Wednesday, September 16, 2020

ජීවිතේ එතැනය


 උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ වීමට මත්තෙන් සියලු දුරකතන ක්‍රියා විරහිත කරන මෙන් නිවේදකයා ඉල්ලා සිටියේය.ඒ වන විටත් එය නිශ්ක්‍රීය කර ශාලාවට ඇතුලු වූ අම්මාට දුන් මා මිතුරු පිරිස අතර අසුන් ගතිමි.වසර හතරක දුෂ්කර ක්‍රියාවෙන් පසු එහි අග්‍ර ඵලය ලබන දිනයට ඔවුන් පැමිණ සිටියේ සැහැල්ලු සිතිනි.නානාවිධ වර්ණයෙන් යුත් සාරි වලට පිටින් පොරවා ගත් උපාධී ලෝගුව නිසා ඔවුන් සියල්ලක්ගෙන්ම ගාම්භීර පෙනුමක් දිස් විය. විශ්ව විද්‍යාලයට ඇතුලත් උනු මුල් දින වල නොයෙකුත් ගම් පලාත් වලින් පැමිණ සිටි අපි ඒ තරම් ලං නොවුනත් අවසානය වන විට එක කුස උපන් සහෝදර කැලක් මෙන් අපි බැදී සිටියෙමු.

විශ්ව විද්‍යාල මතකයන් අනුස්මරනය කරමින් සිටි මට පියවි සිහිය ලැබුණේ රවිදු සිහි වූ විටදීය..උසස්පෙල හදාරන අවධියේදී මිතුරු කමින් ඇරඹුනු අපේ සම්බන්ධය මාස කීපයක ඇවෑමෙන් ආදර සබදතාවයක් බවට පත්වීම අහම්බයක් නොවේ.ඔහු විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට අපොහොසත් උවද මගේ උසස් අධයාපනය වෙනුවෙන් අපිරිමිතව සහයෝගය දැක්වීය.විභාග ආසන්න වන විට සති ගණන් නිවෙසට නොගිය මා බලන්නට සතියට නිවාඩු ලැබූ එකම ඉරිදාවෙත් ඔහු කොළඹ පැමිණියේය.

ඉතිං, අධ්‍යපනයෙන් ලැබිය හැකි ඉහලම සම්මානයක් යැයි මං විශ්වාස කල උපාධි ප්‍රධානෝත්සවයේදී  කලු ලෝගුව ඇගලා උපාධි සහතිකයත් අතැතිව ඔහු සමග ඡායාරූපයක් ගැනීමේ මගේ ආශාව අසාධාරණ නොවනු ඇත.අනන්තවත් කාශ්ඨක වල මට හෙවන දුන් ඒ වෘක්ෂය, වැසි ලැබෙන විට අමතක කල නොහැක.

සේවා ආයතනයෙන් නිවාඩු ලබා ඔහු කොළඹ එන්නට පිටත් වී තිබුණේ උත්සවය ආරම්භයටත් පැය කීපයකට කලිනි..ශාලාවට ඇතුලු වීමට පෙරාතුව මා විමසන විට ඔහු සිටියේ පැයක දුරකිනි.අම්මාත් තාත්තාත් රවිදු ගැන නොදන්නා නිසා උපාධි සහතිකයත් රැගෙන ඔහු සමග ඡායාරූප ගැනීම පහසු කටයුත්තක් නොවේ.සියල්ලටම වඩා අපහසු අයියාව මගහැර යාමයි.

නියමිත වේලාව පසු වී මිනිත්තු  විස්සකට හෝ තිහකට පසු උත්සවය අවසාන විය.මිතුරු මිතුරියන් සමග ජංගම දුරකතන වලින් ඡායාරූප ගන්නා අතර තුර ප්‍රධාන ඡායාරූපය ලබා ගැනීම පිණිස අයියා පෝලිමේ තැබුවෙමි.අම්මා අත තිබූ ජංගම දුරකතනය නැවත ක්‍රියාත්මක කිරීමේදී මග හැරුණු ඇමතුම් දුසිමකට ආසන්නය.නියමිත වේලාව පසු වී තිබුණත් මගෙන් ඇමතුමක් නැති තැන ඔහු කලබල වන්නට ඇත.

ලද ඉස්පාසුවෙන් මං ඔහුට ඇමතුමක් ගතිමි.

සදූ මොකද ෆෝන් ඕෆ්? මං ඇවිත් පැයක් විතර ඇති.මොකද වෙන්නෙ බලන්න  කෝල් ගොඩක් ගත්තා.

නෑ අනේ ෆෝන් එක ඕෆ් කරල අම්මට දීල තිබුණෙ..ඔයා දැන් කොහෙද?

මං මේ පරණ බස් එක ලග.. වැස්ස නිසා කොහෙටවත් යන්න බෑ නෙ.

හවස තිස්සේම අනෝරා වැහි වැටුනු බව ශාලාව ඇතුලත හිටි අපට දැනුනේ නැත.බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති ලංකාවේ ප්‍රථම ජනසතු බස්රථය හෙවන දෙන පියස්සට ඔහු යන්නට ඇත්තේ වර්ෂාවෙන් ආරක්ෂා වීමට විය යුතුය

හරි ඔතන ඉදන් කෙලින්ම එන්න.මං එන්නම්..

අම්මාටත් තාත්තාටත් මදකට හුන් තැනම රැදෙන මෙන් පවසා මං සෙනග අතර අතුරුදන් උනෙමි.

සුදු අත් දිග කමිසයත් කලු පැහැති කලිසමත් හැද කෝට් කවරයද රැගෙන වැස්සේම ඔහු මා සිටි තැනට පැමිණියේය

පොඩ්ඩක් තෙමුණා සදූ..අවුලක් නෑ නේද? 

කෝට් කවරය මා අතට දී ලේන්සුවෙන් වැහි බිංදු පිසිමින් ඔහු විමසයි..

කෝට් එකකුත් ගෙනාවද රවිදු?

ඔව්.. උපාධි ලෝගුව දාල ලස්සනට ඉන්න සදු එක්ක හොද පොටෝ එකක් ගන්න එපැයි..

මං මේ ආදරයට හැමදාම ලෝභ කරමි.මගේ ජීවිතයේ අංශු මාත්‍රයක් ගැන පවා ඔහු සැලකිලිමත් වන අයුරු අපූරුය.

හරි ඉක්මණට අපි පොටෝ එක ගමු.අම්මල හොයන්න කලින් එතනට යන්න ඕනි..

මේ ටයි එක දාන්න සදූ..

මේ කලබලකාර ආදරවන්තයාට තනිවම ටයිපටියවත් බදින්නට බැරිය....

යහලුවන්ගේ පිහිටෙන් අපි පොටෝ කීපයක් ගතිමු.මගේ ජයග්‍රහනයේ සැබෑ උරුමක්කරුවාට උපාධි ලෝගුව පැලද උපාධි සහතිකයක් දරන්නට වාසනාවක් නැති උවද ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමය.මං මගේ කබායත් හිස් වැස්මත් බලෙන් ඔහු මත දවටා ඡායාරූපයක් ගත්තෙමි.පාංශූ දේහදාරී ඔහු ඒ ඇදුමට පුදුමාකාර ගාම්භීර ගතියක් පෙන්වූයේය..

රවිදු සමග ගත කරන්නට මිනිත්තු කීපයකට වඩා නැති බව අප දෙදෙනාම දැන සිටියෙමු... සතුට නිමා කර මං දෙමහල්ලන් සමග එකතු උනෙමි..

නැවත මට රවිදු සම්බන්ධ වූයේ උත්සවයෙන් පසු නිවස බලා යන අතර තුරදීය..අයියාත් තාත්තාත් කාර් රථයේ ඉදිරිපස සිටි නිසා පසු පස සිටි මට දුරකතනයෙන් කෙටි පණිවිඩ යැවීමට බාධාවක් වූයේ  නැත..

කෝට් එකත් රැගෙන බසයෙන් යාමේ අපහසුව නිසා පිටකොටුවේදී බසයෙන් බැසගත් ඔහු එතැන් සිට සම්මන්ත්‍රණ ශාලව වෙත පැමිණ තිබුණේ ත්‍රී රෝද රථයකින්ය.උත්සවය අවසන වන තුරු සිටි ඔහු නැවත පිටකොටුවෙන් බසයට නගින විට කුලී මුදල හයසිය පණහකට වඩා වැඩි වී තිබී ඇත.එතැන් සිට තවත් පැය තුන හමාරක් බස් රථයෙන් නිවසට යා යුතුව ඇත.අවසානයේ මැදියම් රැය ආසන්නයේදී බසයෙන් බැසගත් ඔහු නිවසට ගොස් තිබුණේ රාත්‍රී ආහාරය රෑ කඩයකින් ගත් පසුය.

මං ඒ අහිංසක ආදරයට පුදුමාකාර තරම් ලොභ වෙමි.විශ්ව විද්‍යාලයේදී නානාප්‍රකාර තරුණයන් මා පසු එද්දීත් නොසැලී ඉන්නට ධෛර්යය ලැබුණේ ඔහුගේ සිනහවෙන්ය.. අතෝරක් දුක් ගැහැට හමුවේදීත් මට ප්‍රාණය දුන්නේ ඒ ආදරයයි.. 

මියැදෙනා තුරාවට අනාගතයේ මගේ සහකරු විය යුත්තේ ඔහුමය..වචනයකින් පාසා මගේ වෙනස්කම තේරෙන්නේ ඔහුට පමණය...ජීවිතයේ සතුට ඇත්තේ ඒ දිලිසෙන දෑස තුලය...




Thursday, September 10, 2020

අප්‍රකාශිත


කම්පැණි මීටිංග් වලට මහනුවර යනවා කියන්නෙ මට නම් හැමදාම එපා කරපු වැඩක්.උදේ පාන්දර 9ට නුවර ඉන්න නම් රත්නපුරෙනුත් කිලෝ මීටර විසි පහක් විතර ඈතිං ඉන්න මං පාන්දර තුනේ විතර ඉදන් ලෑස්ති වෙන්න ඕනි.ජීවිතේ යන්න ආසම  කරන නගර කීපයෙන් එකක් වෙච්ච නුවර යෑම එපා කලේම මේ මීටිංග් කිව්වොත් හරි. පාන්දර 4.30 බස් එක අල්ල ගන්න බැරි උනොත් වෙලාවට යනව කියන එක අමතක කරන එක හොදයි. නුවර නොයා කොළඹ  ට යන්න උනා නම් නතිං. ඒත් ඉතිං ලොක්කො හිතන්නෙ එයාලගෙ පහසුව විතරනෙ. 

අදත් මං අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ලෑස්ති වෙලා බස් එකට නැග ගත්ත.ඊයෙ වැඩ ටික ඉවර කරල නිදාගනිද්දි පැය තුනකට වැඩිය ඉතුරුවෙලා තිබ්බෙ නෑ.බස් එකේ සීට් ගානටවත් සෙනග හිටියෙ නැත්තෙ අද සති අන්තෙ නිසා වෙන්න ඕනි.පිටිපස්සෙ දොර ලග සීට් එකකින් මං ඉදගත්ත.මේ දවස් ටිකේම වැහිබර කාලගුණය ක් තියෙන නිසා ඇදුම් විනිවිද  යන්න තරම් සීතල. ඇස් දෙක පියවෙනකන් වට පිට බලන එක මගේ සිරිත.සීට් පේලි දෙක තුනකට කලින් හිටපු කපල් එක මාව අවුරුදු ගණනාවක් අතීතෙට අරන් ගියා.

සවනි, මට මුලින්ම කල්පනා උනේ දැන් මොනවා කරනව ඇද්ද කියලා.අපි මුණ ගැහුනෙ අහම්බයකින්.ආදරෙයි කියල කවමදාකවත් කියල නැති උනාට තවමත් එයාව මතක් වෙද්දි පපුව හිරිවැටෙනවා.

අපි උදේ වැඩට යද්දි ගොඩක් වෙලාවට බස් හෝල්ට් එකේදි  මුණගැහුණා.මුල්කාලෙ හිනා උනා විතරයි.ගුඩ්මෝනිංග් කියන්නත් මාසයක් විතර ගියා.පස්සෙන් පහු අපි හිතවත් උනා.

යෝජනාවකින් එංගේජ් වෙලා හිටි එයා මාස කීපයකින් විවාහ උත්සවේ අරන් සැමියා රැකියාව කල විදේශයට පියාඹන්න හිත හදාගෙන හිටියෙ.හැබැයි ඒ විවාහය ගැන ඒ තරම් කැමැත්තක් එයාගෙ හිතේ තිබුණෙ නෑ කියල නම් මට විශ්වාසයි.

සැමියා කෝල් කරන්නෙ රෑ හතට අටට නිසා දවල් කාලෙ සවනිට දැනෙන්න ඇත්තෙ එයා තනිකඩයි කියල වෙන්න ඕනි.එයා හරි සැහැල්ලුවෙන් දවස ගෙව්වා.යාලුවොත් එක්ක කෑමකට යන්න, ඇදුම් කඩ වල රස්තියාදු වෙන්න කාගෙන්වත් තහනමක් තිබ්බෙ නැති නිසා එයා ඒ නිදහස උපරිමයෙන් වින්දා.සමහර විට විදෙස්ගත උනාම ගෙදරටම කොටු වෙලා ඉන්න වෙයි කියල හිතෙන්න ඇති.

අලුත්  ෆිල්ම්, පොත්, ට්‍රිප් ගැන හරි උද්යෝගයෙන් කතා කරපු අපේ හිතවත්කම ෆෝන් නම්බර් හුවමාරු කරගන්න තරම් දියුණු උනා.එතැන ඉදන් විහිලු කතා ලස්සන පිංතූර  වට්ස්අප් හරහා අනන්තවත් අපි අතර එහෙ මෙහෙ ගියා..

හැබැයි,

සවනි බැදලා... අපි සීමාවෙන් පිට ගියෙ නෑ.

ඇත්තටම සවනි ගැන මගේ ක්‍රෂ් එකක් තිබ්බා..ආදරේ කරන කෙල්ලට කර්ල් කොණ්ඩයක්, නලදතක් තියෙන්න ඕනි කියල කාලයක් තිස්සෙ මගේ ඔලුවට වැටිල තිබුණ අදහස නිසා එහෙම කෙනෙක් දැක්කම ක්‍රෂ් එකක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි.

රස්සාවෙ වැඩකට දවසක් මට පාන්දරින්ම කොළඹ යන්න සිද්ද වෙන්නෙ ඔහොම කල් ගෙවෙන කාලෙක.එදාම සවනිටත් මරදානෙ තිබ්බ එයාලගෙ හෙඩ් ඔෆිස් යන්න සිද්ද උනේ කොහොමද කියල මට තාමත් හිතා ගන්න බෑ.අපි උදේ එක බස් එකේම ගිහින් හවසත් එකටම ගෙදර එමු කියල කතා උනා.උදේ ඇඹිලිපිටිය කොළඹ බස් එකකට නැග ගත්තට ඉදගන්න සීට් තිබ්බෙ නෑ.සෙනග අතරෙ එයාව කවර් කරන් ඉද්දි රත්නපුරෙන් බැහැල වෙන බස් එකක වාඩි වෙලා යන්න අපි එකග උනා.

රත්නපුරේ ඉදන් ගමන පටන් ගන්න බස් එකකින් සීට් එකක් අල්ලගන්න එක ඒ හැටි කරදරයක් උනේ නෑ.අපි ඔහේ කියෙව්වා... අත් එකට පටලැවෙන්න පොපියද්දිත් ඒක නොදැනුනා වගේ මං හිටියෙ බයට.ඇහැ පියවෙන වෙලාවට එයාගෙ ඔලුව මගේ උරහිසට හේත්තු වෙනවා.මං හිටියෙ කියාගන්න බැරි තරම් ලව් මූඩ් එකක නිසාද කොහෙද එයා පාවිච්චි කරපු පිච්ච මල් පර්ෆියුම් සුවද පපුවෙ ඇතුලටම දැනුනා..ඇත්තටම එදා නම් සවනි එන්ගේජ් උන කෙනෙක් කියන එක මං අමතක කලා.සමහරවිට එයා හිතන්න ඇති මං ඉස්සර වෙයි කියලා.මොකද එයා හැසිරුනේම මාව උනන්දු කරන විදියට.

හැබැයි, පපුව ආදරෙන් පිරිල තියෙද්දිත් සවනි ව මගේ උරහිසේ නිදිකරවන්න මං බය  උනා..

උදේ පාන්දර පැය හතරකටත් වැඩිය හිත අමුතු ලෝකෙක නිබුණ නිසා ඔෆිස් පටන් ගන්න වෙලාව පහු උන එක ගැන හාන්කවිසියක අදහසක් අපිට තිබ්බෙ නෑ.නානාප්‍රකාර වාහන දහස් ගාණක් අස්සෙ අපිවත් අරන් බස් එක කොළඹටම ගිහින් තිබ්බා.

අප්‍රකාශිත ආදරේ හරි අපූරුයි......

ලෝකෙ පෙරලුණත් මං එදා ඔෆිස් ගියෙ තනිකරම ලව් මූඩ් එකක.මට අනිත් දේවල් ගැන වගේ වගක් නෑ.ඔලුවෙ තිබ්බෙ හවස ඔෆිස් ඇරෙන්න තව කොච්චර වෙලාවක් තියෙයිද කියල විතරයි.

අපි ආයෙම තුම්මුල්ලෙදි මුණ ගැහුණා.බස් වල එහෙට මෙහෙට යනවට වඩා ටැක්සියක යන එක ලේසියි කියල ඔෆිස් එක ලගින්ම ටැක්සියක් දාගෙන සවනි ආවෙ.අපි නැවතුනේ නුගේගොඩ මැක්ඩොනල්ඩ් එකේ.ඒක කේඑෆ්සී එකට වඩා හොදයි කියල හොයාගෙන තිබුණෙත් එයාමයි.

පැය විසිහතරකට සියල්ල අමතක කල අපි, කපල් එකක්..

ජීවිතේ....., ආයෙ ආයෙත් මතක් කරන්න ආස කරන මතකයක්... හදවතට කතා කරන්න ඉඩ දෙන්න ඕනි තැන් වල සීමාවකට යටත්ව හරි ඉඩ දෙන්නම ඕනි.මට සවනිව දැනුන බව ඇස් වලින් විතරක් කිවුව එක ගැන මට තියෙන්නෙ සමාව නොදිය හැකි තරමේ වරදකාරී හැගීමක්.

අපි බස් එකෙන් බහිනකොට රෑ 10ත් පහුවෙලා.තාත්තා ඇවිත් සවනිව එක්කන් ගියා.මං පියවි සිහියට ආවෙ එතකොට.ගෙදර ගිහින් බැටරි බැහැපු ෆෝන් එක චාජ්  වෙන්න දාල මං නෑවා. නිදාගන්න අදහසක් මට තිබුණෙම නෑ..අහන දකින සියල්ල බොහොම ආදරණීය විදියට පෙනෙන දකින මානසිකත්වයක් මට තිබුණෙ.ජීවිතේ මිහිරම පැය කීපයක් මං ගතකරමින් හිටියෙ.

ෆෝන් එක කෑ ගහන්න පටන් ගද්දි පාන්දර දෙකයි කාලයි. ඒ වෙනකොටත් මං අවදියෙන්.ඒ සවනි, මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනෙ නෑ.ඒක වට්ස්අප් පණිවුඩයක්.

මලින්ද.., ඊයෙ ඔයත් එක්ක ගත කරපු කාලය මං පුදුම සැහැල්ලුවෙන් හිටියෙ.මගෙ පිස්සු විකාර ඉවසගෙන හිටියට ඔයාට තෑන්ක්ස්... මට තාමත් හිතා ගන්න බෑ මේ දේවල් උනේ කොහොමද කියලා.ඇත්තටම මං කංෆියුස් වෙලා.ඔයා නිදාගන්න මේ වෙලාවෙත් මං ඇහැරල.මට සමාවෙන්න.... අපි මුණගැහෙන්න තිබුණෙ මීට ටික කාලෙකට කලින්.කැමැත්තෙන් උනත් නැතත් මං දැන් මට උරුම ගමන යන්නම ඕනි.ඒ නිසා මට මේ සියල්ල අමතක කරන්න ඕනි.

අනේ මට ආයෙමත් සමාවෙන්න....

අහස දෙපාමුලට කඩා වැටුනා වගේ මට දැනෙන්න උනා.අප්‍රකාශිත ප්‍රේමය වියෝගයක් වෙන්න පැය කීපයකට වඩා කාලයක් ගත උනේ නෑ..

මමත් අවදියෙන්.....

ඊට එහා පිලිතුරක් මං යැව්වෙ නෑ




Tuesday, August 18, 2020

ඔබේ උපාධිය බර වැඩියි

 උපාධිධාරීන් කියන්නෙ හැමදාම මේ රටේ මාතෘකාවක්.විශ්ව විද්‍යාලයට ඇතුලත් උන දවසේ ඉදන් නිල හෝ නොනිල මට්ටමින් ක්‍රියාත්මක වෙන නවකවද සිද්දි , සත්‍යග්‍රහ , උද්ඝෝෂණ ආදී බොහෝ දේවල් එක්ක මේ උපාධිධාරීන් ඔට්ටු වෙනවා.උපාධිය අරන් විශ්වවිද්‍යාලයෙන් පිට උනු දවසේ ඉදන් රජයේ රැකියා ගන්න ඇමතිලා පස්සෙ යනවා.එහෙමත් නැත්තම් ආයෙ උද්ඝෝෂණ පටන් ගන්නවා.

රටේ බුද්ධිමත් පිරිසට මෙහෙම වෙන්නෙ ඇයි? ප්‍රධානම හේතුව විශ්වවිද්‍යාලයෙන් පිට වෙන සියල්ලන්ටම රැකියා ලබා දෙන්න රජය බැදී ඉන්නවා කියල මහජනතාව විශ්වාස කරන එක.ඒ නිසා තමයි මොලේ වෙහෙසන්න කම්මැලිකම ට කට පාඩමින් ගොඩ යන්න පුලුවන් කලා විශයන් බොහෝ අය තෝරා ගන්නෙ.ඒකෙනුත් සාම්ප්‍රදායික විශයන් දෙක තුනක් තෝරගෙන අනාගතය ගැන හීන මවන්නෙ.

ඇත්තටම රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අතිශය බහුතරයක් කලා උපාධිධාරීන්.ඒ අය ඉගෙනගෙන තියෙන විශයන් නිසා කවමදාකවත් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ගැන හිතන්න බෑ.කොහේ හරි රජයේ කාර්‍යයාලයක හිස් තැන් පුරවනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ. 

අනිත් ලොකුම කාරණාව තමයි රජයේ සේවකයන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඇතුලුව අනිත් දීමණා ටික.මේ පහසුකම් නිසා හොර පාරෙන් හරි  රජයේ පුරප්පාඩුවකට රිංගන්න පුදුම උත්සාහයක් කරන්නෙ.

පත්වෙන කිසිම රජයකට රටේ ඉන්න සියලුම රැකියා විරහිත උපාධිධාරීන් ට රජයේ රැකියා දෙන්න බෑ.එහෙම දෙන්න උත්සාහ කරනවා නම් ඒක එදා වේල හම්බකරන් කන මිනිහගේ ඉදන් සමස්ත  පුරවැසියන්ටම කරන අපරාධයක්.මේ සියලු සේවකන්ගෙ වැටුප අතුලු අනිත් වරප්‍රසාද දෙන්නෙ අපේ බදු මුදලින්.වෘත්තිකයො නොවන පිරිස් බදවගෙන රාජ්‍ය සේවය ලක්ශ ගණනකින් පුලුල් කලා කියලා රටට ලැබෙන දෙයක් නෑ.හද්දා අමාරුවෙන් ඇදගෙන යන ආර්ථිකය ට බරක් විතරයි.රාජ්‍ය සේවය කියන්නෙ තවදුරටත් පුණ්‍ය ආයතනයක් නෙවෙයි.රජය වගේම අපිත් ඒක තේරුම් ගන්න ඕනි.

Saturday, August 15, 2020

නායකයා

 මැතිවරණයෙන් ලද අන්ත පරාජය හමුවේ එජාපය  තුල නායකත්ව අර්බුදය උඩු දුවා ඇත.සජිත් ප්‍රමුඛ පිරිසගේ ඉවත්ව යාමෙන් පසු නායකත්වය කෙසේ උවද පක්ශය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු යැයි සිතූ පාක්ශිකයන් පවා රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය තව දුරටත් අනවශ්‍ය බව ප්‍රසිද්දියේ කියන්නට පවා පෙලඹී ඇත.

කිසිවෙකුත් මහමැතිවරණයෙන් එජාපය මේ තරම් පසු බෑමකට ලක් වෙතැයි සිතුවේ නැත.විය හැකි දරුණුතම අවස්තාවේදී පවා රනිල් වික්‍රමසිංහ කොළඹින් පරාජය  වීමක් අනුමාන නොකළද  දශක ගණනක රනිල්ගේ පාර්ලිමේන්තු දිවිය අවසාන විය.අගනුවර උගත් බුද්ධිමත් ජනතාවගේ තේරීම රනිල් යැයි තිබූ සම්මතයටද තවදුරටත් වලංගුභාවයක් නැති බව  සනාථ වී ඇත.

එජාපයේ නව නායකත්වය කා හට හිමිවේදැයි බොහෝ දෙනා විමසිලිමත් වන අතරතුර කරූ ජයසූරිය ප්‍රමුඛ නම් රාශියක් ඉදිරිපත්ව කටයුතු කරනා බව දැන් පැහැදිලිව ඇත.ඉතිහාසයේ ලැබූ අන්ත පරාජයට ලක්ව නන්නත්තාර වී ඇති එජාපයට තවත් මහල්ලෙකුගෙන් ඉටු කරගත  හැකි සේවයක් වෙතැයි විශ්වාස කල නොහැක.එබැවින් රුවන් විජේවර්ධන ද කරලියට එබිකම් කරමින් සිටී.

පරම්පරා උරුමය අනුව එජාපයේ අයිතිය රුවන් සතු උවද ඔහු ජනප්‍රිය නායකයෙකු නොවේ.එවන්නකුට එජාපය වැටී ඇති තැනින් ගොඩ ගැනීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇත.විකල්පය රණතුංග කෙනෙකි.

ජනප්‍රිය නායකයින් බොහොමයක් එජාපය හැරදා යද්දී අර්ජුන එජාපයේ රැදී සිටියේය.දූෂණ චෝදනා නැති අතලොස්සක් දෙනාගෙන් එක් අයෙකි.ඒ සියල්ලටම වඩා රට පුරා විහිදී පැතිරී ඇති පාක්ශිකයන් ගොනු කිරීමට තරම් ජනප්‍රියත්වය ක් අර්ජුනට ඇත.හම්පඩ නාකින්ට වඩා ගැම්මක්,කෙලින් කතාවක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු උපයාගෙන ඇත.ඉදින් විකල්පය විය යුත්තේ එවැන්නෙකි.ප්‍රධාන පක්ශ දෙක තුනට ගොනු වී ඇති දූශිතයන් වංචාකරුවන් පරාජය කර පිරිසිදු එජාපයකින් රටට සේවයක් කල හැකි ඉහළ මට්ටමේ ඇති පිරිසෙන් ප්‍රමුඛයා ඔහුය.

Wednesday, August 12, 2020

කපුටෝ

ඉස්පිරිතාල ගැන මට තියෙන්නෙ බොහොම සුලු අත්දැකීම් ගානක්.ඒකෙනුත් පෞද්ගලික ඒව ගැන නම් අතලොස්සයි.මං වැඩිපුරම ඉස්පිරිතාලෙ ගියෙ වයස අවුරුදු 6, 7 කාලෙ.තාත්තා බලන්න. සිරෝසීස් හැදිල ජීවිතේ අන්තිම කාලෙ සැරින් සැරේ ඉස්පිරිතාලෙ නතර වෙන්න එයාට සිද්ද උනා.ඒ කාලෙ මං ඉස්පිරිතාලෙ ගියෙ තාත්තා බලන උවමනාවටත් වඩා සේලයින් බට ගේන්න.සෙල්ලමට..

හැබැයි, 

ඉස්පිරිතාලෙන් එන මූසල ගද මට තාමත් අප්පිරියයි..

පරණ  අත්දැකීම් සුන්දර නැති නිසා මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ ලෙඩක් වෙලා ඉස්පිරිතාලෙ ඉන්න සිද්ධ වෙන්න එපා කියලා.මිනිස්සු අසරණ වෙලා කර කියා ගන්න විදියක් නැතුව ඉන්නවා දකින්න මං කොහොමත් අකමැතියි.

ඉතිං, දවස් තුන හතරකට කලින් ලගම හිටි යාලුවෙක් ගෙ තාත්තා මැරුණා.රත්නපුර දිස්ත්‍රික් මහ රෝහලේදි.ඔව්.., කොරෝනා වසංගතේ නිසා රටේම ප්‍රසිද්ධ උනු ඇමතිනියගෙ ගමේ.

වාට්ටුවට අදාල ලෙඩ්ඩු හිටියෙ කොරිඩෝවෙ ඉදන්.බෙඩ් ශීට්, කාපට් කෑලි උඩ ඔහේ නිදි.මැරුණ මනුස්සයගෙ සිරුර පැය දෙකක් යනකන් වාට්ටුවෙ තියන්න ඕනි කියන නීතිය ඇතුලෙ අපි දුව පැනල මරණය ඉස්පිරිතාලෙන් නිදහස් කරගන්න උවමනා ලියකියවිලි හැදුවා.

එකපාරටම ලෙඩ උනු තාත්තව ගමේ ඉස්පිරිතාලෙට ගෙනිහින් එතැනන් ඇම්බියුලන්ස් එකේ දාගෙන රත්නපුරේට අරන් ගිහින් තිබ්බෙ යාලුවා ගෙදරට ඇදගෙන හිටි ඇදුම් පිටින්.මිනිස්සුන්ට හදිසි කරදර වෙන්නෙ කලින් දන්වල නෙවෙයි නෙ.

අනිවාර්ය පැය දෙකෙන් පස්සෙ ට්‍රොලියක තියාගෙන මිනිය මෝචරියට අරන් යන්න දෙන්නෙක් ආව.කවුරු උනත් මනුස්සෙක් මැරුණම අපිට තියෙන ශොක් එක එයාලට නෑ.උදේ හවා අත්දකින දේවල් නිසා ඒ අයට ගානක් නැතුව ඇති.

මෝචරියට දානවා කිවුවට මෝචරියට ගෙනියන්න ඕනි නෑ කියල ආපු දෙන්නා කිවුවා.හර්ස් එකක් එනකන් ගේට්ටුව ලගින් තියන් ඉමු කියල යෝජනා කලෙත් ඒ අයමයි.රෑ 8ට විතර නිසා වැඩිය කවුරුත් වට පිටේ හිටියෙ නෑ.

හර්ස් එකේ ආවෙ ඩ්‍රයිවර් විතරයි.මෝචරි සේවකයො, හර්ස් ඩ්‍රයිවර් කට්ටියම අදුනන අය.ට්‍රොලියෙ තිබ්බ මළ මිනිය හර්ස් එකට පටවල දුන්නත් ට්‍රොලිය තල්ලු කරන් ආව දෙන්න ආපහු ගියෙ නෑ.නහය බෙරි කරන් හිටි යාලුව වටේ දැවටෙනවා.පරිස්සමට මිනියත් පටවල දොර වහල දුන්නට හර්ස් එක යන්නෙත් නෑ.ඩ්‍රයිවර් එළියෙ.

තවත් රෑ උනොත් කරදර වැඩි වෙන නිසා ඩ්‍රයිවර්ට යමු කිවුවම ඌ කියාපි ට්‍රොලිය ගෙනාව දෙන්නට කීයක් හරි දෙන්නලු.

මෙච්චර කරදරයක් වෙලා තියෙන වෙලාවක රජයෙන් පඩි ගන්න එවුන්ට තව සංතෝසම් දෙන්නෙ මොකටද අහුවම තමයි ඩ්‍රයිවර් කිවුවෙ සල්ලි දුන්නෙ නැතොත් ඊලග මිනිය ගන්න ආවම අඩු තරමෙ පැයක්වත් මෝචරියෙ රස්තියාදු කරවයි කියලා.

Tuesday, July 28, 2020

මං ආදරෙයි

මලිංද නැගිටපං බං.... ගෙදර යන්න ඕනි බං දැන් රෑ වෙලා......,

තිලංකගේ  කෑ ගැසීම මට ඇහුනේ හුග වේලාවකින් පසුවය..

යමං බං.දැන් දොලහටත් කිට්ටුයි....

තිලංකත් මමත් අසංකයාත් සිකුරාදා හැන්දෑව ගෙවන්නේ මධුවිතත් සමගය..එක වසරේ පටන් පාසල් ජීවිතය අවසාන වන තෙක් එකට හිටි අපට බෙදා හදා ගන්නට නොහැකි දෙයක් නැත්තේය.විවිධ ක්ෂේත්‍ර වල රැකියාව කල අපි අපේ ගැන කතා කරන්නට හැම සිකුරාදාම හමු වීම අරුමයක් වූයේ නැත.

වැඩක් නෑ බං.මට තව බොන්න ඕනි.. අරන් වරෙන්.... තිලංකගේ කතාවට ඔලුව නොඋස්සාම මං කෑ ගෑවෙමි.

කරන හැම දේම අවරට යෑමත්, වසර ගණනක් පුරා බලාපොරොත්තුවෙන් හිටි ආදරය මගහැරී යාමත් නිසා මට අවශ්‍ය උනේ සියල්ල අමකත වන තුරු මධුවිතෙන් සප්පායම් වන්නටය.මුලින් ගෙනා බෝතලය අවසන හෝටලයේ මේසයට ඔලුව තබා ගත් මට නැවත නැගී සිටින්නට සිහියක් වූයේ  නැත.

මට උදානි මිස් උනා අසා.. මං ඒකිට බොක්කෙන් ලව් කලා මචං....., දෑස පියාගෙනම අසංකයාගේ දෑත අල්ලන් බමන මතින් මං කියෙව්වෙමි.

මලියා...., උඹ තනියෙන් ලව් කලාට ඒකි දන්නෙ නෑනෙ බං....

එහෙම නෑ බං... මං ඒකිට ඇගෙව්වා......

අගවල වැඩක් නෑ මලියා... කෙලින් කියන්න තිබ්බෙ.., උඹ ඒකි එක්ක කනෙක්ෂන් එකක් තියෙනව කියල ක්ලාස් එකේ හැමෝම හිතුවා..

උඹ හිතන්නෙ උදානි මට අකමැතියි කියලද තිලා? කියපං මට!

පිස්සු කෙලින්න එපා මලියා... ඒකි උඹට පුදුම විදියට සැලකුවෙ.. හැබැයි උඹ අහන්න පරක්කු වෙන්න වෙන්න ඒකි හිතන්න ඇති උඹ යාලුවෙක් විතරයි කියලා

මට වැරදුනා මචං...මං ඒකිට පට්ට ආදරෙයි....මට ඉසුුරුවා ගැන ඉරිසියයි බං

අසා ප්ලීස්...... තව බාගයක් ගෙනෙන්.. මට බොන්න ඕනි. මගේ අඩවැඩියාව ඉවරයක් නැති තැන අසංකයා බාර් එකට යන්නට ඇත.මට මතක ඇති ඉදිරි කාලය පුරාවට මා ලගින් හිටියේ තිලංක පමණි.


මලියා.. උඹ හිතිං ලව් කරල වැඩක් නෑ බං බොක්ක.ඒකිගෙන් කෙලින් අහන්න තිබ්බෙ.බලපං ඉසුරුවා කියන්නෙ  කොහේ හිටපු එකෙක්ද.හැබැයි ඌ කෙලින් ඇහුවා.ඒකි ඕකේ උනා.. හිත හදාගනින් බං

මං තවම එතිට ආදරෙයි බං....

මට මතක එපමණය.. පහුවෙනිදා ඇහැරුනේ අසංකගේ අම්මා ගෙනා තේ කොප්පය බීමටය...



Saturday, July 18, 2020

ඩලස්ට පිස්සු!


මැතිවරණය  කටේ තියාගෙන කෙරෙන රූපවාහිනී විවාදයකදි දැනටත් අධ්‍යාපන කැබිනට් ඇමති විදියට කටයුතු කරන ඩලස් අලහප්පෙරුම ගෙ අදහස් දැක්වීම පිස්සුවක් වගේ.එතුමා කාලයක් තිස්සෙ පුවත්වත් කලාවේදියකු විදියට හිටි නිසා ලස්සන වචන ටිකක් නම් කියනවා.නමුත් මේ දේවල් මහපොලවෙ තියෙනවද එහෙමත් නැත්තම් මහපොලවෙ ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියල උන්දැට අදහසක් නෑ.
   
    අධ්‍යාපනයෙන් සංහිඳියාව ඇතිකරන්නෙ කොහොමද කියල ඇහුවම වැල් බයිලා අටෝරක් කියෙව්වා.සංහිඳියාව ඇතිවෙන්නෙ සිංහල මුස්ලිම් දෙමළ කියල තවදුරටත් අපිව වෙන් කරල පහසුකම් සලසල නෙවෙයි.උතුරුකරේ දැඩිව තියෙන ගුරු හිඟයට නුපුහුනු ගුරුවරු බන්දගෙන නෙවෙයි.

දේශපාලකයින්ට හැමදාම ඕනි කලේ අපි බෙදිලා වෙන් වෙලා ඉන්න එක.අපිට අනිත් පුරවැසියො එක්ක අදහස් හුවමාරු කර්න්න බැරි වෙන තරමට උන්ට වාසියි.සැබෑ සංහිඳියාව ක් ඇතිකරන්න අවංක උත්සාහයක් දරන්නෙ නැත්තෙ ඒකයි.අතීතයේ වෙච්ච දේවල් පැත්තකින් තියලා ඇයි අපිට දැන්වත් අලුත් විදියට හිතන්න බැරි? මින් ඉදිරියටවත් එක එක ආගම් හෝ ජාතීන්ට විශේශිත පාසල් ඇති නොකර රටේ සියලුම දරුවන්ට එකම පංතිකාමරයේ  ඉදන් ඉගෙන ගන්න අවස්ථාව හදන්න බැරි ඇයි.හෝඩියේ ඉදන් විවිධ සංස්කෘතීන් එක්ක හැදෙන දරුවො ඒ සියලු දේවල් අත්විඳළා තමන්ට අනන්‍ය පාරක් හදා ගනියි.

රටක් විදියට අපි යන්න ඕනි එතනට.නැත්තම් හැම චන්දෙ කාලෙකදිම උන්ගෙ බයිල අහන් ඉදලා ඉතිරි  අවුරුදු පහේදි උන්ටම සාප කර කර ඉන්න වෙයි

Monday, June 29, 2020

සැබෑ සංහිඳියාව

ලංකාවෙ අපි දශක ගානක් තිස්සෙ ඉදන් ම එක එකාට රැවටෙනවා.රජ කාලෙ ඉදන් ම ඒ තත්වය තියෙන්න ඇති.දැන් සමහර වෙලාවට රැවටිලා කියල තේරුනත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.රැවටීමට විරුද්දව කතා කරල කොහෙන් හරි යන ලෙඩකට මාට්ටු වෙනවට වඩා සද්ද නැතුව ඉන්න එක හොඳයි කියල හිතෙනවා ඇති.
අපේ රටේ වාර්ගික සමගිය කියන්නෙත් රැවටිල්ලක්.කොටින්ම ජාතික කොඩියෙන් පවා අපිව රවට්ටනවා.
ඔබත් මමත් මේ රටෙන් එලියට ගිය දවසට අපිව අදුන ගන්නෙ සිංහල එකෙක් මුස්ලිම් එකෙක් හෝ දෙමලෙක් විදියට නෙවෙයි.ලංකාවෙ එකෙක් විදියට.ශ්‍රී  ලාංකිකයෙක් හැටියට.ඉතිං අපි අපේ  ශ්‍රී ලාංකික  ජාතිය නියෝජනය කරන්න තියෙන කොඩියෙන් එක එකාගෙ ජාතිය පෙන්නුම් කරල වැඩක් තියෙනවද?අපිව  එකතු කරනව කියල හැම එකාම කරල තියෙන්නෙ බෙදල වෙන් කරන එකමයි.ලෝකෙ කොයි රටකවත් ජාතික කොඩියෙන් ඒ රටේ ඉන්න ජනවර්ග නියෝජනය කරනවද කියල කල්පනා කරල බලන්න.රට ගැන කියවෙන වීඩියෝවක එක එක ජාතිය නියෝජනය කරන ඇදුම් අන්දල ළමයින් පෙන්නන්න ඕනද... නෑ.එකතු කරනව කියල පෙන්න පෙන්න හැමදාම කරල තියෙන්නෙ අපිව බෙදා වෙන් කරපු එක.
ඉතිං අපි රැවටිලා ඉමු... හැබැයි මේ සොමිය තව පුංචි කාලයයි.ඊට පස්සෙ සිද්ද වෙන ඒව නෑසූ  කන්ව ඉන්න අමාරු වෙයි.

Friday, June 19, 2020

දඩ මීමා

ආයෙමත් හාමුදුරුවරු කීප නමක් ජනාධිපතිතුමාට ලංවෙලා රට පාලනය කරන්න උපදෙස් දෙන්න පටන් අරන්.බහුතරයක් බෞද්ධ මිනිස්සු ජීවත් වෙන රටක රාජ්‍ය නායකයාට උපදෙස් දෙනවා කියන්නෙ අරුමයක් නෙවෙයි.නමුත් ලංකාව වගේ රටක මේ උපදෙස් දෙන උන්දැල තවත් ආගම් අදහන උදවිය මේකෙ ජීවත් වෙනව කියල කල්පනා කරයිද කියල සැකයි.මංගල සමරවීර කිවුවා වගේ සංඝ කල්ලි ලංකාවේ ක්‍රියාත්මයි.ඒ අය මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරගන්න උදව් කරනවා වෙනුවට විකාර රූපී තොරොම්බල් වැඩ කරන්නට උනන්දු කරවනවා.ඉතිං රටේ ප්‍රධානියට අර කිවුව කල්ලියෙ කෙනෙකුත් උපදෙස් දුන්නොත් කොහොමට හිටීද?

ගෝඨාභය ජනාධිපතිතුමා සිංහල බෞද්ධ සංකල්පයට ගොඩාක් සමීප නිසා ම ඉරිදා දිනයේ අමතර පංති තහනම් කිරීමේ අදහසක් ඉදිරියට ඇවිත්.මේ කිසිම අදහසක් සතියේ දවස් පහක් පාසලටත් ඉතිරි සෙනසුරාදා අමතර පංති වලටත්  හෙම්බත් උන දරුවන්ගේ මානසික තත්වය ගැන හිතල කරන යෝජනා නෙවෙයි.තමන්ගෙ ආගම උගන්නන්න විදියක් නැතිවෙයි කියන බයට කරන යෝජනා.

ඉගෙනුම් වැඩ වලින් මනස නිදහස් කරන්න උවමනාවෙන් , දරුවන්ට විවේකී දවසක් දෙන අදහසින් කරන දෙයක් නම් මගේ සහයත් කොන්දේසි විරහිතව දෙනවා.එහෙම නැත්නම් අමතර පංති තහනම් කර ලැබෙන කාලය සදහා  දහම් පාසල් වලට  ගාල් කරනවා නම් ඒකෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ. 

අපේ දරුවන්ගෙ ආකල්ප වර්ධනය  විය යුතුයි.ඒකට තර්කයක් නෑ.හැබැයි ඒ අවශ්‍යතාව ඉදිරියට දාලා පාසල් ජීවිතය හමාර වෙනකන්ම කිසිම විවේකයක් නැතුව ඉගැන්වීමෙන් කායික ශක්තිය කෙසේ වෙතත් මානසික ශක්තිය අවම පුද්ගලයින්  රැකියා පෝලිමට එකතු වෙයි.තනියම හිතල යම් දෙයක් කිරීමේ හැකියාව අතින් මේ අය හරි දුප්පත් .

 පාසල්  විශය නිර්දේශයේ ඉදන් ම දැවැන්ත ප්‍රතිසංස්කරණ ගෙනාවොත්  මිස මේ අර්බුදයෙන් ගොඩ ඒමක් නෑ.එක ආගමක් දර්ශනයක් ගැන දරුවන්ට අද්‍යාපනය ලබා දෙනවා වෙනුවට ප්‍රධාන ආගම් කීපය පිලිබඳව ම සාධනීය ඉගැන්වීමක් කලොතින් සමාජයේ වපරැහින් දකින බොහෝ කාරණා සාමාන්‍ය විදියට දකින්න පුරුදු වෙයි.අපි ගොඩ නගන්න ඕනි එහෙම රටක්.

Wednesday, June 10, 2020

කේන්දරේ

හවස ටවුමට ගිහින් ආ වෙලේ ඉදන් නිමාලි හිටියේ මොකක්දෝ බරක් හිස තියාගෙනය.නිවාඩු දවසේ සිදු කරගත යුතු වැඩ කන්දරාව නිසා මට ඒ ගැන විමසන්නට වේලාවක් තිබුණේ නැත.කෙසේ වෙතත් අම්මා ලෙඩින් ඉන්නා නිසාත් රැකියාවේ ගැටලු නිසාත් ඇය ට නිවනක් තිබුණා නොවේ.රෑ උයා පිහා දරුවා සමග ඔට්ටු වෙමින් සිටි අපට කතා කරන්නට ලැබුණේ නිදන්නට යන්නට විනාඩි කීපයකට කලියෙනි.

මොකද හලෝ අවුලෙන් වගේ? අම්මගෙ බෙහෙත් වලට ආයෙත් සල්ලි මදි වෙලාද? 

නෑ..හ්...., මං මේ බයේ හිටියෙ ඒකටත් ආයෙ සල්ලි ඉල්ලයි ද කියල

එහෙනම්..... මොකක්ද අවුල?

මං ටවුමට ගිය වෙලාවෙ අපේ වෙලාවල් ටික බැලෙව්වා.. මේ අලකලංචි ටික මෙච්චරම වද දෙන්නෙ ඇයි කියල බලන්න

අහ්.. ඒකද මේ.. ඕව කිසි තේරුමක් නැති මනස්ගාත කියල ඔයා දන්නවනෙ ඉතිං...

වෙන්න ඇති.. ඒත්,

මොකක්ද ඒත් කිවුවෙ...?

ඔයාට මතකද අපේ ගෙදරින් මගෙ වෙලාව බලවල තිබ්බ.. අපි බදින්න කලින්?

ඔව්...

ඒ වෙලාවෙ කියල තිබ්බ දේවල් හරියටම හරි අසංක.. අපි දෙන්න ගැලපුනාට සීයට සීයක්ම ගැලපෙන්නෙ නෑ කියල තිබුණ.ඒ නිසාම කිසි දියුණුවක් නෑලු.හැමදාම එකම විදිය තමයි කිව්වා.


හ්ම්..... ඉතිං අපි ඔය අගේට ඉන්නෙ

මොන අගයක්ද අසංක මේ ජීවිතේ? මට නම් දැන් තිත්ත වේගෙන එන්නෙ.එහෙන් කේලම් කාරයන්ගෙන් රස්සාව පරිස්සම් කරගන්න ඕනි.කන්න බොන්න ගෙවල් කුලී වලට සල්ලි හොයන්න ඕනි... අම්මට බෙහෙත් ගන්න සල්ලි යවන්න ඕනි..පොඩ්වගෙ ඩේ කෙයාර් එකට ගෙවන්න ඕනි.. ඒ අස්සෙ දරුව ලෙඩ උනොත් ඒවට සල්ලි ඕනි....ඔලුවට නිදහසක් නෑ මගේ...

ලමයෝ.... මනුස්සෙක් උස් මහත් උනාට පස්සෙ කසාද බදින්න ඕනි... දරුවො හදනවා ගෙවල් දොරවල් හදනව... ඉතිං ඕවට වියදම් යනවා..ඒ වියදම් පියවගන්න මිනිස්සු මහන්සි වෙලා හම්බ කරනවා.. අතේ තියෙන හැටියට ජොලි කරනවා..ඔහොම තමයි

ඒත් මට ඒක දැන් ඇති අසංක.. මට මහන්සියි දැන්

නිමාලී.... අපි කසාද බැන්දෙ දෙන්නම හොදට හිතල.දෙන්නට තියෙන දේවල් ගැන හරියට දැනගෙන.අපිට මුල ඉදන් ටිකෙන් ටික හැමදේම ලගා කරගන්න ඕනි කියල අපි දැනන් හිටියානෙ...ඉතිං ඇයි අපි පසුතැවෙන්නෙ? 

මං පිලිගන්නවා.. ඒත් මට මේ ඕක්කොම දමල ගහල ඔලුව හැරිච්ච අතේ යන්න හිතෙනවා..

විකාර කියවන්න එපා ලමයො.මිනිස්සුන්ට හැමදාම වරදින්නෙ නෑ..හරියට හිතල බලල අපි අපේ දේවල් ටිකෙන් ටික හදා ගමු..  කෝ දැන් ඔය පලාපල  ලියල දුන්න කොලේ?

ම්හ්.....

මේස කෑල්ල උඩ තිබූ අත් බෑගයෙන් ගත් කොල කැබැල්ල මට දිගු කල නිමාලී දූ නිදනා කාමරයට වැදුනාය

නමෝ විත්තියෙන් පටන් ගෙන තිබූ පලාපල සටහනේ බොහෝ විස්තර සටහන් කර ඇත.යාන වාහන හිමි සැපවත් ජීවිතයක් නිමාලීට නියමිතව ඇත.නමුත් ඒ කොයි කාලයේ දැයි නිශ්චිතව කියා නැත.දරුවන් දෙදෙනෙකු හිමි බව සටහන් කර ඇතත් දූ සිගිත්තිය ලබා ගන්නට  වසර එක හමාරක් වෛද්‍ය උපදෙස් පැතූ සිද්දිය ගැන කිසිම සටහන් එහි නැත.උසස් අධ්‍යාපනය, රජයේ රැකියා හිමි බව කීවත් නිසි වයස පහුවෙනතුරු උත්සාහ කලද රජයේ රැකියාවක් ලැබුණේ නැත.විවාහය,ආර්ථික තත්වය ගැන මහා ලොකු සදහනක් එහි නැතත් විදේශගත වීමේ හැකියාව ඇති බවක් සටහන් කර ඇත..

මට අපේ අතීතය සිහි විය...
මට පෙර විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේදී නිමාලීට සැලකිය යුතු දුරක් ගිය පෙම් සබදතාවක් තිබූ බව මං දනිමි.මා හමු වූ මුල් කාලයේදීත් ඒ සම්බන්ධය තිබී අවසානයේ  සමථයකට පත් වූයේ බොහෝ සිත් රිදීම් වලට පසු නිමාලී සියදිවි නසා ගන්නටද උත්සාහ කිරීමෙන් පසුවය.. 

නමුත්,
මේ කිසි දෙයක් අර පලාපල සටහනේ ලියා නැත...

Tuesday, June 9, 2020

The great Thondaman



පොලිටිකල් කියන්නෙ ගේම් එකක්.ඔලුව නැති මී හරක් ෆ්‍රන්ට් ලයින් එක රන් කලාට ඕවයි පිටපත් හැදෙන්නෙ අදුරු ගුහා වල ඉන්න මාස්ටර් මයින්ඩ්ලගෙ අතින්.එයාල අදාල පරිසරය,අලුත් ට්‍රෙන්ඩ් එක හීනියට අධ්‍යනය කරල තමන්ගෙ වැඩේ කරනවා.නිකන් හිතන්න ඇමරිකාවෙ පොලීසිය අතින් මනුස්සෙක් මැරුණම ඒ මිනිහට සාධාරනය ඉෂ්ඨ කරන්න හෝ එහෙ ක්‍රියාත්මක වෙන වර්ගවාදයට විරුද්දව මේ වගේ තත්වයක් යටතේ ලංකාවෙ විරෝධතාවයක් කරන්න ඕනිද? ඇමරිකාවට අධෝවාතයක් තරමටවත් ඕක දැනෙයිද? 

නෑ... 
දුමින්දලට කුමාර් ගුණරත්නම්ලට ඕනි කලේ ඇමරිකාවට විරුද්ද වෙන්නද?
නෑ

විරෝධතාවයක් තියෙද්දි මුලින්ම ඇහුන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන නම කොරෝනාව නිසා ඇහෙන්නෙ නැතුව ගියා.දැන්, පාක්ෂිකයන්ට සහ රටට තමන් තවමත් ගේම් එකේ ඉන්නව කියල පෙන්නන්න නම් මාධ්‍ය වල හෙඩින් එකක් වෙන්නම ඕනි.අද එයාල ඒක කරගත්ත.

හබැයි දෛවෝපගත විදියට ඇමරිකාවෙ පොලීසියෙන් වෙච්ච අකටයුතුකම් ගැන විරුද්ධ වෙන්න ගිය අයට සිරි ලංකා කාකි කබා කාරයො දොඹෙන් යන්න දුන්න.මනුස්සෙක් අත්අඩංගුවට ගන්න ඕනි අවම සදාචාරයවත් උන්ට අමතක වෙලා.අධිකරණ නියෝග හෝ නිරෝධායන නීති කඩන අය ගැන එක එක වෙලාවට කාකි කබායට දැනෙන්නෙ එක එක විදියට.නැත්තම් රටේ මිනිස්සුන්ගෙ පොදු මුදල් හොරා කෑව කියල නඩු තියෙන,බොරු විගඩම් වල උල්පත වෙච්ච රාජිතව අත්අඩංගුවට ගත්තු එක වැරදියි කියල රාජිතගෙ ම කුලකයෙ එවුන් උද්ඝෝෂන කරද්දි එකෙක් දෙන්නෙක් බෙල්ලෙන් ඇදල ජිප් එකට දාගෙන යන්න එපැයි.

ඒ අතින් තොණ්ඩමන්ගෙ ශේෂ්ඨත්වය... කොරෝනා නැතත් මේ කාලෙ සාමාන්‍ය මිනිහෙක් මැරුණම මල ගෙදර කටයුතු ගැන උපදෙස් දෙන පීඑච්අයි මහත්තුරුන්ට තොණ්ඩා දිහා බලන්න දුන්නෙ නෑ.මීටරේ පරතරේ තියා සෙන්ටි මීටරේ පරතරේ වත් තියාගත්තු නැති වතු කම්කරුවො ඇදිරි නීතිය වෙලාවෙදිත් වැල නොකැඩි මිනිය බලන්න ආව එක කාකි කබායට දැනුනෙ නෑ.දැනුනත් මොකද, වගකිව යුත්තා වෙච්චි තොණ්ඩාට පණ නෑ!

Sunday, June 7, 2020

පරාදයි කොල්ලෝ




මුලින් කියන්න ඕනි මං නාට්‍ය හෝ ඒ සම්බන්ධ විශයක් හදාරල නැති සාමාන්‍ය මනුස්සෙක් වග.තණමල්විලයා මං දකින්නෙ සාමාන්‍ය රසිකයෙක් විදියට.මේ කතාව ගොඩක් ජනප්‍රිය වෙන්න මේ කොරෝනා වසංගතයත් හේතුවක්.කසිකබල් ඉංදියන් පඩංගුයි මුණියගෙ ඉණිමයි නතර උනාට පස්සෙ ප්‍රේක්ෂකාගාරය තණමල්විලයාට හැරුණ.සාමාන්‍යයෙන් මේ වගේ ටෙලියක් බලන අයයි නැති අයයි ඔක්කොම.අනික ගමක කතාවක් පෙන්නද්දි ඒක බලන්න හිතෙන් පොෂ් වෙන්න හීන දකින අපි කොහොමත් ආසයි.
මට හිතෙන හැටියට නලුවෙක් විදියට ලෝකයක් වටින රොෂාන් රවීන්ද්‍රගෙ පලවෙනි අධ්‍යක්ෂණය අසාර්ථකයි.පලවෙනි කාරණාව තමයි කාල පරාසය නිවැරදිව නිරූපණය  වෙන්නෙ නැති එක.හදුන්වා දීමේ වැඩසටහනේදි කියපු හැටියට මේ කතාවට පාදක වෙන්නෙ 1995-2006 කාල පරාසය.ඒ කාලෙ ජංගම දුරකතනයක් කියන්නෙ කොයි තරම් සුඛෝපභෝගී භාන්ඩයක්ද කියල දන්නෝ දනිති.අමතන්නා හදුනා ගැනීමේ සීඑල්අයි පහසුකම නොමිලේ ලැබුණෙ 2005 දි.හැබැයි ටෙලියෙ හැටියට දවසෙ ගතමන්ට් එකට ඔට්ටුවෙන ගැටවරයො අතේ ටෙලිෆෝන් තියෙනවා.සහ ඇමතුම දකිද්දි අමතන්නා කවුද කියල අදුනගන්නවා.ලැබෙන ඇමතුමටත් ගාස්තු අය වෙච්චි ඒ කාලෙ ගැටවරයො දුරකතන පාවිච්චි කරන විදිය දැක්කම 2000න් පස්සෙ ඉපදුන අයට නම් පට්ට ඇති.මට නෑ!
දෙවැන්න, තණමල්විල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කරයි.පසු කාලෙක පාරවල් කාපට් නොවුන නම් දැන් තියෙන පහසුකම් වත් ඒ පැත්තට ලගා වෙන්න තව කාලයක් ගත වෙනවා.ගම් වල හැදෙන මිනිස්සු රස්සාවක් හොයන් කොළඹ යන්නෙ පුදුම මානසික කැළඹීමකින්.ඒ දක්වාම හැදුන වැඩුන පරිසරය, පණට පණ වගේ හිටපු යාලු මිත්‍රයො දාල නොදන්නා රටකට (ඇත්තටම විභාග ඉවර කරල නොයෙක් වැඩ වලට කොළඹ ගිය මුල් කාලෙ ගමේ හිටපු මටත් ඒක වෙන රටක් වගේ) යද්දි දැනෙන හැගීම කොලුවාගේ මූණෙන් පෙන්නන්න අධ්‍යක්ෂකතුමා ට බැරිවෙනව.කාලෙකට කලින් රස්සාව වෙනුවෙන් කොළඹ යන්න ඒ වෙනකන් ගෙවපු ජීවිතේට තිත තියල ඇදුම් බෑග් උස්සගෙන බස් එකට නැග්ග මට ඒ හැගීම ගැන තදට දැනෙනව.

ඊලගට, ගම්වල සාමාන්‍ය විදියට හැදෙන අපි රබර් සෙරෙප්පු ගේ ඇතුලට දාන්නෙ නෑ.එලියට යද්දි සෙරෙප්පු දෙකක් දාන්න පුරුදු උනෙත් ඉස්කෝලෙ 9 10 පංති වල ඉද්දි.මොක කලත් ගෙට යද්දි සෙරෙප්පු හෝ සපත්තු දානෙ යන එක ලොකු වරදක් වගේ හැගීමක් අපට තියෙනව.යමක් කමක් තියෙන යාලුවෙක්ගෙ ගෙදරකට ඒ දවස් වල ගොඩ උනත් සපත්තු දෙක ගලවල ගියෙ  ඒකයි.හැබැයි කොලුවා කොළඹ ආවම ගමේ කොල්ලෙක්ගෙ තියෙන්න ඕන ඒ වගේ අහිංසක ගමේ කම පෙන්නන්න බැරි වෙලා.කොටින්ම ගමේ ඉදන් උපාධි ගැහුවත් කොළඹ සමාජෙට මුහුවෙද්දි තියෙන්න ඕනි කුලෑටි ගතිය, ආත්ම අනුකම්පාව වගේ කාරණා ඉස්මතු වෙන විදියට රගපෑම පෙන්නන්න කොලුවාත් බොසාත් අසමත්.
ඒ හන්ද මට නම්, 
පලවෙනි එක පරාදයි කොල්ලෝ.

Saturday, February 8, 2020

මං මාව හොයනවා

ඉපදිලා දශක ගානකට පස්සෙ, පාසල් ජීවිතය, රැකියා,ව්‍යාපාර, වවාහය ආදී කාරණා ගොන්නකට පස්සෙත් මං මාව හොයනව..

මං කවුද? මොනවටද මං දක්ෂ? තවමත් අභිරහසක්


ආස දේවල බොහොමයි.ඒත් තවමත්  ඒ දේවල් ලගා කරගන්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ.කොටින්ම, දැන් ගෙවන අස්ථාවර ජීවන රටාව නතර කරගන්නෙ කොතනින්ද කියලවත් මං දන්නෙ නෑ


මං, පැහැදිලිවම අතීතකාමියෙක්! අතීතයේ සුන්දර දේ ගැන හීනෙනුත් කල්පනා කරන, වර්තමානය නිකන්ම ගලාගෙන යන්න දෙනවදවත් කියල දන්නෙ නැති පරාණයක්.


බොහෝ පිරිසක් ආශ්‍රය කරල දැන් ඒ කවුරුත්ම ලග නැති උනාම දැනෙන පීඩනය දරා ගන්න පුරුදුවෙන ගමන් නිසා වෙන්නත් ඇති.නොගැලපෙන පිරිසක් බව දැන දැනත් මේ වටපිටාව තල්ලු කරපු පිරිසක් එක්ක ඉන්න එක හිතට වදයක්.


හිතපං, මාසෙකට වතාවක් දෙකක් ලගම ඉන්න යාලුවො ටික එක්ක සෙට් වෙලා කරපු ගොංකම්, අමාරුකම් ගැන බොක්ක ගොඩ දාපු එකෙක්ට හිතේ තියෙන පීඩනය නිදහස් වෙනකන් කියවන්න,බියර් එකක් බොන්න, විශ්වාසවන්ත එකෙක් නැති උනාම දැනෙන කාලකණ්ණිකම...


හැමදේම තනියම කරගන්න පුරුදුවෙන ගමන්.තාවකාලික මිනිස්සු එක්ක ජීවිතේ බෙදාගන්නවට වඩා තනියෙන් විදින්න පුරුදු වෙන එක විශ්වාසයි.



Sunday, January 26, 2020

කැරකොප්පුවෙීදීය..



දූ සිගිත්තිය පෙර පාසලට ඇතුලත් කරන මුල් දිනය ඒ තරම්ම සුභ දිනයක් වූයේ නැත.උදයේම ඇහැරගෙන සුරංගී හැදූ කිරිබතේ රස්නය නිවෙන්නටත් මත්තෙන් ගෙපැලට දුවගෙන ආ රත්නෙ අයියා ගෙනත් තිබුනේ ඇග හිරිවට්ටන ආරංචියකි.ඒ නිසා දූගේ පෙර පාසල් ගමන පැත්තකට දමා රෝගාතුරව සිටි මැණිකෙ අක්කා  අසාධ්‍යව රෝහලට ගෙන යාමට ත්‍රී රෝද රථයක් සොයන්නට මහතුං මාමාගේ වෙලදසැල වෙත දුවන්නට මට සිද්ද විය.

මෙලෝ හව් හරණක් නැතිව රැදෙන්නට තැනක් සොයමින් ඇවිද යන කාලයක කාශ්ඨක තණමල්විලෙන් කිලෝ මීටර විසි තිස් ගණනක් ඇතුලකට වන්නට පුංචි බිම් කඩක් සොයාගන්නට මග පෙන්වූයේ මැණකෙ අක්කාත් රත්නෙ අයියාත් ය.කැලේ ගස් දඩු කපන්නට ගිය වෙලේත්,ගෙපැල අටවාගන්නට මැටි කැපූ දිනයේත් ඒ දෙන්නා හරි හරියට උදව් පහදව් කලා පමණක් නොව බඩ දරු සුරංගී නොතෙමන්නට යැයි කියමින් ටකරං තහඩු කීපයකුත් පරිත්‍යාග කරන්නට තරම් අපට ලෙංගතු විය.

මව් පියන්, නෑ හිතවතුන් සියල්ලගෙන්ම දුරස්ව එන සෑම ප්‍රශ්නයකට ම මුහුණ දෙමින් සිටි සුරංගී දූ සිගිත්තිය බිහිකරන්නට  විලි රුදාවෙන් ගෙපැල දෙවනත් කරද්දී ලග සිටි යෙහෙලියත්,මවත් මැණිකෙ අක්කා විය.දරුවා බිහි කල දා පටන් තන බුරුල්ලේ කිරි වඩන ආහාර සැපයීමට ත් දරුවන් ගේ කටයුතු සොයා බලා උපදෙස් දෙන්නටත් අපට සිටි එකම නෑයාත් හිතවතාත් රත්නෙ අයියාගේ කුඩුම්බයයි.

රත්නෙ අයියා මට මුණ ගැසෙන්නේ කුලියට ඉල්ලා ගත් ලොරි බාගයක එලවලු එකතු කරන්නට බලහරුවට ආ වාරයකදීය.අපේ ඇයි හොදයියට රුකුල් වැදුනේ සරුසාරව වැවී තිබූ එළවලු කොරටුවටම සොයා ගොස් මිලදී ගත් එලවලු තොගයට ගෙවන්නට සුලු මුදලක් මදි වූ තැන මගේ තොරතුරු අසා නැවත පැමිණි දිනයක පියවන පොරොන්දුව මත එළවලු තොගය ගෙන යන්නට ඉඩ දුන් දිනයේදීය. ආශ්‍රය කරමින් සිටි බහුතරයකගෙන් වසං වී සිටි මට රත්නෙ අයියා අලුත් හිතවතෙක් විය.වෙලදාමේ ගිය මාස ගණන ඔහුත් මමත් හොද මිතුරන් කරන්නට තරම් ප්‍රමාණවත් වී තිබිණි.

බැංකු කරුවන්, පොලී කරුවන්, අතමාරු ඉල්ලා ගත් මිතුරන් සියලු දෙනා තමන්ගේ මුදල් හොදින් ඉල්ලා සිටින කාලය අවසන්ව බණින්නටත් ගහන්නටත් පටන් ගත් විට තව දුරටත් ජීවත් වීමෙන් ඵලක් නැති බව මට නොසිතුනා නොවේ.දරා ගන්නට අපහසුම තත්වය වූයේ ඒ අය පැමිණ සුරංගීටත් අම්මාටත් තාත්තාටත් බැණ අඩගසන්නට වූ විටය.ඒ අය මේ කිසිවකට සම්බන්ධයක් නැති උවත්  මුදල් සොයන්නට දිවා රෑ වෙහෙසුනු මං නිවසේ නැති තැන සොයා ආ අයවලුන්ට මුහුණ දෙන්නට වූයේ ඔවුන්ටය.කවුරුන් හෝ පැමිණ කෑ ගසා ගිය දිනට කිසිවෙකුත් කතා නැත.මුල් දිනවල අපහාස දරාගන්නට බැරිව රහසින් ඇඩූ සුරංගීට කාලත් සමග ඒ සියල්ල කම්මලේ ඉන්නා සුනඛයන්ගේ තත්වයට පත් විය.

ගෙවීමට ඇති සියල්ලටම උපයන මුදල කොටස් කර ගෙවා දැමූ පසු හාල් සේරුවක් ගෙදරට ගෙනියන්නට අත ඉතුරුවක් නැති වූ දවස් ඉහේ කෙස් ගානට විය.අම්මාටත් තාත්තාටත් අප වෙනුවෙන් තව නැහෙන්නට වීරියක් ඉතිරිව නොතිබුණත් මගේත් සුරංගීගේත් කුස පුරවන වගකීම ඒ අය මගහැරියේ නැත.නමුත් ඒ සියල්ලට විරාමයක් තබා අලුතින් පටන් ගන්නට මට උවනාවක් විය.සියල්ලන්ගෙන් ම වසංව උපයන කීයක් වුවද අවැසි විට මට උපකාර කල අයට ගෙවා දමා හිතේ බරින් නිදහස් වන්නට මගේ ඒකායන බලාපොරොත්තුව විය.

පොල් අතු මැදින් බේරී වැටුනු වැහි බිංදු වරිච්චි බිත්ති දිය කරද්දීත්,ඉර කාස්ටකය කොරටුව පරඩැල් කරද්දීත් අප කලේ මුදල් එකතු කිරීමය.ඉඩෝරයට ඉරි තලා ගිය පොළව සමග ඔට්ටු වී නැගුනු කරගැට රෑ පුරා රිදුම් දෙද්දී නැගුනු වේදනාවට, ආත්ම අනුකම්පාවට හිතේ තිබූ දහිරිය බොද කරන්නට හැකි වූයේ නැත.හිමිදිරියේ සිට ගොම්මන දක්වා කොරටුවේ රාජකාරි සමග කාර්‍යබහුල වීම මට සාමාන්‍ය දෙයක් විය.ගෙපැල වටා එළවලු පැල ඉන්දවමින් තමන්ට හැකි උපරිමයෙන් සුරංගී මගේ උත්සාහයට රුකුල් දුන්නාය.

ගොවිතැනට ජලය හිග කම මට මෙන්ම ගමේ හිටි බොහෝ අයට තදින්ම දැනෙන වකවානු හැම වසරකම එන්නේය.ගිනියම් හිරු රැසින් වේලී යන ඇල නැවත පණ ගසන්නේ මාස කීපයක් ගිය විටය.ඒ කාලයට වගාවට ඇවැසි ජලය සපයා ගන්නට මෝටරයක් නැති නිසාවෙන් පරඩැල් වන්නට ගිය එලවලු පැල ටික බේරා දෙන්නට හැම විටම දිව එන්නේ පිහිටට ඉන්නා රත්නෙ අයියාය.අක්කා රස කැවිල්ලකුත් රැගෙන විත් සුරංගීත් දූ පැටියාත් බලා යන්නීය.

හුස්ම යන මොහොතේදීවත් හිතේ නිදහසෙන් දෑස පියාගන්නට නම් පුලුවන් වයසේදී උපරිමයෙන් මුදල් රැස් කර වගකීම් වලින් නිදහස් විය යුතු යැයි මා දිරිමත් කල මැණිකෙ අක්කා රෝහලට ගෙන ගොස් ගතවූ දෙවැනි දිනයේ දී දෑස පියා ගත්තාය.මරණ ගෙදර කටයුතු සියල්ල අවසන්ව මැණිකෙ අක්කා ගේ නිසල දේහය වැව් තාවුල්ලේ භූමිදානය කලේ ඉර අවරට යන්නට හෝරා කීපයක් තිබියදීය.

දශක ගණනාවක් තමන් පිටු පස සිටි දිරිය ගැහැනිය වැව් තාවුල්ලක තනිකර දමා යන්නට රත්නෙ අයියාට අදහසක් නැති ගානය.දියණියන් දෙදෙනෙකුත් උන්ට බාලව වැඩුනු පුතුත් උස්මහත් කර දෙපයින් සිටුවා ලන්නට මැණිකෙ අක්කා වීරිය දුන්නේ උගත්කමට නොව අසා දැනගත් රට තොට තොරතුරු ගැන සිතූ නිසාය.

ගොම්මන වැටීගෙන එද්දීත් මමත් රත්නෙ අයියාත් මැණකෙ අක්කා නිසොල්මන්ව නිදනා ඉසව්වට වී සිටියෙමු.අතලොස්සක්ව උන් මගේ යැයි කිව හැකි පිරිසෙයින් තවත් කෙනෙකු නොඑන ගමන් ගොස් ඇත.ආයෙම මගේ වෘත්තයේ අරය අඩු වී ඇත.ජීවිතය කිසි දිනෙක කාරුණික නැත.ආත්ම ගණනක් එකතු කල පව් කන්දරාව මේ ආත්මයේදී හෝ අවසන් විය යුතුය.

Monday, January 6, 2020

ස්තූතියි 1926

1926 ඒ කියන්නෙ ලංකාවෙ මනුස්සෙක්ට මානසික ප්‍රශ්නයක් ඇති උනාම කතා කරන්න තියෙන දුරකතන අංකය.ගාස්තු රහිතයි.අවුරුද්දකට වතාවක් කුමාර සංගක්කාර ඇතුලු බොහෝ දෙනෙක් මේ අංකය හා සේවාව ගැන  මහජනතාව දැනුවත් කරන්න ලොකු වෙහෙසක් දරනව.මට මේ ගැන අත්දැකීමක් තිබ්බෙ නෑ.කවදා හෝ බලපු ඉංග්‍රීසි චිත්‍රපටියක මේ වගේ සේවාවක් ක්‍රියාත්මක වෙන හැටි දැකල මං හිතුවෙ ලංකාවෙත් එහෙම ඇති කියල.
අද  ඒ කියන්නෙ 2020 ජනවාරි 6, ගහපු ගැට කප්පරකින් එකක්වත් වැඩ නොකර අනාථ වෙලා මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්න වෙලාවක මං ගත්ත කෝල් එකක්.වටේ යවන්නෙ නැතුව කොල් සෙන්ටර් එකේ ලමෙක් උත්තර දුන්න.විනාඩියක් කතා කරනකොට මේකට ගත්ත මෝඩකම් කියල මට හිතුන.ප්‍රශ්නයක් අහං ඉන්න සංයමයක් ඒ අයට නෑ.උන් බලන්නෙම ලගම තියෙන ඉස්පිරිතාලෙ මානසික සෞඛ්‍ය ඒකකයට අපිව යවන්න.හවස පහට ලං වෙච්චි නිසා ගෙදර යන්න හදිසියෙන් හිටියද දන්නෙ නෑ. මං හිතුවෙ ලණුවකුත් අතේ තියං බෙල්ලෙ වැල දාගන්න ලෑස්ති වෙන කෙනෙක් නිකමට හරි මේකට කෝල් එකක් ගත්තොත් කියල.

මේ ලෝකෙ තවත් ඉදල වැඩක් නෑ කියල ඌ මැරෙනව සත්තයි!

ලංකාවෙ අපි මේ දේවල් ගැන හිතන්නෙ අඩුවෙන්.ඇත්තටම ප්‍රශ්නයක ඉන්න මනුස්සෙක්ගෙ හිත නිවිල අලුත් බලාපොරොත්තුවක් එන විදියට ඒ මිනිහ එක්ක කතා කරන්න බැරි නම් පඩි ගෙවල මේ ඉලව් නඩත්තු කරන එකෙන් තේරුමක් නෑ.

ප්‍රශ්නයක් වෙලාවට මං ගුලිවෙන්නෙ මගේ ලගම ඉන්න පිරිස ලග.ලෝකයක් හරහට ඉදිදි උනත් ඒ පිරිස මං වෙනුවෙන් මොනවම හරි දෙයක් කරයි කියල හිත ඇතුලෙ පුංචි බලාපොරොත්තුවක් තියෙනවනෙ.අන්තිමට ඒ පුංචි බලාපොරොත්තුව ගැන විශ්වාස තියාගෙන ඒ පිරිස ලගට යන්නෙ.නොරුස්සන ගතියට හෝ උදව්වක් කරන්නම බැරි ස්වරයකින්  දුරකතනයෙන් කතා කරල මනිස්සුන්ගෙ මානසික ගැටලු වලට සහනයක් වෙන්න හිතනව නම් ඒක මුලාවක්.