භෞතික විද්‍යා පාඩම මගහරිමින් සිටි ආසිරි ජනේලයකින් අත දමා මා කැදෙව්වේය.කල්ප ටික දෙනෙකුත් සමග පිට්ටනියට දිව ගියේය.තවත් සමහරු නොයෙක් තැන් වල ට වී කතා කරමින් සිටියහ.මමත් ආසිරිත් ගොඩනැගිල්ලේ පිටුපසින් ගොස් ජීව විද්‍යා පංති කාමරයට වැදුනෙමු.අප පංතියට ඇතුලුවෙනවා දුටු ඉන්දූ හුන් තැනින් නැගිට විත් අපට එකතු වුවාය.
"පලයං බං මං හරි අමාරුවෙන් කට්ටියම ලයිබ්‍රියට යද්දි මේකිව නතර කර ගත්තෙ"
"කෝ කෝ.. මෙහෙ වරෙන්..."
ඉන්දු ආසිරිව කැදවාගෙන ගොස් රන්දී අසලින් වාඩි කරවා පංති කාමරයෙන් පිටත තිබූ පුටුවක් මත සිටි මා වෙත ආවාය.ආසිරි තමන්ගේ කාර්යය අවසන් කර ගන්නා තෙක් අපි ආගිය තොරතුරු කතා බස් කරමින් සිටියෙමු.
"මොකද රොෂාන් ඔයා කෙල්ලෙක් දා ගන්න ට්‍රයි නොකලේ? "ඉන්දු හදිසියේ ඇසූ පැනයෙන් මා තිගැස්සී ගියෙමි.
"ඇයි මොකද?.. අපි නොදන්නව උනාට කොල්ල පොඩි කාලෙදි බූට් පාරක් වත් කාලද...?"
"අනේ යනව ඉන්දු.. ඔයා මගෙ හොදම යාලුවන්ගෙන් කෙනෙක්නෙ.ඔයා නොදන්න දෙයක් නෑ.."
"හා.. හොදයි එහෙනම් මහණ වෙන්නද කල්පනාව? " ඉන්දූ ගෙන් ගැලවීමක් නැත.
"නෑ ඉන්දු.. කෙල්ලන්ට හිත නොයනව නෙවෙයි..ඒත් දැන්ම ඔව්ව බෑ.."
"අර මොකෝ?"
"අපෝ කෙල්ලො යාලු කර ගත්තම මහ වියදම් ගොඩක්නෙ.ගෙදර තත්වෙ නිසා කෙල්ලො යාලු කරගන්නව නෙවෙයි විභාගෙත් යාකාට ගියදෙන් කියල රස්සාවක් කරන්න හිතෙන්නෙ.."මං ඔහේ කියවාගෙන ගියෙමි.
"ෂාහ්! මරු අයිඩියානෙ ඔයාට තියෙන්නෙ... ඒක නෙවෙයි රොෂාන් මොකද ගෙදර තියෙන තත්වෙ කිව්වෙ?"විටෙක ඉන්දු හැසිරෙන්නේ මිතුරු කමට එහා ගිය සහෝදරියක් මෙනි.මා හැම විටම ඒ බැදීමට ආදරය කරමි.
"ඒව කියල වැඩක් නෑ ඉන්දූ ... ප්‍රශ්න පැත්තක මමයි අක්කයි අම්මයි තාත්තයි ගෙදර අනිත් පැත්තෙ... ඉතිං අපි මීට් වෙනව අඩුයි.ඒව ඔහේ තියෙනව... අපි ඔහේ ඉන්නව... "
"මෝඩයෝ... විහිලු නෙවෙයි.අවුලක් තියෙනව නම් කියනව.."
"නෑ ඉන්දු ... ඕව මහ ලොකු දේවල් නෙවෙයි.. අපි ඒ ගැන වෙන දවසක කයියක් ගහමුකො.."
"කෝ රොෂාන් ආසිරි....? මිනිහ දැන්මම අරකි අරන් පැනල ගිහින්ද දන්නෙ නෑ.."
ඉන්දු කී නිසා මම පංති කාමරයට හිස යොමා බැලුවෙමි.මගේ ඡායාව දුටු සැනින් ආසිරි හුන් තැනින් නැගිට මාද ඇදගෙන ඉවතට යන්නට විය.ඉන්දූට අත වනමින් මා ආසිරි සමග එක් වුනෙමි.
"ආසිරි මොකෝ බං... මොකද නිකන් අවුලෙන් වගේ..? "
"වැඩක් නෑ බං..කොච්චර කිවුවත් ඒකි බෑ කියනවනෙ..." ආසිරි අදුරු වූ මුහුණින් කියවාගෙන යයි
"ඇයි ඒකි යාලුද?"
"නැහැලු .. ඒ උනාට ඒකි මට කැමති නෑලු."
"අතෑරල දාපං බං... එක දවසින් ඕව හරියන්නෙ නෑනෙ.තව ටික දවසකින් ආයෙ අහමු.එතකොට ඔක්කොම හරියයි."
"ඕනි නෑ බං.. මං එතනදිම තීරණයක් ගත්ත.මට ඕන නැති ලවක් නෑ... තව පොඩි කාලෙනෙ තියෙන්නෙ.. මේ විකාර ඔක්කොම අතෑරල දාල පාඩම් කරමු.."මට ආසිරි ගැන පුදුම සිතුනි.විනාඩි කීපයකින් මිනිසෙකු වෙනස් වූ තරමක්.! අප කතා කරමින් සිටියදීම පාසල අවසන් වීමට සීනුව නාද වූ නිසා පංති කාමරය වෙත යන්නට සිදු විය. ගාථාව කියද්දීත් මම ආසිරිව කතාවට ඈදා ගතිමි.අහිමි වූ ප්‍රේමය නිසා තනියෙන් කල්පනා කර දුක්වන්නට ඉඩ තැබිය යුතු නොවේ.
බස් නැවතුම්පලේදී ආසිරි මට කතා කර හවස නගරයට එන්නැයි කීවේය.නිවෙසට ගොස් අම්මාගෙන් අවසර ගෙන පා පැදියට නැගී කතිකා කර ගත් ස්ථානයට මා යන විටත් ඔහු එතැනට පැමිණ සිටියේය..
"උඹ සයිකලෙන්ම ආව එක හොදයි.. යමං! " ආසිරි පා පැදියට නැගුනේය.
No comments:
Post a Comment