගෙ උනන්දුව කොහොමද කියලා.. ගැහැනියක් විදියට මගේ අම්මත් එහෙම චරිතයක්. සල්ලි නැති තැන් වලදි එකින් එක උකසට තිබ්බත් අතට මුදලක් ලැබෙන පලවෙනි අවස්ථාවෙ ඒ ආභරණ වලට මුදල් ගෙවන්න තරම් එයා ඒවට ආස කලා.. මගේ ප්‍රශ්න වෙනුවෙන් ඒවා එකින් එක ආයෙත් උකස් කරන්න අම්මා මොහොතකටවත් පසුබට උනේ නෑ.., 

මගේ ලඟ මුදල් හිඟ වෙන්න ගත්තම එදිනෙදා වියදමට තිබ්බ මුදල් පවා, සමහරවිට අම්මගෙ මුලු විශ්‍රාම වැටුපම පවා මට දෙන්න එයාට පුළුවන් උනා... 

 දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ට මොනවද කරන්න බැරි කියලා මම දන්නෙ නෑ.. අම්මා කෙනෙක්ගෙ ආදරේ ඒ තරම් විශාලයි.අපි ඒ ආදරේ තේරුම් ගන්න කාලය ගත කරනවා.එච්චරයි.. 

 ඒ නිසා මම තෝරන මුල්ම ගීතය හැටියට අම්මා ගැන කියවෙන ගීතයක් තෝරා ගැනීම සාධාරණ බව ඔබට පැහැදිලි ඇති ඔබට...

Sunday, September 10, 2023

ඉන්දියානුවන් දෙදෙනෙකුට මැදිව

එකෙක් කේරලයේ පදිංචි හිංදු භක්තිකයෙකි. හොඳ හිතක් ඇති ඔහු පෞද්ගලික ප්‍රශ්න මොන තරම් තිබුණද තම මව් බිම වන ඉන්දියාව ගැන අසීමිත ආදරයකින්, ආඩම්බරයකින් ජීවත් වන අයෙකි. විවාහකයෙකි. ඉන්දියාවට විශේශ වන ඕනෑම දවසක තමන්ගේ මුල්ම රාජකාරිය තානාපති කාර්‍යාලයට යෑම යැයි සිතන මිනිසෙකි. දේශානුරාගය කෙතරම් ද යත් අපි ඔහුට කියන්නේ චන්ද්‍රයාන් 3 කියාය. අනෙකා කේරලයේම පදිංචි ක්‍රිස්තියානි භක්තිකයෙකි. සතියේ දිනක් ආගමික කටයුතු හා ස්වේච්චා සේවයට යොදවන අයෙකි.අනුන්ට හෙණ ගැසුවද මුලින් තමන් ගොඩ යා යුතුයැයි සිතන මිනිසෙකි. එකම හීනය නවසීලන්තය හෝ යුරෝපා රටකට සංක්‍රමණය වීමය.ඌ අපට ටොමී ය. මිටි, සැලකියයුතු ප්‍රමාණයේ බඩක් ඇති ඔහුට ටොමී කීම ආශ්වාදයකි. දැනට ඉන්දියාවේ පවතින පාලනයට අකමැති විපක්ශයට සහයෝගය දක්වන අයෙකි. ලංකාවේ කෙල්ලෙක් දුටු සැනින් නංගී කීමට තරම් අපි උන්ට සිංහල උගන්වා ඇත. ඒ කෙල්ලන්ගේ ඇඟ පසඟ විස්තර කිරීමට උන් දන්නා සිංහල වචන, කේරලයේ භාශාව, දෙමළ හා ඉංග්‍රීසි වචනත් සමහර විට උන්ට මදි වන්නේය. අවසානයේ දෑතෙන්ම හැඩ තල මවා පෙන්වමින් පැහැදිලි කරන්නට පෙලඹෙන්නෝය. ටොමියා ටිකක් සයිලන්ට් ය. චන්ද්‍රයාන් හැම විටම විවෘත විනෝද කාමියෙකි. හැඩ ඇති බිරිඳක් ගෙදර උන්නද උගේ කැමැත්ත චබී කෙල්ලන්ටය. චන්ද්‍රයාන්ට අනුව මෝදි ඉතා දක්ශ පාලකයෙකි.කිසිම ජාතියකට විශේශිත වූ නීති මේ වන විට ඉන්දියාවේ නැත.මේ නිසාම සමහර ජන කොටස් වලට මෝදි පාලනය ඉවසුම් දෙන්නේ නැත. එසේම රාහුල් ගාන්ධි යනු ප්‍රකට ගාන්ධි පවුලේ සාමාජිකයෙක් නොවන වග කීවේද මේ චන්ද්‍රයාන්මය. චන්ද්‍රයාන් කියන ඉන්දියාවේ සාධනීය කරුණු අතිමහත් ය. උන් ගොවියන්ට 4% අඩු පොලියට ණය දෙති. අස්වැන්න නෙලන යන්ත්‍ර මිලට ගැනීම සඳහා වැය වන මුදලින් කොටසක් රජයෙන් ගෙවන්නේය. ජංගම දුරකතන , ලැප්ටොප් ගන්නට තම පුරවැසියන්ට බැංකු හරහා ගෙවීමේ ක්‍රම ඇත. කේරල ප්‍රාන්තයේ දූශිත පාලනය චන්ද්‍රයාන් කිසි විටෙකත් අනුමත නොකලද මධ්‍ය්ම රජය ගැන ඌට ඇත්තේ දැඩි විශ්වාසයකි. චීන ආයෝජන නිසා ලංකවට අත් වී ඇති තත්වය ගැන චන්ද්‍රයාන් දුක් වන්නේය. අසීරු අවස්ථාවේදී අපට උපකාර කල ඉන්දියාව ගැන ඌ ආඩම්බර වන්නේය. ටාටා, අම්බානි ඇතුලු අප අසාවත් නැති ව්‍යාපාරිකයන් ගැන ඌ ආඩ්ම්බරය.දිනෙන් දින දියුණු වන ඉන්දියාව දෙස බලා සිටීම තරම් වෙනත් සැනසිමක් නැත්ටා සේය. මට මේ සියල්ල අසා සිටීමෙන් අප ගැන මහා සාංකාවක් ඇති වන්නේය.අපේ රටෙන් දශමයක් දෙනා වත් පවතින පාලනයට කැමති නැත. දශක හතකටත් වඩා දේශපාලනයෙන් බැට කෑම හැර ලාංකිකයන්ට කිසි දෙයක් උරුම නැත. අපට ආඩම්බර විය හැකි දේශීය නිශ්පාදන ඉතා අල්පය. ව්‍යාපාරිකයන්ද එසේමය. දැන උගත් සියල්ලන්ම ප්‍රාර්ථනා කරන්නේ මේ කොදෙව්වෙන් පලා යෑමට මගකි. අපි ඇත්තටම නිධානයක් උඩට වී සිඟමන් යදින්නෝම ය. සමහර වේලාවට මාද රැගෙන ටොමියා තේ බොන්නට යයි. සියපාරකට වඩා අසා ඇති මගේත් බිරිඳගේත් අධ්‍යාපන තත්වය නැවත වරක් අසා දැනගෙන යුරෝපයේ රටකට යන්නට ඇති හැකියාව ගැන උපදෙස් දෙයි. රනිලප්පච්චී 2048 දී ලංකාව දියුණු කරන තෙක් මේ නරා වලෙන් ගොඩ යා හැකි මගක් සොයා ගනු නොහැකි වේ යැයි සිතමින් මම නිහඬ වෙමි. මේ යන ක්‍රමයෙන් 2048 දී නොව 3048 දීත් උඹලා ඔතැනමයි මට තේරෙන්නට පවසා ටොමියාත් චන්ද්‍රයානුත් උන්ගේ භාශාවෙන් මොන මොනවදෝ කතා කරති.

Sunday, January 22, 2023

ජාජබ

 පවත්වන්නට නියමිත පලාත් පාලන මැතිවරණය ගැන බොහෝ තැන් වල සැක මුසු බැල්මක් පවතිද්දී මට හිතෙන්නේම මේක අවසන් පලාත් පාලන මැතිවරණයේ දිගුවක් ලෙසය.එවක රජයේ අත්තනෝමතික ක්‍රියා නිසා අපහසුතාවයට පත් උනු ජනතාවගේ මනස තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගන්නට පොහොට්ටුවේ න්‍යායාචාර්‍ය වරුන්ට වැඩි මහන්සියක් ගත වෙන්නට නැතුව ඇත.ඒ නිසාම කුඩාවට ඇරඹි මහින්ද සුලඟ අවසන් භාගයේදී දේශපාලන සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය..

2015දී පරාජය කර දැමූ මහින්දට නැවත වතාවක් කල ගුණ සලකන්නට ඇවැසි උනු මිනිසුනුත්, වැල යන අතට මැස්ස ගැසූ අයත් එකතුව පලාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට දැවැන්ත ජයක් හිමි කර දුනි. පැවැත්වුනු මැතිවරණයේදී තමන්ගේ කොට්ඨාසය වෙනුවෙන් ඉදිරිපත් වෙන පුද්ගලයා කවුරුන්ද වත් නොදැන මහින්දට යුතුකම් ඉශ්ට කරන්නට බොහෝ අය පොහොට්ටුව ඉදිරිපිට තම චන්දය සලකුණු කලොය.අවසානයේ පත් වී තිබුණේ දේශපාලනය ගැන මෙලෝ අවභෝදයක් නැති ලැයිස්තුව ප්‍රතික්ශේප වීම වලකාගනු පිණිස නම් ඇතුලත් කල අයයි.සමහරු වයස අවුරුදු 25ක් වත් සපුරා නොතිබුණි.උන් දන්නා දේශපාලනයක් නොමැති බව පහු ගිය වසර කීපයේදී ඔප්පු කර හමාරය.බොහෝ ගම්වලට ඒ වසර ගණනාවටම පොදු ව්‍යාපෘති ලැබී නැත.

දැන් එදා මහින්දට කැරකුණු බඹරය අද ජාතික ජන බලවේගයට කැරකෙවෙමින් ඇත.ඒ අයද තමන් දේශපාලන වේදිකා වල කෑ මොර දුන් තරුණ නායකත්වය වෙනුවට වයෝවෘද්ධ අපේක්ශකයන් ඉදිරිපත් කරමින් ඇත.සමහර තැන් වල යාන්තම් වයස 20 පසු කල හිරිමල් තරුණයන් ඉදිරිපත් කර ඇත.. උන්ගේ දේශපාලන පරිණතකම ගැන කතා කිරීමෙන් පලක් නැත.ආයෙමත් රැල්ලට චන්දය භාවිතා කර ඉල්ලන් කෑමක් ලඟා කරගන්නට යන බව මගේ කියවීමයි.ජාතික ජන බලවේගය ජනප්‍රිය දේශපාලනයේ ලඟා කරගත හැකි උච්චතම අවස්තාව මෙවර මැතිවරණයේදී ලබනවා ඇත.
ඉගිල්ලී නොයන තාක් කල් කොකුන්ගේ සුද දැකිය නොහැක.බිම් මට්ටමේ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මහින්දගේ බයියන් තරමටම බයි ගතිය ප්‍රදර්ශනය නොකරන්නැයි මම ප්‍රාර්ථනා කරමි.උන් එසේ කලහොත් ඒ ඓතිහාසික වරද නිවැරදි කරන්නට තව දශක ගණනක් ගතවෙනු ඇත.එවිට ජා.ජ බලවේගයේ ඉහළ තනතුරු දරණ දේශපාලනයේ හොඳින් තෙම්පරාදු වී ඇති අයගෙන් මේ රටට ලැබිය යුතු අවංක සේවය කිසි දිනෙක ලබා ගත නොහැකි වනු ඇත.

Tuesday, January 10, 2023

කථානායකතුමනි

 ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙම උත්තරීතර පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන්න ලැබීම මං භාග්‍යයක් විදියට සලකනවා.මැතිවරණ ප්‍රතිඵත්ති ප්‍රකාශනයේ සඳහන් කල පරිදිම ශ්‍රී ලංකාව නවමු ගමනකට කැඳවාගෙන යන පලමු පියවර තබන මේ නව පාර්ලිමේන්තුවේදී මගේ නව රජය තමන්ගේ පලමු කාර්‍යය ලෙස ඉටු කරන්නට සූදානම් කාරණා ගැන දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා...


මගේ රජය ප්‍රතිපත්තියක් ලෙස පාසල් විශය නිර්දේශ වලින් ආගම කියන විශය ඉවත් කරනවා.ලබන වසරේ සිට අපොස සාමාන්‍ය පෙල විභාගය ඇතුලු සියලුම වසර වලින් ආගම විශය ඉවත් වනු ඇත.ඒ වෙනුවට 6-10 ශ්‍රේණි වලදී ප්‍රධාන ආගම් ඇදහිලි හා සංස්කෘතික උරුම සම්බන්ධයෙන් සිසු දරුවන්ට දැනුමක් ලබා දෙනු ඇති.


පලමු වසරේ සිට පහ ශ්‍රේණිය දක්වා ප්‍රධාන විශයන් එනම් මව් බස, ගණිතය, පරිසරය (විද්‍යාව), ඉංග්‍රීසි හා අධ්‍යාපනවේදීන් අනුමත කරන විශයන් එකක් හෝ දෙකක් දරුවන්ට උගන්වන්නට නියමිතයි.ඉන් ඉහලට සාමාන්‍ය පෙල දක්වා ගණිතය, විද්‍යාව,ඉංග්‍රීසි, තොරතුරු තාක්ශනය යන විශයන්ට අමතරව විදේශ භාශාවක් ඉගෙන ගැනීම අනිවාර්‍ය වනු ඇත.එසේම වඩු කර්මාන්තය , ලෝහ කර්මාන්තය,මෝටර් රථ කාර්මික, මේසන් වැඩ හා ජල නල කාර්මික යන අංශ වලින් තෝරාගත් විශයක් හැදෑරීම අනිවාර්‍ය වනු ඇත.දරුවන්ට තමන්ගේ මව්  භාශාව පිලිබඳව මෙම වකවානුව තුල වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා ඉඩ කඩ සලසනු ඇත.අපොස සාමන්‍ය පෙල විභාගය අවසානයේ සාමාන්‍ය විශයන් වලට සාමර්ථ ලබා දෙන්නා සේම අධ්‍යනය කල කර්මාන්ත වල පරීක්ශන පවත්වා ඩිප්ලේමා මට්ටමේ NVQ සහතිකයක් ලබා දෙනු ඇත. 


උසස්පෙල සිසු සිසුවියන් සඳහා ද දැනට පවතින විශය මාලා වලට අමතරව විදේශ  භාශා අධ්‍යනයට පහසුකම් වැඩි කරනු ඇත.එසේම තාක්ශනික විද්‍යාගාර හරහා වෘත්තීය පුහුණු ක්ශේත්‍රයේන් දරුවන් ලබා ගත් දැනුම උසස් ඩිප්ලෝමාවක් දක්වා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසනු ඇත.


විශ්ව විද්‍යාල වල කලා විශය ධාරාව පුලුල් ප්‍රතිසංස්කරණයකට ලක් කර ආගන්තුක සත්කාර, හෝටල් කලමණාකරන ආදී විශය ක්ශේත්‍ර සුලබ කරනු ඇත.එසේම විශ්ව විද්‍යාලයට ඇතුලත් වන සිසු සිසුවියන් තමන්ට අදාල පලමු උපාධිය නියමිත කාලයේදී සම්පූර්ණ කල යුතු අතර එසේ නොවන අයවලුන් විශ්ව විද්‍යාලයෙන් බැහැරව, සියලු විභාග වෙනුවෙන් මුදල් ගෙවා තම උපාධිය සම්පූර්ණ කර ගත යුතුය.එසේ සහන කාලයක් ලබා දෙන්නේද වසරකට පමණි.


විශ්ව විද්‍යාල, පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සඳහා පහසුකම් සැලසීම රජයේ ප්‍රමුක කාර්‍යය ලෙස සලකනු ඇති අතර නවෝත්පාදන හා පර්යේෂණ සඳහා නව නිපැයුම් කොමිසම යටතේ මධ්‍යස්ථානයක් ඇති කරන අතර වාර්ශිකව ඉදිරිපත් කරන නවෝත්පාදන අතරින් හොඳම සංකල්ප තෝරාගෙන ඒවා මෙරට තුල වාණිජ වශයෙන් නිශ්පාදනයට රජය මැදිහත්ව සියලු පිරිවැය දරනු ඇත.අපේ අරමුණ ඉදිරි වසර පහ තුල අවම වශයෙන් පේටන්ට් බලපත්‍ර 500ක් ලබා ගැනීමට මෙරට දක්ශයින් පෙලඹවීමයි.


ස්තූතියි