Tuesday, September 29, 2015

මායාව

අපේ රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූයේ මීට වසර හයකට පෙරාතුවදීය.දශක තුනක් තිස්සේ ඇදී ගිය ත්‍රස්ථවාදය නිසා උල්ලංඝනය වූ රටේ සමස්ථ ජනතාවගේ මානව හිමිකම් ගැන වචනයක් කතා කරන්නට එවකට ජාත්‍යන්තරයේ කිසිදු රටක් ඉදිරිපත් වූයේ නැත.ලගම හිතවතා වූ ඉන්දියාව පවා යෝජනා කලේ සුලු ජාතීන් යැයි හදුන්වා ගන්නා පිරිසට බලය බෙදා දෙන ලෙසය.තත්වය එසේ තිබියදී මොකක් නමුත් හේතුවකට ත්‍රස්ථවාදීන් යුධමය වශයෙන් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා රජයට හැකි විය.එතැන් පටන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාවල් විසින් ලංකාව දෙසට ඇගිල්ල දිගු කරන්නට පටන් ගත්තේ යුද්ධය අවසාන භාගයේදී ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කලා යැයි පවසමිනි.

  යුධ අපරාධ කතා බහ සමග ජාත්‍යන්තරයේ යම් යම් එදිරිවාදීකම් සහිතව ශ්‍රී ලංකාව වසර ගණනාවක් දුෂ්කර ගමනක පැමිණියේය.. එම දුෂ්කර ගමනේ නිමාව සටහන් වන්නේ ඉකුත් ජනවාරි මාසයේ දී මෙරට සිදු වූ දේශපාලන පෙරලියත් සමගය.එතැන් පටන් අපට එරෙහිව සිටි ජාත්‍යන්තරය ලංකාව වෙත යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කලෝය.බොහෝ අය එය නව පාලකයන්ගේ ජයග්‍රහනයක් ලෙස දකින්නට උත්සාහ කලද බල පෙරලියට පුරෝගාමී වූ පිරිස තමන්ගේ නියෝජිතයන්ට හුදෙක් සහන සැලසීම විනා අන් දෙයක් නොවන බව තේරුම් ගත යුතුය.එසේම අපට යුධ අපරාධ චෝදනා ඉතා දැඩිව එල්ල කල එම පිරිස මේ වන විට එම චෝදනා යම්කිසි ලිහිල් භාවයකින් යුත්ව ඉදිරිපත් කරන්නේ සරදමට මෙනි.යුද්ධය කෙරුණු කාලයේදී මානව හිමිකම් උල්ලංගනය වූයේ නම් ඊට වසර ගණනාවකට පසු සිදු වූ බල පෙරලියක් නිසා එහි බරපතල කම අඩු වෙන්නට හැකියාවක් නැත.එලෙස යම් පාර්ශවයක් අගතියට පත් වූයේ නම් ඔවුන්ට සාධාරණයක් ඉටු වූයේද නැත.බටහිර රටවල් විසින් අනුගමනය කරන එම දෙබිඩි ප්‍රතිපත්තිය මගින්ම ඔවුන් මතු කරන්නට උත්සාහ කරන චෝදනා වල සත්‍ය භාවය අභියෝගයට ලක් කරමින් ඇත.


      මේ වන විට සිදු වූවා යැයි පවසන මානව හිමිකම් උල්ලංගනය වීම් පිලිබද පරීක්ෂණයක් කිරීම සදහා දෙමුහුන් හෙවත් ජාත්‍යන්තර හා දේශීය විනිසුරුවරුන්ගෙන් යුක්ත අධිකරණයක් පිහිටුවිය යුතු බව ජාත්‍යන්තරය විසින් වර්ථමාන ශ්‍රී ලංකා රජයට යෝජනා කරමින් සිටී.ශ්‍රී ලංකා රජය දෙසින්ද ඊට කොළ එළියක් දක්වා ඇත.එවිට මීට කලින් සිටි පාලකයන් විසින් දේශපාලන ඇගිලි ගැසීම් වලින් ස්වාධීනත්වය කෙලෙසවූවා යැයි පැවසූ, නව රජය මගින් එකී ස්වාධීනත්වය තහවුරු කර ආරක්ෂා කරමින් සිටින බව පවසන්නා වූද රටේ පවතින අධිකරණ පද්ධතිය තවදුරටත් අවිශ්වාස කරන බව ජාත්‍යන්තරයත් ශ්‍රී ලංකා රජයත් එකවිට පිලිගෙන ඇත බව වැටහෙනවා ඇත.සියල්ල සිදු වන්නේ කලින් සැලසුම් කර ක්‍රියාත්මක කරන වටපිටාවක බව හොදින් නිරීක්ෂණය කරන අයෙකුට වැටහෙනවා ඇත.


          යුද්ධය අවසාන වීමත් සමග ශ්‍රී ලංකාව දෙසට එල්ල කෙරුණු මානව හිමි කම් කඩවීමේ චෝදනා වලට රාජපක්ෂ රජය නිවැරදිව මුහුණ දුන්නේ නැත.කල්පනා කාරීව එම චෝදනා වලට පිලිතුරු දෙනවා වෙනුවට රාජපක්ෂ රජය කලේ සුපුරුදු මුරණ්ඩු ගතියෙන් එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමය.ඇමරිකාව චීනය හෝ රුසියාව වැනි රටක් එසේ හැසිරුනේ නම් කිසිදු ප්‍රශ්නයක් වන්නේ නැත.ඔවුන් ලෝකයේ සුපිරි බලවතුන්ය.නමුත් තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වශයෙන් අපට තවමත් ඕනෑවට වඩා දරදඩු වීමට අපහසුය.දේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත කොමිසමක් හමුවේ සාධාරනව පරීක්ෂණයක් සිදු කර ශ්‍රී ලංකා රජයට සම්බන්ධ කවුරුන් හෝ හිතාමතා මානව හිමිකම් කඩකර ඇත්නම් (අප දන්නා පරිදි ආරක්ෂක හමුදාවන් ඕනෑවටත් වඩා මානව හිමිකම් ආරක්ෂා කලෝය.එසේ හෙයින් සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අපහසුතාවක් නොවේ) ඔවුන්ට දඩුවම් දීම හෝ තනතුරු වලින් නෙරපා හැර ජාත්‍යන්තරයට ඕන කුදයක් ගසා ගන්නට යැයි පැවසීමට තිබූ අවස්ථාව රාජපක්ෂ රජය මගහැර ගත්තේය.දැන් සියල්ල සිදු වී හමාරය.වෙනයම් න්‍යාය පත්‍ර සහිතව පැමිණෙන විදේශිය විනිසුරන් සහිතව පරීක්ෂණයක් කරනවා වෙනුවට දේශීය මධ්‍යස්ථ  විනිසුරන් සහිතව සිදු වූයේ යැයි පවසන කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා මණ්ඩලයක් පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි විය යුතුය.එම මණ්ඩලය ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ගේ හා ඔවුන් ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය 100%ක් තහවුරු කරගන්නට මගක් තැනිය යුතුය.එසේ නොමැති වුවහොත් සිදුවන්නේ තමන්ට හිතැති විනිසුරු වරුන් මෙරටට එවා ඔවුන් මගින් දැනටමත් ජාත්‍යන්තරය විසින් හිතුමතේ එළඹ ඇති නිගමනයන් ක්‍රියාත්මක වීම පමණි.
               එම භයානක සූදානමට රටක් වශයෙන් අප එරෙහි විය යුතුය.වර්ථමාන පාලකයින් තමන් යුද්ධයට සෘජු ව හෝ වක්‍රව දායකත්වය නොදුන් නිසා ජාත්‍යන්තරය සතුටු කිරීමට, යෝජිත හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කලහොත් එය නැවත මේ රට ලේ විලක් කිරීමට යන මාවතේ පලමු පස් පිඩ කැපුවා හා සමානය.

Tuesday, September 22, 2015

අපේ රට

අපේ රටේ සිටින්නේ මහා අමුතු ජීවී කොට්ඨාසයකි.උන්ට කන්නට ලැබෙන්නේ නම් වෙන කිසි දෙයක් කමකට නැත.මානව හිමිකම් සමුලුවෙන් අපට එරෙහිව වාර්තාවක් ගෙන එද්දී කිසි එකෙක් ඒකට සාක්කි දුන්න එවුන්ගේ විශ්වාසය අවංක කම ගැන ප්‍රශ්න කරන්නේ නැත.කොහේ හෝ එකෙක් වෙල් ඩන් මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් කියනවා අසන්නට ඇති ආසාව නිසා අපි කරන්නේ කොහේ හෝ එකෙක් හිතුමතේ හදපු වාර්ථාවක් ගැන දැගලීමය

  අනෙක නම් මේ රට බෞද්ධ රටක් නිසා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවය.මේ රටේ එවුන් ආගමට දහමට අනුව ජීවත් වෙනවා නම් අහස පොළව නුහුලන අපරාධ දිනෙන් දින ඉහළ යන්නේ නැත.කිරි සප්පයන් දූෂණය කර මරා දමන්නේ නැත.හන්දියක් හන්දියක් ගානේ පිළිම වහන්සේලා හදන්නේද නැත.මරණ දඩුවම ක්‍රියාත්මක කලා කියා අපට නැතිවෙන මගුලකුත් නැත.

  අපි තව තවත් එක එකා සංතෝස කරමින් ජීවත් වෙමු.ඒක හෙන ආතල්ය.කොහෙන් හරි රටට සල්ලි ටිකක් ලැබෙන්නේය.අපි ඒවායින් කමු බොමු ප්‍රීති වෙමු.!!!

Sunday, September 20, 2015

ආන්න බලන්න මෛත්‍රිය

තවත් මැතිවරණයක් හමාර වී ඇත.බොහෝ දෙනෙක් අපේක්ෂා නොකලද අගෝස්තු 17 වැනිදාට පෙර රට කරවූ අය බලාපොරොත්තු වූ ප්‍රතිඵලයම ලැබී ඇත.නමුත් මට පෙනේන්නේ එය මනා සැලසුමක තවත් පියවරක් වශයෙනි.පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ව ජනාධිපති පුටුවෙන් බිමට ඇද දමන්නට සැලසුම සකස් කර තිබුණේ ඊට වසර 3කට ඉහතදී බැව් එම සැලසුමේ දැවැන්න කොටස්කරුවකු වූ තුසිත හල්ලොලුව වීර කාව්‍යයක් සේ කොටසින් කොටස තවමත් මාධ්‍යයට විස්තර කරමින් සිටී.එම සැලසුමට සම්බන්ධ වූ එවක විපක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂයේ අයගේ නම් ගම්ද බිදෙන් බිද එළියට එමින් තිබේ.සැලසුම කෙසේ වී දැයි වටහා ගැනීමට එම සැලසුමට සම්බන්ධව සිටි මර්වින් සිල්වා,රාජිත සේනාරත්න,මංගල සමරවීර යන අයගේ නම් දුටු පමණින් සාධාරන පුද්ගලකුට හැකියාව ඇත.මහින්දගේ දෙවැනි ධුර කාලයේ සිදු වූ සමහරක් අත්තනෝමතික ක්‍රියා සදහා සෘජුව ම ඉහත කී සැලසුමට සම්බන්ධව ක්‍රියා කල පිරිස් වග කිව යුතු බව සරල තර්කයකි.නමුත් එම ක්‍රියා සාධාරනීය කරණය කිරීම හා ඒවාට නිසි දඩුවම් නොදීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීමේ වගකීමෙන් කිසි දිනෙක ඔහුට ගැලවීමක් නොවේ.වසර 50 කට අධික දේශපාලන අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂ වරද්දා ගත්තේ එතැනදීය.ඔහු සිතා සිටියේ සියල්ලන්ම තමා ජනාධිපති ලෙස කරතබාගෙන යනු ඇති බවය.

එසේම තුන්වැනි ලෝකයේ කුඩා කොදෙව්වක ජනාධිපති වරයකු ලෙස සපුරා ගැනීමට අතිශයින් අපහසු සංවර්ධන ආර්ථික මෙන්ම ගෝලීය ජයග්‍රහන රැසක් මහින්ද රාජපක්ෂ ලබාගෙන තිබීමත් ඔහු බටහිර වෙනුවට පෙරදිග  බලවතුන්ට නැඹුරු වීමත් නිසා විශේෂයෙන් ඇමරිකාව පුමුඛ බටහිර බලවතුන්ගේ උවමනාවල් ඒ ආකාරයෙන්ම මේ රට තුල ක්‍රියාත්මක කිරීමට මහින්දගේ පාලනය තුල දී නොහැකි වීමත් නිසා ජාත්‍යන්තර කොටි ත්‍රස්තවාදී මත දරන්නන්ගේ සහයෝගයද ඇතිව ඊනියා මානව හිමිකම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් මහින්දත් ශ්‍රී ලංකාවත් හුදෙකලා කිරීමට බොහෝ රටවල් වලට උවමනාවක් වී තිබුණි.එසේම හැකි ඉක්මණින් රටේ පාලනය වෙනස් කිරීමට ඔවුන් දැඩි අවධානයෙන් කටයුතු කර ඇති බව පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව කොන්ග්‍රස් මණ්ඩලයට විශේෂ වාර්ථාවක් ඉදිරිපත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරයා කල කථාවෙන් තේරුම් ගත හැක.ඉන්දියානු සාගර කලාපය තුල ඇමෙරිකාව හෝ ඔවුන්ට හිතවත් ඉන්දියාව වෙනුවට චීනය තම බලය තහවුරු කර ගැනීම ඉන්දියාවත් ඇමෙරිකාවත් නොරුස්සන කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.මහින්දගේ ක්‍රමයට (අඩුම තරමේ 60% ක ප්‍රමාණයක් වත් මෙරට බහුතර ජනයා අනුමත කරන) රට කරගෙන යෑමට බටහිර රටවල් උපකාර නොකල අවධියක තවමත් ලෝකයේ බලය තහවුරු කර ගනිමින් සිටින එනිසාම උපාය මාර්ගිකව අමෙරිකාවට සාපේක්ෂව අඩු කොන්දේසි ප්‍රමාණයක් සහිතව සහයෝගය දෙන චීනය දෙසට නැඹුරු වීම හැර මහින්දට වෙනත් විකල්පයක් නොවීය.එනිසාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල යම් ශක්තියක් ඇති කරගන්නටත් ලෝකයම ආර්ථික අවපාතයක ගිලුනු 2007 වසර තුල ශ්‍රී ලංකාවට යම් ස්ථාවර බවත් ඇතුව සිටීමටත් හැකි විය.මේ සියලු කාරණා අතර තිස්වසරක යුද්ධය නිමා කිරීමටත් එනිසාම රටට මග හැරී තිබූ යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීමටත් මහින්දගේ රජයට හැකි විය.මහින්ද ජනතාවගේ වීරයෙකු වූයේ එසේය... ගොඩනැගුනු කීර්තිය ට ගුල්ලන් ගසද්දී මහින්ද ඊට පිළියම් නොයෙදූ තරමට 2010 දී වැඩි ඡන්ද ලක්ෂ 18 කින් ජය ගත් මිනිසා 2015 දී පරාජය කිරීමට තරම් රටේ ජනතාව තුල ගොඩ නැගී තිබූ විශ්වාසය අභියෝගයකට ලක් කිරීමට විපක්ෂ කණ්ඩායම් වලට හැකි විය.


මේ සියලු කාරණා නිසා බොහෝ විට වැරදි හෝ කපටි උපදෙසක්  මත නියමිත දිනට වසර දෙකක් පෙරාතුව ජනාධිපතිවරණය කැදවීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කිරීම හි ආදීනව දැන් ඔහු විසින්ම විදවනවා ඇත.එසේම ඒ උණුසුමේදීම තම සංධානයේ සිටි කුඩා පක්ෂ හා කණ්ඩායම් විසින් යෝජනා කරන ලද දේශපාලනික ප්‍රතිසංස්කරණ නොසලකා හැරීම නිසා ලබා ගත හැකිව තිබූ යම් ඡන්ද ප්‍රමාණයකුත් අහිමිව විපක්ෂ ක්‍රියාකාරීන් සමග එක්වූ තම සගයන්ගේ තර්ක සමග නැවත වරක් තමන් යන ගමන ගැන කල්පනා කරන්නට පෙළඹුණු උගත් පාක්ෂිකයන් ට නිවැරදි ලෙස පිළිතුරු දීමට හෝ එවැන්නක් ගැන සිතා බැලීමට වත් කාලය මිඩංගු නොකල රාජපක්ෂ ජනාධිපතිවරයා සියල්ල ජ්‍යෝතිශයට බාර දී පසෙකට වී සිටියේය.නමුත් සැලසුම් සහගත වැඩපිලිවෙලක යෙදුනු විපක්ෂය දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් නොයෙක් මඩ ප්‍රහාර දියත් කරමින් රාජපක්ෂගේ කදවුර බිදින්නට සමත් විය.

ජනාධිපතිවරණයට පෙරාතුව එතනෝල් චෝදනා එල්ල වුනු ඇමතියා ජනාධිපතිවරණයෙන් පසු සිර භාරයට ගත්තේය.නමුත් චෝදනාව, ණයට ලබා ගත් භාණ්ඩ සදහා සිදු කල යුතු ගෙවීම් අදාල මුදල් වර්ශය අවසාන වීමට පෙර ගෙවීමට නොහැකි වීමය (නඩු දමන විටදීත් එම මුදල් පියවා තිබූ අයුරු ජනමාධ්‍ය ‍යෙන්  අපි දුටුවෙමු).රජයේ මුදල් ගසා කෑවා යැයි කියූ මහා පරිමාණ ව්‍යාපෘති වලින් 50% ට වඩා කොමිස් ගත්තා යැයි කියූ ඇමතියා ද සිරභාරයට ගත්තේය.චෝදනාව දිවි නැගුම මුදල් අව භාවිතයේ යෙදවීමය.ඒ සදහා කිසිදිනෙක සිදු නොවූ ලෙස උසාවිය රාත්‍රී 10 තෙක් විවෘත විය.ඒ අත්අඩංගුවට ගන්නා දිනයේද අලුත් ඇමතියා දිවි නැගුම ප්‍රතිලාභී පවුල් නොවන තම පක්ෂ ආධාර කරුවන්ට දිවි නැගුම අරමුදලින් ණය පිරිනමද්දී අප දේශ හිතෛශී, නිදහසින් පසු මෙරට පහල වූ විශිෂ්ටතම ජනාධිපති යැයි සහචරයන් හදුන්වා දෙන මහතානන් කලේ තම රජයේ අගමැති ඒ පිලිබදව දැනවත් කිරීමය.අගමැත්තා කලේ ඇමතියා දැනුවත් කිරීමය.උන් මහා ඉහලින් කතා කල නීතියේ ආදිපත්‍ය විසැදුනේ එලෙසය.
             
                        ජනාධිපතිවරණයෙන් මාස 9 කට පසුව මේ වන විට ජනාධිපතිවරයා හා කැබිනෙට්ටුව කටයුත් කරන්නේ මහින්ද රාජපක්ෂගේ පාලනය වසර 9ක් තිස්සේ එකතු කර ගත් ඇද කුද සියල්ල  මේ මාස 9 තුල ප්‍රදර්ශනය කරමින්ය.ජනතාව විසින් නැවත පාර්ලිමේන්තුවට වද්දා නොගත යුතු යැයි ප්‍රතික්ෂේප කල හිටපු ඇමතීන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නිවුනු ජනාධිපතිවරයා විසින් ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන්වා ගත්තා සේම ඉන් බහුතරයකට ඇමති කම්ද ප්‍රදානය කලේය.රටේ දේශපාලනය නිවැරදි මාර්ගයකට ගන්නට ඔහුට තිබුණු උවමනාව හුදෙක් ඡන්ද කතාවක් පමණක් බව දැන් මිනිසුන්ට වැටහෙමින් ඇත.ඔහුටද ඇත්තේ තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ගොඩනැගීම පමණකි.එසේම පසුගිය ජනවාරියට කලින් රටක් ලෙස ලංකාවට එරෙහිව සිටි බොහෝ බටහිර රටවල් මේ වන විප අපට ජාත්‍යන්තරයේදී සහය පලකරමින් සිටී.දේශපාලන අන්ධයන් මෙය නව රජයේ විදේශ ප්‍රතිපත්තිය ලැබූ ජයග්‍රහනයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කලද සත්‍ය තත්වය නම් රටේ පාලනය වෙනස් කිරීමට සැලසුම් කල අය විසින් එම සැලසුම් නිසි මග රැගෙන යාමට අවශ්‍ය පහසුකම් පසයා දීමක් පමණි.