Tuesday, February 12, 2019

අරුන්, මේ උඹට

අරුන් මිත්‍රයා,
මගේ හිත කියන්නෙම උඹ යන්න හදන්නෙ වැරදි ගමනක් කියල.මෙච්චර කාලයක් උතුරෙ ඉන්න උඹලගේ ප්‍රශ්න දැනෙන බාසාවෙන් අපිට කියන්න එකෙක් හිටියෙ නෑ.එහෙව් එකේ කණට ගහන්න වගේ උඹ කියවන අඩු පාඩු, දුක් ගැනවිලි අපිට දැනෙන්නෙ ඊයම් බරු වලටත් වඩා සැරට.පාලකයො අපෙන් වසන් කරපු දේවල් බැමි කඩාගෙන එළියට දැම්මට දෙමළ මිනිස්සු තරම්ම සිංහල මමත් උඹට ගරු කරනව. දෙමළ දේශපාලනේ උරුමක්කාරයො වගේ පෙනී ඉන්න  පක්ෂ දෙක තුනක දේශපාලන හොරු ටිකගෙ නිරුවත හෙලි කරපු එක නම් සුපිරි.හැබැයි මට ඒක පේන්නෙ කුල වාදය ඉහ වහා ගිය උතුරෙ අඩු කුලේ පීඩිතයන්ගෙ නැගිටීමක් විදියට.උඹේ ටාගට් එක ඒ උසස් කුලේ සුපිරි පැලැන්තිය.

ආවා කල්ලිය හෝ මොකක් හරි නමින් තියෙන උඹේ කණ්ඩායම කඩු කිණිසි අරන් විසදන්න හදන සමාජ අසාධාරනේ මොකක්ද ඇහුවම උඹට ඒකට උත්තර නෑ.උතුරෙ උනත් දකුණෙ උනත් නීතියක් අධිකරණ පද්ධතියක් (ඒව ගැන කතා කරල වැඩක් නැති එක වෙනම කතාවක්) තියෙන රටක එහෙම ප්‍රශ්න විසදන එක කිසිම ප්‍රබුද්ධ සමාජයක් අනුමත කරන්නෙ නෑ. හුදකලා සිද්ධි කියල උඹම  කියන ඒවට උඹේ මැදිහත්වීම හරි අමුතුයි මචං.පොලීසි ගානෙ දුවන්න ලෝයර්ලට ලක්ස ගණන් ගෙවන්න (හිරු බලයෙදි උඹ පිලිගත්ත) උඹට කොහෙන් සල්ලි එනවද මං අහන්නෙ නෑ.දැනට ඒක වැඩක් නෑ කියමුකො.ඉතිං මට මෙව්ව එක්ක මැවෙන්නෙම දෙමළ ත්‍රස්තවාදෙ මුල්ම කාලෙ උතුරෙ සිද්ද උනා කියල අහල, කියවල තියෙන ජවනිකාමයි.ආවා ගෲප් කෙසේ වෙතත් මාස්ටර් ගෙ කල්ලිය කියල එකක් බිහිවෙන්න තියෙන අවස්ථාව 80% ක් විතර කියල මට හිතෙනව.

සිස්ටම් එක වෙනස් කරන්න නම් නරා වලට බහින්නම වෙනව මචං.උතුරෙ සාම්ප්‍රදායික දේශපාලනෙන් උඹට තැනක් තිබ්බත් ගන්න එපා.වරෙන් ජාතික දේශපාලනේට.උඹේ අදහස් වලට ගොඩක්ම ලග ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හේත්තු වෙලා උන්ගෙන් වැඩ ගනින්.උතුරට වෙලා කෑ ගහල තමන්ගෙ වාසියට මොනව හරි කඩා වඩා ගන්න දේශපාලනේට තිත තියල ප්‍රධාන ප්‍රවාහයෙන් වැඩක් ගනින්.ඒ හයියෙන් උතුරෙ ඉන්න අපේම එවුන්ට අඩු තරමෙ දකුණෙ අපිට තියෙන සොච්චම් පහසුකම් ටිකවත් දිනල දියන්.දකුණෙ සිහල එවුන් තමන්ගෙ සිංහල එවුන්ටත් උතුරෙ දෙමළු තමන්ගෙ දෙමළ එවුන්ටත් නොකරන දේවල් දකුණෙ එවුන් උතුරට කරල දෙයි කියල විශ්වාස කරන්න එපා.රේටිංග් වැඩි කරගන්න මීඩියා වලින් දෙන ටොපී කන්නත් එපා.

ජය!
සිස්ටම් එකෙන් ෆක් වෙලා ඉන්න තවත් එක දකුණෙ එකෙක්.

Tuesday, February 5, 2019

සංචරණයට සිරි ලංකා

ලෝකයේ බොහෝ සංචාරක දර්ශක වල 2019 වසර වෙනුවෙන් සංචාරය කල යුතුම රටවල් ලැයිස්තුවේ මුල් තැන ලැබුණේ ලංකාවටය.ඒ මෙහි ඇති පහසුකම් වලට වඩා ස්වභාවිකව අපට ලැබී ඇති දායාද වලට පිං සිදු වීමටය.ලංකාවේ තවමත් හරි හමං කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු වී නැත.ස්වාභාවික සෞන්දර්යයත් නවීනත්වයත් එක් කරගනිමින් තායිලන්තය අද සිටින්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.නිසි වැඩපිලිවෙලක් නැතිකමින් රටම අභාවයට යද්දී සංචාරක කර්මාන්තය පමණක් යහ මග යතැයි අපේක්ෂා කිරීමෙන් පලක් නැත.කෙසේ වෙතත් රටට පැමිණෙන විදේශිකයෙක් නැවත මේ රටට එන්නට නොසිතන මට්ටමට වැඩ කරන්නට ලංකාවේ ඉන්නා මිනිසුන්ගේ හැසිරීමට හැකි වී ඇත.පොදු සේවා භාවිත කරන විදේශිකයන් සහ සුද්දෙන්ම ගසා කෑමට ලක් වෙමින් ඇත.ප්‍රධාන නගර ආශ්‍රිත  පිරිසිදු පොදු වැසිකිලියක් සොයා ගැනීම කලු නික සොයන්නා තරමට අපහසු වී ඇත.රටට විදේශ විනිමට සිමාවකින් තොරව ඉපයිය හැකි කර්මාන්තයකට රටක් වශයෙනුත්,රජයක් වශයෙනුත් අප ප්‍රමුඛත්වය දී ඇත්තේ එලෙසය.
ගුවන් තොටුපටලින් මෙරටට ඇතුලු වන විදේශීය සංචාරකයන්ට රටේ තොරතුරු සදහන් ව ඇති යාවත්කාලීන වූ තොරතුරු පත්‍රිකා නිකුත් කරන්නේ නැත.ඔවුන්ගේ පහසුව සදහා හදිසි සේවා දුරකතන අංක හෝ අදාල තොරතුරු ලබා දෙන්නේ නැත.සංචාරකයන් අපහසුතාවය පත් කරන පුද්ගලයන්ට එරෙහිව ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, යම් අපහසුතාවයකට මුහුණ දෙන විදේශිකයකුට තමන්ගේ චාරිකාවට අවහිර නොවී පැමිණිලි හා සාක්ෂි ඉදිරිපත් කරන්නට මාර්ගයක් නැත.අන්තර්ජාලය මගින් කටයුතු කරන්නට බොහෝ නීතිය ක්‍රියාමක කරන ආයතන තවමත් බියකින් පසුවේ.
සංචාරය අවසානයේ රටින් පිටවන මොහොතේදී තමන් ලංකාවේදි මුහුණ දුන් අප්‍රසන්න අතිදැකීම් පිලිබදව පැමිණිලි කරන්නට හෝ සාක්ෂි ලබා දෙන්නට ගුවන්තොටුපල තුල පහසුකම් නැත.
ඉතා සුලු උත්සාහයකින් විශාල ප්‍රතිලාභ අතිකරගත හැකි අවස්ථාවන් රටක් වශයෙන් අප අහිමි කරගන්නේ එලෙසය.