Tuesday, September 29, 2015

මායාව

අපේ රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූයේ මීට වසර හයකට පෙරාතුවදීය.දශක තුනක් තිස්සේ ඇදී ගිය ත්‍රස්ථවාදය නිසා උල්ලංඝනය වූ රටේ සමස්ථ ජනතාවගේ මානව හිමිකම් ගැන වචනයක් කතා කරන්නට එවකට ජාත්‍යන්තරයේ කිසිදු රටක් ඉදිරිපත් වූයේ නැත.ලගම හිතවතා වූ ඉන්දියාව පවා යෝජනා කලේ සුලු ජාතීන් යැයි හදුන්වා ගන්නා පිරිසට බලය බෙදා දෙන ලෙසය.තත්වය එසේ තිබියදී මොකක් නමුත් හේතුවකට ත්‍රස්ථවාදීන් යුධමය වශයෙන් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා රජයට හැකි විය.එතැන් පටන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාවල් විසින් ලංකාව දෙසට ඇගිල්ල දිගු කරන්නට පටන් ගත්තේ යුද්ධය අවසාන භාගයේදී ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කලා යැයි පවසමිනි.

  යුධ අපරාධ කතා බහ සමග ජාත්‍යන්තරයේ යම් යම් එදිරිවාදීකම් සහිතව ශ්‍රී ලංකාව වසර ගණනාවක් දුෂ්කර ගමනක පැමිණියේය.. එම දුෂ්කර ගමනේ නිමාව සටහන් වන්නේ ඉකුත් ජනවාරි මාසයේ දී මෙරට සිදු වූ දේශපාලන පෙරලියත් සමගය.එතැන් පටන් අපට එරෙහිව සිටි ජාත්‍යන්තරය ලංකාව වෙත යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කලෝය.බොහෝ අය එය නව පාලකයන්ගේ ජයග්‍රහනයක් ලෙස දකින්නට උත්සාහ කලද බල පෙරලියට පුරෝගාමී වූ පිරිස තමන්ගේ නියෝජිතයන්ට හුදෙක් සහන සැලසීම විනා අන් දෙයක් නොවන බව තේරුම් ගත යුතුය.එසේම අපට යුධ අපරාධ චෝදනා ඉතා දැඩිව එල්ල කල එම පිරිස මේ වන විට එම චෝදනා යම්කිසි ලිහිල් භාවයකින් යුත්ව ඉදිරිපත් කරන්නේ සරදමට මෙනි.යුද්ධය කෙරුණු කාලයේදී මානව හිමිකම් උල්ලංගනය වූයේ නම් ඊට වසර ගණනාවකට පසු සිදු වූ බල පෙරලියක් නිසා එහි බරපතල කම අඩු වෙන්නට හැකියාවක් නැත.එලෙස යම් පාර්ශවයක් අගතියට පත් වූයේ නම් ඔවුන්ට සාධාරණයක් ඉටු වූයේද නැත.බටහිර රටවල් විසින් අනුගමනය කරන එම දෙබිඩි ප්‍රතිපත්තිය මගින්ම ඔවුන් මතු කරන්නට උත්සාහ කරන චෝදනා වල සත්‍ය භාවය අභියෝගයට ලක් කරමින් ඇත.


      මේ වන විට සිදු වූවා යැයි පවසන මානව හිමිකම් උල්ලංගනය වීම් පිලිබද පරීක්ෂණයක් කිරීම සදහා දෙමුහුන් හෙවත් ජාත්‍යන්තර හා දේශීය විනිසුරුවරුන්ගෙන් යුක්ත අධිකරණයක් පිහිටුවිය යුතු බව ජාත්‍යන්තරය විසින් වර්ථමාන ශ්‍රී ලංකා රජයට යෝජනා කරමින් සිටී.ශ්‍රී ලංකා රජය දෙසින්ද ඊට කොළ එළියක් දක්වා ඇත.එවිට මීට කලින් සිටි පාලකයන් විසින් දේශපාලන ඇගිලි ගැසීම් වලින් ස්වාධීනත්වය කෙලෙසවූවා යැයි පැවසූ, නව රජය මගින් එකී ස්වාධීනත්වය තහවුරු කර ආරක්ෂා කරමින් සිටින බව පවසන්නා වූද රටේ පවතින අධිකරණ පද්ධතිය තවදුරටත් අවිශ්වාස කරන බව ජාත්‍යන්තරයත් ශ්‍රී ලංකා රජයත් එකවිට පිලිගෙන ඇත බව වැටහෙනවා ඇත.සියල්ල සිදු වන්නේ කලින් සැලසුම් කර ක්‍රියාත්මක කරන වටපිටාවක බව හොදින් නිරීක්ෂණය කරන අයෙකුට වැටහෙනවා ඇත.


          යුද්ධය අවසාන වීමත් සමග ශ්‍රී ලංකාව දෙසට එල්ල කෙරුණු මානව හිමි කම් කඩවීමේ චෝදනා වලට රාජපක්ෂ රජය නිවැරදිව මුහුණ දුන්නේ නැත.කල්පනා කාරීව එම චෝදනා වලට පිලිතුරු දෙනවා වෙනුවට රාජපක්ෂ රජය කලේ සුපුරුදු මුරණ්ඩු ගතියෙන් එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමය.ඇමරිකාව චීනය හෝ රුසියාව වැනි රටක් එසේ හැසිරුනේ නම් කිසිදු ප්‍රශ්නයක් වන්නේ නැත.ඔවුන් ලෝකයේ සුපිරි බලවතුන්ය.නමුත් තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වශයෙන් අපට තවමත් ඕනෑවට වඩා දරදඩු වීමට අපහසුය.දේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත කොමිසමක් හමුවේ සාධාරනව පරීක්ෂණයක් සිදු කර ශ්‍රී ලංකා රජයට සම්බන්ධ කවුරුන් හෝ හිතාමතා මානව හිමිකම් කඩකර ඇත්නම් (අප දන්නා පරිදි ආරක්ෂක හමුදාවන් ඕනෑවටත් වඩා මානව හිමිකම් ආරක්ෂා කලෝය.එසේ හෙයින් සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අපහසුතාවක් නොවේ) ඔවුන්ට දඩුවම් දීම හෝ තනතුරු වලින් නෙරපා හැර ජාත්‍යන්තරයට ඕන කුදයක් ගසා ගන්නට යැයි පැවසීමට තිබූ අවස්ථාව රාජපක්ෂ රජය මගහැර ගත්තේය.දැන් සියල්ල සිදු වී හමාරය.වෙනයම් න්‍යාය පත්‍ර සහිතව පැමිණෙන විදේශිය විනිසුරන් සහිතව පරීක්ෂණයක් කරනවා වෙනුවට දේශීය මධ්‍යස්ථ  විනිසුරන් සහිතව සිදු වූයේ යැයි පවසන කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා මණ්ඩලයක් පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි විය යුතුය.එම මණ්ඩලය ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදෙන පුද්ගලයන්ගේ හා ඔවුන් ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය 100%ක් තහවුරු කරගන්නට මගක් තැනිය යුතුය.එසේ නොමැති වුවහොත් සිදුවන්නේ තමන්ට හිතැති විනිසුරු වරුන් මෙරටට එවා ඔවුන් මගින් දැනටමත් ජාත්‍යන්තරය විසින් හිතුමතේ එළඹ ඇති නිගමනයන් ක්‍රියාත්මක වීම පමණි.
               එම භයානක සූදානමට රටක් වශයෙන් අප එරෙහි විය යුතුය.වර්ථමාන පාලකයින් තමන් යුද්ධයට සෘජු ව හෝ වක්‍රව දායකත්වය නොදුන් නිසා ජාත්‍යන්තරය සතුටු කිරීමට, යෝජිත හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කලහොත් එය නැවත මේ රට ලේ විලක් කිරීමට යන මාවතේ පලමු පස් පිඩ කැපුවා හා සමානය.

No comments:

Post a Comment