Friday, November 8, 2019

හැමිනුනා



මෙවර ජනාධිපතිවරණ තරගය ආරම්භයේ දී සිට මේ සටහන ලියැවෙන,එනම් ජනාධිපතිවරණයට දින 7ක් පමණක් ඉතිරිව ඇති මොහොත දක්වා මගේ තේරීම ගෝඨාභයයි.ඒ ඔහු සර්ව සම්පූර්ණ නිසා නොව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් හොදම තෝරා ගැනීම ඔහු බව මා විශ්වාස කරන නිසාය.

ප්‍රතිවාදියාගේ මෙන් දේශපාලන වේදිකාවේ බහුල අත්දැකීම් නැති ඔහුට යටි ගිරියෙන් කෑ මොර දෙන්නට නොහැකි වීම ගැන මට ප්‍රශ්නයක් නැත.ඔහු විවිධ ක්ෂේත්‍ර වලට නවීන තාක්ෂණය මුසු කර රටට ලැබෙන ප්‍රයෝජනය වැඩි කරගන්නට සැලසුම් සකස් කරනා ආකාරය දෙස මා උනන්දුවෙන් අවධානය යොමු කලේ මරදානේ ඇති කල තාක්ෂණික උද්‍යානයේ ප්‍රයෝජනය පිලිබදව යම් වැටහීමක් ඇති නිසාය.

සාපේක්ෂව ඔහුගේ කතාවේ විනය සහ පැහැදිලි අනාගත සැලසුම් නිසා මගේ තේරීම පිලිබදව දෙවරක් කල්පනා කරන්නට අවශ්‍ය නොවීය.සජිත් ප්‍රේමදාස මහතා සුපුරුදු පරිදි තමන්ගේ තෑගි මල්ල ලිහා අරිමින් යන යන තැන  කවටයාගේ චරිතය රගපෑම නිසා ඔහු ගැන සලකා බැලීමක් අවශ්‍ය වන්නේ නැත. ගෝඨාභයගෙන් නොඇසුනු ප්‍රතිවාදියා ට මඩගැසීමේ තුඡ්ඡ ක්‍රමය ඊයේදී එලි බසින්නේය.දුප්පතුන්ට නැගී සිටින්නට මාලුවෙක් වෙනුවට බිලී පිත්තක් දෙන්නට (සමහරවිට අප ඔසවා තබා සිටි) සිටි ගෝඨා අද, දුප්පතුන්ට සහන මල්ලක් දෙන බව ප්‍රකාශ කර හැමිනුනේය (මට අනුව) !!!
දැන්,
 ආයෙමත් මගේ ඡන්දය මැද තැනකට ගෙනාවෙමි., තොපි දෙදෙනාගෙන් එකෙක් පුලුවන් නම් දිනාගනිල්ලා!

Wednesday, November 6, 2019

පුතාණෝ


සජිතාණෝගේ පෑඩ් කතාවට කිසිවක් නොලියන්නෙමැයි වීරිය කොට ගෙනසිටියත් සමහරක් මධ්‍යස්ථ සලු පොරවාගෙන සිටින අයගේ හැසිරීම නිසා එසේ ඉදීමෙන් පලක් නොවෙතියි සිතමි.පෑඩ් කතාව දුටුවනම මා සිතූයේ එය දවසේ ආතල් විය යුතු බවය.එසේ නොමැති නම් (කාන්තා) සනීපාරක්ෂාව පෑඩයකට ලඝු කරන්නට තරම් සිල්ලර මානසික මට්ටමක් රටක ජනාධිපතිධූර අපේක්ෂකයෙකුට තිබිය නොහැක.

නමුත් බුකී ඔස්තාද්ලා සජිතාණෝගේ ප්‍රකාශය සර්ව සාධාරණය කරන්නේ මාගල් තරම් දිග පල්හෑලි ලියමින් එය සිහිබුද්ධියෙන් යුතු කතාවක් බව සඵත කිරීමයි.සජිතානෝද දිගින් දිගටම සිය ප්‍රකාශය තහවුරු කරමින් සිටී.

සනීපාරක්ෂක තුවායක් නොමිලේ ලබා දීම හරහා සම්පූර්ණ වන කාන්තා සනීපාරක්ෂාවක් වේ නම් එය පුදුම සහගතය.අපේ රටේ වාර්ෂිකව නිකුත් වන සෞඛ්‍ය වාර්ථා වල පවා සනීපාරක්ෂක තුවා භාවිත නොකිරීම නිසා ඇති වන සංකූලතා හෝ වෙනත් ආසාධන තත්ව නිසා දැඩි තර්ජනයක් ඇති වී ඇති බව මා දැක නැත.ප්‍රශ්නය ඇත්තේ වෙනතකය.මේ තරම් දියුණු ලෝකයේදීවත් අපට කිසිදු විධිමත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත.අවාසනාවකට අප ලිංගික අධ්‍යාපනය ලෙස දකින්නේ කාමුක වීඩියෝ පට පමණි.ඒවායේ අතුරු ඵල ලෙස තවමත් වයස 18 ට අඩු ලමා මව්වරු දකින්නට ඇත.

ජනාධිපති අපේක්ෂකයා ආමන්ත්‍රණය කල යුත්තේ එතැනටය.විධිමත් ලිංගික අධ්‍යාපනයක් රටේ ශිෂ්‍ය ප්‍රජාවට ලබා දීමටය.දැනුමෙන් සන්නද්ධ වන ගැහැනු පිරිමි දෙපාර්ෂවය තමන්ගේ සනීපාරක්ෂාව පිලිබදව උනන්දු වීම නිරායාසයෙන් සිදු වන්නකි.

එවිට,මාසයකට (එකක් රු 100-150 අතර පවතින) සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් නොමිලේ ලබා දීමක් අවශ්‍ය වන්නේ නැත.මොනවා හරි දෙයක් නොමිලේ දෙන බවට ඡන්ද පොරොන්දුවක් දීමට අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස මහතාට තිබූයේ සහල් යම් ප්‍රමාණයක් එසේ ලබා දෙන බව කියන්නටය.මක් නිසාද යත්, සහල් සදහා මසකට යන වියදම හා බැලූ කල කාන්තාවන් දෙදෙනකු සහිත හතර දෙනෙකුගෙන් යුත් පවුලකට සනීපාරක්ෂක තුවා සදහා වියදම් වන්නේ සොච්චමක් පමණකි.