Sunday, December 9, 2018

2045

තව දුරටත් මේ කරුමය ගෙවන්නට ජීවත් නොවී මියැදෙනවා නම් කොයි තරම් සැපතක් දැයි කල්පනා වූයේ කී වෙනි වතාවට දැයි මට නිච්චියක් නැත.
              බණක් දහමකට වඩා හිතේ නලියන්නේ මා නොමැරෙන්නේ මක්නිසාද යන සිතුවිල්ලයි.
    දෛවය පහසුවෙන් මට ගැලවී යන්නට ඉඩ දෙන්නේ නැති හැඩය...

 ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් මෙතැනට එන්නට වේ යැයි මං නොහිතුවත් වෙන යන්නට තැනක් ඉතිරිවී තිබුණේද නැත.ඒ නමුත් එක එක ලෙඩ දුක් වලින් පෙලෙන මා වැනිම සමූහයක් මැද නිදන්නට බැරි බව මෙහි ඉන්නා අයවලුන්ට තේරෙන්නේ නැත.
      උදේ පාන්දර අවදි විය යුතුය.. මුහුණ කට සෝදා පිරිසිදුව බුද්ධ පූජාවට සහභාගී විය යුතුය.ආහාර ගැනීමෙන් පසු බණ දේශනාවට සවන් දිය යුතුය....
      හැමදාම එකම දේ එකම පිලිවෙලට කරන්නට මට උවමනා නැත.වාහනයක නැගී මීදුම අතරින් කොහේ හෝ යන්නට මට ඇවැසිය.මනස නිසොල්මන් වන්නේ එවිටය.
         හිරිපොද වැස්සේ මීදුම අතරින් අහේතුකව අනන්තවත් හපුතලේ බලා යතුරුපැදියෙන් ගිය හැටි දැන් මතකයක් පමණමය.යතුරුපැදිය ශරීරාංගයක් වූ තැන සිට බාහිර සංතාප ගැන දැනෙන්නේ නැත.ඈත පෙනෙන නිල්වන් කදු දෙස නිසොල්මංව බලා සිටීම තරම් නිදහසක්......
              දරුවෙක් නැති අඩුව දැනෙන්නේ පැරනි මතකයන් ඇවිස්සෙන විටය.එවැන්නෙකු වූවා නම් මේ අප්‍රසන්න පරිසරයේ දී ජීවිතය අවසානයක් නොසොයනු ඇත.
              විවාහයෙන් වසර ගණනාවක් යන තුරු බිරිදගේ උසස් අධ්‍යාපනය අඩාල වන නිසාවෙන් දරුවන් ගැන සිතන්නට ඉස්පාසුවක් තිබුණේ නැත.අධ්‍යාපන කටයුතු අවසන් වන විට ගෙවීමට තිබූ ණය කන්දරාව ට දරුවකුත් කැන්දාගෙන එන්නට අප දෙදෙනාටම අවශ්‍ය වූයේ නැත.සියල්ල ස්ථාවර වද්දී ඵල ලබන කාලය අවසන්ව තිබී ඇත.වෛද්‍ය වරුන්ටද අප වෙනුවෙන් තල හැකි දෙයක් ඉතිරි වී නොතිබුණා විය යුතුය.එසේ නොවුනි නම් ඔවුන් එය ඉටු නොකර සිටින්නේ නැත.

 බොහෝ ලෞකික කාරණා වෙනුවෙන් මගේ පසුම්බිය දිග හැරීමේ ආදීනව විදින්නට වැඩි කාලයක් ගත කරන්නට ඇවැසි වූයේ නැත.දහ අතේ ණය වන්නට වූයේ ව්‍යාපාර කටයුතු අඩාල වත්දීමය.අවසානයේ ගොඩ නගාගත් ,ලැබුණු සියල්ල ඇස් පනාපිට අහිමි වෙත්දී හිත් පීඩා නිවන්නට කෙනෙකුන් සිටියේ නැත.ඇසුරු කල  බොහෝ දෙනෙකුට ගෙවන්නට තිබූ ණය නිසා ඔවුන්ට මුහුණ නොදී සැගවෙන්නට මට සිදු විය..මා වැඩියෙන්ම සටන් කලේ හෘද සාක්ෂිය සමගය..

      මහ වැසි මැද මෝටර් රථය පදවා යන්නට මා බොහෝ ආසා වෙමි.රාත්‍රියේ හෝ හිමිදිරියේ ගමන් යන්නට පාසල් අවධියේ සිට  සිහින මැව්වෙමි..

වයස විසි ගණන් වලදීත් තිස් ගණන් වලදීත් මට බොහෝ දේ වැරදිණි.ජීවිතයට ලගා කරගන්නට උවමනා දේ ඔහේ පාවී යන්නට දී බලා හිදි අවස්ථා ගණනක් පසු කර ඇත්තෙමි.

     දරුවන් නොමැති කම නිසා බලාපොරොත්තුවක් නොවීමත් විදින්නට වූ අනෝරක් කම් කටොලු නිසාත් බිරිදගේ සිත සංසුන්ව තිබුණේ නැත.දිනෙන් දින ඇය මේ සියල්ල අත් හැරිය යුතු යැයි පසක් කලාය.අවසානයේ ඇය දෑස් පියා ගත්තේ පිළිකා මාරයාට යටත්ව වසර ගණනක් වැහැරීමෙන් පසුවය.ඇයගේ අවසන් ගමන වත් ගාම්භීරව කැදවා යන්නට තරම් හැකියාවක් මට වූයේ නැත.රෝහල් සයනයෙන් ඇය කෙලින්ම ගියේ ආදාහනාගාරයේ පිගන් ගඩොලින් වට කල ගෑස් උදුන වෙතයි.

මට පුදුම මේ සියල්ල සිදුවීමෙන් පසුවත් මා යහපත් මානසික තත්වයෙන් පසුවීමයි.ගෙවා දැමිය යුතු පව් කන්දරවේ තරම ඒ තරම් විශාලය.

සීත කාලගුණයක් ඇති කදුකරයේ කුඩා නිවසක් ගැන මං සිහින මැව්වෙමි..රැයක් දවාලක් නැතිව හැල්මේ දුවන රියදුරු රැකියාවකට පෙම් බැන්දෙමි..රථ වාහන තුල නිදා ගැනීමේ අමුතු ආසාවක් මට ඇත.. නමුත්, මේ කිසිත් මට ලගා කරගන්නට නොහැකි විය.

ද චෙෆ් නැරඹූ දින සිට ජංගම හෝටලයකට ආසා කලෙමි.ඉවීමේ තිබූ උනන්දුව තවමත් පහව ගොස් නැත.

මං හෙම්බත් වී සිටිමි.අතීත සිතුවිලි සමග වර්ථමානය සාවධානව විදින්නට මට  හැකියාවක් නොවේ.තව දුරටත් සිහින දැකිය නොහැකිය.සියල්ල අපුලය.

අවසාන වතාවට ලගින් උන් මිතුරන් සමග ආගිය තොරතුරු කතා බස් කරමින් මදු විතක රස බලන්නට උවමනාය.

මං දකිනා එකම සිහිනය මරණයයි!


2 comments:

  1. Sad, sad, sad (but this is the story of most of us) 'Itu nowu balaporottu'

    ReplyDelete