Saturday, September 15, 2018

පිරිමි

"අයියෙ.., අරක ගත්තද?"
"ආ මල්ලි, නෑ ඔයා කොහෙන්ද තිබ්බෙ?"
(යහලුවෙක් පෙන්වමින්)   අරුන්ගෙ කඩෙන්
"මං ගන්නම් මල්ලි.. එදා ඔයා තියල තිබ්බෙ අඩුවෙන් නෙ.. ඇරියස් එකක් තියෙන නිසා මං අතින් දැම්ම"
"ඒකනෙ... දවස ගානෙ ආව නම් ඕක එච්චර හිර වෙන්නෙ නෑ අයිය"
"කොහෙද මල්ලි ... වැඩ කරපු අනිත් එකා අයින් උනාට පස්සෙ ඒ වැඩ ටිකත් මට පැටවුනානෙ.. ඔයාලව ෆෝන් එකෙන් හරි බැලන්ස් කරතැකි.පොලු කාරයො එහෙම බෑනෙ.ඉතිං උන් ලගට දවස ගානෙ යනව"
"අඩේ එහෙමද...... අයින් උන එකාගෙ පඩියත් එක්ක හම්බෙනව නම් අවුලක් නෑ නෙ ඉතිං
පඩිය නම් හම්බෙනව මල්ලි.. ඒ උනාට එපා වෙනව..පට්ට ප්‍රෙෂර් එකක් නෙ."
"අඩෝ උඹ මොකේද යන්නෙ?"
"කාර් එකේ බං"
"මේ... මල්ලිගෙ වාහනේද?"
"නෑ අයියෙ ..මගේ එක පහල"
"මේ ගෑනුන්ගෙ රෙද්දවල් නොතිබ්බ නම් අපිටත් වාහනයක් ගන්න කාලෙ හරි"
"ඒක තමයි.. ගමු එකක්"
"කොහෙද මල්ලි..තව අවුරුද්දකින් තමයි මගේ ලෝන් ටිකෙන් නිදහස් වෙන්නෙ.. එතකන් හිතන්නවත් බෑ."
"අඩේ මටත් එහෙමයි අයියෙ.. ලබන නොවැම්බර් වෙනකන් ගැටගහගන්න පුලුවන් උනොත් ගොඩ.."
"වෙඩින් එක ලොකුවට ගන්න ඕනි කියල ගෑනි මැරෙන්න හැදුවනෙ.නෝමල් වෙඩිමක් අරන් වැඩේ ෂේප් කරගත්ත නම් මෙලහකට වාහනේකුත් අරං"
"ගෑනුන්ගෙ ආසාවනෙ අයියෙ"
"කියල වැඩක් නෑ මල්ලි.. "
"අපි එක ගමේ කියල ගෙදරින් එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ.. මොනව කරන්නද අන්තිමට ඔක්කොම මගේ කරපිට..මල්ලිට කියන්න දෙවෙනි දවසෙ දෑවැද්ද කියල කෙල්ලගෙ පැත්තෙන් මොනවත් ගේන්නෙ නෑ කියල දැන ගත්තම මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ.. උවමනාවකට නෙවෙයි මල්ලි.. ඒ උනත් තමන්ගෙ දුව බන්දල දුන්නම ඕනිම කෙනෙක් අඩු තරමෙ කණ්ණාඩි මේසයක් වත් අරන් එනවනෙ.එහෙමවත් නෑ කියල ගෙදර අය දැනගත්තොත් තිබ්බ ඔරොප්පුව ඩබල් වෙනව"
"අම්මට සිරි.. කොර සීන් එකක් නේද?"
"ඔව්.. අන්තිමට මං මගේ සල්ලි වලට දම්රෝ එකෙන් සෙටියයි අල්මාරියයි කණ්ණාඩි මේසෙකුයි අරන් ගෙදරට යන වෙලාවට මනමාලිගෙ පැත්තෙන් ගේනව වගේ පේන්න සෙට් කරල ෂේප් උනේ.."
"ඔය රෙද්දෙ ණය ටික නොතිබ්බ නම් දගලන්න ඕන නෑ මල්ලි"
"ආ.. හෙලෝ .... ඔව් ඔව්.. ඉන්න මං එන්නම්...... මං ගිහිං එන්නම් මල්ලි..."
"එළ අයියෙ
"මේ මාසෙවත් පොඩි කට්ටක් කාල ඇරියස් නැතුව  වැඩේ අරන් යං (අත වනමින් පිටව යයි)
"හා අයියෙ ගේමක් ගහමු.."


පිරිමි අපි, අසරණයි ඔව් සහතිකයි!

Wednesday, September 12, 2018

රන්දී - පියවර 17

විභාගයට හරියටම සතියක් කල් තබා සියලුම පුණරීක්ෂණ පංති නවතා දමනු ලැබීය.හදවතින්ම නැගුනු භක්තියෙන් ගුරුවරු තිදෙනාටම මම දණ ඔබා වැන්දෙමි.පළමුවර විභාගයට යන මොහොතේදී අරහං වී තිබූ විශය කරුණු බොහොමයක් ඔවුන් ගේ මගපෙන්වීම නිසා මට සරල දේවල් බවට පත් විය.
             
               විභාගයට පෙර, දින ගණනාවක් පුරා ගමේ පංසලේ පැවැත්වූ බෝධි පුජා පිංකම් සදහා මා සහභාගී කරවීමට අම්මා දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.විශය කරුණු හරි හැටි අවබෝධයක් නොවේ නම් බෝධි පූජාවන්වත් කොවිලේ වැඩ හිදින දෙවියන් වත් ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු නොලියන බව මං හොදාකාරවම දැන සිටියෙමි.ඒ නිසා දෙමව්පියන් තම දරුවන් නොයෙක් ආගමික පුද පූජා සදහා රැගෙන යන හැටි බලමින් පාඩම් කල දේවල් නැවත නැවතත් සහි කරන්නට කාලය ඉතිරි කරගන්නට සමත් වීමි.
       
                             දෙවැනි වරටත් විභාගයට මුහුණ දෙන නිසා එහි උණුසුමක් අපට දැනුනේ නැත.විභාගය ආරම්භ වීමට තිබූ විනාඩි ගණනේත් පොත්, කෙටි සටහන් වණපොත් නොකල අප සිව් කට්ටුව පාසැල් බිමේ ඇවිදිමින් සැහැල්ලුවෙන් ගත කලෙමු.පුණරීක්ෂණ පංති සදහා අපගෙන් වෙන්ව අගනුවර ඇතුලු පහසුකම් සහිත ප්‍රදේශ වෙත ගොස් සිටි මිතුරන්ද විභාගය වෙනුවෙන් නැවත පාසල වෙත පැමිණ සිටි නිසා අපට දැනුනේ නැවත පාසැල් ගියා වන් හැගීමකි.ඒ ජිවිතයට අප අසීමිතව පෙම් බැන්දෙමු.ප්‍රධාන විශයන් පැවැත්වුණු දින කිහිපයේදී පාසල වටා ඇවිදිමින් සිටි අපට ඉන්දූ, භාග්‍යා, රන්දී ඇතුලු බොහෝ අය මුණ ගැසුනු අතර පාසල් කාලයේදි මගේ කවටකම් නිසා ඇස් රතු වූ යෙහෙළියන් කිසි අයෙක් මා සමග වැඩි කතාබහක් ඇති කරන්නට උනන්දු නොවීය.වචනයක් දෙකකට වඩා කතා නොකල රන්දීගේ හැසිරීමද මට විශේෂත්වයක් වූවේ නැත.

                විභාගයේ අවසානයට යෙදී තිබුණේ ඉංග්‍රීසි විශය වුවද මට එය අංඩර දෙමළයක්ම විය.එනිසාම පැය තුනක් වෙන් කර තිබූ ප්‍රශ්න පත්‍රය අවසන් කිරීමට මට ගත වූයේ පැයකට මදක් වැඩි කාලයකි.ප්‍රශ්න අතර පිලිතුරු ලිවීමට තබා තිබූ ඉඩෙහි බොහෝ සෙයින් ඉතිරිව තිබූ හිස් තැන් ගැන කණගාටුවක් මට ඇති නොවිනි.මගේ ඉලක්කය වී නිබුණේ ප්‍රධාන විශයන් තුන පමණකි.වේලාසින් පිළිතුරු ලියා අවසන් වුවද ශාලාවෙන් පිටතට යා නොහැකි නිසා නොදැනුවත්වම කල්පනාවකට වැටුනෙමි.හය ශ්‍රේණියේ සිට දුව පැන ඇවිදිමින් පාසලේ ගත කල අතීතයේ බොහෝ තැන් මට සිහිපත් විය.
"මම දැන් හුග වෙලාවක ඉදන් බලාගෙන හිටියෙ... උඩ බලාගෙන ඉන්නෙ ඔය ලමය උත්තර ලියල ඉවරද?"
මගෙ දැහැන බිදුනේ විභාග ශාලාවේ පරීක්ෂණ කටයුතු වල නිරතව සිටි ගුරුවරියක පැමිණ විමසද්දීය.
"මව් බසනෙ මිස් .., ලියල ඉවරයි"       
 කවදා හෝ මට හරහට හිටින්නේ තිරිංග නැති කටමය
"හා ඔහොම ඉන්නකො"
 ගුරුතුමිය ආපසු ගොස් ශාලාධිපතිතුමා සමග යම් දෙයක් සාකච්චා කරනු ඇස් කොණකින් බලා සිටියෙමි.ඇය නැවත මා වෙත පැමිණියේ සිත පිනා යන ආරංචියකුත් සමගය

"සද්ද නොකර අතනට හිගින් පේපර් එක භාර දීල එලියට යන්න"
ගුරුතුමිය ආරංචිය අවසන් කරන්නටත් කලියෙන් නැගී සිටි මම උත්තර පත්‍රය ශාලාධිපතිතුමාට භාර දී ශාලාවෙන් පිටතට පැමිණියෙමි.මගේ පැමිණීමෙන් උත්තේජනය වූ බොහෝ පිරිසක් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ශාලාවෙන් පිටතට පැමිණියහ.විශය ධාරා කිහිපයකට වෙන්ව සිටි අප දෙපිලකට වෙන්ව ක්‍රිකට් ගැසුවෙමු.වරින් වර එකා දෙන්නා ශාලාවෙන් පිටතට පැමිණ අපට එක් වූ නිසා ක්‍රීඩාව නිසි ලෙස පැවැත්වූයේ නැත.අප බොහෝ පිරිසක් ක්‍රිඩා පිටිය පුරා විසිරී සිටි නිසා පලමු වර විභාගයට මුහුණදුන් පිරිසට එය අවසන් වීමේ ප්‍රීතිය නිසි ලෙස විදින්නට නොහැකි විය.ඔවුන් කලේ එකිනෙකා ජලයෙන් නහවා ගනිමින් සතුටු වීමය.විභාගය නිල වශයෙන් අවසන් වන හෝරාව ලංවන විට අපටද කරමින් සිටි ක්‍රීඩාවෙන් සතුටක් නොවුනු අතර කනිශ්ඨයන්ගේ  ජල ක්‍රීඩාව වෙත යොමු වුනෙමු.

  ඇද සිටි ඇදුම් තෙතබරිත වී යන තුරුම අතට අසු  වූ හිස් බෝතල්, කවර ආදියයෙන් අප එකිනෙකාට ජලය ගසා ගතිමු.අඹගස් සෙවනේ හුන් ගැහැනු ලමුන් අතර ඉන්දූ ගේ මුහුණ දුටු නිසා ඔවුන්ද මගේ ජල ප්‍රහාරයකට ලක් විය.ඔවැනි අවස්ථාවක බැණුම් කප්පරක් ඇසීමට සිදු වන නිසා මා කලේ යෙහෙලියන් සිටි තැනින් මද දුරක් ඈතට යන තෙක් දිව යාමය.නමුත් ඉන්දු ඔවුන් සිටි තැනට එන මෙන් සන් කල නිසා මා නැවතත් ඔවුන් වෙතට ගියද පුදුමයකට මෙන් කිසිවෙකුත් එදින මට දොස් නැගුවේ නැත.
"රොෂාන් දැන්ම යනවද?" ඒ හඩ රන්දී ගේය
"පිස්සුද බං මුං ටික යන වෙලාවක තමයි.... ඒක නෙවෙයි., මොකද ඔය වතුර පෙරාගෙන? උඹල ඉස්කෝලෙ ඉන්නකන් මේකට වැඩක් කලේ නෑ.. දැන් මේ ඉන්න අන්තිම දවසෙත් ඉස්කෝලෙ වතුර ටිකෙන් නාගෙන යන්නෙ නේද? රෙදි හේදුවෙ නෑ? "  
 මිතුරියන් කේන්ති ගැන්වීම මගේ විනෝදාංශයයි!
"අනේ නෑ... පිස්සෙක් අපිව නොමිලේම නෑව්වනෙ"
"ආ... දැන් පිස්සොත් උඹලව නාවනවද... හොදයි හොදයි"
මම එතැනින් ඉවත්ව නැවත මිතුරන් හා ඒක්වීමී.
කෙසේ වෙතත් විභාගය අවසන් වී ඇති බැවින් තවත් වේලාවක් විභාග මධ්‍යස්ථානය තුල රැදී නොසිටින ලෙස ආරක්ෂක නිළධාරීන් දන්වා සිටි නිසා දුකෙන් වුවද පාසලින් පිටව යාමට සැරසුනෙමු.මා පැමිණෙන තෙක් ඉන්දූත් රන්දීත් රැදී සිටි බව දැන ගත්තේ විදුහල් ගේට්ටුවෙන් පිටතට පැමිණී විටය..
     "ෂ්... ෂ්... රොෂාන් මෙහෙ එන්නකො."
යහලුවන් සමග පිටතට පැමිණි මට ඉන්දු අඩ ගැසුවේය..

Saturday, September 8, 2018

දැන් ඉතිං වෙන කුමක් කරන්නද

සියලු දේ අතහැර යාමට හැකි නම් මේ හොදම වේලාව බව සටහන් කර තබමි.විදවීම හා දරා ගැනීම අවසන් සීමාවන්ට ලං වී ඇත.පලා යන්නට අවැසි නැත.පරාජිතයෙකු නොවෙමි.නමුත්, අවසන් කරන්නට  අවැසිය.ලැබුණු ලබා දුන් සියලුම දේ වෙනුවෙන් අනේකවාරයක් ස්තූතියි! සංසාර ගමනේ කවවදාම හරි දවසක මේ සියල්ල නැවතත් මුණ ගැසෙන බව දනිමි.
සයොනාරා එතකන්