Sunday, September 26, 2021

හිමි අහිමි


 

බෝඩිමේද?.. මං පිල්ලෑවට ආවා.. 


දහ පහලොස් වතාවක් කල්පනා කරලා මං පූරිට කෙටි පණිවිඩයක් යැව්වා.මේක එහෙම කරන්න හොද වාතාවරණයක් නෙවෙයි.ඒත් මගේ හිත පෙරේදා ඉඳන් එක විදියකට ඉන්නෙ නෑ. 


ආගම දහම ගැන ලොකු උනන්දුවක් නැති උනත් මං පිල්ලෑවට යන්න පටන් ගත්තෙ පූරි නිසා.එතැනට  එයාගෙ බෝඩිමේ ඉදන් තියෙන්නෙ විනාඩි කීපයක දුරක්. 


පූරී.... පව්ලෙ හැමෝම ආදරේට පූරි කිව්වට එයාගෙ නම පූර්ණිමා.මගෙ ඇවැස්ස නෑනා.එහෙමත් නැත්නම් අපේ අම්මගෙ මල්ලිගෙ දුව. වැව රවුමෙ බාලිකාවට ගිය එයා පාසල් කාලෙදි මට මුණගැහුනෙ පව්ලෙ විශේශ අවස්ථාවකදි විතරයි.සමහරවිට අපේ පවුල් අතර ඒ දුරස්කම් තීරණය කරන්න ඇත්තෙ එක එක්කෙනාගෙ වත්කම් වෙන්න ඇති. 


මං දෙවෙනි වතාවෙත් උත්සාහ කරලා කැම්පස් ගිහින් ඉන්ටර්න් වලට කොළඹ යද්දී පූරි ජපුරෙ අන්තිම අවුරුද්දෙ.ඒ කාලෙ විවිද උදව් වලට මට කතා කරන්න කොළඹ හිටපු දෙතුන් දෙනාගෙන් විශ්වාසවන්තම කෙනා එයා.නිවාඩුවට ගෙදර යන්න එන්න, ඉදහිට දවසක හවසට තේ එකක් බොන්න අපි මුණගැහුනා..ඉතිං නෑ කම කෙසේ වෙතත් අපි හොදම යාලුවො වගේ උනා. 


සබරෙ හිටිය ප්‍රේමවන්තියගෙ රැවටිල්ලට අහුවෙලා කලබලෙන් හිටි හිතට ඔෆිස් එකෙන් ලැබුණ පීඩනය කළමණාකරණය කරගන්න අමාරුයි කිව්ව ගොඩාක් දවස් වලට පූරි මාව පිල්ලෑවට අරන් ගියා.මං ඔහේ කියවන ඒවට හූමිටි තියලා අන්තිමට කන්න දෙයකුත් අරන් දීලා අයියා අපි දැන් යමු කියනවා.. 


මේ කාලෙ වෙද්දි කුළු බඩු අපනයන ව්‍යාපාරයක් කරපු පූරිගෙ තාත්තා ව්‍යාපාර අතින් ලොකූ පසුබෑමකට ලක් උනා.කැම්පස් ඉවර වෙලා කරපු පලවෙනි රස්සාවෙන් ලැබුණු අඩු වැටුපෙනුත් පූරි ගෙදර වියදම් වලට සම්මාදම් වෙන්න පුරුදු උනා...

මං, ආයෙමත් ආදරයක පැටලුනා.පූරිත් ගෙදරින් හොයපු යෝජනාවකට එකඟ උනා.ඒ එයාගෙ තාත්තගෙ ක්ශේත්‍රයේ තරුණයෙක්.සියලු ගැලපීම් වලට ඉහලින් එතන මූල්‍යමය ගැලපීමක් ගලපා ගන්න පූරිලගෙ තාත්තට උවමනා වෙලා තිබුණා. 


ඉතිං, 

අපි අපේ ලෝක වල තනි උනා... සතියට දවසක් දෙකක් මුණ ගැහිලා කතා කරපු ඒවා මග හැරිලා ගියා.කෙටි පණිවිඩ කීපෙකින්, මැසෙන්ජර් පණිවිඩ කීපෙකින් සතිය ගෙවිලා යන්න උනා. 


යෝජිත සහකරු මොන වෙලාවකදිවත් පූරි ප්‍රාර්ථනා කරපු විදියේ කෙනෙක් වෙලා තිබුණෙ නෑ.ඒත් යෝජිත විවාහ බහුතරයකදි සිද්දවෙනවා වගේ පව්ලේ නම්බුව වෙනුවෙන් තමන්ගෙ හීන දිය කරලා යවන්න එයා හිත හදාගෙන තිබුණා.දීර්ඝ සති අන්තයක් වෙනුවෙන් කොළඹ ඉදන් නුවර එද්දි එයා මේ විස්තර කියවනකොට ගොලුවෙලා වගේ අහගෙන ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.ඒ වගේ තීරණ තිබ්බෙ  මගේ අත පොවන සීමාවෙන් ගොඩාක් එපිට. 


මාස ගණනාවක් හිතේ තෙරපිලා තිබ්බ දෝමනස්සයන් ටික නුවරින් බහිද්දිත් කියලා ඉවර කරන්න බැරි උන නිසා රෑට කෝල් කරන පොරොන්දුව පිට අපි ගෙවල් වලට ගියේ. 


ගෙන්දගම් පොළවේ කාස්ටකයත් එක්ක කොයිතරම් ඔට්ටු වෙලා ගෙදර ගියත් නුවර තියෙන සෞම්‍ය සිසිලසට හිත නිවෙනවා කි‍යන එක අතිශයෝක්තියක් නෙවෙයි.ඒ  නිසා කලබලකාර හිතටත් තමන් ට හුරුපුරුදු, තමන්ගේම පරිසරයට ආවා කියන හැගීම බොහොම තදින් දැනුනා. 


දුරකතන ඇමතුමක් හරහා එක්වරකට කතා කරන්න පුලුවන් උපරිම මිනිත්තු ගණන ඉක්මවා ගියායින් පස්සෙ මැසෙන්ජර් කෝල් එකකට සන්නිවේදනය භාර උනා..විශ්වාස කරන්න.. මැදියම් රෑ පහු වෙනවා වත් දැනුනෙ නෑ. 


පාසල් යන කාලෙ තාත්තට යහමින් මුදල් තිබුණු නිසා හැම සැප සම්පතක්ම පූරිට ලැබිලා තිබුණා.විභාග වලට ටියුශන් දෙන්න ගුරුවරු ගෙදරට ආව නිසා සමාජය ගැන දැනුම ගන්න එයාට සීමිත අවස්ථාව ක් ලැබෙන්න ඇත්තෙ.. 


අයියට මතකද... ඔයා ඔෆිස් එකේ වැඩ වැඩි උනාම ඉස්සර හවසට මට කෝල් කරනවා.. අපි පිල්ලෑවෙ ගිහින් අයිස් ක්‍රීම් කෑවෙ.. 


අම්මෝ... ඒකට නම් පිං පූරි.ඒ ප්‍රෙශර් එක ආවම පිස්සු වගේ.. 


මං ඔයාට ආදරේ කලා අයියෙ..මේ දැනටත්..ඒත් මං පරක්කු වැඩියි කියලා මං දන්නවා.. 


ඒ වචන කීපය අපි අතර ගැඹුරු නිහැඬියාවක් ඇති කලා..ඒ නිහඬතාවය බිඳින්න රැහැයි හඬක්වත් එවෙලෙ තිබ්බෙ නෑ.. 


ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා තේරුම් ගත්තෙ අර ගර්ල් ඔයාව රවට්ටලා තියෙද්දි ඒක දරා ගත්ත විදිය දැකලා අයියෙ.. ඇත්තටම ඔයා වගේ කෙනෙක්ගෙ ආරක්ශාව පොඩි කාලෙ ඉදන් අපිට නොලැබුණේ අපේ අවාසනාවට.. ඒ දවස් වල අපේ අම්මලා තාත්තලා හිතපු විදිය ගැන මට දැන් ලැජ්ජයි අයියෙ.. 


පූරී... 


ඔව් අයියෙ.දැන් හැමදේම තීරණය වෙලා නිසා මං හිත හදාගෙන ඉවරයි.ඔයාට තව දුරටත් හංගගෙන ඉඳලා තේරුමක් නැති නිසා මං කිව්වෙ.අලුත් තැනකට යද්දි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හිත නිදහස් කරන් යන්න ඕනි.. නැත්නම් මට එතනදි විඳවන්න වෙනවා.ඒකයි... 


අනේ  මං මෙහෙම කියවන එක අවුල් නම් සමාවෙන්න මට... 


තෝන්තු වෙලා තිබ්බ හිත නිදහස් කරන් ගිරවියක් වගේ එයා කියෙව්වා.... 


පිස්සුද නංගී.. එහෙම අවුලක් නෑ..මං අවුලෙන් ඉන්න කාලෙ ඔයා මට කොච්චර උදව් කලාද.. ඔයා වෙනුවෙන් පැය කීපයක් මිඩංගු කරන එක බොහොම සුලු දෙයක්.. 


ඔයා වගේ කෙනෙක්ව  මගේ කරලා ලඟින් තියාගන්න බැරි උනාට සතුටු හිතෙන කාරණාවකුත් තියෙනවා.. 


ඒ මොකක්ද?

අයියා  විදියට මින් ඉස්සරහටත් ඔයා මං ලඟ ඉන්නවනෙ...සතුටුයි ඉතිං.. 


මට ඇත්තටම මොකක්ද කියන්නෙ කියලාවත් හිතා ගන්න බෑ නංගි..ඔයා මට මගේම නංගි වගේ..සත්තයි  කවදාවත් ඔයාට වරදක් වෙන්න දෙන්නෙ නෑ... 


ඒ කතා බහෙන් පස්සෙ අපි ආයෙ මුණ ගැහුනෙ දවස් දෙකකට පස්සෙ අපේ ගෙදර තිබ්බ ආච්චිගෙ බණ වෙලාවෙ.. පුංචි කාලෙ ඔහොම ආවම ගෙදර යන්න හදිසියෙන් ඉන්න පූරි එදා ගෙදරම කෙනෙක් වගේ වැඩ කටයුතු වලට උදව් උනා.ගෙදර යන්න කලින් හැමෝටම දණ ගහලා වැඳපු එයා මටත් වැන්දා..,

ඔලුව අතගාලා නලලත ඉඹින්න කියලා  ඇඟ ඇතුලෙන්ම ආව නියෝගය දෑතට විලංගු දාලා මං නතර කරගත්තා.. මං බයයි! පුංචි කාලෙ ඉඳන් මාමලා අපි අතරෙ හදලා තිබ්බ පරතරේට බයයි මං. 


නංගි එක්කම ආපහු කොළඹ එන්න හිතාගෙන හිටියත් හදිසි වැඩක් නිසා එයාට කලින් මට ආපහු එන්න උනා. 


හිත එක තැනක තියාගන්න බැරි මොකක්දෝ හේතුවක් නිසා ආයෙත් වතාවක් පිල්ලෑවට ආව මං..එකම එක වතාවක් පපුවට තුරුල් කරන් පූරිට  සමු දීලා නංගිව සාදරෙන් පිලිගන්න උවමනයි මට.


Sunday, April 11, 2021

අවුරුදු

 




අලුත් අවුරුද්ද...., පොඩි කාලෙ අවුරුද්ද එනවා කියන්නෙ පුදුම සතුටක් දැනෙන්නෙ.ඒ් කාලෙ මට තිබ්බෙ ආසාවල් දෙකයි.. එකක් තමයි නෑයන්ට වැදපුවම හම්බෙන සල්ලි ටික.. අනිත් එක අලුත් තමයි අම්මා අරන් දෙන අලුත් සූට් එක.පුංචි කාලෙ අවුරුද්දට ලැබුණ ඇදුමට අයිති වෙන්නෙ රෙඩිමේඩ් සිල්ක් දිග කලිසමයි ටී ෂර්ට් එකක් හෝ ෂර්ට් එකක්. ගොඩාක් වෙලාවට කලිසමේ ඉණ හරියද්දි උස මදි.. උස හරියද්දි ඉණ වැඩී.ඉතිං හැම අවුරුද්දකටම වගේ මට ලැබුණෙ ඉණ වැඩි කලිසමක්.
අරුම පුදුම කාලය ගෙවිලා ලොකු මහත් උනාට පස්සෙ තමයි තේරුම් ගියෙ අලුත් අවුරුදු කියන්නෙ සාමාන්‍යයෙන් මාසයකට උපයන මුදල වගේ දෙගුණයක් වත් වියදමක් සෙට් වෙන කාරණයක් කියලා.අවුරුදු අටකුත් අවුරුදු හතරකුත් වෙච්චි දරුවො දෙන්නෙක් එක්ක වැන්දඹුවක් උනු අම්මා, අඩුම තරමෙ අවුරුදු පහලවක් වත් අපිට අවුරුදු ගේන්න මොන තරම් පීඩනයක් තනියෙන්ම උහුලුන්න ඇත්ද කියලා තවම හිතාගන්න බෑ.අවුරුදු කියන්නෙ ගොඩක් දෙමව්පියන්ට අසීරු කාලයක්..

අද ආයෙමත් පරණ සිතුවිලි අලුත් උනා..

අලුත් අවුරුදු නිවාඩුවට ගෙදරට උවමනා කරන අඩුම කුඩුම ටිකක් අරන් ගෙදර එද්දි ගෙවල් ලග පොඩි කලබලයක්.. එක කකුලකට විතරක් සෙරෙප්පුවක් දාගත්තු අම්මා කෙනෙක් අවුරුදු දෙක තුනක් වෙච්චි කෙලි පොඩිත්තකුත් අනිත් අල්ලගෙන පාරෙ එක පැත්තක.රෝද තුන පැත්තට හිටින්න කාණුවට පෙරලුනු තුන් රෝද රථයක් කෙලින් කරගන්න දගලන කීප දෙනෙක් අනිත් පැත්තෙ.වාහනේ කෙලින් කරලා ඒ්කෙ ආව අයට ලොකු තුවාල නෑ කියලා දැනගත්තු අය ආයෙමත් තම තමන්ගෙ ගමන් වල පිටත් උනා.

මං බෑ කියද්දි මේ මනුස්සයා තමයි රෙදි ගමු කියලා අපිව අරන් ආවෙ අක්කේ..මට නම් දැන් ආයෙත් මේකෙ යන්න බයයි.. බලන්න මේ දරුවා තවම අඩනවා... අර අම්මා අපේ අම්මත් එක්ක කියනවා මං අහගෙන.

ඒ අස්සෙ අර තාත්තා තුන් රෝදෙ පණගන්න ලොකු උත්සාහයක්.එංජිම පරික්ෂා කලා, පෙට්‍රල් තියෙනවද බලනවා නමුත් අසාර්ථකයි.එකපාරටම මූණ දෙන්න සිද්ද උනු අනතුර නිසා ඒ මනස්සයා ඒ වෙද්දිත් වෙවුලනවා.කාණුවේ තිබ්බ මඩ කකුල් දෙක පුරාවටම ගෑවිලා.ඒ අස්සෙ තමන් ආවෙ වේගයෙන් නෙවෙයි කියලා අපේ අම්මට උත්තර බදිනවා...

තාත්තා ත්‍රී රෝද රථය පණගන්න උත්සාහ කරන අතරෙ අපි අම්මවයි දුවවයි එක්කන් ගිහින් මඩ සෝදන්න උපකාර කලා.ඉන් පස්සෙ තාත්තව. ටැප් එකෙන් වතුර ගන්න උදව් කරන ගමන් මං ඇහුවා මොකද උනේ කියලා..

අද තමයි මල්ලි සල්ලි ටිකක් හොයා ගත්තෙ.පොඩි එකාට ඇදුමකුත් අරන් ගෙදරට බඩු ටිකකුත් ගන්න ගියෙ.. මූණට වෑන් එකක් ආවම කරගන්න දෙයක් නැතුව කාණුවට කැපුවා.......
පැය බාගයක විතර උත්සාහයකින් පස්සෙ රථය පණ ගැන්නුවත් ගෙදර යා යන්න අමාරුයි.ඉස්සරහ රෝදෙ හිරවෙනවා.අද වහනේ මේ ලග ගෙදරක දාලා හෙට බාසුන්නැහැ කෙනෙක් එක්කන් ඇවිත් හදන්  යන්න කියලා අපි කීප දෙනෙක් කියද්දිත් උත්සාහ කරලා අවසානයේ පරාද උනා.
බාසුන්නැහැ  කෙනෙක් එක්කන් ඇවිත් හදාගෙන යන්න තරම් මුදලක් මේ වෙලාවෙ අතේ නැතුව ඇති.මේ අතමාරුවක් ඉල්ල ගන්න පුලුවන් කාලයකුත් නෙවෙයි නෙ.


සුන්දර බොහෝ කතන්දර වල දුක්බර සිද්දි කීයක් නම් ඇත්ද කියල මං තවම කල්පනා කරනවා..


Wednesday, March 24, 2021

ෆේල්..

 



ආයෙමත් ලංකාවෙ සහල් මිල රුපියල් සියය පැන්නුවා.කුඹුරු වල ගොයම් කැපෙන කාලෙ වෙලත් සහල් මිල පාලනයකට ලක් කරන්න රජයට හැකියාවක් නැතුව ගිහින්.

මේක තනිකරම මාෆියාවක්.ප්‍රධාන පෙලේ පුද්ගලික සමාගම් දෙක තුනක් එකතු වෙලා සමස්ත පුරවැසියාගෙම ආහාර සපුරා ගැනීම කියන මූලික මිනිස් අයිතිවාසිකම අභියෝගයකට ලක් කරන්න පටන් අරන්..මේ කරුණු කාරණා යම් තාක් දුරකටවත් කළමණාකරණය කරගන්න රජය අසමත් වෙලා.තවමත්, මහාපරිමාණ නොවන සාමාන්‍ය වී ගොවියා වගාවේ මුල් අදියරේ ඉදන් අස්වැන්න නෙලීම දක්වා වෙන කාලයෙදි විදින ආර්තික අපහසුතා වලට විසදුම් නෑ.ඉතිං, මුදලාලිලා කියන මිලකට තමන්ගේ ණය තුරුස් වල හිලව්වට වී දෙනවා ඇරෙන්න ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ..

මේ වෙලාවෙදි ගොවියන් හැටියට ඒ අය සැලකිය යුතු වැඩි මුදලකට තමන්ගෙ අස්වැන්න විකුණා ගනිමින් ඉන්නවා.නමුත් ඒක පාරිභෝගිකයන්ට සුභ ආරංචියක් නෙවෙයි.ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ශා කරගන්න නම් රජයේ යාන්ත්‍රණය මීට වඩා දැවැන්තව මැදිහත් වෙන එක අත්‍යාවශ්‍යයි.

ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය ගැන ඍජුව රටට වගකියන පාරිභෝගික අධිකාරිය මීක් නැත.වී මිලට ගන්නට රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වන වී අලෙවි මණ්ඩලය තරගකාරී මට්ටමක නැත.ඉතිං ප්‍රශ්නය උඩු දුවද්දී රජය කරන්නේ දිස්ත්‍රික් ලේකම් ලා සහ හමුදා නිලදාරීන් යොදවා හුදකලා තැන් කීපයකින් වී මිලදී ගැනීමයි.අවශයයි කියලා හිතුනොත් සහල් ආනයනය කිරීමයි...

ප්‍රශ්නය හැමදාම එකම තැන තියෙන්නේ එනිසාය...

ලංකාව පුරාවටම ගොවිජන කාර්‍යාල පිහිටුවා ඇත.සෑම ග්‍රාම නිලධාරී වසමකටම වගා නිලධාරියෙක් ඇත.අතහැර දමා ඇති දැවැන්ත වී මෝල් ඇත.වී අලෙවි මණ්ඩලය සතුව යම්තාක් දුරට ගබඩා පහසුකම් ඇත.මේ යාන්ත්‍රණය භාවිතා කර වී මිලට  ගෙන සතොස හරහා මහජනතාව වෙත ලගා කල හැක.නමුත් ප්‍රශ්නය එතැනින් අවසන් වන්නේ නැත.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රජයේ සහතික මිලට මහජනතාව වෙත ගෙන යෑමට නම් රාජ්‍ය මැදිහත්වීම සහිතව සමූපාකාර පද්ධතිය නැවත මුලුමනින්ම ගොඩනැගිය යුතුව ඇත.ගොවියන්ට අවශ්‍ය ණය මුදල් ග්‍රාමීය බැංකු හරහා සහන පොලියට නිකුත් කර ඔවුන් විසින් ලබා දෙන අස්වැන්නෙන් ණය පියවා ගැනීමේ ක්‍රමයක් ඇති කල යුතුය.. අවශ්‍ය සමූපාකාර සමිති වෙත ප්‍රාග්ධනය සපයා ගැනීමට හෝ වී මෝල් ඇති කිරීම වෙනුවෙන් රජයෙන් යම් මුදලක් නැවත ගෙවීමේ පදනම මත නිකුත් කල හැක.

එසේ නොමැතිව පැලැස්තර ක්‍රම මගින් ප්‍රශ්න විසදන්නට යෑමෙන් සිදු වන්නේ ගොවියාට නිසි මිලක් නොලැබීමත් පාරිභෝගිකයන්ට අධික මිලක් දරන්නට සිදුවීමත් පමණි.

Thursday, February 4, 2021

අඹගොල්ලෙ ගාමිණී

 පුරුද්දට උදේ පාන්දර අක්කර පහක් වෙච්ච හේන වටේ දුවන වට රවුම ඉවර වෙද්දි ගාමිණී ගෙ හෑන්ඩ් ෆෝන් එකට මිස්ඩ් කෝල් තුනක් තිබුණා.. ගෙදරට උවමනාවක් උනත් කාන්ති මෙච්චර පාන්දරින් කෝල් කරන්නෙ නෑ කියලා දන්න නිසාම ගාමිණී ෆෝන් එක එබුවෙ ප්‍රශ්නාර්ථයක් හිතේ තියාගෙනම...

තුන්පාරම කෝල් කරලා තිබුණෙ චුට්ටෙ අයියා කියලා දැනගත්තම ආයෙමත් වැඩක් කරන්න කාලෙ හරි කියලා ගාමිණීට ඉවෙන් වගේ කල්පනා උනා.. හදිසි වැඩක් නෙවෙයි නම් චුට්ටෙ අයියා එක පාරට වඩා කෝල් නොකරන බව අත්දැකීමෙන්ම දන්න නිසා උදා වෙලා තියෙන්නෙ හදිසි තත්වයක් බව අමුතුවෙන් කල්පනා කරලා දැනගන්න දෙයක් තිබුණෙ නෑ.
බටන් කීපයක් ඔබලා ෆෝන් එක කනේ තියාගන්න පමාවට අනිත් පැත්තෙන් චුට්ටෙ අයියාගෙ කටහඩ ගාමිණීගෙ කන ලගින් ඇහුනා.

ගාමිණියො ආයෙමත් කුඹරක් මඩ කරන්න තියෙනවා.... ලබන සදුදා පැලට වරෙන්..
චුට්ටෙ අයියෙ සදුද වෙන්න සතියක්වත් නෑනෙ... තෙල් බෙහෙත් බලලා ලෑස්ති වෙන්න වෙලා ඇතිද?
වෙලාව අරන් ඕවා කරන්න විදියක් නෑ ගාමිනී... ටැට්ටරෙත් අරන් සදුදට පැලට වරෙන්..මං සුදු පුතාටත් පණිවිඩේ දුන්නා..
අයියෙ මහ ටැට්ටරේද ගේන්න ඕනි....?
නෑ අත් ටැට්ටරෙන් කරගන්න පුලුවන්.උඹ ඒකත් අරන් වරෙන්
අයියෙ හේනෙ ඉන්දපු බටු ටික නම් පැහිලා මදි තාම...
ඒකට කාරි නෑ.. හෙට පහළ වෙලේ රාජා බඩ ඉරිගු ලෝඩ් එකක් පටවනවා.. උඹ උදේට ඌ මුණ ගැහියන්..
හරි අයියෙ....
ඇමතුම විසංධි වෙලා ඇති වෙච්ච නිහඩ නිමේෂයේදි ගාමිණී කරන්න ඕනි සියල්ල හිතේ ඇදගෙන ඉවරයි...කොහොමත් දන්න කියන කාලෙක ඉදන් හැමවෙලේම වැඩකට ලෑස්ති වෙන්න ගාමිණීට ලැබුණෙම ඉතාම සුලු කාලයක්..

උදේට කන්න තම්බලා තිබුණු බතල අල දෙක තුනක් මුට්ටියෙන්ම අරන් බඩට දාගත්ත ගාමිණී උදැල්ල කර තියන් පිම්මෙ ගියෙ හේන මැද හදලා තිබුණු වගා ලිද ලගට.චුට්ටෙ අයියා කියපු අත් ට්‍රැක්ටරේ තිබ්බෙ සරුවට වැඩුනු කෙසෙල් පදුර පාමුල..රම්පෙ ගාල යට මහ ට්‍රැක්ටරේ තිබුණත් මේ මහ ට්‍රැක්ටරෙන් කරන්න ඕනි වැඩක් නොවන නිසා ආයෙ ඒ ගැන හිතන්න දෙයක් තිබුණෙ නෑ.

අවශ්‍ය වෙන වෙලාවට ගොඩ දාගත්තු වලක් නිසා පස් හයි වෙලා තිබුණෙ නෑ..පැයක් යද්දි ගාමිනී අදාල උපකරණය ගොඩ අරන් තිබ්බ විදියට වල වහලත් ඉවරයි.ගලවන්න පුලුවන් උපරිමයට ගලවලා ග්‍රීස් තවරපු බ්‍රවුනින්ග් වර්ගයේ උපකරණය පොලිතින් උර දෙකකටත් පස්සෙ පොහොර උරයකිනුත් ආරක්ෂා වෙලා තිබුණෙ..
මහ ට්‍රැක්ටරෙත් අත් ට්‍රැක්ටරේ ඇතුලු උපකරණ කීපයක්ම දෙදාස් හය අවුරුද්දෙ කොටින්ගෙ නැගෙනහිර බලය බිද වැටෙද්දි පොළව යටට ගිය ඒවා..ඉතුරු වෙච්චි කීප දෙනා පිල්ලෙයාන් එක්ක එකතු වෙලා කරුණා ගෙ කල්ලිය එක්ක සීතල යුද්දයක් යද්දි ඒවා නැවතත් පොලව උඩට ආවා.ගේම් එක එහෙන් මෙහෙන් සෙට්ල් වෙද්දි පිස්තෝල ටී56 ආදී උපකරණ බොහොමයක් නොයෙකුත් කැලෑබද මාර්ග ඔස්සේ චුට්ටෙ අයියා ඇතුලු බොහෝ දෙනෙක් ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු උනා..ගාමිණීගෙ අතේ තියෙන මිලිමීටර් නවයේ බ්‍රවුනින්ග් එකත් එහෙම ආව එකක්.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ ගත කරපු අති දුෂ්කර මාස 9ක පුහුණු කාලයේදි මිලි මීටර් 9 පිස්තෝල, ටී56 ආදිය කුඩා කොටස් වලට ගලවලා නැවත සවි කරන එක කිරි කජු කනවටත් වැඩිය පහසු කටයුත්තක් බවට ගාමිණී ඇතුලු මුලු බැජ් එකම ඉගෙනගෙන උන්නෙ.ඒ පුහුණුවෙන් ලැබුණු ශිල්ප ක්‍රම යොදාගෙන ගොඩට ගත්තු තමන්ගෙ උපකරනය පිරිසිදු කරන් සීරුවට සවි කරගන්න ගාමිණීට ඒ හැටි වෙලාවක් ගත උනේ නෑ..මීටර කීපයක් ඈතින් තිබුණූ බටු ගෙඩිය ඉලක්ක කර කොකා ගස්සපු සැනින් පිටත් උන උණ්ඩයට බටු ගෙඩිය සුනු විසුනු කරන්නට මිලි තත්පර කීපයක් ගතවෙන්න ඇති.. තමන්ගේ හැකියාව ගැන සියුම් ආඩම්බරයක් ගාමිණීගේ හිතට ආවෙ විසිර යන දවසේ යුධ හමුදාපතිතුමන් අතින් දක්ෂතම වෙඩික්කරුට හිමි ත්‍යාගය ගත් මොහොතෙදි වගේමයි.මේ ඉලක්කය නිවැරදිවෙන තාක් කල් තමන්ගේ වටිනාකම කොපමණක්ද යන්න ඔහු හොදාකාරවම දන්නවා.

එකලස් කල තමන්ගේ සගයා නැවත කැබලි කර පහල වෙලේ රාජා අයියාට දෙන්නත් ඒවා ඇතුලත් වන බඩ ඉරිගු පිරවූ ගෝනි මතුපිටින් සලකුණක් ඇදීමත් ගාමිණීට ආයෙ ආයෙමත් මතක් කරන්න ඕනි කාරණා නෙවෙයි.හේනේ හැදුනු බටු වගාව සාර්ථක නම් ඒවා උර වල ඇසිරීමේ වගකීමත් ගාමිණීට පැවරෙනවා.රාජා ගෙ ලොරිය අඹගොල්ලෙ ඉදන් ඔක්කම්පිටිය හරහා බුත්තලටත් එතනින් පස්සර බදුල්ල හරහා කොළඹට හෝ තණමල්විල උඩවලව හරහා කොළඹට යන්නෙ යම් කිසි රටාවකට.කොහොමත් රාජා ට බාරදුන්නු දෙයක් ගැන මෙතුවක් කාලෙකට වදවෙන්න දෙයක් වෙලා නෑ, මැනිං මාර්කට් එකට ලගා වෙන ලොරියෙන් සලකුණු කරපු එළවලු ගෝනි කීපය ගෙනියන්න හැටේ වත්තෙ එකෙක් යනවා.ගාමිනීට තියෙන්නෙ අදාල දවසට පැය විසි හතරකට කලින් චුට්ටෙ අයියා කියන පැලට යන එක.ඒක මහරගම පිලියන්දල පාරෙ ඇරැව්වල හරියෙ පුරන් වෙච්චි කුඹුරු යායක් ලග තිබ්බෙ.

සදුදා උදේ 10 වෙද්දි පැය හත අටක ගමනකින් පස්සෙ ගාමිනී පැලට ගියා.යතුරුපැදි සුන්බුන් ගොඩක් ඩීසල් ත්‍රිවිල් එකක පටවගත්තු සුදු පුතා එද්දි ගාමිනී පැලට ඇවිත් කහට උගුරක් වත්කරා විතරයි.

ආහ් සුදු පුතා... උඹත් ආවද..
ඔව් ගාමිණී අයියෙ..ලොක්කා මට පණිවිඩේ දුන්නා.. මං යක්සයත් පටවගෙන ආවෙ..
හ්ම්ම්... කහට උගුරක් බීලම ඉමු එහෙනම්..

සුදු පුතා කහට බොන අතරෙ ගාමිණී ත්‍රීරෝද රථය අසලට ගියේ තමන් කවදත් ආසා කරන yamaha D tracker 450 cc යක්සයා බලන්න..එතැන තිබ්බෙ යතුරු පැදි කොටස් ගොඩක්.පැය කීපයක ඇවෑමෙන් අධිවේගී යක්සයා ගොඩ නැගෙන්න නියමිතයි.

විශේෂ දවසට සැකයක් නොසිතෙන්න අදින සරමත් කමීසයක් ඇදගත්තු චුට්ටෙ අයියා සුඛෝපභෝගී වාහන පැත්තක තියලා බස් එකේම වාඩියට ගියා.දවල් කෑමට බුරියානි පාර්සල් තුනකුත් ලීටරේ විස්කි බෝතලයකුත් එක්ක හැටේ වත්තෙන් බාර දුන්න උපකරණ කොටස් ටිකත් උරේක එල්ලන් හිටි මල්ලේ තිබුණා.

කෑමෙන් පස්සෙ සුදු පුතා තමන්ගෙ රාජකාරිය පටන් ගත්තා..ගාමිණීත් චුට්ටෙ අයියාත් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ම සුදු පුතාට අත් උදව් දුන්නා..හවස හත වෙද්දි යක්සයා අවදි උනා.. උතුරු නැගෙනහිර ශුෂ්ක බිම් වල යක්ශයෙක් සමග ගිය ගමන් වලට ගාමිණී හරි කැමතියි.ඒ මතකයන් නිසාම අවදි උනු සැනින් සුදු පුතාටත් කලියෙන් මහරගම ටවුමට ගිහින් එන්න ගාමිණීට උවමනා උනා.
රෑ විස්කි බෝතලය හිස් කරන අතරේ චුට්ටෙ අයියා ගාමිණීට අවශ්‍ය උපදෙස් තොරතුරු සියල්ල දුන්නා..මාස කීපයක් කොළඹ හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කල නිසා කෝප්‍රල් තිලකරත්න ඊජී ට එහෙමත් නැත්නම් එදිරිසූරියගේ ගාමිණී තිලකරත්නට පාරවල් ගැන අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.පැවරෙන රාජකාරිය මොකක් උනත් ඊට තමන්ගෙ මුලු අවධානයම යොදන්නට ගාමිණී පුහුණූ කරලා තියෙන්නෙ..ඒ නිසා විස්කි බෝතලය සුදු පුතාත් චුට්ටෙ අයියාත් අතරෙ බෙදිලා ගියා.

හරියටම හවස තුනට කලල්ගොඩ පාරෙ තියෙන නිවාස ව්‍යාපෘතියෙන් මහ පාරට ඇතුල් වෙන නිල් පාට නිසාන් බ්ලූබර්ඩ් රථයේ රියදුරා තමන්ගෙ ඉලක්කය බව දැනගත්තු ගාමිණී දවස් කීපයකට කලින් ගන්නට ඇතැයි සැක කල හැකි ඡායාරූප සියල්ල මතකයේ ගබඩා කර ගත්තා.

අගහරුවාදා හවස තුනයි තිහ පහුවෙද්දි රටේ ප්‍රධාන විද්‍යුත් නාළිකා සියල්ලම පාහේ බත්තරමුල්ල කලල්ගොඩ මාර්ගයේ නිවාස ව්‍යාපෘතියක් ඉදිරිපටදී නන්නාදුනන තුවක්කු කරුවකු විසින් සිදු කල වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය ගිය පුවත වාර්ථා කලා.

තමන්ට පැවරුනු රාජකාරිය අකුරට ඉෂ්ට කල ගාමිණී අංගොඩ රෝහලේ නිල නිවාස අසල නවතා තිබුණු සුදු පුතාගේ ලොරි රථය සොයා ඉගිලුනා..වෙනදා වගේම පිටුපස දොර පියන් විවෘත කරන් සූදානම් ව හිටි ලොරි රථයේ රියදුරු අසුන චුට්ටෙ අයියාගේ විශ්වාසවන්ත සගයෙකුට භාර වෙලා තිබුණා.

ආ වේගයෙන්ම යකඩ පුවරුව මතින් ලොරියට ඇතුල් කල යතුරු පැදිය ඒ වෙනුවෙන්ම නිමවා තිබූ සැකිල්ල මත නතර උනා.දොර පියන් වසා ගමන ආරම්භයට නිමේෂයක් ගත වෙන්නට ඇති.සුදු පුතා නැවතත් යක්ෂයා නිදි කරවන අතරේ ගාමිණී අඹගොල්ලෙ හේන් ගොවියාගේ චරිතයට ආරූඩ උනා.බොරු කොණ්ඩයත් රැවුලත් ඒ වෙස් මාරුවට ටක්කෙටම ගැලපුනා.

වැඩි සෙනග නැති තැනකින් ලොරියෙන් බැසගත් ගාමිනී, රුවන් පුෂ්පකුමාර නමින් නිකුත් වී තිබූ ජාතික හැදුනුම්පත තමන් සතුව ඇති බවට තව වතාවක් තහවුරු කරන් අඹගොල්ල බලා යන දීර්ඝ ගමන ඇරඹුවේ වෙනදාට නොකරන මට්ටමේ අවධානමක්ද ගනිමින්..මෙවැනි වැඩක් අවසානයේ යක්සයා අසුරන ලද පෙට්ටි තුන හතර තුල කැබලි වලට බෙදී ඇසිරෙන ගාමිණීගේ අත් ට්‍රැක්ටරය, මුලින්ම හැටේ වත්තටත් මාස කීපයක ඇවෑමෙන් අඹගොල්ලේ හේනටත් යැවෙන ක්‍රමය හිතා මතාම බිදිමින් තමන් සතුව තබා ගත්තේ නිශ්චිත හේතුවකටම නෙවෙයි.. ඒත්,...... දකුණු කණට ඉහලින් පලමු උන්ඩය ඇතුල් වෙද්දී තමන්ගේ ජීවිතය බේරා ගැනීම පසෙක තබා වෙඩි පහරින් ඉදිරි අසුනේ සිටි තම සිගිති පුතු ආවරණය කර ගන්නට ඉලක්කය යෙදුනු දුප්පත් උත්සාහය රථයේ දොර අසලම හිටි ගාමිණී හොදාකාරවම දැක්කා.

සිගිත්තාගේ බියකරු දෑස්, ගමන අතර තුර දහ පහලොස් වතාවකට වඩා ගාමිණීගේ මනසේ ඇදී වියැකී ගියා....

මේ කිසිත් නොදැන කාන්තීගේ තුරුල්ලේ නිදන තම සිගිත්තා ද එකම වයසේ විය හැකි බව යකඩ හිත ගණනය කලා..
.............................................................................................................................................................................................................
කලබලකාරී අගහරුවාදා ව අවසානව ගෙවුනු එකලොස්වන පැයේදී ගාමිණී සිටියේ අඹගොල්ලේ තමන්ට සුපුරුදු හේනේ මැස්ස මතයි.. පාපකාරී මාර්ගයෙන් ඉවතට යා යුතු බව කිසිදු ධර්මයකට ඒත්තු ගන්වන්නට නොහැකි උවද සිගිත්තාගේ බියකරු දෑස ක්ෂණිකව ඒ සිතුවිල්ලෙන් යකඩ සිත උණූ කරන්නට සමත් උනා.

ආවේගයෙන් සුරතට වන් පිස්තෝලයේ ඉතිරිව තිබූ උන්ඩය ගාමිනීගේ වම් අත්ල සිදුරු කරමින් අනෙක් පසින් පිටව ගියේ අතිශය දරුණු තුවාලයක් ඇති කරමින්.

අවසාන සිදු වීමෙන් වසර එක හමාරකට පසු වලව මිටියාවතේ දුෂ්කර බිමක ගාමිණීගේ දහදිය බිදු දියවෙමින් පැවතියේ ජීවිතය සරි කරන බඩ ඉරිගු වගාවක් වෙනුවෙන්.. චුට්ටෙ අයියාට කල සේවය වෙනුවෙන් උපයා ගත් ලක්ෂ කීපයක් වූ මුදල් නන්නාදුනන වෙඩික්කරුවා විසින් නිහඩවම ළමා නිවාසයක ගිණුමට බැර කර තිබුණා.