Tuesday, January 16, 2018

ශ්‍රී ලංකා පොලිස් - මේ අවදි වෙන්නට කාලයයි



මෑතකදී පැමිණිල්ලක් සටහන් කරන්න පොලීසියට යන්න උනා.පැමිණිල්ල ලියනව කියල හිතුන තැනට යද්දි පොලිසියට ආව සිවිල් කීප දෙනෙක් පෝලිමේ තියල තිබුණ පුටු වල වාඩිවෙලා හිටිය.මේසයක් ලග සිවිල් ඇදුමෙන් රාජකාරි කරන නිලධාරිනියකුයි නිලධාරියෙකුයි හිටි නිසා මං කෙලින්ම ගියෙ එතනට.ආපු කාරණාව අහපු නිළධාරිණිය මගේ විස්තර සටහන් කරගන්න අතරෙ අනිත් නිළධාරිය එතැනින් නැගිටල යන්න ගියා.පැමිණි වේලාවට විනාඩි පහක් එකතු කරල පිටවීමේ වේලාව කියන තීරුවෙ සටහන් කරපු නිළධාරිනිය ඒක තහවුරු කරන මගේ අත්සන බලාපොරොත්තුවෙන් පොත දික් කලා.පැමිණිල්ල  ලියන පුද්ගලය තමයි එතැනින් ගිහින් තියෙන්නෙ.එයා එනකන් විනාඩි 20 ක් විතර බලන් ඉදපු මං ඒත් නැතිකොට පැමිණිල්ල සටහන් නොකරම ආපහු ආව.
                                             ආයෙමත් එදාම හවස් වරුවෙ මං පොලිසියට යනව එවේලෙ හරි පැමිණිල්ල සටහන් කරන්න බලාපොරොත්තුවෙන්.බුලත් හපයකුත් කටේ පුරවගෙන අර මුලින් කියපු නිළධාරිය පැමිණිලි සටහන් කරගන්න තැන ඉන්නව.උදේ යන එන වේලාවල් ලියා ගන්න හිටි නිළධාරිණිය පේන්න හිටියෙ නෑ.අපිරිසිදු සුදු කමිසය යට කරපු කලිසම බිමට වැටෙන්න නොදී තුනටියෙ එල්ලල තිබුණෙ හරි අමාරුවෙන් බව නිළධාරිය එහෙට මෙහෙට වෙද්දි මට තේරුම් ගියා.
             මගේ නම,ගම විස්තර ටික අහල එයා පැමිණිල්ල ලියා ගන්න පටන් ගත්ත.ඒත් මං කියන කාරණාව එයාට තේරෙන්නෙ නෑ.චෙක් රිටන් වීම්,ඒජන්සි,ණය බිල් .... ඒ එකක් ගැනවත් එයාට වැටහීමක් නෑ.අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැති නිසා මං තේරුම් කරන්න හැදුවට එයාට ඒක රිස්සුවෙ නෑ.කොහොමින්  කොහොම හරි ටික වෙලාවක් දගලල පැමිණිල්ල සටහන් කලා.නමුත් ඒ සටහනේ තියෙන්නෙ මං කියපු දෙයින් 50%යි.දැන් ඒක නිවැරදි බවට මං අත්සන් කරන්න ඕන.මේකෙ තියෙන්නෙ මං කියපු දෙයින් බාගයයි කිවුවම එයා කිවුවෙ ඒක පැමිණිල්ල විභාග කරන වෙලාවෙ කියන්න කියල.මොනව කරන්නද පතරංග ජාතකේ වගේ තිබ්බ පොතේ පැමිණිල්ල ලියපු තැනින් අත්සන් කරල මං එන්න හදද්දි වයසක දෙමල ගෑනු කෙනෙක් පුටුවෙන් වාඩි උනා.කැඩිච්ච සිංහලෙන් ගෑනු කෙනා කියන එක තේරන්නෙ නැතුව අර නිළධාරිය ගුගුරනව පොලීසියෙන් පිටවෙනකන්ම මට ඇහුන.

        මේ අපේ පොලිසි වල ඇත්ත තත්වෙ.තාක්ෂණය මෙච්චර දියුණු කාලෙ තවමත් පැමිණිලි ලියන්නෙ ලොකූ පොත් වල.කවද හරි දවසක පැමිණිල්ලෙ පිටපතක් ගන්න ගියොත් වරු ගානක් පොත් පෙරලන්න වෙනව පැමිණිල්ල හොයා ගන්න.මොකක් හරි අනතුරකින් පොත් ගබඩාව හානි වෙලා තිබ්බොත් ඒ ගැන ආයෙ කතා කරල වැඩක් නෑ.කාට හරි රැකියාවක් හෝ වෙනත් කාරණාවකට පොලිස් වාර්තාවක් ගන්න ගියොත් එයාගෙන්ම විස්තර අහල තමයි ලියල දෙන්නෙ.වංචා කරන්න ඕනි නම් ඕනි තරම් ඉඩ.

  පැමිණිලි සටහන් කරන එක ඇතුලුව පොලිසියට පරිගනක වැඩසටහනක් හැදුවොත් කොහොමද? පරිඝනක දැනුම ඇති නවක පොලිස් නිළධාරීන් නිළදාරිනියන් පාරිභෝගික සේවා සැපයීම ගැන විධිමත් පුහුණුවකට යටත් කරල තමන්ගෙ පෞද්ගලිකත්වය රැකෙන විදියට පැමිණිලි ඉදිරිපත් කරන්න කවුන්ටර හදන්න ඕනි.එන අයට වාඩි වෙන්න සුව පහසු පුටු දෙන්න ඕනි.හරියට පෞද්ගලික දුරකතන සමාගම් වල ශාඛා වල වගේ.කවුන්ටරේ එක තැනක කුඩා වෙබ් කැමරාවක් තියන්න ඕනි පැමිනිල්ල ඉදිරිපත් කරන කෙනාගෙ ඡායාරූපයක් අරන් පරිඝනක වැඩසටහනට ඇතුල් කරගන්න.ඒ වගෙම තමන්ගෙ පැමිණිල්ල තමන්ගෙම වචනයෙන් ඉදිරිපත් කරන්න මයික්‍රෆෝනයකුත්.ඒ කියන්නෙ අකුරු වෙනුවට පැමිණිල්ල ශබ්ධය විදියට පටිගත වෙනව.
       පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පොලිසියට එන කෙනෙක්ට තමන් පැමිණිල්ල ඉදිරිපත් කරන්නෙ මොන භාෂාවෙන්ද කියල තෝරා ගන්න පුලුවන් විදියට භාෂා තුනෙන්ම පැමිණිලි භාර ගන්න පුලුවන් නිලදාරීන් පුහුණු කරන්න ඕනි.පැමිණිල්ල ඉදිරිපත් කරන්න එන අය එක්ක ගනු දෙනු කරන විදිය උගන්නපු නිළධාරීන් යොදන නිසා මොන ප්‍රශ්නෙ තියන් පොලිසියට ආවත් නිරවුල්ව පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුලුවන් මානසික තත්වයක් ලැබෙනව.ඡායාරූපයක් අරන් පැමිණිලි සටහන් කරන ක්‍රියාවලිය පටන් ගන්න පුලුවන්.ඊට පස්සෙ එන හැමෝටම ගැලපෙන විදියට කලින් සූදානම් කරපු ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනව.ඒ උත්තර ටික පරිඝනක වැඩ සටහනට ඇතුලත් කරන්නෙ අදාල නිළධාරිය.මේක හරියට අන්තර්ජාලය ඇතුලෙ ඉල්ලුම් පත්‍රයක් පුරවනව වගේ.මුලින් අහන ප්‍රශ්න සියල්ලම නිශ්චිත උත්තර සහිත ඒව.අවසානයේ පැමිණිල්ල පටිගත කර ගන්නව.නයිකෑම් වගේ තාක්ෂණයකින් එවේලේම ඒ පටිගත කරන පැමිණිල්ල අනෙත් ප්‍රධාන භාෂා වලට පෙරලනව.පැමිණිල්ල සදහා තමන්ගෙ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කරන එක අනිවාර්යය කරන්න ඕනි.ඒ මගින් පැමිණිලි කරු ලබා දෙන තොරතුරු වල සත්‍ය අසත්‍ය බව පැහැදිලි කරගන්න උපකාරයක් ලැබෙනව වගෙම පැමිණිලි අංකය ජනිත කරගන්නත් උපකාරයක් ගන්න පුලුවන්.අවසානයේ ජාතික හැදුනුම් පත් අංකය සහිතව පරිඝනක වැඩසටහන මගින් ලබා දෙන පැමිණිලි අංකය,පැමිණිල්ල භාරගත් නිලධාරියාගේ පොලිස් අංකය මුද්‍රිත රිසිට් පතක සදහන් කරල පැමිණිලිකරුට ලබා දිමෙන් අදාල මූලික ක්‍රියාවලිය අවසන් කරන්න පුලුවන්.ඇතුලත් කරන තොරතුරු සියල්ල  එවේලේම අන්තර්ජාලය හරහා යාවත්කාලීන කරන්න ඕන.මුලු රටේම තොරතුරු  ප්‍රමාණවත් ආරක්ෂාවක් යටතේ තැනක ගබඩා කරන්න ඕනි.තවත් තැනක ගබඩා වෙන පිටපතකුත් සමග.
       මුලික පියවර සදහා සම්බන්ධ වෙන නිළධාරීන්ට කල හැකි විය යුත්තේ තමන්ට අයත් මුර පදය භාවිත කිරීමෙන් පරිඝනක වැඩසටහනට තොරතුරු ඇතුලත් කිරීම පමණයි.අදාල මුර පදය භාවිත කරමින් පරිඝනක වැඩසටහනට ඇතුල් වන නිළධාරියාගේ අනන්‍යතාවය හා ඇතුලත් වීමෙන් පසු ඔහු හෝ ඇය සිදු කල දේ කුමක්දැයි පරික්ෂා කර බලන්න පුලුවන් ආකාරයට මේ වැඩසටහන නිර්මාණය කල යුතුයි. පැමිණිලි විභාග කරන නිලධාරීන්ට ඔවුන්ගේ මුර පද මගින් ඇතුලත් වී ඊලග දිනයේදී තමන්ට විභාග කරන්නට ඇති පැමිණිලි සම්බන්ධව වැටහීමක් ලබා ගත හැකි විය යුතුය.විභාග කිරීමෙන් අනතුරුව එළඹෙන නිගමන ඇතුලත් කිරීමට පමණක් ඔවුන්ට ඉඩ ලබා දිය යුතුයි.
               විසදුම් ලබා දීමෙන් පසු පටිගත කල පැමිණිල්ල හැර ඉතිරි විස්තර දීර්ඝ කාලීනව පරිඝනක වැඩසටහන තුල ගබඩා කර ගත යුතුය.එකම තැනැත්තෙක් විසින් විවිධ කාල වලදී පැමිණිලි කීපයක් හෝ පැමිණිල්ලක වග උත්තරකරුවකු වී ඇති විට අදාල පුද්ගලයාගේ ජාතික හැදුනුම්පත් අංකය යටතේ එම විස්තර පරිඝනක වැඩසටහන තුල ගබඩා කරගත යුතුය.මෙම වැඩසටහන සදහා ප්‍රවිශ්ඨ වීමේ හැකියාව උසාවි තුල සිටින විනිසුරන්ටද ලබා දිය හැක.එමගින් පුද්ගලයන්ගේ නිවැරදි ස්වභාවය ගැන වැටහීමක් ලබා ගෙන යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය වඩාත් හොදින් ඉටු කල හැක.එසේම කිසිවකුටත් කිසි විටෙකවත්  ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර වාසි ලබා ගත නොහැකි වනු ඇත.ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කල සැනින් තොරතුරු දිග හැරෙන නිසා බොහෝ වැඩ පහසු වනු ඇත.පොලීසි  තුල ඇති රෞද්‍ර පෙනුම යටපත්ව විශ්වාසයෙන් සේවය ලබා ගැනීම සදහා යා හැකි තත්වයක් උදා වනු ඇත.සියල්ලන්ටම වඩා පොලිස් රාක්ක තුල පොත් කදු ගොඩ නොගැසෙනු ඇත.

Sunday, January 14, 2018

මේ කුපාඩි ක්‍රමය වෙනස් වෙන්නේ කවද්ද?

පුංචි දරුවන් පලවෙනි පංතිට අතුල් කිරීම ලංකාවේ කවදත් යුද්ධයක්ය.ගමේ පාසල් දෙක තුනක් පහු කරමින් දරුවා නගරයේ පාසලට ඇතුලත් කර ගන්නට දෙමව් පියන් නොගන්නා උත්සාහයක් නැත්තේය.එක අතකින් ඒ අයට වැරැද්දක් කියන්නට බැරිය.තමන්ගේ එකා ට හොදින් උගන්නන්නට අකමැති කිසි කෙනෙක් නැත.
                     නොයෙක් හොර ලිපි,පදිංචි සහතික, දේශපාලකයන්ගේ මැදිහත් වීම් හරහා දරුවන් තම් බලාපොරොත්තු වන පාසලට ඇතුලත්කර ගන්නා දෙමව්පියන්ට ආරම්භක දිනය යනු සංසාරයම එපා කරවන දිනයක් බවට පාසල් පලනය පත් කරමින් සිටින්නේය.උන්ට අනුව පොඩි එකා පාසලට එන දිනයේදී එය මහ ඉහලින් සැමරිය යුතුය.ඒ සදහා අඩු තරමේ රුපියල් 2000ක් නම් වියදම් කල යුතුමය.පොඩි එකා පාසලට ගෙන ආ යුත්තේ ගුරුවරුන් දැනුම් දෙන පරිදි පාට ඇදුමකින් සරසලාය.පිරිමි දරුවන් එකම ඇදුමකිනුත් ගැහැනු දරුවන් එකම ඇදුමකිනුත් එදාට රැගෙන ආ යුතුය.එහෙමත් නැත්නම් නවකයන් පිලිගන්නට ඉන්නා අනෙත් දරුවන් අර කියනා ඇදුමින් සැරසී ආ යුතුය. ඒ යෝජනා කරන ඇදුම නොමැති දරුවන් අලුතින් මස්සවා ගත යුතුය.එදා වේල හම්බකරගෙන ජීවත් වෙන බහුතරයක් ග්‍රාමීය ජනතාවට මේ කාරණයේදී හෙණ ගැහුවත් විදුහල්පතිට අදාල නැත.කලාප කාර්යාලයට හ්ම්ම් නැත.ඇමතිලා ඇතුලු පරිපාලකයෝ බුදිය.
                     අලුතින් ඇතුලත් කරගන්නා දරුවන්ට දෙවන ශ්‍රේණියේ දරුවන්ගෙන් සංග්‍රහයක් ලබා දිය යුතුය.පංති භාර ගුරුවරියන්ට ගොට්ට අල්ලන අම්මලා දෙතුන් දෙනා කැවුම් කිරිබත් හදාගෙන එන්නේය.බැරි අය මුදල් එකතු කර දිය යුතුය.මේ උලව්වෙන් දරුවන් පාසලට ඇතුලත් කරනා මූලික පරමාර්ථය සඵථ කරගන්නට වෙන සෙතක් ගැන මට නම් නොතේරෙන්නේය.
       මේක හරියට ථේරවාදී බුද්ධාගමත් මහායාන බුද්ධාගමත් වාගේය.ථේරවාදයේ විච්චූරණ නැත.ලෞකිකත්වයේ ඇලී ගැලී සිටින්නන්ට පිලි පැදීමට අපහසු එහෙත් නිවනට යා හැකි නිවැරදි ක්‍රමය එහි උගන්නන්නේය.මහායාණ‍ය උත්සාහ කරන්නේ ලෞකිකත්වය ඔප් නංවමින් ඒ ජීවිතය සැපවත් කරන්නටය.නිර්වාණය මහායාණයට එච්චරම වැදගත් නැත.

                   සකසුරුවමින් තොර ගමනක් අපි වගේ ඇත්තන්ට නැත.අපි තවමත් අදායම් ලැබීම අතින් ලොකූ විශමතාවයකට මුහුණ දෙන රටක්ය.මූලික අවශ්‍යතාවය වන ආහාර සදහා දෛනික ආදායමේන් 80%කට වැඩියෙන් වියදම් කරන බහුතරයක් ඇති රටක්ය.එහෙව් රටක හෙට දවස බාර ගන්නට ඉන්නා  පරම්පරාවට සකසුරුවමින් ජීවිතය ජය ගන්නට ආරම්භයේ පටන් ආදර්ශ සපයන්නට ප්‍රතිපත්ති සම්පාදකයන්ට නොසිතෙන්නේ ඇයි දැයි සෙවිය යුතුය.මුදල් උපයන අය තමන්ට ඇවැසි එහෙත් අනුන්ට කරදරයක් නොවන පරිදි ඒවා විය පැහැදම් කර සතුටු වූවාට අපට ඉරිසියා නැත.සෑම විටම පොදු කාරණාවකදී අදාල මිම්ම විය යුත්තේ ඉපයීම අතින් අවසානයේ සිටි පුද්ගලයාගේ පරිමාණය මිස කෝටිපතියාගේ රැස් වලල්ල නොවේ

Thursday, January 11, 2018

මගේ හොදම යාලුවෙක් හිටිය ඉස්කෝලෙ යන කාලෙ.අහිංසක දක්ෂ ලමෙක්.අපි දෙන්නටම ඒ හැටි ආර්ථික හැකියාවක් බල නොපෑව ඒ කාලෙ අපි වැඩිමණක් හොද යාලුවො වෙන්න හේතු උනේ සීටීබී එකෙන් දුන්නු සීසන් ටිකට් එක.(කවුරු උනත් ඒ සංකල්පය ඇති කරපු උත්තමය නිවන් දකින්න ඕනි) අපි හැමදාම උදේ පාන්දරින්ම ස්ටෑන්ඩ් එකට ඇවිත් සීටීබී එකක් එනකන් කයියක් ගහපු අය.මේ යාලුවට තිබූණ හරි අපූරු ආදර කතාවක්.බොහොම සීමා සහිත පිරිසක් විතරක් දැනන් ඉදපු.කාලයක් පෙරුම් පුරල මේ යාලුව තමන්ගෙ හිත ගිය ගෑනු ලමයගෙන් ආදර කතාවට අවසර පතනව.නමුත් ආසනාවකට ඇගේ හිත මේ යාලුවගෙ පැත්තට නැමෙන්නෙ නෑ.ඔහු තව වතාවක් උත්සාහ කරල බැලුවත් පිලිතුර ඒකමයි.පස්සෙ ඔහු නිහඩ වෙනව.නමුත් තමන්ගෙ බිදුනු සිහිනය අමතක කරන්න ඔහුට පුලුවන්කමක් ලැබෙන්නෙ නෑ.ඒ වෙනුවෙන් ඔහු තෝරා ගන්නෙ නිහඩ අපූරු ක්‍රමයක්.ඔහු එදා ඉදන් අද දක්වාම ලියන්නට පාවිච්චි කරන්නෙ කලු පාට පෑන්.කිසිම තත්වයක් නිසා ඒක වෙනස් කරන්නට ඔහු උත්සාහ කරන්නෙ නෑ.
       මිනිස්සු තමන්ගෙ ජීවිතේ නොයෙක් දුක්ඛ දෝමනස්සයන් සමනය කරගන්න පාවිච්චි කරන්නෙ පුදුම උපක්‍රම.සමහරු බීමට ඇබ්බැහි වෙනව.තවත් සමහරු සිය දිවි හානි කරගන්න පවා පෙළඹෙනව.ජීවිත!!!

          අලුත් ඇරඹුමක් වෙනුවෙන් දින ගණින මමත් හරියට ඒ වගේ.මේ තියෙන පරිසරය වෙනස් කරගන්නට හිත තවම සූදානම් නෑ.දරා ගන්නට උපක්‍රම හොයාගෙන අනාගතයට යන්නට ඕනි.

ගෙන්දගම් පොළව, ආයුබෝවන් උඹට.කවදාම හරි දවසක සමුගන්නකන්.දුවන් එන්නට මේ කොදෙව්වට!