Sunday, August 26, 2018

රන්දී - පියවර 16

මටත් හොරා මගේ සිත රන්දී වෙත ඇදී යන්නට උවද යතාර්ථය විසින් එය සිදු නොවිය යුත්තක් බව තහවුරු කරන්නට විය.හැගීම් වලට වහල් වී ජීවිතය වරද්දා ගන්නට මම බිය වෙමි.ජීවිතයේ සියලු දේම ලගා කරගන්නට තිබියදී වෙනත් අරමුණක දිව ගියහොත් අවසානය දුකක් වන බව තේරුම් ගතිමි.ඉතිං.., නුහුරු අරුමෝසම් ජීවිතයට තව කල් ඇති බව සිතට වටහා දුන්නෙමි.
               
                   පංසලේ හමුවී සතියක් ගතවන විට යහලුවන් බොහෝ දෙනෙකුට රන්දී විසින් දුරකතන ඇමතුම් ලබා දී තිබිණි.කිහිප දිනකින් මගේ නමට තැපැල් පතක් ද එවා තිබූ අතර දුක සැප විමසනවා හැරෙන්නට වෙනත් යමක් එහි නොතිබුණි.පසෙකින් ඇගේ ලිපිනය සටහන් කර තිබූ නිසා කඩමන්ඩියට යැවුනු වේලාවක පිලිතුරු තැපැල් පතක් යැවීමි.
                          පසුදා මම ගයාන්ගේ නිවසට යන විට තුෂාරද එහි විය.දෙමිතුරෝ මුණගැසුනු නිසා මාගේ බොලදකම ඔවුන්ට පවසා හිත නිදහස් කරගතමි.
  සති අන්තයේ රසායන විද්‍යා පංතිය අවසන් කර බස් නැවතුමට පැමිණි විට මට ඉන්දු මුණ ගැසිනි.

"හායි රොෂන්.., කොහොමද?"
"යහතිං ඉන්නව බං..."
"ආ... රොෂාන්, ඒක නෙවෙයි.මං ඔයාව හම්බවෙන්නමයි හිටියෙ.පොඩි බඩුවක් කියන්න.."
"හප්පට බොල... මේ..., උඹව කසාද බදින්නනම් කියන්න එපා හරිද.." මගේ කතාවට අසල සිටි මිතුරන්ද සිනහ වෙන්නට විය.
"අඩෝ ...මේ..., අවුරුදු දෙක තුනක් තියං ඉදල උඹ ඕක දාල මාරුවෙන්නද හදන්නෙ....? දන්න එකෙක් ඕකිව ගෙනියන්නෙ නෑ..උඹටම තමයි කරගහන්න වෙන්නේ..."
 සහන්ගේ කතාවට අප නැවතත් මහ හඩින් සිනහ වීමු.

"මෙහෙ එන්නකො රොෂාන්.. "මිතුරන්ගේ ඝෝෂාව මැදින් ඉන්දු මා පසෙකට කැදවාගෙන ගියාය..
"පෝය දවසෙ පංසලේදි උඹලට රන්දිව මීට් උනා නේද?"
"ඔව්..."
"ඒකි උඹලගෙ නම්බර්ස් එඩ්‍රස් හෙම අරන් ගියානෙ..?"
"ම්හ්... "
"උඹට පොස්ට් කාඩ් එකකුත් එව්වනෙ?"

"ම්හ් .., මොකද ඉන්දු පොලීසියෙන් වගේ ඕව අහන්නෙ? "
"නෑ ඒකි පහුගිය දවස් දෙකේදිම පංති වලදි උඹ ගැන කියවපු එක තමයි වැඩේ"
"මොටද බං මං ගැන කියවල....? ඔය කියන්න ඇත්තෙ එදා පංසලේදි දැක්ක හන්ද වෙන්න ඇති"
"නෑ නෑ.. වෙන මොකක් හරි හොරයක් තියෙනව මං හිතන්නෙ..."

"අනේ මේ පලයං ඉන්දු....මං ගැන කියවනව නම් ඒකිට මොලේ කොලොප්පම් ඇති.."
ඉන්දු කී කතාව තුෂාරටත් ගයාන්ටත් සහන්ටත් දන්වන තුරු මට ඉවසිල්ලක් නොවීය.බස් රථයට ගොඩ වූ සැනින් මා මිතුරන් වෙත කාරණාව දන්වා සිටියෙමි..තිදෙනාගේම අදහස වූයේ තවත් මාස එක හමාරකින් එළඹෙන විභාගයට සූදානම් වනවා මිස අනවශ්‍ය දේවල් වල පැටලී අවධානය වෙනස් කර නොගත යුතු බවයි.කෙසේ වෙතත් සිදු වෙමින් යන සියල්ල මුල් කාලයේ රන්දීට පෙම් බැදි ආසිරිට පැවසිය යුතු යැයි තීරණය කලෙමි.

"හුඩා....., උඹට මතකනෙ ඕකි හන්ද මං මාස පහක් කිසි දෙයක් නොකර ඉදල කරගත්තු දේ.. මේ පාර යසට අල්ලගෙන ඇවිත් අන්තිම මොහොතෙ කෙල්ලෙක් හන්ද උඹේ හිත කචල් කර ගන්න එපා පුතෝ.."
"උඹට ඔින නම් විභාගෙන් පස්සෙ පොඩ්ඩක් කැරකිලා බලමු.මගෙන් ෆුල් බකප් එක!"
"එහෙම එකක් නෑ බං.උඹ දන්නවනෙ මං ගැන.. ලවක් කරගන්න තරම් මට එක විදියකට ඉන්න බෑනෙ..කොහොමටත් දෙතුන් දෙනෙක්ට ඇර ඉතුරු ගෑණු සංහතියටම මාව පේන්න බෑනෙ.."
"හරි හරි මස්සිනා...., ඔහොම යං.. ඔහොම යං..."

Wednesday, August 8, 2018

තවත් එක් මගේ කතාවක්



හිතේ තියෙන සියල්ලට ගැලපෙන එක් පිංතූරයක්.. 
                 ඔව්.., මට ඔබ මග හැරෙමින් පවතී! කිලෝ මීටර සිය ගණනකින් එපිටඋව සොයා බලනා, දුක සැප බෙදා ගන්නා, අහේතුකවත් පැය ගණන් කියවන සංවේදී රුව මගේ සිතුවමින් වියැකෙමින් ඇත..
                   අරුමෝසම් ලෝකයේ කිසිවකුත් සදාකාලික නොවන වග පිලිගන්නට මං සූදානම් නොවෙමි.මගේ රාමුවේ සියල්ල එලෙසම පවතින්නට මට උවමනාය.ඒ ශක්තියට මං ආත්මාරථකාමී  වෙමි.ලෝභ වෙමි.