brodee96
Sunday, September 10, 2023
ඉන්දියානුවන් දෙදෙනෙකුට මැදිව
Sunday, January 22, 2023
ජාජබ
පවත්වන්නට නියමිත පලාත් පාලන මැතිවරණය ගැන බොහෝ තැන් වල සැක මුසු බැල්මක් පවතිද්දී මට හිතෙන්නේම මේක අවසන් පලාත් පාලන මැතිවරණයේ දිගුවක් ලෙසය.එවක රජයේ අත්තනෝමතික ක්‍රියා නිසා අපහසුතාවයට පත් උනු ජනතාවගේ මනස තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගන්නට පොහොට්ටුවේ න්‍යායාචාර්‍ය වරුන්ට වැඩි මහන්සියක් ගත වෙන්නට නැතුව ඇත.ඒ නිසාම කුඩාවට ඇරඹි මහින්ද සුලඟ අවසන් භාගයේදී දේශපාලන සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය..
2015දී පරාජය කර දැමූ මහින්දට නැවත වතාවක් කල ගුණ සලකන්නට ඇවැසි උනු මිනිසුනුත්, වැල යන අතට මැස්ස ගැසූ අයත් එකතුව පලාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට දැවැන්ත ජයක් හිමි කර දුනි. පැවැත්වුනු මැතිවරණයේදී තමන්ගේ කොට්ඨාසය වෙනුවෙන් ඉදිරිපත් වෙන පුද්ගලයා කවුරුන්ද වත් නොදැන මහින්දට යුතුකම් ඉශ්ට කරන්නට බොහෝ අය පොහොට්ටුව ඉදිරිපිට තම චන්දය සලකුණු කලොය.අවසානයේ පත් වී තිබුණේ දේශපාලනය ගැන මෙලෝ අවභෝදයක් නැති ලැයිස්තුව ප්‍රතික්ශේප වීම වලකාගනු පිණිස නම් ඇතුලත් කල අයයි.සමහරු වයස අවුරුදු 25ක් වත් සපුරා නොතිබුණි.උන් දන්නා දේශපාලනයක් නොමැති බව පහු ගිය වසර කීපයේදී ඔප්පු කර හමාරය.බොහෝ ගම්වලට ඒ වසර ගණනාවටම පොදු ව්‍යාපෘති ලැබී නැත.දැන් එදා මහින්දට කැරකුණු බඹරය අද ජාතික ජන බලවේගයට කැරකෙවෙමින් ඇත.ඒ අයද තමන් දේශපාලන වේදිකා වල කෑ මොර දුන් තරුණ නායකත්වය වෙනුවට වයෝවෘද්ධ අපේක්ශකයන් ඉදිරිපත් කරමින් ඇත.සමහර තැන් වල යාන්තම් වයස 20 පසු කල හිරිමල් තරුණයන් ඉදිරිපත් කර ඇත.. උන්ගේ දේශපාලන පරිණතකම ගැන කතා කිරීමෙන් පලක් නැත.ආයෙමත් රැල්ලට චන්දය භාවිතා කර ඉල්ලන් කෑමක් ලඟා කරගන්නට යන බව මගේ කියවීමයි.ජාතික ජන බලවේගය ජනප්‍රිය දේශපාලනයේ ලඟා කරගත හැකි උච්චතම අවස්තාව මෙවර මැතිවරණයේදී ලබනවා ඇත.
ඉගිල්ලී නොයන තාක් කල් කොකුන්ගේ සුද දැකිය නොහැක.බිම් මට්ටමේ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මහින්දගේ බයියන් තරමටම බයි ගතිය ප්‍රදර්ශනය නොකරන්නැයි මම ප්‍රාර්ථනා කරමි.උන් එසේ කලහොත් ඒ ඓතිහාසික වරද නිවැරදි කරන්නට තව දශක ගණනක් ගතවෙනු ඇත.එවිට ජා.ජ බලවේගයේ ඉහළ තනතුරු දරණ දේශපාලනයේ හොඳින් තෙම්පරාදු වී ඇති අයගෙන් මේ රටට ලැබිය යුතු අවංක සේවය කිසි දිනෙක ලබා ගත නොහැකි වනු ඇත.
Tuesday, January 10, 2023
කථානායකතුමනි
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙම උත්තරීතර පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන්න ලැබීම මං භාග්‍යයක් විදියට සලකනවා.මැතිවරණ ප්‍රතිඵත්ති ප්‍රකාශනයේ සඳහන් කල පරිදිම ශ්‍රී ලංකාව නවමු ගමනකට කැඳවාගෙන යන පලමු පියවර තබන මේ නව පාර්ලිමේන්තුවේදී මගේ නව රජය තමන්ගේ පලමු කාර්‍යය ලෙස ඉටු කරන්නට සූදානම් කාරණා ගැන දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා...
මගේ රජය ප්‍රතිපත්තියක් ලෙස පාසල් විශය නිර්දේශ වලින් ආගම කියන විශය ඉවත් කරනවා.ලබන වසරේ සිට අපොස සාමාන්‍ය පෙල විභාගය ඇතුලු සියලුම වසර වලින් ආගම විශය ඉවත් වනු ඇත.ඒ වෙනුවට 6-10 ශ්‍රේණි වලදී ප්‍රධාන ආගම් ඇදහිලි හා සංස්කෘතික උරුම සම්බන්ධයෙන් සිසු දරුවන්ට දැනුමක් ලබා දෙනු ඇති.
පලමු වසරේ සිට පහ ශ්‍රේණිය දක්වා ප්‍රධාන විශයන් එනම් මව් බස, ගණිතය, පරිසරය (විද්‍යාව), ඉංග්‍රීසි හා අධ්‍යාපනවේදීන් අනුමත කරන විශයන් එකක් හෝ දෙකක් දරුවන්ට උගන්වන්නට නියමිතයි.ඉන් ඉහලට සාමාන්‍ය පෙල දක්වා ගණිතය, විද්‍යාව,ඉංග්‍රීසි, තොරතුරු තාක්ශනය යන විශයන්ට අමතරව විදේශ භාශාවක් ඉගෙන ගැනීම අනිවාර්‍ය වනු ඇත.එසේම වඩු කර්මාන්තය , ලෝහ කර්මාන්තය,මෝටර් රථ කාර්මික, මේසන් වැඩ හා ජල නල කාර්මික යන අංශ වලින් තෝරාගත් විශයක් හැදෑරීම අනිවාර්‍ය වනු ඇත.දරුවන්ට තමන්ගේ මව් භාශාව පිලිබඳව මෙම වකවානුව තුල වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා ඉඩ කඩ සලසනු ඇත.අපොස සාමන්‍ය පෙල විභාගය අවසානයේ සාමාන්‍ය විශයන් වලට සාමර්ථ ලබා දෙන්නා සේම අධ්‍යනය කල කර්මාන්ත වල පරීක්ශන පවත්වා ඩිප්ලේමා මට්ටමේ NVQ සහතිකයක් ලබා දෙනු ඇත.
උසස්පෙල සිසු සිසුවියන් සඳහා ද දැනට පවතින විශය මාලා වලට අමතරව විදේශ භාශා අධ්‍යනයට පහසුකම් වැඩි කරනු ඇත.එසේම තාක්ශනික විද්‍යාගාර හරහා වෘත්තීය පුහුණු ක්ශේත්‍රයේන් දරුවන් ලබා ගත් දැනුම උසස් ඩිප්ලෝමාවක් දක්වා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසනු ඇත.
විශ්ව විද්‍යාල වල කලා විශය ධාරාව පුලුල් ප්‍රතිසංස්කරණයකට ලක් කර ආගන්තුක සත්කාර, හෝටල් කලමණාකරන ආදී විශය ක්ශේත්‍ර සුලබ කරනු ඇත.එසේම විශ්ව විද්‍යාලයට ඇතුලත් වන සිසු සිසුවියන් තමන්ට අදාල පලමු උපාධිය නියමිත කාලයේදී සම්පූර්ණ කල යුතු අතර එසේ නොවන අයවලුන් විශ්ව විද්‍යාලයෙන් බැහැරව, සියලු විභාග වෙනුවෙන් මුදල් ගෙවා තම උපාධිය සම්පූර්ණ කර ගත යුතුය.එසේ සහන කාලයක් ලබා දෙන්නේද වසරකට පමණි.
විශ්ව විද්‍යාල, පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සඳහා පහසුකම් සැලසීම රජයේ ප්‍රමුක කාර්‍යය ලෙස සලකනු ඇති අතර නවෝත්පාදන හා පර්යේෂණ සඳහා නව නිපැයුම් කොමිසම යටතේ මධ්‍යස්ථානයක් ඇති කරන අතර වාර්ශිකව ඉදිරිපත් කරන නවෝත්පාදන අතරින් හොඳම සංකල්ප තෝරාගෙන ඒවා මෙරට තුල වාණිජ වශයෙන් නිශ්පාදනයට රජය මැදිහත්ව සියලු පිරිවැය දරනු ඇත.අපේ අරමුණ ඉදිරි වසර පහ තුල අවම වශයෙන් පේටන්ට් බලපත්‍ර 500ක් ලබා ගැනීමට මෙරට දක්ශයින් පෙලඹවීමයි.
ස්තූතියි
Saturday, December 31, 2022
Happy new year
අලුත් කැලැන්ඩර් වර්ශය උදා වෙන්නෙ අපි හැමෝටම තවත් අභියෝග රැසක් එක්ක.වැඩි වන්නට නියමිත විදුලි බිල නව ජනතා රැල්ලක ආරම්භය වීමට බොහෝ දුරට ඉඩ ඇති.විදුලි බිලේ වැඩි වීමත් සමහම ජලය ආදී ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සේවා බහුතරයක මිල දැරිය නොහැකි තත්වයකට ඉහල යාම පාලනය කල නොහැකි වනු ඇත.සුභ පැතීමේ පණිවිඩ වලින් ඔද්දල්ව, මේ විවේකී ඉරිදා සතුටින් සමරන ඔබ ඉදිරියෙන් එලඹෙන අභියෝග පිලිබඳව සැලකිලිමත් වේවායි යන්න මගේ ප්‍රාර්ථනාවයි..
ඔබ සතු වත්කම් එදිනෙදා ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් වැය කරන්නට අනාගත ලංකාවේදී සිදු වනු ඇත.. ආහාර හිඟ, කෘශ දරුවන් සුලභ වනු ඇත..වංචා දූශන හා මිනී මැරීම් තව තවත් ඉහල යනු ඇත.කෙටියෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය සිම්බාබ්වේ හෝ වෙනිසියුලාවේ තත්වයට පත් වන මාර්ගයේ ඉමටම ගොස් ඇත... මේ යථාර්තය තේරුම් ගන්නට හැකියාව ඔබ හැමට ලැබේවා..
එලඹෙන නව ජනතා රැල්ල සති ගණන් ඇදී නොයන, පොදු දේපල හානි අවම, අවසන් ජයග්‍රහණය (පාලන ක්‍රමයේ හා උද්දච්ච නිලධාරී පැලන්තිය පලවා හැරීම) ඉතාම ඉක්මණින් ලඟා කරගන්නා ජයග්‍රාහී අනාගතයක් වේවා..
මේ ඇරඹුනේ මේ රටේ දිශානතිය තීරණය කරණා තීරණාත්මක වර්ශයයි.එය ගෙවුනු 2022 වඩා ඔබව වික්ශිප්ත කරනු ඇත..
මේ රටත් එහි පුරවැසියන් වන අපත් මීට වඩා යහපත් ජීවන තත්වයකට හිමිකරුවන් විය යුතුය...
Thursday, June 30, 2022
අඹගොල්ලෙ ගාමිණී -2
හමුදා සේවයෙන් ඉවත්ව ගියද නියෝග වලට අවනතව කටයුතු කල පාපකාරී වසර කීපයකට තිත තැබූ ගාමිණී, වෙඩි වැදී විරූපී උනු වම් අත්ලක් සහිතව වලව මිටියාවතේ ගොවි බිමක තම දහඩිය මුගුරු වගුරවමින් උන්නා.කාන්තීගේත්, ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් හිටි පුතණුවන්ගේත් ආදරයත් සහයෝගයත් නිසාවෙන් ගොවි බිමත් නිවසත් සාර සොභාවට පවත්වා ගන්නට ගාමිණීට හැකියාව ලැබුණා.
දෙමහල්ලන්ගේ එකම අපේක්ශාව වූයේ තම එකම පුතු අධ්‍යාපනයෙන් ඉහලටම තල්ලු කර යවන්නට මිස ඔහුත් ගොවි බිම් වල දහඩිය වගුරනවා බලන්නට නොවේ.ඒ වෙනුවෙන් උපයන සියල්ලම උවද විය පැහැදැම් කරන්නට ඔවුන් සූදානම්ව සිටියා.කොරෝනා වසංගත සමයේ දරුවාගේ අධ්‍යාපනය අඩාල නොවන්නට අවැසි ජංගම දුරකතන හා පරිගනක ආදිය ගෙන එන්නට කාලාන්තරයකින් ගමෙන් පිට නොගිය ගාමිණී ඇඹිලිපිටිය නගරයේ දවසක් පුරා රස්තියාදු උනා.අශෝබන අතීතය නිසා ලොවෙන් වසන් වී සිටි ඔහු දරුවා වෙනුවෙන් ඒ අවධානම සතයකට මායිම් කලා නොවේ.
කොරෝනා වසංගතය නිසා විඳින්නට සිදු වූ අපහසුකම් පහව යද්දීම රටේ තත්වය තවත් නරක අතට හැරෙන බව දිනපතා ප්‍රවෘත්ති වලින් විකාශය වෙද්දී ගාමිණීට සිහි වූයේ හවස් වරුවක රංජිත් ගේ සිල්ලර කඩේ ලඟ හමු වූ සරත් සර්ගේ කතාවයි..
"මුං රටේ සල්ලි ටික ගසා කාලා ගාමිණී.., උඹලා ජීවිතේ පරදුවට තියලා කොටින්ගෙන් බේර ගත්තු රට අවුරුදු කීපෙකින් මුං ටික කාබාසිනියා කරලා.. ඕන්න බෙහෙත් ටිකවත් ගෙන්න ගන්න සල්ලි නැතිලු.."
සරත් සර්ගේ වචන වල බරපතලකම ටිකෙන් ටික ගාම්ණීලාගේ ජීවිත වලට දැනෙන්නට ගත්තේ බඩ ඉරිඟු වගාවට පොහොර හිඟ වූ පසුවය..තිස් හතලිස් දහසකට මිල ගිය පොහොර මිටි තුනක් මිලදී ගන්නට හමුදාවෙන් ලැබුණු විශ්‍රාම වැටුපෙන් ඉතිරි සියලු මුදලත් කාන්තීගේ වලල්ලක් උකස් කර ලබා ගත් මුදලත් වැය කරන්නට සිදු විය.ඉන්ධන ගිඟය නිසා බිම සකසා ගන්නට ට්‍රැක්ටරයක් ගෙන්වා ගන්නට සති කීපයක් බලා ඉන්නට ගාමිණීට සිදු විය.
යුද්ධය අවසානයෙන් පසු කිලිනොච්චි කඳවුරේ සේවය කල කාලයේදී උතුරු ප්‍රදේශය සංවර්ධනය පිලිබඳව කටයුතු කල දකුණේ දේශපාලකයකු විසින් සිදු කල වංචා දූශන කොතරම්දැයි අවබෝධයක් ගාමිණීට තිබුණි.දෛවයේ සරදමකින්දෝ ඔහු මේ අසීරු කාලයේද රටේ තිරය පිටුපස ප්‍රධාන හස්තයක් ලෙස ක්‍රියාත්මක වී සියලු දේට මැදිහත් වෙමින් ඉන්නා බව පැහැදිලිවම පෙනෙමින් ඇත.
දාඩිය මහන්සියෙන් උපයා ගත් යමක් වේ නම් එය වියදම් කරමින් බිරිඳත් දරුවාත් සමග සතුටින් ගත කල කාලය සැඟව ගියේ අවර ගිරින් හිරු සැඟව යන්නා සේය.. වගා බිම සමග ඔට්ටු වෙමින් සිටි ගාමිණී සොයා මව සමග ආ දරුවාට සර්පයෙකු දශ්ඨ කල බව ගාමිණී දැන ගත්තේ මවත් දරුවාත් යාය දෙදුරුම් කවමින් ගෑ ගැසූ විටය.
කරමින් සිටි කාරිය පසෙක දමා හීයක වේගයෙන් දරුවා වෙත දිව ගිය ගාමිණී ඔහුද රැගෙන මාර්ගයට දිව ගියේ හැකි ඉක්මණින් රෝහලක් වෙත දරුවා රැගෙන යන සිතුවිල්ලෙන්.නමුත් කඩිමුඩියේ ත්‍රී රෝද රියක් සොයා ගැනීමට නොහැකි වූ තැන දරුවා කරපින්නා ගත් ගාමිනී ඉදිරියෙන්ද, අඬමින් දෙවියන්ට කන්නලව් කරමින් කාන්තී ද රෝහලක් වෙත දුවමින් සිටි අයුරු දෑත කම්මුලේ තබා ගත් ගැගැනුන් කීප දෙනෙක්ම කම්පිතව බලා සිටින්නට විය.
ඉන්ධන පෝලිම් වල රස්තියාදු වෙන්නට සිදු වීමෙන් හදිසියකදී රෝහලක් වෙත යාමට වාහනයක් ගමෙන් සොයා ගන්නට නොහැකි බව වැටහුනු පසු ගාමිණී විශේෂ බලකාය තුල මාස ගණනාවක අති දුෂ්කර පුහුණූ කාලයක ප්‍රගුණ කල ඉවසීම දරු සෙනෙහසින් පුපුරා යන්නට විය.ඒ තිගැස්ම දෙපයට වාරු වී රෝහලක් වෙත දරුවා උර මතින් හෝ ගෙන යන්නට තරම් ඉලක්කයක් ඒ හිත මත ජනිත විය.කෙසේ වෙතත් සෙවනගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ පිහිටෙන් රෝහල වෙත ගෙන යද්දීත් දරුවා සිහිසුන් වී සිටියේය.. තත්වයේ ඇති බැරෑරුම්කම වටහා ගත් වෛද්‍යවරු ක්ෂණිකව ඇඹිලිපිටිය රෝහල වෙත දරුවා මාරු කර යැවීය..
.....................................................................................................................................................................
මළ හිරු බසිමින් තිබූ සන්ධ්‍යාවේ තව දුරටත් ජීවිතයේ ඉලක්කයක් ඉතිරිව නොවූ ගාමිණී, තම ලෙයින් ජාතක වූ දරුවා සුවෙන් නිදනා පොලෝ තලය මත හිස තබාගෙන සිටියේය...අවසන් වරට චුට්ටෙ අයියා ලබා දුන් ඉලක්කය ලබා ගද්දී ඔහු තම දරුවා ආරක්ෂා කරගන්නට දුර්වලව උත්සාහ කල අයුරු ගාමිණීගේ සිතේ සිනමා පටයක් මෙන් වරින් වර හොල්මන් කරන්නට විය..කර්මය සාදය ආරම්භ කර ඇත..
එහෙත්,
ඇඹිලිපිටිය රෝහලට දරුවා රැගෙන ගිය විට එහි සිටි වෛද්‍යවරු අසරණව රට පුරා රෝහල් වලට අමතා ප්‍රතිවිශ එන්නත් සෙවූ අයුරු අමතක කරන්නට ගාමිණීට නොහැකි විය.ඒ එන්නත් සොයා ගැනීමට නොහැකි තැන ෆාමසියකින් හෝ ගෙනෙන්නැයි ලියා දුන් තුන්ඩුවද සහිතව ඇඹිලිපිටියේ බෙහෙත් ශාලා එකින් එක පීරූ ගාමිණීට පිහිටවන්නට දෙවියන්වත් සිටියේ නැත..
අවසානයට මොහොතකට කලින් ගාමිණී සිය පසුම්බිය තුල සුරක්ශිතව ලියා තිබූ එවකට තම ප්‍රධානියා වූ වර්ථමාන මේජර් ජෙනරල් නිලය දරණ නිළධාරියකුට ඇමතුමක් ගත්තේය.සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගිය දා සිට සබඳකමක් නොවූවද එවක භාවිත කල කෙටි නමින් හඳුන්වා දුන් සැනින් උසස් නිළධාරියා ගාමිණීව හඳුනා ගත්තේය.ගාමිණීගේ එකම ඉල්ලීම වූයේ අදාල ඖෂධය සොයා ගැනීමට උපකාර කරන ලෙසයි.
තමන් දෙවියන් මෙන් සිතා සිටි මිනිසුන්ද මේ මොහොතේ අන්ත අසරණ බව වටහා ගන්නට වැඩි වේලවක් ගාමිණීට අවශ්‍ය නොවීය..
ඖෂධය සොයා ගැනීමට නොහැකි වූ තැන, දින එක හමාරක අරගලයකින් පසු වලව මිටියාවත එළිය කරන්නට වරම් ලැබ සිටි පහන් එලියක් සදහටම නිවී ගියේය..
ගාමිණීලා කුසට හරි හැටි ආහාරයක්,නින්දක් හෝ නොලැබ මරණ වරෙන්තුව දෑතේ තබාගෙන යුද්ධ කලේ තමන්ටත් තම අඹු දරුවන්ටත් යහතින් ජීවත් වන්නට රටක් තිබිය යුතු යැයි විශ්වාස කල නිසාය.නේක දුක් විඳ ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට සුඛිත මුදිත තත්වයට ගෙනෙන්නට පාලකයන් සිටියේය..ඔවුන් තමන්ගේ යුතුකම පැහැර හැර ජාතියේ ධනය සොරා කෑ විට ඒවාට වන්දි ගෙවන්නට සිදු වූයේ තමන්ගේ පුතු වැනි අහිංසක මල් කැකුලු වලට බව ගාමිණීට තේරුම් ගියේය..
සියලු සිද්දීන් විසින් දමනය කර පසෙක දමා තිබූ යක්ෂයා අවදි කරමින් තිබුණි..
දරු දුකින් සිහිමද තත්වයට පත්කර තිබූ කාන්තී ඇයගේ නැගණියත් මවත් ජීවත් වූ නිවසට ඇරලූ ගාමිණී තම රාජකාරිය අවසන් කරන්නට සැලසුම් කලේය.
නව ජීවිතය ලඟාකර ගනු පිණිස එක්තරා සන්ධ්‍යාවක ඇඹිලිපිටියෙන් කොළඹ බලා ධාවනය වූ බස් රථයක අසුනකට බර වී සිටි ගාමිණී දකින්නට සිටියේය..
.................................................................................................................................................................
අබාධිතව සේවයෙන් විශ්‍රාම ලබා සිටි යුධ හමුදා සාමාජිකයාට මාර්ග පිරිසිදු කිරීමේ සමාගමක වැඩ පරීක්ශක රාජකාරිය පැවරීම මගහැරීමට එහි කළමණාකරුට කිසිඳු හේතුවක් නොවීය.ඔහු සිය කැමැත්තෙන් ම බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරි භාර ගත්තේය.පරිපාලන අග නගරයේ පොදු මාර්ග සියල්ලම කැලිකසල වලින් තොර පිරිසිදු පුරවරයක් බවට තහවුරු කිරීම නවක සුපර්වයිසර් වරයාගේ ඒකායන බලාපොරොත්තුව විය.
මාසයක සාර්ථක රාජකාරි කාලයකට පසු ගාමිණී දින තුනක නිවාඩුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය අකමැත්තෙන් උවද අනුමත කරන්නට කළමණාකරු පියවර ගත්තේය. සේවකයන් සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කල, තමන්ට පැවරුණු රාජකාරිය විශිෂ්ට ලෙස ඉටු කල වැඩ පරීක්ශකවරයා නිවාඩු ප්‍රශ්නයක් මත අහිමි කර ගන්නට ඔහුට උවමනාවක් නොතිබුණි.
නිවාඩු ලද වැඩ පරීක්ශකවරයා සිය බිරිඳටත් ඇය රැක බලාගත් නිවැසියන්ටත් අවැසි අඩුම කුඩුම තොගයක් රැගෙන තම ගම්මානයට පිටත් විය.නිවාඩුව සැහැල්ලුවෙන් ගත කරනවා වෙනුවට ඔහුට සැලසුම් කල වැඩ රාශියක් සපුරා ගත යුතුව තිබුණි.
යලි කිසි දිනයක දෑතට නොගන්නෙමැයි සිතූ උපකරණයක් පොලව තුල මිහිදන්ව සිටි වසර කීපයකට පසුව දෑතට ගත් ගාමිණී එය සමග තමන්ගේ අතීත හැකියාවන් උරගා බලන්නට විය.අවශ්‍යතාවයට අනුව තමන්ගේ ශක්තිය පිලිබඳව තක්සේරුවකට ආ පසු නැවත තිබූ ආකාරයටම කොටස් බවට පත් වූ උපකරණය ගාමිනීගේ ගමන් මල්ල තුල සැඟව ගියේය.
කොලඹ පිටත් වන්නට සූදානම් වූ දින මුලු දහවලම ගාමිණී සිය සිඟිත්තා සැතපෙන ඉසව්වට වී ගත කලේය.එවන් මල් කැකුලු වලට පැහැබර අනාගතයක් වෙනුවෙන් වගකීමක් අන් කවරකටත් වඩා ගාමිණීලා පිට ඇත.ඔවුන් වරක් අනාගතයේ උන්ඩ වලට බිලි වන්නට තිබූ තරුණ ජීවිත දහස් ගණනක් නිදහස් කර ගත් අයයි.
කොළඹ පැමිණීමෙන් පසු උපකරණය සහිත ගමන් මල්ල සුරක්ෂිතව තැබූ සෙබලා තාවකාලිකව තමන් සේවය කල ආයතනයට ගොස් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන්නේය.කළමණාකරු කොතෙකුත් ඇවිටිලි කලද වෙනත් අරමුණක සිටි සෙබලාගේ සිත වෙනස් කිරීමට එය අල්ප මාත්‍රයකවත් හේතුවක් නොවීය.
.....................................................................................................................................................................
තම කාර්යාලයෙන් පිටතට පැමිණෙිමින් සිටි අති විශේෂ ප්‍රභූ පුද්ගලයකුට එල්ල කල වෙඩි ප්‍රහාරයක් පිළිබදව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විශේෂ පුවත් ආකාරයෙන් වාර්ථා කරන්නට විය.අදාල පුද්ගලයාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයින් විසින් එල්ල කල ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව වූ යාචකයෙකු මෙන් සැරසී සිටි ප්‍රහාරකයාගේ සිරුර අදාල කාර්යාලයට ඔබ්බෙන් මාර්ගය මත පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පොලිතින් පටි වලින් වට කොට සලකුණු කර ඇති ආකාරය ටෙලිවිෂන් නාලිකා වලින් විටින් විට විකාශය කරන ලදී..
ප්‍රහාරයෙන් පැය කීපයකට පසු පපු කුහරයට වැදී තිබූ මාරාන්තික වෙඩි උන්ඩයක් හේතුවෙන් අදාල ප්‍රභූ වරයා මිය ගිය බව රජය නිවේදනය කලේය.ප්‍රභූවරයාගේ මරණයත් සමග රටේ දේශපාලන ක්ෂේත්‍රය උඩු යටිකුරු වෙන්නට විය.
අදිසි හස්තයේ ග්‍රහණයට නතුව සිටි පාලක පක්ෂයට අදාල මංත්‍රීවරු අති බහුතරයක් ස්වාධීන වන්නට තීරණය කර ඇති බව ප්‍රභූ වරයාගේ මරණයෙන් දින කීපයකට පසු කථානායකට දන්වා තිබුණි.අග්‍රාමාත්‍ය වරයා ඉල්ලා අස් වූ අතර වඩා යහපත් පාලනයකට මාර්ගය විවෘත වූ අතර දූෂනයෙන් තොර ඇමති මණ්ඩලයක් වෙනුවෙන් වූ ජනතාවගේ අපේක්ෂාව සඵල වෙමින් තිබුණී.
.................................................................................................................................................................
ස්ථානය - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් මැදිරිය
ජ්‍යේශ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් තමන්ට භාරව සිටි කණ්ඩායම් වලින් ලබා ගත් තොරතුරු සහිත ලිපි ගොනු කැටුව අසුන් ගෙන ඇත.රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා, ආරක්ෂක ලේකම් සෙසු අසුන් වල ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් සොයා ගත් කරුණු අනුව තහවුරු වූ සිද්ධිය විස්තර කරමින් ඇත..
"සර්, මේක දේශපාලන ගේම් එකක් නෙවෙයි... කවුරු හරි මිනිහව ගයිඩ් කලා කියලා කිසිම හෝඩුවාවක් නෑ.මිනිහට එහෙම පොලිටිකල් කනෙක්ෂන් මොනවත් තිබිලත් නෑ. ඇටෑකර් ෆෝමර් එස්එෆ් පර්සන් කෙනෙක්.ඇතුලෙදි ටයිගර් කියලා තමයි කියලා තියෙන්නෙ.එයාගෙ දරුවා මීට මාස දෙකකට උඩදි සර්පයෙක් කාලා බෙහෙත් නැතුව මැරිලා තියෙනවා.රටේ තියෙන මේ තත්වයට වග කියන්න ඕනි අපේ VVIP කියන චෝදනාව නිසා මිනිහා මෝටිවේට් උනා කියලා තමයි දැනට හිතන්න තියෙන්නෙ."
"මේක වෙල් ප්ලෑන්ඩ් මිෂන් එකක්.මෙයා මීට සති හයකට කලින් කොළඹ ඇවිත් ක්ලීනින් සර්විස් එකක සුපර්වයිසර් කෙනෙක් විදියට අදාල ඒරියා එකට ඇවිත් ඉන්ටෙලිජනස් කලෙක්ට් කරලා තියෙනවා..ඒ මුලු කාලයෙම මනුස්සයා නිදාගෙන තියෙන්නෙ දියත උයනෙ බංකු උඩ.ඇටෑක් එකට දවස් තුනකට කලින් මිනිහා ජොබ් එකෙන් රිසයින් වෙලා.අපි මැනේජර් ව ගෙනත් කට උත්තර සටහන් කරගත්තා."
"මේ ටීෆයිව්සික්ස් වෙපන් එකේ සීරියල් එකෙන් ට්‍රැක් කරන්න බෑ..ඒ කාලෙදිම ටෙරාලගෙ එකක් පන්නගෙන වගේ.සීසීටීවී ෆූටේජ් වලට අනුව මේ ෆොටෝ එකේ තියෙන පදුර ලගට කලින් දවසෙ රෑ දෙකයි එකොලහට මිනිහා ඇවිත් තියෙනවා...අපි සැක කරන්නෙ එවෙලෙ වෙපන් එක හංගලා ගියා කියලා.මොකද එවෙලෙ එයා ලොකු බෑග් එකක් එල්ලගෙන ඉන්නෙ. ඇටෑක් එක කරන්න කලින් මිනිහගෙ අතේ ගන් එක නෑ.ටාගට් එක එලියට එනවත් එක්කම පදුර අස්සෙන් ගත්තු වෙපන් එකෙන් ෂොට් එකයි තියන්නෙ.."
"මූ යක්සයෙක්නෙ අයිසෙ....එච්චර ක්ලීන් ෂොට් එකක් ගත්තෙ කොහොමද මේ ඩැමේජ් වෙච්ච අතකුත් තියාගෙන..අනික අච්චර පිරිසක් ඉද්දි.ඕනි නම් තත්පර තිහක චාන්ස් එකක් එන්න ඇති "
"සර්, ඇටෑකර් එස්එෆ් එක ඇතුලෙදි බෙස්ට් ෂූටර් වෙලා තියෙනවා අවුරුදු ගාණක්ම..ඊවන් හී වෝස් ද බෙස්ට් ෂූටර් ඉන් ද හෝල් ආමී ෆෝ ඉයර්ස්.."
.......................
..................................................................................................................................................................
ආරක්ෂක පුධානීන් ගේ විශේෂ හමුවෙන් අනතුරුව වෙන්ව යන්නට මත්තෙන් කුලුපග මිතුරන් වූ ආරක්ෂක ලේකම්වරයාත් රාජ්‍ය බුද්ධි ප්‍රධානියාත් ප්‍රභූ ඝාතනයෙන් පසු රටේ ඇතිවෙමින් පවතින යහපත් ප්‍රවණතාවය වෙනුවෙන් සිහින් සිනහවක් නංවා සතුට පල කරගනු ලැබීය.
.................................................................................................................................................................
තම අවසන් රාජකාරිය මව්බිම වෙනුවෙන් ඉටු කල වලව මිටියාවතේ පීතෘවරයාගේ ආත්මය තම පුතු සදා කාලිකව නිදනා පොලෝ තලය වෙත පැමිණ ගිමන් හරින්නට විය...
Thursday, January 20, 2022
අබ සරණයි
Friday, January 7, 2022
බෞකාපන් භානුක
කරුණු කාරනා සිද්දවෙන විදියට උඹ කලින්ම විශ්‍රාම යන්නෙ වෙන ලොකු ප්‍රථිලාභ ටිකක් වෙනුවෙන් කියලාමයි හිතෙන්නෙ.සමහර විට ටීම් එකේ ස්ථිර තැනක් හදාගෙන උඹ ස්ථාවර වෙද්දි එළියෙ ඉන්න එවුන් ලේසියෙන් සල්ලි හම්බකරණ පාරවල් වල යන්න කතා කරනවා ඇති..දරදඬු රිටි වගේ වෙලා ප්‍රශ්න විසඳන්න බෑ මචං.නැමෙන්න ඕනි තැන් වලදි නැමෙන්නම ඕනි.නැත්තම් පීඩනය දරාගන්න බැරුව දණ්ඩ කැඩෙනවා.
අවුරුදු ගානක් නින්දාසහගත විදියට අපේ ටීම් එක පරදිද්දි කවදා හරි දිනයි කියන විශ්වාසයෙන් බලන් ඉඳපු අහිංසක මිනිස්සු පව්.රටේ සිද්දවෙන හැම දේකින්ම විඩාවට පත් වෙලා ඉන්න ලක්ශ ගානකට සතුටක් උනේ උඹලා ගෙනාව ජයග්‍රහන.
ඒත්, ගත්තු තීරණය උඹේ.රසිකයෝ සමාජ මාද්‍යවල මේ තරම් උඹෙන ඉල්ලීම් කරද්දිත් නෑසුන කන් වලින් ඉන්නෙ උඹේ තීරණය ස්ථිර නිසා වෙන්න ඇති.
කමක් නෑ..,සල්ලි කියන කාරණාව දෙවනුවට තියලා රට වෙනුවෙන් ක්‍රිකට් ගහන එවුන් ටිකක් කවමදාක හරි එනකන් අපි ඉන්නම්..
ලක්ශ ගානක් ඉන්න කියද්දි උන්ගෙ ආදරය වෙනුවෙන් වචනයක් කියන්න බැරි උන උඹෞකාපන්!
Sunday, September 26, 2021
හිමි අහිමි
බෝඩිමේද?.. මං පිල්ලෑවට ආවා..
දහ පහලොස් වතාවක් කල්පනා කරලා මං පූරිට කෙටි පණිවිඩයක් යැව්වා.මේක එහෙම කරන්න හොද වාතාවරණයක් නෙවෙයි.ඒත් මගේ හිත පෙරේදා ඉඳන් එක විදියකට ඉන්නෙ නෑ.
ආගම දහම ගැන ලොකු උනන්දුවක් නැති උනත් මං පිල්ලෑවට යන්න පටන් ගත්තෙ පූරි නිසා.එතැනට එයාගෙ බෝඩිමේ ඉදන් තියෙන්නෙ විනාඩි කීපයක දුරක්.
පූරී.... පව්ලෙ හැමෝම ආදරේට පූරි කිව්වට එයාගෙ නම පූර්ණිමා.මගෙ ඇවැස්ස නෑනා.එහෙමත් නැත්නම් අපේ අම්මගෙ මල්ලිගෙ දුව. වැව රවුමෙ බාලිකාවට ගිය එයා පාසල් කාලෙදි මට මුණගැහුනෙ පව්ලෙ විශේශ අවස්ථාවකදි විතරයි.සමහරවිට අපේ පවුල් අතර ඒ දුරස්කම් තීරණය කරන්න ඇත්තෙ එක එක්කෙනාගෙ වත්කම් වෙන්න ඇති.
මං දෙවෙනි වතාවෙත් උත්සාහ කරලා කැම්පස් ගිහින් ඉන්ටර්න් වලට කොළඹ යද්දී පූරි ජපුරෙ අන්තිම අවුරුද්දෙ.ඒ කාලෙ විවිද උදව් වලට මට කතා කරන්න කොළඹ හිටපු දෙතුන් දෙනාගෙන් විශ්වාසවන්තම කෙනා එයා.නිවාඩුවට ගෙදර යන්න එන්න, ඉදහිට දවසක හවසට තේ එකක් බොන්න අපි මුණගැහුනා..ඉතිං නෑ කම කෙසේ වෙතත් අපි හොදම යාලුවො වගේ උනා.
සබරෙ හිටිය ප්‍රේමවන්තියගෙ රැවටිල්ලට අහුවෙලා කලබලෙන් හිටි හිතට ඔෆිස් එකෙන් ලැබුණ පීඩනය කළමණාකරණය කරගන්න අමාරුයි කිව්ව ගොඩාක් දවස් වලට පූරි මාව පිල්ලෑවට අරන් ගියා.මං ඔහේ කියවන ඒවට හූමිටි තියලා අන්තිමට කන්න දෙයකුත් අරන් දීලා අයියා අපි දැන් යමු කියනවා..
මේ කාලෙ වෙද්දි කුළු බඩු අපනයන ව්‍යාපාරයක් කරපු පූරිගෙ තාත්තා ව්‍යාපාර අතින් ලොකූ පසුබෑමකට ලක් උනා.කැම්පස් ඉවර වෙලා කරපු පලවෙනි රස්සාවෙන් ලැබුණු අඩු වැටුපෙනුත් පූරි ගෙදර වියදම් වලට සම්මාදම් වෙන්න පුරුදු උනා...
මං, ආයෙමත් ආදරයක පැටලුනා.පූරිත් ගෙදරින් හොයපු යෝජනාවකට එකඟ උනා.ඒ එයාගෙ තාත්තගෙ ක්ශේත්‍රයේ තරුණයෙක්.සියලු ගැලපීම් වලට ඉහලින් එතන මූල්‍යමය ගැලපීමක් ගලපා ගන්න පූරිලගෙ තාත්තට උවමනා වෙලා තිබුණා.
ඉතිං,
අපි අපේ ලෝක වල තනි උනා... සතියට දවසක් දෙකක් මුණ ගැහිලා කතා කරපු ඒවා මග හැරිලා ගියා.කෙටි පණිවිඩ කීපෙකින්, මැසෙන්ජර් පණිවිඩ කීපෙකින් සතිය ගෙවිලා යන්න උනා.
යෝජිත සහකරු මොන වෙලාවකදිවත් පූරි ප්‍රාර්ථනා කරපු විදියේ කෙනෙක් වෙලා තිබුණෙ නෑ.ඒත් යෝජිත විවාහ බහුතරයකදි සිද්දවෙනවා වගේ පව්ලේ නම්බුව වෙනුවෙන් තමන්ගෙ හීන දිය කරලා යවන්න එයා හිත හදාගෙන තිබුණා.දීර්ඝ සති අන්තයක් වෙනුවෙන් කොළඹ ඉදන් නුවර එද්දි එයා මේ විස්තර කියවනකොට ගොලුවෙලා වගේ අහගෙන ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.ඒ වගේ තීරණ තිබ්බෙ මගේ අත පොවන සීමාවෙන් ගොඩාක් එපිට.
මාස ගණනාවක් හිතේ තෙරපිලා තිබ්බ දෝමනස්සයන් ටික නුවරින් බහිද්දිත් කියලා ඉවර කරන්න බැරි උන නිසා රෑට කෝල් කරන පොරොන්දුව පිට අපි ගෙවල් වලට ගියේ.
ගෙන්දගම් පොළවේ කාස්ටකයත් එක්ක කොයිතරම් ඔට්ටු වෙලා ගෙදර ගියත් නුවර තියෙන සෞම්‍ය සිසිලසට හිත නිවෙනවා කියන එක අතිශයෝක්තියක් නෙවෙයි.ඒ නිසා කලබලකාර හිතටත් තමන් ට හුරුපුරුදු, තමන්ගේම පරිසරයට ආවා කියන හැගීම බොහොම තදින් දැනුනා.
දුරකතන ඇමතුමක් හරහා එක්වරකට කතා කරන්න පුලුවන් උපරිම මිනිත්තු ගණන ඉක්මවා ගියායින් පස්සෙ මැසෙන්ජර් කෝල් එකකට සන්නිවේදනය භාර උනා..විශ්වාස කරන්න.. මැදියම් රෑ පහු වෙනවා වත් දැනුනෙ නෑ.
පාසල් යන කාලෙ තාත්තට යහමින් මුදල් තිබුණු නිසා හැම සැප සම්පතක්ම පූරිට ලැබිලා තිබුණා.විභාග වලට ටියුශන් දෙන්න ගුරුවරු ගෙදරට ආව නිසා සමාජය ගැන දැනුම ගන්න එයාට සීමිත අවස්ථාව ක් ලැබෙන්න ඇත්තෙ..
අයියට මතකද... ඔයා ඔෆිස් එකේ වැඩ වැඩි උනාම ඉස්සර හවසට මට කෝල් කරනවා.. අපි පිල්ලෑවෙ ගිහින් අයිස් ක්‍රීම් කෑවෙ..
අම්මෝ... ඒකට නම් පිං පූරි.ඒ ප්‍රෙශර් එක ආවම පිස්සු වගේ..
මං ඔයාට ආදරේ කලා අයියෙ..මේ දැනටත්..ඒත් මං පරක්කු වැඩියි කියලා මං දන්නවා..
ඒ වචන කීපය අපි අතර ගැඹුරු නිහැඬියාවක් ඇති කලා..ඒ නිහඬතාවය බිඳින්න රැහැයි හඬක්වත් එවෙලෙ තිබ්බෙ නෑ..
ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා තේරුම් ගත්තෙ අර ගර්ල් ඔයාව රවට්ටලා තියෙද්දි ඒක දරා ගත්ත විදිය දැකලා අයියෙ.. ඇත්තටම ඔයා වගේ කෙනෙක්ගෙ ආරක්ශාව පොඩි කාලෙ ඉදන් අපිට නොලැබුණේ අපේ අවාසනාවට.. ඒ දවස් වල අපේ අම්මලා තාත්තලා හිතපු විදිය ගැන මට දැන් ලැජ්ජයි අයියෙ..
පූරී...
ඔව් අයියෙ.දැන් හැමදේම තීරණය වෙලා නිසා මං හිත හදාගෙන ඉවරයි.ඔයාට තව දුරටත් හංගගෙන ඉඳලා තේරුමක් නැති නිසා මං කිව්වෙ.අලුත් තැනකට යද්දි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හිත නිදහස් කරන් යන්න ඕනි.. නැත්නම් මට එතනදි විඳවන්න වෙනවා.ඒකයි...
අනේ මං මෙහෙම කියවන එක අවුල් නම් සමාවෙන්න මට...
තෝන්තු වෙලා තිබ්බ හිත නිදහස් කරන් ගිරවියක් වගේ එයා කියෙව්වා....
පිස්සුද නංගී.. එහෙම අවුලක් නෑ..මං අවුලෙන් ඉන්න කාලෙ ඔයා මට කොච්චර උදව් කලාද.. ඔයා වෙනුවෙන් පැය කීපයක් මිඩංගු කරන එක බොහොම සුලු දෙයක්..
ඔයා වගේ කෙනෙක්ව මගේ කරලා ලඟින් තියාගන්න බැරි උනාට සතුටු හිතෙන කාරණාවකුත් තියෙනවා..
ඒ මොකක්ද?
අයියා විදියට මින් ඉස්සරහටත් ඔයා මං ලඟ ඉන්නවනෙ...සතුටුයි ඉතිං..
මට ඇත්තටම මොකක්ද කියන්නෙ කියලාවත් හිතා ගන්න බෑ නංගි..ඔයා මට මගේම නංගි වගේ..සත්තයි කවදාවත් ඔයාට වරදක් වෙන්න දෙන්නෙ නෑ...
ඒ කතා බහෙන් පස්සෙ අපි ආයෙ මුණ ගැහුනෙ දවස් දෙකකට පස්සෙ අපේ ගෙදර තිබ්බ ආච්චිගෙ බණ වෙලාවෙ.. පුංචි කාලෙ ඔහොම ආවම ගෙදර යන්න හදිසියෙන් ඉන්න පූරි එදා ගෙදරම කෙනෙක් වගේ වැඩ කටයුතු වලට උදව් උනා.ගෙදර යන්න කලින් හැමෝටම දණ ගහලා වැඳපු එයා මටත් වැන්දා..,
ඔලුව අතගාලා නලලත ඉඹින්න කියලා ඇඟ ඇතුලෙන්ම ආව නියෝගය දෑතට විලංගු දාලා මං නතර කරගත්තා.. මං බයයි! පුංචි කාලෙ ඉඳන් මාමලා අපි අතරෙ හදලා තිබ්බ පරතරේට බයයි මං.
නංගි එක්කම ආපහු කොළඹ එන්න හිතාගෙන හිටියත් හදිසි වැඩක් නිසා එයාට කලින් මට ආපහු එන්න උනා.
හිත එක තැනක තියාගන්න බැරි මොකක්දෝ හේතුවක් නිසා ආයෙත් වතාවක් පිල්ලෑවට ආව මං..එකම එක වතාවක් පපුවට තුරුල් කරන් පූරිට සමු දීලා නංගිව සාදරෙන් පිලිගන්න උවමනයි මට.
Sunday, April 11, 2021
අවුරුදු
Wednesday, March 24, 2021
ෆේල්..
ආයෙමත් ලංකාවෙ සහල් මිල රුපියල් සියය පැන්නුවා.කුඹුරු වල ගොයම් කැපෙන කාලෙ වෙලත් සහල් මිල පාලනයකට ලක් කරන්න රජයට හැකියාවක් නැතුව ගිහින්.
මේක තනිකරම මාෆියාවක්.ප්‍රධාන පෙලේ පුද්ගලික සමාගම් දෙක තුනක් එකතු වෙලා සමස්ත පුරවැසියාගෙම ආහාර සපුරා ගැනීම කියන මූලික මිනිස් අයිතිවාසිකම අභියෝගයකට ලක් කරන්න පටන් අරන්..මේ කරුණු කාරණා යම් තාක් දුරකටවත් කළමණාකරණය කරගන්න රජය අසමත් වෙලා.තවමත්, මහාපරිමාණ නොවන සාමාන්‍ය වී ගොවියා වගාවේ මුල් අදියරේ ඉදන් අස්වැන්න නෙලීම දක්වා වෙන කාලයෙදි විදින ආර්තික අපහසුතා වලට විසදුම් නෑ.ඉතිං, මුදලාලිලා කියන මිලකට තමන්ගේ ණය තුරුස් වල හිලව්වට වී දෙනවා ඇරෙන්න ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ..
මේ වෙලාවෙදි ගොවියන් හැටියට ඒ අය සැලකිය යුතු වැඩි මුදලකට තමන්ගෙ අස්වැන්න විකුණා ගනිමින් ඉන්නවා.නමුත් ඒක පාරිභෝගිකයන්ට සුභ ආරංචියක් නෙවෙයි.ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ශා කරගන්න නම් රජයේ යාන්ත්‍රණය මීට වඩා දැවැන්තව මැදිහත් වෙන එක අත්‍යාවශ්‍යයි.
ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය ගැන ඍජුව රටට වගකියන පාරිභෝගික අධිකාරිය මීක් නැත.වී මිලට ගන්නට රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වන වී අලෙවි මණ්ඩලය තරගකාරී මට්ටමක නැත.ඉතිං ප්‍රශ්නය උඩු දුවද්දී රජය කරන්නේ දිස්ත්‍රික් ලේකම් ලා සහ හමුදා නිලදාරීන් යොදවා හුදකලා තැන් කීපයකින් වී මිලදී ගැනීමයි.අවශයයි කියලා හිතුනොත් සහල් ආනයනය කිරීමයි...
ප්‍රශ්නය හැමදාම එකම තැන තියෙන්නේ එනිසාය...
ලංකාව පුරාවටම ගොවිජන කාර්‍යාල පිහිටුවා ඇත.සෑම ග්‍රාම නිලධාරී වසමකටම වගා නිලධාරියෙක් ඇත.අතහැර දමා ඇති දැවැන්ත වී මෝල් ඇත.වී අලෙවි මණ්ඩලය සතුව යම්තාක් දුරට ගබඩා පහසුකම් ඇත.මේ යාන්ත්‍රණය භාවිතා කර වී මිලට ගෙන සතොස හරහා මහජනතාව වෙත ලගා කල හැක.නමුත් ප්‍රශ්නය එතැනින් අවසන් වන්නේ නැත.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රජයේ සහතික මිලට මහජනතාව වෙත ගෙන යෑමට නම් රාජ්‍ය මැදිහත්වීම සහිතව සමූපාකාර පද්ධතිය නැවත මුලුමනින්ම ගොඩනැගිය යුතුව ඇත.ගොවියන්ට අවශ්‍ය ණය මුදල් ග්‍රාමීය බැංකු හරහා සහන පොලියට නිකුත් කර ඔවුන් විසින් ලබා දෙන අස්වැන්නෙන් ණය පියවා ගැනීමේ ක්‍රමයක් ඇති කල යුතුය.. අවශ්‍ය සමූපාකාර සමිති වෙත ප්‍රාග්ධනය සපයා ගැනීමට හෝ වී මෝල් ඇති කිරීම වෙනුවෙන් රජයෙන් යම් මුදලක් නැවත ගෙවීමේ පදනම මත නිකුත් කල හැක.
එසේ නොමැතිව පැලැස්තර ක්‍රම මගින් ප්‍රශ්න විසදන්නට යෑමෙන් සිදු වන්නේ ගොවියාට නිසි මිලක් නොලැබීමත් පාරිභෝගිකයන්ට අධික මිලක් දරන්නට සිදුවීමත් පමණි.
Thursday, February 4, 2021
අඹගොල්ලෙ ගාමිණී
පුරුද්දට උදේ පාන්දර අක්කර පහක් වෙච්ච හේන වටේ දුවන වට රවුම ඉවර වෙද්දි ගාමිණී ගෙ හෑන්ඩ් ෆෝන් එකට මිස්ඩ් කෝල් තුනක් තිබුණා.. ගෙදරට උවමනාවක් උනත් කාන්ති මෙච්චර පාන්දරින් කෝල් කරන්නෙ නෑ කියලා දන්න නිසාම ගාමිණී ෆෝන් එක එබුවෙ ප්‍රශ්නාර්ථයක් හිතේ තියාගෙනම...
Wednesday, September 16, 2020
ජීවිතේ එතැනය
උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ වීමට මත්තෙන් සියලු දුරකතන ක්‍රියා විරහිත කරන මෙන් නිවේදකයා ඉල්ලා සිටියේය.ඒ වන විටත් එය නිශ්ක්‍රීය කර ශාලාවට ඇතුලු වූ අම්මාට දුන් මා මිතුරු පිරිස අතර අසුන් ගතිමි.වසර හතරක දුෂ්කර ක්‍රියාවෙන් පසු එහි අග්‍ර ඵලය ලබන දිනයට ඔවුන් පැමිණ සිටියේ සැහැල්ලු සිතිනි.නානාවිධ වර්ණයෙන් යුත් සාරි වලට පිටින් පොරවා ගත් උපාධී ලෝගුව නිසා ඔවුන් සියල්ලක්ගෙන්ම ගාම්භීර පෙනුමක් දිස් විය. විශ්ව විද්‍යාලයට ඇතුලත් උනු මුල් දින වල නොයෙකුත් ගම් පලාත් වලින් පැමිණ සිටි අපි ඒ තරම් ලං නොවුනත් අවසානය වන විට එක කුස උපන් සහෝදර කැලක් මෙන් අපි බැදී සිටියෙමු.
විශ්ව විද්‍යාල මතකයන් අනුස්මරනය කරමින් සිටි මට පියවි සිහිය ලැබුණේ රවිදු සිහි වූ විටදීය..උසස්පෙල හදාරන අවධියේදී මිතුරු කමින් ඇරඹුනු අපේ සම්බන්ධය මාස කීපයක ඇවෑමෙන් ආදර සබදතාවයක් බවට පත්වීම අහම්බයක් නොවේ.ඔහු විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට අපොහොසත් උවද මගේ උසස් අධයාපනය වෙනුවෙන් අපිරිමිතව සහයෝගය දැක්වීය.විභාග ආසන්න වන විට සති ගණන් නිවෙසට නොගිය මා බලන්නට සතියට නිවාඩු ලැබූ එකම ඉරිදාවෙත් ඔහු කොළඹ පැමිණියේය.
ඉතිං, අධ්‍යපනයෙන් ලැබිය හැකි ඉහලම සම්මානයක් යැයි මං විශ්වාස කල උපාධි ප්‍රධානෝත්සවයේදී කලු ලෝගුව ඇගලා උපාධි සහතිකයත් අතැතිව ඔහු සමග ඡායාරූපයක් ගැනීමේ මගේ ආශාව අසාධාරණ නොවනු ඇත.අනන්තවත් කාශ්ඨක වල මට හෙවන දුන් ඒ වෘක්ෂය, වැසි ලැබෙන විට අමතක කල නොහැක.
සේවා ආයතනයෙන් නිවාඩු ලබා ඔහු කොළඹ එන්නට පිටත් වී තිබුණේ උත්සවය ආරම්භයටත් පැය කීපයකට කලිනි..ශාලාවට ඇතුලු වීමට පෙරාතුව මා විමසන විට ඔහු සිටියේ පැයක දුරකිනි.අම්මාත් තාත්තාත් රවිදු ගැන නොදන්නා නිසා උපාධි සහතිකයත් රැගෙන ඔහු සමග ඡායාරූප ගැනීම පහසු කටයුත්තක් නොවේ.සියල්ලටම වඩා අපහසු අයියාව මගහැර යාමයි.
නියමිත වේලාව පසු වී මිනිත්තු විස්සකට හෝ තිහකට පසු උත්සවය අවසාන විය.මිතුරු මිතුරියන් සමග ජංගම දුරකතන වලින් ඡායාරූප ගන්නා අතර තුර ප්‍රධාන ඡායාරූපය ලබා ගැනීම පිණිස අයියා පෝලිමේ තැබුවෙමි.අම්මා අත තිබූ ජංගම දුරකතනය නැවත ක්‍රියාත්මක කිරීමේදී මග හැරුණු ඇමතුම් දුසිමකට ආසන්නය.නියමිත වේලාව පසු වී තිබුණත් මගෙන් ඇමතුමක් නැති තැන ඔහු කලබල වන්නට ඇත.
ලද ඉස්පාසුවෙන් මං ඔහුට ඇමතුමක් ගතිමි.
සදූ මොකද ෆෝන් ඕෆ්? මං ඇවිත් පැයක් විතර ඇති.මොකද වෙන්නෙ බලන්න කෝල් ගොඩක් ගත්තා.
නෑ අනේ ෆෝන් එක ඕෆ් කරල අම්මට දීල තිබුණෙ..ඔයා දැන් කොහෙද?
මං මේ පරණ බස් එක ලග.. වැස්ස නිසා කොහෙටවත් යන්න බෑ නෙ.
හවස තිස්සේම අනෝරා වැහි වැටුනු බව ශාලාව ඇතුලත හිටි අපට දැනුනේ නැත.බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති ලංකාවේ ප්‍රථම ජනසතු බස්රථය හෙවන දෙන පියස්සට ඔහු යන්නට ඇත්තේ වර්ෂාවෙන් ආරක්ෂා වීමට විය යුතුය
හරි ඔතන ඉදන් කෙලින්ම එන්න.මං එන්නම්..
අම්මාටත් තාත්තාටත් මදකට හුන් තැනම රැදෙන මෙන් පවසා මං සෙනග අතර අතුරුදන් උනෙමි.
සුදු අත් දිග කමිසයත් කලු පැහැති කලිසමත් හැද කෝට් කවරයද රැගෙන වැස්සේම ඔහු මා සිටි තැනට පැමිණියේය
පොඩ්ඩක් තෙමුණා සදූ..අවුලක් නෑ නේද?
කෝට් කවරය මා අතට දී ලේන්සුවෙන් වැහි බිංදු පිසිමින් ඔහු විමසයි..
කෝට් එකකුත් ගෙනාවද රවිදු?
ඔව්.. උපාධි ලෝගුව දාල ලස්සනට ඉන්න සදු එක්ක හොද පොටෝ එකක් ගන්න එපැයි..
මං මේ ආදරයට හැමදාම ලෝභ කරමි.මගේ ජීවිතයේ අංශු මාත්‍රයක් ගැන පවා ඔහු සැලකිලිමත් වන අයුරු අපූරුය.
හරි ඉක්මණට අපි පොටෝ එක ගමු.අම්මල හොයන්න කලින් එතනට යන්න ඕනි..
මේ ටයි එක දාන්න සදූ..
මේ කලබලකාර ආදරවන්තයාට තනිවම ටයිපටියවත් බදින්නට බැරිය....
යහලුවන්ගේ පිහිටෙන් අපි පොටෝ කීපයක් ගතිමු.මගේ ජයග්‍රහනයේ සැබෑ උරුමක්කරුවාට උපාධි ලෝගුව පැලද උපාධි සහතිකයක් දරන්නට වාසනාවක් නැති උවද ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමය.මං මගේ කබායත් හිස් වැස්මත් බලෙන් ඔහු මත දවටා ඡායාරූපයක් ගත්තෙමි.පාංශූ දේහදාරී ඔහු ඒ ඇදුමට පුදුමාකාර ගාම්භීර ගතියක් පෙන්වූයේය..
රවිදු සමග ගත කරන්නට මිනිත්තු කීපයකට වඩා නැති බව අප දෙදෙනාම දැන සිටියෙමු... සතුට නිමා කර මං දෙමහල්ලන් සමග එකතු උනෙමි..
නැවත මට රවිදු සම්බන්ධ වූයේ උත්සවයෙන් පසු නිවස බලා යන අතර තුරදීය..අයියාත් තාත්තාත් කාර් රථයේ ඉදිරිපස සිටි නිසා පසු පස සිටි මට දුරකතනයෙන් කෙටි පණිවිඩ යැවීමට බාධාවක් වූයේ නැත..
කෝට් එකත් රැගෙන බසයෙන් යාමේ අපහසුව නිසා පිටකොටුවේදී බසයෙන් බැසගත් ඔහු එතැන් සිට සම්මන්ත්‍රණ ශාලව වෙත පැමිණ තිබුණේ ත්‍රී රෝද රථයකින්ය.උත්සවය අවසන වන තුරු සිටි ඔහු නැවත පිටකොටුවෙන් බසයට නගින විට කුලී මුදල හයසිය පණහකට වඩා වැඩි වී තිබී ඇත.එතැන් සිට තවත් පැය තුන හමාරක් බස් රථයෙන් නිවසට යා යුතුව ඇත.අවසානයේ මැදියම් රැය ආසන්නයේදී බසයෙන් බැසගත් ඔහු නිවසට ගොස් තිබුණේ රාත්‍රී ආහාරය රෑ කඩයකින් ගත් පසුය.
මං ඒ අහිංසක ආදරයට පුදුමාකාර තරම් ලොභ වෙමි.විශ්ව විද්‍යාලයේදී නානාප්‍රකාර තරුණයන් මා පසු එද්දීත් නොසැලී ඉන්නට ධෛර්යය ලැබුණේ ඔහුගේ සිනහවෙන්ය.. අතෝරක් දුක් ගැහැට හමුවේදීත් මට ප්‍රාණය දුන්නේ ඒ ආදරයයි..
මියැදෙනා තුරාවට අනාගතයේ මගේ සහකරු විය යුත්තේ ඔහුමය..වචනයකින් පාසා මගේ වෙනස්කම තේරෙන්නේ ඔහුට පමණය...ජීවිතයේ සතුට ඇත්තේ ඒ දිලිසෙන දෑස තුලය...
Thursday, September 10, 2020
අප්‍රකාශිත
කම්පැණි මීටිංග් වලට මහනුවර යනවා කියන්නෙ මට නම් හැමදාම එපා කරපු වැඩක්.උදේ පාන්දර 9ට නුවර ඉන්න නම් රත්නපුරෙනුත් කිලෝ මීටර විසි පහක් විතර ඈතිං ඉන්න මං පාන්දර තුනේ විතර ඉදන් ලෑස්ති වෙන්න ඕනි.ජීවිතේ යන්න ආසම කරන නගර කීපයෙන් එකක් වෙච්ච නුවර යෑම එපා කලේම මේ මීටිංග් කිව්වොත් හරි. පාන්දර 4.30 බස් එක අල්ල ගන්න බැරි උනොත් වෙලාවට යනව කියන එක අමතක කරන එක හොදයි. නුවර නොයා කොළඹ ට යන්න උනා නම් නතිං. ඒත් ඉතිං ලොක්කො හිතන්නෙ එයාලගෙ පහසුව විතරනෙ.
අදත් මං අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ලෑස්ති වෙලා බස් එකට නැග ගත්ත.ඊයෙ වැඩ ටික ඉවර කරල නිදාගනිද්දි පැය තුනකට වැඩිය ඉතුරුවෙලා තිබ්බෙ නෑ.බස් එකේ සීට් ගානටවත් සෙනග හිටියෙ නැත්තෙ අද සති අන්තෙ නිසා වෙන්න ඕනි.පිටිපස්සෙ දොර ලග සීට් එකකින් මං ඉදගත්ත.මේ දවස් ටිකේම වැහිබර කාලගුණය ක් තියෙන නිසා ඇදුම් විනිවිද යන්න තරම් සීතල. ඇස් දෙක පියවෙනකන් වට පිට බලන එක මගේ සිරිත.සීට් පේලි දෙක තුනකට කලින් හිටපු කපල් එක මාව අවුරුදු ගණනාවක් අතීතෙට අරන් ගියා.
සවනි, මට මුලින්ම කල්පනා උනේ දැන් මොනවා කරනව ඇද්ද කියලා.අපි මුණ ගැහුනෙ අහම්බයකින්.ආදරෙයි කියල කවමදාකවත් කියල නැති උනාට තවමත් එයාව මතක් වෙද්දි පපුව හිරිවැටෙනවා.
අපි උදේ වැඩට යද්දි ගොඩක් වෙලාවට බස් හෝල්ට් එකේදි මුණගැහුණා.මුල්කාලෙ හිනා උනා විතරයි.ගුඩ්මෝනිංග් කියන්නත් මාසයක් විතර ගියා.පස්සෙන් පහු අපි හිතවත් උනා.
යෝජනාවකින් එංගේජ් වෙලා හිටි එයා මාස කීපයකින් විවාහ උත්සවේ අරන් සැමියා රැකියාව කල විදේශයට පියාඹන්න හිත හදාගෙන හිටියෙ.හැබැයි ඒ විවාහය ගැන ඒ තරම් කැමැත්තක් එයාගෙ හිතේ තිබුණෙ නෑ කියල නම් මට විශ්වාසයි.
සැමියා කෝල් කරන්නෙ රෑ හතට අටට නිසා දවල් කාලෙ සවනිට දැනෙන්න ඇත්තෙ එයා තනිකඩයි කියල වෙන්න ඕනි.එයා හරි සැහැල්ලුවෙන් දවස ගෙව්වා.යාලුවොත් එක්ක කෑමකට යන්න, ඇදුම් කඩ වල රස්තියාදු වෙන්න කාගෙන්වත් තහනමක් තිබ්බෙ නැති නිසා එයා ඒ නිදහස උපරිමයෙන් වින්දා.සමහර විට විදෙස්ගත උනාම ගෙදරටම කොටු වෙලා ඉන්න වෙයි කියල හිතෙන්න ඇති.
අලුත් ෆිල්ම්, පොත්, ට්‍රිප් ගැන හරි උද්යෝගයෙන් කතා කරපු අපේ හිතවත්කම ෆෝන් නම්බර් හුවමාරු කරගන්න තරම් දියුණු උනා.එතැන ඉදන් විහිලු කතා ලස්සන පිංතූර වට්ස්අප් හරහා අනන්තවත් අපි අතර එහෙ මෙහෙ ගියා..
හැබැයි,
සවනි බැදලා... අපි සීමාවෙන් පිට ගියෙ නෑ.
ඇත්තටම සවනි ගැන මගේ ක්‍රෂ් එකක් තිබ්බා..ආදරේ කරන කෙල්ලට කර්ල් කොණ්ඩයක්, නලදතක් තියෙන්න ඕනි කියල කාලයක් තිස්සෙ මගේ ඔලුවට වැටිල තිබුණ අදහස නිසා එහෙම කෙනෙක් දැක්කම ක්‍රෂ් එකක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි.
රස්සාවෙ වැඩකට දවසක් මට පාන්දරින්ම කොළඹ යන්න සිද්ද වෙන්නෙ ඔහොම කල් ගෙවෙන කාලෙක.එදාම සවනිටත් මරදානෙ තිබ්බ එයාලගෙ හෙඩ් ඔෆිස් යන්න සිද්ද උනේ කොහොමද කියල මට තාමත් හිතා ගන්න බෑ.අපි උදේ එක බස් එකේම ගිහින් හවසත් එකටම ගෙදර එමු කියල කතා උනා.උදේ ඇඹිලිපිටිය කොළඹ බස් එකකට නැග ගත්තට ඉදගන්න සීට් තිබ්බෙ නෑ.සෙනග අතරෙ එයාව කවර් කරන් ඉද්දි රත්නපුරෙන් බැහැල වෙන බස් එකක වාඩි වෙලා යන්න අපි එකග උනා.
රත්නපුරේ ඉදන් ගමන පටන් ගන්න බස් එකකින් සීට් එකක් අල්ලගන්න එක ඒ හැටි කරදරයක් උනේ නෑ.අපි ඔහේ කියෙව්වා... අත් එකට පටලැවෙන්න පොපියද්දිත් ඒක නොදැනුනා වගේ මං හිටියෙ බයට.ඇහැ පියවෙන වෙලාවට එයාගෙ ඔලුව මගේ උරහිසට හේත්තු වෙනවා.මං හිටියෙ කියාගන්න බැරි තරම් ලව් මූඩ් එකක නිසාද කොහෙද එයා පාවිච්චි කරපු පිච්ච මල් පර්ෆියුම් සුවද පපුවෙ ඇතුලටම දැනුනා..ඇත්තටම එදා නම් සවනි එන්ගේජ් උන කෙනෙක් කියන එක මං අමතක කලා.සමහරවිට එයා හිතන්න ඇති මං ඉස්සර වෙයි කියලා.මොකද එයා හැසිරුනේම මාව උනන්දු කරන විදියට.
හැබැයි, පපුව ආදරෙන් පිරිල තියෙද්දිත් සවනි ව මගේ උරහිසේ නිදිකරවන්න මං බය උනා..
උදේ පාන්දර පැය හතරකටත් වැඩිය හිත අමුතු ලෝකෙක නිබුණ නිසා ඔෆිස් පටන් ගන්න වෙලාව පහු උන එක ගැන හාන්කවිසියක අදහසක් අපිට තිබ්බෙ නෑ.නානාප්‍රකාර වාහන දහස් ගාණක් අස්සෙ අපිවත් අරන් බස් එක කොළඹටම ගිහින් තිබ්බා.
අප්‍රකාශිත ආදරේ හරි අපූරුයි......
ලෝකෙ පෙරලුණත් මං එදා ඔෆිස් ගියෙ තනිකරම ලව් මූඩ් එකක.මට අනිත් දේවල් ගැන වගේ වගක් නෑ.ඔලුවෙ තිබ්බෙ හවස ඔෆිස් ඇරෙන්න තව කොච්චර වෙලාවක් තියෙයිද කියල විතරයි.
අපි ආයෙම තුම්මුල්ලෙදි මුණ ගැහුණා.බස් වල එහෙට මෙහෙට යනවට වඩා ටැක්සියක යන එක ලේසියි කියල ඔෆිස් එක ලගින්ම ටැක්සියක් දාගෙන සවනි ආවෙ.අපි නැවතුනේ නුගේගොඩ මැක්ඩොනල්ඩ් එකේ.ඒක කේඑෆ්සී එකට වඩා හොදයි කියල හොයාගෙන තිබුණෙත් එයාමයි.
පැය විසිහතරකට සියල්ල අමතක කල අපි, කපල් එකක්..
ජීවිතේ....., ආයෙ ආයෙත් මතක් කරන්න ආස කරන මතකයක්... හදවතට කතා කරන්න ඉඩ දෙන්න ඕනි තැන් වල සීමාවකට යටත්ව හරි ඉඩ දෙන්නම ඕනි.මට සවනිව දැනුන බව ඇස් වලින් විතරක් කිවුව එක ගැන මට තියෙන්නෙ සමාව නොදිය හැකි තරමේ වරදකාරී හැගීමක්.
අපි බස් එකෙන් බහිනකොට රෑ 10ත් පහුවෙලා.තාත්තා ඇවිත් සවනිව එක්කන් ගියා.මං පියවි සිහියට ආවෙ එතකොට.ගෙදර ගිහින් බැටරි බැහැපු ෆෝන් එක චාජ් වෙන්න දාල මං නෑවා. නිදාගන්න අදහසක් මට තිබුණෙම නෑ..අහන දකින සියල්ල බොහොම ආදරණීය විදියට පෙනෙන දකින මානසිකත්වයක් මට තිබුණෙ.ජීවිතේ මිහිරම පැය කීපයක් මං ගතකරමින් හිටියෙ.
ෆෝන් එක කෑ ගහන්න පටන් ගද්දි පාන්දර දෙකයි කාලයි. ඒ වෙනකොටත් මං අවදියෙන්.ඒ සවනි, මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනෙ නෑ.ඒක වට්ස්අප් පණිවුඩයක්.
මලින්ද.., ඊයෙ ඔයත් එක්ක ගත කරපු කාලය මං පුදුම සැහැල්ලුවෙන් හිටියෙ.මගෙ පිස්සු විකාර ඉවසගෙන හිටියට ඔයාට තෑන්ක්ස්... මට තාමත් හිතා ගන්න බෑ මේ දේවල් උනේ කොහොමද කියලා.ඇත්තටම මං කංෆියුස් වෙලා.ඔයා නිදාගන්න මේ වෙලාවෙත් මං ඇහැරල.මට සමාවෙන්න.... අපි මුණගැහෙන්න තිබුණෙ මීට ටික කාලෙකට කලින්.කැමැත්තෙන් උනත් නැතත් මං දැන් මට උරුම ගමන යන්නම ඕනි.ඒ නිසා මට මේ සියල්ල අමතක කරන්න ඕනි.
අනේ මට ආයෙමත් සමාවෙන්න....
අහස දෙපාමුලට කඩා වැටුනා වගේ මට දැනෙන්න උනා.අප්‍රකාශිත ප්‍රේමය වියෝගයක් වෙන්න පැය කීපයකට වඩා කාලයක් ගත උනේ නෑ..
මමත් අවදියෙන්.....
ඊට එහා පිලිතුරක් මං යැව්වෙ නෑ