Saturday, December 31, 2022

Happy new year

 අලුත් කැලැන්ඩර් වර්ශය උදා වෙන්නෙ අපි හැමෝටම තවත් අභියෝග රැසක් එක්ක.වැඩි වන්නට නියමිත විදුලි බිල නව ජනතා රැල්ලක ආරම්භය වීමට බොහෝ දුරට ඉඩ ඇති.විදුලි බිලේ වැඩි වීමත් සමහම ජලය ආදී ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සේවා බහුතරයක මිල දැරිය නොහැකි තත්වයකට ඉහල යාම පාලනය කල නොහැකි වනු ඇත.සුභ පැතීමේ පණිවිඩ වලින් ඔද්දල්ව, මේ විවේකී ඉරිදා සතුටින් සමරන ඔබ ඉදිරියෙන් එලඹෙන අභියෝග පිලිබඳව සැලකිලිමත් වේවායි යන්න මගේ ප්‍රාර්ථනාවයි..


ඔබ සතු වත්කම් එදිනෙදා ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් වැය කරන්නට අනාගත ලංකාවේදී සිදු වනු ඇත.. ආහාර හිඟ, කෘශ දරුවන් සුලභ වනු ඇත..වංචා දූශන හා මිනී මැරීම් තව තවත් ඉහල යනු ඇත.කෙටියෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය සිම්බාබ්වේ හෝ වෙනිසියුලාවේ තත්වයට පත් වන මාර්ගයේ ඉමටම ගොස් ඇත... මේ යථාර්තය තේරුම්  ගන්නට හැකියාව ඔබ හැමට ලැබේවා..


එලඹෙන නව ජනතා රැල්ල සති ගණන් ඇදී නොයන, පොදු දේපල හානි අවම, අවසන් ජයග්‍රහණය (පාලන ක්‍රමයේ හා උද්දච්ච නිලධාරී පැලන්තිය පලවා හැරීම) ඉතාම ඉක්මණින් ලඟා කරගන්නා ජයග්‍රාහී අනාගතයක් වේවා..


මේ ඇරඹුනේ මේ රටේ දිශානතිය තීරණය කරණා තීරණාත්මක වර්ශයයි.එය ගෙවුනු 2022 වඩා ඔබව වික්ශිප්ත කරනු ඇත..


මේ රටත් එහි පුරවැසියන් වන අපත් මීට වඩා යහපත් ජීවන තත්වයකට හිමිකරුවන් විය යුතුය...

Thursday, June 30, 2022

අඹගොල්ලෙ ගාමිණී -2

 





හමුදා සේවයෙන් ඉවත්ව ගියද නියෝග වලට අවනතව කටයුතු කල පාපකාරී වසර කීපයකට තිත තැබූ ගාමිණී, වෙඩි වැදී විරූපී උනු වම් අත්ලක් සහිතව වලව මිටියාවතේ ගොවි බිමක තම දහඩිය මුගුරු වගුරවමින් උන්නා.කාන්තීගේත්, ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් හිටි පුතණුවන්ගේත් ආදරයත් සහයෝගයත් නිසාවෙන් ගොවි බිමත් නිවසත් සාර සොභාවට පවත්වා ගන්නට ගාමිණීට හැකියාව ලැබුණා.

දෙමහල්ලන්ගේ එකම අපේක්ශාව වූයේ තම එකම පුතු අධ්‍යාපනයෙන් ඉහලටම තල්ලු කර යවන්නට මිස ඔහුත් ගොවි බිම් වල දහඩිය වගුරනවා බලන්නට නොවේ.ඒ වෙනුවෙන් උපයන සියල්ලම උවද විය පැහැදැම් කරන්නට ඔවුන් සූදානම්ව සිටියා.කොරෝනා වසංගත සමයේ දරුවාගේ අධ්‍යාපනය අඩාල නොවන්නට අවැසි ජංගම දුරකතන හා පරිගනක ආදිය ගෙන එන්නට කාලාන්තරයකින් ගමෙන් පිට නොගිය ගාමිණී ඇඹිලිපිටිය නගරයේ දවසක් පුරා රස්තියාදු උනා.අශෝබන අතීතය නිසා ලොවෙන් වසන් වී සිටි ඔහු දරුවා වෙනුවෙන් ඒ අවධානම සතයකට මායිම් කලා නොවේ.

කොරෝනා වසංගතය නිසා විඳින්නට සිදු වූ අපහසුකම් පහව යද්දීම රටේ තත්වය තවත් නරක අතට හැරෙන බව දිනපතා ප්‍රවෘත්ති වලින් විකාශය වෙද්දී ගාමිණීට සිහි වූයේ හවස් වරුවක රංජිත් ගේ සිල්ලර කඩේ ලඟ හමු වූ සරත් සර්ගේ කතාවයි..

"මුං රටේ සල්ලි ටික ගසා කාලා ගාමිණී.., උඹලා ජීවිතේ පරදුවට තියලා කොටින්ගෙන් බේර ගත්තු රට අවුරුදු කීපෙකින් මුං ටික කාබාසිනියා කරලා.. ඕන්න බෙහෙත් ටිකවත් ගෙන්න ගන්න සල්ලි නැතිලු.."

සරත් සර්ගේ වචන වල බරපතලකම ටිකෙන් ටික ගාම්ණීලාගේ ජීවිත වලට දැනෙන්නට ගත්තේ බඩ ඉරිඟු වගාවට පොහොර හිඟ වූ පසුවය..තිස් හතලිස් දහසකට මිල ගිය  පොහොර මිටි තුනක් මිලදී ගන්නට හමුදාවෙන් ලැබුණු විශ්‍රාම වැටුපෙන් ඉතිරි සියලු මුදලත් කාන්තීගේ වලල්ලක් උකස් කර ලබා ගත් මුදලත් වැය කරන්නට  සිදු විය.ඉන්ධන ගිඟය නිසා බිම සකසා ගන්නට ට්‍රැක්ටරයක් ගෙන්වා ගන්නට සති කීපයක් බලා ඉන්නට ගාමිණීට සිදු විය.

යුද්ධය අවසානයෙන් පසු කිලිනොච්චි කඳවුරේ සේවය කල කාලයේදී උතුරු ප්‍රදේශය සංවර්ධනය පිලිබඳව කටයුතු කල දකුණේ දේශපාලකයකු විසින් සිදු කල වංචා දූශන කොතරම්දැයි අවබෝධයක් ගාමිණීට තිබුණි.දෛවයේ සරදමකින්දෝ ඔහු මේ අසීරු කාලයේද රටේ තිරය පිටුපස ප්‍රධාන හස්තයක් ලෙස ක්‍රියාත්මක වී  සියලු දේට මැදිහත් වෙමින් ඉන්නා බව පැහැදිලිවම පෙනෙමින් ඇත.

දාඩිය මහන්සියෙන් උපයා ගත් යමක් වේ නම් එය වියදම් කරමින් බිරිඳත් දරුවාත් සමග සතුටින් ගත කල කාලය සැඟව ගියේ අවර ගිරින් හිරු සැඟව යන්නා සේය.. වගා බිම සමග ඔට්ටු වෙමින් සිටි ගාමිණී සොයා මව සමග ආ දරුවාට සර්පයෙකු දශ්ඨ කල බව ගාමිණී දැන ගත්තේ මවත් දරුවාත් යාය දෙදුරුම් කවමින් ගෑ ගැසූ විටය.

කරමින් සිටි කාරිය පසෙක දමා හීයක වේගයෙන් දරුවා වෙත දිව ගිය ගාමිණී ඔහුද රැගෙන මාර්ගයට දිව ගියේ හැකි ඉක්මණින් රෝහලක් වෙත දරුවා රැගෙන යන සිතුවිල්ලෙන්.නමුත් කඩිමුඩියේ ත්‍රී රෝද රියක් සොයා ගැනීමට නොහැකි වූ තැන දරුවා කරපින්නා ගත් ගාමිනී ඉදිරියෙන්ද, අඬමින් දෙවියන්ට කන්නලව් කරමින් කාන්තී ද රෝහලක් වෙත දුවමින් සිටි අයුරු දෑත කම්මුලේ තබා ගත් ගැගැනුන් කීප දෙනෙක්ම කම්පිතව බලා සිටින්නට විය.

ඉන්ධන පෝලිම් වල රස්තියාදු වෙන්නට සිදු වීමෙන් හදිසියකදී රෝහලක් වෙත යාමට වාහනයක් ගමෙන් සොයා ගන්නට නොහැකි බව වැටහුනු පසු ගාමිණී විශේෂ බලකාය තුල මාස ගණනාවක අති දුෂ්කර පුහුණූ කාලයක ප්‍රගුණ කල ඉවසීම දරු සෙනෙහසින් පුපුරා යන්නට විය.ඒ තිගැස්ම දෙපයට වාරු වී රෝහලක් වෙත දරුවා උර මතින් හෝ ගෙන යන්නට තරම් ඉලක්කයක් ඒ හිත මත ජනිත විය.කෙසේ වෙතත් සෙවනගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ පිහිටෙන් රෝහල වෙත ගෙන යද්දීත් දරුවා සිහිසුන් වී සිටියේය.. තත්වයේ ඇති බැරෑරුම්කම වටහා ගත් වෛද්‍යවරු ක්ෂණිකව ඇඹිලිපිටිය රෝහල වෙත දරුවා මාරු කර යැවීය..

.....................................................................................................................................................................

මළ හිරු බසිමින් තිබූ සන්ධ්‍යාවේ තව දුරටත් ජීවිතයේ ඉලක්කයක් ඉතිරිව නොවූ ගාමිණී, තම ලෙයින් ජාතක වූ දරුවා සුවෙන් නිදනා පොලෝ තලය මත හිස තබාගෙන සිටියේය...අවසන් වරට චුට්ටෙ අයියා ලබා දුන් ඉලක්කය ලබා ගද්දී ඔහු තම දරුවා ආරක්ෂා කරගන්නට දුර්වලව උත්සාහ කල අයුරු ගාමිණීගේ සිතේ සිනමා පටයක් මෙන් වරින් වර හොල්මන් කරන්නට විය..කර්මය සාදය ආරම්භ කර ඇත.. 

එහෙත්, 

ඇඹිලිපිටිය රෝහලට දරුවා රැගෙන ගිය විට එහි සිටි වෛද්‍යවරු අසරණව රට පුරා රෝහල් වලට අමතා ප්‍රතිවිශ එන්නත් සෙවූ අයුරු අමතක කරන්නට ගාමිණීට නොහැකි විය.ඒ එන්නත් සොයා ගැනීමට නොහැකි තැන ෆාමසියකින් හෝ ගෙනෙන්නැයි ලියා දුන් තුන්ඩුවද සහිතව ඇඹිලිපිටියේ බෙහෙත් ශාලා එකින් එක පීරූ ගාමිණීට පිහිටවන්නට දෙවියන්වත් සිටියේ නැත..

අවසානයට මොහොතකට කලින් ගාමිණී සිය පසුම්බිය තුල සුරක්ශිතව ලියා තිබූ එවකට තම ප්‍රධානියා වූ වර්ථමාන මේජර් ජෙනරල් නිලය දරණ නිළධාරියකුට ඇමතුමක් ගත්තේය.සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගිය දා සිට සබඳකමක් නොවූවද එවක භාවිත කල කෙටි නමින් හඳුන්වා දුන් සැනින් උසස් නිළධාරියා ගාමිණීව හඳුනා ගත්තේය.ගාමිණීගේ එකම ඉල්ලීම වූයේ අදාල ඖෂධය සොයා ගැනීමට උපකාර කරන ලෙසයි.

තමන් දෙවියන් මෙන් සිතා සිටි මිනිසුන්ද මේ මොහොතේ අන්ත අසරණ බව වටහා ගන්නට වැඩි වේලවක් ගාමිණීට අවශ්‍ය නොවීය..

ඖෂධය සොයා ගැනීමට නොහැකි වූ තැන, දින එක හමාරක අරගලයකින් පසු වලව මිටියාවත එළිය කරන්නට වරම් ලැබ සිටි පහන් එලියක් සදහටම නිවී ගියේය..

ගාමිණීලා කුසට හරි හැටි ආහාරයක්,නින්දක් හෝ නොලැබ මරණ වරෙන්තුව දෑතේ තබාගෙන යුද්ධ කලේ තමන්ටත් තම අඹු දරුවන්ටත් යහතින් ජීවත් වන්නට රටක් තිබිය යුතු යැයි විශ්වාස කල නිසාය.නේක දුක් විඳ ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට සුඛිත මුදිත තත්වයට ගෙනෙන්නට පාලකයන් සිටියේය..ඔවුන් තමන්ගේ යුතුකම පැහැර හැර ජාතියේ ධනය සොරා කෑ විට ඒවාට වන්දි ගෙවන්නට සිදු වූයේ තමන්ගේ පුතු වැනි අහිංසක මල් කැකුලු වලට බව ගාමිණීට තේරුම් ගියේය..

සියලු සිද්දීන් විසින් දමනය කර පසෙක දමා තිබූ යක්ෂයා අවදි කරමින් තිබුණි.. 

දරු දුකින් සිහිමද තත්වයට පත්කර තිබූ කාන්තී ඇයගේ නැගණියත් මවත් ජීවත් වූ නිවසට ඇරලූ ගාමිණී තම රාජකාරිය අවසන් කරන්නට සැලසුම් කලේය.

නව ජීවිතය ලඟාකර ගනු පිණිස එක්තරා සන්ධ්‍යාවක ඇඹිලිපිටියෙන් කොළඹ බලා ධාවනය වූ බස් රථයක අසුනකට බර වී සිටි ගාමිණී දකින්නට සිටියේය..

.................................................................................................................................................................

අබාධිතව සේවයෙන් විශ්‍රාම ලබා සිටි යුධ හමුදා සාමාජිකයාට මාර්ග පිරිසිදු කිරීමේ සමාගමක වැඩ පරීක්ශක රාජකාරිය පැවරීම මගහැරීමට එහි කළමණාකරුට කිසිඳු හේතුවක් නොවීය.ඔහු සිය කැමැත්තෙන් ම බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරි භාර ගත්තේය.පරිපාලන අග නගරයේ පොදු මාර්ග සියල්ලම කැලිකසල වලින් තොර පිරිසිදු පුරවරයක් බවට තහවුරු කිරීම නවක සුපර්වයිසර් වරයාගේ ඒකායන බලාපොරොත්තුව විය.

මාසයක සාර්ථක රාජකාරි කාලයකට පසු ගාමිණී දින තුනක නිවාඩුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය අකමැත්තෙන් උවද අනුමත කරන්නට කළමණාකරු පියවර ගත්තේය. සේවකයන් සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කල, තමන්ට පැවරුණු රාජකාරිය විශිෂ්ට ලෙස ඉටු කල වැඩ පරීක්ශකවරයා නිවාඩු ප්‍රශ්නයක් මත අහිමි කර ගන්නට ඔහුට උවමනාවක් නොතිබුණි.

නිවාඩු ලද වැඩ පරීක්ශකවරයා  සිය බිරිඳටත් ඇය රැක බලාගත් නිවැසියන්ටත් අවැසි අඩුම කුඩුම තොගයක් රැගෙන තම ගම්මානයට පිටත් විය.නිවාඩුව සැහැල්ලුවෙන් ගත කරනවා වෙනුවට ඔහුට සැලසුම් කල වැඩ රාශියක් සපුරා ගත යුතුව තිබුණි.

යලි කිසි දිනයක දෑතට නොගන්නෙමැයි සිතූ උපකරණයක් පොලව තුල මිහිදන්ව සිටි වසර කීපයකට පසුව දෑතට ගත් ගාමිණී එය සමග තමන්ගේ අතීත හැකියාවන් උරගා බලන්නට විය.අවශ්‍යතාවයට අනුව තමන්ගේ ශක්තිය පිලිබඳව තක්සේරුවකට ආ පසු නැවත තිබූ ආකාරයටම කොටස් බවට පත් වූ උපකරණය ගාමිනීගේ ගමන් මල්ල තුල සැඟව ගියේය.

කොලඹ පිටත් වන්නට සූදානම් වූ දින මුලු දහවලම ගාමිණී සිය සිඟිත්තා සැතපෙන ඉසව්වට වී ගත කලේය.එවන් මල් කැකුලු වලට පැහැබර අනාගතයක් වෙනුවෙන් වගකීමක් අන් කවරකටත් වඩා ගාමිණීලා පිට ඇත.ඔවුන් වරක් අනාගතයේ උන්ඩ වලට බිලි වන්නට තිබූ තරුණ ජීවිත දහස් ගණනක් නිදහස් කර ගත් අයයි.

කොළඹ පැමිණීමෙන් පසු උපකරණය සහිත ගමන් මල්ල සුරක්ෂිතව තැබූ සෙබලා තාවකාලිකව තමන් සේවය කල ආයතනයට ගොස් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන්නේය.කළමණාකරු කොතෙකුත් ඇවිටිලි කලද වෙනත් අරමුණක සිටි සෙබලාගේ සිත වෙනස් කිරීමට එය අල්ප මාත්‍රයකවත් හේතුවක් නොවීය.

.....................................................................................................................................................................

 තම කාර්යාලයෙන් පිටතට පැමිණෙිමින් සිටි අති විශේෂ ප්‍රභූ පුද්ගලයකුට එල්ල කල වෙඩි ප්‍රහාරයක් පිළිබදව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විශේෂ පුවත් ආකාරයෙන් වාර්ථා කරන්නට විය.අදාල පුද්ගලයාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයින් විසින් එල්ල කල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව වූ යාචකයෙකු මෙන් සැරසී සිටි ප්‍රහාරකයාගේ සිරුර අදාල කාර්යාලයට ඔබ්බෙන් මාර්ගය මත පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පොලිතින් පටි වලින් වට කොට සලකුණු කර ඇති ආකාරය ටෙලිවිෂන් නාලිකා වලින් විටින් විට විකාශය කරන ලදී..

ප්‍රහාරයෙන් පැය කීපයකට පසු පපු කුහරයට වැදී තිබූ මාරාන්තික වෙඩි උන්ඩයක් හේතුවෙන් අදාල ප්‍රභූ වරයා මිය ගිය බව රජය නිවේදනය කලේය.ප්‍රභූවරයාගේ මරණයත් සමග රටේ දේශපාලන ක්ෂේත්‍රය උඩු යටිකුරු වෙන්නට විය.

අදිසි හස්තයේ ග්‍රහණයට නතුව සිටි පාලක පක්ෂයට අදාල මංත්‍රීවරු අති බහුතරයක් ස්වාධීන වන්නට තීරණය කර ඇති බව ප්‍රභූ වරයාගේ මරණයෙන් දින කීපයකට පසු කථානායකට දන්වා තිබුණි.අග්‍රාමාත්‍ය වරයා ඉල්ලා අස් වූ අතර වඩා යහපත් පාලනයකට මාර්ගය විවෘත වූ අතර දූෂනයෙන් තොර ඇමති මණ්ඩලයක් වෙනුවෙන් වූ ජනතාවගේ අපේක්ෂාව සඵල වෙමින් තිබුණී.

.................................................................................................................................................................

ස්ථානය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් මැදිරිය

ජ්‍යේශ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් තමන්ට භාරව සිටි කණ්ඩායම් වලින් ලබා ගත් තොරතුරු සහිත ලිපි ගොනු කැටුව අසුන් ගෙන ඇත.රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා, ආරක්ෂක ලේකම් සෙසු අසුන් වල ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් සොයා ගත් කරුණු අනුව තහවුරු වූ සිද්ධිය විස්තර කරමින් ඇත..

"සර්, මේක දේශපාලන ගේම් එකක් නෙවෙයි... කවුරු හරි මිනිහව ගයිඩ් කලා කියලා කිසිම හෝඩුවාවක් නෑ.මිනිහට එහෙම පොලිටිකල් කනෙක්ෂන් මොනවත් තිබිලත් නෑ. ඇටෑකර් ෆෝමර් එස්එෆ් පර්සන් කෙනෙක්.ඇතුලෙදි ටයිගර් කියලා තමයි කියලා තියෙන්නෙ.එයාගෙ දරුවා මීට මාස දෙකකට උඩදි සර්පයෙක් කාලා බෙහෙත් නැතුව මැරිලා තියෙනවා.රටේ තියෙන මේ තත්වයට වග කියන්න ඕනි අපේ VVIP කියන චෝදනාව නිසා මිනිහා මෝටිවේට් උනා කියලා තමයි දැනට හිතන්න තියෙන්නෙ."

"මේක වෙල් ප්ලෑන්ඩ් මිෂන් එකක්.මෙයා මීට සති හයකට කලින් කොළඹ ඇවිත් ක්ලීනින් සර්විස් එකක සුපර්වයිසර් කෙනෙක් විදියට අදාල ඒරියා එකට ඇවිත් ඉන්ටෙලිජනස් කලෙක්ට් කරලා තියෙනවා..ඒ මුලු කාලයෙම මනුස්සයා නිදාගෙන තියෙන්නෙ දියත උයනෙ බංකු උඩ.ඇටෑක් එකට දවස් තුනකට කලින් මිනිහා ජොබ් එකෙන් රිසයින් වෙලා.අපි මැනේජර් ව ගෙනත් කට උත්තර සටහන් කරගත්තා."

"මේ ටීෆයිව්සික්ස් වෙපන් එකේ සීරියල් එකෙන් ට්‍රැක් කරන්න බෑ..ඒ කාලෙදිම ටෙරාලගෙ එකක් පන්නගෙන වගේ.සීසීටීවී ෆූටේජ් වලට අනුව මේ ෆොටෝ එකේ තියෙන පදුර ලගට කලින් දවසෙ රෑ දෙකයි එකොලහට මිනිහා ඇවිත් තියෙනවා...අපි සැක කරන්නෙ එවෙලෙ වෙපන් එක හංගලා ගියා කියලා.මොකද එවෙලෙ එයා ලොකු බෑග් එකක් එල්ලගෙන ඉන්නෙ. ඇටෑක් එක කරන්න කලින් මිනිහගෙ අතේ ගන් එක නෑ.ටාගට් එක එලියට එනවත් එක්කම පදුර අස්සෙන් ගත්තු වෙපන් එකෙන් ෂොට් එකයි තියන්නෙ.."

"මූ යක්සයෙක්නෙ අයිසෙ....එච්චර ක්ලීන් ෂොට් එකක් ගත්තෙ කොහොමද මේ ඩැමේජ් වෙච්ච අතකුත් තියාගෙන..අනික අච්චර පිරිසක් ඉද්දි.ඕනි නම් තත්පර තිහක චාන්ස් එකක් එන්න ඇති "

"සර්, ඇටෑකර් එස්එෆ් එක ඇතුලෙදි බෙස්ට් ෂූටර් වෙලා තියෙනවා අවුරුදු ගාණක්ම..ඊවන් හී වෝස් ද බෙස්ට් ෂූටර් ඉන් ද හෝල් ආමී  ෆෝ ඉයර්ස්.."

.......................

..................................................................................................................................................................

ආරක්ෂක පුධානීන් ගේ විශේෂ හමුවෙන් අනතුරුව වෙන්ව යන්නට මත්තෙන් කුලුපග මිතුරන් වූ ආරක්ෂක  ලේකම්වරයාත් රාජ්‍ය  බුද්ධි ප්‍රධානියාත් ප්‍රභූ ඝාතනයෙන් පසු රටේ ඇතිවෙමින් පවතින යහපත් ප්‍රවණතාවය වෙනුවෙන් සිහින් සිනහවක් නංවා සතුට පල කරගනු ලැබීය.

.................................................................................................................................................................

තම අවසන් රාජකාරිය මව්බිම වෙනුවෙන් ඉටු කල වලව මිටියාවතේ පීතෘවරයාගේ ආත්මය තම පුතු සදා කාලිකව නිදනා පොලෝ තලය වෙත පැමිණ ගිමන් හරින්නට විය...

Thursday, January 20, 2022

අබ සරණයි

 



ජනාදිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තමන්ගේ ප්‍රථිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර දින කිහිපයක් ඉක්මවන්නට මත්තෙන් නැවතත් සුපුරුදු නරි නාටක අරඹා තිබේ... වර්තමාන පාලනය ගෙන ඒමේ ප්‍රධාන බලාපොරොත්තුව වූ සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ අරමුණ නැවත නැවතත් දේශපාලන හෙන්චයියලාගේ මන දොල පිනවීම පිණිස ගණිකා සේවයේ යෙදවමින් ඇත.
අලුත්ම මාතෘකාව මිල්කෝ සමාගමයි.එහි වර්තමාන සභාපතිවරයා කළමණාකරනය පිලිබඳව උපාධිදාරියකු වන අතර තොරතුරු තාක්ශන ක්ශේත්‍රයේ විශිෂ්ටයෙකු වේ.ඔහුගේ පාලන කාලය තුල ආයතනයේ ගැටලු පැන නැගී නැති උවද දැන් ඔහුගේ තනතුර අහිමි කර තිබේ.එකිනෙකා පිනවීමේ පාපකර්මයට වන්දි ගෙවන්නට සිදු වන්නේ මේ රටේ ජනතාවටයි.
දිගින් දිගටම මේ රට කැඳවාගෙන යන්නේ අසාර්ථකත්වයේ ආගාධයටයි.දවසින් දවස අපට නැති වන්නේ මේ රටේ ශක්තියයි.තවදුරටත් හුදකලා නැගීසිටීම් වෙනුවෙන් මිඩංගු කරන්නට කාලයක් ඇත්තේ නැත.උගත් බුද්දිමත්  දේශමාමක පරම්පරාවක සාමූහික නැගී සිටීමක් අත්‍යාවශ්‍යයව ඇත. රටේ පාලකයන් ගේ අකටයුතුකම් වලට එරෙහිව තමන්ගේ හෙට දවස වෙනුවෙන් බුද්ධිමතුන් විදෙස්ගත වීම තවදුරටත් සිදු වීමට ඉඩ දියු යුතු නැත.උගතුන් බුද්ධිමතුන් නැති රටක මරි මෝඩ පාලකයන්ට හතර වරම් ගැසීමට ඉඩ සැලසිය යුතු නැත.මේ අපේ රටයි!

Friday, January 7, 2022

බෞකාපන් භානුක



කරුණු කාරනා සිද්දවෙන විදියට උඹ කලින්ම විශ්‍රාම යන්නෙ වෙන ලොකු ප්‍රථිලාභ ටිකක් වෙනුවෙන් කියලාමයි හිතෙන්නෙ.සමහර විට ටීම් එකේ ස්ථිර තැනක් හදාගෙන උඹ ස්ථාවර වෙද්දි එළියෙ ඉන්න එවුන් ලේසියෙන් සල්ලි හම්බකරණ පාරවල් වල යන්න කතා කරනවා ඇති..දරදඬු රිටි වගේ වෙලා ප්‍රශ්න විසඳන්න බෑ මචං.නැමෙන්න ඕනි තැන් වලදි නැමෙන්නම ඕනි.නැත්තම් පීඩනය දරාගන්න බැරුව දණ්ඩ කැඩෙනවා.


අවුරුදු ගානක් නින්දාසහගත විදියට අපේ ටීම් එක පරදිද්දි කවදා හරි දිනයි කියන විශ්වාසයෙන් බලන් ඉඳපු අහිංසක මිනිස්සු පව්.රටේ සිද්දවෙන හැම දේකින්ම විඩාවට පත් වෙලා ඉන්න ලක්ශ ගානකට සතුටක් උනේ උඹලා ගෙනාව ජයග්‍රහන.


ඒත්, ගත්තු තීරණය උඹේ.රසිකයෝ සමාජ මාද්‍යවල මේ තරම් උඹෙන ඉල්ලීම් කරද්දිත් නෑසුන කන් වලින් ඉන්නෙ උඹේ තීරණය ස්ථිර නිසා වෙන්න ඇති.


කමක් නෑ..,සල්ලි කියන කාරණාව දෙවනුවට තියලා රට වෙනුවෙන් ක්‍රිකට් ගහන  එවුන් ටිකක් කවමදාක හරි එනකන් අපි ඉන්නම්..


ලක්ශ ගානක් ඉන්න කියද්දි උන්ගෙ ආදරය වෙනුවෙන් වචනයක් කියන්න බැරි උන උඹෞකාපන්!