Monday, June 29, 2020

සැබෑ සංහිඳියාව

ලංකාවෙ අපි දශක ගානක් තිස්සෙ ඉදන් ම එක එකාට රැවටෙනවා.රජ කාලෙ ඉදන් ම ඒ තත්වය තියෙන්න ඇති.දැන් සමහර වෙලාවට රැවටිලා කියල තේරුනත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.රැවටීමට විරුද්දව කතා කරල කොහෙන් හරි යන ලෙඩකට මාට්ටු වෙනවට වඩා සද්ද නැතුව ඉන්න එක හොඳයි කියල හිතෙනවා ඇති.
අපේ රටේ වාර්ගික සමගිය කියන්නෙත් රැවටිල්ලක්.කොටින්ම ජාතික කොඩියෙන් පවා අපිව රවට්ටනවා.
ඔබත් මමත් මේ රටෙන් එලියට ගිය දවසට අපිව අදුන ගන්නෙ සිංහල එකෙක් මුස්ලිම් එකෙක් හෝ දෙමලෙක් විදියට නෙවෙයි.ලංකාවෙ එකෙක් විදියට.ශ්‍රී  ලාංකිකයෙක් හැටියට.ඉතිං අපි අපේ  ශ්‍රී ලාංකික  ජාතිය නියෝජනය කරන්න තියෙන කොඩියෙන් එක එකාගෙ ජාතිය පෙන්නුම් කරල වැඩක් තියෙනවද?අපිව  එකතු කරනව කියල හැම එකාම කරල තියෙන්නෙ බෙදල වෙන් කරන එකමයි.ලෝකෙ කොයි රටකවත් ජාතික කොඩියෙන් ඒ රටේ ඉන්න ජනවර්ග නියෝජනය කරනවද කියල කල්පනා කරල බලන්න.රට ගැන කියවෙන වීඩියෝවක එක එක ජාතිය නියෝජනය කරන ඇදුම් අන්දල ළමයින් පෙන්නන්න ඕනද... නෑ.එකතු කරනව කියල පෙන්න පෙන්න හැමදාම කරල තියෙන්නෙ අපිව බෙදා වෙන් කරපු එක.
ඉතිං අපි රැවටිලා ඉමු... හැබැයි මේ සොමිය තව පුංචි කාලයයි.ඊට පස්සෙ සිද්ද වෙන ඒව නෑසූ  කන්ව ඉන්න අමාරු වෙයි.

Friday, June 19, 2020

දඩ මීමා

ආයෙමත් හාමුදුරුවරු කීප නමක් ජනාධිපතිතුමාට ලංවෙලා රට පාලනය කරන්න උපදෙස් දෙන්න පටන් අරන්.බහුතරයක් බෞද්ධ මිනිස්සු ජීවත් වෙන රටක රාජ්‍ය නායකයාට උපදෙස් දෙනවා කියන්නෙ අරුමයක් නෙවෙයි.නමුත් ලංකාව වගේ රටක මේ උපදෙස් දෙන උන්දැල තවත් ආගම් අදහන උදවිය මේකෙ ජීවත් වෙනව කියල කල්පනා කරයිද කියල සැකයි.මංගල සමරවීර කිවුවා වගේ සංඝ කල්ලි ලංකාවේ ක්‍රියාත්මයි.ඒ අය මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරගන්න උදව් කරනවා වෙනුවට විකාර රූපී තොරොම්බල් වැඩ කරන්නට උනන්දු කරවනවා.ඉතිං රටේ ප්‍රධානියට අර කිවුව කල්ලියෙ කෙනෙකුත් උපදෙස් දුන්නොත් කොහොමට හිටීද?

ගෝඨාභය ජනාධිපතිතුමා සිංහල බෞද්ධ සංකල්පයට ගොඩාක් සමීප නිසා ම ඉරිදා දිනයේ අමතර පංති තහනම් කිරීමේ අදහසක් ඉදිරියට ඇවිත්.මේ කිසිම අදහසක් සතියේ දවස් පහක් පාසලටත් ඉතිරි සෙනසුරාදා අමතර පංති වලටත්  හෙම්බත් උන දරුවන්ගේ මානසික තත්වය ගැන හිතල කරන යෝජනා නෙවෙයි.තමන්ගෙ ආගම උගන්නන්න විදියක් නැතිවෙයි කියන බයට කරන යෝජනා.

ඉගෙනුම් වැඩ වලින් මනස නිදහස් කරන්න උවමනාවෙන් , දරුවන්ට විවේකී දවසක් දෙන අදහසින් කරන දෙයක් නම් මගේ සහයත් කොන්දේසි විරහිතව දෙනවා.එහෙම නැත්නම් අමතර පංති තහනම් කර ලැබෙන කාලය සදහා  දහම් පාසල් වලට  ගාල් කරනවා නම් ඒකෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ. 

අපේ දරුවන්ගෙ ආකල්ප වර්ධනය  විය යුතුයි.ඒකට තර්කයක් නෑ.හැබැයි ඒ අවශ්‍යතාව ඉදිරියට දාලා පාසල් ජීවිතය හමාර වෙනකන්ම කිසිම විවේකයක් නැතුව ඉගැන්වීමෙන් කායික ශක්තිය කෙසේ වෙතත් මානසික ශක්තිය අවම පුද්ගලයින්  රැකියා පෝලිමට එකතු වෙයි.තනියම හිතල යම් දෙයක් කිරීමේ හැකියාව අතින් මේ අය හරි දුප්පත් .

 පාසල්  විශය නිර්දේශයේ ඉදන් ම දැවැන්ත ප්‍රතිසංස්කරණ ගෙනාවොත්  මිස මේ අර්බුදයෙන් ගොඩ ඒමක් නෑ.එක ආගමක් දර්ශනයක් ගැන දරුවන්ට අද්‍යාපනය ලබා දෙනවා වෙනුවට ප්‍රධාන ආගම් කීපය පිලිබඳව ම සාධනීය ඉගැන්වීමක් කලොතින් සමාජයේ වපරැහින් දකින බොහෝ කාරණා සාමාන්‍ය විදියට දකින්න පුරුදු වෙයි.අපි ගොඩ නගන්න ඕනි එහෙම රටක්.

Wednesday, June 10, 2020

කේන්දරේ

හවස ටවුමට ගිහින් ආ වෙලේ ඉදන් නිමාලි හිටියේ මොකක්දෝ බරක් හිස තියාගෙනය.නිවාඩු දවසේ සිදු කරගත යුතු වැඩ කන්දරාව නිසා මට ඒ ගැන විමසන්නට වේලාවක් තිබුණේ නැත.කෙසේ වෙතත් අම්මා ලෙඩින් ඉන්නා නිසාත් රැකියාවේ ගැටලු නිසාත් ඇය ට නිවනක් තිබුණා නොවේ.රෑ උයා පිහා දරුවා සමග ඔට්ටු වෙමින් සිටි අපට කතා කරන්නට ලැබුණේ නිදන්නට යන්නට විනාඩි කීපයකට කලියෙනි.

මොකද හලෝ අවුලෙන් වගේ? අම්මගෙ බෙහෙත් වලට ආයෙත් සල්ලි මදි වෙලාද? 

නෑ..හ්...., මං මේ බයේ හිටියෙ ඒකටත් ආයෙ සල්ලි ඉල්ලයි ද කියල

එහෙනම්..... මොකක්ද අවුල?

මං ටවුමට ගිය වෙලාවෙ අපේ වෙලාවල් ටික බැලෙව්වා.. මේ අලකලංචි ටික මෙච්චරම වද දෙන්නෙ ඇයි කියල බලන්න

අහ්.. ඒකද මේ.. ඕව කිසි තේරුමක් නැති මනස්ගාත කියල ඔයා දන්නවනෙ ඉතිං...

වෙන්න ඇති.. ඒත්,

මොකක්ද ඒත් කිවුවෙ...?

ඔයාට මතකද අපේ ගෙදරින් මගෙ වෙලාව බලවල තිබ්බ.. අපි බදින්න කලින්?

ඔව්...

ඒ වෙලාවෙ කියල තිබ්බ දේවල් හරියටම හරි අසංක.. අපි දෙන්න ගැලපුනාට සීයට සීයක්ම ගැලපෙන්නෙ නෑ කියල තිබුණ.ඒ නිසාම කිසි දියුණුවක් නෑලු.හැමදාම එකම විදිය තමයි කිව්වා.


හ්ම්..... ඉතිං අපි ඔය අගේට ඉන්නෙ

මොන අගයක්ද අසංක මේ ජීවිතේ? මට නම් දැන් තිත්ත වේගෙන එන්නෙ.එහෙන් කේලම් කාරයන්ගෙන් රස්සාව පරිස්සම් කරගන්න ඕනි.කන්න බොන්න ගෙවල් කුලී වලට සල්ලි හොයන්න ඕනි... අම්මට බෙහෙත් ගන්න සල්ලි යවන්න ඕනි..පොඩ්වගෙ ඩේ කෙයාර් එකට ගෙවන්න ඕනි.. ඒ අස්සෙ දරුව ලෙඩ උනොත් ඒවට සල්ලි ඕනි....ඔලුවට නිදහසක් නෑ මගේ...

ලමයෝ.... මනුස්සෙක් උස් මහත් උනාට පස්සෙ කසාද බදින්න ඕනි... දරුවො හදනවා ගෙවල් දොරවල් හදනව... ඉතිං ඕවට වියදම් යනවා..ඒ වියදම් පියවගන්න මිනිස්සු මහන්සි වෙලා හම්බ කරනවා.. අතේ තියෙන හැටියට ජොලි කරනවා..ඔහොම තමයි

ඒත් මට ඒක දැන් ඇති අසංක.. මට මහන්සියි දැන්

නිමාලී.... අපි කසාද බැන්දෙ දෙන්නම හොදට හිතල.දෙන්නට තියෙන දේවල් ගැන හරියට දැනගෙන.අපිට මුල ඉදන් ටිකෙන් ටික හැමදේම ලගා කරගන්න ඕනි කියල අපි දැනන් හිටියානෙ...ඉතිං ඇයි අපි පසුතැවෙන්නෙ? 

මං පිලිගන්නවා.. ඒත් මට මේ ඕක්කොම දමල ගහල ඔලුව හැරිච්ච අතේ යන්න හිතෙනවා..

විකාර කියවන්න එපා ලමයො.මිනිස්සුන්ට හැමදාම වරදින්නෙ නෑ..හරියට හිතල බලල අපි අපේ දේවල් ටිකෙන් ටික හදා ගමු..  කෝ දැන් ඔය පලාපල  ලියල දුන්න කොලේ?

ම්හ්.....

මේස කෑල්ල උඩ තිබූ අත් බෑගයෙන් ගත් කොල කැබැල්ල මට දිගු කල නිමාලී දූ නිදනා කාමරයට වැදුනාය

නමෝ විත්තියෙන් පටන් ගෙන තිබූ පලාපල සටහනේ බොහෝ විස්තර සටහන් කර ඇත.යාන වාහන හිමි සැපවත් ජීවිතයක් නිමාලීට නියමිතව ඇත.නමුත් ඒ කොයි කාලයේ දැයි නිශ්චිතව කියා නැත.දරුවන් දෙදෙනෙකු හිමි බව සටහන් කර ඇතත් දූ සිගිත්තිය ලබා ගන්නට  වසර එක හමාරක් වෛද්‍ය උපදෙස් පැතූ සිද්දිය ගැන කිසිම සටහන් එහි නැත.උසස් අධ්‍යාපනය, රජයේ රැකියා හිමි බව කීවත් නිසි වයස පහුවෙනතුරු උත්සාහ කලද රජයේ රැකියාවක් ලැබුණේ නැත.විවාහය,ආර්ථික තත්වය ගැන මහා ලොකු සදහනක් එහි නැතත් විදේශගත වීමේ හැකියාව ඇති බවක් සටහන් කර ඇත..

මට අපේ අතීතය සිහි විය...
මට පෙර විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේදී නිමාලීට සැලකිය යුතු දුරක් ගිය පෙම් සබදතාවක් තිබූ බව මං දනිමි.මා හමු වූ මුල් කාලයේදීත් ඒ සම්බන්ධය තිබී අවසානයේ  සමථයකට පත් වූයේ බොහෝ සිත් රිදීම් වලට පසු නිමාලී සියදිවි නසා ගන්නටද උත්සාහ කිරීමෙන් පසුවය.. 

නමුත්,
මේ කිසි දෙයක් අර පලාපල සටහනේ ලියා නැත...

Tuesday, June 9, 2020

The great Thondaman



පොලිටිකල් කියන්නෙ ගේම් එකක්.ඔලුව නැති මී හරක් ෆ්‍රන්ට් ලයින් එක රන් කලාට ඕවයි පිටපත් හැදෙන්නෙ අදුරු ගුහා වල ඉන්න මාස්ටර් මයින්ඩ්ලගෙ අතින්.එයාල අදාල පරිසරය,අලුත් ට්‍රෙන්ඩ් එක හීනියට අධ්‍යනය කරල තමන්ගෙ වැඩේ කරනවා.නිකන් හිතන්න ඇමරිකාවෙ පොලීසිය අතින් මනුස්සෙක් මැරුණම ඒ මිනිහට සාධාරනය ඉෂ්ඨ කරන්න හෝ එහෙ ක්‍රියාත්මක වෙන වර්ගවාදයට විරුද්දව මේ වගේ තත්වයක් යටතේ ලංකාවෙ විරෝධතාවයක් කරන්න ඕනිද? ඇමරිකාවට අධෝවාතයක් තරමටවත් ඕක දැනෙයිද? 

නෑ... 
දුමින්දලට කුමාර් ගුණරත්නම්ලට ඕනි කලේ ඇමරිකාවට විරුද්ද වෙන්නද?
නෑ

විරෝධතාවයක් තියෙද්දි මුලින්ම ඇහුන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන නම කොරෝනාව නිසා ඇහෙන්නෙ නැතුව ගියා.දැන්, පාක්ෂිකයන්ට සහ රටට තමන් තවමත් ගේම් එකේ ඉන්නව කියල පෙන්නන්න නම් මාධ්‍ය වල හෙඩින් එකක් වෙන්නම ඕනි.අද එයාල ඒක කරගත්ත.

හබැයි දෛවෝපගත විදියට ඇමරිකාවෙ පොලීසියෙන් වෙච්ච අකටයුතුකම් ගැන විරුද්ධ වෙන්න ගිය අයට සිරි ලංකා කාකි කබා කාරයො දොඹෙන් යන්න දුන්න.මනුස්සෙක් අත්අඩංගුවට ගන්න ඕනි අවම සදාචාරයවත් උන්ට අමතක වෙලා.අධිකරණ නියෝග හෝ නිරෝධායන නීති කඩන අය ගැන එක එක වෙලාවට කාකි කබායට දැනෙන්නෙ එක එක විදියට.නැත්තම් රටේ මිනිස්සුන්ගෙ පොදු මුදල් හොරා කෑව කියල නඩු තියෙන,බොරු විගඩම් වල උල්පත වෙච්ච රාජිතව අත්අඩංගුවට ගත්තු එක වැරදියි කියල රාජිතගෙ ම කුලකයෙ එවුන් උද්ඝෝෂන කරද්දි එකෙක් දෙන්නෙක් බෙල්ලෙන් ඇදල ජිප් එකට දාගෙන යන්න එපැයි.

ඒ අතින් තොණ්ඩමන්ගෙ ශේෂ්ඨත්වය... කොරෝනා නැතත් මේ කාලෙ සාමාන්‍ය මිනිහෙක් මැරුණම මල ගෙදර කටයුතු ගැන උපදෙස් දෙන පීඑච්අයි මහත්තුරුන්ට තොණ්ඩා දිහා බලන්න දුන්නෙ නෑ.මීටරේ පරතරේ තියා සෙන්ටි මීටරේ පරතරේ වත් තියාගත්තු නැති වතු කම්කරුවො ඇදිරි නීතිය වෙලාවෙදිත් වැල නොකැඩි මිනිය බලන්න ආව එක කාකි කබායට දැනුනෙ නෑ.දැනුනත් මොකද, වගකිව යුත්තා වෙච්චි තොණ්ඩාට පණ නෑ!

Sunday, June 7, 2020

පරාදයි කොල්ලෝ




මුලින් කියන්න ඕනි මං නාට්‍ය හෝ ඒ සම්බන්ධ විශයක් හදාරල නැති සාමාන්‍ය මනුස්සෙක් වග.තණමල්විලයා මං දකින්නෙ සාමාන්‍ය රසිකයෙක් විදියට.මේ කතාව ගොඩක් ජනප්‍රිය වෙන්න මේ කොරෝනා වසංගතයත් හේතුවක්.කසිකබල් ඉංදියන් පඩංගුයි මුණියගෙ ඉණිමයි නතර උනාට පස්සෙ ප්‍රේක්ෂකාගාරය තණමල්විලයාට හැරුණ.සාමාන්‍යයෙන් මේ වගේ ටෙලියක් බලන අයයි නැති අයයි ඔක්කොම.අනික ගමක කතාවක් පෙන්නද්දි ඒක බලන්න හිතෙන් පොෂ් වෙන්න හීන දකින අපි කොහොමත් ආසයි.
මට හිතෙන හැටියට නලුවෙක් විදියට ලෝකයක් වටින රොෂාන් රවීන්ද්‍රගෙ පලවෙනි අධ්‍යක්ෂණය අසාර්ථකයි.පලවෙනි කාරණාව තමයි කාල පරාසය නිවැරදිව නිරූපණය  වෙන්නෙ නැති එක.හදුන්වා දීමේ වැඩසටහනේදි කියපු හැටියට මේ කතාවට පාදක වෙන්නෙ 1995-2006 කාල පරාසය.ඒ කාලෙ ජංගම දුරකතනයක් කියන්නෙ කොයි තරම් සුඛෝපභෝගී භාන්ඩයක්ද කියල දන්නෝ දනිති.අමතන්නා හදුනා ගැනීමේ සීඑල්අයි පහසුකම නොමිලේ ලැබුණෙ 2005 දි.හැබැයි ටෙලියෙ හැටියට දවසෙ ගතමන්ට් එකට ඔට්ටුවෙන ගැටවරයො අතේ ටෙලිෆෝන් තියෙනවා.සහ ඇමතුම දකිද්දි අමතන්නා කවුද කියල අදුනගන්නවා.ලැබෙන ඇමතුමටත් ගාස්තු අය වෙච්චි ඒ කාලෙ ගැටවරයො දුරකතන පාවිච්චි කරන විදිය දැක්කම 2000න් පස්සෙ ඉපදුන අයට නම් පට්ට ඇති.මට නෑ!
දෙවැන්න, තණමල්විල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කරයි.පසු කාලෙක පාරවල් කාපට් නොවුන නම් දැන් තියෙන පහසුකම් වත් ඒ පැත්තට ලගා වෙන්න තව කාලයක් ගත වෙනවා.ගම් වල හැදෙන මිනිස්සු රස්සාවක් හොයන් කොළඹ යන්නෙ පුදුම මානසික කැළඹීමකින්.ඒ දක්වාම හැදුන වැඩුන පරිසරය, පණට පණ වගේ හිටපු යාලු මිත්‍රයො දාල නොදන්නා රටකට (ඇත්තටම විභාග ඉවර කරල නොයෙක් වැඩ වලට කොළඹ ගිය මුල් කාලෙ ගමේ හිටපු මටත් ඒක වෙන රටක් වගේ) යද්දි දැනෙන හැගීම කොලුවාගේ මූණෙන් පෙන්නන්න අධ්‍යක්ෂකතුමා ට බැරිවෙනව.කාලෙකට කලින් රස්සාව වෙනුවෙන් කොළඹ යන්න ඒ වෙනකන් ගෙවපු ජීවිතේට තිත තියල ඇදුම් බෑග් උස්සගෙන බස් එකට නැග්ග මට ඒ හැගීම ගැන තදට දැනෙනව.

ඊලගට, ගම්වල සාමාන්‍ය විදියට හැදෙන අපි රබර් සෙරෙප්පු ගේ ඇතුලට දාන්නෙ නෑ.එලියට යද්දි සෙරෙප්පු දෙකක් දාන්න පුරුදු උනෙත් ඉස්කෝලෙ 9 10 පංති වල ඉද්දි.මොක කලත් ගෙට යද්දි සෙරෙප්පු හෝ සපත්තු දානෙ යන එක ලොකු වරදක් වගේ හැගීමක් අපට තියෙනව.යමක් කමක් තියෙන යාලුවෙක්ගෙ ගෙදරකට ඒ දවස් වල ගොඩ උනත් සපත්තු දෙක ගලවල ගියෙ  ඒකයි.හැබැයි කොලුවා කොළඹ ආවම ගමේ කොල්ලෙක්ගෙ තියෙන්න ඕන ඒ වගේ අහිංසක ගමේ කම පෙන්නන්න බැරි වෙලා.කොටින්ම ගමේ ඉදන් උපාධි ගැහුවත් කොළඹ සමාජෙට මුහුවෙද්දි තියෙන්න ඕනි කුලෑටි ගතිය, ආත්ම අනුකම්පාව වගේ කාරණා ඉස්මතු වෙන විදියට රගපෑම පෙන්නන්න කොලුවාත් බොසාත් අසමත්.
ඒ හන්ද මට නම්, 
පලවෙනි එක පරාදයි කොල්ලෝ.