Sunday, September 26, 2021

හිමි අහිමි


 

බෝඩිමේද?.. මං පිල්ලෑවට ආවා.. 


දහ පහලොස් වතාවක් කල්පනා කරලා මං පූරිට කෙටි පණිවිඩයක් යැව්වා.මේක එහෙම කරන්න හොද වාතාවරණයක් නෙවෙයි.ඒත් මගේ හිත පෙරේදා ඉඳන් එක විදියකට ඉන්නෙ නෑ. 


ආගම දහම ගැන ලොකු උනන්දුවක් නැති උනත් මං පිල්ලෑවට යන්න පටන් ගත්තෙ පූරි නිසා.එතැනට  එයාගෙ බෝඩිමේ ඉදන් තියෙන්නෙ විනාඩි කීපයක දුරක්. 


පූරී.... පව්ලෙ හැමෝම ආදරේට පූරි කිව්වට එයාගෙ නම පූර්ණිමා.මගෙ ඇවැස්ස නෑනා.එහෙමත් නැත්නම් අපේ අම්මගෙ මල්ලිගෙ දුව. වැව රවුමෙ බාලිකාවට ගිය එයා පාසල් කාලෙදි මට මුණගැහුනෙ පව්ලෙ විශේශ අවස්ථාවකදි විතරයි.සමහරවිට අපේ පවුල් අතර ඒ දුරස්කම් තීරණය කරන්න ඇත්තෙ එක එක්කෙනාගෙ වත්කම් වෙන්න ඇති. 


මං දෙවෙනි වතාවෙත් උත්සාහ කරලා කැම්පස් ගිහින් ඉන්ටර්න් වලට කොළඹ යද්දී පූරි ජපුරෙ අන්තිම අවුරුද්දෙ.ඒ කාලෙ විවිද උදව් වලට මට කතා කරන්න කොළඹ හිටපු දෙතුන් දෙනාගෙන් විශ්වාසවන්තම කෙනා එයා.නිවාඩුවට ගෙදර යන්න එන්න, ඉදහිට දවසක හවසට තේ එකක් බොන්න අපි මුණගැහුනා..ඉතිං නෑ කම කෙසේ වෙතත් අපි හොදම යාලුවො වගේ උනා. 


සබරෙ හිටිය ප්‍රේමවන්තියගෙ රැවටිල්ලට අහුවෙලා කලබලෙන් හිටි හිතට ඔෆිස් එකෙන් ලැබුණ පීඩනය කළමණාකරණය කරගන්න අමාරුයි කිව්ව ගොඩාක් දවස් වලට පූරි මාව පිල්ලෑවට අරන් ගියා.මං ඔහේ කියවන ඒවට හූමිටි තියලා අන්තිමට කන්න දෙයකුත් අරන් දීලා අයියා අපි දැන් යමු කියනවා.. 


මේ කාලෙ වෙද්දි කුළු බඩු අපනයන ව්‍යාපාරයක් කරපු පූරිගෙ තාත්තා ව්‍යාපාර අතින් ලොකූ පසුබෑමකට ලක් උනා.කැම්පස් ඉවර වෙලා කරපු පලවෙනි රස්සාවෙන් ලැබුණු අඩු වැටුපෙනුත් පූරි ගෙදර වියදම් වලට සම්මාදම් වෙන්න පුරුදු උනා...

මං, ආයෙමත් ආදරයක පැටලුනා.පූරිත් ගෙදරින් හොයපු යෝජනාවකට එකඟ උනා.ඒ එයාගෙ තාත්තගෙ ක්ශේත්‍රයේ තරුණයෙක්.සියලු ගැලපීම් වලට ඉහලින් එතන මූල්‍යමය ගැලපීමක් ගලපා ගන්න පූරිලගෙ තාත්තට උවමනා වෙලා තිබුණා. 


ඉතිං, 

අපි අපේ ලෝක වල තනි උනා... සතියට දවසක් දෙකක් මුණ ගැහිලා කතා කරපු ඒවා මග හැරිලා ගියා.කෙටි පණිවිඩ කීපෙකින්, මැසෙන්ජර් පණිවිඩ කීපෙකින් සතිය ගෙවිලා යන්න උනා. 


යෝජිත සහකරු මොන වෙලාවකදිවත් පූරි ප්‍රාර්ථනා කරපු විදියේ කෙනෙක් වෙලා තිබුණෙ නෑ.ඒත් යෝජිත විවාහ බහුතරයකදි සිද්දවෙනවා වගේ පව්ලේ නම්බුව වෙනුවෙන් තමන්ගෙ හීන දිය කරලා යවන්න එයා හිත හදාගෙන තිබුණා.දීර්ඝ සති අන්තයක් වෙනුවෙන් කොළඹ ඉදන් නුවර එද්දි එයා මේ විස්තර කියවනකොට ගොලුවෙලා වගේ අහගෙන ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.ඒ වගේ තීරණ තිබ්බෙ  මගේ අත පොවන සීමාවෙන් ගොඩාක් එපිට. 


මාස ගණනාවක් හිතේ තෙරපිලා තිබ්බ දෝමනස්සයන් ටික නුවරින් බහිද්දිත් කියලා ඉවර කරන්න බැරි උන නිසා රෑට කෝල් කරන පොරොන්දුව පිට අපි ගෙවල් වලට ගියේ. 


ගෙන්දගම් පොළවේ කාස්ටකයත් එක්ක කොයිතරම් ඔට්ටු වෙලා ගෙදර ගියත් නුවර තියෙන සෞම්‍ය සිසිලසට හිත නිවෙනවා කි‍යන එක අතිශයෝක්තියක් නෙවෙයි.ඒ  නිසා කලබලකාර හිතටත් තමන් ට හුරුපුරුදු, තමන්ගේම පරිසරයට ආවා කියන හැගීම බොහොම තදින් දැනුනා. 


දුරකතන ඇමතුමක් හරහා එක්වරකට කතා කරන්න පුලුවන් උපරිම මිනිත්තු ගණන ඉක්මවා ගියායින් පස්සෙ මැසෙන්ජර් කෝල් එකකට සන්නිවේදනය භාර උනා..විශ්වාස කරන්න.. මැදියම් රෑ පහු වෙනවා වත් දැනුනෙ නෑ. 


පාසල් යන කාලෙ තාත්තට යහමින් මුදල් තිබුණු නිසා හැම සැප සම්පතක්ම පූරිට ලැබිලා තිබුණා.විභාග වලට ටියුශන් දෙන්න ගුරුවරු ගෙදරට ආව නිසා සමාජය ගැන දැනුම ගන්න එයාට සීමිත අවස්ථාව ක් ලැබෙන්න ඇත්තෙ.. 


අයියට මතකද... ඔයා ඔෆිස් එකේ වැඩ වැඩි උනාම ඉස්සර හවසට මට කෝල් කරනවා.. අපි පිල්ලෑවෙ ගිහින් අයිස් ක්‍රීම් කෑවෙ.. 


අම්මෝ... ඒකට නම් පිං පූරි.ඒ ප්‍රෙශර් එක ආවම පිස්සු වගේ.. 


මං ඔයාට ආදරේ කලා අයියෙ..මේ දැනටත්..ඒත් මං පරක්කු වැඩියි කියලා මං දන්නවා.. 


ඒ වචන කීපය අපි අතර ගැඹුරු නිහැඬියාවක් ඇති කලා..ඒ නිහඬතාවය බිඳින්න රැහැයි හඬක්වත් එවෙලෙ තිබ්බෙ නෑ.. 


ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා තේරුම් ගත්තෙ අර ගර්ල් ඔයාව රවට්ටලා තියෙද්දි ඒක දරා ගත්ත විදිය දැකලා අයියෙ.. ඇත්තටම ඔයා වගේ කෙනෙක්ගෙ ආරක්ශාව පොඩි කාලෙ ඉදන් අපිට නොලැබුණේ අපේ අවාසනාවට.. ඒ දවස් වල අපේ අම්මලා තාත්තලා හිතපු විදිය ගැන මට දැන් ලැජ්ජයි අයියෙ.. 


පූරී... 


ඔව් අයියෙ.දැන් හැමදේම තීරණය වෙලා නිසා මං හිත හදාගෙන ඉවරයි.ඔයාට තව දුරටත් හංගගෙන ඉඳලා තේරුමක් නැති නිසා මං කිව්වෙ.අලුත් තැනකට යද්දි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හිත නිදහස් කරන් යන්න ඕනි.. නැත්නම් මට එතනදි විඳවන්න වෙනවා.ඒකයි... 


අනේ  මං මෙහෙම කියවන එක අවුල් නම් සමාවෙන්න මට... 


තෝන්තු වෙලා තිබ්බ හිත නිදහස් කරන් ගිරවියක් වගේ එයා කියෙව්වා.... 


පිස්සුද නංගී.. එහෙම අවුලක් නෑ..මං අවුලෙන් ඉන්න කාලෙ ඔයා මට කොච්චර උදව් කලාද.. ඔයා වෙනුවෙන් පැය කීපයක් මිඩංගු කරන එක බොහොම සුලු දෙයක්.. 


ඔයා වගේ කෙනෙක්ව  මගේ කරලා ලඟින් තියාගන්න බැරි උනාට සතුටු හිතෙන කාරණාවකුත් තියෙනවා.. 


ඒ මොකක්ද?

අයියා  විදියට මින් ඉස්සරහටත් ඔයා මං ලඟ ඉන්නවනෙ...සතුටුයි ඉතිං.. 


මට ඇත්තටම මොකක්ද කියන්නෙ කියලාවත් හිතා ගන්න බෑ නංගි..ඔයා මට මගේම නංගි වගේ..සත්තයි  කවදාවත් ඔයාට වරදක් වෙන්න දෙන්නෙ නෑ... 


ඒ කතා බහෙන් පස්සෙ අපි ආයෙ මුණ ගැහුනෙ දවස් දෙකකට පස්සෙ අපේ ගෙදර තිබ්බ ආච්චිගෙ බණ වෙලාවෙ.. පුංචි කාලෙ ඔහොම ආවම ගෙදර යන්න හදිසියෙන් ඉන්න පූරි එදා ගෙදරම කෙනෙක් වගේ වැඩ කටයුතු වලට උදව් උනා.ගෙදර යන්න කලින් හැමෝටම දණ ගහලා වැඳපු එයා මටත් වැන්දා..,

ඔලුව අතගාලා නලලත ඉඹින්න කියලා  ඇඟ ඇතුලෙන්ම ආව නියෝගය දෑතට විලංගු දාලා මං නතර කරගත්තා.. මං බයයි! පුංචි කාලෙ ඉඳන් මාමලා අපි අතරෙ හදලා තිබ්බ පරතරේට බයයි මං. 


නංගි එක්කම ආපහු කොළඹ එන්න හිතාගෙන හිටියත් හදිසි වැඩක් නිසා එයාට කලින් මට ආපහු එන්න උනා. 


හිත එක තැනක තියාගන්න බැරි මොකක්දෝ හේතුවක් නිසා ආයෙත් වතාවක් පිල්ලෑවට ආව මං..එකම එක වතාවක් පපුවට තුරුල් කරන් පූරිට  සමු දීලා නංගිව සාදරෙන් පිලිගන්න උවමනයි මට.


5 comments:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  2. ලබා දෙන සහයෝගයට ස්තූතියි .. 👍

    ReplyDelete