Wednesday, May 15, 2019

ඛේදවාචකය පටන් ගත්තා පමණි

මේ කතාවෙ ආරම්භය මීට අවුරුදු දෙකකට විතර කලින්.රත්නපුර දිස්ත්‍රික්කයෙ තියෙන එක්තරා නගරයක ඉතාම හොදින් ව්‍යාපාර කරගෙන ගිය වයස අවුරුදු 50කට වැඩි ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක්.එයාගෙ ජංගම ගිණුමෙ මාසික හුවමාරුව රුපියල් මිලියනයකට වැඩියි.

ණය ගනුදෙනු, පොලී මුදල් ආදී බොහෝ කාරණා නිසා මේ කියන මනුස්සයගෙ ව්‍යාපාරෙ ටිකෙන් ටික බිද වැටෙන්න ගත්ත.අවසානයේ ගෙවන්නට තිබුණු ණය වල හිලව්වට මිනිස්සු කඩේ තිබ්බ බඩු ටිකත් අරන් ගියා.ඉතුරු වෙච්ච බඩු ටිකත් එක්ක අවුරුදු ගාණක් වෙළදාම් කල කඩ කාමරය ලග ඉටි රෙදි මඩුවකට යන්න  කතා නායකයට සිද්ද වෙනව.මේ වෙද්දි මගේ ව්‍යාපාරත් කඩා වැටෙන්න පටන් අරන්.මේ පුද්ගලයගෙන් අය වෙන්න තිබුණු මුදල රුපියල් 45000ක් විතර.ඉල්ලගෙන ගිය හැම දවසෙම කිව්වෙ, බොසා මං කොහොම හරි ගෙවන්නම් කියල.සමහර වෙලාවට එකම කතාව අහලම එපා නොවුන නෙවෙයි.

දවසක් අන්තයටම හිර වෙච්ච වෙලාවක ලැබෙන්න තියෙන මුදලින් කීයක් හරි අරන් එන්න කියල හිතාගෙන මං මෙයාව හොයන් යනව.මට ඔහු මුණගැහෙන්නෙ ක්ෂූද්‍ර මූල්‍ය ආයතනයක් ලගදි.හිතවත්කමට යාලුවෙක්ට අරන් දුන්න ණය මුදල,ගත්තු මනුස්සය ගෙවන්නෙ නැති කොට පුලුවන් තරම් කාලයක් ගෙවන් ඇවිත් බැරි වෙද්දි මගෑරිලා.ඇපයට අත්සන් කරපු අයට නඩු දානව කියල ලියුම් පිට ලියුම් එවල.කරන්න දෙයක් නැති තැන මේ මනුස්සයව එක්කන් ගිහින් ඇපයට අත්සන් කරපු දෙන්න එක්ක හිග ණය මුදල පියවල ණය ආයතනයෙන් ඔලුව නිදහස් කරගන්න උත්සාහ කරන වෙලාව.මං දැක්කම මේ ව්‍යාපාරිකය ලගට ඇවිත් සිද්දිය ඇති සැටියෙන් මට කිවුව.කට හඩ හරිම දුබලයි.අවසාන හරිය වෙද්දි වයස අවුරුදු පනහකට වැඩි වෙච්චි මනුස්සයගෙ දෑහෙන් කදුලු වැටෙනව.මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.පිටට තට්ටුවක් දාල මං ගෙදර ආව.

මේ සිද්දිියෙන් සති දෙකකට විතර පස්සෙ මට කෝල් එකක් දීපු මේ මනුස්සය මෙච්චර කාලයක් වෙල හෙලදාමක් කරන් හිටි නගරෙ අතෑරල වෙනත් තැනක තමන්ගෙ හිතවතෙක්ගෙ කඩකාමරයකට යන බව කියනව.ඒක පාර අද්දර ලෑලි වලින් හදපු පුංචි කඩයක්.බුලත් හුණු දුංකොල වගේ දේවල් තමයි වෙළදාම.ටික කාලයක් යද්දි කඩේ ටිකක් කල එළි කරගන්න මෙයාට පුලුවන් උනා.වෙලදාමත් යම් කිසි මට්ටමකට දියුණු උනා.


මේ අල්ල පනල්ලෙ කොහේදෝ යන පිස්සො රැලක් ස්වර්ගයේ ඉන්න කාන්තාවන් 72ක් එක්ක බුදිය ගන්න තියෙන ආසාවට බෝම්බ පුපුරවාගෙන මරාගෙන මැරෙනව


රටේ ආරක්ෂාවට කියල ප්‍රාදේශීය සභාවෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න හදිසියේ තීරණය කරනව.පහුවෙනිදම පොලීසිය ඉස්සර කරගෙන ආව ඩෝසරයකින් අර කියපු ලෑලි කඩ පේලියක් ම බිමට සමතලා කරනව.වෙලදාම් කරන් හිටි මිනිස්සු වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව කම්මුලේ අත තියන් බලන් ඉන්නව.පසුවෙනිද මං ටවුමට යද්දි වහල තිබ්බ කඩයක අගු පිලේ බුලත් වට්ටි දෙක තුනක් තියාගෙන අර මනුස්සය ආයෙමත් වෙලදාම පටන් අරන්.


ප්‍රාදේශීය සභාවෙ ඉන්න එවුන්ට ජාතික ආරක්ෂාව මතක් වෙලා තිබ්බෙ බර ගානක් ජීවිත නැති උනාට පස්සෙ.අර මිනිස්සු කර කියාගන්න කිසි දෙයක් නැති තැන පුංචි කඩ කෑල්ලක් අටවගෙන එදා වේල හොයා ගත්තු අය.දවසින් දවස වෙළදාමක් කෙරෙනකොට ඒ ආදායමට ගණන් හදපු මිනිස්සු.එක පැයෙන් ඒ මිනිස්සුන්ගෙ වත්කමම නැති කරල දැම්මම මොනව හිතෙන්න ඇද්ද...

මේ සියල්ල පාස්කු ප්‍රහාරයේ අතුරු ඵල.ලොකු හෝටල් හැකි ඉක්මණින් අලුත්වැඩියා කරගෙන තමන්ගෙ ව්‍යාපාර කටයුතු පටන් ගනියි.අයිඑස්අයිඑස් ගැන හාන්කවිසියක දේවල් නොදන්න අහිංසක මිනිස්සු කබලෙන් ලිපට වැටිල අලු වෙලා යයි..
සහරාන් කියන මානසික රෝගියා නොහිටිය නම් අද රෑ අර මිනිස්සුන්ගෙ ගෙවල් වල බත් ඉදෙන්න තිබ්බ.

No comments:

Post a Comment