Tuesday, November 20, 2018

උදාර ශ්‍රී ලංකා- මම හසු නොවෙමි!


උදාර ශ්‍රී ලංකා නමින් කවුරුන් හෝ පිරිසක් අන්තර්ජාලය ඇතුලෙ තමන්ගේ අනාගත වැඩපිලිවෙල,සංවර්ධන වැඩසටහන් ගැන බොහොම චිත්තාකර්ශනීය විස්තරයක් පලකරමින් තියෙනව.දේශපාලනිකව මේ රටේ බලය ලබා ගන්නෙ කොහොමද කියන කාරණාව පවා ඔවුන් සැලසුම් කරල.අන්තර්ජාලය තුල සැරිසරන,පවතින දේශපාලනික හා ආර්ථික කාරණා වලින් හෙම්බත් වෙලා ඉන්න බොහෝ අය මේ උදාර ශ්‍රී ලංකා ක්‍රියාකාරයින්ගෙ දැක්ම බෙදා හදාගන්නව.ඔවුන්ව යම් දුරකට විශ්වාස කරනව.

            බුකිය අස්සෙ තිබුණු මොකක් හෝ දැන්වීමකට මගේ අදහස පල කරපු වෙලේ මේ කියන උදාර ශ්‍රී ලංකා පිරිසෙ යම් අයෙක් මගෙත් එක්ක සංවාදයකට එනව.ඒ කතා බහෙන් පස්සෙ ඔවුගේ වට්ස්අප් කණ්ඩායම සමග එකතු වෙන විදියට ආරාධනාවක් එනව.මමත් ඉතිං ඔය කියන කණ්ඩායමට එබිල බැලුව.සාමාජිකයො දහස් ගණනක් ඉන්න ඇති.ඒ අය තමන්ගෙ දේශපාලන දැක්ම,ආර්ථික හා සමාජයීය දැක්ම ගැන කතා කරනව.නමුත් පක්ෂෙ නායකය කවුද කියල කවුරුත්ම දන්නෙ නෑ.ඒක රහසක් විදියට තියං ඉන්නෙ උපක්‍රමයක් විදියටලු.ඒ කතා බහ නිකම් හොරකමක් සැලසුම් කරනව වගේ කියල හිතුනු නිසා මං එතැනින් ඉවත් වෙනව.

          පහු කාලෙකදි මට ආයෙමත් උදාර ශ්‍රී ලංකා බුකි පිටුවෙ කවුරුන් හෝ ක්‍රියාකාරිණියක් (සංවාදය අතරතුර සිය දරුවා නිදි කරවීමට අවශ්‍ය බව කී නිසා උපකල්පනය කරමි) සමග සංවාදයක් කරන්නට අවස්ථාව ලැබෙනව.මේ බ්ලෝග් පිටුවෙම තියෙන මගේ අදහස් කීපයකට ඇය කැමති වගත් ඒවා තම කණ්ඩායමේ අදහස් විදියට ප්‍රසිද්ධ කරන්නට ඇය අවසර පතනව.මගෙන් ඒකට විරුද්ධත්වයක් නැහැ.සංවාදය දිගටම යනව... ඇය මගෙන අහනව ඇයි වට්ස්අප් කණ්ඩායමෙන් ඉවත් උනේ කියල.මං කාරණාව කියල එයාලගෙ සැලසුම මොකක්ද ඇහුව.ඒ කියන්නෙ,

1)  පහුගිය පලාත් පාලන මැතිවරණයට තරග නොකලෙ ඇයි?
2)  ඔවුන්ගේ සැලසුම පරිදි ඊලග මැතිවරණයට තරග කරල ජයග්‍රහනය නොකලොත් ඊට මුහුණ දෙන්න         දෙවැනි සැලසුමක් තියේද?
3) මැතිවරණය ජයගෙන ආණ්ඩුවක් පිහිටුවන්න තරම් බලයක් නැත්නම් සහය ලබාගන්නෙ කාගෙන්ද?


පැහැදිවම ඔවුන්ගෙ අරමුණ 2025 මැතිවරණය.සහ දෙවැනි සැලසුමක් ඔවුන්ට නෑ.පලාත්පාලන මැතිවරණයට තරග නොකලෙ ඇයි කියන ප්‍රශ්නයට මට පිලිතුරක් ලැබුණෙ නෑ.

මේ රටේ තවමත් වැඩිපුර ඉන්නෙ විචාරශීලී දේශපාලන දැනුමක් තියෙන පිරිසක් නෙවෙයි.ඒ අය මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක හෝ ඒවායෙන් බිදිල ගිය බල කදවුරු දෙක තුනක් රටේ පාලනයට ගේනව.කොයි තරම් හානිකර උනත්, බහුතර මිනිස්සු කරන්නෙ තමන්ගෙ පරම්පරාගත දේශපාලන මති මතාන්තර ඔලුවෙ තියන් පාලකයො තෝරන එක.එ හෙම නොවුන නම් සාපේක්ෂව ප්‍රධාන පක්ෂ දෙකටම වඩා යහපත් දැක්මක්  (ප්‍රායෝගික තත්වය කෙසේ උනත්)   ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණට එක වතාවක් හරි මේ රටේ පාලන බලය යන්න තිබ්බ.ඒක එහෙම නැති නිසා හැම වෙලේම දෙවැනි සැලසුමක් තියෙන්න ඕනි.
           දෙමළ මුස්ලිම් අති බහුතරය ඡන්දෙ දෙන්නෙ ඒ අයගෙ නායකයො විදියට පෙනී ඉන්න කීපදෙනා නියෝජනය කරන සුලු පක්ෂ වලට.අලුත් පක්ෂයක් ඇවිත් බෙදාගන්නෙ මේ රටේ සිංහල ඡංද පදනම.එතකොට කොහොමත් බිහිවෙන්නෙ සුලුතර ආණ්ඩු.ඒ ආණ්ඩු තමන්ගෙ බලය රැක ගන්න අර සුලු පක්ෂ එක්ක එකගතා වලට එන එක අනාදිමත් කාලෙක ඉදන් සිද්ධ වෙන දෙයක්.උදාර ශ්‍රීලංකා කණ්ඩායමට මේ ගැටලුවට පැහැදිලි දැක්මක් නෑ.ඉතිං, අපි බලාපොරොත්තු වෙන රට ගොඩනගන්න හිතාගෙන වලකට වැටෙන්න එපා.සුලු පක්ෂ අතිශයින් අන්තගාමීයි.ඔවුන් කේවල් කරන්නෙ මේ රටේ ස්වාධීනත්වය.ඒ ස්වාධීනත්වය, ඒකීයබව නැති රටක් සුරපුරයක් කරන්න බෑ.රටේ පැවැත්ම තහවුරු කරල ඉන්න ඕනි මුලින්.
           මතවාදය සහමුලින් පිලිනොගත්තත්, ඝෝඨාභයගෙ වියත් මග කියන සංකල්පය සුපිරි.මහින්දගෙත්, එයාගෙ වටේ ඉන්න මෝඩ දේශපාලක කීපදෙනාගෙයි සමහර අණුවන වැඩ එපා වෙලා ඉන්න, නමුත් කවදා හෝ රට යහපත් විදියට ගොඩනගන්න ඕනි කියල විශ්වාස කරන උගත් පිරිස එකතු කරන් ඝෝඨාභය කරන්නෙ (දේශපාලන උප්පරවැට්ටියක් උනත්) උදාර ශ්‍රී ලංකා කණ්ඩායම ආදර්ශයට ගන්න ඕනි වැඩක්.රටවැසියා දශක ගණනක් පුරා දන්න කියන මිනිස්සු, රට පාලනය කල මිනිස්සු ඉන්න පක්ෂයකට බලය ගන්න එක උදාර ශ්‍රි ලංකා කණ්ඩායමට වඩා ඉතා පහසුවෙන් ඝෝඨාභයට පුලුවන්.ජනප්‍රිය සටන් පාඨ වලින් එහාට ගිහින් රට නිවැරදි දිශාවට ගෙනියන්න නම් පාලකයන්ව හැසිරවිය හැකි උගතුන් පිරිසක් ඉන්න ඕනි.පොහොට්ටු කණ්ඩායමට බලය අාවොත් අවංක උවමනාවක් තියෙනව නම් උගත් බුද්ධිමත් වියතුන් පිරිසක් සමග ඉන්න ඝෝඨාභයට එය පහසුවෙන් කල හැකියි.

උදාර ශ්‍රී ලංකා කණ්ඩායම මේ යථාර්ථය අවබෝධ කර නොගෙන,ඊට පිලියම් සකසා නොගෙන දේශපාලනයට ආවොත් මේ රටට වෙන මහා විනාසයක කොටස්කාරයො විතරක් වෙයි.

No comments:

Post a Comment