Wednesday, December 26, 2018

දිව්‍යලෝකය ඈතක නොවේ

බෙලිහුල් ඔය... ජීවිතේ කොයි තරම් වතාවක් ගියත් එපා වෙන්නෙ නැති පලාතක්.ප්‍රධාන පාර අවට නුවරඑළිය තරම්  කටුක සීතලක් නැතත් නන්පේරියල් හෝ සීලෝගම පැත්තට යද්දි සීතල නුවර එළියට දෙවෙනි නෑ.එයිනුත් නන්පේරියල්..ඇග හිරිවට්ටන තරමේ සීතල වතුර ටිකක් නාල දවස ගත කරන්න ඉතාම හොද තැනක්.
නන්පේරියල් හමුවෙන්නෙ බලංගොඩ-හපුතලේ ප්‍රධාන මාර්ගයෙ බෙලිහුල්ඔය (ගලගම) කඩමණ්ඩිය පහු කරල හපුතලේ පැත්තට කිලෝමීටරයක් විතර ගියාම වම් පැත්තට හැරෙන්න තියෙන පාරෙ ගියාම.හපුතලේ ඉදන් එනව නම් සබරගමුව විශ්ව විද්‍යාලය පහු කරන් බලංගොඩ පැත්තට එද්දි දකුණු අත පැත්තෙ තියෙන පාර.නන්පේරියල් වතු යාය කියල ගහල තියෙන නිසා පාර හොයා ගන්න අමාරු වෙන්නෙ නෑ.කොළඹ ඉදන් එන කෙනෙක්ට නම් යෝජනා කරන්නෙ කොළඹ-බදුල්ල නයිට් මේල් එක.ඒකෙ ඇවිත් හපුතලෙන් බැහැල බස් එකක නැගල නන්පේරියල් හන්දියෙන් බැහැගන්න.
නන්පේරියල් කියන්නෙ පෞද්ගලික වතු යායක්.ඒ නිසා නන්පේරියල් මාර්ගයෙ ඉහලටම ගිහින් බේකර්ස් වංගුව හෝ නග්රැක් බංගලාව බලන්න අදහසක් තියේ නම් ඒ සදහා අවසර ගත යුතුයි.ඒකට නන්පේරියල් මාර්ගයේ ඉහලට ගියාම හමුවෙන තේ කර්මාන්ත ශාලාව අසලින් ඇහුවම එතන ඉන්න අය උදව් කරයි.
මේ කියන්නෙ එහෙම අවසර නොගෙන සංචාරය කරන්න පුලුවන් සීමාවෙ ඉදන් විදින්න පුලුවන් උපරිම සංචාරක අත්දැකීමක් ගැන.
බොහෝ අය දන්න විදියට කොළඹ- බදුල්ල ප්‍රධාන මාර්ගයෙ ඉදන් නන්පේරියල් දිහාවට යද්දි යුධ හමුදා අනු ඛන්ඩයක් ස්ථාපිතයි.මේ යුද හමුදා අනු ඛන්ඩය විසින් ඉතාම සහනදායී විදියට ලබාගත හැකි සංචාරක නිවාස දෙකක් පවත්වාගෙන යනව.ඒ වගෙම එයාලගෙ සුභසාධක වෙළදසැලෙන් දවසේ ඕනෑම වෙලාවක ආහාර ඇණවුම් කරල ගන්න පුලුවන්.මේ යුද හමුදා කදවුර ආසන්නයේම  පෞද්ගලික හෝටලයකුත් පවත්වාගෙන යනව.නමුත් එය යෝජනා කරන්නෙ නෑ.ඒ වගෙම කදවුරින් කිලෝ මීටර කීපයක් ගියාම වන සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කදවුරු භූමියකුත් තියෙනව.
ඔබ පාරිසරික සංචාරය ගැන උනන්දු අයෙක් නම් නන්පේරියල් කියන්නෙ කිසි දවසක අමතක නොවෙන අත්දැකීමක් වේවි.පැහැදිලි ඉර එළියත් සැනෙන් මීදුමෙන් වසා ගන්නා වට පිටාවත් ආනන්දනීයයි.හෙල්මලු ක්‍රමයට වගා කරන පුංචි කුඹුරු යාය පිළීවෙල ගැන අලුත් පාඩම් උගන්නාවි.




හෝටන් තැන්නෙන් ආරම්භ වෙලා සමනල වැවෙන් අවසන් ගමන් යන මේ නොයිදුල් ජල පහරවල් වල තියෙන්නෙ අතිශයින්  සුන්දර ගමන් රටාවක්.විටෙක සුන්දර දිය ඇලි මවන ඇළ පහර තවත් විටෙක  නොගැඹුරු දිය තලයක් ඇති කරන්නෙ සංචාරකයන්ට හිතූ තරම් ස්නානය කරන්නට ඉඩ හදමින්.නමුත් ඉහළ කොටසට ඇති වන වර්ෂා තත්වය නිසා මේ වතුර මට්ටම් ක්ෂණිකව වැඩි වෙන්න පුලුවන්.පැහැදිලි දවසක උනත් දිය නෑමේදී ජල මට්ටම ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි.
සංචාරකයන්ගෙ වගකීම් විරහිත හැසිරීම නිසා මේ පරිසර පද්ධතිය ඉතා වේගයෙන් අභාවයට යමින් තියෙන්නෙ.හිස් අරක්කු බෝතල,ප්ලාස්ටික් ආදී  අනවශ්‍ය බොහෝ දේ අගන්තුක මිනිස්සු පරිසරයට එකතු කරමින් තියෙනව.දැනුවත් කිරීමෙන් බලා නොයිද නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හරි පරිසරය රකින වැඩ පිලිවෙලක් බලධාරීන් ඇති නොකලොත් මේ සියල්ල තව වසර කීපයකින් මතකයක් විතරක් වේවි.
සංචාරකයන්ට විදගන්න ස්වභාවධර්මයේ අපූරු නිර්මාණ මහ ගොඩක් නන්පේරියල් ඉසව්වෙ තිබුණත් ඒ එකින් එක විස්තර කරන්න අදහසක් නෑ.ඒ සංවේදී තැන් ප්‍රසිද්ධ උනොත් මේ වෙද්දි උඩ දියලුමට ඇති වෙලා තියෙන තත්වයට නොදෙවෙනි විනාසයක් වෙන්න පුලුවන්.උනන්දුවක් තියෙන, පාරිසරයට ආදරේ කරන කෙනෙක් නම් හොයාගෙන ගිහින් ඒ පහස විදින්න..
දිව්‍ය සැප මිහිපිටම විදින්න පුලුවන් බව වැටහේවි.

Wednesday, December 12, 2018

අවසාන වතාවට


හැන්දෑ හිරු රැස් වැටී දිලිසෙන දියවන්නාවේ දිය රැලි දෙස හිස් බැල්මෙන් බලා ඉන්නට ඇය හැමදාම ආසා කලාය.හමා යන සුලගින් කැළඹෙන ජල තලය නොනවත්වා ලෙලදෙමින් තිබුණි.ඇගේ දෑතට මැදිව තිබූ මගේ සුරත මුදවා ගන්නට මං උත්සාහයක් නොගත්තෙමි.වසර ගණනක් පුරා සති අන්තයන් වල සෙසෙහස විදින්නට පැමිණි දියත උද්‍යානයේ, පෙම්වතුන් ලෙස අවසන් වතාවටත් අපි ලංව සිටියෙමු.
"ශානි..., නංගි අපි යමුද එහෙනම්...."
ඇය සෙමින් මගේ අත නිදහස් කර අසුනින් නැගී සිටියාය.මුහුණ මැලවී දෑසේ කදුලු පිරී තිබුණත් ඇගේ බැල්ම අධිෂ්ඨානශීලීය
"පරිස්සමින් ඉන්න සුදු අයියෙ... ඔයාට බුදු සරණයි"
 දෙපතුල වෙත නැවෙන්නට උත්සාහ කලද දෙවුරෙන් අල්වා මා ඇය වලකාලීමි.
"පිස්සුද දරුවො... මොනව වෙනස් උනත් ඔයා නංගියෙක් විදියට මගේ ලග ඉන්නවනෙ."
ඇය සෙමින් ඇවිද ගොස් ත්‍රීරෝද රථයක නැගී පිටත්ව ගියාය.රැකියාවේ පහසුව තකා ලබා ගත් මෝටර් රථයට නැගී මම නිවෙස බලා පිටත්වීමි.
ඇය කිසිවිටෙකත් සුකුමාල තරුණියක් නොවූවාය. පත පොතින් මෙන්ම සමාජයෙන් ලත් පන්නරයෙනුත් ඈ බොහෝ දැනුම් තේරුම් ඇති තැනැත්තියක් බවට පත් කර තිබුණාය.පියාගේ උත්සාහයෙන් ලගා කරගත් සැප සම්පත් කිසි විටෙක ඇයට ආභරණයක් වූයේ නැත.ඒ සියල්ල ඇය වින්දේ මැදහත් සිතිනි.

ශානි මට මුණ ගැසෙන්නේ උසස් පෙළ අවධියේදිය.උපකාරක පංති සදහා සහභාගී වෙද්දී ඈ වෙත ඇදී ගිය සිත අවසානයේ නතර වෙන්නේ ඇගේ තුරුල්ලේය.දැඩි තරගකාරී බව නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් දිනා ගන්නට නොහැකි වුවද පියාගේ මග පෙන්වීම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගැනීමට ඇයට අපහසු කාරණාවක් නොවිනි.අධ්‍යාපනය හමාර වෙද්දීම රැකියාවක් ලද නිසා සතුටින් ඇගේ කාලය ගෙවී ගියේය.

පළමු වර උසස් පෙළ විභාගයෙන් මට ලැබුණු ප්‍රතිඵලය අගනුවරින් විශ්ව විද්‍යාලයට තේරී පත්වන්නට කිසි ලෙසකින් ප්‍රමාණවත් වන්නේ නැත.ඒ නමුත් දෙවැනි වතාවක් ගැන සිතන්නට නිවසේ ආර්ථික තත්වය බාධා කලේය.නිවසේ වියහියදම් සියල්ල සපුරා නංගීටත් මටත් ඉගැන්වීමට අම්මා නොගත් වෙහෙසක් නැත.නුගේගොඩ මංසන්දියේදී ත්‍රස්ථවාදීන්ගේ බෝම්බයකට මැදිව තාත්තා දෙනෙත් පියා ගත් 2007 වසරේ සිට තනිව සටන් කල අම්මා දිගින් දිගටම වෙහෙස කරවීමට මට අයිතියක් නැත.ඖෂධ සමාගමක ප්‍රවර්ධන නිලධාරී තනතුරක් අත්පත් කරගත්තේ කල් මැරීමෙන් ඵලක් නොවන නිසාය.

 නිසි වයස සම්පූර්ණ වූ කාලයේ පටන් ශානි වෙනුවෙන් විවාහයට සුදුසු අය සෙවීමට ඇගේ මවත් පියාත් නිරන්තරයෙන් උත්සාහ කලෝය.බොහෝ අය නිවසට පැමිණ ගියද කුමක් හෝ කරුණක් ඉදිරියට දමා ඉන් ගැලවෙන්නට ඇය සමත් විය.ඒ අතරතුර කාලයේ ඇගේ පවුලේ මට්ටමට නැතත් මා වෙනුවෙන් යම් ස්ථාවරත්වයක් ගොඩ නගන්නට අප දෙදෙනාම කටයුතු කලෙමු.නමුත් මට අත්හල නොහැකි වගකීමක් අම්මාත් නංගීත් වෙනුවෙන් ඉටු කරන්නට  ඇත.

 ඇගේ නිවෙසින් ලැබුණු පීඩනය නිසාම අපේ සම්බන්ධය ගැන නිවෙස් වෙත දන්වන්නට අපට සිදු විය..මගේ කතාව සාවධානව අසා සිටි අම්මා ඇසුවේ ඇයට අප මෙන් අවම පහසුම් යටතේ ජීවත් විය හැකිද යන්න පමණකි.නමුත් ශානී ගේ පාර්ශවයෙන් අපට සතුටුදායක පිලිතුරක් ලැබුණේ නැත.සත්‍යයකි....., ඒ සමාජ වටපිටාව හා තත්වයට ලගා වීමට මට තව බොහෝ දේ අත්පත් කරගත යුතුය.

එක්තරා සන්ධ්‍යාවක ඇගේ නිවසට මා කැදවනු ලැබිණි.රාජ්‍ය ආයනයක ඉහල පුටුවක් හොබවන පියාත්,ගුරුවරියක් වූ ඇගේ මවත් අප දෙදෙනා හිදුවා ජීවිතය ගැන බොහෝ දේ කියූවෝය.. දෑසින් ඇද වැටෙන කදුලු ඔහේ ගලාගෙන යත්දීත් මගේ ඇගිල්ලක් දැඩිව අල්ලාගෙන ඇය ඒ සියල්ල අසා සිටියාය..පිරිමි හිත කොයි තරම් දැඩි උනත් හීන එකින් එක බිද වැටෙද්දී නොකැලඹී සිටිය හැකි වේ යැයි විශ්වාස නොකරමි. අභ්‍යන්තරයෙන් මං වැලපුනෙමි.. බොදව යන්නේ ආසාවෙන් සිහින මැවූ අපේ අනාගතයයි..

ඒ දෙමව්පියන් අපේක්ෂා කරනා තත්වයට ලගා වීමට තව කාලයක් කැපවීමෙන් ඉපැයිය යුතුය.ඇගේ සෙනෙහසේ ශක්තිය වේ නම් ඉලක්කය එතරම් අපහසු දෙයක් නොවේ.නමුත් දෙමව්පියන් සොයන්නේ තත්වය ලගා කරගත් අයෙක් මිස ඒ වෙනුවෙන් කැපවෙන අයෙකු නොවේ.

--------------------------------------------------------------------------------------------------------------------------
අවසානයට තව බොහෝ දුර ඇත...,

නිදි වැරූ දින කිහිපයක ඇවෑමෙන් අප යා යුත්තේ මං දෙකක බව වටහා ගත්තෙමු.සෙනෙහසේ අඩුවක් නොවුනද සියල්ල සම්පූර්ණ වීමෙන් මිස සතුටක් නොවනු ඇත.ඇය, දෙමව්පියන්ගේ දියණිය ඔවුන් සතුටු කල යුතුමය.සිහින, ආශාවන් සියල්ල පසෙකට දමා අප මං දෙකක යා යුතුමය... දෛවය ලියැවී ඇත්තේ එලෙසය.

දරුවන් රැසක් ලැබ ඒ සියල්ල තුරුලු කරගෙන සිටින්නට අප දුටු සිහින, සිහිනයක්ම පමණක් වනු ඇත.ඇගේ ලමැදේ සුව විදින්නට මා පෙරුම්පුරාගෙන උන්නෙමි.විවාහය, තවදුරටත් එය සුන්දර වදනක් නොවේ...

කාළය ගෙවී ගියේ වියෝවේ දුක් තුනී කරගෙනමය.අප අවබෝධයෙන් දෙපසකට වූ නිසා කතා බහ කිරීමේ නොහැකියාවක්ද සිදු නොවීය.අලුත් අවුරුදු දවසටත් උපන්දිනය එද්දීත් නොවරදවා ඇය මා ඇමතුවාය.අප අපේ සීමාවේ හිද ඇසුරු කලෙමු.

--------------------------------------------------------------------------------------------------------------------------
 ශානිගේ අත ගැනීමට උඩරට රදල පරපුරක කඩවසම් වෛද්‍යවරයෙකු මුණ ගැසී තිබුණි.ඔහු කරුණාවන්ත ආදරණිය අයෙකු බව ඉදහිට ලැබෙන ඇයගේ විස්තරයෙන් මා තේරුම් ගතිමි.අහම්බයෙන් දිනෙක ඇදුම් සාප්පුවක් ඉදිරිපිටදී අප තිදෙනා මුණ ගැසෙන විටත් ඔහු මා ගැන දැන සිටියා විය යුතුය.තරුණයා සමග සිටි ඈ මා හදුන්වා දුන්නේ කලින් විස්තර කියා තිබූ සුදු අයියා ලෙසටය..
මිනිසුන් අවබෝධයෙන් කටයුතු කරන විට ලෝකය ලස්සනය...

 ඇයගේ විවාහයට දින තීන්දු වී තිබුණි.කොළඹ තරු පහේ හෝටලයක සූදානම් කර ඇති ඒ වෙනුවෙන් අති විශාල මුලදක් වියදම් වනු ඇත.ඇය මා වෙනුවෙන් ආරධනා පත්‍රයක් ලියා එවූවාය.කාඩ් පත ලද සැනින් ඇය අමතා සුභ පැතුම් එක් කලද කෙදිනක හෝ මගේ මනාලිය වේ යැයි ප්‍රාර්ථනා කල යුවතිය වෙනත් කෙනෙකුගේ අතිනත ගෙන සිටිනු ඉවසීමෙන් ධාරනය කරගත හැකි යැයි නොසිතන නිසා විවාහ උත්සවය මග හරින්නට මම ස්ථිර කර ගතිමි.තව දුරටත් අප අතීතය ආවර්ජනය කල යුතු නැත.විවාහයෙන් පසු සැප දුක් සොයා බලන්නට වත් උත්සාහයක් නොගනිමි.දැන් ඇයට සුන්දර ලෝකයක් හිමිවන්නට නියමිතය. අහිංසකිය ඇගේ ලෝකයේ සතුටින් සිටිය යුතුය.


සුදු අයියෙ බිසීද?......
කාලයකින් ඇමතුමක් ගත් ඇය විමසයි.
නංගි මං ඩ්‍රයිව් කරන ගමන් ඉන්නෙ.ඇයි හදිසියක්ද?
නෑ අයියෙ... ඔයා ෆ්රී වෙලාවක ගන්න..
ඇයට යම් කිසි අපහසුතාවයක් ඇති වී යැයි මගේ සිත කලබල වෙන්නට විය...බෞද්ධාලෝක මාවත දිග ධාවනය වෙමින් තිබූ රථය අතුරු මාර්ගයකට හරවා නැවතීමි.රථයේ එංජිමවත් නතර නොකර මා ශානී ට ඇමතුමක් ගතිමි.
දුරකතනය වැඩි වේලාවක් නාද වීමට ඉඩ නොතබා ඇය පිලිතුරු දුන්නාය

සුදු අයියෙ... ඔයා වැඩකට යන ගමන්ද?
කමක් නෑ නංගි..., මොකක් හරි ප්‍රශ්නයක්වත්ද
නෑ අයියෙ ප්‍රශ්නයක් නෙවෙයි...... මට ඔයාව මුණ ගැහෙන්න උවමනා වෙලා තියෙනව
ම්.... මොකද හදිසියෙ?
නෑ අයියෙ හදිසියක් නෙවෙයි..නිකන් මට හිතුනෙ..., ඔයාට ෆ්රී එකක් තියෙන්නෙ කවද වගේද?
නෙක්ස්ට් ෆ්රයිඩේ වගේ අවුලක් නැති වෙයි නංගි.මං කොළඹ ඉන්නෙ ඒ දවස් වල...
ආ.. හරි එහෙනම්.එදාට වෙන  වැඩක් දාගන්න එපා.මං උදේට ඔයාට කෝල් කරන්නම්
ශානී....... මොකද මේ...?
මං සිකුරාදට කියන්නම්කො.... එහෙනම් මං තියන්නම්... බුදු සරණයි..
සිදුවෙමින් ඇත්තේ කුමක්දැයි මට පැහැදිලි නැත.එලඹෙන සිකුරාදා වන තුරු ඇයගෙන් යමක් දැනගත හැකි නොවේ.ඊට පෙරාතුව ඇයව අමතන්නටද සිත් නොවේ.එවැනි වටපිටාවක් තවදුරටත් නැත.

දින ගෙවී යන්නේ විදුලි වේගයෙනි.රාජකාරී කටයුතු සදහා අගනුවරින් බැහැරට යාමට සිදු වූ නිසා කාලය ගෙවී යන වේගය දැනුනේ නැත.


නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණි ඇය මහරගමදී මා ඊට නංවා ගත්තාය.හයිලෙවල් මාර්ගය දිගේ  හෝමාගම දෙසට ධාවනය කල රථයේ රියදුරු අසුන වැඩි දුරක් යන්නට මත්තෙන් මට භාර ගන්නට සිදු විය.ඇය හැසිරෙන්නේ මීට වසර ගණනාවකට පෙරාතුව මා දුටු යෞවනිය ලෙසිනි... ගමන් කල යුත්තේ කොහේ දැයි විමසුවද පැහැදිලි පිලිතුරක් ලැබුණේ නැත.ඇය කලේ ගමන් කල යුතු මාර්ගය පෙන්වා දීම පමණකි.පැහැදිලි අදහසකින් නොවූවද මම වැඩි ප්‍රශ්න නොඅසා රථය පදවාගෙන ගියෙමි. අධිවේගී මාර්ගයට ඇතුලු කල රථය බණ්ඩාරගමින් පිටවී පානදුර ප්‍රදෙශයේ හෝටලයක් ඉදිරිපිට නවතනු ලැබිණි.

හෝටලයේ  පිළිගැනීමේ නිළධාරිනිය හමු වූ ඇය සිය අන්‍යතාවය තහවුරු කලාය.එතැන් පටන් සේවකයන් අපට සැලකූයේ සැමියා හා බිරිද ලෙස වටහාගෙනය.

ඇය කල් තියා මේ ගමන සූදානම් කර ඇත.
--------------------------------------------------------------------------------------------------------------------------
සුපිරි පංතියේ කාමරයක ගෙවුනු පෑ කීපය තුල මීට පෙර ඇගෙන් මා නොලැබූ බොහෝ ද‍ේ පුද කල සිටියාය..
අරමුණක් නොදැන ආ ගමනක් උවද අතීතයේ ආශා කල පපු තුරුල්ලේ සුවය මම වින්දෙමි!
නෑඹුල්ව ප්‍රාර්ථනා කල සුවය, කුලුදුලේ නොවූවද සිත් පුරා විද ගතිමි...

සයනයෙන් ඉවත ගිය ඇය අවරට යන  හිරු රැසින් ආලෝකමත් වූ කරදිය තලය දෙස නිසොල්මනේ බලා සිටියාය.. මුහුණේ ඇත්තේ තෘප්තිමත් හැගීමකි.
සැහැල්ලු ඇදුමින් සිටි ඇයගේ නාරී දේහයට මේ තරම් ලොබ සිතුනේ පලමු වරටය

ශානී......, ඔයා ඇයි මේ වගේ දෙයක් ප්ලෑන් කලේ...?
සුදු අයියට මතකද..., ඉස්සර අපි ගොඩාක් හීන මැව්ව? දරු පැටව් ගොඩාරියක් හදාගෙන උන්ව තුරුල් කරන් නිදාගන්න....? 
සුදු අයිය ආසයි කිවුවෙ මගෙ පපුවට මූණ තියාගෙන ඉන්න.....
වයිෆ් කෙනෙක් විදියට මට ඒ කිසි දෙයක් ඔයාට දෙන්න වාසනාව නෑ අයියෙ...වෙඩිංග් එකෙන් පස්සෙ රහල් එක්ක ඉංග්ලන්ඩ් යන්න ඉන්නෙ....එයාගෙ හයස්ටඩි වලට.අපි ආයෙ ලංකාවට එයිද දන්නෙ නෑ....,
හැකියාව තියෙද්දිත් මං ඔයාට මේ සතුට නොදී හිටිය නම් මගේ හිතට නිවනක් නෑ අයියෙ.. දැන් මට සතුටුයි... 
මට කියන්නට කිසිත් ඉතිරිව නැත.ඇය, නරක ගැහැනියකයැයි මං කිසි විටෙක විශ්වාස නොකරමි.

මැණික..., 
නියත වශයෙන්ම අවසන් වතාවට මම වැරෙන් ඇය තුරුලු කර ගතිමි...

වසර ගණනකට පෙරාතුව දියත උයනේදී නලලත සිඹ සමුගන්නට නොහැකි වීමේ වරද නිවැරදි කර ගන්නට මට උවමනාය

නැවත කෙදිනක. කෙසේ අප මුණ ගැසේ දැයි නොදනිමි..නමුත්, මෙය ස්ථිර වශයෙන්ම සමු ගැනීමකි!






Sunday, December 9, 2018

2045

තව දුරටත් මේ කරුමය ගෙවන්නට ජීවත් නොවී මියැදෙනවා නම් කොයි තරම් සැපතක් දැයි කල්පනා වූයේ කී වෙනි වතාවට දැයි මට නිච්චියක් නැත.
              බණක් දහමකට වඩා හිතේ නලියන්නේ මා නොමැරෙන්නේ මක්නිසාද යන සිතුවිල්ලයි.
    දෛවය පහසුවෙන් මට ගැලවී යන්නට ඉඩ දෙන්නේ නැති හැඩය...

 ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් මෙතැනට එන්නට වේ යැයි මං නොහිතුවත් වෙන යන්නට තැනක් ඉතිරිවී තිබුණේද නැත.ඒ නමුත් එක එක ලෙඩ දුක් වලින් පෙලෙන මා වැනිම සමූහයක් මැද නිදන්නට බැරි බව මෙහි ඉන්නා අයවලුන්ට තේරෙන්නේ නැත.
      උදේ පාන්දර අවදි විය යුතුය.. මුහුණ කට සෝදා පිරිසිදුව බුද්ධ පූජාවට සහභාගී විය යුතුය.ආහාර ගැනීමෙන් පසු බණ දේශනාවට සවන් දිය යුතුය....
      හැමදාම එකම දේ එකම පිලිවෙලට කරන්නට මට උවමනා නැත.වාහනයක නැගී මීදුම අතරින් කොහේ හෝ යන්නට මට ඇවැසිය.මනස නිසොල්මන් වන්නේ එවිටය.
         හිරිපොද වැස්සේ මීදුම අතරින් අහේතුකව අනන්තවත් හපුතලේ බලා යතුරුපැදියෙන් ගිය හැටි දැන් මතකයක් පමණමය.යතුරුපැදිය ශරීරාංගයක් වූ තැන සිට බාහිර සංතාප ගැන දැනෙන්නේ නැත.ඈත පෙනෙන නිල්වන් කදු දෙස නිසොල්මංව බලා සිටීම තරම් නිදහසක්......
              දරුවෙක් නැති අඩුව දැනෙන්නේ පැරනි මතකයන් ඇවිස්සෙන විටය.එවැන්නෙකු වූවා නම් මේ අප්‍රසන්න පරිසරයේ දී ජීවිතය අවසානයක් නොසොයනු ඇත.
              විවාහයෙන් වසර ගණනාවක් යන තුරු බිරිදගේ උසස් අධ්‍යාපනය අඩාල වන නිසාවෙන් දරුවන් ගැන සිතන්නට ඉස්පාසුවක් තිබුණේ නැත.අධ්‍යාපන කටයුතු අවසන් වන විට ගෙවීමට තිබූ ණය කන්දරාව ට දරුවකුත් කැන්දාගෙන එන්නට අප දෙදෙනාටම අවශ්‍ය වූයේ නැත.සියල්ල ස්ථාවර වද්දී ඵල ලබන කාලය අවසන්ව තිබී ඇත.වෛද්‍ය වරුන්ටද අප වෙනුවෙන් තල හැකි දෙයක් ඉතිරි වී නොතිබුණා විය යුතුය.එසේ නොවුනි නම් ඔවුන් එය ඉටු නොකර සිටින්නේ නැත.

 බොහෝ ලෞකික කාරණා වෙනුවෙන් මගේ පසුම්බිය දිග හැරීමේ ආදීනව විදින්නට වැඩි කාලයක් ගත කරන්නට ඇවැසි වූයේ නැත.දහ අතේ ණය වන්නට වූයේ ව්‍යාපාර කටයුතු අඩාල වත්දීමය.අවසානයේ ගොඩ නගාගත් ,ලැබුණු සියල්ල ඇස් පනාපිට අහිමි වෙත්දී හිත් පීඩා නිවන්නට කෙනෙකුන් සිටියේ නැත.ඇසුරු කල  බොහෝ දෙනෙකුට ගෙවන්නට තිබූ ණය නිසා ඔවුන්ට මුහුණ නොදී සැගවෙන්නට මට සිදු විය..මා වැඩියෙන්ම සටන් කලේ හෘද සාක්ෂිය සමගය..

      මහ වැසි මැද මෝටර් රථය පදවා යන්නට මා බොහෝ ආසා වෙමි.රාත්‍රියේ හෝ හිමිදිරියේ ගමන් යන්නට පාසල් අවධියේ සිට  සිහින මැව්වෙමි..

වයස විසි ගණන් වලදීත් තිස් ගණන් වලදීත් මට බොහෝ දේ වැරදිණි.ජීවිතයට ලගා කරගන්නට උවමනා දේ ඔහේ පාවී යන්නට දී බලා හිදි අවස්ථා ගණනක් පසු කර ඇත්තෙමි.

     දරුවන් නොමැති කම නිසා බලාපොරොත්තුවක් නොවීමත් විදින්නට වූ අනෝරක් කම් කටොලු නිසාත් බිරිදගේ සිත සංසුන්ව තිබුණේ නැත.දිනෙන් දින ඇය මේ සියල්ල අත් හැරිය යුතු යැයි පසක් කලාය.අවසානයේ ඇය දෑස් පියා ගත්තේ පිළිකා මාරයාට යටත්ව වසර ගණනක් වැහැරීමෙන් පසුවය.ඇයගේ අවසන් ගමන වත් ගාම්භීරව කැදවා යන්නට තරම් හැකියාවක් මට වූයේ නැත.රෝහල් සයනයෙන් ඇය කෙලින්ම ගියේ ආදාහනාගාරයේ පිගන් ගඩොලින් වට කල ගෑස් උදුන වෙතයි.

මට පුදුම මේ සියල්ල සිදුවීමෙන් පසුවත් මා යහපත් මානසික තත්වයෙන් පසුවීමයි.ගෙවා දැමිය යුතු පව් කන්දරවේ තරම ඒ තරම් විශාලය.

සීත කාලගුණයක් ඇති කදුකරයේ කුඩා නිවසක් ගැන මං සිහින මැව්වෙමි..රැයක් දවාලක් නැතිව හැල්මේ දුවන රියදුරු රැකියාවකට පෙම් බැන්දෙමි..රථ වාහන තුල නිදා ගැනීමේ අමුතු ආසාවක් මට ඇත.. නමුත්, මේ කිසිත් මට ලගා කරගන්නට නොහැකි විය.

ද චෙෆ් නැරඹූ දින සිට ජංගම හෝටලයකට ආසා කලෙමි.ඉවීමේ තිබූ උනන්දුව තවමත් පහව ගොස් නැත.

මං හෙම්බත් වී සිටිමි.අතීත සිතුවිලි සමග වර්ථමානය සාවධානව විදින්නට මට  හැකියාවක් නොවේ.තව දුරටත් සිහින දැකිය නොහැකිය.සියල්ල අපුලය.

අවසාන වතාවට ලගින් උන් මිතුරන් සමග ආගිය තොරතුරු කතා බස් කරමින් මදු විතක රස බලන්නට උවමනාය.

මං දකිනා එකම සිහිනය මරණයයි!


Friday, December 7, 2018

අපි හරියට හිතමු

මේ කාලෙ අපේ දේශපාලනේ පිස්සු කෙලින නිසා බොහෝ උගත් කියන හතු පිපෙනව.මට මේ පණ්ඩිත කතාව කියන්න ඕනි උනේ ඊයෙ දැක්ක යුක්තියේ වේදිකාවද මොකක්දෝ එහෙක මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ල කෑ ගහන සෙට් එකක් දැකල..

                   මේ රට යන්නෙ වැරදි පාරෙ කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.උගත්තු පත් කරන්න කියල මී හරක් සෙට් එකක් ඡන්දෙට ඉදිරිපත් කරන රටක, එපා කියල පැත්තකට කරන එවුන්වත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනියන රටක මැජික් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ... අපි ආසයි දියුණු රටක වගේ පිලිවෙලට ජීවත් වෙන්න.හැබැයි ඒක බැරි නම් උත්සාහ කරල හදා ගන්න ඕනි අපිමයි නේද? බලපෑම් කරන්න ඕනි, ගොනු වෙන්න ඕනි අපිමයි නේද?
               
                       එතකොට ලැබිච්ච පලවෙනි අවස්ථාවෙන්ම වෙන රටකට ගිහින් ජීවත් වෙන, පුරවැසිකම ගන්න උවමනාවට මේකෙ යුද්ධෙ තිබ්බ නම් හොදයි කියල  ප්‍රාර්ථනා කරපු උකන්නලට මේක හරි පාරෙ යවාගන්න අපිට  නැති රුදාවක් හැදෙන්නෙ ඇයි?

               උන්ට මේකෙ මුදුන් මුල තියෙනව කියන එක මං නෑ කියනව නෙවෙයි.හැබැයි කොහේ හරි රටක පුරවැසිකම ගන්නෙ ඉතුරු වෙන එවුන්ට හෙණ ගැහුනත් කමක් නෑ මං ගොඩ ගියානම් කියන මමත්වයෙන්නෙ.ඉතිං ගිය ලබ්බකට වෙලා ඉන්නෙ නැතුව අහවල් එහෙකට අපේ රෙද්ද අස්සෙ රිංගන්න එනවද කියල මං දන්නෙ නෑ... ඒ ඔක්කොටම මේක නිවාඩුවට ආතල් එකක් ගන්න හොද අවස්ථාවක් වගේ.. අමාරුවෙන් හම්බකරගත්තු ඩොලර් ටිකටත් මේ දවස් වල අපමණ අගයක් ලැබෙන  නිසා තවත් වාසියි.


 මේක එපා කියල මං ගියානං මටත් සීන් එක අදාලයි..

නිකමට හිතමු, ඇති හැකි, උගත් මිනිස්සු ඕක්කොම ලද අවස්ථාවෙන් වෙන රටකට පැනල පුරවැසියො උනා කියල..., එතකොට මේක ගිලෙන එක නතර වෙයිද? කවදාවත් නෑ.. උගත්තු, හඩක් තියෙන එවුන් මේකෙ නැතිවෙන තරමට පාලකයො කියල පක්ෂ දෙක තුනක් හදාගෙන දෙකෝටි විසි ලක්ෂෙකින් සුපිරි ආතල් එකක් ගන්න යාලුවො සෙට් එක හරි කැමතියි.

ඉතිං..., පැනල ගිහින් වෙන රටක පදිංචි වෙලා මේක කරගෙන යන්න ඕනි විදිය ගැන පොර ටෝක් දෙන මහප්‍රාණ ඩයලුයි ලව් කරන කෙල්ලට ගෙදරින් අකමැතියි කියල බෙල්ලෙ වැල දාගන්න ඩයලුයි අතර වෙනසක් පේනවද?
     
            මේ රට අපේ නම් මේක වෙනස් කරන්න  ඕනි අපිමයි..වෙන රටක පුරවැසියෙක් වෙලා ඉන්න,තමන් ගැන විතරක් හිතන හිවල්ලුන්ට වඩා තීරණ ගන්න අයිතිය තියෙන්නෙ අපිට.. ඕකුන්ගෙ පොර ටෝක් ටික නිවාඩුව ඉවර වෙනකන් විතරයි.ඊට පස්සෙත් යකඩ එක්ක හැපි හැපි වලලෙන්නෙ අපි විතරයි.. උන් ආයෙත් සමර් එකට ඇවිත් බලල යයි...

Thursday, December 6, 2018

කරන්න දෙයක් නෑ බ්‍රදර්

මං, 

නුගේගොඩ පාලම පහු කරන් මහරගම පැත්තෙ හෝල්ට් එකට යන ගමන්

අපිලිවෙල හුලං රටාව ඉගි කලේ  වැස්සක් වැටෙන්න ඔන්න මෙන්න කියල

හැමෝම තම තමන්ගෙ රැකියා කටයුතු ඉවර කරල  කඩිමුඩියෙ ගෙවල් වලට යන ගමන්

දවල් දවසම කෑමකට වත් වෙලාවක් නැතිව ලිපි ගොනු සකස් කල තෙහෙට්ටුවෙන් හිටි මං ගමන ඉක්මන් කලේ වැස්සට කලින් නවාතැනට යන්න.කොට කලිසම් දෙකක් ඇද ගත්තු කොල්ලො දෙන්නෙක් ෆෝන් එක දිහා බලාගෙන මගේ ඉදිරියට එනව.පාරෙ යන වාහන වල එළියෙන් කොල්ලො දෙන්නගෙ මූණ ඒ තරම් හොද නැති බව මට පෙනුනා.
අයියෙ රුපියල් සියක් ගන්න නැද්ද? මං ඉස්සරහ නැවතුන ඒ දෙන්න අහනව
අැයි මල්ලි?
බයික් එක පොලිසියෙන් ඇල්ලුව අයියෙ.. ගෙදරට කෝල් එකක් ගන්න ෆෝන් එකේ සල්ලි නෑ.. ඒකයි
එහෙමද.....
 පර්ස් එක අතට ගත්තු මං දවල්ට නොකාපු නිසා ඉතිරි උනා කියල සංතෝස වෙච්ච  මුදලින් රුපියල් සීයක් අරන් දුන්න.
කොල්ලෙක් විදියට කොර උනාම කොයි තරම් අසරණ වෙනවද කියල මට අමුතුවෙන් කියන්න ඕන කමක් තිබ්බෙ නෑ.කවුරු උනත් උපකාරයක් ඉල්ලුවම කරන එක පිං අයිති වෙන වැඩක් කියන අදහස ඔලුවට දාගෙන අතේ තිබුණ මුදල නැති උනු දුක වහගත්ත..

කොල්ලො දෙන්න යන්න ගියා
මං තව අඩි දහයක් පහලවක් ඉස්සරහට යන්න ඇති.බෑග් එකක් එල්ල ගත්තු තරුණයෙක් මං එනකන් බලන් හිටිය වගේ
මචං අරුන් දෙන්න මොනවද කිවුවෙ?
උන්ගෙ ෆෝන් එකේ සල්ලි නෑ කියල සීයක් ඉල්ලුව... මං දුන්න බං
අඩේ මගෙනුත් පණහක් ඉල්ල ගත්තනෙ
ඒක අහපු වෙලේ ඉදන් කොහේදෝ තිබ්බ බඩගින්න ආයෙත් මතු උනා.දුන්නත් රුපියල් සීයක්ම දුන්නෙ ඇයි කියන එකට මගේ හිතේ සමාවක් ලැබුණෙ නෑ.
 ------------------------------------------------------------------------------------------------------------------------
ආයෙමත් මේ ලගකදි
තුම්මුල්ල හන්දියෙ.. ගාලු පාරෙ ඉදන් පොලිස් පාක් පැත්තට ඇවිදන් යන ගමං.
ඔපිස් එක ලග පාකින් නැති වෙයි කියල හිතල හෙවනක් යට නතර කරන්න, පොලිස් පාක් ලගටම යන්න ඕනි කියල  හිතුනෙ ඇයි කියල මට තවම තේරෙන්නෙ නෑ
කාර්යාල සේවක පෙනුමෙන් හිටි තලතුනා මනුස්සෙක් දෙමළෙන් මට කතා කලා...
කතාවෙ හැටියට දෙමළ තේරෙනවද  කියල තමයි ඇහුවෙ..
පෙනුමත් දෙමළ වගේ නිසා මට ඒක මහ ලොකු දෙයක් උනේ නෑ..
නොතේරෙන බව අගවන්න මං ඔලුව වැනුව
මල්ලි පර්ස් එක නැතිවෙලා..මට රුපියල් පණහක් ගන්න තියෙනවද
පරණ අත්දැකීම් මතක් උන මං සල්ලි නෑ කියල හැරිල ආව
 ඇත්තටම සීයෙ කොල දෙක තුනක් එක්ක පර්ස් එකේ තිබ්බෙ තව කාසි කීපයක් විතරයි
පහු වෙලා යනකන් අර මනුස්සය මට බණිනව
හදිසියට උදව්වක් කරන්නෙ නෑ කියල

මං මොකක්ද කරන්නෙ...

දුන්නොත් රැවටුනා කියල දුකයි.. නුදුන්නොත් ඉල්ලුව මනුස්සය පව් කියල  දුකයි

වඩා හොද දේ කියල නොදී හිටිය.හිතට අවුල් උනත් මට ඉතුරුවක්...

වෙන කරන්න දෙයක් නෑ බ්‍රදර්


Saturday, November 24, 2018

සුදු නංගී


දයාබර සුදු නංගී,
 මේ, මෙසේ ලියා අවසන් කරන්නට යෙදුනු කතාවක් නොවන වග විශ්වාසයෙන් කියමි.නමුත් ඔබ යා යුතුය.මුදල් බොහෝ දේ තීරණය කරනා සමාජයක විදේශයකදී හෝ ඔබ සුවෙන් සිටිය යුතුය.සුව වී ආයෙමත් මල් පාර දිග ඇවිදින්නට ඔබ පැමිණිය යුතුමය.මුකුලිත වන්නට ආසන්නයේ ඇති කැකුලු වලට හුස්ම පිඹින්නට ඔබ නැත්තේ ඇයි දැයි පිලිතුරු දී නොහැකිව අසරණ වන්නේ මා ය.ඉදින් මා ඒ සියල්ල මග හරින්නට සූදානම් වෙමි.අප ආ ගිය මග තනිව යන්නට හිතට සවියක් නොවේ.

                        රොහාන් වැනි මෘගයෙකු ඔබ වැනි සාවියක් රැක බලා ගන්නේ කෙසේදැයි අම්මා නොසිතනවා ඇති.අැයට මා කියනා දේ වැටහෙන්නේද නැත.නිරංගත් ගිහානුත් මා මගහරිමින් සිටිති.උන්ටද මේවා තේරුම් ගන්නට උවමනාවක් නැත.උත්පලා නංගීට උවද ඕනෑවට වඩා පිංසෙන්ඩු වන්නට නොහැක.

 අවසාන වතාවට ඔබේ ඔය සිනිදු කොපුල මත හාදුවක් තවරන්නටත්,ලමැද මත මුහුණ හොවා මොහොතක් සැගව ඉන්නටත් මට උවමනාය.ඔබ මෘගයෙකු අතින් තැලී පොඩි වී යා යුතු කුසුමක් නොවේ.විශ්වාස කරන්න, මේ මොහොතේ මා අසරණය.මා සතුව ඇත්තේ අපිරිමිත සෙනෙහස පමණි.

           ඒ සමුගැන්ම වෙනුවෙන් දින ගනිමි!
තුණුරුවන් සරණ


_කසුන්
               

Friday, November 23, 2018

ස්ටැන්ලි!


මචං ස්ටැනා.... එහෙමත් නැත්නම් මුඩුක්කුවෙ ස්ටැන්ලි,
උඹ මට වීරයෙක්

ආච්චිල දෙන්නෙකුත් තියාගෙන - රස්තියාදුකාර මල්ලිත් එක්ක
උඹ ගහපු ගේම් එක
ඔස්තාර්ල පරාදයි

අත ගහපු හැම #ත්තම
ඉවර වෙන්නෙ අපිට #කවෙලා

ඒ උනත්,
මැරෙනකන්  ජීවත් වෙන්න එපැයි.

පොලී මුදලාලි හොයන් එනකොට
දෙන්න ලබ්බක්වත් නැති දාක
දෙකක් ඇති වකුගඩු වලින්- එකක් වෙන්දේසි දාන්නට
කොයිතරම් උඹ අසරණද
සමාජවාදෙ අපිට වටින්නෙ රෑ පුරා පොස්ටර් ගහන්න මචං
උන්ගෙ ලබ්බවල් නෙවෙයි මේ ලෝකෙ තියෙන්නෙ
වෙනම අටමගලක් බං

හිරවෙලාම බලන්න ඕනි

යාන්තම් පණ ගැටගහගන්න - එකුස උපන් අක්කගෙ මිනිහටත් ණය වෙලා
දවස තිස්සෙ ගහපු ගේම් එක
පට්ට බං
උඹ වීරයෙක්
ඒ නිසා මට


ඔව් හැ#නෙන හැන්ඩ් බෝල් නැති ලෝකෙක ඉපදෙමු අපි ආයෙම



Thursday, November 22, 2018

අනාවැකි

ජනධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලද ගැසට් පත්‍රය නීත්‍යානුකූල නොවන බව ශ්‍රේශ්ඨාධිකරණ තීන්දු කරණු ඇත.බොහෝ විට එම තීන්දුවට පෙර ජනාධිපතිවරයා විසින් ඉහත කී ගැසට්ටුව අවලංගු කරනු ඇත.එවිට පාර්ලිමේන්තු කටයුතු සුලුතර ආණ්ඩුව යටතේ තවත් අර්බුදකාරී තත්වයට පත් වනු ඇත.පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුව ඉතිරිපත්වෙන දෝශාභියෝගයක් මගින් මහින්ද රාජපක්ෂ රජය පරාජය කරනු ඇත.
පවතින රජය දෝෂාභියෝගයක් මගින් පරාජය කර එය නීත්‍යානුකූලව සිදු වී ඇති බව ඔප්පු කල විට තව දුරටත් එම රජය වලංගු නොවේ.එසේ හෙයින් පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් ඉල්ලා සිටි අයෙකුට අගමැති ධූරය පිරිනැමීමට ජනාධිපතිවරයාට සිදු වේ.එය මග නොහැරිය යුතු වගකීමක් වන්නේය.යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන මෙන් බහුතර පිරිසක් ඉල්ලා සිටියහොත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුව ඔහු පත් නොකරන්නේ නම් 2019 වසර මුලදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට වැඩි ඉඩ කඩ ඇත.
කෙසේ වෙතත් ජවිපය හා දෙමළ සංධානය රනිල් වික්‍රමසිංහ අගමැති වීම පිණිස බලපෑමක් නොකරන්නේ නම් අගමැති වීමේ බහුතරය පිණිස මහින්ද රාජපක්ෂ කණ්ඩායම හා එජාප පෙරමුණ අතර සීතල යුද්ධයක් ඇරඹීම අනිවාර්යය.
පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා මේ රට ඉතිහාසයේ මුහුණ දීමට නියමිත දරුණුම පසුබෑමට ලක් වීමට නියමිතය

Tuesday, November 20, 2018

උදාර ශ්‍රී ලංකා- මම හසු නොවෙමි!


උදාර ශ්‍රී ලංකා නමින් කවුරුන් හෝ පිරිසක් අන්තර්ජාලය ඇතුලෙ තමන්ගේ අනාගත වැඩපිලිවෙල,සංවර්ධන වැඩසටහන් ගැන බොහොම චිත්තාකර්ශනීය විස්තරයක් පලකරමින් තියෙනව.දේශපාලනිකව මේ රටේ බලය ලබා ගන්නෙ කොහොමද කියන කාරණාව පවා ඔවුන් සැලසුම් කරල.අන්තර්ජාලය තුල සැරිසරන,පවතින දේශපාලනික හා ආර්ථික කාරණා වලින් හෙම්බත් වෙලා ඉන්න බොහෝ අය මේ උදාර ශ්‍රී ලංකා ක්‍රියාකාරයින්ගෙ දැක්ම බෙදා හදාගන්නව.ඔවුන්ව යම් දුරකට විශ්වාස කරනව.

            බුකිය අස්සෙ තිබුණු මොකක් හෝ දැන්වීමකට මගේ අදහස පල කරපු වෙලේ මේ කියන උදාර ශ්‍රී ලංකා පිරිසෙ යම් අයෙක් මගෙත් එක්ක සංවාදයකට එනව.ඒ කතා බහෙන් පස්සෙ ඔවුගේ වට්ස්අප් කණ්ඩායම සමග එකතු වෙන විදියට ආරාධනාවක් එනව.මමත් ඉතිං ඔය කියන කණ්ඩායමට එබිල බැලුව.සාමාජිකයො දහස් ගණනක් ඉන්න ඇති.ඒ අය තමන්ගෙ දේශපාලන දැක්ම,ආර්ථික හා සමාජයීය දැක්ම ගැන කතා කරනව.නමුත් පක්ෂෙ නායකය කවුද කියල කවුරුත්ම දන්නෙ නෑ.ඒක රහසක් විදියට තියං ඉන්නෙ උපක්‍රමයක් විදියටලු.ඒ කතා බහ නිකම් හොරකමක් සැලසුම් කරනව වගේ කියල හිතුනු නිසා මං එතැනින් ඉවත් වෙනව.

          පහු කාලෙකදි මට ආයෙමත් උදාර ශ්‍රී ලංකා බුකි පිටුවෙ කවුරුන් හෝ ක්‍රියාකාරිණියක් (සංවාදය අතරතුර සිය දරුවා නිදි කරවීමට අවශ්‍ය බව කී නිසා උපකල්පනය කරමි) සමග සංවාදයක් කරන්නට අවස්ථාව ලැබෙනව.මේ බ්ලෝග් පිටුවෙම තියෙන මගේ අදහස් කීපයකට ඇය කැමති වගත් ඒවා තම කණ්ඩායමේ අදහස් විදියට ප්‍රසිද්ධ කරන්නට ඇය අවසර පතනව.මගෙන් ඒකට විරුද්ධත්වයක් නැහැ.සංවාදය දිගටම යනව... ඇය මගෙන අහනව ඇයි වට්ස්අප් කණ්ඩායමෙන් ඉවත් උනේ කියල.මං කාරණාව කියල එයාලගෙ සැලසුම මොකක්ද ඇහුව.ඒ කියන්නෙ,

1)  පහුගිය පලාත් පාලන මැතිවරණයට තරග නොකලෙ ඇයි?
2)  ඔවුන්ගේ සැලසුම පරිදි ඊලග මැතිවරණයට තරග කරල ජයග්‍රහනය නොකලොත් ඊට මුහුණ දෙන්න         දෙවැනි සැලසුමක් තියේද?
3) මැතිවරණය ජයගෙන ආණ්ඩුවක් පිහිටුවන්න තරම් බලයක් නැත්නම් සහය ලබාගන්නෙ කාගෙන්ද?


පැහැදිවම ඔවුන්ගෙ අරමුණ 2025 මැතිවරණය.සහ දෙවැනි සැලසුමක් ඔවුන්ට නෑ.පලාත්පාලන මැතිවරණයට තරග නොකලෙ ඇයි කියන ප්‍රශ්නයට මට පිලිතුරක් ලැබුණෙ නෑ.

මේ රටේ තවමත් වැඩිපුර ඉන්නෙ විචාරශීලී දේශපාලන දැනුමක් තියෙන පිරිසක් නෙවෙයි.ඒ අය මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක හෝ ඒවායෙන් බිදිල ගිය බල කදවුරු දෙක තුනක් රටේ පාලනයට ගේනව.කොයි තරම් හානිකර උනත්, බහුතර මිනිස්සු කරන්නෙ තමන්ගෙ පරම්පරාගත දේශපාලන මති මතාන්තර ඔලුවෙ තියන් පාලකයො තෝරන එක.එ හෙම නොවුන නම් සාපේක්ෂව ප්‍රධාන පක්ෂ දෙකටම වඩා යහපත් දැක්මක්  (ප්‍රායෝගික තත්වය කෙසේ උනත්)   ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණට එක වතාවක් හරි මේ රටේ පාලන බලය යන්න තිබ්බ.ඒක එහෙම නැති නිසා හැම වෙලේම දෙවැනි සැලසුමක් තියෙන්න ඕනි.
           දෙමළ මුස්ලිම් අති බහුතරය ඡන්දෙ දෙන්නෙ ඒ අයගෙ නායකයො විදියට පෙනී ඉන්න කීපදෙනා නියෝජනය කරන සුලු පක්ෂ වලට.අලුත් පක්ෂයක් ඇවිත් බෙදාගන්නෙ මේ රටේ සිංහල ඡංද පදනම.එතකොට කොහොමත් බිහිවෙන්නෙ සුලුතර ආණ්ඩු.ඒ ආණ්ඩු තමන්ගෙ බලය රැක ගන්න අර සුලු පක්ෂ එක්ක එකගතා වලට එන එක අනාදිමත් කාලෙක ඉදන් සිද්ධ වෙන දෙයක්.උදාර ශ්‍රීලංකා කණ්ඩායමට මේ ගැටලුවට පැහැදිලි දැක්මක් නෑ.ඉතිං, අපි බලාපොරොත්තු වෙන රට ගොඩනගන්න හිතාගෙන වලකට වැටෙන්න එපා.සුලු පක්ෂ අතිශයින් අන්තගාමීයි.ඔවුන් කේවල් කරන්නෙ මේ රටේ ස්වාධීනත්වය.ඒ ස්වාධීනත්වය, ඒකීයබව නැති රටක් සුරපුරයක් කරන්න බෑ.රටේ පැවැත්ම තහවුරු කරල ඉන්න ඕනි මුලින්.
           මතවාදය සහමුලින් පිලිනොගත්තත්, ඝෝඨාභයගෙ වියත් මග කියන සංකල්පය සුපිරි.මහින්දගෙත්, එයාගෙ වටේ ඉන්න මෝඩ දේශපාලක කීපදෙනාගෙයි සමහර අණුවන වැඩ එපා වෙලා ඉන්න, නමුත් කවදා හෝ රට යහපත් විදියට ගොඩනගන්න ඕනි කියල විශ්වාස කරන උගත් පිරිස එකතු කරන් ඝෝඨාභය කරන්නෙ (දේශපාලන උප්පරවැට්ටියක් උනත්) උදාර ශ්‍රී ලංකා කණ්ඩායම ආදර්ශයට ගන්න ඕනි වැඩක්.රටවැසියා දශක ගණනක් පුරා දන්න කියන මිනිස්සු, රට පාලනය කල මිනිස්සු ඉන්න පක්ෂයකට බලය ගන්න එක උදාර ශ්‍රි ලංකා කණ්ඩායමට වඩා ඉතා පහසුවෙන් ඝෝඨාභයට පුලුවන්.ජනප්‍රිය සටන් පාඨ වලින් එහාට ගිහින් රට නිවැරදි දිශාවට ගෙනියන්න නම් පාලකයන්ව හැසිරවිය හැකි උගතුන් පිරිසක් ඉන්න ඕනි.පොහොට්ටු කණ්ඩායමට බලය අාවොත් අවංක උවමනාවක් තියෙනව නම් උගත් බුද්ධිමත් වියතුන් පිරිසක් සමග ඉන්න ඝෝඨාභයට එය පහසුවෙන් කල හැකියි.

උදාර ශ්‍රී ලංකා කණ්ඩායම මේ යථාර්ථය අවබෝධ කර නොගෙන,ඊට පිලියම් සකසා නොගෙන දේශපාලනයට ආවොත් මේ රටට වෙන මහා විනාසයක කොටස්කාරයො විතරක් වෙයි.

Tuesday, November 13, 2018

අතීතය රත්තරං

ආයෙමත් අතීත කතාවක්.... අතීතය ආයෙ ආයෙමත් සිද්ද වෙනව කියල කතාවක් තියෙනවනෙ.ඒක ඇත්ත.සමහර විට ආයෙ සිද්ද වෙද්දි සිදුවීම් වෙනස් වෙන්න පුලුවන්.නමුත් සමස්ථයක් විදියට අතීතය ආයෙ ආයෙමත් සිද්ද වෙනව..ඉතිං කතාව මෙහෙමයි....,
        පහ වසරට යනකම් මං ඉස්කෝලෙ ගියෙ ලගම නගරයේ තිබ්බ ප්‍රාථමික පාසලට.ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සෙ පහ වසරෙ හිටපු අපිට ලොකුවට උගන්නන්න ගුරුවරු මහන්සි ගත්තෙ නෑ.එක දිගට අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා ශිෂ්‍යත්වෙ ලියපු තෙහෙට්ටුව යන්නත් එක්ක එයාල එහෙම හිතන්න ඇති.ඉතිං ලැබෙන හැම ඉඩකම අපි එළියට ඇවිත් සෙල්ලම් කලා.පංති භේදයක් නැතුව හැමෝම එකතු වෙලා සෙල්ලම් කරපු එකේ  ප්‍රතිඵලය උනේ නිවාඩු දවස් වලටත් එකතු වෙලා සෙල්ලම් කරන පිරිසක් බිහි වෙච්චි එක..ගෙවල් වලින් ඉල්ලන් එන රුපියල් පහ දහය දාල පුංචි කුසලානෙකුත් අරන් කණ්ඩායම් දෙකකට බෙදිල ටවුම මැද තිබ්බ පිට්ටනියෙ නිවාඩු දවස් වලට අපි සෙල්ලම් කලා.
        මෙහෙම ටික දවසක් සෙල්ලම් කරද්දි තමයි මට තේරුණේ මං ඉන්න පැත්ත හැමදාම පරාදයි.බෝල දාන්නත් හම්බෙනව, බැට් කරන්නත් හම්බෙනව, ඒත් පරාදයි.... පස්සෙ තමයි  මං තේරුම් ගත්තෙ කණ්ඩායම් දෙක බෙදුනෙ එතන හිටි එකෙක් දෙන්නෙක්ගෙ උවමනාවට මිසක් සාධාරණ විදියකට නෙවෙයි කියල.හොදට සෙල්ලම් කරන්න පුලුවන් අය එක පැත්තකට ඇවිත් බැරි අය අනිත් පැත්තට දාල සෙල්ලම් කරද්දි පරදින එක අහන්න දෙයක්යැ 😀
            පහ වසරෙන් පස්සෙ ප්‍රාථමික පාසලේ හිටි මිතුරන් බොහෝ දෙනෙක් එක්ක උසස් පාසලට මමත් යනව.උසස් පාසලේ පංතියත් අරුම පුදුම පංතියක්.ශිෂ්‍යත්ව විභාගෙ සමත් වෙච්චි ලමයි ඔක්කොම එකට දාල හදල තිබ්බ පංතියෙ පිරිමි ලමයි තිස් පහයි.ගැහැනු ලමයි දහ තුනයි.පිරිමි ලමයින්ගෙන් ක්‍රිකට් ටීම් තුනක් හදන්න මදි උනේ එකෙක් විතරයි...හය වසරෙ ගෙවිච්ච අවුරුද්දම ගෙවුනෙ අලුතින් මුණ ගැහුණු අය අදුන ගන්න...යාලු වෙන්න..හත වසර වෙද්දි අපි ටික ඔක්කොම යාලුවො.හත වසර වෙද්දි උසස් පෙල ශිෂ්‍යයො වාර්ශිකව සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියකට අපේ පංතියෙනුත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න තීරණය වෙනව.දැන්.. උහතෝකෝටික ප්‍රශ්නය මතු වෙනව.තිස් පහෙන් පහලවක් තෝරගන්න!
             කොහොමද මේ වැඩේ කරන්නෙ කියල කතා වෙද්දි පහ වසරෙදි සිද්ද උනා වගේ වැඩක් ආයෙත් වෙනව.කෙනෙක් දෙන්නෙක් මුල් වෙලා එයාලට වැඩියෙන්ම හිතවත් පිරිස දාල කණ්ඩායම අටවනව.මේ වැඩේට මධ්‍යස්ථව හිටපු බොහෝ දෙනෙක්ගෙ හිත සතුටු නෑ.කණ්ඩායමේ ඉන්නම ඕනි කියල විශ්වාස කරපු දෙතුන්දෙනෙක් ම එළියෙ.
             අපිට ඕනි වෙනව එළියෙ හිටපු අයටත් යමක් කමක් කල හැකියි කියල පෙන්නන්න.ඉතිං එළියෙ හිටි අය එකතු වෙලා තවත් කණ්ඩායමක් හදනව.මේක පෙරලියක් කියල දැනුන ගමන් මුලින් නම් කල කණ්ඩායමේ හිටි දෙන්නෙකුත් දෙවෙනි කණ්ඩායමට එකතු වෙනව.හරියට මේ දවස් වල දේශපාලනේ වගේ.දෙවෙනි කණ්ඩායමේ හිටි මටත් ඒක ලොකු හයියක්.දවසක් යොදාගෙන අපි දෙගොල්ලො තරගයක් තියනව.මුල් කණ්ඩායමෙන් අපට එකතු වෙච්චි දෙන්න දක්ශයො නිසා ඒ දෙන්නට තමන් කැමති තැන පන්දුවට පහර දෙන්නත් කැමති පන්දු වාරයක් යවන්නත් අවස්ථාව ලැබෙනව.මුලු ලකුණු දහය පනිද්දි අර කියපු දක්ෂයො දෙන්නම දැවී ගිහින්.වැඩක් නැති අය කියල පස්සට කරපු සමහරු කවුරුවත් හිතපු නැති තරම් විශාල පහරවල් වලින් ලකුණු ලබනව.ප්‍රතිඵලය ජයග්‍රහනය!!!
             දැන්, මුලින් දැන ඇදුනුම් කම මත තෝර ගත්තු කණ්ඩායම වෙනස් කරන්න කණ්ඩායම  තෝරගත්තු අයටම සිද්ද වෙනව.හරියන්නෙ නෑ කියල පැත්තකට කරපු සමහරුන්ට උද්දෘත ලියලම කණ්ඩායමට ඇතුල් කරගන්න අර අයට සිද්ධ වෙනව.කතාව ඕකයි.

මට මේ අතීත කතාව ආයෙමත් මතක් උනේ මේ දවස් වල මුහුණ දෙන කාරණා නිසා.........අතීතය ආයෙ ආයෙමත් සිද්ද වෙනව.සිද්දි විතරයි වෙනස්.සමස්ථය එකයි.ඉතිං මේ කතාවෙ අවසානෙ වෙනකන් මං බලන් ඉන්නව.පරදින එක,පරද්දන එක දුකක්නෙ.මං තවම පෘත:ජනයි.ඒකයි

Sunday, October 21, 2018

සල්ලි

මං මීට ගොඩක් කාලෙක ට කලින් හිතපු දෙයක් තමයි මුදල් කියන්නෙ අංක එක කියල.බොහෝ අය මගේ මතේට විරුද්දව අදහස් දැක්වීමත්,හැසිරීමෙන් මුදල් කියන්නෙ තවත් එක් දෙයක් විතරයි කියල මට ඒත්තු ගන්නන්න කටයුතු කරපු නිසා මුලින් කිවුව මගේ අදහස යටපත් උනා.ඒ අදහස මගේ හිතට එන්නෙ අහම්බෙකින් නෙවෙයි.මගෙම අත්දැකීම් නිසා දැනුනු දේවල්.මේ වෙද්දි යම් පදනමක් ඇති කරන් හිටියත් මීට අවුරුදු 15කට විතර කලින් අත්වින්දෙ මීට බොහොම අමාරු ජීවිතයක්.ඒ තත්වෙ නිසාම බොහෝ තැන් වලින් මාව ප්‍රතික්ෂේප උනා.දැන් ඉස් මුදුනින් පිලිගන්න තැන් වලින් පවා.එහෙම තැන් වලින් ප්‍රතික්ෂේප වෙන්න මූලිකම හේතුව මුදල්!
             
                ඉතිං මං මුදල් හොයන්නෙ කොහොමද කියල උනන්දු උනා.කාලෙ වැරද්දද මගේ වැරද්දද කියල තවම දන්නෙ නැති උනත් ඒ උත්සාහ කරපු හැම එකක්ම ලේසියි වගේ පිටට පේන අති දුෂ්කර මාර්ග.මං ඒවයින් අසාර්ථකයි.හැම වෙලේම ලගින් ඉන්න හිතවත්තු නිසා කොන්ද කෙලින් තියාගන්න පදනමක් හැදෙන්නෙ ඒ අසාර්ථක උත්සාහ වලින් පස්සෙ.බොහෝ දුර ගමකින් පස්සෙ ආයෙමත් පරණ  අදහස මගේ ඔලුවට එනව.ඒ අත්දැකීම් මහ ගොඩක් ලැබුණටත් පස්සෙ.ලගින්ම ඉන්නව කියල හිතං  හිටපු අයගෙම හැසිරීම් නිසා මං ස්ථිර කරනව.සල්ලි අංක එක!!!

Tuesday, October 2, 2018

මිනිස්සු

මිනිස්සුන්ට ඔිනි කරන්නෙ මිනිස්සු.
ප්‍රශ්න අඩු වෙලාවට වඩා ප්‍රශ්න වැඩි වෙලාවට ඕනි කරන්නෙ අවංක මිනිස්සු.
කෝටියක් ප්‍රශ්න එක්ක පිච්චි පිච්චි ජීවත් වෙන මිනිහෙක්ගෙ ලහින් ඉදන් එයාගෙ කතාව අහන් ඉන්න පුලුවන් නම් ඒක මහා පිංකමක්.ප්‍රශ්න නිසාම කන්න බැරිවෙන, නිදිමත තිබ්බත් නිදාගන්න බැරිවෙන මිනිස්සුන්ට ලගම ඉන්න අයගෙන් ලැබෙන ආදරය, පිලිගැනීම ඒ අය සැහැල්ලු කරන්න තියෙන හොදම බෙහෙත.පිලිගන්න, සිය දිවි හානි කරගන්න උත්සාහ කරන අය කොයි තරම් අසරණ ද කියල.ප්‍රශ්න වල ජීවත් වෙන මිනිස්සුන්ට උත්තර පේන්නෙ නෑ.ඒව පේන්නෙ පිටින් බලන අයට..එහෙම ලගින් නොසිටින තරමට සිය දිවි හානිකර ගැනීම,මිනිස්සු මානසික ව්‍යාධි වලට ලක් වීම නතර කරන්න බැරි දෙයක්

Saturday, September 15, 2018

පිරිමි

"අයියෙ.., අරක ගත්තද?"
"ආ මල්ලි, නෑ ඔයා කොහෙන්ද තිබ්බෙ?"
(යහලුවෙක් පෙන්වමින්)   අරුන්ගෙ කඩෙන්
"මං ගන්නම් මල්ලි.. එදා ඔයා තියල තිබ්බෙ අඩුවෙන් නෙ.. ඇරියස් එකක් තියෙන නිසා මං අතින් දැම්ම"
"ඒකනෙ... දවස ගානෙ ආව නම් ඕක එච්චර හිර වෙන්නෙ නෑ අයිය"
"කොහෙද මල්ලි ... වැඩ කරපු අනිත් එකා අයින් උනාට පස්සෙ ඒ වැඩ ටිකත් මට පැටවුනානෙ.. ඔයාලව ෆෝන් එකෙන් හරි බැලන්ස් කරතැකි.පොලු කාරයො එහෙම බෑනෙ.ඉතිං උන් ලගට දවස ගානෙ යනව"
"අඩේ එහෙමද...... අයින් උන එකාගෙ පඩියත් එක්ක හම්බෙනව නම් අවුලක් නෑ නෙ ඉතිං
පඩිය නම් හම්බෙනව මල්ලි.. ඒ උනාට එපා වෙනව..පට්ට ප්‍රෙෂර් එකක් නෙ."
"අඩෝ උඹ මොකේද යන්නෙ?"
"කාර් එකේ බං"
"මේ... මල්ලිගෙ වාහනේද?"
"නෑ අයියෙ ..මගේ එක පහල"
"මේ ගෑනුන්ගෙ රෙද්දවල් නොතිබ්බ නම් අපිටත් වාහනයක් ගන්න කාලෙ හරි"
"ඒක තමයි.. ගමු එකක්"
"කොහෙද මල්ලි..තව අවුරුද්දකින් තමයි මගේ ලෝන් ටිකෙන් නිදහස් වෙන්නෙ.. එතකන් හිතන්නවත් බෑ."
"අඩේ මටත් එහෙමයි අයියෙ.. ලබන නොවැම්බර් වෙනකන් ගැටගහගන්න පුලුවන් උනොත් ගොඩ.."
"වෙඩින් එක ලොකුවට ගන්න ඕනි කියල ගෑනි මැරෙන්න හැදුවනෙ.නෝමල් වෙඩිමක් අරන් වැඩේ ෂේප් කරගත්ත නම් මෙලහකට වාහනේකුත් අරං"
"ගෑනුන්ගෙ ආසාවනෙ අයියෙ"
"කියල වැඩක් නෑ මල්ලි.. "
"අපි එක ගමේ කියල ගෙදරින් එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ.. මොනව කරන්නද අන්තිමට ඔක්කොම මගේ කරපිට..මල්ලිට කියන්න දෙවෙනි දවසෙ දෑවැද්ද කියල කෙල්ලගෙ පැත්තෙන් මොනවත් ගේන්නෙ නෑ කියල දැන ගත්තම මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ.. උවමනාවකට නෙවෙයි මල්ලි.. ඒ උනත් තමන්ගෙ දුව බන්දල දුන්නම ඕනිම කෙනෙක් අඩු තරමෙ කණ්ණාඩි මේසයක් වත් අරන් එනවනෙ.එහෙමවත් නෑ කියල ගෙදර අය දැනගත්තොත් තිබ්බ ඔරොප්පුව ඩබල් වෙනව"
"අම්මට සිරි.. කොර සීන් එකක් නේද?"
"ඔව්.. අන්තිමට මං මගේ සල්ලි වලට දම්රෝ එකෙන් සෙටියයි අල්මාරියයි කණ්ණාඩි මේසෙකුයි අරන් ගෙදරට යන වෙලාවට මනමාලිගෙ පැත්තෙන් ගේනව වගේ පේන්න සෙට් කරල ෂේප් උනේ.."
"ඔය රෙද්දෙ ණය ටික නොතිබ්බ නම් දගලන්න ඕන නෑ මල්ලි"
"ආ.. හෙලෝ .... ඔව් ඔව්.. ඉන්න මං එන්නම්...... මං ගිහිං එන්නම් මල්ලි..."
"එළ අයියෙ
"මේ මාසෙවත් පොඩි කට්ටක් කාල ඇරියස් නැතුව  වැඩේ අරන් යං (අත වනමින් පිටව යයි)
"හා අයියෙ ගේමක් ගහමු.."


පිරිමි අපි, අසරණයි ඔව් සහතිකයි!

Wednesday, September 12, 2018

රන්දී - පියවර 17

විභාගයට හරියටම සතියක් කල් තබා සියලුම පුණරීක්ෂණ පංති නවතා දමනු ලැබීය.හදවතින්ම නැගුනු භක්තියෙන් ගුරුවරු තිදෙනාටම මම දණ ඔබා වැන්දෙමි.පළමුවර විභාගයට යන මොහොතේදී අරහං වී තිබූ විශය කරුණු බොහොමයක් ඔවුන් ගේ මගපෙන්වීම නිසා මට සරල දේවල් බවට පත් විය.
             
               විභාගයට පෙර, දින ගණනාවක් පුරා ගමේ පංසලේ පැවැත්වූ බෝධි පුජා පිංකම් සදහා මා සහභාගී කරවීමට අම්මා දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.විශය කරුණු හරි හැටි අවබෝධයක් නොවේ නම් බෝධි පූජාවන්වත් කොවිලේ වැඩ හිදින දෙවියන් වත් ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු නොලියන බව මං හොදාකාරවම දැන සිටියෙමි.ඒ නිසා දෙමව්පියන් තම දරුවන් නොයෙක් ආගමික පුද පූජා සදහා රැගෙන යන හැටි බලමින් පාඩම් කල දේවල් නැවත නැවතත් සහි කරන්නට කාලය ඉතිරි කරගන්නට සමත් වීමි.
       
                             දෙවැනි වරටත් විභාගයට මුහුණ දෙන නිසා එහි උණුසුමක් අපට දැනුනේ නැත.විභාගය ආරම්භ වීමට තිබූ විනාඩි ගණනේත් පොත්, කෙටි සටහන් වණපොත් නොකල අප සිව් කට්ටුව පාසැල් බිමේ ඇවිදිමින් සැහැල්ලුවෙන් ගත කලෙමු.පුණරීක්ෂණ පංති සදහා අපගෙන් වෙන්ව අගනුවර ඇතුලු පහසුකම් සහිත ප්‍රදේශ වෙත ගොස් සිටි මිතුරන්ද විභාගය වෙනුවෙන් නැවත පාසල වෙත පැමිණ සිටි නිසා අපට දැනුනේ නැවත පාසැල් ගියා වන් හැගීමකි.ඒ ජිවිතයට අප අසීමිතව පෙම් බැන්දෙමු.ප්‍රධාන විශයන් පැවැත්වුණු දින කිහිපයේදී පාසල වටා ඇවිදිමින් සිටි අපට ඉන්දූ, භාග්‍යා, රන්දී ඇතුලු බොහෝ අය මුණ ගැසුනු අතර පාසල් කාලයේදි මගේ කවටකම් නිසා ඇස් රතු වූ යෙහෙළියන් කිසි අයෙක් මා සමග වැඩි කතාබහක් ඇති කරන්නට උනන්දු නොවීය.වචනයක් දෙකකට වඩා කතා නොකල රන්දීගේ හැසිරීමද මට විශේෂත්වයක් වූවේ නැත.

                විභාගයේ අවසානයට යෙදී තිබුණේ ඉංග්‍රීසි විශය වුවද මට එය අංඩර දෙමළයක්ම විය.එනිසාම පැය තුනක් වෙන් කර තිබූ ප්‍රශ්න පත්‍රය අවසන් කිරීමට මට ගත වූයේ පැයකට මදක් වැඩි කාලයකි.ප්‍රශ්න අතර පිලිතුරු ලිවීමට තබා තිබූ ඉඩෙහි බොහෝ සෙයින් ඉතිරිව තිබූ හිස් තැන් ගැන කණගාටුවක් මට ඇති නොවිනි.මගේ ඉලක්කය වී නිබුණේ ප්‍රධාන විශයන් තුන පමණකි.වේලාසින් පිළිතුරු ලියා අවසන් වුවද ශාලාවෙන් පිටතට යා නොහැකි නිසා නොදැනුවත්වම කල්පනාවකට වැටුනෙමි.හය ශ්‍රේණියේ සිට දුව පැන ඇවිදිමින් පාසලේ ගත කල අතීතයේ බොහෝ තැන් මට සිහිපත් විය.
"මම දැන් හුග වෙලාවක ඉදන් බලාගෙන හිටියෙ... උඩ බලාගෙන ඉන්නෙ ඔය ලමය උත්තර ලියල ඉවරද?"
මගෙ දැහැන බිදුනේ විභාග ශාලාවේ පරීක්ෂණ කටයුතු වල නිරතව සිටි ගුරුවරියක පැමිණ විමසද්දීය.
"මව් බසනෙ මිස් .., ලියල ඉවරයි"       
 කවදා හෝ මට හරහට හිටින්නේ තිරිංග නැති කටමය
"හා ඔහොම ඉන්නකො"
 ගුරුතුමිය ආපසු ගොස් ශාලාධිපතිතුමා සමග යම් දෙයක් සාකච්චා කරනු ඇස් කොණකින් බලා සිටියෙමි.ඇය නැවත මා වෙත පැමිණියේ සිත පිනා යන ආරංචියකුත් සමගය

"සද්ද නොකර අතනට හිගින් පේපර් එක භාර දීල එලියට යන්න"
ගුරුතුමිය ආරංචිය අවසන් කරන්නටත් කලියෙන් නැගී සිටි මම උත්තර පත්‍රය ශාලාධිපතිතුමාට භාර දී ශාලාවෙන් පිටතට පැමිණියෙමි.මගේ පැමිණීමෙන් උත්තේජනය වූ බොහෝ පිරිසක් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ශාලාවෙන් පිටතට පැමිණියහ.විශය ධාරා කිහිපයකට වෙන්ව සිටි අප දෙපිලකට වෙන්ව ක්‍රිකට් ගැසුවෙමු.වරින් වර එකා දෙන්නා ශාලාවෙන් පිටතට පැමිණ අපට එක් වූ නිසා ක්‍රීඩාව නිසි ලෙස පැවැත්වූයේ නැත.අප බොහෝ පිරිසක් ක්‍රිඩා පිටිය පුරා විසිරී සිටි නිසා පලමු වර විභාගයට මුහුණදුන් පිරිසට එය අවසන් වීමේ ප්‍රීතිය නිසි ලෙස විදින්නට නොහැකි විය.ඔවුන් කලේ එකිනෙකා ජලයෙන් නහවා ගනිමින් සතුටු වීමය.විභාගය නිල වශයෙන් අවසන් වන හෝරාව ලංවන විට අපටද කරමින් සිටි ක්‍රීඩාවෙන් සතුටක් නොවුනු අතර කනිශ්ඨයන්ගේ  ජල ක්‍රීඩාව වෙත යොමු වුනෙමු.

  ඇද සිටි ඇදුම් තෙතබරිත වී යන තුරුම අතට අසු  වූ හිස් බෝතල්, කවර ආදියයෙන් අප එකිනෙකාට ජලය ගසා ගතිමු.අඹගස් සෙවනේ හුන් ගැහැනු ලමුන් අතර ඉන්දූ ගේ මුහුණ දුටු නිසා ඔවුන්ද මගේ ජල ප්‍රහාරයකට ලක් විය.ඔවැනි අවස්ථාවක බැණුම් කප්පරක් ඇසීමට සිදු වන නිසා මා කලේ යෙහෙලියන් සිටි තැනින් මද දුරක් ඈතට යන තෙක් දිව යාමය.නමුත් ඉන්දු ඔවුන් සිටි තැනට එන මෙන් සන් කල නිසා මා නැවතත් ඔවුන් වෙතට ගියද පුදුමයකට මෙන් කිසිවෙකුත් එදින මට දොස් නැගුවේ නැත.
"රොෂාන් දැන්ම යනවද?" ඒ හඩ රන්දී ගේය
"පිස්සුද බං මුං ටික යන වෙලාවක තමයි.... ඒක නෙවෙයි., මොකද ඔය වතුර පෙරාගෙන? උඹල ඉස්කෝලෙ ඉන්නකන් මේකට වැඩක් කලේ නෑ.. දැන් මේ ඉන්න අන්තිම දවසෙත් ඉස්කෝලෙ වතුර ටිකෙන් නාගෙන යන්නෙ නේද? රෙදි හේදුවෙ නෑ? "  
 මිතුරියන් කේන්ති ගැන්වීම මගේ විනෝදාංශයයි!
"අනේ නෑ... පිස්සෙක් අපිව නොමිලේම නෑව්වනෙ"
"ආ... දැන් පිස්සොත් උඹලව නාවනවද... හොදයි හොදයි"
මම එතැනින් ඉවත්ව නැවත මිතුරන් හා ඒක්වීමී.
කෙසේ වෙතත් විභාගය අවසන් වී ඇති බැවින් තවත් වේලාවක් විභාග මධ්‍යස්ථානය තුල රැදී නොසිටින ලෙස ආරක්ෂක නිළධාරීන් දන්වා සිටි නිසා දුකෙන් වුවද පාසලින් පිටව යාමට සැරසුනෙමු.මා පැමිණෙන තෙක් ඉන්දූත් රන්දීත් රැදී සිටි බව දැන ගත්තේ විදුහල් ගේට්ටුවෙන් පිටතට පැමිණී විටය..
     "ෂ්... ෂ්... රොෂාන් මෙහෙ එන්නකො."
යහලුවන් සමග පිටතට පැමිණි මට ඉන්දු අඩ ගැසුවේය..

Saturday, September 8, 2018

දැන් ඉතිං වෙන කුමක් කරන්නද

සියලු දේ අතහැර යාමට හැකි නම් මේ හොදම වේලාව බව සටහන් කර තබමි.විදවීම හා දරා ගැනීම අවසන් සීමාවන්ට ලං වී ඇත.පලා යන්නට අවැසි නැත.පරාජිතයෙකු නොවෙමි.නමුත්, අවසන් කරන්නට  අවැසිය.ලැබුණු ලබා දුන් සියලුම දේ වෙනුවෙන් අනේකවාරයක් ස්තූතියි! සංසාර ගමනේ කවවදාම හරි දවසක මේ සියල්ල නැවතත් මුණ ගැසෙන බව දනිමි.
සයොනාරා එතකන්

Sunday, August 26, 2018

රන්දී - පියවර 16

මටත් හොරා මගේ සිත රන්දී වෙත ඇදී යන්නට උවද යතාර්ථය විසින් එය සිදු නොවිය යුත්තක් බව තහවුරු කරන්නට විය.හැගීම් වලට වහල් වී ජීවිතය වරද්දා ගන්නට මම බිය වෙමි.ජීවිතයේ සියලු දේම ලගා කරගන්නට තිබියදී වෙනත් අරමුණක දිව ගියහොත් අවසානය දුකක් වන බව තේරුම් ගතිමි.ඉතිං.., නුහුරු අරුමෝසම් ජීවිතයට තව කල් ඇති බව සිතට වටහා දුන්නෙමි.
               
                   පංසලේ හමුවී සතියක් ගතවන විට යහලුවන් බොහෝ දෙනෙකුට රන්දී විසින් දුරකතන ඇමතුම් ලබා දී තිබිණි.කිහිප දිනකින් මගේ නමට තැපැල් පතක් ද එවා තිබූ අතර දුක සැප විමසනවා හැරෙන්නට වෙනත් යමක් එහි නොතිබුණි.පසෙකින් ඇගේ ලිපිනය සටහන් කර තිබූ නිසා කඩමන්ඩියට යැවුනු වේලාවක පිලිතුරු තැපැල් පතක් යැවීමි.
                          පසුදා මම ගයාන්ගේ නිවසට යන විට තුෂාරද එහි විය.දෙමිතුරෝ මුණගැසුනු නිසා මාගේ බොලදකම ඔවුන්ට පවසා හිත නිදහස් කරගතමි.
  සති අන්තයේ රසායන විද්‍යා පංතිය අවසන් කර බස් නැවතුමට පැමිණි විට මට ඉන්දු මුණ ගැසිනි.

"හායි රොෂන්.., කොහොමද?"
"යහතිං ඉන්නව බං..."
"ආ... රොෂාන්, ඒක නෙවෙයි.මං ඔයාව හම්බවෙන්නමයි හිටියෙ.පොඩි බඩුවක් කියන්න.."
"හප්පට බොල... මේ..., උඹව කසාද බදින්නනම් කියන්න එපා හරිද.." මගේ කතාවට අසල සිටි මිතුරන්ද සිනහ වෙන්නට විය.
"අඩෝ ...මේ..., අවුරුදු දෙක තුනක් තියං ඉදල උඹ ඕක දාල මාරුවෙන්නද හදන්නෙ....? දන්න එකෙක් ඕකිව ගෙනියන්නෙ නෑ..උඹටම තමයි කරගහන්න වෙන්නේ..."
 සහන්ගේ කතාවට අප නැවතත් මහ හඩින් සිනහ වීමු.

"මෙහෙ එන්නකො රොෂාන්.. "මිතුරන්ගේ ඝෝෂාව මැදින් ඉන්දු මා පසෙකට කැදවාගෙන ගියාය..
"පෝය දවසෙ පංසලේදි උඹලට රන්දිව මීට් උනා නේද?"
"ඔව්..."
"ඒකි උඹලගෙ නම්බර්ස් එඩ්‍රස් හෙම අරන් ගියානෙ..?"
"ම්හ්... "
"උඹට පොස්ට් කාඩ් එකකුත් එව්වනෙ?"

"ම්හ් .., මොකද ඉන්දු පොලීසියෙන් වගේ ඕව අහන්නෙ? "
"නෑ ඒකි පහුගිය දවස් දෙකේදිම පංති වලදි උඹ ගැන කියවපු එක තමයි වැඩේ"
"මොටද බං මං ගැන කියවල....? ඔය කියන්න ඇත්තෙ එදා පංසලේදි දැක්ක හන්ද වෙන්න ඇති"
"නෑ නෑ.. වෙන මොකක් හරි හොරයක් තියෙනව මං හිතන්නෙ..."

"අනේ මේ පලයං ඉන්දු....මං ගැන කියවනව නම් ඒකිට මොලේ කොලොප්පම් ඇති.."
ඉන්දු කී කතාව තුෂාරටත් ගයාන්ටත් සහන්ටත් දන්වන තුරු මට ඉවසිල්ලක් නොවීය.බස් රථයට ගොඩ වූ සැනින් මා මිතුරන් වෙත කාරණාව දන්වා සිටියෙමි..තිදෙනාගේම අදහස වූයේ තවත් මාස එක හමාරකින් එළඹෙන විභාගයට සූදානම් වනවා මිස අනවශ්‍ය දේවල් වල පැටලී අවධානය වෙනස් කර නොගත යුතු බවයි.කෙසේ වෙතත් සිදු වෙමින් යන සියල්ල මුල් කාලයේ රන්දීට පෙම් බැදි ආසිරිට පැවසිය යුතු යැයි තීරණය කලෙමි.

"හුඩා....., උඹට මතකනෙ ඕකි හන්ද මං මාස පහක් කිසි දෙයක් නොකර ඉදල කරගත්තු දේ.. මේ පාර යසට අල්ලගෙන ඇවිත් අන්තිම මොහොතෙ කෙල්ලෙක් හන්ද උඹේ හිත කචල් කර ගන්න එපා පුතෝ.."
"උඹට ඔින නම් විභාගෙන් පස්සෙ පොඩ්ඩක් කැරකිලා බලමු.මගෙන් ෆුල් බකප් එක!"
"එහෙම එකක් නෑ බං.උඹ දන්නවනෙ මං ගැන.. ලවක් කරගන්න තරම් මට එක විදියකට ඉන්න බෑනෙ..කොහොමටත් දෙතුන් දෙනෙක්ට ඇර ඉතුරු ගෑණු සංහතියටම මාව පේන්න බෑනෙ.."
"හරි හරි මස්සිනා...., ඔහොම යං.. ඔහොම යං..."

Wednesday, August 8, 2018

තවත් එක් මගේ කතාවක්



හිතේ තියෙන සියල්ලට ගැලපෙන එක් පිංතූරයක්.. 
                 ඔව්.., මට ඔබ මග හැරෙමින් පවතී! කිලෝ මීටර සිය ගණනකින් එපිටඋව සොයා බලනා, දුක සැප බෙදා ගන්නා, අහේතුකවත් පැය ගණන් කියවන සංවේදී රුව මගේ සිතුවමින් වියැකෙමින් ඇත..
                   අරුමෝසම් ලෝකයේ කිසිවකුත් සදාකාලික නොවන වග පිලිගන්නට මං සූදානම් නොවෙමි.මගේ රාමුවේ සියල්ල එලෙසම පවතින්නට මට උවමනාය.ඒ ශක්තියට මං ආත්මාරථකාමී  වෙමි.ලෝභ වෙමි.
     

Thursday, July 19, 2018

විශිෂ්ටතම ව්‍යාපාරිකයා යන්නේ වැරදි පාරේද?



මේ රටේ විධායක ජනාධිපති සතුව තිබ්බ බලතල ගොඩක් අඩු වෙලා තියෙන්නෙ.දැන් අගමැති තනතුරට කලින්ට වඩා සාපේකෂව යම් බලයක් තියෙනව.එතකොට සෘජුව ජනාධිපති වෙන කෙනෙක්ට තමන් මොන තරම් හොද වැඩපිලිවෙලක් කරන්න හැදුවත් පාර්ලිමේන්තුවෙ සහය නැතුව බෑ.දැනට තියෙන පාර්ලිමේන්තු වෙ තමන්ගෙ එක නියෝජිතයෙක්වත් නැති නිසා මහමැතිවරණයට කලින් ජනාධිපතිවරණය තියල මෙතුම පත් උනත් කලින් කියපු තත්වෙ උදා වෙනව.ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය තිබ්බොත් මෙතුමට පාර්ලිමේන්තුවෙ යම් ආසන ගණනක් දිනා ගන්න වෙනව අනිත් පක්ෂ වල සහයෝගය අරන් ආණ්ඩුවක් පිහිටුවන්න.ප්‍රධාන පක්ෂ දෙක (උන්ගෙන් කැඩිල ගිය පොහොට්ටුව) ට අමතරව දශක ගානක් තිස්සෙ මිනිස්සුන්ට කතා කරන ජවිපෙ ට වත් ආසන 30ක් 40ක් දිනාගන්න බැරි නිසා මෙතුම ජනාධිපති උනත් මේ කියන වැඩපිලිවෙල මේ විදියටම කෙරෙන්න තියෙන ඉඩ ඉතාම අල්පයි.සරලව කියනව නම් කෙරෙන්නෙම නැති දෙයක්.ඉතිං ජනාධිපතිවරණෙදි පැහැදිලි ජනවරමක් ඇතුව නායකයෙක්ට පත් වෙන්න ඉඩ නොලැබෙන තත්වයක් නිර්මාණය උනොත් බොහොම අන්තවාදී එකගතා වලට යටත්ව ජනාධිපති කෙනෙක් පත් කරගන්න උතුරෙත් නැගෙනහිරත් ඉන්න සමහර කොටස් එකතුවෙයි.ඒකෙන් වෙන්නෙ මේ රට අරාජික වෙන එක විතරයි.කරන්න තියෙන හොදම දේ විදියට මං හිතන්නෙ මෙතුමගෙ අලුත් පක්ෂෙ එක්ක තව අවුරුදු 5ක් විතර දේශපාලනේ තෙම්පරාදු වෙන්න එතුමට ඉඩ දෙන එක.එලඹෙන ජනාධිපතිවරණෙදි මෙතුමගෙ අදහස් වලට ගොඩක්ම කිට්ටු අපේක්ෂකය එක්ක එකගතාවයකට ඇවිත් ඒ බලවේගයේ දිනුම වෙනුවෙන් වැඩ කරන එක.ඔහු හෝ ඇය දිනුවොත් මෙතුමගෙ අදහස් 50%ක් වත් ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරන එක.දිනුවත් පැරදුනත් ඊලග ජනාධිපතිවරණය වෙද්දි ගම් මට්ටමින් මිනිස්සුන්ට ලං වෙලා පාලාත් පාලන ආයතන වල යම් බලයක් හදාගන්න පුලුවන් එතකොට. නොදන්න නොදැකපු කොයි තරම් හොද කෙනෙක් උනත් එකපාරට බලයට ගේන්න මේ රටේ මිනිස්සු තවම හුරු වෙලා නෑ.ඒ නිසා තමයි දෙපැත්තෙ ඉන්න හොරු ටික අවුරුදු ගානක් තිස්සෙ පාර්ලිමේන්තු යන්නෙ


උත්සාහ කරලා බලමු තව කාලය තියෙනවා ..'.....????

කාලය තව අවුරුදු හය හමාරක් කියල හිතගෙන වැඩකලොත් දිනුම්.නැත්නම් නම් ගමනක් නෑ

 දැන් ඉන්න කෙනා ජනාධිපති වෙන්න කලින් අවුරුදු 30ක් විතර දේශපාලනේ කලා.මිනිස්සු එයාව කාලාන්තරයක් තිස්සෙ දැනන් හිටිය.අනික එයා ආවෙ පක්ෂ බර ගානක එකතුවෙන් හැදුන සන්ධානයකින්.අලුතෙන්ම හැදුන අලුත්ම මූණු තියෙන තනි පක්ෂෙකින් ඇවිත් එහෙම දෙයක් කරන්න ලංකාවෙ තියෙන්නෙ 1% ක වගේ ඉඩක්.
රනිල් ලොක්කට ජනාධිපතිවෙන්න බැරි උනේ එයාගෙ සමහර යෝජනා පරද්දන්න තරම් විරුද්ධ අපේක්ෂකය වෙච්චි මහින්දගෙ කදවුර සමත් උන එක.ඒකෙන් තීරණාත්මක මධ්‍යම පාන්තික ඡන්ද බහුතරයක් මහින්දට ලැබීම හා උතුරේ ඡන්ද වර්ජනය.ඝෝඨාභය ඡන්දෙට එනව නම් එන්නෙ සාපේක්ෂව රොහාන් මහත්තයට වඩා ජනප්‍රිය කමක් එක්ක.අමාත්‍යංශ ලේකම් කෙනෙක් විදියට ඉද්දිත් ඊට පස්සෙදිත් නිතර කතාබහට ලක් වුණු චරිතයක් නිසා මිනිස්සු එයා ගැන සලකා බලනව.පොදුවේ කොළඹ ලස්සන කරල පිලිවෙලක් කලේ ඝෝඨාගෙ අනුදැනුම මත කියල මිනිස්සු දන්නව.ඒ නිසා ඝෝඨ ට යම් වාසියක් තියෙනව.ඒ වගෙම ඝෝඨ එනව නම් එන්නෙ මේ වෙද්දි රටේ ජනප්‍රියම මනුස්සය වෙච්චි මහින්දගෙ ආශිර්වාදය එක්ක ඒ කදවුරෙන්.එතකොට ජනාධිපති උනොත් අර තමන්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනි කරන පාර්ලිමේතුවේ සහය ගන්න එක ඝෝඨට සරල වැඩක්.පොයින්ට් එක ඒකයි.කොහොම උනත් පොහොට්ටුවෙ ඊලග ජනාධිපති අපේක්ෂකය බොහෝ දුරට චමල් රාජපක්ෂ වෙන්න පුලුවන්.එයා පත් උනොත් විධායක ජනාධිපති ක්‍රමය නියත වශයෙන්ම අහෝසි කරල ඒ වෙනුවෙන් රටේ අරගල කරපු බොහෝ දෙනෙක්ට දේශපාලනික ටොක්කක් අනින්න බැසිල් රාජපක්ෂ කටයුතු කරයි.මහින්ද අගමැති කමට ගෙනත් ඝෝඨා වැඩි බලතල සහිත ප්‍රබල අමාත්‍යංශ ලේකම් කෙනෙක් වෙයි.

Thursday, June 28, 2018

අරුමය

ජීවිතය හරි පුදුමාකාරය.විටෙක නිදහසේ ගලාගෙන යන එය තවත් විටෙක මුහුණදෙන හැල හැප්පිම් වල නිමාවක් නැත.මහා ලොකු හැලහැප්පීමක් නොමැති උවත් පාසල් අධ්‍යාපනය නිමවීමෙන් කෙටි කලකට පසු මා ඉපැයීමට යොමු වන්නේ ඉලක්කයක් නොමැතිවය.අදහස තිබුණේ වියදමට යමක් සපයා ගන්නටය.මුල්ම වැටුපෙන් පවා මට සපුරාගන්නට තිබූ අවශ්‍යතාවන් ප්‍රමාණය සීමිත විය.
            කාලය ගත වීමත් සමගම ඉපැයීමේ මාර්ගයන් වෙනස් වන්නටත් අවශ්‍යතාවයන් ඉහල යන්නටත් වූ අතර යම් කිසි තත්වයක් ගොඩ නගා ගන්නට ද හැකි විය.උපන්ගෙයින් උරුම වූ මූල්‍ය ශක්තිය ප්‍රාථමික අධ්‍යාපනයේ මැදක් වද්දී දිය වී යන්නේ දෙගුරුන්ගේ කළමණාකරනයට තිබූ දැනුමේ අග හිග කමට මිස වෙන කාරණාවකට නොවේ.එතැන් පටන් හිතවතුන්ගේ අසීමාන්තික සහයෙන් ගොඩ නගා ගත් දෙයක් බුක්ති විදිනවා හැරෙන්නට වෙනත් පහසුකම් ලබන්නට හිමිකමක් මට තුබුණේ නැත.
        වෙහෙසකර ගමනකින් පසු සියල්ල අතහැර ගෙන්දගම් පොළවේ පය ගසන්නට යන්නට මා යන්නේ මේ වසරේ මුලදීමය.මට වෙන විකල්පයන් තුබුණේද නැත.අවැසි කලමණා පුරවා ගත් මලු දෙකත් එල්ලාගෙන බස් රථයක එල්ලෙන්නට දෙතුන් වරක් උත්සාහ කරන්නට මට සිදු විය.ඒ තරම් කාලයක් ලගින් හිටි,සියල්ල බෙදා හදා ගත් මිතුරු සමූහයට සමු දෙන්නට හයියක් නොමැතිව මහා බරක් උගුරේ සිර වී ගියේය.විවාහයෙන් මාස ගණනක් ගත වුවද දෙතැනක දිවි ගෙවූ මට එළඹෙන්නට නියමිතව ඇති, බිරිද සමග එකම නිවසක කල් ගත කිරීමේ ආහ්ලාදය ඇබින්දක් වත් දැනුනේ නැත.මං ගියේ නොයා බැරි කමටමය.
          ගෙන්දගම් පොලවේ දුෂ්කරතාවය ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත.නමුත්, ඒ සිහිනයට මං ආශා වන්නට පුරුදු විය.බිරිදකගේ සෙනේහය මං වින්දේ ඇරැව්වල අහස යටදීය.ලෝකයෙන් බොහෝ දේ අහිමි වෙත්දී අත ගැසූ සියල්ල කණපිට පෙරලෙත්දීත් සිහි කල්පනාව තුබුණේ ඒ සෙනෙහසට පිං සිදු වන්නටය.දණින් වැටී සිටි මට ආපසු නැගී සිටින තෙක් බිම දිගා වෙන්නට නොදී රැකුනේ ඇයත්, දින කිහිපයක් ගත වුනු තැන ''උඹ හොදින්දැ'යි,'' අසන්නට තරම් දයාබර වූ කොළඹ අහස අමුත්තක් නොවූ මිත්‍රයකුගේත් ශක්තිය නිසාය. මං ජීවත් උනෙමි!
          මේ, හිතේ සැනසීම වැඩි කලක් රැදෙන අවධියක් නොවේ.ඉදින් ගෙන්දගම් පොළවට සමුදෙන කාලය බොහෝ ඉක්මණින් උදා විය.මේ කොදෙව්වෙන් නික්ම යන මොහොතේදී විදි සන්තාපයන් දස ගුණයකින් වැඩිව නැවත මෙහි එනවිට විදින්නට මට සිදු විය.අරුමයකි, කටුකත්වයේ සුන්දරත්වය නිම වූයේ එසේය.
     

Thursday, June 7, 2018

ඇපකරය

තාත්තා මිය ගියේ මං දෙක වසරේ ඉගෙන ගනිමින් සිටියදීය.ඉතිං තාත්තා ගැන මට ඇත්තේ අල්ප මාත්‍ර මතකයකි.මං ඔහු නොහදුනමි.නෑදෑයනුත් හිතවතුනුත් කියන ගුණ දොස් මගින් මං තාත්තා මවාගෙන සිටිමි.නමුත්, මං අම්මා හදුනමි.මට ලැබුණු වටිනාම දේ ඇයයි.ඒ ධෛර්යයට,ඒ දරාගැනීමට තව බොහෝ දේ ලිවිය හැක.
            මට ඊලගට වටින්නේ කවුදැයි ඇසුවොත් අවිවාදාත්මක පිලිතුර මිතුරන් යන්නයි.මේ පිරිස ලබන්නට ඔවුන්ගේ කාරුණිකත්වය අත් විදින්නට ආත්ම ගණනක් පිං රැස් කරන්නට ඇත.මා ඔවුන්ගෙන් විදි කරදර අතලොස්ස මෙන් නොව මා නිසා ඔවුන් විදිමින් පවතින කරදර ප්‍රමාණය අති විශාලය.මා දෙපයින් සිටුවන්නට ඔවුන් වෙහෙසුනු හැටි දන්නේ මා ය.පාසල් කාලයෙන් පසු කොහේ දෝ ගසාගෙන යන්නට තිබූ ජීවිතය අද මෙතැන තිබෙන්නේ ඒ මිතුරුකමට පිං සිදු වන්නටය.මං එයට ආ වඩමි.ප්‍රති උපකාර නොපතා ලගින් ඉන්නේ ඔවුහුය.

         එක්තරා කාලයක ජීවිතය අසරණකමේ අන්තයටම ගිලී තිබුණු කාලයක් විය.ලගින්ම හිටි මිතුරන්ට ඒ ගැන ඉව වැටුණා විය යුතුය.උපයන කාලයක නොසිටි ඔවුන් කලේ මිලදී ගන්නා ඇදුම් මටද සෑහෙන ලෙස තෝරා ගැනීමය.අපි ඒ සියල්ල මාරුවෙන් මාරුවට ඇන්දෙමු.ඒ සියල්ල ජීවත්ව සිටින තාක් කල් අමතක නොවෙනු ඇත.
         හදිසියේ මේ සටහන කුරුටු ගෑවුනේ ඥාතිකමට එහා ගිය මිතුරුකමින් මා සැලකූ පුද්ගලයෙකුගේ යෝජනාවකින් කලකිරුණු නිසාය.එක්තරා අවස්ථාවකදී මට යම් මුදලක් අවැසි වූ විට පිහිටට හිටියේ මේ ඥාතියාය.අවශ්‍යතාවය කී සැණින් එකග වූ නිසා මා සිතා සිටි මිත්‍රත්වය තවත් තහවුරු වූ බවක් දැනෙන්නට විය.මේ අතර තුර, ටික දිනකට මට අවශ්‍ය නොවන වටිනා උපකරණයක් කලින් කී ඥාතියාට  ප්‍රයෝජනවත් වන බව දැනුනු නිසා නැවත මට අවශ්‍ය වන තෙක් භාවිත කිරීම පිණිස ලබා දුන්නෙමි.ගනු දෙනුවත් උපකරණයත් අතර සම්බන්ධයක් නැත.ගණු දෙනුව සිදු කල මොහොතේදීවත් එවැන්නක් කතා උනේ නැත. දැන් මුදල මා අතේය.භාණ්ඩය ඥාතියා ලගය.

                     මෑතකදී මුණ ගැසුනු ඥාතියා අපූරු යෝජනාවක් ඉගි කලේය.එනම් මුදල පියවන තාක් කල් ඇපකරයක් ලෙස භාණ්ඩය රදවා ගැනීමටය.මිතුරන් ගේ අගය මිල කල නොහැකි බව තව තවත් තේරුම් යන්නේ මෙවැනි අවස්ථා වලදීය.ඥාතියාගේ මුදල මෙන් දහගුණයකටත් වඩා වටිනාකමින් යුත් ගනු දෙනු මා මිතුරන් සමග කර ඇතත් මා මෙවැනි තත්වයකට මුහුණ දී නැත.මට දැනුනේ ඒ නිසාය.ඥාතියා මිතුරන් ගනයේ ලා සැලකූ නිසාය.

            ඉතිං, මිතුරු ඥාතීන්ට පණ දෙන්නට නම් ඇපකරයක් ඇවැසිය

Saturday, April 14, 2018

ලගදීම

ලියන්න දේවල් බොහොමයි
රන්දී, සහෝදරයා,අම්මා,අවුරුද්ද,මේ රට, හොදම යාලුවො... තව මාතෘකා 20කට වඩා.. මං හිර වෙලා
ගැටගහ ගන්න පුලුවන් වෙච්චි ගමන් ආයෙත් එනවා

Sunday, February 25, 2018

රන්දී - පියවර 15


"මේ පාර වැඩක් නෑ අම්මේ...."
එක එල්ලලේ පිලිතුරක් දීමට තරම් සිත ශක්තිමත් නැති නිසා මා සැනෙකින් කාමරයට වැදුනෙමි
"අනේ එක විශයක් වත් පාස් නැද්ද?"
අම්මා විමසිලිමත් වන ආකාරය පපුව දවාලන තරමේ විය.වසර ගණනාවක් තිස්සේ කුසට හරි හැටි ආහාරයක් වත් ගමනක් බිමනක් යන්නට ඇදුමක් වත් නොගනිමින් ඉපැයූ සියල්ල මගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කල අම්මාටත් තාත්තාටත් අවසානයේ ඉතිරි වූයේ අසමත් ලෙස සටහන් කල කොල කැබැල්ලක් පමණී.අප සාමාන්‍ය පෙළ සමත් වූ දිනයනුත් අක්කා උසස් පෙළ සමත් වූ දිනයත් මට සිහි විය.ඒ දින වල අම්මාටත් තාත්තාටත්  අපෙන් තොර මාතෘකාවක් නොවීය.තුරුලු කරගෙන මුහුණ සිම්ඹේ නැති උවත්, දහස් ගණන් වටිනා ත්‍යාග නොලැබුණත් අපේ ජයග්‍රහන සමරන්නට අම්මාත් තාත්තාත් සතුටින් වෙහෙසුනු හැටි තවමත් අමතක නැත.ඒ සියලු බලාපොරොත්තු කුඩු පට්ටම් කර දමන්නට තරම් මා නොසැලකිලිමත් වූයේ ඇයි දැයි මටම සිතා ගත නොහැක.
දෑස දෙකොනෙන් කදුලු කැට ගලනවා දැනුනේ මද වේලාවක් ගත වුනු පසුය..
යහලුවනගේ ප්‍රතිඵල ගැන ඇසූ දේවලට වචනයෙන් දෙකින් පිලිතුරු දුන් මම ඇති තරම් නා ගතිමි.වතුර සමග මුසු වූ විට කදුලු පෙනෙන්නේ නැති නිසාවෙන් ගලා ගොස් අවසන් වන තුරු නිදහසේ ගලා යන්නට කදුලු වල ඉඩ දුන්නෙමි.
ප්‍රතිඵල නිකුත් වී සති කීපයක් යනතුරු ම හමුවන සියලු දෙනා විමසුවේ විභාග ප්‍රතිඵල ගැනයි.ඒ හැමට මා නොසගවා අසමත් බව පැවසුවෙමි.ප්‍රතිඵල පැමිණීමත් සමග එතෙක් නිවැරදි ඉලක්කයකින් තොරව කටයුතු කල සිතට නව පණක්,නිවැරදි ඉලක්කයක් ලැබුණි.එනිසාම අලු දූලි මතින් නැගිටින්නට ධෛර්යය ලැබුවෙමි.


*******************************************

දෙවන වර විභාගයට මුහුණ දීමට මාස දෙකක් පමණක් ඉතිරිව තිබුණත් එක දිගටම පාඩම් කටයුතු වල නිරත වී ඇති වූ මහන්සිය මගහරවා ගනු පිණිස මමත්,ගයාන්,තුෂාර,කල්ප,හර්ෂ ආදී කී දෙනෙකුම වෙසක් පොහෝ දා සවස පංසලට එක් රැස් වීමු.අවට තිබූ දන්සැල් කිහිපයකටත් සහභාගී වී සවස සූදානම් කර තිබූ බෝධි පූජා පිංකමට සංවිධාන කටයුතු වලට අපි සහයෝගය ලබා දුන්නෙමු.රාත්‍රිය ලංවත්ම බොහෝ දෙනෙක් පංසලට එක් රැස් විය.පැරණි රජවරුන්ගේ යුගයන් දක්වා ඉතිහාසයක් සහිත පංසල, ප්‍රදේශයේ බොහෝ අය නොවරදවාම පැමිණෙන තැනකි.
        පැමිණි පිරිස අතර පාසල් මිතුරු මිතුරියන්,හිතවතුන්  වැඩි පිරිසක් විය.ඒ නිසාම විභාගය ඉලක්ක කර ගනිමින් ගෙවුනු මාස කීපයේ දුෂ්කරතාව සිතින් මැකී ගියේය.අපි සියලු දෙනා බොධි පූජාවට සහභාගී වීමේ අරමුණින් බෝධි ප්‍රාකාරය අසල රැදෙමින් සිටියෙමු.ස්වාමීන් වහන්සේ බෝධී පූජාව ඇරඹීමට මද වේලාවකට පෙරාතුව හාත් පස දුවමින් සිටි මගේ දෑසට හුරු පුරුදු නෙත් සගලක් ගැටුනත් ඒ කවුදැයි හරි හැටි හදුනා ගැනීමට ඈ අප අසලටම පැමිණෙන තෙක් හිදින්නට සිදු විය.තනි කරලට ගෙතූ මුදු ගැසුනු කෙස් කළඹත් චාම් ඇදුමත් නිසා සිත උමතු කරවන තරමේ සුන්දරත්වයක් රන්දී ගෙන් දිස් විය.
"හම්මට උඩු... මේකි තවත් ලස්සන වෙලානෙ... මට අදුන ගන්න බැරි උනා.... "
ඉන්නේ කොහිදැයි අමතක වුනු නිසා කට ක්ෂණිකයෙන් ක්‍රියාත්මක විය.
"ම්... හුග කාලෙකින් දැක්කෙ.. ඉතිං කොහොමද ඔයාලට? එග්සෑම් එකෙන් පස්සෙ දැක්කමද කොහෙද..."
"ඒකනේ... අපි ඉතිං සැපට දුක් විදිනව.. උඹලට කොහොමද? ආතල්ද? ගයාන්ද කතාවට හවුල් විය.."
වැඩි වේලාවක් යන්නට මත්තෙන් බෝධි පූජා පිංකම ආරම්භ වූයෙන් සියල්ලන්ම හුන් තැන සිටම එයට සහභාගී විය.රන්දීටද සිදු වූයේ සෙනග මැදින් දෙමව්පියන් වෙත නොයා අප සමග රැදෙන්නටය.පූජාව අවසන් වන තුරු අප කලේ රහසින් ආ ගිය තොරතුරු කතා බස් කිරීමයි.
ඇය නැවත දෙමව්පියන් වෙත යන්නට කලියෙන් අප සියලු දෙනාගේම දුරකතන අංක ඇගේ නවීන ජංගම දුරකතනයට ඇතුලත් කරගන්නට විය.

"ඔයාලට බැරි නම් අපිවත් කතා කරන්න ෆෝන් නම්බර් එක දෙන්න තුෂාර.."
"ඔන්න දා ගනින්... බිංදුවයි...."
රන්දීගේ දුරකතන අංක පෝලිමේ අන්තිමයා මම විය.මිතුරන් තමන්ගේ ජංගම දුරකතන අංකය හෝ එවැන්නක් නොමැති අය නිවසේ දුරකතන අංකය හෝ ඇයට ලබා දුන්නෝය.
"රොෂාන් ...ඔයාගෙ නම්බර් එක...?"
"මට මොන ෆෝන් ද බං... පණිවිඩයක් තියේ නම් පොලීසියට කියපං.උන් තත්පරෙන් මට දෙයි"
ඇගේ මුහුණ ක්ෂණිකයෙන් අදුරු වූ යේ ලැජ්ජාවටද එසේත් නැත්නම් වරදකාරී හැගීමෙන්දැයි දන්නේ නැත.
"එක්ස්ට්‍රීම්ලි සොරි රොෂාන්.....මට එඩ්‍රස් එක දෙන්නකො..."
සිහින් ස්වරයෙන් පැවසූ ඇය දුරකතනයේ යතුරු කීපයක් වේගයෙන් ඔබමින් මගේ ලිපිනය ඊට ඇතුලත් කර ගත්තාය.

සවස් යාමයේ පංසලේ ගත කල පැය කීපය නිසා මගේ හිත තරමක් නොසන්සුන් විය.පාඩම් කරන්නට තරම් සිත ට නිදහසක් නැති වූ නිසා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන පිරිත් දේශනාවට කන් යොමා සිටියෙමි.පිරිත් දේශනාව පැය කිහිපයක් ගත වන තුරු ගත වන කාලය ගැන අවධානයක් නොවීය.
රාත්‍රි යේ දී මම ගෙමිදුලට පැමිණියෙමි.පසලොස්වක සද නිසා වැඩි අදුරක් පරිසරයේ නැත.සීතල සුලගත් සමග මුසුව ආ පිච්ච මල් සුවද සිත තවත් කළඹන්නට විය.කෙතරම් නවතාලන්නට උත්සාහ කලත් සිත දිව යන්නේ සවස් යාමයේ දුටු නිල් දෑස සොයන්නටය..කිසි ලෙසක හැබෑ නොවෙනා හීනයක අතරමං වන්නට සිත වෙහෙසෙන අපූරුව!


Thursday, February 22, 2018

රන්දී - පියවර 14

"අනේ පව් පොඩි පුතා.. ගෙදරට වෙලා ඉන්න ටිකේ වවපු දේවල් විකුණල අද අතට ගානක් හොයා ගෙනනෙ"

වැඩ අවසන් වී හැන්දෑවේ ගෙදරට පැමිණි තාත්තාට අම්මා කියනවා එළිපත්තේ සිටි මං අහගෙනය
 "අනේ වාසනාවන්... පොඩි කමට ඉන්නෙ නැතුව පුතත් කීයක් හරි හම්බකරන එක ලොකු දෙයක්..ඒ ලමයින්ටත් වියදම් තියෙනව නැතෑ.."

අම්මාත් තාත්තාත් මා ගැන ප්‍රශංසනාත්මකව කතා කිරීම මගේ සතුට වැඩි කරන්නට විය...

නිවසටම වී හිදීම කම්මැලි වූ තැන තුෂාර හෝ ගයාන්ගේ නිවසට යාමට මම පුරුදු වුනෙමි.දිනක් සවසක මා ගයාන්ගේ නිවසට යනවිට ඔහුගේ පියා නිවස ඉදිරියෙන් ඇති පිහිඹියා සෙවනේ වූ බංකුව මත සිටිනු හමු විය.
 "විජේ මාමෙ.. ගයාන් ගෙදර ඉන්නවදැ" යි අසමින්ම මා ඔහු වෙත ගියෙමි
"ආ..මේ රොෂන් පුතානෙ..මං හිතන්නෙ පුතා නානව.එතතකන් ඇවිත් ඉදගන්න...."    කියවමින් සිටි පුවත් පත පසෙකට කර ඔහු මටද බංකුවේ ඉඩ සෑදුවේය.
ව්‍යාපාරිකයෙක් වූ ගයාන් ගේ පියා බොහෝ විට සවස් වරුවේ නිවසේ රැදේ.උදෑසන ව්‍යාපාරික ස්ථානයට ගොස් දෛනික කටයුතු අවසන් කරන ඔහු නැවත එතැනට යන්නේ එය වසා දමන වේලාවටය.ඔහු නොරැදෙන වේලාවන් වලදී ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට විශ්වාසවන්ත සේවක මණ්ඩලයක් පුහුණු කර ගන්නට දශක ගණනක් පැරණි වූ ඔහුගේ ව්‍යාපාරික ඤාණයට හැකි වී ඇත.
"කොහොමද පුතේ ඉතිං... දැන් ආයෙම පංති යනවද?"
"තවම නෑ මාමෙ.. ප්‍රතිඵල ආපුවමම යනව.."
අග හිගකම් නිසා පංති යෑම සීමා කරන්නට මං අධිශ්ඨානයෙන් සිටිනා වග පවසන්නට තරම්  සිතට ධෛර්යයක් උපද්දවා ගන්නට නොහැකි විය.
"අපේ කෙනා නම් ඔන්න පටන් ගත්තු දවසෙ ඉදන් දෙවෙනි පාර කරන්න කියල පංති යනව...ප්‍රතිඵල එන්නත් තව වැඩි කාලයක් නෑ මයෙ හිතේ.."
"ඔව් මාමෙ මමත් අහගෙන ප්‍රතිඵල ලගදිම එනව කියල ප්‍රවෘත්ති වලට කියනව..මට නං ඉතිං ඕක ආවත් එකයි නැතත් එකයි.."
"ඒ මොකද පුතේ.?."
"වැඩක් නෑ මාමෙ, මේ පාර නම් අනාගත්ත හොදටම"
"ම්... එහෙම කියල උත්සාහය අතාරින්න එපා පුතා..ඒ වතාවෙ බාරි නම් ඊලග වතාවෙ හරි වැඩේ කරන්න.මේ ලෝකෙ මිනිස්සු දියුණු වෙලා තියෙන්නෙ උත්සාහ කරපු පලවෙනි අවස්ථාවෙන්ම නෙවෙයි."
"ඒක නම් ඇත්ත මාමේ.. මේ පාර ට්‍රයි කරනව උපරිම"
"ඒයි රොෂාන් ... වැඩපන් මෙහෙට!"
නෑමෙන් පසු ඉනේ දවටා ගත් තුවාය සමග ජනෙල් කූරු අතරින් පෙනී සිටි ගයාන් කෑ ගැසුවෙන් එ් දෙසට යන්නට නැගී සිටියෙමි.
"මොකෝ උඹ කාලෙකින් නාල හෙම? කවුරුවත් PHI එනව හෙම කිවුවද?"
"අනේ මේ ... කට වහපං .. ගෙදර නොවුන නම් මං කියල දෙනව තොට කවුද එන්නෙ කියල"
"ඒක නෙවෙයි.. කොහෙද උඹ ගියේ?"
"කොහෙවත් නෑ බං.. නිකමට මේ පැත්තෙ ආවෙ.. පංති ටික අහගෙන යන්නත් එක්ක.. ලබන සතියෙ ඉදන් වත් එන්න කියල හිතං ඉන්නෙ."
ඔහුගෙන් අසා දැන ගත් පුණරීක්ෂණ පංති සදහා ඊලග සතියේ සිට මම සහභාගී උනෙමි.ඒ සියලු පංති පැවතියේ සතියේ දින වල නිසා පාසැල් කාලයේදී සහභාගී වූ උපකාරක පංති වලට වඩා පහසුවක් අත්විදින්නට හැකි විය.වගාවෙන් ලද මුල් ආදායමෙන් ම පංති ගාස්තු ගෙවන විට මට මහත් ආඩම්බරයක් ඇති විය.සෑම පංතියකදීම පාසැල් මිතුරන්ගෙන් උණූසුම් පිලිගැනීමක් මා වෙත හිමි විය.
 පුණරීක්ෂණ පංති ගමන ආරම්භ කර දෙවැනි සතිය වන විට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය.බොහෝ අය නගරයේ අන්තර්ජාල සේවා සපයන ස්ථාන වල පෝලිම් සැදී තමන්ගේ ප්‍රතිඵල දැන ගන්නට උත්සුක විය.සමහරු ප්‍රතිඵල සටහන දැක කදුලු සලද්දී තවත් සමහරු උසස් ලෙස සමත් වීමේ ප්‍රීතිය නිසා කදුලු සලන්නට විය.මට මා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය එලෙසම ලැබී තිබුණි.ප්‍රතිඵල ලැබෙන තාක් ලැබෙන ප්‍රතිඵලය ගැන අවබෝධයෙන් සිටියත් ප්‍රතිඵල සටහනේ සමත් ලෙස සටහන් වී ඇත්නම් කෙතරම් අගේ දැයි සිතින් ප්‍රාර්ථනා කලෙමි.නමුත් අස්වැන්න ලැබෙන්නේ වැපිරූ හැටියට මිස වෙන යම් ක්‍රමයකට නොවේ.

  සියලු විශයන් අසමත් ලෙස සටහන් වූ පත්‍රිකාවත් සමග මා මොහොතකට අතරමං වීමි.පසුගිය කාලයේ මා විසින් ගත කල ජීවිතය නොවන්නට මේ සටහන වෙනස් වන්නට තිබූ බව මා අවබෝධ කරගතිමි.කෙසේ උවද දැන් ඒ ගැන සිහිකර දුක් වීමෙන් පලක් නැත.ඉදිරියේදී මෙවැනි අපහසුතාවයකට මුහුණ නොදීමට කටයුතු කිරීම හැර වෙනත් යමක් ඉතිරි නැත.
  මෙවර විභාගයෙන් අසමත් උවද සතුටු විය හැකි කාරණා බොහොමයක් විය.ඒ එක බඩවැල කඩාගෙන ආ සහෝදරයන් මෙන් පාසලේදී උන් මිතුරන් බොහෝ දෙනෙක් තමන්ගේ කඩයිම ජයග්‍රහනය කර උසස් අධ්‍යාපනය වෙනුවෙන් සුදුසුකම් ලැබීමයි.තුෂාර එස් සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයකුත් ගයාන් එස් සාමාර්ථ තුනකුත් ලබා තිබුණි.සහන් විශයන් දෙකකට පමණක් එස් සාමාර්ථ ලබා අනෙක් විශය අසමත් වී ඇත.
මිතුරන්ගේ ප්‍රතිඵල ත් අනෙකුත් පාසල් වලින් විශිෂ්ඨ ලෙස සමත් වූ අයගේ විස්තර ආදිය කතා කරමින් සිට මා නිවෙසට යන විට රාත්‍රිය උදා වන්නට තිබුණේ අඩ පැයකටත් අඩු කාලයකි.ඒ වන විටත් අම්මාත් අක්කාත් මග බලා සිටියේ මගේ ප්‍රතිඵල දැනගන්නටය
 "කොහොමද පුතේ... පාස්ද?" නිවසට ගොඩ වන විටම අම්මා උනන්දු විය

Wednesday, February 21, 2018

සිත නිවන කතා

මං ආසයි..ආයෙත් 
ඒ ජීවිතයට යන්න ඇත්තන්
පුදුම සැහැල්ලුවෙන්
හිත ලගින් සැතපී
අවනඩුව අහන්නට උඹ උන්නු අතීතය .
හැගීම්බරයි
බොහෝ දේ පසු කරන් කාලය ඉගිලුනත්
බොලදකම එහෙමමයි
මැරෙණකන් ඉටු නොවෙන!


Wednesday, February 14, 2018

රන්දී - පියවර 13

දිනය උදා විය.අපේ මුලු ජීවිතයම තීරණය කරන දවස උදා විය.මා වෙනදාට වඩා වේලසනින් අවදි වී හැගෙන හදින් යුතුව සූදානම් උනෙමි.නිවසින් පිට වීමට මත්තෙන් අම්මාටත් තාත්තාටත් අක්කාටත් දණ ඔබා වැන්දෙමි.නමුත් සිතට අඩුවක් දැනේ.වසර තුනකට ආසන්න කාලය තුල පාසලේත් ටියුෂන් පංති තුලත් කල කී දෑ විදුලි කොටන්නාක් මෙන් සිත තුල ඇති වී නැති වී යයි.මා විභාගයට යන්නේ ඉන් ලැබෙන ප්‍රතිඵල පිලිබදව හරි හැටි දැනගෙනය.පෑනකුත් පැන්සලකුත් ගෙන නිවසින් පිටත් වුනෙමි.ජීවිතයේ හැම ගමනටම වාරු දුන් පා පැදිය ට බර දී නගරයට යන අතර මග මුණගැසුනු බොහෝ දෙනෙක් විභාගයට සුභ පැතුවෝය.
            පාසල් බිම සොහොන් ගෙයක් මෙන් නිහඩය.එකා දෙන්නා තැනින් තැනට වී පොත් පෙරලමින් පාඩම් කරනු පෙනේ.යහලුවෙකුගෙන් පොතක් ඉල්ලා ගත් මා විභාගය ඇරඹෙන තුරු නොතේරෙන සමීකරණ හා සූත්‍ර සමග අතරමං වුනෙමි.
          විභාගය පැවති දින කීපයම එක වාගේය.හරි හැටි කෑමක් බීමක් නොගෙන එක දිගට පාඩම් කලද ප්‍රශ්න පත්‍ර සමග ගනු දෙනුව මට මහත් අභියෝගයක් විය.දැන් ඉතිං කල හැක්කක් නැත.දෙවැනි වතාවේ මෙවැන්නක් සිදු නොවන්නට කටයුතු කරන බව මා මටම සපථ කර ගත්තේ විභාග ශාලාවේදීමය.මට ඇති ලොකුම ප්‍රශ්නය අනේක විද දුක් විදිමින් අම්මාත් තාත්තාත් මා වෙනුවෙන් විය පැහැදැම් කල මුදල් ගගට කැපූ ඉණි බව දැන ගත් විට ඔවුන් ට මුහුණ දීමයි.මං මහා අපරාධකාරයකු බව මට හැගේ.
     අවසානයට යෙදුනු ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු ලියූ අප විභාග ශාලාවෙන් පිටතට ආවේ තාව කාලිකව හෝ ලැබුණු සහනය ගැන උදම් වෙමිනි.මේ පාසල් නිල ඇදුමෙන් සැරසී ජීවිතයේ සුන්දරතම මතක පිරි ආදරණීය පාසලට එන අවසාන දිනයයි.අප සියල්ලන්ටම පාසල හැරදා යන්නට නොහැකි සෙයක් දැනේ.අදින් පසු සමහර මිතුරන් යලි කෙදිනක දකී දැයි දන්නෙ නැත.වෙනදා විශේෂත්වයක් නොදුටු පාසල් ගොඩනැගිලි අද පෙනෙන්නේ අපගේ නික්ම යාමට සොවින් මුහුණු අදුරු කරගෙන ආකාරයකි.සහෝදර සහෝදරියන් ලෙස ලගින් සිටි බොහෝ දෙනෙකුගේ දෑසට කදුලු නැගී ඇත.පාසල් ජීවිතයේ අවසාන දිනය ඉක්මණින් අවසන් කිරීමට අප කිසිවෙකුටත් අවැසි නොවීය.
     මිතුරන් ට සුභ පතමින් සමරු සටහන් ලබා ගනිමින් පාසල පුරා ඇවිද ගිය මට අඹ ගස් වෙනට වී කතා බස් කරමින් සිටි යෙහෙලියන් පිරිසක් මුණ ගැසුනි.පාසලෙන් නික්මේනට කලියෙන් ඔවුන්ටද සුභ පැතීමේ අදහසින් මා ඔවුන් වෙත ගියෙමි.උසස් පෙල සදහා වෙන වෙන විශයන් හැදෑරුවද එතැන නිශානි, සකුන්තලා,රන්දී,ඉනිදු ඇතුලු පිරිසක් විය.
මොකෝ තවම උඹල ගෙවල් වලට නොගියෙ?
අද නම් යන්න බෑ වගේ... සකුන්තලා හඩන්නට ආසන්නය
ඉතිං නිශානි මොකෝ කරන්නෙ ඉස්සරහට... එකපාරෙන් ගොඩ යන්න පුලුවන් වගෙද...
 මාතෘකාව වෙනස් කරන්නට මං  නිශානි වෙත හැරුණි
මොන ගොඩ යෑම්ද රොෂාන් .... මං මේ ආයෙ පාරක් කරන්න ලෑස්ති වෙනවා..ඔයා නම් ඉතිං ගොඩ නේද?
හම්මේ තමයි... කැම්පස් පාටි එක දෙන දවසට උඹ අනිවා වරෙන් ආ... මගේ තරම දන්නේ මම පමණකි
ඒක නෙවෙයි.. අන්න කොල්ලො සෙට් එකත් යන්න හදන්නෙ.. යමං... මම නැගී සිටියෙමි

ඉතිං...ආයෙ කවද කොහොම හම්බවෙයි ද දන්නෙ නෑ.. කොහොම උනත් දැක්ක තැනකදි කතා කරල පලයල්ල. හරී!

මගේ වදන් අඩන්නට සිටි ඇස් වලට ඇගිල්ලෙන ඇන්නා  විය.අත් ලේන්සු වලින් පිසදමන්නට කලියෙන් යෙහෙලියන්ගේ දෑස් වල නැගුනු කදුලු කැටි මං දැක්කෙමි.මිතුරන් වෙත යන්නට කලියෙන් ඒ සියල්ලන්ට මා සමු දුන්නෙමි.

පාසල් පංති කාමර පෙලත් ගේට්ටුවත් අතර දුර ගෙවා දමන්නට අපට අඩ පැයක්වත් යන්නට ඇත.නවතිමින්,සිනා සෙමින්,අඩමින්, වැලද ගනිමින් අප ඒ දුර ගමන් කලෙමු.පාසලෙන් පිට වන්නට පා එසවෙන්නේ මන්දගාමී ලෙසිනි.පාසලෙන් බස් නැවතුම් පලට පැමිණි අප එතැනද පැයකට වඩා කාලයක් ගත කලෙමු.නැවතත් නැවත නැවතත් සියලු දෙනා වැලද ගනිමින් අප සමුගත්තෙමු.නිවසට යෑමට බස් රථයට නැගුනත් මිතුරන් හැර දමා යාමට සිත් නොවේ.ජීවිත කාලය පුරාවට හරි හම්බ කල ගත් එකම ධනය ඒ මිතුරු කැලයි.

******
විභාගය අවසන් වී ගෙවුනු පලමු සතිය තුල හොද හැටි නිදා ගත්තෙමි.දෙවැනි සතිය ඇරඹෙත්ම උසස් පෙල පුණරීක්ෂණ පංති ආරම්භ වන බව දැනගන්නට ලැබුණත් ඒවාට සහභාගී වෙන්නට අම්මාගෙන් මුදල් ඉල්ලීමට තරම් සිතට ධෛර්යයක් නොවීය.කෙසේ වෙතත් සමත් වීම සදහා අනිවාර්යයයෙන්ම නැවත වරක් විභාගය ට පෙනී සිටිය යුතු බව මා අවබෝධයෙන් දැන සිටියෙමි.එනිසා අනාගතයේදී  ප්‍ර යෝජනය වනු ඇතැයි සිතා නිවස අවට එළවලු වගාවක් ඇති කලෙමි.ඉඩ ලැබෙන වේලාවල් වලදී ටියුෂන් පංති වලින් ලැබී තිබුණූ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලිවීමට උත්සාහ කලෙමි.ගැටලු මතු වන තැන් වලදී ලියා ගෙන තිබූ සිද්ධාන්ත පොත් පෙරලමින් අවබෝධ කර ගන්නට පටන් ගත් නිසා යම් දියුණුවක් ඇති වන බව මටම හැගී ගියේය.

වගා කර මාස දෙකක් තුනක් ගත වන විට සැලකිය යුතු ඵලදාවක් ලබා දෙන්නට මෑ කරල් පාත්ති කීපයට හැකි විය.නිවසේ පරිභෝජනයට කොටසක් තබා ඉතිරිය විකුණා ගන්නට සමත් වීමි.එය මට මෙන්ම නිවසේ සැමට සතුටුදායී දිනයක් විය.


Sunday, February 11, 2018

හැරවුම

අද එනම් 2018 පෙබරවාරි මස 11 වැනිදා ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂි දිනයක්.2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ එවකට හිටි ජනාධිපතිවරයා පරාජයට පත් කර වෙනසක් මූලික කර ගනිමින් ඇරඹුණු දේශපාලනික ගමන වසර 3 කට පසු සහමුලින්ම පරාජයට පත් කරන්නට මේ රටේ බහුතර ජනයා සමත් විය.
                     මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරජය වන්නට එවකට ඔහුගේ රජයේ සිටි මැති ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපය සේම රටේ පොදු ජනයාට අත පොවන්නට නොහැකි මානයක සිට ක්‍රියාත්මක වූ බලවේගයක්ද ඉවහල් වූ බව බැලු බැල්මට පෙනෙන්නට විය.හුදෙක්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයට සෘජුවම බලපෑම් කලේ උතුරු නැගෙනහිර සුලු ජාතික ඡන්දයි.එතැනින් පසු නොයෙක් අවලාද මැද 2015 වසරේම පැවැත්වුනු මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙමින් තරග වැදුනු එක්සත් ජනතා නිදහස් සංධානයට හෝ එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවද එජාපයට වැඩි වාසි අත්කර දෙන්නට සමත් විය.එසේම අවසන් මොහොතේදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයන්ගේ හා සංධානයේ ප්‍රධානියා ලෙස සිදු කරන ලද නිලතල හුවමාරුවේ අවාසිය නිසා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සංධානයට පරාජය වැලද ගන්නට සිදු විය.
          එතැනින් පසු පරාජිත පක්ෂ වලින් පිල් හුවමාරු කල පිරිස සමගන් එජාපය ප්‍රමුඛව ආණුවක් පවත්වාගෙන ආවද සමස්ථ මහජනයාට අත්විදින්නට සිදු වූ  දැඩි ආර්ථික අපහසුතා හා සමාජයීය, දේශපාලනික කරුණු මුල් කරගනිමින්  වසර කීපයක් ප්‍රමාද කරමින් පැවැත්වූ පලාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් රජයට පැහැදිලි රතු එළියක් දල්වන්නට මහින්ද රාජපක්ෂ සමගින් හුදකලාව තරග වැදුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වී තිබේ.මෙම මැතිවරණයේ දැවැන්තම අභියෝගය ලැබුවේ පොදුජන පෙරමුණයි.රටේ අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල එකම කදවුරක සිට වෙන වෙනම තරග වැදුනු අතර ඒ සියල්ලට තනිව මුහුණ දෙමින් ජයග්‍රහනය කිරීමේ අභියෝගය ඔවුන් වෙත එල්ල විය.එසේම මෙම මැතිවරණයෙන් පැහැදිලි යමක් සිදු කල නොහැකි වූයේ නම් එයම මහින්ද රාජපක්ෂගේ දේශපාලනය අවසන් කිරීමට තරම් තත්වයක් ගොඩනැගෙමින් තිබිණ. නමුත් පීඩනය පුපුරා යවමින් බහුතර ජනතාව මහින්ද රාජපක්ෂ පිලිබදව තම විශ්වාසය තහවුරු කර පැහැදිලි ජනමතයක් ලබා දෙමින් ඇත.බොහෝ පලාත් පාලන ආයතන වල 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පාලන  බලය ලබා ගැනීමේ අපහසුතාවයට මුහුණ දීමට ජයග්‍රහනය කල පක්ෂ වලට සිදු වන්නේ නව මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු නිසාවෙනි.
            දැන් දැන් නිකුත් වන ප්‍රතිඵල නිසාවෙන් තිගැස්සීමට ලක් වූ ආණ්ඩුවට සහයෝගය දක්වන පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරග කල ඇමති වරුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවෙමින් නැවතත් පිල් මාරුවකට සූදානම් වන බව ආරංචි ගලා එමින් ඇත.
         මෙම මොහොතේ ජනාධිපති මෛත්‍රී සිදුකල යුත්තේ ඔහු ජනාධිපති පුටුවේ හිදවූ ලක්ෂ 62ක් වූ ජනතාවගේ අභිලාෂයට කන් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම වෙනත් අයෙකුට ලබා දී නිර්පාක්ෂික වීමයි.එවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානයට එක් විමට බාධාවක් ඇති නොවේ.අවසානයේ ශක්තිමත් ලෙස පාලාත් පාලන ආයතන වල බලය පිහිටුවිය හැක.ඒ හැර වෙනත් ඕනෑම විකල්පයකින් සිදු වන්නේ වර්ථමාන රජයට එරෙහි ජනතා බලවේගය කැරැල්ලක් බවට පත් වීම පමණි.
   

Wednesday, February 7, 2018

කරනව නම්..








පලමු රාජකාරිය 

  • රාජ්‍ය සේවයේ හෝ අර්ධ රාජ්‍ය සේවයේ නිරත පුද්ගලයන් විසින් සිදු කර ඇතැයි පැවසෙන ඕනෑම දූෂණයක් වංචාවක් හෝ අවභාවිතාවක් පිළිබදව කඩිනම් පරීක්ෂණ පැවැත්වීමට හැකි වන පරිදි රාජ්‍ය සේවා කොමිසම බල ගැන්වීම හා අවශ්‍ය කරන භෞතික හා මානව සම්පත් ලබා දීම.ඊට අදාල සියලුම නීත්‍යානුකූල කටයුතු එම කොමිසමට පැවරීම හා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නීති රාමුව කඩිනමින් සැකසීම.රජයේ දේපල වංචා කර ඇති ඕනෑම අයෙකු එම චෝදනා සාධාරන සැකයකින් තොරව කොමිසම හමුවේ ඔප්පු උවහොත් අදාල පුද්ගලයා රාජ්‍ය සේවයෙන් නෙරපා හැර විශ්‍රාම වැටුප් හෝ වෙනයම් දීමනා වෙතොත් ඒ සියල්ල අතිහිටුවා වංචාව සිදු කල දින සිට වෙළදපල පොලී අනුපාත යටතේ ගෙවන දින දක්වා පොලී මුදල් එකතු කිරීම හා එය මුදලින් ගෙවා දැමීමට අපොහොසත් වේ නම් ඔහු හෝ ඇය සතු හෝ පවුලට අයත් උපයා ගත් ආකාරය සනාථ කල නොහැකි දේපල විකුණා අය කර ලැනීමට කටයුතු කිරීම.අයකර ගැනීමට හැකි වන්නේ අදාල මුදලින් කොටසක් නම් ඉතිරි මුදලටත් සිදු කල දූෂණයටත් එරෙහිව නීත්‍යානුකූලව දිය හැකි උපරිම දඩුවම් ලබා දීම
  • රටේ සියලුම ග්‍රාම සේවා වසමකටම පුරප්පාඩුව පවතින ග්‍රාම නිළධාරීන් හා කෘෂී උපදේශකවරුන් තරග විභාග පවත්වා හැකි ඉක්මණින් බදවා ගැනීම
  • ග්‍රාම නිළධාරීන් හා කෘෂි නිළධාරීන් හරහා අදාල කොට්ඨාශය තුල පවතින වගාවන්,මුඩු ඉඩම්,දිය උල්පත් හා ඇල මාර්ග, වැව් අමුණු ගංගාවන් ගොවිපලවල් හා කැලෑවන් පිලිඹදව නිවැරදි සංගණනයක් සිදු කිරීම
  • රජයට හෝ රජයේ ආයතන වලට අයත් ඉඩම් පිලිබදව නිවැරදි විස්තර ගැසට් කිරීම.එම ගැසට් පත්‍ර යෙන් පසු රජයේ ඉඩමක සිදු කරන අනවසර ඉදිකිරීම් හෝ වගාවන් වේ නම් සියල්ල ඉවත් කිරීම
                                                           මේ සදහා තමන්ට අයත් ග්‍රාම නිළධාරී වසම තුල ග්‍රාම නිළධාරීවරයා                කෘෂි කර්ම නිළධාරීවරයා සතියේ එක් දිනක් අනවාර්ය ක්ෂේත්‍ර චාරිකා සිදු කරවීම.අනවසර ගොඩනැගිලි හෝ වෙනත් අනවසර ක්‍රියාවන් පිලිබදව අදාල වගකිවයුත්තන් වෙක දැනුම් නොදෙන නිළධාරින් සේවය පැහැර හැරියා ලෙස සලකා සේවයෙන් පහ කිරීම

  • රජයේ ආයතන සතු රක්ෂීත වනාන්තර හා අභය භූමි නැවත මැනුම් කටයුතු සිදු කර විවිධ පුද්ගලයන් විසින් ඒවා අත්පත් කරගෙන ඇතිනම් සියල්ල විනාශ කර දමා නැවත වනාන්තර ඇති කිරීම.ඒ වෙනුවෙන් හා රක්ෂිතයන් පාලනය කිරීම සදහා මානව සම්පත් හිග නම් විශේෂිත වැටුප් ක්‍රමයක් හදුන්වා දී එම වනාන්තර අවට  අපොස සාමාන්‍ය පෙල සමත් පිරිස සේවයට බදවා ගැනීම.දැනට පයිනස් වගා කර ඇති සියලුම භූමි වල එම වගාවන් ඉවත් කර වනාන්තර ඇති කිරීම.
  • දැනට රජයේ ඉඩම් වල අනවසරයෙන් පදිංචි අයවලුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම.යම් ආර්ථික අපහසුකම් සහිත පුද්ගලයන් වේ නම් ඔවුන් සදහා මහල් නිවාස ලබා දීම.එම අයගෙන් නීරෝගී පුද්ගලයන් වේ නම් සතියේ එක් දිනක් මහල් නිවාස ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සේවය ලබා ගැනීම.
  • දේශීයව මෝටර් රථ නිශ්පාදනය කරන සමාගම් සදහා ආදායම් බදු 50%කින් ඉවත් කිරීම.දේශීයව ප්‍රමිතියට අනුකූලව නිපදවන කුඩා මෝටර් රථ නිශ්පාදකන් දිරිගැන්වීම සදහා ආනයනය කරනු ලබන එම කාණ්ඩයේ වාහන සදහා ආනයනික ගාස්තු ඉහල දැමීම.
  • දේශීය කර්මාන්ත කරුවන්ගේ නිශ්පාදන අපනයනය කිරීමේදී සියලුම රජයේ බදු කපා හැරීම
  • කොළඹ නගරය වෙත ප්‍රවිශ්ඨ වන මංකඩවල් වන මොරටුව හෝමාගම කඩුවෙල හා ගම්පහ නගර ආශිතව ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කිරීම.
                               මෙමගින් දුර පලාත්වල සිට  තොළඹ නගර වෙත ඇතුල්වන පොදු හෝ පුද්ගලික රථවාහන සදහා රථ ගාල් ඇති කිරීම.එතැන් සිට කොළඹ නගරය පුරා විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන දුම්රිය පද්ධතියක් ඇති කිරීම හා පුද්ගලික හා ලංගම සුඛෝපභෝගී බස් රථ සේවයක් කොළඹ නගරය ආශ්‍රිතව ඇති කිරීම.මූලික ප්‍රවාහන මධ්‍යස්ථාන යා කරමින් අධිවේගී දුම්රිය පද්ධතියක් ඇති කිරීම.
           අභ්‍යන්තර ගුවන් ගමන් සදහා අඩු වියදම් ක්‍රම සොයා බැලීම.එය සාර්ථක වේ නම් දිනපතා නිශ්චිත කාලසටහනකට අනුව හදුනාගත් ගමනාන්ත වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම.

  • කුඩා ජල මූලයන් ආශ්‍රිත ප්‍රෙද්ශ වල අනිවාර්ය වගාවක් ලෙස කුඹුක් හා වෙනත් ජලය ආරක්ෂා කරගන්නා ගස් වර්‍ග සිටුවීම
  • රටේ සාමාන්‍ය දඩ ක්‍රමය වසර කීපයකට වතාවක් යාවත්කාලීන වන පරිදි නීති සැකසීම.යල්පැන ගිය නීති සියල්ල වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කිරීම.අධිකරන ක්‍රියාවලිය සාමාන්‍ය ජනතාවට වඩාත් පහසු වන ලෙස සංශෝධනය කිරීම.නඩු කටයුතු වලදී සියලු පාර්ෂව එකග වන භාෂාවකින් පමණක් සිදු කිරීම.කවුරුන් හෝ ඉල්ලා සිටින ඕනෑම විටෙක භාෂා පරිවර්ථකයෙක් සැපයීම.නීතීඥයන් හා විනිසුරු වරුන්ටද සදහන් කල පරිදි එකම භාෂාවක් පමණක් භාවිත කරන ලෙස නියෝග කිරීම.රට තුල කෙරෙන සියලුම ගිවිසුම් සිංහල හෝ දෙමළ (දෙපාර්ෂවය එකග වන ) භාෂාවන්ගෙන් පමණක් සිදු කිරීම.එසේ නොවන ඕනෑම අවස්ථාවක අදාල පුද්ගලයා හෝ ආයතනයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කල හැකි පරිදි නීති සැකසීම
  • රජයේ හා පුද්ගලික රෝහල්  තුල උපත ලබන සෑම දරුවකුගේම ජීව විද්‍යාත්මක දත්ත සහිත විද්‍යුත් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීම.ඉන් පසු ඉදිරියට රජයේ පාසල් ලබා දීම,විභාග සමත් වීම්,රියදුරු හෝ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම්,අධිකරණයෙන් දඩුවම් ලැබීම් ආදී සියලුම විස්තර සහිතව යාවත්කාලීන කර පවත්වාගෙන යෑම.උප්පැන්න සහතිකයේ සදහන් තොරතුරු ආශ්‍රෙයන් දෙමව් පියන් හා සහෝදර සහෝදරියන් පිලිබද විස්තර ඇතුලත් කිරීම.
                           රටේ සෑම පුරවැසියෙකුටම නියමිත වයස සැපිරූ පසු ඉහත සදහන් කල දත්ත බැංකුවට සම්බන්ධ කෙරුණු හැහුනුම්පතක් නිකුත් කිරීම.එහි සදහන් දත්ත කියැවීමේ පහසුකම් මහජනයා සමග සෘජුව කටයුතු කරන රාජ්‍ය ආයතන වෙත ලබා දීම.
       119 හදිසි සේවා දුරකත ඇමතුම් අංකය ජාත්‍යන්තර හදිිසි සේවා සදහා අංකය වන 911 ලෙස වෙනස් කිරීම.එම හදිසි ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීමට විශේෂ පුහුණුව ලත් පොලිස් ඒකක සෑම පොලිස් ස්ථානයකම ස්ථාපනය කිරීම.එම ඒකක හා හදිසි ඇමතුම් සේවයේ මූලස්ථානය බුද්ධී නිලධාරීන් හා හදිසි කටයුතු වලට පුහුණු කරන ලද නිළධාරීන් සහිතව පිහිටුවීම.එසේ ලැබෙන සෑම හදිසි ඇමතුමකටම අදාල අංශ හරහා ඕනෑම ආයතනයකට සම්බන්ධ වී ක්‍රියා කිරීමට අවශ්‍ය කරන නීති රාමු හා පහසුකම් සැලසීම.

  • රාජ්‍ය ආයතන වලට අවශ්‍ය වාහන හා යන්ත්‍ර සූත්‍ර නිශ්පාදනයට හා අලුත්වැඩියාවට අවශ්‍ය උපකරණ ඒ ඒ ආයතන වලට ලබා දීම.
  • රාජයේ තාක්ෂණික පර්යේෂණ ආයතනයක් ඇති කිරීම හා ඊට අවශ්‍ය ඇනුම මෙරට හෝ විදෙස් විද්‍යාඥයන්ගෙන් ලබා ගැනීම.එම ආයතනය තුල ජීව විද්‍යා, රසායන විද්‍යා,භෞතික විද්‍යා පර්යේෂණ සහදා අවශ්‍ය සියලුම පහසුකම් සලසා රටේ ඕනෑම පුරවැසියකුට තමන්ගේ පර්යේෂණ යෝජනාව ආයතනයේ විශේසඥ මණ්ඩලය වෙත ඉසිරිපත් කර අනුමැතිය ලබා ගෙන තමන්ගේ පර්යේෂණය එම ආයතනයේ සම්පත් භාවිත කරමින් ආයතනයේ වගකිවයුත්තන්ගේ නිරීක්ෂණය යටතේ නොමිලේ සිදු කිරීමට අවස්ථාව සැලසීම.
  • රාජ්‍ය අංශයේ කාර්මික දැනුම සහිත සියල්ලන්ගේම නව අදහස් හා යෝජනා ලබාගෙන ප්‍රාෙයා්ගික යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා පහසුකම් ලබා දීම.
  • පොලිස් ස්ථාන සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි ඩිජිටල් කරණයට ලක් කිරීම හා පැමිණිලි ලබා ගැනීමේ තාක්ෂණික ක්‍රමය ක්‍රියාත්මක කිරීම.පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ගේ ශරීර යෝග්‍යතාවය හා ගිනි අවි හැසිරවීම පිලිබද හැකියාව මැන බැලීමට වාර්ෂිකව විභාග ක්‍රමයක් ඇති කිරීම හා එය පිට පිට දෙවතාවකදී අසමත් හෝ පෙනී නොසිටින අය සේවයෙන් පහ කිරීම.
  • රටේ පවතින වැව් හා වාරිමාර්ග නිසි ලෙස ප්‍රතිසංස්කරණය කර නඩත්තු කිරීම සදහා යාන්ත්‍රණයක් සැකසීම.නියං කාලවලදී සිදී යන වැව් ප්‍රතිසංස්කරණය කර ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග ග්‍රාමීය කෘෂී කමිටු බල ගැන්වීම.
  • මධ්‍යම කදුකර ප්‍ර දේශ තුල තවතුරටත් ජනාවාස ව්‍යාප්ත වීම වැලක්වීම හා හැකි සෑම ඉඩකම වනාන්තර ඇති කිරීම.
  • වතු ආශ්‍රිත ජීවත් වන කම්කරු ජනතාව සදහා මහල් නිවාස ඇති කර දැනට පවත්නා ලයින් කාමර සියල්ල ඉවත් කිරීම.ඔවුන් සදහා අවශ්‍ය වන අනෙකුත් පහසුකම් කඩිනමින් සැපයීම. වතු ජනතාවගේ මීලග පරම්පරා සදහා නිවාස ගොඩනැගීමේ වගකීම ඔවුන්ගේම බව තේරුම් කර දීම.
  • රජයේ වතු බදු පදනම යටතේ ලබා ගත් සමාගම් එම වතු මගින් නිසි ප්‍රෙයා්ජන ගනී දැයි සොයා බැලීම හා එසේ නොවන අවස්ථා වල වතු වගාවට උනන්දු වෙනත් පාර්ශව වෙත එම ඉඩම් ලබා දී රටේ නිශ්පාදන ඉහල දැමීම

මතකයන්...



මේ හැම ඉස්කෝලෙකම වගේ ක්‍රීඩා උත්සව  තියෙන කාලෙ.ඉස්කොලෙන් අයින් වෙලා අවුරුදු එකොලහක් ගෙවිල මම මේ අවුරුද්දෙත් ඉස්කෝලෙ දුවගෙන ගියා ක්‍රීඩා උත්සවේ බලන්න.ගන්කන්දට ඇතුලත් උන දවසෙ ඉදන් අද වෙනකන් ගෙවුන අවුරුදු විස්සකට ආසන්න කාලෙදි මට යන්න බැරි උනා නම් ඒ එක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකට විතරයි.මොන රස්සාව කලත් මීට් එක දවසට එක විදියකට වැඩක් කරගෙන ඉන්න බැරි ලෙඩක් හැදෙනව.ඒක හරියන්න නම් ඉස්කෝලෙට යන්නම වෙනව.
           ගන්කන්දට යන්න කලින් මං ගිය කහවත්ත ප්‍රාථමිකේ නිවාසාන්තර ක්‍රීඩා උලෙලවල් තියා නිකන් තරගයක් වත් ඒ කාලෙ තිබුණෙ නෑ.ඉතිං ගන්කන්දට ගිය ගමන්ම අත්දැකපු නිවාස, ක්‍රීඩා උත්සව කියන දේවල් මට මැජික්! ඇතුලත් උන දවසෙම අපේ ඇතුලත් වීමේ අංකෙන් අපි අයිති වෙන නිවාසෙ මොකක්ද කියල තීරණය උනා.මං අයිති උනේ රුහුණට.හය වසරට අපි ඇතුලත් වෙද්දි නිවාසාන්තර ක්‍රීඩා තරග වලට තෝරා ගැනීම් පටන් අරන්.ඒ  කාලෙට උගන්නන්නෙ නැති නිසා අපිට තවත් සංතෝසයි.අලුත් ඉස්කොලෙ මුණ ගැහුන මුල්ම උත්සවය වෙච්චි ක්‍රීඩා උත්සවය දවසෙ මමයි තව යාලුවෙකුයි එකතු වෙලා අපේ නිවාසෙ පාටින් කොඩියක් මැහුව.මූලික තරග තියපු කාලෙ අයියල අක්කල තම තමන්ගෙ නිවාසෙ පාටින් කොඩි උස්සගෙන කට්ටියව දිරිමත් කරන එක දැකල අපිටත් හිතුන අන්තිම දවසට කොඩියක් හදාගන්න.කලින් දවසෙ ඉටි රෙද්දක් අරන් අම්මට කියල කොඩි කණුව දාන්න සාක්කුවකුත් මහගෙන මං ඉස්කොලෙ ගියෙ.මටත් යාලුවටත් මේ කොඩිය මැද අපේ නිවාසෙ නම ගහන්න ඕනි.දහ අතේ කල්පනා කලත් අපිට ඒකට ක්‍රමයක් මතක් උනේ නෑ.අන්තිමට සුදු කොල වලින් අකුරු කපල ඉටි රෙදි කොඩියෙ අලව ගන්න පුලුවන් උනා.ඉස්කෝල වත්තෙන් හොයා ගත්තු පොලු කෑල්ලකට කොඩියත් අමුණගෙන පිට්ටනියට දුවන් ගිහින් දෙපාර වනනකොට අකුරු ටික ගැලවිලා ගිහින්.අපිට ගානක් වත් නෑ.කලු තෙල් වලින් තණ කොල උඩ ඇදපු මංතීරු ලගටම වෙලා කොඩිය වනද්දි දැනුනෙ අමුතුම ගැම්මක්.ඒ අතරෙ තියෙන තරග වලින් අපේ නිවාසෙ අය දින්නම ඒ අයව තරග අවසන් කරන තැන ඉදන් නිවාස කුටියට එක්කන් එන්න වැඩිහිටි ශිෂ්‍යෙයා අපිව යවනව.ලොකු සෙනගක් බලන් ඉද්දි කොඩියකුත් අරන් පිට්ටනිය මැදින් යන එක දැනුනෙ පුදුමාකාර ආඩම්බර කමක් විදියට.ඒ ආඩම්බරකම නිසා සමහර තරග වලින් අපේ නිවාසෙ අය පැරදුනත් මම හරි යාලුව හරි කොඩියත් අරන් දුවගෙන යනව.ඒ මගේ පලවෙනි නිවාසාන්තර මළල ක්‍රීඩා උලෙලේ මතක.
           
                  කාලය ගෙවිල යද්දි අපි ඉහළ ශ්‍රේණි වලට ගියා.මමත් ක්‍රීඩා අංශ වලට සම්බන්ධ වෙලා ජයග්‍රහන වගෙම පරාජයනුත් අත් වින්ද.පාසලට ඇතුලත් වෙලා වසර කීපයක් ගත වෙද්දි නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක අභ්‍යන්තරය අපිට ටිකෙන් ටික තේරෙන්න ගත්ත.සාමාන්‍ය පාසල් කාලෙදි වැඩිහිටි ශිෂ්‍යයන් ලගකටවත් නොගන්න කණිශ්ඨ ශිෂ්‍ය යො වෙච්චි අපිට ක්‍රීඩා උත්සවය කාලෙට වටිනාකමක් ලැබෙනව.ක්‍රීඩා හැකියාව තියෙන කෙනෙක් නම් වටිනාකම වැඩියි.මං කොහොමත් ඒ වටිනාකමට ආසයි.ලොකු අයියල අක්කල ඇවිත් හුග කාලෙක ඉදන් දන්නව වගේ කතා කරද්දි,ක්‍රීඩා කරනකොට ඔල්වරසන් දෙද්දි දැනෙන්නෙ අමුතු හයියක්.

            පාසල් ජීවිතේ සුන්දරම කාලෙ තමයි 2006 අවුරුද්ද.ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ විභාගය ඉවර කරන් පාසලට ඇවිත් මාස කීපයකින් උදා වෙච්චි අවුරුද්ද.සාමාන්‍ය යෙන් ගන්කන්දෙ ක්‍රීඩා උත්සවයක බැඩි බරක් පැටවෙන්නෙ දොලහ ශ්‍රේණියෙ අයට.ඉතිං 2006 අවුරුද්දෙ ඒ වගකීම ලැබුණෙ අපිට.පලවෙනි නිවාස රැස්වීම  වෙලේ සභාපති විදියට මං තේරුණා.පුංචි කාලෙ ඉදන් ජයග්‍රහනය ප්‍රාර්ථනා කරපු නිවාසයෙ නායක කම!!! බලාපොරොත්තු උනා වගෙම අනිත් නිළධාරී මණ්ඩලයටත් හොද අය පත් උනා.එදා ඉදන් අපේ එකම ඉලක්කය ජයග්‍රහනය!
           නිවාසයෙ නායිකාව විදියට තේරුණේ මගේ ගජයෙක්.මෙච්චර කල් ජීවිතේ හුස්ම වගේ ලගින් ඉන්න අත්තිවාරම වැටුනෙ ඒ නායිකා කම වෙන්න ඕනි.නායකයෙක් විදියට මගේ කර උඩ වැටුනු හැම බරක්ම බෙදා ගන්න ඇය ලගින් උන්න.සැලසුම් හදන් ටිකෙන් ටික දින පහු කරන් යද්දි තරගකාරීත්වය වැඩි නිසාම හොදම යාලුවො පවා තම තමන්ගෙ නිවාස වල රාජකාරියට හිර උනා.හැමෝටම අවශ්‍ය උනේ තමන්ගෙ නිවාසය ජයග්‍රහනය කරවන්න.සමහර වෙලාවට යම් යම් අය අතරෙ නොයෙක් කාරනා නිසා පුංචි පුංචි ගැටුම් ඇති නොවුනම නෙවෙයි.ඒ සියල්ල මැද මං එක්ක හිටගත්තෙ නායිකා යෙහෙලිය සමග මගේ නිලධාරී මණ්ඩලය විතරයි.
        වෙහෙසකර දින ගණනාවකට අවසානයේ නිවාස සෑදීම සදහා නිදි නැති රැයකටත් පසුව සමාප්ති උත්සව දවස උදා උනා.ඒ වෙද්දි පලමු තැන ගන්න මගේ නිවාසයත් සමග තව නිවාසයක් කරට කර සටනක.අපි පුලුවන් හැම උත්සාහයක්ම අරන් අවසන් දවසෙ ක්‍රියාත්මක කරන ක්‍රීඩා ඉසව් වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න සැලසුම් කලා.ක්‍රීඩා උත්සවය අතරතුර විටින් විට නිවේදනය කල ලකුණු තත්වය නිසා හදගැස්ම තව තවත් වැඩි උනා.සියලුම තරග අවසානයේ ආචාර පෙළපාලිය ට පෙරාතුව මුලු පැල්මඩුල්ලම වසාගෙන මහා වර්ෂාවක් ඇති උනා.ඒ වෙද්දි මං හිටියෙ ප්‍රධාන වේදිකාවෙ.ආරාධිත අමුත්තන් ගුරුවරුන් සියල්ලම හිස් බැල්මෙන් බලා හිටියෙ ත්‍යාග ප්‍රදානෝත්සවය  හේදිලා යයිදෝ කියන සැකයෙන් වෙන්න ඕනි.ඇතිවෙච්චි වර්ෂාව නිසා ක්‍රීඩා පිටියෙ තණකොල වසාගෙන ජලය එක් රැස් උනා.මේ නිසා ත්‍යාග ප්‍රධානෝත්සවය අත්හැර දැමුනු බව නිවේදනය වෙද්දි මං මගේ නායිකා යෙහෙලියගෙ කුඩේ යටින් ඇයත් සමගම අපේ නිවාස කුටිය වෙත යමින් හිටියෙ.ජයග්‍රහනය රුහුණු නිවාසය ට හිමි වෙන බව හීනෙන් වගේ නිවේදනය වෙනව මතකයි.මං සතුටට මගේ සගයව තුරුලු කර ගත්තද කොහෙද.සති ගණනාවක මහන්සියෙ අග්‍ර ප්‍රථිපලය අපිට ලැබුණ සංතෝසෙ තවමවත් අකුරු වලට පෙරලන්න හැකියාවක් නෑ.ඒ වෙනකන් නිවාස වලට බෙදිල උරින් උර ගැටුනු අපි සියල්ල දැඩි වර්ෂාවක් ඇද හැලෙද්දිම පිට්ටනිය මැදට පැණල සතුට සැමරුව.නොහොද නෝක්කාඩු ඔක්කොම ඒ වැස්ස එක්ක හේදිලා ගියා.
         ඒ කාලෙ ඩිජිටල් කැමරා ෆේස්බුක් පිටු වගේ ඒව අපිට බොහෝ ඈතින් තිබුණු දේවල්.ෆේස්බුක් ලංකාවට ඇවිත් නැතුවත් ඇති.ෆිල්ම් රෝල් දාන කැමරා තිබුණෙත් එහෙමත් කෙනෙක් ලග.ඉතිං ජීවිතේ වටිනාම දවසක සැමරුම් සියල්ල මතකයට විතරක් ඉතිරි කරන් ගෙවිල ගියා.ඒත් මෙදා පාර මං ඉස්කෝලෙ ගියෙ නිකන්ම නෙවෙයි.අවුරුදු ගානක් තිස්සෙ අතින් වියදම් කරන් පාසලේ ක්‍රියාකාරකම් ආවරණය කරන සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයෙක් විදියට කැමරා ආම්පන්න ගොඩකුත් එක්ක.අපි අපිට ඉතිරි කරගන්න බැරි වෙච්චි සැමරුම් අපේම වර්ථමානිකයන්ට ඉතිරි කරල සියලු කටයුතු අවසානයේ නිශ්ශබ්දව පාසලෙන් ඇවිත් මුදල් එකතු කරල  තේ බිවුව.
 මං කවදත් ඒ කැපකිරීම කරන්නෙ හරි ආසාවෙන්!

මේ මගේ වෑයම                She is the one