Wednesday, December 12, 2018

අවසාන වතාවට


හැන්දෑ හිරු රැස් වැටී දිලිසෙන දියවන්නාවේ දිය රැලි දෙස හිස් බැල්මෙන් බලා ඉන්නට ඇය හැමදාම ආසා කලාය.හමා යන සුලගින් කැළඹෙන ජල තලය නොනවත්වා ලෙලදෙමින් තිබුණි.ඇගේ දෑතට මැදිව තිබූ මගේ සුරත මුදවා ගන්නට මං උත්සාහයක් නොගත්තෙමි.වසර ගණනක් පුරා සති අන්තයන් වල සෙසෙහස විදින්නට පැමිණි දියත උද්‍යානයේ, පෙම්වතුන් ලෙස අවසන් වතාවටත් අපි ලංව සිටියෙමු.
"ශානි..., නංගි අපි යමුද එහෙනම්...."
ඇය සෙමින් මගේ අත නිදහස් කර අසුනින් නැගී සිටියාය.මුහුණ මැලවී දෑසේ කදුලු පිරී තිබුණත් ඇගේ බැල්ම අධිෂ්ඨානශීලීය
"පරිස්සමින් ඉන්න සුදු අයියෙ... ඔයාට බුදු සරණයි"
 දෙපතුල වෙත නැවෙන්නට උත්සාහ කලද දෙවුරෙන් අල්වා මා ඇය වලකාලීමි.
"පිස්සුද දරුවො... මොනව වෙනස් උනත් ඔයා නංගියෙක් විදියට මගේ ලග ඉන්නවනෙ."
ඇය සෙමින් ඇවිද ගොස් ත්‍රීරෝද රථයක නැගී පිටත්ව ගියාය.රැකියාවේ පහසුව තකා ලබා ගත් මෝටර් රථයට නැගී මම නිවෙස බලා පිටත්වීමි.
ඇය කිසිවිටෙකත් සුකුමාල තරුණියක් නොවූවාය. පත පොතින් මෙන්ම සමාජයෙන් ලත් පන්නරයෙනුත් ඈ බොහෝ දැනුම් තේරුම් ඇති තැනැත්තියක් බවට පත් කර තිබුණාය.පියාගේ උත්සාහයෙන් ලගා කරගත් සැප සම්පත් කිසි විටෙක ඇයට ආභරණයක් වූයේ නැත.ඒ සියල්ල ඇය වින්දේ මැදහත් සිතිනි.

ශානි මට මුණ ගැසෙන්නේ උසස් පෙළ අවධියේදිය.උපකාරක පංති සදහා සහභාගී වෙද්දී ඈ වෙත ඇදී ගිය සිත අවසානයේ නතර වෙන්නේ ඇගේ තුරුල්ලේය.දැඩි තරගකාරී බව නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් දිනා ගන්නට නොහැකි වුවද පියාගේ මග පෙන්වීම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගැනීමට ඇයට අපහසු කාරණාවක් නොවිනි.අධ්‍යාපනය හමාර වෙද්දීම රැකියාවක් ලද නිසා සතුටින් ඇගේ කාලය ගෙවී ගියේය.

පළමු වර උසස් පෙළ විභාගයෙන් මට ලැබුණු ප්‍රතිඵලය අගනුවරින් විශ්ව විද්‍යාලයට තේරී පත්වන්නට කිසි ලෙසකින් ප්‍රමාණවත් වන්නේ නැත.ඒ නමුත් දෙවැනි වතාවක් ගැන සිතන්නට නිවසේ ආර්ථික තත්වය බාධා කලේය.නිවසේ වියහියදම් සියල්ල සපුරා නංගීටත් මටත් ඉගැන්වීමට අම්මා නොගත් වෙහෙසක් නැත.නුගේගොඩ මංසන්දියේදී ත්‍රස්ථවාදීන්ගේ බෝම්බයකට මැදිව තාත්තා දෙනෙත් පියා ගත් 2007 වසරේ සිට තනිව සටන් කල අම්මා දිගින් දිගටම වෙහෙස කරවීමට මට අයිතියක් නැත.ඖෂධ සමාගමක ප්‍රවර්ධන නිලධාරී තනතුරක් අත්පත් කරගත්තේ කල් මැරීමෙන් ඵලක් නොවන නිසාය.

 නිසි වයස සම්පූර්ණ වූ කාලයේ පටන් ශානි වෙනුවෙන් විවාහයට සුදුසු අය සෙවීමට ඇගේ මවත් පියාත් නිරන්තරයෙන් උත්සාහ කලෝය.බොහෝ අය නිවසට පැමිණ ගියද කුමක් හෝ කරුණක් ඉදිරියට දමා ඉන් ගැලවෙන්නට ඇය සමත් විය.ඒ අතරතුර කාලයේ ඇගේ පවුලේ මට්ටමට නැතත් මා වෙනුවෙන් යම් ස්ථාවරත්වයක් ගොඩ නගන්නට අප දෙදෙනාම කටයුතු කලෙමු.නමුත් මට අත්හල නොහැකි වගකීමක් අම්මාත් නංගීත් වෙනුවෙන් ඉටු කරන්නට  ඇත.

 ඇගේ නිවෙසින් ලැබුණු පීඩනය නිසාම අපේ සම්බන්ධය ගැන නිවෙස් වෙත දන්වන්නට අපට සිදු විය..මගේ කතාව සාවධානව අසා සිටි අම්මා ඇසුවේ ඇයට අප මෙන් අවම පහසුම් යටතේ ජීවත් විය හැකිද යන්න පමණකි.නමුත් ශානී ගේ පාර්ශවයෙන් අපට සතුටුදායක පිලිතුරක් ලැබුණේ නැත.සත්‍යයකි....., ඒ සමාජ වටපිටාව හා තත්වයට ලගා වීමට මට තව බොහෝ දේ අත්පත් කරගත යුතුය.

එක්තරා සන්ධ්‍යාවක ඇගේ නිවසට මා කැදවනු ලැබිණි.රාජ්‍ය ආයනයක ඉහල පුටුවක් හොබවන පියාත්,ගුරුවරියක් වූ ඇගේ මවත් අප දෙදෙනා හිදුවා ජීවිතය ගැන බොහෝ දේ කියූවෝය.. දෑසින් ඇද වැටෙන කදුලු ඔහේ ගලාගෙන යත්දීත් මගේ ඇගිල්ලක් දැඩිව අල්ලාගෙන ඇය ඒ සියල්ල අසා සිටියාය..පිරිමි හිත කොයි තරම් දැඩි උනත් හීන එකින් එක බිද වැටෙද්දී නොකැලඹී සිටිය හැකි වේ යැයි විශ්වාස නොකරමි. අභ්‍යන්තරයෙන් මං වැලපුනෙමි.. බොදව යන්නේ ආසාවෙන් සිහින මැවූ අපේ අනාගතයයි..

ඒ දෙමව්පියන් අපේක්ෂා කරනා තත්වයට ලගා වීමට තව කාලයක් කැපවීමෙන් ඉපැයිය යුතුය.ඇගේ සෙනෙහසේ ශක්තිය වේ නම් ඉලක්කය එතරම් අපහසු දෙයක් නොවේ.නමුත් දෙමව්පියන් සොයන්නේ තත්වය ලගා කරගත් අයෙක් මිස ඒ වෙනුවෙන් කැපවෙන අයෙකු නොවේ.

--------------------------------------------------------------------------------------------------------------------------
අවසානයට තව බොහෝ දුර ඇත...,

නිදි වැරූ දින කිහිපයක ඇවෑමෙන් අප යා යුත්තේ මං දෙකක බව වටහා ගත්තෙමු.සෙනෙහසේ අඩුවක් නොවුනද සියල්ල සම්පූර්ණ වීමෙන් මිස සතුටක් නොවනු ඇත.ඇය, දෙමව්පියන්ගේ දියණිය ඔවුන් සතුටු කල යුතුමය.සිහින, ආශාවන් සියල්ල පසෙකට දමා අප මං දෙකක යා යුතුමය... දෛවය ලියැවී ඇත්තේ එලෙසය.

දරුවන් රැසක් ලැබ ඒ සියල්ල තුරුලු කරගෙන සිටින්නට අප දුටු සිහින, සිහිනයක්ම පමණක් වනු ඇත.ඇගේ ලමැදේ සුව විදින්නට මා පෙරුම්පුරාගෙන උන්නෙමි.විවාහය, තවදුරටත් එය සුන්දර වදනක් නොවේ...

කාළය ගෙවී ගියේ වියෝවේ දුක් තුනී කරගෙනමය.අප අවබෝධයෙන් දෙපසකට වූ නිසා කතා බහ කිරීමේ නොහැකියාවක්ද සිදු නොවීය.අලුත් අවුරුදු දවසටත් උපන්දිනය එද්දීත් නොවරදවා ඇය මා ඇමතුවාය.අප අපේ සීමාවේ හිද ඇසුරු කලෙමු.

--------------------------------------------------------------------------------------------------------------------------
 ශානිගේ අත ගැනීමට උඩරට රදල පරපුරක කඩවසම් වෛද්‍යවරයෙකු මුණ ගැසී තිබුණි.ඔහු කරුණාවන්ත ආදරණිය අයෙකු බව ඉදහිට ලැබෙන ඇයගේ විස්තරයෙන් මා තේරුම් ගතිමි.අහම්බයෙන් දිනෙක ඇදුම් සාප්පුවක් ඉදිරිපිටදී අප තිදෙනා මුණ ගැසෙන විටත් ඔහු මා ගැන දැන සිටියා විය යුතුය.තරුණයා සමග සිටි ඈ මා හදුන්වා දුන්නේ කලින් විස්තර කියා තිබූ සුදු අයියා ලෙසටය..
මිනිසුන් අවබෝධයෙන් කටයුතු කරන විට ලෝකය ලස්සනය...

 ඇයගේ විවාහයට දින තීන්දු වී තිබුණි.කොළඹ තරු පහේ හෝටලයක සූදානම් කර ඇති ඒ වෙනුවෙන් අති විශාල මුලදක් වියදම් වනු ඇත.ඇය මා වෙනුවෙන් ආරධනා පත්‍රයක් ලියා එවූවාය.කාඩ් පත ලද සැනින් ඇය අමතා සුභ පැතුම් එක් කලද කෙදිනක හෝ මගේ මනාලිය වේ යැයි ප්‍රාර්ථනා කල යුවතිය වෙනත් කෙනෙකුගේ අතිනත ගෙන සිටිනු ඉවසීමෙන් ධාරනය කරගත හැකි යැයි නොසිතන නිසා විවාහ උත්සවය මග හරින්නට මම ස්ථිර කර ගතිමි.තව දුරටත් අප අතීතය ආවර්ජනය කල යුතු නැත.විවාහයෙන් පසු සැප දුක් සොයා බලන්නට වත් උත්සාහයක් නොගනිමි.දැන් ඇයට සුන්දර ලෝකයක් හිමිවන්නට නියමිතය. අහිංසකිය ඇගේ ලෝකයේ සතුටින් සිටිය යුතුය.


සුදු අයියෙ බිසීද?......
කාලයකින් ඇමතුමක් ගත් ඇය විමසයි.
නංගි මං ඩ්‍රයිව් කරන ගමන් ඉන්නෙ.ඇයි හදිසියක්ද?
නෑ අයියෙ... ඔයා ෆ්රී වෙලාවක ගන්න..
ඇයට යම් කිසි අපහසුතාවයක් ඇති වී යැයි මගේ සිත කලබල වෙන්නට විය...බෞද්ධාලෝක මාවත දිග ධාවනය වෙමින් තිබූ රථය අතුරු මාර්ගයකට හරවා නැවතීමි.රථයේ එංජිමවත් නතර නොකර මා ශානී ට ඇමතුමක් ගතිමි.
දුරකතනය වැඩි වේලාවක් නාද වීමට ඉඩ නොතබා ඇය පිලිතුරු දුන්නාය

සුදු අයියෙ... ඔයා වැඩකට යන ගමන්ද?
කමක් නෑ නංගි..., මොකක් හරි ප්‍රශ්නයක්වත්ද
නෑ අයියෙ ප්‍රශ්නයක් නෙවෙයි...... මට ඔයාව මුණ ගැහෙන්න උවමනා වෙලා තියෙනව
ම්.... මොකද හදිසියෙ?
නෑ අයියෙ හදිසියක් නෙවෙයි..නිකන් මට හිතුනෙ..., ඔයාට ෆ්රී එකක් තියෙන්නෙ කවද වගේද?
නෙක්ස්ට් ෆ්රයිඩේ වගේ අවුලක් නැති වෙයි නංගි.මං කොළඹ ඉන්නෙ ඒ දවස් වල...
ආ.. හරි එහෙනම්.එදාට වෙන  වැඩක් දාගන්න එපා.මං උදේට ඔයාට කෝල් කරන්නම්
ශානී....... මොකද මේ...?
මං සිකුරාදට කියන්නම්කො.... එහෙනම් මං තියන්නම්... බුදු සරණයි..
සිදුවෙමින් ඇත්තේ කුමක්දැයි මට පැහැදිලි නැත.එලඹෙන සිකුරාදා වන තුරු ඇයගෙන් යමක් දැනගත හැකි නොවේ.ඊට පෙරාතුව ඇයව අමතන්නටද සිත් නොවේ.එවැනි වටපිටාවක් තවදුරටත් නැත.

දින ගෙවී යන්නේ විදුලි වේගයෙනි.රාජකාරී කටයුතු සදහා අගනුවරින් බැහැරට යාමට සිදු වූ නිසා කාලය ගෙවී යන වේගය දැනුනේ නැත.


නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණි ඇය මහරගමදී මා ඊට නංවා ගත්තාය.හයිලෙවල් මාර්ගය දිගේ  හෝමාගම දෙසට ධාවනය කල රථයේ රියදුරු අසුන වැඩි දුරක් යන්නට මත්තෙන් මට භාර ගන්නට සිදු විය.ඇය හැසිරෙන්නේ මීට වසර ගණනාවකට පෙරාතුව මා දුටු යෞවනිය ලෙසිනි... ගමන් කල යුත්තේ කොහේ දැයි විමසුවද පැහැදිලි පිලිතුරක් ලැබුණේ නැත.ඇය කලේ ගමන් කල යුතු මාර්ගය පෙන්වා දීම පමණකි.පැහැදිලි අදහසකින් නොවූවද මම වැඩි ප්‍රශ්න නොඅසා රථය පදවාගෙන ගියෙමි. අධිවේගී මාර්ගයට ඇතුලු කල රථය බණ්ඩාරගමින් පිටවී පානදුර ප්‍රදෙශයේ හෝටලයක් ඉදිරිපිට නවතනු ලැබිණි.

හෝටලයේ  පිළිගැනීමේ නිළධාරිනිය හමු වූ ඇය සිය අන්‍යතාවය තහවුරු කලාය.එතැන් පටන් සේවකයන් අපට සැලකූයේ සැමියා හා බිරිද ලෙස වටහාගෙනය.

ඇය කල් තියා මේ ගමන සූදානම් කර ඇත.
--------------------------------------------------------------------------------------------------------------------------
සුපිරි පංතියේ කාමරයක ගෙවුනු පෑ කීපය තුල මීට පෙර ඇගෙන් මා නොලැබූ බොහෝ ද‍ේ පුද කල සිටියාය..
අරමුණක් නොදැන ආ ගමනක් උවද අතීතයේ ආශා කල පපු තුරුල්ලේ සුවය මම වින්දෙමි!
නෑඹුල්ව ප්‍රාර්ථනා කල සුවය, කුලුදුලේ නොවූවද සිත් පුරා විද ගතිමි...

සයනයෙන් ඉවත ගිය ඇය අවරට යන  හිරු රැසින් ආලෝකමත් වූ කරදිය තලය දෙස නිසොල්මනේ බලා සිටියාය.. මුහුණේ ඇත්තේ තෘප්තිමත් හැගීමකි.
සැහැල්ලු ඇදුමින් සිටි ඇයගේ නාරී දේහයට මේ තරම් ලොබ සිතුනේ පලමු වරටය

ශානී......, ඔයා ඇයි මේ වගේ දෙයක් ප්ලෑන් කලේ...?
සුදු අයියට මතකද..., ඉස්සර අපි ගොඩාක් හීන මැව්ව? දරු පැටව් ගොඩාරියක් හදාගෙන උන්ව තුරුල් කරන් නිදාගන්න....? 
සුදු අයිය ආසයි කිවුවෙ මගෙ පපුවට මූණ තියාගෙන ඉන්න.....
වයිෆ් කෙනෙක් විදියට මට ඒ කිසි දෙයක් ඔයාට දෙන්න වාසනාව නෑ අයියෙ...වෙඩිංග් එකෙන් පස්සෙ රහල් එක්ක ඉංග්ලන්ඩ් යන්න ඉන්නෙ....එයාගෙ හයස්ටඩි වලට.අපි ආයෙ ලංකාවට එයිද දන්නෙ නෑ....,
හැකියාව තියෙද්දිත් මං ඔයාට මේ සතුට නොදී හිටිය නම් මගේ හිතට නිවනක් නෑ අයියෙ.. දැන් මට සතුටුයි... 
මට කියන්නට කිසිත් ඉතිරිව නැත.ඇය, නරක ගැහැනියකයැයි මං කිසි විටෙක විශ්වාස නොකරමි.

මැණික..., 
නියත වශයෙන්ම අවසන් වතාවට මම වැරෙන් ඇය තුරුලු කර ගතිමි...

වසර ගණනකට පෙරාතුව දියත උයනේදී නලලත සිඹ සමුගන්නට නොහැකි වීමේ වරද නිවැරදි කර ගන්නට මට උවමනාය

නැවත කෙදිනක. කෙසේ අප මුණ ගැසේ දැයි නොදනිමි..නමුත්, මෙය ස්ථිර වශයෙන්ම සමු ගැනීමකි!






2 comments:

  1. Well, this is our story (mostly) However our children will not go this way, they are more independent in decision making. They will not consider all social norms and will do what they think is right. Is it good or bad? I think its good, they own their future, we as parents should not keep them in boxes.

    ReplyDelete
    Replies
    1. yes.but a country surrounded by huge culture will not let us to fly...

      Delete