Wednesday, December 26, 2018

දිව්‍යලෝකය ඈතක නොවේ

බෙලිහුල් ඔය... ජීවිතේ කොයි තරම් වතාවක් ගියත් එපා වෙන්නෙ නැති පලාතක්.ප්‍රධාන පාර අවට නුවරඑළිය තරම්  කටුක සීතලක් නැතත් නන්පේරියල් හෝ සීලෝගම පැත්තට යද්දි සීතල නුවර එළියට දෙවෙනි නෑ.එයිනුත් නන්පේරියල්..ඇග හිරිවට්ටන තරමේ සීතල වතුර ටිකක් නාල දවස ගත කරන්න ඉතාම හොද තැනක්.
නන්පේරියල් හමුවෙන්නෙ බලංගොඩ-හපුතලේ ප්‍රධාන මාර්ගයෙ බෙලිහුල්ඔය (ගලගම) කඩමණ්ඩිය පහු කරල හපුතලේ පැත්තට කිලෝමීටරයක් විතර ගියාම වම් පැත්තට හැරෙන්න තියෙන පාරෙ ගියාම.හපුතලේ ඉදන් එනව නම් සබරගමුව විශ්ව විද්‍යාලය පහු කරන් බලංගොඩ පැත්තට එද්දි දකුණු අත පැත්තෙ තියෙන පාර.නන්පේරියල් වතු යාය කියල ගහල තියෙන නිසා පාර හොයා ගන්න අමාරු වෙන්නෙ නෑ.කොළඹ ඉදන් එන කෙනෙක්ට නම් යෝජනා කරන්නෙ කොළඹ-බදුල්ල නයිට් මේල් එක.ඒකෙ ඇවිත් හපුතලෙන් බැහැල බස් එකක නැගල නන්පේරියල් හන්දියෙන් බැහැගන්න.
නන්පේරියල් කියන්නෙ පෞද්ගලික වතු යායක්.ඒ නිසා නන්පේරියල් මාර්ගයෙ ඉහලටම ගිහින් බේකර්ස් වංගුව හෝ නග්රැක් බංගලාව බලන්න අදහසක් තියේ නම් ඒ සදහා අවසර ගත යුතුයි.ඒකට නන්පේරියල් මාර්ගයේ ඉහලට ගියාම හමුවෙන තේ කර්මාන්ත ශාලාව අසලින් ඇහුවම එතන ඉන්න අය උදව් කරයි.
මේ කියන්නෙ එහෙම අවසර නොගෙන සංචාරය කරන්න පුලුවන් සීමාවෙ ඉදන් විදින්න පුලුවන් උපරිම සංචාරක අත්දැකීමක් ගැන.
බොහෝ අය දන්න විදියට කොළඹ- බදුල්ල ප්‍රධාන මාර්ගයෙ ඉදන් නන්පේරියල් දිහාවට යද්දි යුධ හමුදා අනු ඛන්ඩයක් ස්ථාපිතයි.මේ යුද හමුදා අනු ඛන්ඩය විසින් ඉතාම සහනදායී විදියට ලබාගත හැකි සංචාරක නිවාස දෙකක් පවත්වාගෙන යනව.ඒ වගෙම එයාලගෙ සුභසාධක වෙළදසැලෙන් දවසේ ඕනෑම වෙලාවක ආහාර ඇණවුම් කරල ගන්න පුලුවන්.මේ යුද හමුදා කදවුර ආසන්නයේම  පෞද්ගලික හෝටලයකුත් පවත්වාගෙන යනව.නමුත් එය යෝජනා කරන්නෙ නෑ.ඒ වගෙම කදවුරින් කිලෝ මීටර කීපයක් ගියාම වන සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කදවුරු භූමියකුත් තියෙනව.
ඔබ පාරිසරික සංචාරය ගැන උනන්දු අයෙක් නම් නන්පේරියල් කියන්නෙ කිසි දවසක අමතක නොවෙන අත්දැකීමක් වේවි.පැහැදිලි ඉර එළියත් සැනෙන් මීදුමෙන් වසා ගන්නා වට පිටාවත් ආනන්දනීයයි.හෙල්මලු ක්‍රමයට වගා කරන පුංචි කුඹුරු යාය පිළීවෙල ගැන අලුත් පාඩම් උගන්නාවි.




හෝටන් තැන්නෙන් ආරම්භ වෙලා සමනල වැවෙන් අවසන් ගමන් යන මේ නොයිදුල් ජල පහරවල් වල තියෙන්නෙ අතිශයින්  සුන්දර ගමන් රටාවක්.විටෙක සුන්දර දිය ඇලි මවන ඇළ පහර තවත් විටෙක  නොගැඹුරු දිය තලයක් ඇති කරන්නෙ සංචාරකයන්ට හිතූ තරම් ස්නානය කරන්නට ඉඩ හදමින්.නමුත් ඉහළ කොටසට ඇති වන වර්ෂා තත්වය නිසා මේ වතුර මට්ටම් ක්ෂණිකව වැඩි වෙන්න පුලුවන්.පැහැදිලි දවසක උනත් දිය නෑමේදී ජල මට්ටම ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි.
සංචාරකයන්ගෙ වගකීම් විරහිත හැසිරීම නිසා මේ පරිසර පද්ධතිය ඉතා වේගයෙන් අභාවයට යමින් තියෙන්නෙ.හිස් අරක්කු බෝතල,ප්ලාස්ටික් ආදී  අනවශ්‍ය බොහෝ දේ අගන්තුක මිනිස්සු පරිසරයට එකතු කරමින් තියෙනව.දැනුවත් කිරීමෙන් බලා නොයිද නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හරි පරිසරය රකින වැඩ පිලිවෙලක් බලධාරීන් ඇති නොකලොත් මේ සියල්ල තව වසර කීපයකින් මතකයක් විතරක් වේවි.
සංචාරකයන්ට විදගන්න ස්වභාවධර්මයේ අපූරු නිර්මාණ මහ ගොඩක් නන්පේරියල් ඉසව්වෙ තිබුණත් ඒ එකින් එක විස්තර කරන්න අදහසක් නෑ.ඒ සංවේදී තැන් ප්‍රසිද්ධ උනොත් මේ වෙද්දි උඩ දියලුමට ඇති වෙලා තියෙන තත්වයට නොදෙවෙනි විනාසයක් වෙන්න පුලුවන්.උනන්දුවක් තියෙන, පාරිසරයට ආදරේ කරන කෙනෙක් නම් හොයාගෙන ගිහින් ඒ පහස විදින්න..
දිව්‍ය සැප මිහිපිටම විදින්න පුලුවන් බව වැටහේවි.

No comments:

Post a Comment