එතකොට මම අට හෝ නවය පංතියෙ. නිල්පාට කොට කලිසම් අඳින කාලෙ.. ගණිතය ටියුශන් පංතියෙ සර් පංති දවසට ටික් බෝලයක්, සුරුට්ටු පෙට්ටි ලෑලි වලින් හදාගත්තු අඩි බාගෙ දිග පලල තියෙන පුවරුවක් වගේ දේවල් අරන් එන්න කිව්වෙ ක්‍රියාකාරකමක් කරන්න..
ඔය සුරුට්ටු පෙට්ටි බෝඩ් එක නැත්තම් බ්‍රිසිල් බෝඩ් වලින් කොටසක් හරි අරන් එන්න කිව්වා මට මතකයි. සර්ට පෙන්නන්න උවමනා උනේ කෝණ සම්බන්ධ පාඩමක් වෙන්න ඕනි. බෝඩ් එකේ මැදින් හදපු සිදුරකින් නූල් කෑල්ලක් දාලා ඒකෙ ටික් බෝලයක් එල්ලලා මතුපිට බීම බටයක් රඳවා ගන්න තමයි ඕන කලේ.. මං ඒ කාලෙ ගණිතයට එහෙම දක්ශ ලමෙක් නෙවෙයි. හැබැයි මම ඒ ගුරුවරයගෙ ඉගැන්වීම් ක්‍රමයට ආස කලා. එතුමා අපිට ගණිතය ඉගැන්නුවෙ ජීවිතයට බද්ද කරලා.
කොහොම හරි, කාඩ්බෝඩ් කෑල්ලකට වඩා ලී පතුරු බෝඩ් එකක් මේ වැඩේට හරියන බව මගේ මොලේට වැටහුනා. ඒ කාලෙ සුලබව හොයා ගන්න තිබ්බ සුරුට්ටු පෙට්ටියක් අරගෙන මට අවශ්‍ය බෝඩ් එකක් හදාගෙන මම පංතියට ගියෙ. අනිත් ලමයි තුන් හතර දෙනාම ගෙනත් තිබ්බෙ කාඩ්බෝඩ් කෑලි. ගුරුතුමත් නොහිතපු ප්‍රශ්නයක් ඇති උනේ නූල් කෑල්ලකින් ටික් බෝලෙ එල්ලන්න ගියාම. ඉතාම සුමට මතුපිටක් තියෙන ටික් බෝලෙ නූලකින් ගැට ගහන්න බෑ.
එහෙමයි කියලා ක්‍රියාකාරකම නොකර ඉන්නත් බෑ. ඕක කල්පනා කර කර වට පිට බලද්දි තමයි මම පුංචි බකට් කම්බි කෑල්ලක් දැක්කෙ. ඒ බකට් කම්බිය අරන් ටික් බෝලෙ රඳවන්න ඇටවුමක් ඒකෙන් හදලා මම අවශ්‍ය දේ කර ගත්තා.
ඒක දැකපු ගුරුතුමාට හරි සංතෝසයි. ලමයි පහක් හයක් ඉගෙන ගත්‍ත පංතියක උනත් මාව ඉස්සරහට අරන් " මෙයා හිතන දේ ඒ විදියටම කරන්න උත්සාහ කරන ලමෙක් " කියලා අගය කලාම මට හරි සතුටුයි.. ඒක මගෙ තීම් එක උනාද මංදා..
අවුරුදු විස්සකටත් එහා මතකයක් ආයෙ මතක් වෙලා මේ සටහන ලිව්වෙ මතක තියාගන්න පහසු වෙන්න. මං මහා කම්මැලිකාරයෙක්. සුව පහසු වටපිටාවක් හදාගෙන ඒ කොටුවට ගුලිවෙලා ලෝකය දිහා බලන් ඉන්න තමයි උත්සාහය. මං දන්නවා මේ මගේ උපරිම නෙවෙයි. අද ආයෙම උත්ප්‍රේරකයක් ලැබුණා. දැන් මම ගිනියම් වෙමින් ඉන්නෙ.
තව අවුරුදු දෙකක් ඇතුලත හිම පිරුන කොදෙව්වක ඉඳගෙන අතීත කතාවක් ලියන්න අරමුණක් තියෙනවා මට දැන්. ඒ මං වෙනුවෙන් නෙවෙයි. මං හන්දා බොහෝ දේ කැප කරපු, බොහෝ දේවල් ඉවසන් ඉඳි කාන්තාවන් දෙන්නෙක් වෙනුවෙන්.
No comments:
Post a Comment