Tuesday, November 28, 2017

ආඩම්බරේ........... ඕක රෝල් කරල අරන් ගහගනින් #කේ

දැන් ඉතිං පොඩියට බිස්නස් එකක් කර ගහන් හිටියට මමත් කලින් කඩයක් කඩයක් ගානෙ ගිය රෙප් කෙනෙක්නෙ.ඔය රෙපින් ජොබේ හොදම තත්වෙ උනේ  ලංකාවෙ සුප්‍රසිද්ද දුරකතන ජාලෙක ඉන්ටර්නෙට් සම්බන්ධව ලැබුණ රස්සාව.ඒ රස්සාව ලැබිල බලංගොඩ ශාඛාවට මං යද්දි එතන හිටි කිසි එකෙක් ට මගේ තරම් දැනුමක් තිබුණෙ  නෑ.මටත් තිබ්බෙ ඉගෙන ගත්ත දැනුමට වඩා එහෙන් මෙහෙන් අල්ල ගත්ත දැනුමක්. ඒ උනාට ඒක ගානට පෙලගස්ස ගන්න මං දැනන් හිටිය.ඉතිං මගේ ආගමනය අර ඔපීසියෙ එවුන්ට ලොකූ දෙයක් උනා.අපි ඉතිං හොදින් වැඩ කරන් ගියා.
ඔය ඔපීසියෙ මැනේජර් වෙලා හිටිය ගෑනු ලමය ඒ ඔපීසියෙ ම කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණ බව අපි හැමෝම දැනන් හිටිය.අපි කාටවත් ඒක රහසක් උනේ නෑ.ඉහල නිලධාරීන්ටවත්.මේ අතරෙ  ඒ යාලුව ලොකු මුදල් වංචාවකට අහුවෙන්න ගියා.හරියටම පැයක් ඇතුලත රුපියල් ලක්ෂයකට ආසන්න ගානක් දාල වංචාවක් වෙලා නෑ කියල පෙන්නුවෙ නැත්නම් අර යාලුවත් එයාට උදව් කරපු නිසා මැනේජර්ටත් ගෙදර යන්න වෙන දවසක් ආව.දැන් මැනේජර් තමන්ගෙ කණකර උකස් කරල ඉතිරි මුදල් හොයන්න දහ අතේ කෝල් කරන වෙලාව.මමත් ඔපීසියෙ.යාලුවට ඔය වැඩ කරන්න එපා කියල කොච්චර කිවුවත් ඌ ඒව ගණනකටවත් අරන් හිටපු මිනිහෙක් නෙවෙයි.කිවුවා නාහන ගුරුට ඕනි දෙයක් වෙච්චදෙන් කියල ඉන්න පුලුවන්කම තිබ්බත් බොහොම අසරණ වෙලා මැනේජර් සල්ලි ඉල්ලද්දි ඒකට පිටුපාන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ.මාසෙ ඉතුරු දවස් ටිකේ බයික් එකට පැට්‍රල් ගහන්න ඉතුරු කරන් හිටි සල්ලි තිබුණ බැංකු කාඩ් එකයි පින් නම්බර් එකයි දීල මං මගේ වැඩට ගියේ මට ඒ වෙලාවෙ කරන්න පුලුවන්කම තිබ්බ ලොකුම දේ ඒක නිසා.එකවුන්ට් එකේ ලොකූ ගානක් නොතිබ්බත් ඒ මං හම්බකරපු සල්ලි!
         පස්සෙ දවසක අනිත් අයගෙ සල්ලි ආපහු දෙද්දි මගේ සල්ලි එයාලට අමතක උනා.මං ඉතිං ඒ ගැන වැඩිය හිතන්න ගියෙ නෑ.කොහොමින් හරි පස්සෙ කාලෙක ඒ රස්සාවෙන් මං ඉල්ලා අස් උනා.ඔය කියපු මැනේජර් එයාගෙ සම්බන්දෙත් ඉවර කරන් රස්සාවෙන් අයින් උනා.අපේ සම්බන්ධයක් එතනින්නම අහවරයි.


ඔන්න ඉතිං රස්සාවෙන් අයින් වෙලා අවුරුදු 6කට විතර පස්සෙ මට සිද්ද වෙනව රත්නපුරේ තියෙන එක්තරා ලීසිං කොම්පැණියකට යන්න ලියවිල්ලක් අත්සන් කරන්න.ඒ ලීසිං කොම්පැණියෙ පිලිගැනීමේ නිලධාරිණිය තමයි අර මුලින් කිවුව මැනේජර්.කවුන්ටරේ ඉන්න  ගෑනු ලමයත් අපි  එක්ක වැඩකරපු කෙනෙක්.මගේ ගනු දෙනුව තිබ්බෙ බොරැල්ලෙ ශාඛාව එක්ක නිසා රත්නපුරේ ශාඛාවෙ මැනේජර් තමයි මුණ ගැහෙන්න උනේ.කන්ටැක්ට් එකක් පිට එතනට ගිය නිසා බොරැල්ලෙන් උපදෙස් අරන් කියපු දෙයක් කරනව ඇරෙන්න රත්නපුරේ අයට අලුතින්   කරන්න දෙයක් තිබ්බෙ නෑ.වැඩ ටික කරන් යද්දි මුදල් බදින්න කවුන්ටරේට ගිය මට කවුන්ටරේ හිටි එකී සැලකුවෙ සාමාන්‍ය ගනු දෙනු කාරෙක්ටත් අන්ත විදියට.අවුරුදු ගානකට කලින් එකම ඔෆිස් එකේ වැඩ කරද්දි තේ එකක් බිවුව නම් හොදයි කිවුවම තේ එකක් හදල දුන්නු එකී!
            ඒ වෙනස යකාට ගියදෙන් කියල ඉද්දි ගිණුමක් පටන් ගන්න අර කියපු පිලිගැනීමේ නිලධාරිනිය ගාවටත් යන්න සිද්ද වෙනව.එයා මං ගැන මෙලෝ දෙයක් නොදන්න පාට් එකෙන් විස්තර අහගෙන ලියාගත්ත.මට කලින් කියල තිබුණෙ ඔය කියන ගිණුමට රුපියල් 500ක් දැම්මම ඇති කියල.මේකි කියාපි 1000ක් ඕනිලු.මුන්ගෙ අමුතු සීන් එක නිසා එපා වෙලා තිබ්බ ඔරොප්පුවට එතන ඉදන්ම මැනේජර්ට කතා කරන්න මට ගටක් ආව.ඌ කියන්නෙම 1000ක් ඕනි කියල.500ට ගහගන්න කියලයැ.මං ඒක දීල ඉතුරු විස්තර ටිකත් අහගත්තම නෝන්ඩියට අර කෙල්ල කියාපි 
                               " අපිට එකවුන්ට් එකක් ඕපන් කරන්න 1000ක් දාන්නම වෙනව.වාරික ගෙවන්න ආවම 500ක් ආපහු ගන්න " කියල
ඒ වගේ හැතිරියන්ට නෝන්ඩි වෙන්න පුලුවන්යැ,
"නැති බැරි කාලෙ පෙට්‍රල් ගහගන්න ඉතුරු කරන් හිටි සල්ලි දන් දීපු මට රුපියල් 500 නෑ කියල හිගා කන්න වෙන්නෙ නෑ  "   කියල ඇස් දෙක දිහා බලන් ම කියල දැම්ම
මං හිතන්නෙ අරකිගෙ යට කලිසම තෙත් වෙන්න ඇති.ජීවිතේට එකට වැඩ කරපු, එකම බත් පත කාපු අපි මොන තත්ව වල හිටියත් මට නම් තවම එහෙම්මම තමයි.

ඔය කලුවට කැතට උසට ඉන්නෙ මං..අනිත් අය ඕනි නෑ :)

Monday, November 20, 2017

ඔන්න බලපියව් මහනායක පට්ටන්දර ටික රත් වෙන හැටි!

පංසලේ හාමුදුරුවො ගමේ වැඩිහිටි කීපදෙනෙක් එක්ක ගෙදරට වැඩිය.වෙලාව රෑ හතත් පහු වෙලා.අපි ඒත් කල්පනා කලේ අවුරුද්දකට සැරයක් පංසලට පූජ කරන වතා දානෙ දවසවත් අමතක වෙලාද කියල.අවුරුදු ගානකින් හාමුදුරු නමක් ගෙදරට වැඩල නැති නිසා පුටුවට එලන්න තියං හිටිය පිරුවටය අල්මාරියෙ අඩියටම ගිහින්.අත දාල ඒක ගොඩට ගනිද්දි විනාඩි දෙක තුනක් හිටගෙනම හාමුදුරුවො කාරණාව කියන්න පටන් අරන්.ඔලුවත් කසල දෙකට තුනට නැමිල සමාව ඉල්ලන මූඩ් එකෙන් මං පිරුවටය පුටුවල එළල හාමුදුරුවන්ට ඉද ගන්න ඉඩ හැදුව.උන්නානසෙ කියන්නෙ ඊලග පෝයට ගෙදර හැමෝම පංසල් එන්න කියල.මොකක්දෝ විශේෂ වැඩක් කෙරෙනවලු.හාමුදුරුවො ඒ කතාව කියද්දි මට කල්පනා උනේ පෝය නිවාඩුවට යාලුවො එක්ක දාගත්තු ට්‍රිප් එක.ෂැහ්!
         ගෙදරට ගොඩවෙච්ච වෙද මාම අම්මගෙන් පවුලේ විස්තර අහන් කොලයක් පුරව ගන්න අතරෙ හාමුදුරුවො මගෙන් විස්තර ඇහුව.බිස්නස්, රටේ තත්වෙ ගැන උන්නාන්සෙට මාර දැනුමක්නෙ තියෙන්නෙ.දැක්කම නම් බුදු බණෙන් එහා දෙයක් දැකල නෑ වගේ.හාමුදුරුවො පහු ගිය දවස් ටිකේම දවසට ගෙවල් දහය ගානෙ වැඩල ගමේ අයව පංසලට ගෙන්න ගන්න වැඩේ මහන්සි වෙලා කරගෙන යන ගමන්.මිනිස්සු රස්සා වලට ගියාම දවල් කාලෙ මුණගැහෙන්න අමාරු නිසා රෑ කාලෙ ගෙවල් වලට වැඩල තියෙන්නෙ.

            පෝය දවසෙ හාමුදුරුවො කියපු වෙලාවට පංසලට යද්දි ගමේ ගොඩක් අය තම තමන්ගෙ පවුල් වල අයත් එක්ක ඇවිත් හිටිය.අවුරුදු ගානකින් මුණ ගැහිච්ච සමහරු නිසා පංසලේ සද්දෙත් වැඩියි ටිකක්.බණ ශාලාව ලොකු කරල හදන්න යනව කියපු කාලෙ අපි හැමෝම හාමුදුරුවන්ට දොස් කිව්වෙ පෝය දවසට සිල් ගන්න එන විස්සක් තිහක් දාන්න මේ තරම් ලොකු බණ ශාලාවක් මොකටද කියල.ඒත් ගමේ අය එක වෙලාවට පංසලට ආවම අපේ කුණු කතා අහන් ලොකුවට හදල තිබ්බ ශාලාවත් ඉඩ මදි උනා.වැඩිහිටි පිරිස බණ ශාලාවට ඇතුල් කරල තරුණ අය එළි පහලියෙ තියෙන ගස් හෙවනෙන් වාඩි වෙලා බලන් හිටියෙ හාමුදුරුවො කරන්න යන විශේෂ වැඩේ මොකක්ද කියල.කිසි හදිසියක් නැතුව ඇවිත් හිටිය අයව පංච ශීලයෙ පිහිටවල දහම් පාසලේ ලමයි ටිකත් එකතු කරන් බෝධි පූජාවකුත් තියල ඉවර කරල හාමුදුරුවො එකතු කරන් හිටි ගෘහ මූලික ලැයිස්තුව ලකුණු කලේ එක එක්කෙනා නැගිට්ටුවල තහවුරු කරගෙනම.හුග දෙනෙක් ඇවිත් හිටියත් නාපු අයත් ඉන්නව කියල එතනදි තහවුරු කරගන්න පුලුවන් උනා.
                          හාමුදුරුවො බොහොම සාවධානව දේශනා කරන්න ගත්තෙ බුදු බණට එහා ගිය දෙයක්.

          මේක සිංහල බෞද්ධ රටක්.බුද්ධ ධර්මය කප්පරක් කල් රැදෙයි කියල මුතුන් මිත්තො ප්‍රාර්ථනා කරපු රටක්.තමන්ගෙ පණට වඩා උසස් කරල රැක ගත්තු පුණ්‍ය භූමියක්.ඒත් දැන් සිද්දවේගෙන යන වැඩපිලිවෙල නිසා අපට තව දුරටත් බෞද්ධ රටක් ඉතුරු වෙයි කියල හිතන්න අමාරුයි.මේ ගැන බොහොම ගැඹුරින් සාකච්ඡා කරපු අපේ මහා නායක හාමුදුරුවන් වහන්සේල මේ හැමෝටම පොදුවේ පණිවිඩයක් නිකුත් කරල තියෙනව.ඒ අනුව බොහොම වටිනා පිලිවෙලක් හරිගස්සල තියෙයි සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් රැක ගන්න.
මින් මනත එක එක නිකායවල් සාම්ප්‍රදායකව තිබ්බට මුලු රටේම තියෙන පංසල් එක ට එකතු කරන් ඒවයෙන් පිං පිණිස එක් රැස් වෙන මුදල් මේ රටේ දුෂ්කර පලාත් වල තියෙන පංසල් වැඩි දියුණු කරන්නත් ඒ පංසල් ආශ්‍රිත ගම්මාන වල සිංහල බෞද්ධ ජනතාවගෙ සුභසාදනය වැඩි දියුණු කරන්නත් තමයි සූදානම.ඒ නිසා තම තමන්ගෙ ආදායම් වියදම් ගැන හරි හමන් විස්තරයක් මේ ඉස්සරහ ඉන්න අපේ දායක සභාවෙ මහැත්තැන්ලට දීල යනව හොදයි.අපි ඒ පෝරම ටික පුරවල මහනුවරට යවන්න උවමනායි.මේක උඹල රැක ගන්න වැඩක්.ඒ නිසා මේකට තමන්ට පුලුවන් උපරිමයෙන් සහයෝගෙ දෙන්න ඕනෑ.මෙච්චර වැදගත් වැඩකට සහයෝගෙ දෙන්ට බැරි එකෙක් ඉන්නව නම් බණකට දානෙකට පාංසකූලෙට හාමුදුරු නමක් වඩින එකක් නෑ කියලත් මතක් කරන්න ඕනි...හොදයි.අපේ දායක සභාවෙන් නම අඩගහද්දි ඉස්සරහට ඇවිත් තම තමන්ගෙ පවුලෙ විස්තර ඒ අයට දෙමු එහෙනම්.

කාගෙ උනත් මේ වැඩේ නම් හොදයි කියල අපි හැමෝම කතා උනේ.මාසෙකට එක දවසක් හරි ගමේ හැමෝම එක තැනකට එකතු වෙලා කතා බස් කරන එක වටින වැඩක්.හාමුදුරුවො අපිට ගෙවල් වලට යන්න අවසර දුන්නෙ ඔිනිකරන විස්තර ටික ගත්තට පස්සෙ.ඒකත් ඊලග පෝය දවසෙත් හවස නොවරදවාම පංසල් එන පොරොන්දුව පිට.

    ගමේ අය ඊලග පෝය දවසෙත් පංසලට ගියේ හාමුදුරුවො කියපු වැඩපිලිවෙල ගැන ඇතිවෙච්ච විශ්වාසෙට වඩා උන්නාන්සෙල අඩු තරමෙ පාංසකූලෙකටවත් වැඩියෙ නැතොත් කියන බයට.ආගමික වතාවත් ඉවර කරල කලින් දවසෙ වගේ ලොකු හාමුදුරුවො රට ජාතිය ගැන ඇග හිරිගඩු පිපෙන විදියෙ කතාවක් කලේ.ඒ මහා ජාතිය අපේම වරදින් නැති වෙලා යන ඉක්මණත් පැහැදිලි කරල දුන්න.මත් පැන්, සිගරට්, අයුතු සම්බන්ධතා, නිසා අපි වලපල්ලට යන විදිය තේරුම් කලේ උදාහරණත් එක්කම.හාමුදුරුවො මේ ගැන කතා කරන්නෙ හරිම ආකර්ෂණීය විදියට.යකෝ කලින් මෙහෙම බණ කිවුව නම් අපි මෙලහට මාර්ග ඵලත් ලබාගෙන.
    අපේ මිනිස්සු දියුණු වෙන්න නම් අපේ මුදල් පුලුවන් හැම වෙලාවකම අපේම මිනිස්සුන්ට යන විදියට වැඩ කරන්න කිවුවම නම් නිහඩව අහන් හිටි මිනිස්සුන්ගෙන් නිකන්ම සද්දයක් ආව.ඇත්ත තමයි.සිංහල කඩේකට ගියාම මුදලාලිල කතා කරන්නෙ හරියට අපි බලෙන් බඩු ගෙනියන්න ආව වගේනෙ.මිනිස්සුන්ගෙන් මතු වෙච්ච ඒ කාරණාව ලොකු හාමුදුරුවො කෙලින්ම යොමු කලේ සභාවෙ හිටි කඩ හිමියො ඔක්කොමලව නැගිට්ටුවල එයාලගෙ මූණටම.ඒ වැඩෙන් පස්සෙ නම් අපේ අය හොදින් වැඩේ කරන්න පුරුදු උනා.තේ ටිකක් බොන්නත් මුස්ලිම් කඩේට රිංගපු අපි ටිකක් එහායින් තියෙන සිංහල කඩේට ගිහින් හැලප කාල කහට බොන්න පටන් ගත්ත.

මාස දෙක තුන යද්දි පෝය දවස කියන්නෙ සිංහල මිනිස්සු නොයෙක් දේවල් ගැන දැනුවත් වෙන දවසක් වෙන්න ගත්ත.මේ අතරෙදි වෙච්ච තවත් අරුම පුදුම දෙයක් තමයි ළමයි තුන්දෙනෙක් ඉන්න කිරිබණ්ඩෙ මාමට මාසිකව සහනාධාර මුදලක් අනුමත වෙලා කියන හාමුදුරුවො පෝය දවසකදි දැනුම් දීපු එක.රුපියල් දහ දාහක්.මාසෙ ගානෙම.හැබැයි උන්දැට ගිනි වතුර බොන්න තහනම්.ඒ තමයි කොන්දේසිය.දායක සභාවෙන් ඒ ගැන හොයල බලල ලොකු හාමුදුරුවන්ට හැම මාසෙම දැනුම් දෙන්න ඕනි.වැඩේ සුපිරි.


ලොකු හාමුදුරුවරු පාව්ච්චි කරපු සැප වාහන වෙනුවට සරලව ගමන් පහසුකම් සපය ගන්න වාහනයක් ගන්න තරම් උන්නාන්සෙල  නිහතමානී උනේ මේ වැඩසටහනේ ප්‍රථිපලයක් විදියට.අපි හැමවෙලේම සිංහල කඩ හොයන්න ගත්ත.මත් පැන් සිගරට් වලින් ඈත් උනා.රටට ජාතියට වින කටින දේවල් ගැන සාමූහිකව සාකච්චා කරල සාමූහික තීරණ ගන්න උනා.



කොහොමද ඒක.පොඩි චූන් එකක් එනව නේද? ඕක තමයි තම්බින්ගෙ තියරිය.උන්ගෙ ලොක්කො මොකටද කැමතියි කියන්නෙ, මුලු රටේම තම්බි ඒකට කැමතියි.පල්ලිය තමයි උන්ගෙ යාන්ත්‍රෙණ්.අපි අපේ රට ජාතිය වල පල්ලට යනව කියල කොයි තරම් දැගලුවත් වැඩක් නෑ.අවංක. හරියට කෙරෙන වැඩපිලිවෙලක් නැත්නම්.සම්මජ්ජාතියකට අපේ නිකායන් වලට බෙදිල ඉන්න සංඝයා වහන්සේල රට ගැන හිතල එක තැනකට එයි කියල හිතන්න එපා.උන්වහන්සේල කවදාකවත් බෙන්ස් කාර් වලින් මහපොලවට බහින්න කැමති නෑ.ඊනියා සහජීවනේට අවුලක් වෙයි කියල කට අරින්න කැමති නෑ.ඒ අතින් අපේ ගම් වල පංසල් හරි පව්.

    සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා! සුවපත් වේවා! කියාගෙන නෑසූ කන් ව ඉමු ඉතිං.අපිට තියෙන මහ ජාතිය කියන ලේබලේ තව අවුරුදු විස්සකට කලින් ගැලවුනු දාට හැමෝටම තේරෙයි.අපිව ඒ නරා වලට තල්ලු කරන් යන දේශපාලන අධිකාරියේ සියල්ලන්ටම හෙණ ගෙඩි සදහා අධිපත් කවුරුන් හෝ බලවේගයක් වේ නම්,එහි බැල්ම යහමින් ලැබේවා.

Thursday, November 16, 2017

අපි


කවුරු හරි මගෙන් ඇහුවොත් ලංකාවෙ දේශපාලනේ මං වැඩි හොඳක් දකින්නේ නැත්තෙ ඇයි කියල මට සරලවම දෙන්න තියෙන උත්තරේ මුන්ට ගොඩක් දේවල් වලට කිසි සැලසුමක් නෑ කියන එක.ඒ සියලු ආණ්ඩුත් හරි මේකත් හරි.මෙයාලට රටේ පහල ස්ථර වල ඉන්න මිනිස්සු ගැන මෙලෝ වගක් නෑ.උන් කන්නෙ අඳින්නෙ කොහොමද කියල වගක් නෑ.ආණ්ඩුව  ගන්න  කාලෙ වී වැඩියි කියල ගුවන්තොටුපලෙත් වී දාපු  රටක් අපි.වී නිශ්පාදනය වැඩි නිසා කුඹුරු වල අතිරේක භෝග වවන්න කියල උපදෙස් දුන්නෙ කන්න කීපයකට කලින්.අවුරුදු ගානක් දේශපාලන වේදිකා වල රස මාතෘකාවක් වෙච්චි පොහොර සහනාධාරය මුදලින් ගෙවන්න තීරණය කරලත් වැඩි කාලයක් නෑ.නමුත් මේ සියලු සලසුම් පුස් වෙලා.මාසයකට මෙට්‍රික් ටොන් ලක්ෂ ගානක් පිටරටින් හාල් ගෙන්න වෙලා.පොල් ගෙඩියක මිල රුපියල් 100 පන්නන්න ඔන්න මෙන්න.මෙහෙම වෙන්නෙ ඇයි?
 සරලවම අපිට සැලසුම් නෑ.අපේ රටේ තියෙන මුලු කුඹුරු ඉඩම් ප්‍රමාණය තවම අස්වද්දන්නෙ නෑ.රජයක් කරන්න ඕනි කුඹුරු ඉඩම් ගොඩ කරල වෙන ඉදිකිරිීම් කරන්න ඉඩ සලසන එක නෙවෙයි.පුලුවන් තරම් සහයෝගය දීල සම්පූර්ණයෙන් වගා කරන එක.අස්වැන්න අපේ පරිභෝජනයට වැඩියි නම් අපනයනය කරන්න පුලුවන් මට්ටමේ නිශ්පාදනයක් කරල විදේශ විනිමය හොයන එක.පොල් වල තත්වයත් මීට නොදෙවෙනියි.විශේෂයෙන් පොල් ඉඩම් කට්ටි කරල විකිණීම නිසා නිශ්පාදනය පහල බැහැල.අවශ්‍ය තරමට තොග නැති වුනු ගමන් මිල ඉහල යන එක සරලයි.පොල් ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු වලට යොදා ගන්නව නම් අහිමි වෙන පොල් අස්වැන්න ලබා ගන්න වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.අඩු කාලයකින් පීදෙන ප්‍රෙභ්ද නිශ්පාදනය කරල පොදු ජනතාව අතරෙ නොමිලේ බැරි නම් සහන මිලකට හරි බෙදා හරින්න රජයට පුලුවන්කම තියෙන්න ඕනි.ඒ වගෙම දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් හදන්න ඕනි.රජයේ මාධ්‍ය ආයතන හරියට ක්‍රියාත්මක කලා නම් ඒ ඕනවටත් වැඩියි.රජයක් පත් කරන්නෙ ඒ වගේ සරල වැඩ ටිකවත් නියම වෙලාවට හරි විදියට කරන්න.ඒ සහනයවත් නැතුව ලතැවෙන අපි හරි පව්