Tuesday, August 22, 2017

රන්දී - පියවර 3

අම්මාත් තාත්තාත් අක්කාත් මමත් එකට ඉද කෑම වේලක් ගන්නේ නම් ඒ රෑ කෑම වේලය.මේසයක් වටකර අසුන්ගෙන නොයෙක් දේ පිරිවරාගෙන නොකෑවත් අපි සියලු දෙනා අම්මාගේ රස බත් සතුටින් කෑවෙමු.
                       
                                අම්මාත් තාත්තාත් අපේ ජීවිත වෙනුවෙන් කරනා කැපකිරීම් මටත් අක්කාටත් රහසක් නොවීය.සමහර විට ඒ කැපකිරීම් අපගෙන් වසන් කරන්නට ඔවුන් උනන්දු නොවූයේ ඒවා ආදර්ශයට ගෙන අපි අපේ ජීවිත ගොඩනගා ගනිතැයි විශ්වාසයෙන් විය යුතුය.කවදත් හොදින් ඉගෙන ගෙන හොද රැකියාවක් ලබා ගන්නට උත්සාහ කරන්නට දිරි ගන්වමින් අම්මා අප සමග උන්නාය.
     
අක්කා ඇයට හැකි උපරිම සීමාවට ඉගෙන ගෙන ඊට සරිලන රැකියාවක් ලැබෙන තුරු නොසිට තාවකාලික රැකියාවක් සොයා ගත්තාය.සම වයසේ මිතුරන් හා බලන කල මාගේ  උවමනා එපා කම්ද මා වටාම සීමා උවද මා ඊට හැඩ ගැසුනෙමි.එනිසාම ලැබෙන රුපියල පවා ඉතිරි කිරීමට පෙළඹුනෙමි.

           ඉඩ ලැබුණු වේලාවට අක්කර කාලක් පමණ වූ ඉඩමේ නොයෙක් දේ වගා කරන්නට අම්මාටත් මටත් අක්කාටත් හැකි විය.සමහර දිනවලදී ටියුෂන් සදහා මුදල් ගෙවීම ට මුදල් හිග වූ තැන අපගේ වගාව මහත් උපකාරී විය.රජයෙන් නිදහස් අධ්‍යාපනයත්, නොමිලේ නිල ඇදුම් ලැබීමත්, වාර ප්‍රෙව්ශ පත්‍ර ලබා දීමත් නිසා පාසල් අධ්‍යාපනය එතරම් දුෂ්කර වූයේ නැත.


"ළමයී.... , අද කාලෙ තරමි ජීවත් වෙන්න අමාරු කාලයක්...,."
සංයුක්ත ගණිත ගුරුවරයා ටියුෂන් පංතිය අවසාන වීමට මොහොතකට කලින් කියන්නට පටන් ගත්තේය.

"ඔන්න බලපන් මිනිහ දගලන්නෙ මොකක් හරි රොබරියක් පෙරලන්න..... " ගැබා කණට කර මුමුණයි
මම  සාවධානව අසා සිටියෙමි

"හැමදේම ගණන් ගියත් මේ මාසෙ අන්තිම වෙනකන්ම ක්ලාස් පීස් වැඩි නොකර හිටියට තව දුරටත් එහෙම කරන්න අමාරුයි... ඒ නිසා ලබන මාසෙ ඉදන් ක්ලාස් පීස් රුපියල් සීයකින් වැඩි කරන්න සිද්ද වෙනවා..."

ගුරුවරයා බැරෑරුම් බවක් ආරූඩ කරගෙන කියවාගෙන ගියේය.

ඒ ගාස්තු ඉහළ දැමූ දෙවැනි ටියුෂන් පංතියයි.රසායන විද්‍යා ගුරුවරයාද මීට පෙර පංති ගාස්තු රුපියල් සියයකින් ඉහළ දැමුවේය.


"හොදයි ළමයි...., ආයුබොවන්! ලබන සතියෙත් වේලාසනින් එන්න..."
ගුරුතුමා වාක්‍යය අවසන් කරන විට අපි එක පොදියට ශාලාවෙන් පිටතට පැමිණ සිටියෙමු.

"අඩෝ මූ මාර පොරක් නෙ බං,එක පාරම සීයකින් දුන්න ගේම! "
 තොසාගේ ඉවසීම ඉක්මවා ගොස් ඇත.

අපි මග දිගට පංති ගාස්තු ඉහල දැමූ ගුරුවරුන්ට බැන වැදුනෙමු.ඒ බැනුම අවසන් වූයේ බස් නැවතුමට සේන්දු වීමෙන් අනතුරුවය.

එකම බස් රථයෙන් නිවෙස් වලට යා හැකි මමත්,තොසා, පිංතු, ආසිරි හා සොමියා බසයකට නැග පිටුපස අසුන වෙත ඇදුනෙමු.සියල්ලන්ටම එකට යා හැක්කේ එතැන නිසා අප නිසැකවම යන්නේ පිටු පස ආසනය වෙතය.තරුණ යුවලක් හැර ආසනයේ ඉතිරි ඉඩ නිදහස්ව තිබූ නිසා අපි එතැනින් හිද ගත්තෙමු.ඉඩ මදි වූ අය අපගේ උකුල් මතට නැගීය.

"හුඩ්ර් ර් .....ර් උඹට පේනවද  අර ඈත ඉන්න කෑල්ල....? "
ජනේලය අසල සිටි පිංතුවා කෑ ගසයි.

"කොයිකද බං?"

"ඔය ඉන්නෙ", "අර බයෝ කරන්න අලුතෙන් ආවෙ බං"

"හා හා....!" "පිංතූ උඹ කැරකෙන්නෙ පොල් පැලේ කන්න වගේ.. "        
 සොමියාගේ හඩට නවතා තිබූ බස් රථයේ පිටි පිරිසෙන් අඩක් වත් අප දෙස බලන්නට ඇත.
අපගේ හැසිරීම නිසාදෝ ගයාන්ට එපිටින් අපගේම ආසනයේ සිටි පෙම්වතුන් යුවල බසයෙන් බැස ගියේය.සොමියාට එය  අපූරු ජයග්‍රහනයකි.

"අඩෝ.... බලපං ඉදගන්න සීටි ගන්න හැටී!"


"අනේ මේ......."  "කෙල්ල නොහිටිය නම් තෝව දෙකඩ කඩයි අරූ..."


ආසිරි සොමියාට දිය යුතු පිළිතුර ලබා දුන්නේය.


මිතුරන් එකා දෙන්නා නිවෙස් වෙත බැස ගිය පසු බසයේ ඉතිරි වූයේ ආසිරිත් මමත් පමණි.අපට තවත් කිලෝ මීටර කිහිපයක් එක්ව ගොස් ආසිරිට සමුගන්නට සිදුවේ.

"මචං හුඩා, මට අරකිට අයිඩියා  බං"
ආසිරි රහසක් හෙලි කරන්නට විය

"කවුද .. අර.., පිංතුව පෙන්නපු එකද?  "  නිකමට මෙන් මං ඇසුවෙමි

"ම්හ්!, ඒකිගෙ නම රන්දී..," " මං තව පොඩි පොඩි විස්තර ටිකක් හොයා ගත්තා...."

"අඩෝ........, මාරයි... නෙ! "

"ඒ....යි, එහෙම කියන්න එපා බං., දියංකො පොඩි අයිඩියා පාරක්"   අසුනේ තවත් හොදින් හිද ගනිමින් ආසිරි මා වෙත හැරුනේය.

"කවුද බං දන්නෙ ඕව එක එකා බුක් කරලද කියල..කොහොම උනත් ඕනි සපොර්ට් එකක් කියපං., හුඩා බොක්කෙන්"

"තෑන්ක්ස් මචං.."


දුටු සැනින් ආසිරිගේ සිත ඇය වෙත ඇදී යාමේ පුදුමයක් නැත.එක වරක් බැලූ කෙනෙකු තවත් වරක් ඇය දෙස බලන තරමේ ලස්සනක් ඇයට විය.මුදු ගැසුනු කෙහෙ රැල් නිසා ඇයගේ ලස්සන තවත් තියුණු විය.

පසු දින පාසලේදී ඉන්දු මුණ ගැසුණු විට මම රන්දී ගැන විමසුවෙමි.

"ම්..... මොකද මේ කවදාවත් නැතුව රොෂාන් කෙල්ලෙක් ගැන හොයන්නේ?"
ඉන්දු සිතන්නට ඇත්තේ මං රන්දී ගැන අදහසක් ඇති කරගෙන බව විය යුතුය.

"ආ.....පෝ..! මට නෙවෙයි, ආසිරියට. මිනිහ ෆුල් ලව් වගේ"
"එහෙනම් ඉතිං එයාට ටිකක් මහන්සි වෙන්න වෙයි."
ඉන්දුගේ පිලිතුරෙන් මා තිගැස්සී ගියෙමි.

No comments:

Post a Comment