Sunday, August 2, 2015

the deadly yorkerer

පාකිස්ථානය සමග පැවති t20 තරගාවලිය ආරම්භයටත් කලින් තොරාගෙන තිබූ සංචිතයටත් එයට සම්බන්ධ වුනු කණ්ඩායම් නායක ලසිත් මාලිංග ගැනත් බොහෝ දේවල් කතා කෙරිනි.විශේෂයෙන් ඒ කණ්ඩායමේ ලහිරු තිරිමාන්නත් දිනේශ් චන්දිමාලුත් දක්නට නොලැබීම බොහෝ දෙනෙක් කලබලයට පත් කරන්නට හේතුවත් විය.ලංකාවෙන් බිහි වුනු සුපිරි ක්‍රීඩකයන් මේ පිළිබදව ඇගිල්ල දිගු කලේ  කණ්ඩායම් නායකයාටය.නමුත් දැඩි විවේචන හමුවේ තමන් කල අත්හදා බැලීම් අතිශයින් සාර්ථක බව ඔප්පු කරන්නට ලසිත් මාලිංග සමත් වූ බව මාගේ හැගීමයි.එක්දින තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් සිදු කල අත්හදා බැලීම් වල සාර්ථක කමටත් වඩා එය ඉදිරියෙන් තිබේ..
ලසිත් මාලිංග යනු රටකට කලාතුරකින් බිහිවන දක්ෂයෙකි.ඔහුගේ අසාමාන්‍ය  පන්දු යැවීමේ ඉරියව්ව නිසා රටට ලැබුණු ජයග්‍රහන සේම පෞද්ගලිකව ඔහුට විදින්නට සිදු වූ ශාරීරික අපහසුකම් අනන්ත බව බොහෝ දෙනෙකු නොදන්නා දෙයක්.බොහෝ දෙනෙකු චෝදනා කලද මාලිංග ටෙස්ට් තරග වලින් සමු ගැනීම, වර්ථමානයේදීද ඔහු ජාත්‍යන්තර තරග වලදී දක්නට ලැබීමේ රහසයි.තවමත් සුව නොවූ දීර්ඝ කාලීන වළලුකර ආබාදයකින් පීඩා විදින්නකු වෙහෙසකර ටෙස්ට් ක්‍රීඩාවේ නිරත වූවානම් මේ වන විට ලසිත් මාලිංග ක්‍රීඩාවෙන් සමු ගෙන වසර ගණනාවක් ගතවී තිබෙන්නට පුලුවන.ප්‍රවීන පුහුණු කරුවකු පැවසූ පරිදි ඔහු පසුගිය තරගාවලිය ක්‍රීඩා කලේද වේදනා නාශක එන්නත් වල පිහිටෙනි.

ලසිත් මාලිංගත් තේරීම් කමිටුවත් එක්ව පාකිස්ථානු සංචාරය වෙනුවෙන් තොරා ගත් සංචිතයත් එම ක්‍රීඩකයන් දැක්වූ විශිෂ්ට දක්ෂතා ත් නිසාවෙන් අහවලා නැතිනම් ලංකාවේ ක්‍රිකට් නැතැයි සිතූ පිරිසට දුන් කදිම පිලිතුරක් විය.කලකට පසුව ජාතික කණ්ඩායමට පිවිසි චාමර කපුගෙදර,දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඊලග සංගා ඊලග මහේල යනුවෙන් විවරණ ලද්දන්ට ලැබුණු අවස්ථා ඒ ආකාරයෙන් තමන්ටද ලැබුණි නම් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කිරීමට තරම් දක්ෂකාවක් හා හැකියාවක් තමන් සතු බව ප්‍රදර්ශනය කලේය.එසේම බිනුර ප්‍රනාන්දු ෂෙහාන් ජයසූරිය වැනි ක්‍රීඩකයන් වර්ථමාන ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන්ට දැවැන්ත අභියෝගයක් දිය හැකි අයවලුන් බව ප්‍රදර්ශනය කිරීමට සමත් විය... එමගින් ඇතිවන තරගකාරීත්වය නිසා ඉහල යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි තත්වය මිස ලසිත් මාලිංගගේ දෙයක් නොවේ.

සනත්ගෙන් පසු අප සිතුවේ තවත් සනත් කෙනෙකු සොයා යන්නටය. සංගාගෙන් මුරලිගෙන් මහේලගෙන් පසුවද අප කලේ ඔවුන් වැන්නවුන් සොයා යෑමය.ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැරදුනේද එතැනය.එක් එක් මොඩලයේ අය සොයා යෑම නිසා වසර ගණනාවක් දේශීය තරගාවලි තුල කොටුවී සිටි දක්ෂ ක්‍රීඩකයන් රැසකට දැන් ජාත්‍යන්තර තරග වල විකට්ටුව විවෘත විය යුතුය.ඒ වෙනුවෙන් පලමු යෝකරය දැමුවේ දඩබ්බර ලසිත් මාලිංගය.. බොහෝ දෙනෙකු නැගූ ප්‍රශ්නාර්ථ වලට ඔහු පිලිතුරු දුන්නේ එලෙසය......