Monday, June 26, 2017

පාර

අපේ ජීවිත හරි පුදුමාකාරය.උපතේ සිට මරණය තෙක් මිනිසුන් සිය දහස් ගණනක් අපට මුණගසවන්නට මේ අරුම පුදුම ජීවිත සමත්ය.ඒ පිරිසයෙන් සැලකිය යුතු පිරිසක් අපේ ජීවිත වලට සමීප වී අපට යම් කිසි බලපෑමක් කිරීමට තරම් හැකියාවක් ඇති අයයි.එවැනි බලපෑම් නිසා අපේ ජීවිත මොනතරම් වෙනස් කම් වලට ලක් වෙනවා දැයි අපි නිකමට වත් කල්පනා කරන්නේ නැත.
   අපට හමු වන පිරිස එසේත් නැතිනම් අප වටා නිරතුරුව සිටින පිරිස සැලකිය යුතු තරම් උගත්කමක් ඇති අය වේ නම් අපේ ජීවිත යහපත් දිශානතියක ගමන් කරනු ඇත.එහි අනෙක් පස වේ නම් සිදු වන්නේ කවදා හෝ පසුතැවෙන්නටය.කෙසේ වෙතත් ඔබේ ජීවිතයේ නැගෙන යහපත් සිතුවිලි කිසිදු අයුරකින් අතපසු වන්නට ඉඩ නොදෙන්න.මක් නිසාද යත් එවැනි සිතුවිලි ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කාලයේදී එසේ නොවුනහොත් නැවත එවැන්නක් කිරීමට එසේ කිරීමෙන් ලබන ආශ්වාදය විදීමට ඔබට යලිත් කිසි දිනයක අවස්ථාවක් ඔබට ලැබෙන්නේ නැත.
  ඉදින් කිසිවෙකුගේ ඇණුම් පදයකට, උපහාසයකට ඔබගේ සතුට නැති කරන්නට ඉඩ නොදෙන්න.ඔබ ඔබේ ගමන ගොස් අවසන් වනතුරු ඔවුන්ගේ ගති නැතිවන්නේ නැත.නමුත් ඔබ ගමන අවසන් කල පසු ඒ සියල්ල ඔබට ආචාර කරනු ඇත.

Wednesday, June 14, 2017

ජනාධිපති කෝලම

ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට දැඩි හානි සිදු කරමින් ඇති වූ ගංවතුර තත්වය බැස ගියේය.ආපදාවට ලක් වූ ජනතාවට ඉන්නට හිටින්නට තැනක් සූදානම් කරන්නට, කුසට ආහාර වේලක් ලබා දෙන්නට උනන්දු වූ තරමට වඩා දැඩි වේගයකින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමට කටයුතු කලේය.
        මුදල් අමාත්‍යවරයා විසින් ගන්නා ලද සමහර තීරණ බිම් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවට විදින්නට සිදු වූ අනේකවිධ අපහසුතා නිසා බහුතරයක් දෙනා විශ්වාසයෙන් බලා සිටියේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය වරයාව සිටි රවී කරුණානායක ඉවත් කර ඒ වෙනුවට ප්‍රාමාණික විද්වතුන්  ලෙස රටම පිලිගන්නා ආචාර්යය හර්ෂද සිල්වා හෝ එරාන් වික්‍රමරත්න යන දෙදෙනාගෙන් කෙනෙකු පත් වන තුරුය.මෛත්‍රී ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද කියූ පරිදි විද්‍යාත්මක ක්‍රමවේදය කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන දුන්නේ නම් විය යුතුව තිබුණේ එයය.
   නමුත් සියල්ලන්ම විමතියට පත් කරමින් ජනාධිපතිවරයා නව මුදල් අමාත්‍යවරයා ලෙස තෝරා ගත්තේ ඔහුගේ රජයේ විදේශ අමාත්‍ය වරයා වූ මංගලවය.මංගලගේ තැන රවීට දුන්නද ඉතිහාසයේ  පලමු වතාවට විදේශ කටයුතු අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩල දෙකද ඈදා ගනිමින් කොරහත් බිදගෙනම යන්නට රවී සමත් විය.ලොතරැයි මණ්ඩල යනු අති විශාල ධනස්කන්ධයක් සංසරණය වන මෙරට ආර්ථිකයේ මර්මස්ථාන යුගලක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.එවැන්නක් විදේශ කටයුතු අමාත්‍යංශය වැනි අමාත්‍යංශයකට පවරමින් මෛත්‍රී කර ඇත්තේ රජය පාලනය කරනු ලබන අදිසි හස්ත වල උවමනා එපා කම් ඉටු කිරීම මිස ඔහු විසින් නිරතුරු සිහිපත්  කරන හෘද සාක්ෂියට එකග කටයුත්තක් නොවේ.
     මෛත්‍රීද මේ රටේ කුඩා කැබිනට්ටුවක් පත් කිරීීමේ බලාපොරොත්තුව වචනයකට පමණක් සීමා කලේය.දැන් මහින්දගේ රජය විසින් සිදු කල වැරදි දේ කිසිදු හිරිකිතයකින් තොරව මෛත්‍රීද කරමින් සිටී.විශේෂත්වය වන්නේ මහින්ද සිය දෙවැනි ධූර කාලයේදී සිදු කල බොහෝ වැරදි මෛත්‍රී මේ වසර දෙක හමාරක කාලය තුල කරන්නට පටන් ගෙන තිබීමය.
     මේ ආණ්ඩුවේ ප්‍රධානියා රනිල් ය.2015 දී මහින්ද ගෙදර යැවීමේ වැඩ පිලිවෙලේ තීරණාත්මක කාර්ය භාරයක් සිදු කිරීමට ඔහුට සිදු විය.මෛත්‍රී කලේ දුවන දුම්රියට බෙල්ල තැබීමය.රනිල්ලාට එවැන්නෙක් අවශ්‍ය කර තිබුණි.කවුරුන් විසින් හෝ මෛත්‍රී තුල වැඩෙමින් තිබූ අගමැති සිහිනය ඉත්තෙක් කර ගනිමින් ඒ බැරෑරුම් කාර්යයට මෛත්‍රීව කැන්දාගෙන එන්නට සමත් විය.මෛත්‍රි ගේ  වාසනාවට බෙල්ල මතින් ධාවනය වීමට පෙර දුම්රිය නවතනු ලැබිණි.ජයග්‍රාහකයා මෛත්‍රී උවද දුම්රිය නැවතුනේ වෙනයම් කාරණා නිසාවෙනි.ඒ කාරණා සදහා කැපවූ අය තමන්ගේ ජයග්‍රහනය විදිමින් සිටී.දැන් මෛත්‍රී යම් සාධනීය වැඩ පිලිවෙලක් ඉටු කිරීමට උත්සාහ කලද ඔහුට ස්වාධීනව එවැන්නක් කිරීමට ඉඩ නොතැබීමට තිරයෙන් පිටුපස සිටින පිරිස වග බලාගෙන ඇත.එසේ ඉටු කිරීමට අවශ්‍ය නම් 2015 පෙරලියේ තිරයෙන්  පිටුපස සිටින අදිසි පුද්ගලයන් කිහිප දෙනාගෙන් එය අනුමත විය යුතුය.අවාසනාවකට ඔවුන් කටයුතු කරන්නේ පෙර සූදානම් කර ගත් න්‍යාය පත්‍රයකට අනුව මිස රටේ සබෑ අවශ්‍යතාවය අනුව නොවේ.
      හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමේ ක්‍රියාවලිය අවසන් කරන්නට නියමිතව තිබුණේ 2017 මුල් කාර්තුව තුලදීය.නමුත් ජාතියේ වාසනාවකට විශය භාර අමාත්‍ය වරයා ඊට විරුද්ධත්වය පල කලේය.රජය විසින් නිශ්චිත දින වකවානු ප්‍රකාශ කරමින් සූදානම් වූ එම ගනු දෙනුව වසරේ මාස 06ක් යනතුරු ඉටු කර ගැනීමට නොහැකි වූයේ එවක අමාත්‍ය ධූරය  හෙබවූ අර්ජුන රනතුංගගේ බාධාව නිසාය.ඉන්දියානු රජය දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින උපාය මාර්ගිකව අතිශයින් වැදගත් ත්‍රී මලේ තෙල් ටැංකි සමූහය ඔවුන්ට පවරා දීමට නොහැකි වූයේද විශය භාර අමාත්‍යවරයාගේ බලපෑම නිසාය.
      සත්‍ය සංශෝධය සිදු වූයේ ඉහත අමාත්‍යංශ දෙකෙහිය.ඒ වෙන කිසිවක් නිසා නොව මේ රට පාලනය කරමින් සිටින අදිසි හස්ත වල ජාත්‍යන්තර එකගතා සපුරාලන්නටය.ඉදින් මෛත්‍රී විසින් කර ඇත්තේ ඔවුන් විිසින් සකස් කර එවූ ගැසට් පත්‍රයට තම අත්සන යෙදීමය.
     ඉතිං මෛත්‍රීට අමු කැවිලා නැත.ඔහුගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන්නට ඔහුට නොහැකිය.ඒ ඔහු මේ නාටකයේ තවත් එක් නලුවෙක් පමණක් නිසාවෙනි.