Wednesday, December 26, 2018

දිව්‍යලෝකය ඈතක නොවේ

බෙලිහුල් ඔය... ජීවිතේ කොයි තරම් වතාවක් ගියත් එපා වෙන්නෙ නැති පලාතක්.ප්‍රධාන පාර අවට නුවරඑළිය තරම්  කටුක සීතලක් නැතත් නන්පේරියල් හෝ සීලෝගම පැත්තට යද්දි සීතල නුවර එළියට දෙවෙනි නෑ.එයිනුත් නන්පේරියල්..ඇග හිරිවට්ටන තරමේ සීතල වතුර ටිකක් නාල දවස ගත කරන්න ඉතාම හොද තැනක්.
නන්පේරියල් හමුවෙන්නෙ බලංගොඩ-හපුතලේ ප්‍රධාන මාර්ගයෙ බෙලිහුල්ඔය (ගලගම) කඩමණ්ඩිය පහු කරල හපුතලේ පැත්තට කිලෝමීටරයක් විතර ගියාම වම් පැත්තට හැරෙන්න තියෙන පාරෙ ගියාම.හපුතලේ ඉදන් එනව නම් සබරගමුව විශ්ව විද්‍යාලය පහු කරන් බලංගොඩ පැත්තට එද්දි දකුණු අත පැත්තෙ තියෙන පාර.නන්පේරියල් වතු යාය කියල ගහල තියෙන නිසා පාර හොයා ගන්න අමාරු වෙන්නෙ නෑ.කොළඹ ඉදන් එන කෙනෙක්ට නම් යෝජනා කරන්නෙ කොළඹ-බදුල්ල නයිට් මේල් එක.ඒකෙ ඇවිත් හපුතලෙන් බැහැල බස් එකක නැගල නන්පේරියල් හන්දියෙන් බැහැගන්න.
නන්පේරියල් කියන්නෙ පෞද්ගලික වතු යායක්.ඒ නිසා නන්පේරියල් මාර්ගයෙ ඉහලටම ගිහින් බේකර්ස් වංගුව හෝ නග්රැක් බංගලාව බලන්න අදහසක් තියේ නම් ඒ සදහා අවසර ගත යුතුයි.ඒකට නන්පේරියල් මාර්ගයේ ඉහලට ගියාම හමුවෙන තේ කර්මාන්ත ශාලාව අසලින් ඇහුවම එතන ඉන්න අය උදව් කරයි.
මේ කියන්නෙ එහෙම අවසර නොගෙන සංචාරය කරන්න පුලුවන් සීමාවෙ ඉදන් විදින්න පුලුවන් උපරිම සංචාරක අත්දැකීමක් ගැන.
බොහෝ අය දන්න විදියට කොළඹ- බදුල්ල ප්‍රධාන මාර්ගයෙ ඉදන් නන්පේරියල් දිහාවට යද්දි යුධ හමුදා අනු ඛන්ඩයක් ස්ථාපිතයි.මේ යුද හමුදා අනු ඛන්ඩය විසින් ඉතාම සහනදායී විදියට ලබාගත හැකි සංචාරක නිවාස දෙකක් පවත්වාගෙන යනව.ඒ වගෙම එයාලගෙ සුභසාධක වෙළදසැලෙන් දවසේ ඕනෑම වෙලාවක ආහාර ඇණවුම් කරල ගන්න පුලුවන්.මේ යුද හමුදා කදවුර ආසන්නයේම  පෞද්ගලික හෝටලයකුත් පවත්වාගෙන යනව.නමුත් එය යෝජනා කරන්නෙ නෑ.ඒ වගෙම කදවුරින් කිලෝ මීටර කීපයක් ගියාම වන සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කදවුරු භූමියකුත් තියෙනව.
ඔබ පාරිසරික සංචාරය ගැන උනන්දු අයෙක් නම් නන්පේරියල් කියන්නෙ කිසි දවසක අමතක නොවෙන අත්දැකීමක් වේවි.පැහැදිලි ඉර එළියත් සැනෙන් මීදුමෙන් වසා ගන්නා වට පිටාවත් ආනන්දනීයයි.හෙල්මලු ක්‍රමයට වගා කරන පුංචි කුඹුරු යාය පිළීවෙල ගැන අලුත් පාඩම් උගන්නාවි.




හෝටන් තැන්නෙන් ආරම්භ වෙලා සමනල වැවෙන් අවසන් ගමන් යන මේ නොයිදුල් ජල පහරවල් වල තියෙන්නෙ අතිශයින්  සුන්දර ගමන් රටාවක්.විටෙක සුන්දර දිය ඇලි මවන ඇළ පහර තවත් විටෙක  නොගැඹුරු දිය තලයක් ඇති කරන්නෙ සංචාරකයන්ට හිතූ තරම් ස්නානය කරන්නට ඉඩ හදමින්.නමුත් ඉහළ කොටසට ඇති වන වර්ෂා තත්වය නිසා මේ වතුර මට්ටම් ක්ෂණිකව වැඩි වෙන්න පුලුවන්.පැහැදිලි දවසක උනත් දිය නෑමේදී ජල මට්ටම ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි.
සංචාරකයන්ගෙ වගකීම් විරහිත හැසිරීම නිසා මේ පරිසර පද්ධතිය ඉතා වේගයෙන් අභාවයට යමින් තියෙන්නෙ.හිස් අරක්කු බෝතල,ප්ලාස්ටික් ආදී  අනවශ්‍ය බොහෝ දේ අගන්තුක මිනිස්සු පරිසරයට එකතු කරමින් තියෙනව.දැනුවත් කිරීමෙන් බලා නොයිද නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හරි පරිසරය රකින වැඩ පිලිවෙලක් බලධාරීන් ඇති නොකලොත් මේ සියල්ල තව වසර කීපයකින් මතකයක් විතරක් වේවි.
සංචාරකයන්ට විදගන්න ස්වභාවධර්මයේ අපූරු නිර්මාණ මහ ගොඩක් නන්පේරියල් ඉසව්වෙ තිබුණත් ඒ එකින් එක විස්තර කරන්න අදහසක් නෑ.ඒ සංවේදී තැන් ප්‍රසිද්ධ උනොත් මේ වෙද්දි උඩ දියලුමට ඇති වෙලා තියෙන තත්වයට නොදෙවෙනි විනාසයක් වෙන්න පුලුවන්.උනන්දුවක් තියෙන, පාරිසරයට ආදරේ කරන කෙනෙක් නම් හොයාගෙන ගිහින් ඒ පහස විදින්න..
දිව්‍ය සැප මිහිපිටම විදින්න පුලුවන් බව වැටහේවි.

Wednesday, December 12, 2018

අවසාන වතාවට


හැන්දෑ හිරු රැස් වැටී දිලිසෙන දියවන්නාවේ දිය රැලි දෙස හිස් බැල්මෙන් බලා ඉන්නට ඇය හැමදාම ආසා කලාය.හමා යන සුලගින් කැළඹෙන ජල තලය නොනවත්වා ලෙලදෙමින් තිබුණි.ඇගේ දෑතට මැදිව තිබූ මගේ සුරත මුදවා ගන්නට මං උත්සාහයක් නොගත්තෙමි.වසර ගණනක් පුරා සති අන්තයන් වල සෙසෙහස විදින්නට පැමිණි දියත උද්‍යානයේ, පෙම්වතුන් ලෙස අවසන් වතාවටත් අපි ලංව සිටියෙමු.
"ශානි..., නංගි අපි යමුද එහෙනම්...."
ඇය සෙමින් මගේ අත නිදහස් කර අසුනින් නැගී සිටියාය.මුහුණ මැලවී දෑසේ කදුලු පිරී තිබුණත් ඇගේ බැල්ම අධිෂ්ඨානශීලීය
"පරිස්සමින් ඉන්න සුදු අයියෙ... ඔයාට බුදු සරණයි"
 දෙපතුල වෙත නැවෙන්නට උත්සාහ කලද දෙවුරෙන් අල්වා මා ඇය වලකාලීමි.
"පිස්සුද දරුවො... මොනව වෙනස් උනත් ඔයා නංගියෙක් විදියට මගේ ලග ඉන්නවනෙ."
ඇය සෙමින් ඇවිද ගොස් ත්‍රීරෝද රථයක නැගී පිටත්ව ගියාය.රැකියාවේ පහසුව තකා ලබා ගත් මෝටර් රථයට නැගී මම නිවෙස බලා පිටත්වීමි.
ඇය කිසිවිටෙකත් සුකුමාල තරුණියක් නොවූවාය. පත පොතින් මෙන්ම සමාජයෙන් ලත් පන්නරයෙනුත් ඈ බොහෝ දැනුම් තේරුම් ඇති තැනැත්තියක් බවට පත් කර තිබුණාය.පියාගේ උත්සාහයෙන් ලගා කරගත් සැප සම්පත් කිසි විටෙක ඇයට ආභරණයක් වූයේ නැත.ඒ සියල්ල ඇය වින්දේ මැදහත් සිතිනි.

ශානි මට මුණ ගැසෙන්නේ උසස් පෙළ අවධියේදිය.උපකාරක පංති සදහා සහභාගී වෙද්දී ඈ වෙත ඇදී ගිය සිත අවසානයේ නතර වෙන්නේ ඇගේ තුරුල්ලේය.දැඩි තරගකාරී බව නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් දිනා ගන්නට නොහැකි වුවද පියාගේ මග පෙන්වීම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගැනීමට ඇයට අපහසු කාරණාවක් නොවිනි.අධ්‍යාපනය හමාර වෙද්දීම රැකියාවක් ලද නිසා සතුටින් ඇගේ කාලය ගෙවී ගියේය.

පළමු වර උසස් පෙළ විභාගයෙන් මට ලැබුණු ප්‍රතිඵලය අගනුවරින් විශ්ව විද්‍යාලයට තේරී පත්වන්නට කිසි ලෙසකින් ප්‍රමාණවත් වන්නේ නැත.ඒ නමුත් දෙවැනි වතාවක් ගැන සිතන්නට නිවසේ ආර්ථික තත්වය බාධා කලේය.නිවසේ වියහියදම් සියල්ල සපුරා නංගීටත් මටත් ඉගැන්වීමට අම්මා නොගත් වෙහෙසක් නැත.නුගේගොඩ මංසන්දියේදී ත්‍රස්ථවාදීන්ගේ බෝම්බයකට මැදිව තාත්තා දෙනෙත් පියා ගත් 2007 වසරේ සිට තනිව සටන් කල අම්මා දිගින් දිගටම වෙහෙස කරවීමට මට අයිතියක් නැත.ඖෂධ සමාගමක ප්‍රවර්ධන නිලධාරී තනතුරක් අත්පත් කරගත්තේ කල් මැරීමෙන් ඵලක් නොවන නිසාය.

 නිසි වයස සම්පූර්ණ වූ කාලයේ පටන් ශානි වෙනුවෙන් විවාහයට සුදුසු අය සෙවීමට ඇගේ මවත් පියාත් නිරන්තරයෙන් උත්සාහ කලෝය.බොහෝ අය නිවසට පැමිණ ගියද කුමක් හෝ කරුණක් ඉදිරියට දමා ඉන් ගැලවෙන්නට ඇය සමත් විය.ඒ අතරතුර කාලයේ ඇගේ පවුලේ මට්ටමට නැතත් මා වෙනුවෙන් යම් ස්ථාවරත්වයක් ගොඩ නගන්නට අප දෙදෙනාම කටයුතු කලෙමු.නමුත් මට අත්හල නොහැකි වගකීමක් අම්මාත් නංගීත් වෙනුවෙන් ඉටු කරන්නට  ඇත.

 ඇගේ නිවෙසින් ලැබුණු පීඩනය නිසාම අපේ සම්බන්ධය ගැන නිවෙස් වෙත දන්වන්නට අපට සිදු විය..මගේ කතාව සාවධානව අසා සිටි අම්මා ඇසුවේ ඇයට අප මෙන් අවම පහසුම් යටතේ ජීවත් විය හැකිද යන්න පමණකි.නමුත් ශානී ගේ පාර්ශවයෙන් අපට සතුටුදායක පිලිතුරක් ලැබුණේ නැත.සත්‍යයකි....., ඒ සමාජ වටපිටාව හා තත්වයට ලගා වීමට මට තව බොහෝ දේ අත්පත් කරගත යුතුය.

එක්තරා සන්ධ්‍යාවක ඇගේ නිවසට මා කැදවනු ලැබිණි.රාජ්‍ය ආයනයක ඉහල පුටුවක් හොබවන පියාත්,ගුරුවරියක් වූ ඇගේ මවත් අප දෙදෙනා හිදුවා ජීවිතය ගැන බොහෝ දේ කියූවෝය.. දෑසින් ඇද වැටෙන කදුලු ඔහේ ගලාගෙන යත්දීත් මගේ ඇගිල්ලක් දැඩිව අල්ලාගෙන ඇය ඒ සියල්ල අසා සිටියාය..පිරිමි හිත කොයි තරම් දැඩි උනත් හීන එකින් එක බිද වැටෙද්දී නොකැලඹී සිටිය හැකි වේ යැයි විශ්වාස නොකරමි. අභ්‍යන්තරයෙන් මං වැලපුනෙමි.. බොදව යන්නේ ආසාවෙන් සිහින මැවූ අපේ අනාගතයයි..

ඒ දෙමව්පියන් අපේක්ෂා කරනා තත්වයට ලගා වීමට තව කාලයක් කැපවීමෙන් ඉපැයිය යුතුය.ඇගේ සෙනෙහසේ ශක්තිය වේ නම් ඉලක්කය එතරම් අපහසු දෙයක් නොවේ.නමුත් දෙමව්පියන් සොයන්නේ තත්වය ලගා කරගත් අයෙක් මිස ඒ වෙනුවෙන් කැපවෙන අයෙකු නොවේ.

--------------------------------------------------------------------------------------------------------------------------
අවසානයට තව බොහෝ දුර ඇත...,

නිදි වැරූ දින කිහිපයක ඇවෑමෙන් අප යා යුත්තේ මං දෙකක බව වටහා ගත්තෙමු.සෙනෙහසේ අඩුවක් නොවුනද සියල්ල සම්පූර්ණ වීමෙන් මිස සතුටක් නොවනු ඇත.ඇය, දෙමව්පියන්ගේ දියණිය ඔවුන් සතුටු කල යුතුමය.සිහින, ආශාවන් සියල්ල පසෙකට දමා අප මං දෙකක යා යුතුමය... දෛවය ලියැවී ඇත්තේ එලෙසය.

දරුවන් රැසක් ලැබ ඒ සියල්ල තුරුලු කරගෙන සිටින්නට අප දුටු සිහින, සිහිනයක්ම පමණක් වනු ඇත.ඇගේ ලමැදේ සුව විදින්නට මා පෙරුම්පුරාගෙන උන්නෙමි.විවාහය, තවදුරටත් එය සුන්දර වදනක් නොවේ...

කාළය ගෙවී ගියේ වියෝවේ දුක් තුනී කරගෙනමය.අප අවබෝධයෙන් දෙපසකට වූ නිසා කතා බහ කිරීමේ නොහැකියාවක්ද සිදු නොවීය.අලුත් අවුරුදු දවසටත් උපන්දිනය එද්දීත් නොවරදවා ඇය මා ඇමතුවාය.අප අපේ සීමාවේ හිද ඇසුරු කලෙමු.

--------------------------------------------------------------------------------------------------------------------------
 ශානිගේ අත ගැනීමට උඩරට රදල පරපුරක කඩවසම් වෛද්‍යවරයෙකු මුණ ගැසී තිබුණි.ඔහු කරුණාවන්ත ආදරණිය අයෙකු බව ඉදහිට ලැබෙන ඇයගේ විස්තරයෙන් මා තේරුම් ගතිමි.අහම්බයෙන් දිනෙක ඇදුම් සාප්පුවක් ඉදිරිපිටදී අප තිදෙනා මුණ ගැසෙන විටත් ඔහු මා ගැන දැන සිටියා විය යුතුය.තරුණයා සමග සිටි ඈ මා හදුන්වා දුන්නේ කලින් විස්තර කියා තිබූ සුදු අයියා ලෙසටය..
මිනිසුන් අවබෝධයෙන් කටයුතු කරන විට ලෝකය ලස්සනය...

 ඇයගේ විවාහයට දින තීන්දු වී තිබුණි.කොළඹ තරු පහේ හෝටලයක සූදානම් කර ඇති ඒ වෙනුවෙන් අති විශාල මුලදක් වියදම් වනු ඇත.ඇය මා වෙනුවෙන් ආරධනා පත්‍රයක් ලියා එවූවාය.කාඩ් පත ලද සැනින් ඇය අමතා සුභ පැතුම් එක් කලද කෙදිනක හෝ මගේ මනාලිය වේ යැයි ප්‍රාර්ථනා කල යුවතිය වෙනත් කෙනෙකුගේ අතිනත ගෙන සිටිනු ඉවසීමෙන් ධාරනය කරගත හැකි යැයි නොසිතන නිසා විවාහ උත්සවය මග හරින්නට මම ස්ථිර කර ගතිමි.තව දුරටත් අප අතීතය ආවර්ජනය කල යුතු නැත.විවාහයෙන් පසු සැප දුක් සොයා බලන්නට වත් උත්සාහයක් නොගනිමි.දැන් ඇයට සුන්දර ලෝකයක් හිමිවන්නට නියමිතය. අහිංසකිය ඇගේ ලෝකයේ සතුටින් සිටිය යුතුය.


සුදු අයියෙ බිසීද?......
කාලයකින් ඇමතුමක් ගත් ඇය විමසයි.
නංගි මං ඩ්‍රයිව් කරන ගමන් ඉන්නෙ.ඇයි හදිසියක්ද?
නෑ අයියෙ... ඔයා ෆ්රී වෙලාවක ගන්න..
ඇයට යම් කිසි අපහසුතාවයක් ඇති වී යැයි මගේ සිත කලබල වෙන්නට විය...බෞද්ධාලෝක මාවත දිග ධාවනය වෙමින් තිබූ රථය අතුරු මාර්ගයකට හරවා නැවතීමි.රථයේ එංජිමවත් නතර නොකර මා ශානී ට ඇමතුමක් ගතිමි.
දුරකතනය වැඩි වේලාවක් නාද වීමට ඉඩ නොතබා ඇය පිලිතුරු දුන්නාය

සුදු අයියෙ... ඔයා වැඩකට යන ගමන්ද?
කමක් නෑ නංගි..., මොකක් හරි ප්‍රශ්නයක්වත්ද
නෑ අයියෙ ප්‍රශ්නයක් නෙවෙයි...... මට ඔයාව මුණ ගැහෙන්න උවමනා වෙලා තියෙනව
ම්.... මොකද හදිසියෙ?
නෑ අයියෙ හදිසියක් නෙවෙයි..නිකන් මට හිතුනෙ..., ඔයාට ෆ්රී එකක් තියෙන්නෙ කවද වගේද?
නෙක්ස්ට් ෆ්රයිඩේ වගේ අවුලක් නැති වෙයි නංගි.මං කොළඹ ඉන්නෙ ඒ දවස් වල...
ආ.. හරි එහෙනම්.එදාට වෙන  වැඩක් දාගන්න එපා.මං උදේට ඔයාට කෝල් කරන්නම්
ශානී....... මොකද මේ...?
මං සිකුරාදට කියන්නම්කො.... එහෙනම් මං තියන්නම්... බුදු සරණයි..
සිදුවෙමින් ඇත්තේ කුමක්දැයි මට පැහැදිලි නැත.එලඹෙන සිකුරාදා වන තුරු ඇයගෙන් යමක් දැනගත හැකි නොවේ.ඊට පෙරාතුව ඇයව අමතන්නටද සිත් නොවේ.එවැනි වටපිටාවක් තවදුරටත් නැත.

දින ගෙවී යන්නේ විදුලි වේගයෙනි.රාජකාරී කටයුතු සදහා අගනුවරින් බැහැරට යාමට සිදු වූ නිසා කාලය ගෙවී යන වේගය දැනුනේ නැත.


නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණි ඇය මහරගමදී මා ඊට නංවා ගත්තාය.හයිලෙවල් මාර්ගය දිගේ  හෝමාගම දෙසට ධාවනය කල රථයේ රියදුරු අසුන වැඩි දුරක් යන්නට මත්තෙන් මට භාර ගන්නට සිදු විය.ඇය හැසිරෙන්නේ මීට වසර ගණනාවකට පෙරාතුව මා දුටු යෞවනිය ලෙසිනි... ගමන් කල යුත්තේ කොහේ දැයි විමසුවද පැහැදිලි පිලිතුරක් ලැබුණේ නැත.ඇය කලේ ගමන් කල යුතු මාර්ගය පෙන්වා දීම පමණකි.පැහැදිලි අදහසකින් නොවූවද මම වැඩි ප්‍රශ්න නොඅසා රථය පදවාගෙන ගියෙමි. අධිවේගී මාර්ගයට ඇතුලු කල රථය බණ්ඩාරගමින් පිටවී පානදුර ප්‍රදෙශයේ හෝටලයක් ඉදිරිපිට නවතනු ලැබිණි.

හෝටලයේ  පිළිගැනීමේ නිළධාරිනිය හමු වූ ඇය සිය අන්‍යතාවය තහවුරු කලාය.එතැන් පටන් සේවකයන් අපට සැලකූයේ සැමියා හා බිරිද ලෙස වටහාගෙනය.

ඇය කල් තියා මේ ගමන සූදානම් කර ඇත.
--------------------------------------------------------------------------------------------------------------------------
සුපිරි පංතියේ කාමරයක ගෙවුනු පෑ කීපය තුල මීට පෙර ඇගෙන් මා නොලැබූ බොහෝ ද‍ේ පුද කල සිටියාය..
අරමුණක් නොදැන ආ ගමනක් උවද අතීතයේ ආශා කල පපු තුරුල්ලේ සුවය මම වින්දෙමි!
නෑඹුල්ව ප්‍රාර්ථනා කල සුවය, කුලුදුලේ නොවූවද සිත් පුරා විද ගතිමි...

සයනයෙන් ඉවත ගිය ඇය අවරට යන  හිරු රැසින් ආලෝකමත් වූ කරදිය තලය දෙස නිසොල්මනේ බලා සිටියාය.. මුහුණේ ඇත්තේ තෘප්තිමත් හැගීමකි.
සැහැල්ලු ඇදුමින් සිටි ඇයගේ නාරී දේහයට මේ තරම් ලොබ සිතුනේ පලමු වරටය

ශානී......, ඔයා ඇයි මේ වගේ දෙයක් ප්ලෑන් කලේ...?
සුදු අයියට මතකද..., ඉස්සර අපි ගොඩාක් හීන මැව්ව? දරු පැටව් ගොඩාරියක් හදාගෙන උන්ව තුරුල් කරන් නිදාගන්න....? 
සුදු අයිය ආසයි කිවුවෙ මගෙ පපුවට මූණ තියාගෙන ඉන්න.....
වයිෆ් කෙනෙක් විදියට මට ඒ කිසි දෙයක් ඔයාට දෙන්න වාසනාව නෑ අයියෙ...වෙඩිංග් එකෙන් පස්සෙ රහල් එක්ක ඉංග්ලන්ඩ් යන්න ඉන්නෙ....එයාගෙ හයස්ටඩි වලට.අපි ආයෙ ලංකාවට එයිද දන්නෙ නෑ....,
හැකියාව තියෙද්දිත් මං ඔයාට මේ සතුට නොදී හිටිය නම් මගේ හිතට නිවනක් නෑ අයියෙ.. දැන් මට සතුටුයි... 
මට කියන්නට කිසිත් ඉතිරිව නැත.ඇය, නරක ගැහැනියකයැයි මං කිසි විටෙක විශ්වාස නොකරමි.

මැණික..., 
නියත වශයෙන්ම අවසන් වතාවට මම වැරෙන් ඇය තුරුලු කර ගතිමි...

වසර ගණනකට පෙරාතුව දියත උයනේදී නලලත සිඹ සමුගන්නට නොහැකි වීමේ වරද නිවැරදි කර ගන්නට මට උවමනාය

නැවත කෙදිනක. කෙසේ අප මුණ ගැසේ දැයි නොදනිමි..නමුත්, මෙය ස්ථිර වශයෙන්ම සමු ගැනීමකි!






Sunday, December 9, 2018

2045

තව දුරටත් මේ කරුමය ගෙවන්නට ජීවත් නොවී මියැදෙනවා නම් කොයි තරම් සැපතක් දැයි කල්පනා වූයේ කී වෙනි වතාවට දැයි මට නිච්චියක් නැත.
              බණක් දහමකට වඩා හිතේ නලියන්නේ මා නොමැරෙන්නේ මක්නිසාද යන සිතුවිල්ලයි.
    දෛවය පහසුවෙන් මට ගැලවී යන්නට ඉඩ දෙන්නේ නැති හැඩය...

 ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් මෙතැනට එන්නට වේ යැයි මං නොහිතුවත් වෙන යන්නට තැනක් ඉතිරිවී තිබුණේද නැත.ඒ නමුත් එක එක ලෙඩ දුක් වලින් පෙලෙන මා වැනිම සමූහයක් මැද නිදන්නට බැරි බව මෙහි ඉන්නා අයවලුන්ට තේරෙන්නේ නැත.
      උදේ පාන්දර අවදි විය යුතුය.. මුහුණ කට සෝදා පිරිසිදුව බුද්ධ පූජාවට සහභාගී විය යුතුය.ආහාර ගැනීමෙන් පසු බණ දේශනාවට සවන් දිය යුතුය....
      හැමදාම එකම දේ එකම පිලිවෙලට කරන්නට මට උවමනා නැත.වාහනයක නැගී මීදුම අතරින් කොහේ හෝ යන්නට මට ඇවැසිය.මනස නිසොල්මන් වන්නේ එවිටය.
         හිරිපොද වැස්සේ මීදුම අතරින් අහේතුකව අනන්තවත් හපුතලේ බලා යතුරුපැදියෙන් ගිය හැටි දැන් මතකයක් පමණමය.යතුරුපැදිය ශරීරාංගයක් වූ තැන සිට බාහිර සංතාප ගැන දැනෙන්නේ නැත.ඈත පෙනෙන නිල්වන් කදු දෙස නිසොල්මංව බලා සිටීම තරම් නිදහසක්......
              දරුවෙක් නැති අඩුව දැනෙන්නේ පැරනි මතකයන් ඇවිස්සෙන විටය.එවැන්නෙකු වූවා නම් මේ අප්‍රසන්න පරිසරයේ දී ජීවිතය අවසානයක් නොසොයනු ඇත.
              විවාහයෙන් වසර ගණනාවක් යන තුරු බිරිදගේ උසස් අධ්‍යාපනය අඩාල වන නිසාවෙන් දරුවන් ගැන සිතන්නට ඉස්පාසුවක් තිබුණේ නැත.අධ්‍යාපන කටයුතු අවසන් වන විට ගෙවීමට තිබූ ණය කන්දරාව ට දරුවකුත් කැන්දාගෙන එන්නට අප දෙදෙනාටම අවශ්‍ය වූයේ නැත.සියල්ල ස්ථාවර වද්දී ඵල ලබන කාලය අවසන්ව තිබී ඇත.වෛද්‍ය වරුන්ටද අප වෙනුවෙන් තල හැකි දෙයක් ඉතිරි වී නොතිබුණා විය යුතුය.එසේ නොවුනි නම් ඔවුන් එය ඉටු නොකර සිටින්නේ නැත.

 බොහෝ ලෞකික කාරණා වෙනුවෙන් මගේ පසුම්බිය දිග හැරීමේ ආදීනව විදින්නට වැඩි කාලයක් ගත කරන්නට ඇවැසි වූයේ නැත.දහ අතේ ණය වන්නට වූයේ ව්‍යාපාර කටයුතු අඩාල වත්දීමය.අවසානයේ ගොඩ නගාගත් ,ලැබුණු සියල්ල ඇස් පනාපිට අහිමි වෙත්දී හිත් පීඩා නිවන්නට කෙනෙකුන් සිටියේ නැත.ඇසුරු කල  බොහෝ දෙනෙකුට ගෙවන්නට තිබූ ණය නිසා ඔවුන්ට මුහුණ නොදී සැගවෙන්නට මට සිදු විය..මා වැඩියෙන්ම සටන් කලේ හෘද සාක්ෂිය සමගය..

      මහ වැසි මැද මෝටර් රථය පදවා යන්නට මා බොහෝ ආසා වෙමි.රාත්‍රියේ හෝ හිමිදිරියේ ගමන් යන්නට පාසල් අවධියේ සිට  සිහින මැව්වෙමි..

වයස විසි ගණන් වලදීත් තිස් ගණන් වලදීත් මට බොහෝ දේ වැරදිණි.ජීවිතයට ලගා කරගන්නට උවමනා දේ ඔහේ පාවී යන්නට දී බලා හිදි අවස්ථා ගණනක් පසු කර ඇත්තෙමි.

     දරුවන් නොමැති කම නිසා බලාපොරොත්තුවක් නොවීමත් විදින්නට වූ අනෝරක් කම් කටොලු නිසාත් බිරිදගේ සිත සංසුන්ව තිබුණේ නැත.දිනෙන් දින ඇය මේ සියල්ල අත් හැරිය යුතු යැයි පසක් කලාය.අවසානයේ ඇය දෑස් පියා ගත්තේ පිළිකා මාරයාට යටත්ව වසර ගණනක් වැහැරීමෙන් පසුවය.ඇයගේ අවසන් ගමන වත් ගාම්භීරව කැදවා යන්නට තරම් හැකියාවක් මට වූයේ නැත.රෝහල් සයනයෙන් ඇය කෙලින්ම ගියේ ආදාහනාගාරයේ පිගන් ගඩොලින් වට කල ගෑස් උදුන වෙතයි.

මට පුදුම මේ සියල්ල සිදුවීමෙන් පසුවත් මා යහපත් මානසික තත්වයෙන් පසුවීමයි.ගෙවා දැමිය යුතු පව් කන්දරවේ තරම ඒ තරම් විශාලය.

සීත කාලගුණයක් ඇති කදුකරයේ කුඩා නිවසක් ගැන මං සිහින මැව්වෙමි..රැයක් දවාලක් නැතිව හැල්මේ දුවන රියදුරු රැකියාවකට පෙම් බැන්දෙමි..රථ වාහන තුල නිදා ගැනීමේ අමුතු ආසාවක් මට ඇත.. නමුත්, මේ කිසිත් මට ලගා කරගන්නට නොහැකි විය.

ද චෙෆ් නැරඹූ දින සිට ජංගම හෝටලයකට ආසා කලෙමි.ඉවීමේ තිබූ උනන්දුව තවමත් පහව ගොස් නැත.

මං හෙම්බත් වී සිටිමි.අතීත සිතුවිලි සමග වර්ථමානය සාවධානව විදින්නට මට  හැකියාවක් නොවේ.තව දුරටත් සිහින දැකිය නොහැකිය.සියල්ල අපුලය.

අවසාන වතාවට ලගින් උන් මිතුරන් සමග ආගිය තොරතුරු කතා බස් කරමින් මදු විතක රස බලන්නට උවමනාය.

මං දකිනා එකම සිහිනය මරණයයි!


Friday, December 7, 2018

අපි හරියට හිතමු

මේ කාලෙ අපේ දේශපාලනේ පිස්සු කෙලින නිසා බොහෝ උගත් කියන හතු පිපෙනව.මට මේ පණ්ඩිත කතාව කියන්න ඕනි උනේ ඊයෙ දැක්ක යුක්තියේ වේදිකාවද මොකක්දෝ එහෙක මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ල කෑ ගහන සෙට් එකක් දැකල..

                   මේ රට යන්නෙ වැරදි පාරෙ කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.උගත්තු පත් කරන්න කියල මී හරක් සෙට් එකක් ඡන්දෙට ඉදිරිපත් කරන රටක, එපා කියල පැත්තකට කරන එවුන්වත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනියන රටක මැජික් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ... අපි ආසයි දියුණු රටක වගේ පිලිවෙලට ජීවත් වෙන්න.හැබැයි ඒක බැරි නම් උත්සාහ කරල හදා ගන්න ඕනි අපිමයි නේද? බලපෑම් කරන්න ඕනි, ගොනු වෙන්න ඕනි අපිමයි නේද?
               
                       එතකොට ලැබිච්ච පලවෙනි අවස්ථාවෙන්ම වෙන රටකට ගිහින් ජීවත් වෙන, පුරවැසිකම ගන්න උවමනාවට මේකෙ යුද්ධෙ තිබ්බ නම් හොදයි කියල  ප්‍රාර්ථනා කරපු උකන්නලට මේක හරි පාරෙ යවාගන්න අපිට  නැති රුදාවක් හැදෙන්නෙ ඇයි?

               උන්ට මේකෙ මුදුන් මුල තියෙනව කියන එක මං නෑ කියනව නෙවෙයි.හැබැයි කොහේ හරි රටක පුරවැසිකම ගන්නෙ ඉතුරු වෙන එවුන්ට හෙණ ගැහුනත් කමක් නෑ මං ගොඩ ගියානම් කියන මමත්වයෙන්නෙ.ඉතිං ගිය ලබ්බකට වෙලා ඉන්නෙ නැතුව අහවල් එහෙකට අපේ රෙද්ද අස්සෙ රිංගන්න එනවද කියල මං දන්නෙ නෑ... ඒ ඔක්කොටම මේක නිවාඩුවට ආතල් එකක් ගන්න හොද අවස්ථාවක් වගේ.. අමාරුවෙන් හම්බකරගත්තු ඩොලර් ටිකටත් මේ දවස් වල අපමණ අගයක් ලැබෙන  නිසා තවත් වාසියි.


 මේක එපා කියල මං ගියානං මටත් සීන් එක අදාලයි..

නිකමට හිතමු, ඇති හැකි, උගත් මිනිස්සු ඕක්කොම ලද අවස්ථාවෙන් වෙන රටකට පැනල පුරවැසියො උනා කියල..., එතකොට මේක ගිලෙන එක නතර වෙයිද? කවදාවත් නෑ.. උගත්තු, හඩක් තියෙන එවුන් මේකෙ නැතිවෙන තරමට පාලකයො කියල පක්ෂ දෙක තුනක් හදාගෙන දෙකෝටි විසි ලක්ෂෙකින් සුපිරි ආතල් එකක් ගන්න යාලුවො සෙට් එක හරි කැමතියි.

ඉතිං..., පැනල ගිහින් වෙන රටක පදිංචි වෙලා මේක කරගෙන යන්න ඕනි විදිය ගැන පොර ටෝක් දෙන මහප්‍රාණ ඩයලුයි ලව් කරන කෙල්ලට ගෙදරින් අකමැතියි කියල බෙල්ලෙ වැල දාගන්න ඩයලුයි අතර වෙනසක් පේනවද?
     
            මේ රට අපේ නම් මේක වෙනස් කරන්න  ඕනි අපිමයි..වෙන රටක පුරවැසියෙක් වෙලා ඉන්න,තමන් ගැන විතරක් හිතන හිවල්ලුන්ට වඩා තීරණ ගන්න අයිතිය තියෙන්නෙ අපිට.. ඕකුන්ගෙ පොර ටෝක් ටික නිවාඩුව ඉවර වෙනකන් විතරයි.ඊට පස්සෙත් යකඩ එක්ක හැපි හැපි වලලෙන්නෙ අපි විතරයි.. උන් ආයෙත් සමර් එකට ඇවිත් බලල යයි...

Thursday, December 6, 2018

කරන්න දෙයක් නෑ බ්‍රදර්

මං, 

නුගේගොඩ පාලම පහු කරන් මහරගම පැත්තෙ හෝල්ට් එකට යන ගමන්

අපිලිවෙල හුලං රටාව ඉගි කලේ  වැස්සක් වැටෙන්න ඔන්න මෙන්න කියල

හැමෝම තම තමන්ගෙ රැකියා කටයුතු ඉවර කරල  කඩිමුඩියෙ ගෙවල් වලට යන ගමන්

දවල් දවසම කෑමකට වත් වෙලාවක් නැතිව ලිපි ගොනු සකස් කල තෙහෙට්ටුවෙන් හිටි මං ගමන ඉක්මන් කලේ වැස්සට කලින් නවාතැනට යන්න.කොට කලිසම් දෙකක් ඇද ගත්තු කොල්ලො දෙන්නෙක් ෆෝන් එක දිහා බලාගෙන මගේ ඉදිරියට එනව.පාරෙ යන වාහන වල එළියෙන් කොල්ලො දෙන්නගෙ මූණ ඒ තරම් හොද නැති බව මට පෙනුනා.
අයියෙ රුපියල් සියක් ගන්න නැද්ද? මං ඉස්සරහ නැවතුන ඒ දෙන්න අහනව
අැයි මල්ලි?
බයික් එක පොලිසියෙන් ඇල්ලුව අයියෙ.. ගෙදරට කෝල් එකක් ගන්න ෆෝන් එකේ සල්ලි නෑ.. ඒකයි
එහෙමද.....
 පර්ස් එක අතට ගත්තු මං දවල්ට නොකාපු නිසා ඉතිරි උනා කියල සංතෝස වෙච්ච  මුදලින් රුපියල් සීයක් අරන් දුන්න.
කොල්ලෙක් විදියට කොර උනාම කොයි තරම් අසරණ වෙනවද කියල මට අමුතුවෙන් කියන්න ඕන කමක් තිබ්බෙ නෑ.කවුරු උනත් උපකාරයක් ඉල්ලුවම කරන එක පිං අයිති වෙන වැඩක් කියන අදහස ඔලුවට දාගෙන අතේ තිබුණ මුදල නැති උනු දුක වහගත්ත..

කොල්ලො දෙන්න යන්න ගියා
මං තව අඩි දහයක් පහලවක් ඉස්සරහට යන්න ඇති.බෑග් එකක් එල්ල ගත්තු තරුණයෙක් මං එනකන් බලන් හිටිය වගේ
මචං අරුන් දෙන්න මොනවද කිවුවෙ?
උන්ගෙ ෆෝන් එකේ සල්ලි නෑ කියල සීයක් ඉල්ලුව... මං දුන්න බං
අඩේ මගෙනුත් පණහක් ඉල්ල ගත්තනෙ
ඒක අහපු වෙලේ ඉදන් කොහේදෝ තිබ්බ බඩගින්න ආයෙත් මතු උනා.දුන්නත් රුපියල් සීයක්ම දුන්නෙ ඇයි කියන එකට මගේ හිතේ සමාවක් ලැබුණෙ නෑ.
 ------------------------------------------------------------------------------------------------------------------------
ආයෙමත් මේ ලගකදි
තුම්මුල්ල හන්දියෙ.. ගාලු පාරෙ ඉදන් පොලිස් පාක් පැත්තට ඇවිදන් යන ගමං.
ඔපිස් එක ලග පාකින් නැති වෙයි කියල හිතල හෙවනක් යට නතර කරන්න, පොලිස් පාක් ලගටම යන්න ඕනි කියල  හිතුනෙ ඇයි කියල මට තවම තේරෙන්නෙ නෑ
කාර්යාල සේවක පෙනුමෙන් හිටි තලතුනා මනුස්සෙක් දෙමළෙන් මට කතා කලා...
කතාවෙ හැටියට දෙමළ තේරෙනවද  කියල තමයි ඇහුවෙ..
පෙනුමත් දෙමළ වගේ නිසා මට ඒක මහ ලොකු දෙයක් උනේ නෑ..
නොතේරෙන බව අගවන්න මං ඔලුව වැනුව
මල්ලි පර්ස් එක නැතිවෙලා..මට රුපියල් පණහක් ගන්න තියෙනවද
පරණ අත්දැකීම් මතක් උන මං සල්ලි නෑ කියල හැරිල ආව
 ඇත්තටම සීයෙ කොල දෙක තුනක් එක්ක පර්ස් එකේ තිබ්බෙ තව කාසි කීපයක් විතරයි
පහු වෙලා යනකන් අර මනුස්සය මට බණිනව
හදිසියට උදව්වක් කරන්නෙ නෑ කියල

මං මොකක්ද කරන්නෙ...

දුන්නොත් රැවටුනා කියල දුකයි.. නුදුන්නොත් ඉල්ලුව මනුස්සය පව් කියල  දුකයි

වඩා හොද දේ කියල නොදී හිටිය.හිතට අවුල් උනත් මට ඉතුරුවක්...

වෙන කරන්න දෙයක් නෑ බ්‍රදර්