Wednesday, September 16, 2020

ජීවිතේ එතැනය


 උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ වීමට මත්තෙන් සියලු දුරකතන ක්‍රියා විරහිත කරන මෙන් නිවේදකයා ඉල්ලා සිටියේය.ඒ වන විටත් එය නිශ්ක්‍රීය කර ශාලාවට ඇතුලු වූ අම්මාට දුන් මා මිතුරු පිරිස අතර අසුන් ගතිමි.වසර හතරක දුෂ්කර ක්‍රියාවෙන් පසු එහි අග්‍ර ඵලය ලබන දිනයට ඔවුන් පැමිණ සිටියේ සැහැල්ලු සිතිනි.නානාවිධ වර්ණයෙන් යුත් සාරි වලට පිටින් පොරවා ගත් උපාධී ලෝගුව නිසා ඔවුන් සියල්ලක්ගෙන්ම ගාම්භීර පෙනුමක් දිස් විය. විශ්ව විද්‍යාලයට ඇතුලත් උනු මුල් දින වල නොයෙකුත් ගම් පලාත් වලින් පැමිණ සිටි අපි ඒ තරම් ලං නොවුනත් අවසානය වන විට එක කුස උපන් සහෝදර කැලක් මෙන් අපි බැදී සිටියෙමු.

විශ්ව විද්‍යාල මතකයන් අනුස්මරනය කරමින් සිටි මට පියවි සිහිය ලැබුණේ රවිදු සිහි වූ විටදීය..උසස්පෙල හදාරන අවධියේදී මිතුරු කමින් ඇරඹුනු අපේ සම්බන්ධය මාස කීපයක ඇවෑමෙන් ආදර සබදතාවයක් බවට පත්වීම අහම්බයක් නොවේ.ඔහු විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට අපොහොසත් උවද මගේ උසස් අධයාපනය වෙනුවෙන් අපිරිමිතව සහයෝගය දැක්වීය.විභාග ආසන්න වන විට සති ගණන් නිවෙසට නොගිය මා බලන්නට සතියට නිවාඩු ලැබූ එකම ඉරිදාවෙත් ඔහු කොළඹ පැමිණියේය.

ඉතිං, අධ්‍යපනයෙන් ලැබිය හැකි ඉහලම සම්මානයක් යැයි මං විශ්වාස කල උපාධි ප්‍රධානෝත්සවයේදී  කලු ලෝගුව ඇගලා උපාධි සහතිකයත් අතැතිව ඔහු සමග ඡායාරූපයක් ගැනීමේ මගේ ආශාව අසාධාරණ නොවනු ඇත.අනන්තවත් කාශ්ඨක වල මට හෙවන දුන් ඒ වෘක්ෂය, වැසි ලැබෙන විට අමතක කල නොහැක.

සේවා ආයතනයෙන් නිවාඩු ලබා ඔහු කොළඹ එන්නට පිටත් වී තිබුණේ උත්සවය ආරම්භයටත් පැය කීපයකට කලිනි..ශාලාවට ඇතුලු වීමට පෙරාතුව මා විමසන විට ඔහු සිටියේ පැයක දුරකිනි.අම්මාත් තාත්තාත් රවිදු ගැන නොදන්නා නිසා උපාධි සහතිකයත් රැගෙන ඔහු සමග ඡායාරූප ගැනීම පහසු කටයුත්තක් නොවේ.සියල්ලටම වඩා අපහසු අයියාව මගහැර යාමයි.

නියමිත වේලාව පසු වී මිනිත්තු  විස්සකට හෝ තිහකට පසු උත්සවය අවසාන විය.මිතුරු මිතුරියන් සමග ජංගම දුරකතන වලින් ඡායාරූප ගන්නා අතර තුර ප්‍රධාන ඡායාරූපය ලබා ගැනීම පිණිස අයියා පෝලිමේ තැබුවෙමි.අම්මා අත තිබූ ජංගම දුරකතනය නැවත ක්‍රියාත්මක කිරීමේදී මග හැරුණු ඇමතුම් දුසිමකට ආසන්නය.නියමිත වේලාව පසු වී තිබුණත් මගෙන් ඇමතුමක් නැති තැන ඔහු කලබල වන්නට ඇත.

ලද ඉස්පාසුවෙන් මං ඔහුට ඇමතුමක් ගතිමි.

සදූ මොකද ෆෝන් ඕෆ්? මං ඇවිත් පැයක් විතර ඇති.මොකද වෙන්නෙ බලන්න  කෝල් ගොඩක් ගත්තා.

නෑ අනේ ෆෝන් එක ඕෆ් කරල අම්මට දීල තිබුණෙ..ඔයා දැන් කොහෙද?

මං මේ පරණ බස් එක ලග.. වැස්ස නිසා කොහෙටවත් යන්න බෑ නෙ.

හවස තිස්සේම අනෝරා වැහි වැටුනු බව ශාලාව ඇතුලත හිටි අපට දැනුනේ නැත.බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති ලංකාවේ ප්‍රථම ජනසතු බස්රථය හෙවන දෙන පියස්සට ඔහු යන්නට ඇත්තේ වර්ෂාවෙන් ආරක්ෂා වීමට විය යුතුය

හරි ඔතන ඉදන් කෙලින්ම එන්න.මං එන්නම්..

අම්මාටත් තාත්තාටත් මදකට හුන් තැනම රැදෙන මෙන් පවසා මං සෙනග අතර අතුරුදන් උනෙමි.

සුදු අත් දිග කමිසයත් කලු පැහැති කලිසමත් හැද කෝට් කවරයද රැගෙන වැස්සේම ඔහු මා සිටි තැනට පැමිණියේය

පොඩ්ඩක් තෙමුණා සදූ..අවුලක් නෑ නේද? 

කෝට් කවරය මා අතට දී ලේන්සුවෙන් වැහි බිංදු පිසිමින් ඔහු විමසයි..

කෝට් එකකුත් ගෙනාවද රවිදු?

ඔව්.. උපාධි ලෝගුව දාල ලස්සනට ඉන්න සදු එක්ක හොද පොටෝ එකක් ගන්න එපැයි..

මං මේ ආදරයට හැමදාම ලෝභ කරමි.මගේ ජීවිතයේ අංශු මාත්‍රයක් ගැන පවා ඔහු සැලකිලිමත් වන අයුරු අපූරුය.

හරි ඉක්මණට අපි පොටෝ එක ගමු.අම්මල හොයන්න කලින් එතනට යන්න ඕනි..

මේ ටයි එක දාන්න සදූ..

මේ කලබලකාර ආදරවන්තයාට තනිවම ටයිපටියවත් බදින්නට බැරිය....

යහලුවන්ගේ පිහිටෙන් අපි පොටෝ කීපයක් ගතිමු.මගේ ජයග්‍රහනයේ සැබෑ උරුමක්කරුවාට උපාධි ලෝගුව පැලද උපාධි සහතිකයක් දරන්නට වාසනාවක් නැති උවද ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමය.මං මගේ කබායත් හිස් වැස්මත් බලෙන් ඔහු මත දවටා ඡායාරූපයක් ගත්තෙමි.පාංශූ දේහදාරී ඔහු ඒ ඇදුමට පුදුමාකාර ගාම්භීර ගතියක් පෙන්වූයේය..

රවිදු සමග ගත කරන්නට මිනිත්තු කීපයකට වඩා නැති බව අප දෙදෙනාම දැන සිටියෙමු... සතුට නිමා කර මං දෙමහල්ලන් සමග එකතු උනෙමි..

නැවත මට රවිදු සම්බන්ධ වූයේ උත්සවයෙන් පසු නිවස බලා යන අතර තුරදීය..අයියාත් තාත්තාත් කාර් රථයේ ඉදිරිපස සිටි නිසා පසු පස සිටි මට දුරකතනයෙන් කෙටි පණිවිඩ යැවීමට බාධාවක් වූයේ  නැත..

කෝට් එකත් රැගෙන බසයෙන් යාමේ අපහසුව නිසා පිටකොටුවේදී බසයෙන් බැසගත් ඔහු එතැන් සිට සම්මන්ත්‍රණ ශාලව වෙත පැමිණ තිබුණේ ත්‍රී රෝද රථයකින්ය.උත්සවය අවසන වන තුරු සිටි ඔහු නැවත පිටකොටුවෙන් බසයට නගින විට කුලී මුදල හයසිය පණහකට වඩා වැඩි වී තිබී ඇත.එතැන් සිට තවත් පැය තුන හමාරක් බස් රථයෙන් නිවසට යා යුතුව ඇත.අවසානයේ මැදියම් රැය ආසන්නයේදී බසයෙන් බැසගත් ඔහු නිවසට ගොස් තිබුණේ රාත්‍රී ආහාරය රෑ කඩයකින් ගත් පසුය.

මං ඒ අහිංසක ආදරයට පුදුමාකාර තරම් ලොභ වෙමි.විශ්ව විද්‍යාලයේදී නානාප්‍රකාර තරුණයන් මා පසු එද්දීත් නොසැලී ඉන්නට ධෛර්යය ලැබුණේ ඔහුගේ සිනහවෙන්ය.. අතෝරක් දුක් ගැහැට හමුවේදීත් මට ප්‍රාණය දුන්නේ ඒ ආදරයයි.. 

මියැදෙනා තුරාවට අනාගතයේ මගේ සහකරු විය යුත්තේ ඔහුමය..වචනයකින් පාසා මගේ වෙනස්කම තේරෙන්නේ ඔහුට පමණය...ජීවිතයේ සතුට ඇත්තේ ඒ දිලිසෙන දෑස තුලය...




Thursday, September 10, 2020

අප්‍රකාශිත


කම්පැණි මීටිංග් වලට මහනුවර යනවා කියන්නෙ මට නම් හැමදාම එපා කරපු වැඩක්.උදේ පාන්දර 9ට නුවර ඉන්න නම් රත්නපුරෙනුත් කිලෝ මීටර විසි පහක් විතර ඈතිං ඉන්න මං පාන්දර තුනේ විතර ඉදන් ලෑස්ති වෙන්න ඕනි.ජීවිතේ යන්න ආසම  කරන නගර කීපයෙන් එකක් වෙච්ච නුවර යෑම එපා කලේම මේ මීටිංග් කිව්වොත් හරි. පාන්දර 4.30 බස් එක අල්ල ගන්න බැරි උනොත් වෙලාවට යනව කියන එක අමතක කරන එක හොදයි. නුවර නොයා කොළඹ  ට යන්න උනා නම් නතිං. ඒත් ඉතිං ලොක්කො හිතන්නෙ එයාලගෙ පහසුව විතරනෙ. 

අදත් මං අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ලෑස්ති වෙලා බස් එකට නැග ගත්ත.ඊයෙ වැඩ ටික ඉවර කරල නිදාගනිද්දි පැය තුනකට වැඩිය ඉතුරුවෙලා තිබ්බෙ නෑ.බස් එකේ සීට් ගානටවත් සෙනග හිටියෙ නැත්තෙ අද සති අන්තෙ නිසා වෙන්න ඕනි.පිටිපස්සෙ දොර ලග සීට් එකකින් මං ඉදගත්ත.මේ දවස් ටිකේම වැහිබර කාලගුණය ක් තියෙන නිසා ඇදුම් විනිවිද  යන්න තරම් සීතල. ඇස් දෙක පියවෙනකන් වට පිට බලන එක මගේ සිරිත.සීට් පේලි දෙක තුනකට කලින් හිටපු කපල් එක මාව අවුරුදු ගණනාවක් අතීතෙට අරන් ගියා.

සවනි, මට මුලින්ම කල්පනා උනේ දැන් මොනවා කරනව ඇද්ද කියලා.අපි මුණ ගැහුනෙ අහම්බයකින්.ආදරෙයි කියල කවමදාකවත් කියල නැති උනාට තවමත් එයාව මතක් වෙද්දි පපුව හිරිවැටෙනවා.

අපි උදේ වැඩට යද්දි ගොඩක් වෙලාවට බස් හෝල්ට් එකේදි  මුණගැහුණා.මුල්කාලෙ හිනා උනා විතරයි.ගුඩ්මෝනිංග් කියන්නත් මාසයක් විතර ගියා.පස්සෙන් පහු අපි හිතවත් උනා.

යෝජනාවකින් එංගේජ් වෙලා හිටි එයා මාස කීපයකින් විවාහ උත්සවේ අරන් සැමියා රැකියාව කල විදේශයට පියාඹන්න හිත හදාගෙන හිටියෙ.හැබැයි ඒ විවාහය ගැන ඒ තරම් කැමැත්තක් එයාගෙ හිතේ තිබුණෙ නෑ කියල නම් මට විශ්වාසයි.

සැමියා කෝල් කරන්නෙ රෑ හතට අටට නිසා දවල් කාලෙ සවනිට දැනෙන්න ඇත්තෙ එයා තනිකඩයි කියල වෙන්න ඕනි.එයා හරි සැහැල්ලුවෙන් දවස ගෙව්වා.යාලුවොත් එක්ක කෑමකට යන්න, ඇදුම් කඩ වල රස්තියාදු වෙන්න කාගෙන්වත් තහනමක් තිබ්බෙ නැති නිසා එයා ඒ නිදහස උපරිමයෙන් වින්දා.සමහර විට විදෙස්ගත උනාම ගෙදරටම කොටු වෙලා ඉන්න වෙයි කියල හිතෙන්න ඇති.

අලුත්  ෆිල්ම්, පොත්, ට්‍රිප් ගැන හරි උද්යෝගයෙන් කතා කරපු අපේ හිතවත්කම ෆෝන් නම්බර් හුවමාරු කරගන්න තරම් දියුණු උනා.එතැන ඉදන් විහිලු කතා ලස්සන පිංතූර  වට්ස්අප් හරහා අනන්තවත් අපි අතර එහෙ මෙහෙ ගියා..

හැබැයි,

සවනි බැදලා... අපි සීමාවෙන් පිට ගියෙ නෑ.

ඇත්තටම සවනි ගැන මගේ ක්‍රෂ් එකක් තිබ්බා..ආදරේ කරන කෙල්ලට කර්ල් කොණ්ඩයක්, නලදතක් තියෙන්න ඕනි කියල කාලයක් තිස්සෙ මගේ ඔලුවට වැටිල තිබුණ අදහස නිසා එහෙම කෙනෙක් දැක්කම ක්‍රෂ් එකක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි.

රස්සාවෙ වැඩකට දවසක් මට පාන්දරින්ම කොළඹ යන්න සිද්ද වෙන්නෙ ඔහොම කල් ගෙවෙන කාලෙක.එදාම සවනිටත් මරදානෙ තිබ්බ එයාලගෙ හෙඩ් ඔෆිස් යන්න සිද්ද උනේ කොහොමද කියල මට තාමත් හිතා ගන්න බෑ.අපි උදේ එක බස් එකේම ගිහින් හවසත් එකටම ගෙදර එමු කියල කතා උනා.උදේ ඇඹිලිපිටිය කොළඹ බස් එකකට නැග ගත්තට ඉදගන්න සීට් තිබ්බෙ නෑ.සෙනග අතරෙ එයාව කවර් කරන් ඉද්දි රත්නපුරෙන් බැහැල වෙන බස් එකක වාඩි වෙලා යන්න අපි එකග උනා.

රත්නපුරේ ඉදන් ගමන පටන් ගන්න බස් එකකින් සීට් එකක් අල්ලගන්න එක ඒ හැටි කරදරයක් උනේ නෑ.අපි ඔහේ කියෙව්වා... අත් එකට පටලැවෙන්න පොපියද්දිත් ඒක නොදැනුනා වගේ මං හිටියෙ බයට.ඇහැ පියවෙන වෙලාවට එයාගෙ ඔලුව මගේ උරහිසට හේත්තු වෙනවා.මං හිටියෙ කියාගන්න බැරි තරම් ලව් මූඩ් එකක නිසාද කොහෙද එයා පාවිච්චි කරපු පිච්ච මල් පර්ෆියුම් සුවද පපුවෙ ඇතුලටම දැනුනා..ඇත්තටම එදා නම් සවනි එන්ගේජ් උන කෙනෙක් කියන එක මං අමතක කලා.සමහරවිට එයා හිතන්න ඇති මං ඉස්සර වෙයි කියලා.මොකද එයා හැසිරුනේම මාව උනන්දු කරන විදියට.

හැබැයි, පපුව ආදරෙන් පිරිල තියෙද්දිත් සවනි ව මගේ උරහිසේ නිදිකරවන්න මං බය  උනා..

උදේ පාන්දර පැය හතරකටත් වැඩිය හිත අමුතු ලෝකෙක නිබුණ නිසා ඔෆිස් පටන් ගන්න වෙලාව පහු උන එක ගැන හාන්කවිසියක අදහසක් අපිට තිබ්බෙ නෑ.නානාප්‍රකාර වාහන දහස් ගාණක් අස්සෙ අපිවත් අරන් බස් එක කොළඹටම ගිහින් තිබ්බා.

අප්‍රකාශිත ආදරේ හරි අපූරුයි......

ලෝකෙ පෙරලුණත් මං එදා ඔෆිස් ගියෙ තනිකරම ලව් මූඩ් එකක.මට අනිත් දේවල් ගැන වගේ වගක් නෑ.ඔලුවෙ තිබ්බෙ හවස ඔෆිස් ඇරෙන්න තව කොච්චර වෙලාවක් තියෙයිද කියල විතරයි.

අපි ආයෙම තුම්මුල්ලෙදි මුණ ගැහුණා.බස් වල එහෙට මෙහෙට යනවට වඩා ටැක්සියක යන එක ලේසියි කියල ඔෆිස් එක ලගින්ම ටැක්සියක් දාගෙන සවනි ආවෙ.අපි නැවතුනේ නුගේගොඩ මැක්ඩොනල්ඩ් එකේ.ඒක කේඑෆ්සී එකට වඩා හොදයි කියල හොයාගෙන තිබුණෙත් එයාමයි.

පැය විසිහතරකට සියල්ල අමතක කල අපි, කපල් එකක්..

ජීවිතේ....., ආයෙ ආයෙත් මතක් කරන්න ආස කරන මතකයක්... හදවතට කතා කරන්න ඉඩ දෙන්න ඕනි තැන් වල සීමාවකට යටත්ව හරි ඉඩ දෙන්නම ඕනි.මට සවනිව දැනුන බව ඇස් වලින් විතරක් කිවුව එක ගැන මට තියෙන්නෙ සමාව නොදිය හැකි තරමේ වරදකාරී හැගීමක්.

අපි බස් එකෙන් බහිනකොට රෑ 10ත් පහුවෙලා.තාත්තා ඇවිත් සවනිව එක්කන් ගියා.මං පියවි සිහියට ආවෙ එතකොට.ගෙදර ගිහින් බැටරි බැහැපු ෆෝන් එක චාජ්  වෙන්න දාල මං නෑවා. නිදාගන්න අදහසක් මට තිබුණෙම නෑ..අහන දකින සියල්ල බොහොම ආදරණීය විදියට පෙනෙන දකින මානසිකත්වයක් මට තිබුණෙ.ජීවිතේ මිහිරම පැය කීපයක් මං ගතකරමින් හිටියෙ.

ෆෝන් එක කෑ ගහන්න පටන් ගද්දි පාන්දර දෙකයි කාලයි. ඒ වෙනකොටත් මං අවදියෙන්.ඒ සවනි, මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනෙ නෑ.ඒක වට්ස්අප් පණිවුඩයක්.

මලින්ද.., ඊයෙ ඔයත් එක්ක ගත කරපු කාලය මං පුදුම සැහැල්ලුවෙන් හිටියෙ.මගෙ පිස්සු විකාර ඉවසගෙන හිටියට ඔයාට තෑන්ක්ස්... මට තාමත් හිතා ගන්න බෑ මේ දේවල් උනේ කොහොමද කියලා.ඇත්තටම මං කංෆියුස් වෙලා.ඔයා නිදාගන්න මේ වෙලාවෙත් මං ඇහැරල.මට සමාවෙන්න.... අපි මුණගැහෙන්න තිබුණෙ මීට ටික කාලෙකට කලින්.කැමැත්තෙන් උනත් නැතත් මං දැන් මට උරුම ගමන යන්නම ඕනි.ඒ නිසා මට මේ සියල්ල අමතක කරන්න ඕනි.

අනේ මට ආයෙමත් සමාවෙන්න....

අහස දෙපාමුලට කඩා වැටුනා වගේ මට දැනෙන්න උනා.අප්‍රකාශිත ප්‍රේමය වියෝගයක් වෙන්න පැය කීපයකට වඩා කාලයක් ගත උනේ නෑ..

මමත් අවදියෙන්.....

ඊට එහා පිලිතුරක් මං යැව්වෙ නෑ