Monday, November 16, 2015

උන්ගෙ මාස්ටර් ප්ලෑන

මේ රටේ සිද්ද මෑත කාලෙදි සිද්ධ වෙච්ච දේශපාලන පරිවර්තන සියල්ල එකම සැලසුමක් කියල හිතෙන්නෙ මට විතරද මන්ද.ඒ සැලසුම සකස් කරද්දි ඒකට සහය දෙන පාර්ශව වලට දුන්නු පොරොන්දු, සැලසුම සාර්ථක වීමෙන් පස්සෙ එකින් එක ඉෂ්ට කරමින් ඉන්න එක එක්කො කාටවත් තේරෙන්නෙ නෑ.එහෙම නැත්තම් තේරුණත් නොතේරුනා වගේ ඉන්නවද දන්නෙ නෑ.

පහුගිය අවුරුදු 5ක් 6ක් තිස්සෙ බන්ධනාගාර ගත කරල හිටිය කොටි සැක කරුවන් එකම දවසක තමන්ව නිදහස් කරන්න කියල උපවාසයක් පටන් ගත්තෙ හරියට කතා වෙලා වගේ.(එහි සැලසුම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ අනු දැනුම ඇතිව දෙමළ ජාතික සංධානය විසින් කලා යැයි සිතේ නම් වහා එම සිතුවිල්ල යටපත් කර අමතක කර දමන්න)ඒ උපවාසෙ යන අතරෙ රජයේ ප්‍රභලයන් සමාජයේ මතය වෙනස් කරමින් කොටි සැක කරවන් නිදහස් කිරීම සාධාරණීය කරණය කරන්න උත්සාහ කලෙත් තුඡ්ඡ ඒත් නිර්ලජ්ජිත විදියට.උතුර නැගෙනහිර දෙපලාතෙ මිනිස්සු උන් නිදහස් කරන්න කියල හර්තාල් කලෙත් කාගෙවත් උසි ගැන්වීමකට කියල හිතන්නවත් එපා.ඒ අතරෙ විශාල මාධ්‍ය සංදර්ශනයක් තියල පහුගිය රජයෙ ආරක්ෂක ප්‍රධානීන් අත්අඩංගුවට ගන්නට ඇමට ගත්තු ඇවන්ගාඩ් සමාගම දැන් විනාශ කරල ඉවරයි. ඒ කලේ හුදෙක්ම මාධ්‍ය සංදර්ශනයක් විතරමයි කියල කිව්වෙ වර්තමාන රජයේ හිටපු කැබිනට් ඇමතිවරයෙක්.ඔහුගේ එම ප්‍රකාශය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් කරවන්න තරම් ආන්දෝලාත්මක උනා.
      දැන්  ඒ ව්‍යාපාරය තමන් වෙත පවරා ගන්නට කුප්‍රකට ව්‍යාපාරිකයෙක් සැලසුම් කරමින් ඉන්නව කියන එකත් ප්‍රසිද්ද රහසක්.මේ හැම එකක් ම මීට වසර ගණනාවකට කලින් සැලසුම් කරපුව.ඒ ඔක්කොම නියම පිලිවෙලට ඉෂ්ට වෙමින් යනව.මේව්ව සියල්ල සිද්ධ වෙද්දි පාලකයො ජනතාවට දිනපතා චූන් දෙනව.අද ගහපු තැටිය හෙට වෙද්දි හොදින් වදින්නෙ නැත්නම් ඊටත් වඩා හොද විදියෙ තැටියක් ගහන එක ගැන විතරයි උන් හිතන්නෙ.ඌ ඇත්තටම පඹයෙක්.ඇමතිකමකට එහා ගිය දෙයක් කරන්න බැරි බව මේ පොඩි කාලෙට ඔප්පු කරල ඉවරයි!!! නූල තියෙන්නෙ කොහෙවත් එකෙක්ගෙ අතේ.උන් අදිනව.මුන්දැ වැනෙනව!!!

Tuesday, November 3, 2015

උපාධි කඩ?

මට හිතාගන්න බෑ මේ රටේ රජයේ විශ්ව විද්‍යාල වලට යන ළමයි ඇයි මේ තරම් පෞද්ගලික විශ්ව විද්‍යාල මේ රටේ තියෙනවට අකමැති කියල.ඒ අයගෙ ප්‍රධාන තර්කයක් තමයි ධනවත් නමුත් නූගත් අයට උපාධියක් ලබා ගන්න අවස්ථාවක් දෙනව කියන එක.මං හිතන්නෙ නෑ කිසිම විශ්ව විද්‍යාලයකින් තමන්ගෙ තත්වය පහළ දාගන්න කැමති කැමති විදියට උපාධි දෙයි කියල.කවුරු කලත් යම් නිර්ණායක උඩ ඉදන් තමයි උපාධියක් පිරිණමන්නෙ.ඒ වගෙම රජයේ විශ්ව විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබන්න බැරි, නමුත් ඒකට උවමනාවක් තියෙන අයට ඒ වෙනුවෙන් අවස්ථාවන් වැඩි කලාම වාසිය තියෙන්නෙ මේ රටටමයි.උසස් අධ්‍යාපනය ලැබූ පිරිසේ ප්‍රමාණය වැඩි වීම නිසා මේ රට හැමදාම තියෙන පහළ අඩියෙන් යම් ප්‍රමාණයක් වත් ඉහළට ගන්න පුලුවන් වෙයි.මේ රටේ දැනටත් පුද්ගලික විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වෙනව.ඒවගෙන් උපාධිධාරීන් දහස් ගණනක් වාර්ෂිකව රැකියා වෙළදපලට එනව.නමුත් එතැනදි රජයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරීන් අභිබවමින් අවස්ථාවන් ලැබෙන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට.ඒ ඔවුන් මුදල් වියදම් කරල ඉගෙන ගත්තු හන්ද නෙවෙයි.ඔවුන්ගෙ දැනුම පුලුල් නිසා.මේ ඇත්තට අපි මුහුණ දෙන්න ඕන.එහෙම නැතුව පෙලපාලි උද්ඝෝෂන උපවාස කරල තවත් කෙනෙක් යම් දෙයක් ඉගෙන ගන්නවට විරුද්ධ වෙලා නෙවෙයි.

Thursday, October 15, 2015

අනේ මන්ද.......

මට මේ රටේ ක්‍රමය ගැන ඇත්තේ විවේචනයකි.ආණ්ඩුව වෙනස් වීමෙන් එය වෙනස් වන්නේ නැත.මා වටේ සිටි බොහෝ පිරිසක් එක් පසෙක යත්දී පසුගිය ජනවාරි 8 වැනිදා මා වෙනත් මගක ගියේද ඒ විවේචනය නිසාය.මා සිතා සිටියේ පැවති ක්‍රමය සහ මුලි්න්ම වෙනස් කිරීමට අවශ්‍ය නිසා බහුතර මිනිසුන් ප්‍රමාණයක් ඒ වෙනස උදා කරගත් බවයි.නමුත් තවමත් පෙනෙන්නට තිබෙන්නේ පැවති ක්‍රමය නොවෙනස්ව ඒ ආකාරයෙන්ම ගලාගෙන යන බවයි.සිදු වූ එකම වෙනස කප්පිත්තා සහ නාවිකයන් කිහිප දෙනෙකු වෙනස් වීම පමණි.

වෙලේ සුදා අල්ලා ගැනීමෙන් පසු මේ රටට මහා පරිමාණයෙන් මත් කුඩු ගෙන ආවේ කෙසේද, එසේ කටයුතු කරන්නට උදව් උපකාර කලේ කවුරුන්ද යන්න රටට හෙලි විය යුතුව තිබිණි.කොටදෙණියාවේදී සිදු වූ අමානුශික ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත්තවුන්ටත් නොසෑහෙන ලෙස පහර දී ප්‍රශ්න කල පොලීසිය දැන් වෙලේ සුදාට උදව් උපකාර කල අයවලුන් ගැන හාන්කවිසියක කතාවක් නැතිව ඔහු එල්ලා මැරීමට තීන්දු කර හමාරය.මේ රටේ හැටි එහෙමය. රජයේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් නිසැකයෙන්මවෙලේ සුදාට උදව් කල ලැයිස්තුවේ සිටිනවා ඇත.එසේ හෙයින්  මේ සියල්ල දේශපාලනික කාරණාය.කලින් පාලකයා සිටියේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමක් සිදු විය නොහැක.ඉදින් මේ රටේ මිනිසුන් කිසි දෙයක් වෙනස් කර නැත!
 
 එක එකාගේ රස කතා අසමින් මුලු රටම චූන් වී ඇත.තම තමන් ගේ ශක්ති ප්‍රමාණයෙන් අපි සිහින ලෝක ගොඩ නගාගෙන එතුල ජීවත් වෙමින් ඇත.සියලු දේ කිහිප දෙනෙකුගේ තීන්දු තීරණ මත ක්‍රියාත්මක වන බව අප දන්නේ නැත.දැනගත්තද එය විශ්වාස කරන්නේ ද නැත.ඒ කීප දෙනාට පක්ෂයක් ආගමක් නැති නිසා අපේ සිතුවිල්ලට අභියෝගයක් නැත.

Tuesday, September 29, 2015

මායාව

අපේ රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූයේ මීට වසර හයකට පෙරාතුවදීය.දශක තුනක් තිස්සේ ඇදී ගිය ත්‍රස්ථවාදය නිසා උල්ලංඝනය වූ රටේ සමස්ථ ජනතාවගේ මානව හිමිකම් ගැන වචනයක් කතා කරන්නට එවකට ජාත්‍යන්තරයේ කිසිදු රටක් ඉදිරිපත් වූයේ නැත.ලගම හිතවතා වූ ඉන්දියාව පවා යෝජනා කලේ සුලු ජාතීන් යැයි හදුන්වා ගන්නා පිරිසට බලය බෙදා දෙන ලෙසය.තත්වය එසේ තිබියදී මොකක් නමුත් හේතුවකට ත්‍රස්ථවාදීන් යුධමය වශයෙන් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා රජයට හැකි විය.එතැන් පටන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාවල් විසින් ලංකාව දෙසට ඇගිල්ල දිගු කරන්නට පටන් ගත්තේ යුද්ධය අවසාන භාගයේදී ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කලා යැයි පවසමිනි.

  යුධ අපරාධ කතා බහ සමග ජාත්‍යන්තරයේ යම් යම් එදිරිවාදීකම් සහිතව ශ්‍රී ලංකාව වසර ගණනාවක් දුෂ්කර ගමනක පැමිණියේය.. එම දුෂ්කර ගමනේ නිමාව සටහන් වන්නේ ඉකුත් ජනවාරි මාසයේ දී මෙරට සිදු වූ දේශපාලන පෙරලියත් සමගය.එතැන් පටන් අපට එරෙහිව සිටි ජාත්‍යන්තරය ලංකාව වෙත යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කලෝය.බොහෝ අය එය නව පාලකයන්ගේ ජයග්‍රහනයක් ලෙස දකින්නට උත්සාහ කලද බල පෙරලියට පුරෝගාමී වූ පිරිස තමන්ගේ නියෝජිතයන්ට හුදෙක් සහන සැලසීම විනා අන් දෙයක් නොවන බව තේරුම් ගත යුතුය.එසේම අපට යුධ අපරාධ චෝදනා ඉතා දැඩිව එල්ල කල එම පිරිස මේ වන විට එම චෝදනා යම්කිසි ලිහිල් භාවයකින් යුත්ව ඉදිරිපත් කරන්නේ සරදමට මෙනි.යුද්ධය කෙරුණු කාලයේදී මානව හිමිකම් උල්ලංගනය වූයේ නම් ඊට වසර ගණනාවකට පසු සිදු වූ බල පෙරලියක් නිසා එහි බරපතල කම අඩු වෙන්නට හැකියාවක් නැත.එලෙස යම් පාර්ශවයක් අගතියට පත් වූයේ නම් ඔවුන්ට සාධාරණයක් ඉටු වූයේද නැත.බටහිර රටවල් විසින් අනුගමනය කරන එම දෙබිඩි ප්‍රතිපත්තිය මගින්ම ඔවුන් මතු කරන්නට උත්සාහ කරන චෝදනා වල සත්‍ය භාවය අභියෝගයට ලක් කරමින් ඇත.


      මේ වන විට සිදු වූවා යැයි පවසන මානව හිමිකම් උල්ලංගනය වීම් පිලිබද පරීක්ෂණයක් කිරීම සදහා දෙමුහුන් හෙවත් ජාත්‍යන්තර හා දේශීය විනිසුරුවරුන්ගෙන් යුක්ත අධිකරණයක් පිහිටුවිය යුතු බව ජාත්‍යන්තරය විසින් වර්ථමාන ශ්‍රී ලංකා රජයට යෝජනා කරමින් සිටී.ශ්‍රී ලංකා රජය දෙසින්ද ඊට කොළ එළියක් දක්වා ඇත.එවිට මීට කලින් සිටි පාලකයන් විසින් දේශපාලන ඇගිලි ගැසීම් වලින් ස්වාධීනත්වය කෙලෙසවූවා යැයි පැවසූ, නව රජය මගින් එකී ස්වාධීනත්වය තහවුරු කර ආරක්ෂා කරමින් සිටින බව පවසන්නා වූද රටේ පවතින අධිකරණ පද්ධතිය තවදුරටත් අවිශ්වාස කරන බව ජාත්‍යන්තරයත් ශ්‍රී ලංකා රජයත් එකවිට පිලිගෙන ඇත බව වැටහෙනවා ඇත.සියල්ල සිදු වන්නේ කලින් සැලසුම් කර ක්‍රියාත්මක කරන වටපිටාවක බව හොදින් නිරීක්ෂණය කරන අයෙකුට වැටහෙනවා ඇත.


          යුද්ධය අවසාන වීමත් සමග ශ්‍රී ලංකාව දෙසට එල්ල කෙරුණු මානව හිමි කම් කඩවීමේ චෝදනා වලට රාජපක්ෂ රජය නිවැරදිව මුහුණ දුන්නේ නැත.කල්පනා කාරීව එම චෝදනා වලට පිලිතුරු දෙනවා වෙනුවට රාජපක්ෂ රජය කලේ සුපුරුදු මුරණ්ඩු ගතියෙන් එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමය.ඇමරිකාව චීනය හෝ රුසියාව වැනි රටක් එසේ හැසිරුනේ නම් කිසිදු ප්‍රශ්නයක් වන්නේ නැත.ඔවුන් ලෝකයේ සුපිරි බලවතුන්ය.නමුත් තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වශයෙන් අපට තවමත් ඕනෑවට වඩා දරදඩු වීමට අපහසුය.දේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත කොමිසමක් හමුවේ සාධාරනව පරීක්ෂණයක් සිදු කර ශ්‍රී ලංකා රජයට සම්බන්ධ කවුරුන් හෝ හිතාමතා මානව හිමිකම් කඩකර ඇත්නම් (අප දන්නා පරිදි ආරක්ෂක හමුදාවන් ඕනෑවටත් වඩා මානව හිමිකම් ආරක්ෂා කලෝය.එසේ හෙයින් සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අපහසුතාවක් නොවේ) ඔවුන්ට දඩුවම් දීම හෝ තනතුරු වලින් නෙරපා හැර ජාත්‍යන්තරයට ඕන කුදයක් ගසා ගන්නට යැයි පැවසීමට තිබූ අවස්ථාව රාජපක්ෂ රජය මගහැර ගත්තේය.දැන් සියල්ල සිදු වී හමාරය.වෙනයම් න්‍යාය පත්‍ර සහිතව පැමිණෙන විදේශිය විනිසුරන් සහිතව පරීක්ෂණයක් කරනවා වෙනුවට දේශීය මධ්‍යස්ථ  විනිසුරන් සහිතව සිදු වූයේ යැයි පවසන කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා මණ්ඩලයක් පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි විය යුතුය.එම මණ්ඩලය ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ගේ හා ඔවුන් ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය 100%ක් තහවුරු කරගන්නට මගක් තැනිය යුතුය.එසේ නොමැති වුවහොත් සිදුවන්නේ තමන්ට හිතැති විනිසුරු වරුන් මෙරටට එවා ඔවුන් මගින් දැනටමත් ජාත්‍යන්තරය විසින් හිතුමතේ එළඹ ඇති නිගමනයන් ක්‍රියාත්මක වීම පමණි.
               එම භයානක සූදානමට රටක් වශයෙන් අප එරෙහි විය යුතුය.වර්ථමාන පාලකයින් තමන් යුද්ධයට සෘජු ව හෝ වක්‍රව දායකත්වය නොදුන් නිසා ජාත්‍යන්තරය සතුටු කිරීමට, යෝජිත හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කලහොත් එය නැවත මේ රට ලේ විලක් කිරීමට යන මාවතේ පලමු පස් පිඩ කැපුවා හා සමානය.

Tuesday, September 22, 2015

අපේ රට

අපේ රටේ සිටින්නේ මහා අමුතු ජීවී කොට්ඨාසයකි.උන්ට කන්නට ලැබෙන්නේ නම් වෙන කිසි දෙයක් කමකට නැත.මානව හිමිකම් සමුලුවෙන් අපට එරෙහිව වාර්තාවක් ගෙන එද්දී කිසි එකෙක් ඒකට සාක්කි දුන්න එවුන්ගේ විශ්වාසය අවංක කම ගැන ප්‍රශ්න කරන්නේ නැත.කොහේ හෝ එකෙක් වෙල් ඩන් මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් කියනවා අසන්නට ඇති ආසාව නිසා අපි කරන්නේ කොහේ හෝ එකෙක් හිතුමතේ හදපු වාර්ථාවක් ගැන දැගලීමය

  අනෙක නම් මේ රට බෞද්ධ රටක් නිසා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සුදුසු නොවන බවය.මේ රටේ එවුන් ආගමට දහමට අනුව ජීවත් වෙනවා නම් අහස පොළව නුහුලන අපරාධ දිනෙන් දින ඉහළ යන්නේ නැත.කිරි සප්පයන් දූෂණය කර මරා දමන්නේ නැත.හන්දියක් හන්දියක් ගානේ පිළිම වහන්සේලා හදන්නේද නැත.මරණ දඩුවම ක්‍රියාත්මක කලා කියා අපට නැතිවෙන මගුලකුත් නැත.

  අපි තව තවත් එක එකා සංතෝස කරමින් ජීවත් වෙමු.ඒක හෙන ආතල්ය.කොහෙන් හරි රටට සල්ලි ටිකක් ලැබෙන්නේය.අපි ඒවායින් කමු බොමු ප්‍රීති වෙමු.!!!

Sunday, September 20, 2015

ආන්න බලන්න මෛත්‍රිය

තවත් මැතිවරණයක් හමාර වී ඇත.බොහෝ දෙනෙක් අපේක්ෂා නොකලද අගෝස්තු 17 වැනිදාට පෙර රට කරවූ අය බලාපොරොත්තු වූ ප්‍රතිඵලයම ලැබී ඇත.නමුත් මට පෙනේන්නේ එය මනා සැලසුමක තවත් පියවරක් වශයෙනි.පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ව ජනාධිපති පුටුවෙන් බිමට ඇද දමන්නට සැලසුම සකස් කර තිබුණේ ඊට වසර 3කට ඉහතදී බැව් එම සැලසුමේ දැවැන්න කොටස්කරුවකු වූ තුසිත හල්ලොලුව වීර කාව්‍යයක් සේ කොටසින් කොටස තවමත් මාධ්‍යයට විස්තර කරමින් සිටී.එම සැලසුමට සම්බන්ධ වූ එවක විපක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂයේ අයගේ නම් ගම්ද බිදෙන් බිද එළියට එමින් තිබේ.සැලසුම කෙසේ වී දැයි වටහා ගැනීමට එම සැලසුමට සම්බන්ධව සිටි මර්වින් සිල්වා,රාජිත සේනාරත්න,මංගල සමරවීර යන අයගේ නම් දුටු පමණින් සාධාරන පුද්ගලකුට හැකියාව ඇත.මහින්දගේ දෙවැනි ධුර කාලයේ සිදු වූ සමහරක් අත්තනෝමතික ක්‍රියා සදහා සෘජුව ම ඉහත කී සැලසුමට සම්බන්ධව ක්‍රියා කල පිරිස් වග කිව යුතු බව සරල තර්කයකි.නමුත් එම ක්‍රියා සාධාරනීය කරණය කිරීම හා ඒවාට නිසි දඩුවම් නොදීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීමේ වගකීමෙන් කිසි දිනෙක ඔහුට ගැලවීමක් නොවේ.වසර 50 කට අධික දේශපාලන අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂ වරද්දා ගත්තේ එතැනදීය.ඔහු සිතා සිටියේ සියල්ලන්ම තමා ජනාධිපති ලෙස කරතබාගෙන යනු ඇති බවය.

එසේම තුන්වැනි ලෝකයේ කුඩා කොදෙව්වක ජනාධිපති වරයකු ලෙස සපුරා ගැනීමට අතිශයින් අපහසු සංවර්ධන ආර්ථික මෙන්ම ගෝලීය ජයග්‍රහන රැසක් මහින්ද රාජපක්ෂ ලබාගෙන තිබීමත් ඔහු බටහිර වෙනුවට පෙරදිග  බලවතුන්ට නැඹුරු වීමත් නිසා විශේෂයෙන් ඇමරිකාව පුමුඛ බටහිර බලවතුන්ගේ උවමනාවල් ඒ ආකාරයෙන්ම මේ රට තුල ක්‍රියාත්මක කිරීමට මහින්දගේ පාලනය තුල දී නොහැකි වීමත් නිසා ජාත්‍යන්තර කොටි ත්‍රස්තවාදී මත දරන්නන්ගේ සහයෝගයද ඇතිව ඊනියා මානව හිමිකම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් මහින්දත් ශ්‍රී ලංකාවත් හුදෙකලා කිරීමට බොහෝ රටවල් වලට උවමනාවක් වී තිබුණි.එසේම හැකි ඉක්මණින් රටේ පාලනය වෙනස් කිරීමට ඔවුන් දැඩි අවධානයෙන් කටයුතු කර ඇති බව පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව කොන්ග්‍රස් මණ්ඩලයට විශේෂ වාර්ථාවක් ඉදිරිපත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරයා කල කථාවෙන් තේරුම් ගත හැක.ඉන්දියානු සාගර කලාපය තුල ඇමෙරිකාව හෝ ඔවුන්ට හිතවත් ඉන්දියාව වෙනුවට චීනය තම බලය තහවුරු කර ගැනීම ඉන්දියාවත් ඇමෙරිකාවත් නොරුස්සන කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.මහින්දගේ ක්‍රමයට (අඩුම තරමේ 60% ක ප්‍රමාණයක් වත් මෙරට බහුතර ජනයා අනුමත කරන) රට කරගෙන යෑමට බටහිර රටවල් උපකාර නොකල අවධියක තවමත් ලෝකයේ බලය තහවුරු කර ගනිමින් සිටින එනිසාම උපාය මාර්ගිකව අමෙරිකාවට සාපේක්ෂව අඩු කොන්දේසි ප්‍රමාණයක් සහිතව සහයෝගය දෙන චීනය දෙසට නැඹුරු වීම හැර මහින්දට වෙනත් විකල්පයක් නොවීය.එනිසාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල යම් ශක්තියක් ඇති කරගන්නටත් ලෝකයම ආර්ථික අවපාතයක ගිලුනු 2007 වසර තුල ශ්‍රී ලංකාවට යම් ස්ථාවර බවත් ඇතුව සිටීමටත් හැකි විය.මේ සියලු කාරණා අතර තිස්වසරක යුද්ධය නිමා කිරීමටත් එනිසාම රටට මග හැරී තිබූ යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීමටත් මහින්දගේ රජයට හැකි විය.මහින්ද ජනතාවගේ වීරයෙකු වූයේ එසේය... ගොඩනැගුනු කීර්තිය ට ගුල්ලන් ගසද්දී මහින්ද ඊට පිළියම් නොයෙදූ තරමට 2010 දී වැඩි ඡන්ද ලක්ෂ 18 කින් ජය ගත් මිනිසා 2015 දී පරාජය කිරීමට තරම් රටේ ජනතාව තුල ගොඩ නැගී තිබූ විශ්වාසය අභියෝගයකට ලක් කිරීමට විපක්ෂ කණ්ඩායම් වලට හැකි විය.


මේ සියලු කාරණා නිසා බොහෝ විට වැරදි හෝ කපටි උපදෙසක්  මත නියමිත දිනට වසර දෙකක් පෙරාතුව ජනාධිපතිවරණය කැදවීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කිරීම හි ආදීනව දැන් ඔහු විසින්ම විදවනවා ඇත.එසේම ඒ උණුසුමේදීම තම සංධානයේ සිටි කුඩා පක්ෂ හා කණ්ඩායම් විසින් යෝජනා කරන ලද දේශපාලනික ප්‍රතිසංස්කරණ නොසලකා හැරීම නිසා ලබා ගත හැකිව තිබූ යම් ඡන්ද ප්‍රමාණයකුත් අහිමිව විපක්ෂ ක්‍රියාකාරීන් සමග එක්වූ තම සගයන්ගේ තර්ක සමග නැවත වරක් තමන් යන ගමන ගැන කල්පනා කරන්නට පෙළඹුණු උගත් පාක්ෂිකයන් ට නිවැරදි ලෙස පිළිතුරු දීමට හෝ එවැන්නක් ගැන සිතා බැලීමට වත් කාලය මිඩංගු නොකල රාජපක්ෂ ජනාධිපතිවරයා සියල්ල ජ්‍යෝතිශයට බාර දී පසෙකට වී සිටියේය.නමුත් සැලසුම් සහගත වැඩපිලිවෙලක යෙදුනු විපක්ෂය දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් නොයෙක් මඩ ප්‍රහාර දියත් කරමින් රාජපක්ෂගේ කදවුර බිදින්නට සමත් විය.

ජනාධිපතිවරණයට පෙරාතුව එතනෝල් චෝදනා එල්ල වුනු ඇමතියා ජනාධිපතිවරණයෙන් පසු සිර භාරයට ගත්තේය.නමුත් චෝදනාව, ණයට ලබා ගත් භාණ්ඩ සදහා සිදු කල යුතු ගෙවීම් අදාල මුදල් වර්ශය අවසාන වීමට පෙර ගෙවීමට නොහැකි වීමය (නඩු දමන විටදීත් එම මුදල් පියවා තිබූ අයුරු ජනමාධ්‍ය ‍යෙන්  අපි දුටුවෙමු).රජයේ මුදල් ගසා කෑවා යැයි කියූ මහා පරිමාණ ව්‍යාපෘති වලින් 50% ට වඩා කොමිස් ගත්තා යැයි කියූ ඇමතියා ද සිරභාරයට ගත්තේය.චෝදනාව දිවි නැගුම මුදල් අව භාවිතයේ යෙදවීමය.ඒ සදහා කිසිදිනෙක සිදු නොවූ ලෙස උසාවිය රාත්‍රී 10 තෙක් විවෘත විය.ඒ අත්අඩංගුවට ගන්නා දිනයේද අලුත් ඇමතියා දිවි නැගුම ප්‍රතිලාභී පවුල් නොවන තම පක්ෂ ආධාර කරුවන්ට දිවි නැගුම අරමුදලින් ණය පිරිනමද්දී අප දේශ හිතෛශී, නිදහසින් පසු මෙරට පහල වූ විශිෂ්ටතම ජනාධිපති යැයි සහචරයන් හදුන්වා දෙන මහතානන් කලේ තම රජයේ අගමැති ඒ පිලිබදව දැනවත් කිරීමය.අගමැත්තා කලේ ඇමතියා දැනුවත් කිරීමය.උන් මහා ඉහලින් කතා කල නීතියේ ආදිපත්‍ය විසැදුනේ එලෙසය.
             
                        ජනාධිපතිවරණයෙන් මාස 9 කට පසුව මේ වන විට ජනාධිපතිවරයා හා කැබිනෙට්ටුව කටයුත් කරන්නේ මහින්ද රාජපක්ෂගේ පාලනය වසර 9ක් තිස්සේ එකතු කර ගත් ඇද කුද සියල්ල  මේ මාස 9 තුල ප්‍රදර්ශනය කරමින්ය.ජනතාව විසින් නැවත පාර්ලිමේන්තුවට වද්දා නොගත යුතු යැයි ප්‍රතික්ෂේප කල හිටපු ඇමතීන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නිවුනු ජනාධිපතිවරයා විසින් ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන්වා ගත්තා සේම ඉන් බහුතරයකට ඇමති කම්ද ප්‍රදානය කලේය.රටේ දේශපාලනය නිවැරදි මාර්ගයකට ගන්නට ඔහුට තිබුණු උවමනාව හුදෙක් ඡන්ද කතාවක් පමණක් බව දැන් මිනිසුන්ට වැටහෙමින් ඇත.ඔහුටද ඇත්තේ තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ගොඩනැගීම පමණකි.එසේම පසුගිය ජනවාරියට කලින් රටක් ලෙස ලංකාවට එරෙහිව සිටි බොහෝ බටහිර රටවල් මේ වන විප අපට ජාත්‍යන්තරයේදී සහය පලකරමින් සිටී.දේශපාලන අන්ධයන් මෙය නව රජයේ විදේශ ප්‍රතිපත්තිය ලැබූ ජයග්‍රහනයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කලද සත්‍ය තත්වය නම් රටේ පාලනය වෙනස් කිරීමට සැලසුම් කල අය විසින් එම සැලසුම් නිසි මග රැගෙන යාමට අවශ්‍ය පහසුකම් පසයා දීමක් පමණි. 

Sunday, August 2, 2015

the deadly yorkerer

පාකිස්ථානය සමග පැවති t20 තරගාවලිය ආරම්භයටත් කලින් තොරාගෙන තිබූ සංචිතයටත් එයට සම්බන්ධ වුනු කණ්ඩායම් නායක ලසිත් මාලිංග ගැනත් බොහෝ දේවල් කතා කෙරිනි.විශේෂයෙන් ඒ කණ්ඩායමේ ලහිරු තිරිමාන්නත් දිනේශ් චන්දිමාලුත් දක්නට නොලැබීම බොහෝ දෙනෙක් කලබලයට පත් කරන්නට හේතුවත් විය.ලංකාවෙන් බිහි වුනු සුපිරි ක්‍රීඩකයන් මේ පිළිබදව ඇගිල්ල දිගු කලේ  කණ්ඩායම් නායකයාටය.නමුත් දැඩි විවේචන හමුවේ තමන් කල අත්හදා බැලීම් අතිශයින් සාර්ථක බව ඔප්පු කරන්නට ලසිත් මාලිංග සමත් වූ බව මාගේ හැගීමයි.එක්දින තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් සිදු කල අත්හදා බැලීම් වල සාර්ථක කමටත් වඩා එය ඉදිරියෙන් තිබේ..
ලසිත් මාලිංග යනු රටකට කලාතුරකින් බිහිවන දක්ෂයෙකි.ඔහුගේ අසාමාන්‍ය  පන්දු යැවීමේ ඉරියව්ව නිසා රටට ලැබුණු ජයග්‍රහන සේම පෞද්ගලිකව ඔහුට විදින්නට සිදු වූ ශාරීරික අපහසුකම් අනන්ත බව බොහෝ දෙනෙකු නොදන්නා දෙයක්.බොහෝ දෙනෙකු චෝදනා කලද මාලිංග ටෙස්ට් තරග වලින් සමු ගැනීම, වර්ථමානයේදීද ඔහු ජාත්‍යන්තර තරග වලදී දක්නට ලැබීමේ රහසයි.තවමත් සුව නොවූ දීර්ඝ කාලීන වළලුකර ආබාදයකින් පීඩා විදින්නකු වෙහෙසකර ටෙස්ට් ක්‍රීඩාවේ නිරත වූවානම් මේ වන විට ලසිත් මාලිංග ක්‍රීඩාවෙන් සමු ගෙන වසර ගණනාවක් ගතවී තිබෙන්නට පුලුවන.ප්‍රවීන පුහුණු කරුවකු පැවසූ පරිදි ඔහු පසුගිය තරගාවලිය ක්‍රීඩා කලේද වේදනා නාශක එන්නත් වල පිහිටෙනි.

ලසිත් මාලිංගත් තේරීම් කමිටුවත් එක්ව පාකිස්ථානු සංචාරය වෙනුවෙන් තොරා ගත් සංචිතයත් එම ක්‍රීඩකයන් දැක්වූ විශිෂ්ට දක්ෂතා ත් නිසාවෙන් අහවලා නැතිනම් ලංකාවේ ක්‍රිකට් නැතැයි සිතූ පිරිසට දුන් කදිම පිලිතුරක් විය.කලකට පසුව ජාතික කණ්ඩායමට පිවිසි චාමර කපුගෙදර,දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඊලග සංගා ඊලග මහේල යනුවෙන් විවරණ ලද්දන්ට ලැබුණු අවස්ථා ඒ ආකාරයෙන් තමන්ටද ලැබුණි නම් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කිරීමට තරම් දක්ෂකාවක් හා හැකියාවක් තමන් සතු බව ප්‍රදර්ශනය කලේය.එසේම බිනුර ප්‍රනාන්දු ෂෙහාන් ජයසූරිය වැනි ක්‍රීඩකයන් වර්ථමාන ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන්ට දැවැන්ත අභියෝගයක් දිය හැකි අයවලුන් බව ප්‍රදර්ශනය කිරීමට සමත් විය... එමගින් ඇතිවන තරගකාරීත්වය නිසා ඉහල යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි තත්වය මිස ලසිත් මාලිංගගේ දෙයක් නොවේ.

සනත්ගෙන් පසු අප සිතුවේ තවත් සනත් කෙනෙකු සොයා යන්නටය. සංගාගෙන් මුරලිගෙන් මහේලගෙන් පසුවද අප කලේ ඔවුන් වැන්නවුන් සොයා යෑමය.ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැරදුනේද එතැනය.එක් එක් මොඩලයේ අය සොයා යෑම නිසා වසර ගණනාවක් දේශීය තරගාවලි තුල කොටුවී සිටි දක්ෂ ක්‍රීඩකයන් රැසකට දැන් ජාත්‍යන්තර තරග වල විකට්ටුව විවෘත විය යුතුය.ඒ වෙනුවෙන් පලමු යෝකරය දැමුවේ දඩබ්බර ලසිත් මාලිංගය.. බොහෝ දෙනෙකු නැගූ ප්‍රශ්නාර්ථ වලට ඔහු පිලිතුරු දුන්නේ එලෙසය......

Wednesday, July 29, 2015

ජීවන අත්දැකීම් 3



 හැමදාම බඩනොගා
වැටි වැටී හරි නැගිටින්න
කවද හරි හිටගන්න 
පයින් ගහල නැගිට්ටපු
මේ මගේ පවුලෙ උන්


Tuesday, July 21, 2015

ලෝක පුදුම මයි වර්ෂන් ඇට් දිස් ස්ටේජ්

* අඩෝ අරූ කාර් එකක් අරන් නෙහ්
* අර වාහනේ යන එකා ඕකට තෙල් ගහන්නත් එපැයි..මාසෙකට කීයක් විතර හොයනව ඇත්ද
* යකෝ මාසෙකට හම්බෙන ගානෙන් කොහොමද ඔච්චර කරන්නෙ
*ඌ මටත් වඩා බාලයි..කොහොමද මෙච්චර ඉක්මණට බැන්දෙ
* මං බදිනවද
* හිටපු ගමන් ගෙයක් හදන්න මූ සල්ලි අච්චු ගැහුව වත්ද
* අම්මල කොහොම මෙව්ව බැලන්ස් කරනවද
* හීන හැබෑ වෙනව කියල කිවුව එකා කවුද
* ලෝක පාලන දෙයියෙක් ඉන්නව ඇද්ද
*ඇයි යකෝ මට කෝටි දෙක තුනක ටිකට් එකක් ඇදෙන්නෙ නැත්තෙ

Wednesday, July 15, 2015

මලත් මෛත්‍රී නෙවෙයි!

ඊයේ(2015.07.14) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන්(මට නම් ඒක විශේෂ ප්‍රකාශයක් නොව අසිහියෙන් කියවන ලද මනස්ගාතයකි) පසු වඩාත් නිවැරදිව සිරිසේන යන මාවත කුමක්දැයි පාක්ෂිකයාට තේරුම් ගැනීමට අවස්ථාව ලැබී ඇත.මට නම් දැනෙන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ ආත්මර්ථකාමය දැවැන්ත ලෙස ඉස්මතු වූ අවස්ථාව මෙය බවය.මෛත්‍රීට ඇත්තේ යහ පාලනය හෝ වෙනයම් ප්‍රතිසංස්කරණයක් නොව අග්‍රාමාත්‍ය දූරය නොදුන් පලිය මහින්දගෙන් ගැනීමටය.මෛත්‍රී දිගින් දිගටම කියා සිටියේ රාජපක්ෂලාට මෙරට දේශපාලනයේ තව දුරටත් ඉඩක් නොමැති බවය.එසේ ඉඩ ලබා ගැනීමට තමන් ඉඩ නොදෙන බවය.ශ්‍රීලනිප පාක්ෂිකයන් මෙය දැන සිටි නිසාවෙන් ඔවුන්ට පුදුම වීමට කාරණාවක් නැති වුවද ජනාධිපතිවරණයේදී මෛත්‍රී වෙනුවෙන් පෙනී, මහින්දට නාම යෝජනා දුන් දිනයේ සිට මෛත්‍රී ද්‍රෝහියෙකු ලෙස ප්‍රසිද්ධියේ පවසමින් සිටි එජාපය ප්‍රමුඛ යහ පාලන නඩය මෙමගින් ප්‍රීති ප්‍රෙමා්දයට පත්ව සිටී.

මේ සියලු අවලාද මැද මහින්දත් ඔහුගේ සංධානයත් බලයට පැමිණ 2001-2004 කාලයේත් 88-89 කාලයේත් මෙරට සිදු වූ වංචා දූෂණ මිනී මැරුම් ගැන නැවත පරීක්ෂණ අරඹනවානම් මම කැමතිය.යහපාලනය කියාගෙන පැමිණියවුන් මහ බැංකු බැදුම්කර මගින් සිදු කල වංචා ගැන පරීක්ෂණ කර වගකිව යුත්තන් කඩිනමින් නීතිය හමුවට පමුණනවා නම් කැමතිය.

එක දෙයක්.... මෙරට දේශපාලනයේ කිසිවකුත් මිස්ටර් ක්ලීන් නොවේ.එය මහින්දට මෙන්ම රනිල්ටත් මෛත්‍රීටත් අදාලය..එක එක අයගේ ගිණුමේ ප්‍රමාණයන් හි වෙනසක් මිස වෙන ඇති දෙයක් නොවේ.



* මහින්දට කලින් ලංකාවේ අධිවේගී මං තැනුනේ නැත.එහෙයින් මහින්ද තැනූ මං මාවත් සමග සසදන්නට වෙන දෙයක් නැත.අධිවේගී මාර්ගයේ ප්‍රයෝජනවත් බව අත් විද ඇති නිසා මා එයට කැමති වෙමි.
*මහින්දගේ ආණ්ඩුවෙන් කලා මෙන් කිසිදු ආණ්ඩුවක් ග්‍රාමීය මාර්ග කාපට් කර සංවර්ධනය කලේ නැත.දශක ගණනාවක් පිලිසකර නොකල (යන්තමින් තාර ඉසගෙන ගියද මාස 3 යන්නට මත්තෙන් නැවත පෙර තිබූ තත්වයට පත් වූ) මාර්ගයක් භාවිත කර අත්දැකීම් ඇති මම කාපට් මාර්ගයක් ඇති වීමෙන් සල පහසුව අත් වින්දෙමි.
*දියුණු වෙන පිරිසිදු ගෞරවණීය අග නගරයක පහස මං අත් විද ඇත්තෙමි.
*රට පුරා දියුණු වූ මාර්ග පද්ධතියේ පහසුව අත් විද ඇත්තෙමි.
*හම්බන්තොට වරාය ගැන විශ්වාසයක් ඇති අයෙක්මි.
*කොටින් යුධමය වශයෙන් පරාජය කිරීම ගැන උදම් වන්නෙක්මි.
*රටක් එක මතයක සිටින අවස්ථාවක මුලු රටේම මානසිකත්වය අවුල් කරන වුන් මිය ගියද කම් නැතැයි සිතන අයෙක්මි.
*මහින්ද එලවා ඒ වෙනුවට පක්ෂය මාරු උවද එකම මොඩලයේ කෙනෙක් පත් කර ගන්නවාට වඩා එක දර්ශනයක් යට වසර ගණනාවක් රට ගමන් කල යුතු බව විශ්වාස කරන්නෙමි.
*ඇස් පනා පිට සිදුවෙන විදේශීය අත පෙවීම හා දේශීය නායකත්වයන් මුලිනුපුටා දැමීමට එරෙහි වන්නෙමි.

එහෙයින් මං ජනවාරි 8 වැනිදා මහින්දට කතිරය ගැසුවෙමි.මහමැතිවරණයේදීද සංධානයට ඡන්දය දෙමි.





ප.ලි
අද 2015 සැප්තැම්බර් 04 වැනිදාය.මේ මං මෙම ලිපිය ලියන මොහොතේ දැක්වූ කාරණාවක් සනාථ කිරීම සදහා ජාතික පුවත් පතක පලවූ පුවතක් දැක්වීමකි.ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය වේදියාගේ අතුරුදන්වීම පිටුපස මහින්ද රාජපක්ෂ රජය සිටි බවට පසුගිය ජනාධිපතිවරණයේදීත් ඊට එපිටදීත් චෝදනා කල සියල්ලෝ ඔහු කවුරුන්ද යන වග හිතා මතාම රට වැසියන්ගෙන් වසන් කල සිටියෝය.අදූර දර්ශී ජහ පාලකයන් එක්තරා කාලයකදී මිලේනියම් සිටි බුද්ධි මෙහෙයුම් පාවා දී රණවිරුවන් සිය ගණනක් රටට අහිමි කරමින් ජාතික ආරක්ෂාවට එල්ල කල දැවැන්ත ප්‍රහාරයේ දෙවැනි අදියර යුධ හමුදාවේ විරෝධය මධ්‍යෙය් සිදු කරමින් පවතිද්දී සැගව සිටි ප්‍රගීත් එක්නැලිගොඩ යනු කවරෙක්දැයි අනාවරණය වෙමින් පවතී.මුලු රටම ත්‍රස්තවාදය යුධමය අතින් පරාජය කල යුතු යැයි හඩ නගද්දී එයට එරෙහිව ගියවලුන්ගේ පැටිකිරිය අප්‍රසන්න බව සියල්ලන්ටම වැටෙහෙනවා ඇත. ඉතිං එවැනි පාහරයින් ජීවත් විය යුතුව තිබුණා යැයි යමෙකු තවත් සිතන වා නම් ඇත්තේ බත් වෙනුවට තණකොල කෑමටය.

වැඩි විස්තර - http://www.oththukaru.gossip-lankanews.net/2015/09/tlakesfdv-isoaefhka-lrshg-wd-tmfika-vna.html

Tuesday, July 14, 2015

පඹයා

ඌ පඹය බව
පැරදුන එකාට ගිනි බය බවත්
අගමැති පුටුව වෙත 
 කෙල හැලූ තරම- අපමණ බවත්
මහා සිංහ වේසයෙන් 
අදත් කිව්වා රූප පෙට්ටියෙන්...
සිංහ වෙස් ගත්තාට
පස්චාත් භාගයෙන් 
හිවල් නැටි දැක්ක අපි

Friday, July 3, 2015

ආදරය..... නෑ ඒක නෙවි.මේ අවබෝධය

මුල්ම කාරණාව මා චිත්‍රපට විචාරකයකු හෝ එවැනි විශයක් හදාරා නැති අයෙක් යන්නයි.මේ සටහන තබන්නේ පුරා මිනිත්තු 120 කට ආසන්න ප්‍රමාණයක් සාවධානව මෙම චිත්‍රපටය නැරඹීමෙන් පසු දැනුනු හැගීම මුල්කරගෙනයි.
ප්‍රාර්ථනා කරනවානම් ජේන් වැනි බිරිදක්ම විය යුතුය.ඇය ආදරයත් ඊට ඉහලින් ඇති අවබෝධයත් මැනවින් ප්‍රගණ කල තැනැත්තියයි.බොහෝ ආදර කතන්දර වල දෝරෙ ගලා යන ආදරය තිබුණිද අවබෝ්‍ධය අංශු මාත්‍රයක් වත් මුසු වී නැත.සාර්ථක සම්බන්ධයකට ආදරය මෙන්ම අවබෝධයද තිබිය යුතුය.එය සෑම දෙයකටම පොදු වූ න්‍යායයි.එම න්‍යාය සොයා ගන්නට අන්වීක්ෂය වූයේ ඇයගේ කැප කිරීමයි.

Tuesday, June 30, 2015

හීනය

ඔයාගෙ ආදරේ මට දරාගන්න බැරි තරම් 
කිවුවාම
හීනෙන් වගේ 
මට දවසක් හිතුනා
කවදාම හරි දවසක 
උඹට 
උහුලන්නට බැරිව
දැන් ඉතිං ඇති
කියයි
කියලා

Monday, June 29, 2015

සතුට (ජීවිත අත්දැකීම් 02)

උපරිමයට සෘණ වෙච්ච
බැංකු ගිණුමේ කොල පෙන්නාල
ලොකු මහත්තැන්ලගෙ අතේ නිතර ගැවසෙන
ණය පතක් ගත්තා මං

කෙල්ලට, ඩොමිනෝස් ඇට් යුනියන් ප්ලේස්
ඉන් පස්සෙ යාලුවො
හිගණ ණය පත බිල් ගෙවමින් යයි

අම්ම හැමදාම කඩේ යනවාට
දවසකට සීයක් දෙසීයක් අතේ නැති හන්දම
අද ණයට ගත්තාට ගෙවන්නට කල් තියෙන
කාඩ් එක
මුල් වුනා
හැමදාම සීයක් දෙසීයක් ගත්තු 
අල පරිප්පු සීනි හෙම
කරත්තේ පිරවෙද්දි- ඒක මරු හැගීමක්

අෑත මං බඩු ගනිද්දි
මුණ ගැහුනු හිතවතියකට
ආං මගෙ ලොකු පුතා
උජාරුවෙන් කියනකොට
මට සතුට හම්බුනා

අමාලී

මගේ කතා නායිකාවට මා අමාලී ලෙස අමතන්නේ සිංහල හෝඩියේ අ යන්න මට අසික්කිතම අකුර වී ඇති නිසාය..
 අමාලී යනු සාමාන්‍ය පවුලක දෙමව්පියන් ගේ දශකයකට ආසන්න බලාපොරොත්තුවක් ඉටු කරමින් පවුලට එකතු වූ වැඩිමහල් දරුවාය.ඇය මෙලොව එළිය දුටු 80 දශකය තුල ජීවත් වූ මිනිසුන්ට වර්ථමානයේ අප අත්විදින බොහෝ තාක්ෂණික දේවල් අත්විදින්නට නොලැබුනු අතර එවැනි දෙවල් ලංකාවටද ආගන්තුක වූයේය.අමාලීගේ පියා තමා වසර ගණනාවක් සේවය කිරීමෙන් ලද කාර්මික දැනුමෙන් ලද මුදලින් තම පවුල නඩත්තු කරමින් සරල එහෙත් අභියෝගාත්මක ජීවිත ගමනක නියැලුනි.

    ප්‍රාථමික අධ්‍යාපනය හමාර කල අමාලී උසස් පෙල විශයන් ලෙස විද්‍යා විශයන් තෝරා ගත් අතර අවසානයේ ඇය අගනුවර  සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක වූවාය.අමාලී රූප සම්පත්තියෙන් යුතු තැනැත්තියක් නොවූ නිසා තරුණ වයසේ ආදර සබදතා ඇයට නුහුරු කාරණාවන් විය. වසර ගණනාවක් අගනුවර සේවය කරමින්, එහි රැදෙමින් සිටි ඇයට නාගරික මධ්‍යම පාන්තිකයන් තම ජීවිත ගෙවන  ජීවිත අරුමෝසම් විය.ඇය හීන දැක්කේ එවැනි සැහැල්ලු ජීවිතයක් අත් කරගන්නටය.නමුත්...., නිසි කල වයස ගෙවී යමින් තිබූ අවධියක අමාලීට විවාහය තවදුරටත් පසු පසට දමා තම ගමන යෑමට නොහැකි විය.
         අමාලීට විවාහ වීමට තිබුණේ ව්‍යාපාරික සහකරුවකු සමගය.ඒ වකවානුව වන විට අමාලීගේ පවුලේ ආර්ථිකයද දෙදරා යමින් තිබුණු නමුත් තම දියණියගේ  සරල , චාම් මංගල ගමන සදහා දෙමහල්ලන් කොන්දේසි විරහිතව තටයුතු කලෝය.නාටකය පටන් ගන්නේ එතැනිනි..මව් උරුමයෙන් ලද දරු උපත් පමා වීමත්, හීන දකිමින් ප්‍රාර්ථනා කල නාගරික ජීවිතය අහිමි වීමත් අතරට නපුරු නැන්දම්මාගේ චරිතයට යටත් වීමටත් අමාලීට සිදු විය.ඇය විවාහ වූයේ ඇයව තේරුම් නොගත් එවැන්නකට ඉඩක් වත් විවෘත නොකෙරූ පුදුගලයකු සමගය.අමාලීගේ දෙමව්පියන්ද අධ්‍යාත්මික කාරණා අමතක කර භෞතික සම්පත් මත අමාලී හෙලූ ආඝාදයේ තනිවන්නට සිදුවූයේ ද සියලු දේ දරාගනිමින් සිටි අමාලීටමය.
      රෝගී නැන්දම්මා පිසින එකම ආරේ ආහාර මුල් කාලයේ අමාලීට අප්‍රිය වුවද කාලයත් සමග ඇය එම රටාවට හුරු විය.මුදල් මත නැහෙමින් සිටි ස්වාමියාගෙන් යුතුකම් ඉටු නොවුනද ඇයට ඒවා සිහි කරමින් වැලපෙන්නට කදුලු ඉතිරි වී නොතිබුණි.තවමත් ජීවිත ගමනේ තුන්වැනි දශකයේ මැද භාගයේ හිදිමින් අමාලී ජීවත් වෙමින් සිටී..
  ඇය............., හොදාකාරව අවබෝධ කරගත් ජීවිතයේ වැරදුනු තැන් පාවා දුන්නේ තමන්ගේම නැගනියට විවාහ යෝජනාවක් පැමිණි විටය.අමාලීට උවමනා කරන්නේ ද යහමින් මුදල් ඇති සහකාරයකු ගේ බිරිද ලෙස තම නැගනිය දැකීමට මිස ඇයව තේරුම් ගෙන ආදරයෙන් රැක බලා ගන්නා අයකු නොවේය.අමාලී....... තවමත් වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ විදමින් සිටි කටුක ජීවිතය දැන් ඉතා මිහිරි යැයි පැවසීමට පටන් ගෙන ඇත.ඇය ක්ෂණිකව තම පැහැය මග හරිමින් වෙනත් පැහැයක් ආරෝපණය කර ගන්නට අර අදිමින් සිටී.මා ඇයට අ යන්නෙන් පටන් ගන්නා නමක් ආදේශ කලේ එබැවිනි.

Sunday, June 28, 2015

ජීවිත අත්දැකීම් 01

මිනිසුන් සියල්ල දෙස බලන්නේ තමන්ගේ පාට කණ්ණාඩිය දමාගෙනය.. සර්ව සාධාරණ යැයි අපි සිතන පුද්ගලයින් පවා කරන්නේ එසේමය.මෙවැනි කාරණා සාමාන්‍ය ජීවිතයේදී එතරම්ම වැදගත් නැතත් බොහෝ තීරණාත්මක අවස්ථා වලදී ජීවිතයේ ඉදිරි ගමන තීරණය කරන්නට තරම් එම කාරණා ප්‍රධාන වන්නේ සරදමකට මෙනි. මිනිසුන් සියල්ල දෙස බලන්නේ තමන්ගේ පාට කණ්ණාඩිය දමාගෙනය.