Sunday, January 26, 2020

කැරකොප්පුවෙීදීය..



දූ සිගිත්තිය පෙර පාසලට ඇතුලත් කරන මුල් දිනය ඒ තරම්ම සුභ දිනයක් වූයේ නැත.උදයේම ඇහැරගෙන සුරංගී හැදූ කිරිබතේ රස්නය නිවෙන්නටත් මත්තෙන් ගෙපැලට දුවගෙන ආ රත්නෙ අයියා ගෙනත් තිබුනේ ඇග හිරිවට්ටන ආරංචියකි.ඒ නිසා දූගේ පෙර පාසල් ගමන පැත්තකට දමා රෝගාතුරව සිටි මැණිකෙ අක්කා  අසාධ්‍යව රෝහලට ගෙන යාමට ත්‍රී රෝද රථයක් සොයන්නට මහතුං මාමාගේ වෙලදසැල වෙත දුවන්නට මට සිද්ද විය.

මෙලෝ හව් හරණක් නැතිව රැදෙන්නට තැනක් සොයමින් ඇවිද යන කාලයක කාශ්ඨක තණමල්විලෙන් කිලෝ මීටර විසි තිස් ගණනක් ඇතුලකට වන්නට පුංචි බිම් කඩක් සොයාගන්නට මග පෙන්වූයේ මැණකෙ අක්කාත් රත්නෙ අයියාත් ය.කැලේ ගස් දඩු කපන්නට ගිය වෙලේත්,ගෙපැල අටවාගන්නට මැටි කැපූ දිනයේත් ඒ දෙන්නා හරි හරියට උදව් පහදව් කලා පමණක් නොව බඩ දරු සුරංගී නොතෙමන්නට යැයි කියමින් ටකරං තහඩු කීපයකුත් පරිත්‍යාග කරන්නට තරම් අපට ලෙංගතු විය.

මව් පියන්, නෑ හිතවතුන් සියල්ලගෙන්ම දුරස්ව එන සෑම ප්‍රශ්නයකට ම මුහුණ දෙමින් සිටි සුරංගී දූ සිගිත්තිය බිහිකරන්නට  විලි රුදාවෙන් ගෙපැල දෙවනත් කරද්දී ලග සිටි යෙහෙලියත්,මවත් මැණිකෙ අක්කා විය.දරුවා බිහි කල දා පටන් තන බුරුල්ලේ කිරි වඩන ආහාර සැපයීමට ත් දරුවන් ගේ කටයුතු සොයා බලා උපදෙස් දෙන්නටත් අපට සිටි එකම නෑයාත් හිතවතාත් රත්නෙ අයියාගේ කුඩුම්බයයි.

රත්නෙ අයියා මට මුණ ගැසෙන්නේ කුලියට ඉල්ලා ගත් ලොරි බාගයක එලවලු එකතු කරන්නට බලහරුවට ආ වාරයකදීය.අපේ ඇයි හොදයියට රුකුල් වැදුනේ සරුසාරව වැවී තිබූ එළවලු කොරටුවටම සොයා ගොස් මිලදී ගත් එලවලු තොගයට ගෙවන්නට සුලු මුදලක් මදි වූ තැන මගේ තොරතුරු අසා නැවත පැමිණි දිනයක පියවන පොරොන්දුව මත එළවලු තොගය ගෙන යන්නට ඉඩ දුන් දිනයේදීය. ආශ්‍රය කරමින් සිටි බහුතරයකගෙන් වසං වී සිටි මට රත්නෙ අයියා අලුත් හිතවතෙක් විය.වෙලදාමේ ගිය මාස ගණන ඔහුත් මමත් හොද මිතුරන් කරන්නට තරම් ප්‍රමාණවත් වී තිබිණි.

බැංකු කරුවන්, පොලී කරුවන්, අතමාරු ඉල්ලා ගත් මිතුරන් සියලු දෙනා තමන්ගේ මුදල් හොදින් ඉල්ලා සිටින කාලය අවසන්ව බණින්නටත් ගහන්නටත් පටන් ගත් විට තව දුරටත් ජීවත් වීමෙන් ඵලක් නැති බව මට නොසිතුනා නොවේ.දරා ගන්නට අපහසුම තත්වය වූයේ ඒ අය පැමිණ සුරංගීටත් අම්මාටත් තාත්තාටත් බැණ අඩගසන්නට වූ විටය.ඒ අය මේ කිසිවකට සම්බන්ධයක් නැති උවත්  මුදල් සොයන්නට දිවා රෑ වෙහෙසුනු මං නිවසේ නැති තැන සොයා ආ අයවලුන්ට මුහුණ දෙන්නට වූයේ ඔවුන්ටය.කවුරුන් හෝ පැමිණ කෑ ගසා ගිය දිනට කිසිවෙකුත් කතා නැත.මුල් දිනවල අපහාස දරාගන්නට බැරිව රහසින් ඇඩූ සුරංගීට කාලත් සමග ඒ සියල්ල කම්මලේ ඉන්නා සුනඛයන්ගේ තත්වයට පත් විය.

ගෙවීමට ඇති සියල්ලටම උපයන මුදල කොටස් කර ගෙවා දැමූ පසු හාල් සේරුවක් ගෙදරට ගෙනියන්නට අත ඉතුරුවක් නැති වූ දවස් ඉහේ කෙස් ගානට විය.අම්මාටත් තාත්තාටත් අප වෙනුවෙන් තව නැහෙන්නට වීරියක් ඉතිරිව නොතිබුණත් මගේත් සුරංගීගේත් කුස පුරවන වගකීම ඒ අය මගහැරියේ නැත.නමුත් ඒ සියල්ලට විරාමයක් තබා අලුතින් පටන් ගන්නට මට උවනාවක් විය.සියල්ලන්ගෙන් ම වසංව උපයන කීයක් වුවද අවැසි විට මට උපකාර කල අයට ගෙවා දමා හිතේ බරින් නිදහස් වන්නට මගේ ඒකායන බලාපොරොත්තුව විය.

පොල් අතු මැදින් බේරී වැටුනු වැහි බිංදු වරිච්චි බිත්ති දිය කරද්දීත්,ඉර කාස්ටකය කොරටුව පරඩැල් කරද්දීත් අප කලේ මුදල් එකතු කිරීමය.ඉඩෝරයට ඉරි තලා ගිය පොළව සමග ඔට්ටු වී නැගුනු කරගැට රෑ පුරා රිදුම් දෙද්දී නැගුනු වේදනාවට, ආත්ම අනුකම්පාවට හිතේ තිබූ දහිරිය බොද කරන්නට හැකි වූයේ නැත.හිමිදිරියේ සිට ගොම්මන දක්වා කොරටුවේ රාජකාරි සමග කාර්‍යබහුල වීම මට සාමාන්‍ය දෙයක් විය.ගෙපැල වටා එළවලු පැල ඉන්දවමින් තමන්ට හැකි උපරිමයෙන් සුරංගී මගේ උත්සාහයට රුකුල් දුන්නාය.

ගොවිතැනට ජලය හිග කම මට මෙන්ම ගමේ හිටි බොහෝ අයට තදින්ම දැනෙන වකවානු හැම වසරකම එන්නේය.ගිනියම් හිරු රැසින් වේලී යන ඇල නැවත පණ ගසන්නේ මාස කීපයක් ගිය විටය.ඒ කාලයට වගාවට ඇවැසි ජලය සපයා ගන්නට මෝටරයක් නැති නිසාවෙන් පරඩැල් වන්නට ගිය එලවලු පැල ටික බේරා දෙන්නට හැම විටම දිව එන්නේ පිහිටට ඉන්නා රත්නෙ අයියාය.අක්කා රස කැවිල්ලකුත් රැගෙන විත් සුරංගීත් දූ පැටියාත් බලා යන්නීය.

හුස්ම යන මොහොතේදීවත් හිතේ නිදහසෙන් දෑස පියාගන්නට නම් පුලුවන් වයසේදී උපරිමයෙන් මුදල් රැස් කර වගකීම් වලින් නිදහස් විය යුතු යැයි මා දිරිමත් කල මැණිකෙ අක්කා රෝහලට ගෙන ගොස් ගතවූ දෙවැනි දිනයේ දී දෑස පියා ගත්තාය.මරණ ගෙදර කටයුතු සියල්ල අවසන්ව මැණිකෙ අක්කා ගේ නිසල දේහය වැව් තාවුල්ලේ භූමිදානය කලේ ඉර අවරට යන්නට හෝරා කීපයක් තිබියදීය.

දශක ගණනාවක් තමන් පිටු පස සිටි දිරිය ගැහැනිය වැව් තාවුල්ලක තනිකර දමා යන්නට රත්නෙ අයියාට අදහසක් නැති ගානය.දියණියන් දෙදෙනෙකුත් උන්ට බාලව වැඩුනු පුතුත් උස්මහත් කර දෙපයින් සිටුවා ලන්නට මැණිකෙ අක්කා වීරිය දුන්නේ උගත්කමට නොව අසා දැනගත් රට තොට තොරතුරු ගැන සිතූ නිසාය.

ගොම්මන වැටීගෙන එද්දීත් මමත් රත්නෙ අයියාත් මැණකෙ අක්කා නිසොල්මන්ව නිදනා ඉසව්වට වී සිටියෙමු.අතලොස්සක්ව උන් මගේ යැයි කිව හැකි පිරිසෙයින් තවත් කෙනෙකු නොඑන ගමන් ගොස් ඇත.ආයෙම මගේ වෘත්තයේ අරය අඩු වී ඇත.ජීවිතය කිසි දිනෙක කාරුණික නැත.ආත්ම ගණනක් එකතු කල පව් කන්දරාව මේ ආත්මයේදී හෝ අවසන් විය යුතුය.

Monday, January 6, 2020

ස්තූතියි 1926

1926 ඒ කියන්නෙ ලංකාවෙ මනුස්සෙක්ට මානසික ප්‍රශ්නයක් ඇති උනාම කතා කරන්න තියෙන දුරකතන අංකය.ගාස්තු රහිතයි.අවුරුද්දකට වතාවක් කුමාර සංගක්කාර ඇතුලු බොහෝ දෙනෙක් මේ අංකය හා සේවාව ගැන  මහජනතාව දැනුවත් කරන්න ලොකු වෙහෙසක් දරනව.මට මේ ගැන අත්දැකීමක් තිබ්බෙ නෑ.කවදා හෝ බලපු ඉංග්‍රීසි චිත්‍රපටියක මේ වගේ සේවාවක් ක්‍රියාත්මක වෙන හැටි දැකල මං හිතුවෙ ලංකාවෙත් එහෙම ඇති කියල.
අද  ඒ කියන්නෙ 2020 ජනවාරි 6, ගහපු ගැට කප්පරකින් එකක්වත් වැඩ නොකර අනාථ වෙලා මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්න වෙලාවක මං ගත්ත කෝල් එකක්.වටේ යවන්නෙ නැතුව කොල් සෙන්ටර් එකේ ලමෙක් උත්තර දුන්න.විනාඩියක් කතා කරනකොට මේකට ගත්ත මෝඩකම් කියල මට හිතුන.ප්‍රශ්නයක් අහං ඉන්න සංයමයක් ඒ අයට නෑ.උන් බලන්නෙම ලගම තියෙන ඉස්පිරිතාලෙ මානසික සෞඛ්‍ය ඒකකයට අපිව යවන්න.හවස පහට ලං වෙච්චි නිසා ගෙදර යන්න හදිසියෙන් හිටියද දන්නෙ නෑ. මං හිතුවෙ ලණුවකුත් අතේ තියං බෙල්ලෙ වැල දාගන්න ලෑස්ති වෙන කෙනෙක් නිකමට හරි මේකට කෝල් එකක් ගත්තොත් කියල.

මේ ලෝකෙ තවත් ඉදල වැඩක් නෑ කියල ඌ මැරෙනව සත්තයි!

ලංකාවෙ අපි මේ දේවල් ගැන හිතන්නෙ අඩුවෙන්.ඇත්තටම ප්‍රශ්නයක ඉන්න මනුස්සෙක්ගෙ හිත නිවිල අලුත් බලාපොරොත්තුවක් එන විදියට ඒ මිනිහ එක්ක කතා කරන්න බැරි නම් පඩි ගෙවල මේ ඉලව් නඩත්තු කරන එකෙන් තේරුමක් නෑ.

ප්‍රශ්නයක් වෙලාවට මං ගුලිවෙන්නෙ මගේ ලගම ඉන්න පිරිස ලග.ලෝකයක් හරහට ඉදිදි උනත් ඒ පිරිස මං වෙනුවෙන් මොනවම හරි දෙයක් කරයි කියල හිත ඇතුලෙ පුංචි බලාපොරොත්තුවක් තියෙනවනෙ.අන්තිමට ඒ පුංචි බලාපොරොත්තුව ගැන විශ්වාස තියාගෙන ඒ පිරිස ලගට යන්නෙ.නොරුස්සන ගතියට හෝ උදව්වක් කරන්නම බැරි ස්වරයකින්  දුරකතනයෙන් කතා කරල මනිස්සුන්ගෙ මානසික ගැටලු වලට සහනයක් වෙන්න හිතනව නම් ඒක මුලාවක්.