Friday, June 19, 2020

දඩ මීමා

ආයෙමත් හාමුදුරුවරු කීප නමක් ජනාධිපතිතුමාට ලංවෙලා රට පාලනය කරන්න උපදෙස් දෙන්න පටන් අරන්.බහුතරයක් බෞද්ධ මිනිස්සු ජීවත් වෙන රටක රාජ්‍ය නායකයාට උපදෙස් දෙනවා කියන්නෙ අරුමයක් නෙවෙයි.නමුත් ලංකාව වගේ රටක මේ උපදෙස් දෙන උන්දැල තවත් ආගම් අදහන උදවිය මේකෙ ජීවත් වෙනව කියල කල්පනා කරයිද කියල සැකයි.මංගල සමරවීර කිවුවා වගේ සංඝ කල්ලි ලංකාවේ ක්‍රියාත්මයි.ඒ අය මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරගන්න උදව් කරනවා වෙනුවට විකාර රූපී තොරොම්බල් වැඩ කරන්නට උනන්දු කරවනවා.ඉතිං රටේ ප්‍රධානියට අර කිවුව කල්ලියෙ කෙනෙකුත් උපදෙස් දුන්නොත් කොහොමට හිටීද?

ගෝඨාභය ජනාධිපතිතුමා සිංහල බෞද්ධ සංකල්පයට ගොඩාක් සමීප නිසා ම ඉරිදා දිනයේ අමතර පංති තහනම් කිරීමේ අදහසක් ඉදිරියට ඇවිත්.මේ කිසිම අදහසක් සතියේ දවස් පහක් පාසලටත් ඉතිරි සෙනසුරාදා අමතර පංති වලටත්  හෙම්බත් උන දරුවන්ගේ මානසික තත්වය ගැන හිතල කරන යෝජනා නෙවෙයි.තමන්ගෙ ආගම උගන්නන්න විදියක් නැතිවෙයි කියන බයට කරන යෝජනා.

ඉගෙනුම් වැඩ වලින් මනස නිදහස් කරන්න උවමනාවෙන් , දරුවන්ට විවේකී දවසක් දෙන අදහසින් කරන දෙයක් නම් මගේ සහයත් කොන්දේසි විරහිතව දෙනවා.එහෙම නැත්නම් අමතර පංති තහනම් කර ලැබෙන කාලය සදහා  දහම් පාසල් වලට  ගාල් කරනවා නම් ඒකෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ. 

අපේ දරුවන්ගෙ ආකල්ප වර්ධනය  විය යුතුයි.ඒකට තර්කයක් නෑ.හැබැයි ඒ අවශ්‍යතාව ඉදිරියට දාලා පාසල් ජීවිතය හමාර වෙනකන්ම කිසිම විවේකයක් නැතුව ඉගැන්වීමෙන් කායික ශක්තිය කෙසේ වෙතත් මානසික ශක්තිය අවම පුද්ගලයින්  රැකියා පෝලිමට එකතු වෙයි.තනියම හිතල යම් දෙයක් කිරීමේ හැකියාව අතින් මේ අය හරි දුප්පත් .

 පාසල්  විශය නිර්දේශයේ ඉදන් ම දැවැන්ත ප්‍රතිසංස්කරණ ගෙනාවොත්  මිස මේ අර්බුදයෙන් ගොඩ ඒමක් නෑ.එක ආගමක් දර්ශනයක් ගැන දරුවන්ට අද්‍යාපනය ලබා දෙනවා වෙනුවට ප්‍රධාන ආගම් කීපය පිලිබඳව ම සාධනීය ඉගැන්වීමක් කලොතින් සමාජයේ වපරැහින් දකින බොහෝ කාරණා සාමාන්‍ය විදියට දකින්න පුරුදු වෙයි.අපි ගොඩ නගන්න ඕනි එහෙම රටක්.

No comments:

Post a Comment