Sunday, August 2, 2026

ප්‍රකම්පන - වින්දිගේ පරිච්ඡේදය

මම වින්ද්‍යා. වින්ද්‍යා අබේසිංහ. අබේසිංහ වෙන්න කලින් මම වින්ද්‍යා රසාංජලී. යාලුවො හැමෝම මට කිව්වෙ වින්දි කියලා.. මං ආසයි ඒකට. 


අපේ පවුලෙ හිටියෙ අම්මයි තාත්තයි මමයි මල්ලියි..මගේ අම්මවත් තාත්තවත් එහෙමට ඉගෙන ගත්තු අය නෙවෙයි. හැබැයි මටත් මල්ලිටත් හොඳට උගන්නන්න එයාලට උවමනාව තිබ්බා.


මම සාමාන්‍ය පෙල විභාගයට ලෑස්ති වෙන කාලෙ වෙද්දි අපේ ගෙදර තිබ්බෙ ඒ තරම් හොඳ වාතාවරණයක් නෙවෙයි.. අම්මත් තාත්තත් අතර අඩ දබර තිබ්බා. ඒ නිසාම මං  හිටියෙ හොඳ මානසික තත්වයක නෙවෙයි. මගේ පෙනුම, හැසිරීම ඒ මානසික තත්වය ගැන කිසිම හෝඩුවාවක් එලියට දුන්නෙ නෑ.. ගෙදර ගිනි පිටට දෙන්න හොඳ නෑ කියලා කතාවකුත් තියෙනවනෙ. ඒ නිසා ඉස්කෝලෙ යන කාලෙ මම බොහොම සාමාන්‍ය, සතුටින් ඉන්න ලමෙක් හැටියට යාලුවන්ට පෙනෙන්න ඇති.


 9 වසරෙදි ඉඳන් පිරිමි ලමයි මගෙ පස්සෙන් එන්න ගත්තා.මගෙම වයසෙ අයටත් වඩා වැඩිමහල් පංති වල පිරිමි ලමයි කීප දෙනෙක් ම මගෙ ආදරේ ඉල්ලගෙන ආවා.. අහම්බයකින් ඩිලාන්ව හම්බෙන්නෙ මම 10 වසරෙදි. අපි එකම පංතියෙ හිටියට මට ඩිලාන්ව විශේශයක් විදියට පෙනිලා නෑ කවදාවත්. එහෙම පෙනෙන්න තරම් විශේශයක් ඩිලාන්ගෙ තිබ්බෙත් නෑ. එයා කලු කෙට්ටු උස ලමෙක් විතරයි. ඩිලාන් ස්පෝර්ට්ස් කලා. ඉස්කෝලෙ ඉද්දි චැම්පියන්ශිප් එකක් ගත්තදත් කොහෙද.


 මම, සයුරි, අනුශ්කලා එක්ක යාලුවෙක් වගේ හිටිය ඩිලාන්ව මට විශේශයෙන් පෙනෙන්න ගත්තෙ යාලුවෙක්ගෙ විහිලුවක් නිසා. ඩිලාන්ලා හරි දඟයි. හැබැයි ඉස්කෝලෙ වැඩ ටිකත් එයාලා හරියට කර ගත්තා.


කොහොම හරි 12 වසර වෙද්දි මම ඩිලාන් එක්ක යාලු උනා. යාලුවෙන්න කලින් මාස කීපයෙ අනන්තවත් අපේ ඇස් අහම්බෙන් මුණ ගැහිලා තියෙනවා.. ඒ හැම වෙලාවකදිම හිත ඇතුලෙ සමනල්ලු පියාඹන හැඟීම නොදැනුනා කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මම ඩිලාන්ට කැමති වෙන්න ඇත්තෙ එයාගෙ තිබ්බ අහිංසක කමට වෙන්න ඕනි. මොන තරම් දඟ වැඩ කලත් එයා නරක වැඩ කලේ නෑ.ඉතිං වැඩිමල් පිරිමි ලමයින්ගෙන් තියෙන ප්‍රෙශර් එක නැති කරගන්න මම ඩිලාන්ට හා කිව්වා කියලා කීවොත් වඩා නිවැරදියි.


පෙම්වතියක් උනත් මට ඒක ධාරණය කරගන්න බැරි උනා. ඇත්තටම මම ආදරය කරන්න බය උනා. මම දෙවතාවකදිම ඩිලාන්ට කිව්වා ඒ සම්බන්දය නතර කරන්න ඕනි බව. එහෙම කියපුවම ඩිලාන් මලානික වෙලා ගිය විදිය දැක්කම මට මගේ හිත ගලක් කරගෙන ඉන්න හයියක් තිබ්බෙ නෑ.. අපෙ කතාව ඉස්සරහට ගියා..


මම බලාපොරොත්තු උන විදියේ උසස්පෙල ප්‍රතිපලයක් උත්සාහ කරපු දෙවතාවෙදිම මට ලැබුණෙ නෑ..නමුත් ඒ වෙද්දි ගෙදර තිබ්බ තත්වය එක්ක ඒ ප්‍රතිපලය උනත් ලොකු දෙයක්.


මම විශ්ව විද්‍යාලයට ගියා..නොසෑහෙන දුකක් විඳලා මම උපාදිය ගත්තා. ගෙදරින් ලැබෙන මුදලක් නැතිව මහපොල මුදලයි යාලුවො එක්ක වෙඩින් වල ජයමංගල ගාතා කියලයි මම වියදම් පියව ගත්තා. සමහර දවස් වලට උත්සව වල වේටර් වැඩට ගියා. කඩවල් වල ප්‍රොමෝශන් කලා. අමාරුවෙන් උනත් මම මගේ දේවල් මැනේජ් කර ගත්තා. ඩිලාන් ඒ වෙද්දි රැකියාවක් කරනවා. මම විශ්ව විද්‍යාලයෙදි වින්ද දුක ගැන එයාටවත් කියන්න උවමනාවක් මට තිබ්බෙ නෑ. සමහරවිට එහෙම කියන්න තරම් අපේ සම්බන්ධය ශක්තිමත් එකක් නෙවෙන්නත් ඇති. එහෙම නැත්තම් ඕනි අමාරුකමක් තනියෙන් විඳ දරා ගන්නවා කියලා මං හිතන් හිටිය මුරණ්ඩු අදහස නිසා වෙන්නත් පුලුවන්. අහම්බෙන් මගේ අමාරුකම් ගැන කියවුන දවසක ඩිලාන් මට බැංකු කාඩ් එකක් හදලා දුන්නා. එයාගෙ පඩියෙන් හැම මාසෙම ඒකට යම් මුදලක් දැම්මා. බඩගින්නෙ නොයිඳ ඒ සල්ලි වලින් කෑම කාලා හොඳට පාඩම් කරන්න කියන එක තමයි එයා හැමදාම කිව්වෙ.


පිට හිටිය කොක්කෙන් මම බලාපොරොත්තු උන එක්සයිට්මන්ට් එක කැම්පස් ජීවිතේටම මට ලැබිලා නෑ.. ඒකට ඩිලාන්ට වරදක් කියන්න තරම් හේතුවක් නෑ. එයා ඒ දවස්වල මගේ පහසුව, මගේ ඉගෙනීම ගැන හරියට හිතුවා නේද කියලා මට දැන් කල්පනා වෙනවා. සමහරවිට අපි අතර සන්නිවේදනය දුර්වල වෙන්න ඇති. එහෙමත් නැත්තම් එකම බෝඩිමේ හිටිය යාලුවො කොල්ලො දෙතුන් දෙනා එක්ක යාලුවෙලා ඒ අයව බැලන්ස් කරන එක දැකලා මටත් විශේශයක් ඕනි උනා වෙන්නත් පුලුවන්. කැම්පස් එකේ මං ගැන උනන්දු උන අපේ බැජ් එකේම පිරිමි ලමෙක් එක්ක මම හොඳ යාලුවෙක් වගේ හිටියා. ඇත්තටම එයා මං ගැන හැම වෙලේම හොයලා බැලුවා. ඩිලාන්ගෙන් නොලැබුන එක්සයිට්මන්ට් එක මේ යාලුවගෙන් ලැබුණත් ඩිලාන් එක්ක තිබ්බ සම්බන්ධය නතර කරලා ඉතිරිය සැලසුම් කරන්න තරම් හයියක් මට තිබ්බෙ නෑ. මං තීරණ ගන්න දුර්වලයි.


උපාදිය සම්පූර්ණ කරනවත් එක්කම ආයතනගත පුහුනුවකට යන්න මට අවස්ථාව ලැබුනා. ඔය යන අතරතුර බස් එකකදි පිටිපස්සෙන් තෙරපෙන්න ආව මනුස්සෙක්ගෙන් මාව පරිස්සම් කරපු පිරිමි ලමෙක් මට එයාගෙ නම්බර් එක දුන්නා.


ඒ සිදුවීම මගෙ ජීවිතේ මම කරපු නරකම දේට මග පෑදුවා.ඩිලාන්ගෙ නිවුන , හැමදේම දරාගන්න චරිතය වෙනුවට මට බණින, හැමවෙලේම කෝල්ස් වල ඉන්න මට බල කරන, බීලා කියවන මනුස්සෙක්ට මම ආදරය කරන්න පටන් ගත්තා. යාලුවෙලා අවුරුදු ගානක් වෙලත් කාමර වලට යන්න කතා නොකරපු ඩිලාන් ව මෝඩයට අන්දලා මම අලුත් පෙම්වතා එක්ක කාමර වල රැය පහන් කලා...


මත්වෙලා වගේ ඩිලාන්වත් අලුත් පෙම්වතාවත් බැලන්ස් කරන් හිටියට ඒක ලොකු කාලයක් අරන් යන්න පුලුවන්කම තිබ්බෙ නෑ..එයාලට මගේ රඟපෑම අහු උනා.


ඒ එලිවෙච්ච යථාර්ථයට මූණ දෙන්න මට හයියක් තිබ්බෙ නෑ.මට ඕනි උනේ මැරෙන්න. හැබැයි ඩිලාන් එහෙම නොවෙන තැනට වටපිටාව හැදුවා.


ඩිලාන්ට උන ලැජ්ජාව, හිත් රිදිල්ල මේ තරම් කියලා මට අවබෝදයක් තිබ්බෙ නෑ. මගෙත් එක්ක කතා කරපු කිසි වෙලාවක එයා ඒ වේදනාව මට කිව්වෙත් නෑ. අලුත් පෙම්වතා කීප වතාවක් මාව එක්කන් යන්න යෝජනා කලත් මං ඒ තීරණයට කැමති උනේ නෑ. ඒ අමාරු කාලෙ ඩිලාන් මට කීව්වෙම හිතේ කලබල තියාගෙන තීරණ ගන්න ඉක්මණ් වෙන්න එපා කියලා. මාස දෙක තුනකින් පස්සෙ සාවදානව හිතලා කැමති තීරණයක් ගන්න එයා මට යෝජනා කලා. මගේ තීරණය උනේ ඩිලාන්!


ආදරය, අවබෝදය ඔක්කොටම වඩා මට ඕනි උනේ ඩිලාන් වගේ මනුස්සෙක්ට මම කරපු ද්‍රෝහීකමට වන්දි ගෙවන්න. අලුත් ආරම්භය නිසා ඩිලාන් පවා වෙනස් වෙලා තිබ්බා. එයා මට කලින්ටත් වඩා ආදරය කලා.



අපි බැන්දා.. දරුවො හදන්න උත්සාහ කලා, මිනිස්සුන්ගෙන් කතා ඇහුවා, ලෝකෙටම ණය වෙලා හිටියා.. ජීවිත ඔහොම තමයි.මට හිතා ගන්න බැරි උනේ මහා ණය කන්දකට හිර වෙලා මොනවත්ම නොවුන ගානට මගේ ලඟ හැසිරුන මනුස්සයා ගැන දැනගත්තම. එයාගෙ වැරදි නිසා මම දුක් විඳින්න ඕනි නෑ කියලා හිතුවලු. එයා ලඟ සල්ලි නැති වෙනකොට, පොඩි දේත් සතේට ගණන් හදනකොට මම ඕන තරම් දොස් කියලා ඇති එයාට. පහුවෙලා එයා හිටි තත්වෙ දැනගත්තම මට මම ගැනම කලකිරීමක් ඇති උනා.


අන්තිමට මේ ණය උගුලෙන් බේරෙන්න මමත් පුලුවන් උපරිම උදව් කලා. අපේ ආසාවල් උවමනාවල් පැත්තකින් තියලා හම්බ කරන හැම එකෙන්ම ණය සහ පොලිය ගෙව්වා.. ඒක පහසු කාලයක් නෙවෙයි. මං ඩිලාන්ට හොරෙන් ඕන තරම් අඬලා ඇති.ලඟ තියෙන සොච්චම ඉතුරු කර ගන්න කිලෝමීටර ගණන් පයින් ගිහින් ඇති. මට හයියකට තිබ්බෙ ඩිලාන්ගෙ ආදරේ විතරයි.ඒක මහා සාගරයක් වගේ එකක්.


ඩිලාන්, ඩිලාන්ගෙ ආදරය නිසා මං හිතන්නෙ මට මාව මගෑරුනා. ඩිලාන් එක්ක ගෙවපු ජීවිතය මම ප්‍රාර්ථනා කරපු ජීවිතය නෙවෙයි. ඩිලාන් එක්ක හිටියට වඩා සැප පහසු, මිල මුදල් ඇති ජීවිතයක් ලඟා කරගන්න මට ඕන තරම් අවස්ථාව ලැබුණා. ගෙදරින් ගෙනාව මංගල යෝජනා හැම එකම ඒ වගේ අය.මගේ රූපය උනත් කෙනෙක් ආස වෙන විදියේ රූපයක් නිසා මට ඉතා පහසුවෙන් ඒ ජීවිතය ලඟා කරගන්න තිබ්බා. නමුත් මගෙ තීරණය උනේ ඩිලාන්ව.


මට මැරෙන්න කලින් ඉවර කරගන්න ඕනි ගනුදෙනුවක් තිබ්බා!


ඉතිං සියලු සංතෑසි වලට පස්සෙ ජීවිතේ එක වතාවක් හරි මම ආස දෙයකුත් කරන්න ඕනි කියලා මම හිතනවා. මට දැන් දුවන්න තරඟයක් නෑ.. .තරුණ කාලෙ ඕනි වෙච්ච වෘත්තීය ජයග්‍රහන වත්, මගේ වටපිටාවෙ හිටිය මිනිස්සු අත්පත් කර ගත්තු සැප සම්පත් වත් තව දුරටත් මගේ ආසාවල් වෙන්නෙ නෑ. ඒ ජයග්‍රහන ලබා ගන්න ආසාව තිබ්බ කාලෙ මගෙ ජීවිතේ වෙනත් අරමුණක් වෙනුවෙන් දිය වෙලා ඉවර උනා. දැන් මට  ඕනි කරන්නෙ නිවී සැනසිල්ලේ, රටේ කොනකට වෙලා ගෙවන සාමකාමී ජීවිතයක් විතරයි. කාට හරි මේක පලායෑමක් කියන්න පුලුවන්. ඔව් ඒක එහෙම වෙන්න ඇති. මට පහසුවෙන් දිනන්න තිබ්බ දේවල් වෙන අය දිනාගන්නවා උපේක්ශාවෙන් බලන් ඉන්න තරම් ඉඳුරන් සංසුන් කරගෙන නෑ මම. ඉතිං පලා යෑම සතුටක්. සැනසීමක් ...


මං දන්නවා ඩිලාන්ට එහෙම බැරි වෙන්න පුලුවන්. එයාට තව බැඳීම් තියෙනවා.. ඔය සියලු දේවල් සමථයක් කරන් කවදා හරි ඩිලාන් මාව හොයාගෙන ආවොත් මැරෙණකන් එයාව බලාගන්න මට පුලුවන්..  බලමු ඉතිං .. අපේ ජීවිත මොන විදියට විසඳෙන්න තියෙනවද කියලා දන්නෙ නෑනෙ.