Friday, September 29, 2017

රන්දී - පියවර 10

"නෑ ඉතිං ඩොක්ටර් කියල ගහපු අලුත්ම කාර් එකක ඉස්කෝලෙ එන කෙනෙක් අපි වගේ සාමාන්‍ය විදියට කන බොන කෙනෙක් වෙන්න බෑනේ.."
"රන්දී මොනාද මූ කියන්නෙ..." යි අසමින් ම ඉන්දූ භාග්‍යා සමග පැමිණ අපට එක් වූවාය.
"මගේ බත් එකේ මස් මාලු නැත්තෙ ඇයි අහනව ..."
 දරුවකු තම මව්ට උත්තර බදින්නාක් මෙන් රන්දී ඉන්දුට උත්තර දුන්නාය
"රොෂාන් මෙයාගෙ බත් එකේ මස් මාලු බලාපොරොත්තු වෙන්න එපා.එයා වෙජිටේරියන්..." භාග්‍යා මා නොදන්නා දෙයක් කීවාය.
"ඇත්තෝ නොකති.. නැත්තෝ දුක් වෙති! "
මගේ කතාව නිසා සිනහව නවතා ගත නොහැකි වූ යෙහෙලියන්ගේ කෑම හිර නොවුනේ වාසනාවකටය.
බඩ පිරෙන්නට බත් කෑ පසු ඔවුන්ට පෙර පයිපය වෙත ගොස් වතුර බිව්වෙමි.විද්‍යාගාරයේ සිටි මිතුරන් පංති කාමරයට එන තුරු කරන්නට වෙනත්  දෙයක් නොවූ නිසා පංතියේ කොනක තිබූ පුටුවක් වෙත ගොස් තවත් පුටුවක් උඩින් කකුල් දෙක තබා ගෙන දෑස පියා ගතිමි.ප්‍රමාණවත් නින්දක් නොලැබීම වඩ වඩාත් දැනෙන්නට වූයේ ආහාර ගැනීමෙන් පසුය.
 යෙහෙලියන් සමග පයිප්පය වෙත ගිය ඉන්දූ ඔවුන් සමග මා අසලට පැමිණියේ පාඩම් වැඩ කෙසේ වෙතත් ඕපා දූප කතාවකට විය යුතුය.
"මොකද කල්පනාව?" මගේ පසෙකින් ඉන්දු පුටුවකට බර විය.
"මොනවත් නෑ ඉන්දූ...., ටිකක් නිදි මතයි වගේ ...ඊයෙ නිදාගද්දි ටිකක් පරක්කු උනා.."
"ඉන්දූ..., මම ලයිබ්‍රියට ගිහින් එන්නම් .. ගත්ත පොත තවම දෙන්න බැරි උනා "යි කියමින් භාග්‍යා පුස්ථකාලයට ගියාය...
"රොෂාන්....., ඔයා ඉන්න මූඩ් එක නම් එච්චර හොද එකක් නෙවෙයි..මොකක් හරි අවුලක්ද...?"
"මොකෝ එහෙම ඇහුවෙ..?"
"නෑ නිකන්... මට මූන දැක්කම එහෙම හිතුනා..."
"අනේ පලයං මොඩියේ ....මට එහෙම අවුලක් නෑ.."
"හා හා පිස්සු ආතෙක් නෙ ඔයා..!. ප්‍රශ්නයක් තියෙයි නම් කාට හරි කියල හිත නිදහස් කර ගන්න.. ප්‍රශ්න තියාගෙන එග්සෑම් කරන්න බෑනෙ..."
"හ්ම්  .. ප්‍රශ්නයක් තිබ්බොත් කියන්නම්කෝ..."
එතැන් පටන් රන්දීත් ඉන්දූත් තොර තෝංචියක් නැතිව කියවන්නට පටන් ගත්තෝය.ඔවුන්ට කියවන්නට ඇත්නම් වෙන මොනවත් අවශ්‍ය නැති සෙයකි!
"මං ආව එකෙන් උඹලගෙ වැඩේ බකල් උනා නේද?... මං ලයිබ්‍රියට ගිහින් අරුන් ටික ආවම මේ පැත්තට එන්නම්කො.."
 පුස්ථකාලයට යෑමට අවශ්‍යතාවය නොතිබුණත් යෙහෙලියන්ගේ වැඩ මා නිසා අතපසු වන්නට දිය යුතු නැතැයි සිතූ නිසා පංති කාමරයෙන් ඉවතට යන්නට නැගී සිටියෙමි.
"අනේ නෑ.. අපිත් කම්මැලිකමේ හිටියෙ..." ඉන්දු මගේ ගමනට එරෙහි වූවාය.
"මං ප්‍රශ්නයක්ද කියල අහපු එකට හිත රිදුනද?"
"පිස්සුද ඉන්දී.. "
"එහෙනම් මෙතන ඉන්න... අපිට දැන් මොනවත් වැඩක් නෑ.."
"හහ්.. මාව නවත්ත ගත්තොත් නම් ජාතක පොත දිගෑර ගත්ත වගේ වෙයි නංගී....."
"ඒකට කමක් නෑ.... කොහෙවත් නොයා මෙහෙ ඉන්නව!"
ඉන්දුගේ පෙරැත්තය නිසා පංති කාමරයෙන් ඉවතට යන අදහස වෙනස් කරන්නට මට සිදුවිය.

"ඒක නෙවෙයි රොෂාන්..දවසක් ඔයා අර කියනව කියපු කතාව අද කියනවද? ඔයාගෙ ජීවිත කතාව?"
"ම්....එව්ව කියන්න බෑ... ඕව අහල උඹල මං දිහා අමුතු විදියට බලයි.අනිත් එක ඒක ඇහුව කියල ඇති වැඩකුත් නෑනෙ"

"බලන්න හරි නොබලන්න හරි ඔය කතාව කියන්න එපෑ.. නේද රන්දී..."
"එව්ව රාජ්‍ය රහස්.!.. උඹල දහ අතේ දිව්රන්න ඕනි රහස් රකිනව කියල" 
මගේ කතාව නිසා ඉන්දූගෙත් රන්දීගෙත් සිනාව දෙගොඩ තලා යන්නට විය.කෙතරම් ඇවටිලි කලත් මගේ ප්‍රශ්න ඔවුන්ට නොකීමට මං ස්ථිර කරගෙන සිටියද අවුල් ජාලයක්ව පැවති සිතුවිලි නිරවුල් කර ගන්නට උවමනාවක් නොතිබුණාම නොවේ

Monday, September 25, 2017

රන්දී - පියවර 9

පාසැල් යෑම අගහරුවාදාවට පමණක් සීමා වීමත් සමග ජීවිතය තව තවත් යාන්ත්‍රික වන්නට විය.සති අග ටියුෂන් පන්ති වලටත් සතියේ දින දෙකක් සහන්ගේ නිවසටත් වී පාඩම් කටයුතු කරන්නට මා පුරුදු උනෙමි.සහන්ගේ නිවසට නොගිය දිනවලදී නිවෙසට වී පාඩම් වලට සිත යොමු කලෙමි.නමුත්  පාඩම් කරන්නට කරන්නට මගේ දැනුම ඉතා ප්‍රාථමික බව මට දැනෙන්නට විය.එනිසා සමහර දින වලදී අලුයම වන තෙක් පාඩම් කටයුතු කරන්නට සිත දිරි දුන්නේය.
            එසේ පාඩම් කටයුතු සිදු කල දිනෙක මා නින්දට යන විට හිරු උදාවන්නට තිබුණේ හෝරාවකට මදක් වැඩි කාලයක් පමණකි.නමුත් කුමක් හෝ හේතුවක් නිසා උදෑසන අට වන විට මාගේ නින්ද අවසන් විය.ඇහැරුණු වෙලාවේ සිටම පාසැල් යෑමේ අදහස සිත තුල වැඩෙන්නට වූ නිසා සැනෙන් සූදානම් වී පාසල අසලට ගියෙමි.පාසලේ පියලුම පංති කාමර වල ඉගැන්වීම් කටයුතු සිදු වූ නිසා කිසිදු ශිෂ්‍යයකු එළිමහනේ දක්නට සිටියේ නැත.අවේලාවේ ප්‍රධාන ගේට්ටුවෙන් පාසලට ඇතුලු උවහොත් ගුරුවරුන්ගේ ක්ෂණීක අවධානයට ලක් වීමට ඉඩ ඇති බව තේරුණු නිසා පාසල පිටුපස කම්බි වැටෙන් ඇතුලු වීමට මම තීරණය කලෙමි.සිකුරිටි අයියා කට කොණකින් සිනා සීගෙන ගේට්ටුව අසලට ආ මුත් මම අනෙක් පසින් පැමිණෙන බව සන් කර ඉක්මණ් වුනෙමි.
         කරදරයකින් තොරව කම්බි වැටෙන් රින්ගා ගත් මා උස් ගොඩනැගිලි සියල්ල පසු කරමින් ගොස් ජීව  විද්‍යා පංති කාමරයට ලගා වුනෙමි.අවධානමකින් තොරව ඇතුල් විය හැකි පහසුම පංති කාමරය එය වූ අතර දහ තුන ශ්‍රේණියේ විවෘතව තිබුණේද එය නිසා මම එතුලට ගියෙමි.

"හානේ...රොෂාන් හුග කාලෙකින් දැක්කෙ..කොහොමද ඉතිං? " ඒ ඉන්දුය
"අවුලක් නෑ ඉතිං.. කෝ අපේ කට්ටිය? එකෙක්වත් ඇවිත් නැද්ද?"
"මැත්ස් ක්ලාස් දෙකෙන්ම ආවෙ අරුණයි වජිරයි තව ගෑනු ලමයෙකුයි විතරයි..අපේ පංතියෙන් රසිකයි, රංගනයි,ඉන්දිකයි, සරතුයි අපි තුන්දෙනයි විතරයි"   කියමින් ඉන්දු රන්දී හා භාග්‍යා දෙස අත දිගු කලාය.

"ඉතිං කෝ උන් ටික?" ඩෙස් එකක් මත හිදගනිමින් මා ඇසුවෙමි.
"සෙට් එකටම බැරි වෙච්ච ෆිසික්ස් ප්‍රැක්ටිකල් ටිකක් තියෙනව කියල ගියා"
"එතකොට උඹල?"
"අපි මේ පේපර් එකක් කලා.., ඒක නෙවෙයි රොෂාන් මොකද පහුගිය දවස් ටිකේ ඉස්කෝලෙ නාවෙ? ගෙදරට වෙලා පාඩම් කලාද?"
"අනේ පල පල.. අපි ආව.උඹලනෙ ආවෙ නැත්තෙ."
"හරි! කවද්ද ආවෙ?"
"අපි හැම අගහරුවාදම එනවා.තොපි එකෙක්වත් එදාට නෑනෙ."
"අගහරුවාදයි බදාදයි විතරයි මං නැත්තෙ.අනිත් දවස් තුනේම එනවා."
"හා හා! ඒකෙන් කමක් නෑ.දැන් හම්බුනානෙ."
" ආ... අගහරුවාද විතරක් එන කෙනා අද මොකද  එතකොට? අනික මේ අවේලාවෙ?"
"අනේ මංද බං.. උදේ අහරිද්දි එන්න ඕනි කියල හිතුන.ඉතිං ආව."  .
ඉදගෙන සිටි තැනින් බිමට බැස බිත්තිය අසල ඉන්දුලාගේ පේලියේ වූ පුටුවක් ගෙන හිදගතිමි.යකඩ පුටුවේ පිටු පස කකුල් දෙකට බර දී පුටුව බිත්තියට හේත්තු කරගත් විට වඩා සුවපහසු බවක් දැනෙන්නට විය.
"ඉන්දු .... බඩගිනියි බං.. උදේට කෑවෙත් නෑ.."
"ම්.....මගේ බත් එක උදේ පාන්දරම අපි කෑවනෙ.දවල්ට කන්න කියල රන්දිගෙ බත් එක තියාගත්ත.එහෙනම් දැන් ඒක කමු.ඉන්ටවල් එකටත් වැඩි වෙලාවක් නෑනෙ.."
"අපෝ....මෙච්චර කාලෙකට මූන බලල කතා කරල නැති මෙයා බත් එක දෙයිද.."
වැඩි ගණනකට නොගෙන මා කියූවෙමි.ඇය පාසලට පැමිණි දිනයේ සිට මේ වන තෙක් මා සමග වචනයක් වත් කතා කර නැති අතර එහෙව් කෙනෙක් තමන්ගේ කෑම පාර්සලය මගේ බඩගින්න නිවන්නට දෙතැයි සිතිය නොහැක.
"ම්..හ් කන්න..."  කෝමල සිනාවක් නගා ගත් ඇය බෑගයෙන් ගත් බත් පාර්සලය මට පෑවෑය.
"ආන්න හොද ලමයි...තැන්කූ වේවා..! ඉන්දු උඹලත් වරෙන් කන්න..."
"හා ඉන්න... අත හෝදගෙන එන්නම්.".
 ඉන්දු භාග්‍යා සමග පයිප්පය වෙත ගියාය.නිවෙසින් ගෙන ආ වතුර බෝතලයෙන් අත සෝදාගෙන පැමිණි රන්දී පංති කාමරයේ පසෙකට වී සිටියාය.
"මොකද කන්න අයිඩියා නැද්ද?"
"නෑහ්, අරගොල්ලො එනකන් හිටියෙ"
"උන් ආවම කොලේ තමයි කන්න වෙන්නෙ.විකාර නොකර පැත්තකින් සෙට් වෙයන්.."
මගේ පෙරැත්ත කිරීම නිසා ඇය පැමිණ බත් කන්නට විය.
"මට හිතුනෙ රන්දිගෙ බත් එකේ මස් මාලු හෙම හොදට ඇති කියල.." මම විහිලුවට කීවෙමි.
"ඒ මොකද? " කුතුහලය පිරි දෑසින් ඇය මගේ දෙස බලාගෙන සිටී.

Tuesday, September 12, 2017

රන්දී - පියවර 8

සහන්ගේ උපන්දිනයට පෙර දා දහවල් විවේක කාලයේදී අපි ඔහුව වට කරගත්තෙමු.ඒ වන විටත් මිතුරන්ගෙන්  වැඩි දෙනෙකු සහන්ගේ උපන් දිනය යෙදී ඇති බව දැන උන්හ.අපි එක එකා තමන්ට අවශ්‍ය දේ සහන්ට ලියා දුන්නෙමු.ඔහු සිනාසෙමින් ඒ සියල්ල එක් රැස් කරගත්තේය.අප ලියා දුන් දේ කෙසේ වෙතත් උපන දිනය හේතුවෙන් යම් කිසි සංග්‍රහයක් අපට ලැබෙන බව දන්නා නිසා පසු දින උදෑසනින්ම පාසලට ගොස් සහන් පැමිණෙන තුරු මග බලා සිටියෙමු.නමුත් ඔහු පාසලට පැමිණෙියේ වෙනදාට වඩා ප්‍රමාද වීමෙන් පසුය!
                 පොත් බෑගය ලෙස භාවිතා කල විශාල ගමන් මල්ලේ සහන් විසින් බීම බෝතල දෙකකුත් බිස්කට් පැකැට්ටුවකුත් ගෙනැවිත් තිබූ බව යන්තම් මතක ඇත.කරේ එල්ලාගෙන තිබියදීම බෑගය විවෘත කල කල්ප බීම බෝතලයක් ගෙන දිව ගියේය.එය උදුරා ගැනීමට ඔහු පසුපස තවත් කීප දෙනෙක් දිව ගියෝය.අනෙක් බීම බෝතලය ගත් මා නැවතුනේ පුස්තකාලය පිටුපසය.අරුණත් ලසන්තත් මා පසු පස පැමිණ ඇති බව දැන ගත්තේ දිවීම නතර කර හතිලමින් සිටිය දීය.මහන්සිය නිවෙනතුරු සිටි අපි තිදෙනා බඩ පිරෙනතුරු බීම බීවෙමු.සියල්ල අවසානයේ නැවත මිතුරන් අතරට යෑමට නැගී සිටි ලසන්ත පුදුමයෙන් කෑ ගැසීය.

"ඒයි බලපං... ඇපි හැමෝටම පොස්ටර් ගහපු හුඩාටත් පොස්ටරයක් වැදිලා..."

අරුණත් මමත් සැනින් එතැනට දිව ගියෙමු.මගේ ඡායාරූපයකුත් සමග පුස්ථකාල පිටුපස බිත්තියේ ඉහලටම වන්නට අලවා තිබුණේ මරණ දැන්වීමකි.කාගේ හෝ මරණ දැන්වීමක් ගෙන එයට මගේ පිංතූරයක් අලවා පිලිවෙලකට එය නිර්මාණය කර තිබිණි.
     කලයුත්තක් සිතා ගැනීමට නොහැකිව  මොහොතක් සිටි මා බොහෝ වෙහෙස වීමෙන් පසු එය ගලවා සාක්කුවට දමා ගත්තෙමි.දවස මුලුල්ලේ සැමගේ විහිලුවට ලක් වීමට මට සිදු විය.පුස්ථකාලය පිටු පස බිත්තිය හැරෙන්නට පාසලේ තවත් තැන් කීපයකම පෝස්ටර් අලවා තිබූ නිසා මා ගලවා ගත් පෝස්ටරයෙන් වාසියක් නොවීය.දකින දකින අය පොස්ටර වල ඇති දේවල් ඇසීම නිසා මා තරමක් අපහසුතාවයකට පත් නොවූවාම නොවේ.නමුත් ඒවාට සිනාසෙනවා හැරෙන්නට කල හැක්කක් නැත.



                 උසස් පෙළ අසන්න වන විට බොහෝ අයගේ පාසැල් ගමන දුර්වල විය.සමහර දින වල මුලු විද්‍යා අංශයේම දහතුන ශ්‍රේණියේ පැමිණීම 20 කට අඩු විය.පාසැල් නොපැමිණි අය කලේ සතියේ දින වල උදෑසන සිට පැවැත්වෙන පුණරීක්ෂණ පංති වලට සහභාගී වීමය.තවත් අය නිවෙස් වලට වී පාඩම් කලෝය.මිතුරන් එක එකා සහභාගී වූ පංති එකිනෙකට වෙනස් වූයෙන් අප සැවොම පාසලේදී මුණ ගැසුනේ කලාතුරකිනි.නමුත් තුෂාරත් ගයාන් සහන් හා මා බොහෝ විට පාසලේදී මුණ ගැසුනෙමු.දිනක් මා ඉන්දු සමග කතාබස් කරමින් සිටි තැනට මිතුරන් තිදෙනා පැමිණියෝය.

"කොහෙද බං ගියෙ? අපි හැමතැනම බැලුව    ගයාන් නෝක්කාඩු කියන්නට විය."
"කොහෙ යන්නද බං.. මං මේ ඉන්දි බලන්න ආව.මොකටද මාව හෙව්වෙ?"
"මරන්න ගෙනියන්න! ඇයි? " තුෂාරගේ කට ඉස්සර විය
"මේ බලපං රොෂාන් , දැන් අපේ උන් ඉස්කෝලෙ එන්නෙම නැති තරං.අපි හතර පස් දෙනා විතරක් ඇවිත් කිසි වැඩක් නොකර නිකන්ම ඉදල ගෙදර යන එකේ තේරුමක් නෑනෙ.රිවිෂන් යන්නෙ නැත්නම් ගෙදරට වෙලා හරි පාඩම් කරමු බං.මෙහෙම ගියොත් අපිට වෙන්නෙ රිසල්ට්ස් ආපු දාට අඩන්න තමයි."
මා අසලින් හිදගත් ගයාන් කියවාගෙන ගියේය.

"අපිත් එක්ක වලේ බැහැල හිටියට දැන් හැමෝම ගේමෙ ඉන්නෙ.වැඩියෙන්ම කට්ටිය ඉස්කොලෙ එන්නෙ අගහරුවාදටනෙ අපිත් එදාට සෙට් වෙමු.අනිත් දවස් ටිකේ පාඩම් කරමු බං.වැඩි දෙයක් බැරි උනත් එස් කටු තුනක් වත් දාගත්තෙ නැත්නම් අවුරුදු ගානක් කරපුව නිකන්ම වතුරෙ යනව බං. උඹ පාඩම් කරන්න අපේ ගෙදර වරෙන්.මුං දෙන්නත් එනවලු."
තුෂාර කල යොජනාවට එරෙහි වීමට හැකියාවක් නැත.

"ම්හ්... මේ සතියෙ නම් බැරි වෙයි.ඒත් මං එන්නම්.මටත් විභාගෙ හොද විදියට කර ගන්න ඕනි බං..."
"එහෙනම් ආයෙ ඉස්කෝලෙ එන්නෙ ලබන අගහරුවාද.... හරිනෙ! උඹල එදාට අපේ ගෙදර එන දවස් ටික කියපල්ල.ඕ කේ?"
අපි එදින පාසලෙන් පිටව ගියේ ඊලග අගහරුවාදා  නැවත පාසලට පැමිණෙන පොරොන්දුව පිටය.

Monday, September 11, 2017

රන්දී - පියවර 7

ආසිරිත් මමත් පා පැදියෙන් ගොස් නැවතුනේ එක්තරා හෝටලයක මේසයක් අද්දරය.අපි දෙදෙනා ඇති තරම් ආප්ප කා කිරි තේ බිව්වෙමු.එතැනම ඉද ආසිරි මට කතා කරන්නට විය.

"හුඩා මචං .. උඹ දගලනව වැඩියි වගේ.එග්සෑම් එකට තව ටික දවසයිනෙ තියෙන්නෙ..කට්ට කාගෙන කරල දාමු බං"

"මොකෝ උඹ දාර්ශනික ටෝක් දෙන්නෙ?"

"නෑ බං දවල් සිද්දියෙන් පස්සෙ තමයි මට කල්පනා උනේ මේ හැම එකටම කලින් එග්සෑම් ගොඩ දාගන්න ඔිනි කියල.. ලව් කරල කෙලවුනොත් මොනවත් නෑ.හරියට ඉගෙන ගත්තොත් ඒක හරි තියෙනවනෙ මචං.... ඔය මදෑ.. ආයෙ කෑලි නම් එපා කපේකට."

"හා හා..... බලමුකො කවුද තව ටික දවසකින් අනේ මචං මට අරකිව කොහොම හරි දාගන්න ඕනි කියන්නෙ කියලා....."

"අනේ පල බං.. අරකි හන්ද මාස ගාණක් ඉගෙන ගත්තු  දේවල් ඔලුවට වැටුනෙ නෑ.තව නම් එහෙම වෙන්න ඕනි නෑ.හොද වෙලාවට දැන්ම ඉවරයක් උනේ...."

ආසිරිගේ ආදර කතාව එතැනින් හමාර විය

වෙසක්  පොහොය නිමිත්තෙන් ලැබූණු දින දෙකක පාසල් නිවාඩුව අවසන් වූයේ සිකුරාදාවකින් නිසා එක දිගට දින හතරක නිවාඩුවක් අපට ලැබුණේය.ඉන් පසු ඇරඹුනේ දොලහ ශ්‍රේණිය වෙනුවෙන් නවක සිසුන් ඇතුලත් කර ගැනීමයි.ඔවුන් පැමිණි මුල් දින කීපයම මටත් මගේ මිතුරන් බහුතරයකටත් වැඩ අධික කාලයක් විය.අපි හැමෝම නවක සිසුන් පිළිගැනීමට පංති කාමර වන්දනාවේ ගියෙමු.පාසල ආරම්භ වීමට පෙර පාසලට යන අප කලා, වාණිජ විශයන් සදහා පාසලට පැමිණි නවකයන් සොයා ඇදෙන්නෙමු. විද්‍යා අංශය යටතේ වූ ගණිත, ජීව විද්‍යා හා කෘෂි ක්ෂේත්‍ර වෙනුවෙන් පැමිණි අය නිසැකයෙන්ම අපේ අවධානයට  ලක් වන නිසා අප වැඩිපුර උනන්දු වූයේ කලා හා වාණිජ විශයන් වෙනුවෙන් පැමිණි අයවලුන්ය.
                 ජේත්තුකාරයින් බොහොමයකට විවිධ කෑම වර්ග ගෙන එන ලෙස මා නියෝග කලෙමි.තවත් පිරිසකට ගීතයක් ගායනා කිරීමට හෝ නැටුමක් නැටීමට සිදුවිය.සමහරු අහස දෙස බලාගෙන බොහෝ වේලා ගත කලේ කොයි මොහොතක හෝ අහස කඩා වැටෙනු ඇති බවත් ඊට පෙර ඒ පිලිබදව අප දැනුවත් කරන ලෙස නියෝග කර තිබූ නිසාය.එක්තරා අයෙකුට මිනිසා පලමු වරට හද මත පා තැබූ ආකාරය සජීවීව විස්තර කරන්නට උනන්දු කරවා අපි ඇති සැටි සිනාසුනෙමු.
           මගේ අණ පිලිපැදි බොහෝ දෙනෙක් පසුදාම විවිධ බිස්කට් වර්ග ගෙනැවිත් තිබිණි.ඒවායෙන් කොටසක් ඔවුන්ටද මා ලබා දුන්නෙමි.ඒ හේතුවෙන් අප දුටු විට මුහුණ ඇඹුල් කරගන්නා නවකයින් ඉන් පසු අප වෙත යම් සුහදතාවයක් දක්වන්නට විය.

හැන්දෑවේදී අම්මා හකුරු සමග කහට කෝප්පයක් දුන් විට මට පාසල සිහි විය.ලැබුණු බිස්කට් නිවෙසට ගෙන ආවා නම් සති ගණනක් තේ බීමට එය ප්‍රමාණවත් විය.
"අද ඉස්කෝලෙ හිටිය නම් ලොකූ බිස්කට් කාල මැරෙනව"
"ඒ මොකද?"
"අලුතෙන් ආව එවුන්ට කියල අපි බිස්කට් ගෙන්න ගත්ත"
"පව් ඔයි..තමුසෙට පිස්සුද මල්ලී?"
"චූටි පුතේ..... මං කියල තියෙනව නේද ඔහොම වැඩ කරන්න එපා කියල.. ලමයින්ට බල කරල ගෙන්නන්න ලැජ්ජ නැද්ද..මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ."
අම්මාද කතාවට හවුල් විය.
"නෑ අම්මෙ.හැමෝගෙන්ම නෙවෙයි.ඔය සල්ලි කාරයො වගෙ උඩින් හිටපු අයගෙන් විතරයි "
"කාගෙන්වත් ඔහොම දේවල් හෙම ගෙන්න ගන්නව නෙවෙයි.උඹලගෙ දාංගලේට අහිංසක ලමයි පලි නෑ!"

Friday, September 8, 2017

රන්දී - පියවර 6

අවසාන කාල පරිඡ්ඡේදය ට යෙදී තිබුණේ ඉංග්‍රීසි පාඩමය.ගුරුවරයා අවසන් කාල පරිඡ්ඡේදය වෙනුවෙන් සීනුව නාද වූ පසුවද මද වේලාවක් ගෙන පාඩම අවසන් කර යන්නට ගියේය.
       භෞතික විද්‍යා පාඩම මගහරිමින් සිටි ආසිරි ජනේලයකින් අත දමා මා කැදෙව්වේය.කල්ප ටික දෙනෙකුත් සමග පිට්ටනියට දිව ගියේය.තවත් සමහරු නොයෙක් තැන් වල ට වී කතා කරමින් සිටියහ.මමත් ආසිරිත් ගොඩනැගිල්ලේ පිටුපසින් ගොස් ජීව විද්‍යා පංති කාමරයට වැදුනෙමු.අප පංතියට ඇතුලුවෙනවා දුටු ඉන්දූ හුන් තැනින් නැගිට විත් අපට එකතු වුවාය.

"පලයං බං මං හරි අමාරුවෙන් කට්ටියම ලයිබ්‍රියට යද්දි මේකිව නතර කර ගත්තෙ"
"කෝ කෝ.. මෙහෙ වරෙන්..."

ඉන්දු ආසිරිව කැදවාගෙන ගොස් රන්දී අසලින් වාඩි කරවා පංති කාමරයෙන් පිටත තිබූ පුටුවක් මත සිටි මා වෙත ආවාය.ආසිරි තමන්ගේ කාර්යය අවසන් කර ගන්නා තෙක්  අපි ආගිය තොරතුරු කතා බස් කරමින් සිටියෙමු.

"මොකද රොෂාන් ඔයා කෙල්ලෙක් දා ගන්න ට්‍රයි නොකලේ? "
 ඉන්දු හදිසියේ ඇසූ පැනයෙන් මා තිගැස්සී ගියෙමි.

"ඇයි මොකද?.. අපි නොදන්නව උනාට කොල්ල පොඩි කාලෙදි බූට් පාරක් වත් කාලද...?"

"අනේ යනව ඉන්දු.. ඔයා මගෙ හොදම යාලුවන්ගෙන් කෙනෙක්නෙ.ඔයා නොදන්න දෙයක් නෑ.."

"හා.. හොදයි එහෙනම් මහණ වෙන්නද කල්පනාව? " ඉන්දූ ගෙන් ගැලවීමක් නැත.

"නෑ ඉන්දු.. කෙල්ලන්ට හිත නොයනව නෙවෙයි..ඒත් දැන්ම ඔව්ව බෑ.."

"අර මොකෝ?"

"අපෝ කෙල්ලො යාලු කර ගත්තම මහ වියදම් ගොඩක්නෙ.ගෙදර තත්වෙ නිසා කෙල්ලො යාලු කරගන්නව නෙවෙයි විභාගෙත් යාකාට ගියදෙන් කියල රස්සාවක් කරන්න හිතෙන්නෙ.."
 මං ඔහේ කියවාගෙන ගියෙමි.

"ෂාහ්! මරු අයිඩියානෙ ඔයාට තියෙන්නෙ... ඒක නෙවෙයි රොෂාන්  මොකද ගෙදර තියෙන තත්වෙ කිව්වෙ?"
විටෙක ඉන්දු හැසිරෙන්නේ මිතුරු කමට එහා ගිය සහෝදරියක් මෙනි.මා හැම විටම ඒ බැදීමට ආදරය කරමි.

"ඒව කියල වැඩක් නෑ ඉන්දූ ... ප්‍රශ්න පැත්තක  මමයි අක්කයි අම්මයි තාත්තයි ගෙදර අනිත් පැත්තෙ... ඉතිං අපි මීට් වෙනව අඩුයි.ඒව ඔහේ තියෙනව... අපි ඔහේ ඉන්නව... "

"මෝඩයෝ... විහිලු නෙවෙයි.අවුලක් තියෙනව නම් කියනව.."

"නෑ ඉන්දු ... ඕව මහ ලොකු දේවල් නෙවෙයි.. අපි ඒ ගැන වෙන දවසක කයියක් ගහමුකො.."

"කෝ රොෂාන් ආසිරි....? මිනිහ දැන්මම අරකි අරන් පැනල ගිහින්ද දන්නෙ නෑ.."

ඉන්දු කී නිසා මම පංති කාමරයට හිස යොමා බැලුවෙමි.මගේ ඡායාව දුටු සැනින් ආසිරි හුන් තැනින් නැගිට මාද ඇදගෙන ඉවතට යන්නට විය.ඉන්දූට අත වනමින් මා ආසිරි සමග එක් වුනෙමි.

"ආසිරි මොකෝ බං... මොකද නිකන් අවුලෙන් වගේ..? "

"වැඩක් නෑ බං..කොච්චර කිවුවත් ඒකි බෑ කියනවනෙ..." ආසිරි අදුරු වූ මුහුණින් කියවාගෙන යයි

"ඇයි ඒකි යාලුද?"

"නැහැලු .. ඒ උනාට ඒකි මට කැමති නෑලු."

"අතෑරල දාපං බං... එක දවසින් ඕව හරියන්නෙ නෑනෙ.තව ටික දවසකින් ආයෙ අහමු.එතකොට ඔක්කොම හරියයි."

"ඕනි නෑ බං.. මං එතනදිම තීරණයක් ගත්ත.මට ඕන නැති ලවක් නෑ... තව පොඩි කාලෙනෙ තියෙන්නෙ.. මේ විකාර ඔක්කොම අතෑරල දාල පාඩම් කරමු.."
මට ආසිරි ගැන පුදුම සිතුනි.විනාඩි කීපයකින් මිනිසෙකු වෙනස් වූ තරමක්.! අප කතා කරමින් සිටියදීම පාසල අවසන් වීමට සීනුව නාද වූ නිසා පංති කාමරය වෙත යන්නට සිදු විය. ගාථාව කියද්දීත් මම ආසිරිව කතාවට ඈදා ගතිමි.අහිමි වූ ප්‍රේමය නිසා තනියෙන් කල්පනා කර දුක්වන්නට ඉඩ තැබිය යුතු නොවේ.
  බස් නැවතුම්පලේදී ආසිරි මට කතා කර හවස නගරයට එන්නැයි කීවේය.නිවෙසට ගොස් අම්මාගෙන් අවසර ගෙන පා පැදියට නැගී කතිකා කර ගත් ස්ථානයට මා යන විටත් ඔහු එතැනට පැමිණ සිටියේය..

"උඹ සයිකලෙන්ම ආව එක හොදයි.. යමං!  "  ආසිරි පා පැදියට නැගුනේය.