Saturday, May 13, 2017

කදුකරයේ මනස්කාන්ත තේ යායවල් මැදින් සුන්දර ලිප්ටන් සීට් වෙත




ලිප්ටන් සීට් වෙත යෑමට මාර්ග කිහිපයක් භාවිතා කල හැක.ප්‍රධාන වශයෙන් කොළඹ බදුල්ල දුම්රිය හෝ ප්‍රධාන මාර්ගය, නුවර එළිය සිට හපුතලය මාර්ගය හෝ වැල්ලවාය දෙස සිට නම් වැල්ලවාය සිට බෙරගලට හෝ බණ්ඩාරවෙලට පැමිණ එතැන් සිට හපුතලය දක්වා පැමිණිම යන ආකාර කීපයෙන් ගමනේ ආරම්භයට ලගා විය හැක.වඩාත් අානන්දජනක අත්දැකීම වනුයේ දුම්රියේ පැමිණ හපුතලයෙන් බැස ගැනීමයි.නමුත් එතැන් සිට කිලෝ මීටර 20කට ආසන්න දුර ගෙවා යෑමට ඔබට වෙනත් ප්‍රවාහන මාර්ගයක් සොයා ගැනීමට සිදු වේ.හපුතලේ සිට ගමනාන්තය වන ලිප්ටන් සීට් දක්වා පොදු ප්‍රවාහන සේවා කියාත්මක නොවුනත් ඒ ආසන්නයේ ඇති ජනාවාස දක්වා දෛනිකව ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවා නැතුවාම නොවේ.

ගමනට අවශ්‍ය කරන ආහාර පාන හෝ වෙනත් අවශ්‍ය  දේ තිබේ නම් ඒ සියල්ල හපුතලයෙන් සපයා ගැනීම වටී.විශේෂයෙන් උදෑසන හෝ දහවල් ආහාරය වේ නම් එය ලබා ැනීමට වඩාත් සුදුසු වන්නේ හපුතලයයි.එසේම ගමන සදහා කුඩා ප්‍රමානයේ වාහනයක් යොදා ගැනීම අතර මග පටු මාර්ගයේදී ඔබට මුහුණ දීමට සිදු වන දුෂ්කරතා විශාල ප්‍රමාණයක් මගහැරවා ගැනීමට හේතු වනු ඇත.බස් රථ භාවිතය අනවශය කරදර ඇතිකර ගැනීමක් බව මාගේ විශ්වාසයයි.




හපුතලේ නගරයෙන් දකුණු පසට ඇති දඹේතැන්න මාර්ගය ගමනේ ඇරඹුමයි.කාපට් අතුරා නොමැති උවත් හොදින් නඩත්තු කරමින් පවත්වාගෙන යන මාර්ගයක් නිසා සුව පහසුව ඔබගේ චාරිකාවේ යෙදීමට ඉඩ හසර ඇත.ආරම්භයේ පටන් මිහිදුමෙන් වසා ගත් සරුසාර තේ වගාවන්  මවන චමත්කාර දර්ශනයෙන් කුල්මත් වූවකු නොසිටියේ නම් එය අසතයයකි.සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඇති කල කර්මාන්තශාලා ජනාවාස සේම අධිරාජ්‍ය පාලන සමයේ විරාජමානව පැවති විශේෂිත ස්ථාන වල නෂ්ඨාවශේෂ බොහෝමයක් ඔබට ගමන අතර මගදී දැක බලා ගැනීමේ හැකියාව ඇත.ඔබගේ සංචාරය හුදෙක් ලිප්ටන් සීට් ඉලක්ක කරගෙන පමණක් සිදු කරනවාට වඩා ඒ හා බැදුනු පාරිසරික හා සමාජයීය වටපිටාව අධ්‍යනය කරමින් ගමන් කිරීම ජීවිතයට බොහෝ අත්දැකීම් උකහා ගැනීමට හේතුවක් වනු ඇත.කදුකර වැවිලි ගම්මාන ආශ්‍රිතව ගෙවී යන දමිළ ජන ජීවිතයේ සුන්දරාත්මක හා දුෂ්කර පිළිඹිඹුව ගමනේදී ඔබට නිසැකවම අත්දැක හැක.

ලිප්ටන් සීට් යනු දල බෑවුමක් සහිත කදු මුදුනක් බව අමුතුවෙන් සිහිපත් කල යුතු නැතැයි සිතමි.එහි මුදුනට නැග ගත් පසු හාත්පස දිස්වෙන දර්ශනය වචනයෙන් විස්තර කල නොහැකි තරම් මනස්කාන්තය.දිවයිනේ පලාත් බොහෝමයක් මෙහිදී එකවර දැක ගැනීමට ලැබීම විශේෂිත සිද්ධියකි.පහලින් වැල්ලවාය හා කොස්ලන්ද ත් මෑතකදී නාය නෑම නිසා ප්‍රසිද්දියට පත් වූ මීරිය බැද්ද ගම්මානය හා ඒ ආශ්‍රිත වතු නිවාසත් ඉතාම පැහැදිව දැක ගත හැක.



ලිප්ටන් සීට් වෙත ලගා වන ඔබට අතරමගදී ප්‍රෙව්ශපත්‍රයක් මිලදී ගැනීමට සිදු වනු ඇත.ඊට අමතරව ගමන් ගන්නා වාහනයටත් ප්‍රෙව්ශපත්‍රයක් ලබා ගත යුතුය.නමුත් එම මුදල කිසි ලෙසකින්වත් අපතේ යෑමක් නොවන්නේ ගමනාන්තයේදී ඔබට අත්විදින්නට ලැබෙන සුන්දරත්වය නිසාය.එසේම එහි සිටින කාර්ය මන්ඩලයෙන් ඔබට ලැබෙන්නේ විශිෂ්ට  සේවයකි.ඔවුන් විසින් පවත්වාගෙන යන වෙලදසැලෙන් උණු උනුවේ ලබා ගත හැකි පොල්රොටී හා උණු තේ ඔබගේ ගමන් විඩාව පහ කරනවා  නොඅනුමානය.











ඡායාරූප - දිනෙල්ක දෙහිපිටිය

No comments:

Post a Comment