Saturday, October 28, 2017

ස්පාඤ්ඤය - කැටලෝනියාව හා අපි

අපි හරි අමුතු රටක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැත.බලය නැති තැන ජාත්‍යාලය දෝරෙ ගලන මිනිස්සුන්ට බලය ලැබුණ දවසට මොකක්දෝ ලෙඩක් හැදී පෙර තිබූ ජාත්‍යාලයට හෙණ ගසා කොහෙන්දෝ ගෙනත් ඔලු ගෙඩිය උඩට අතාරින මහා බහුසෘත කමක් ආරූඩ වෙන්නේය. ඊට පස්සේ උන් හිතන්නේ ලංකාවේ උතුරුකරේ ඉන්න එවුන්ට කන්න අදින්න ලැබෙන එකට රටේ අනිත් තැන් වල ඉන්න එවුන් ඉරිසියාවේ මැරෙන්න හදන බවය.උන්ට තියෙන නරකම දේවල් ප්‍රෙයා්ජනයට දී ඉස්තරම්ම දේවල් අපි ලග තියාගන්නවා වගේ ලයින් එකක්ය.කොටින්ම කියතොත් රටේ අනිත් එවුන්ට , විශේෂයෙන් සිංහල බෞද්ධ එවුන්ට හතර මහ නිධානය ලැබිලා කියාය.ඉතිං දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුම් හොයන්නට උන් මහන්සි වන්නේය.හරි හමං ආදායමක් නැතිව හම්බ කරන සොච්චමෙනුත් බදු පිට බදු ගෙවන රට වැසියන්‍ෙ නොමැරී ඉන්නේ කොහොමදැයි උන්ට හාවක් හූවක් නැත.දෙමලුන්ට විසදුමක් නොදී අනිත් ඒවා කොහොම කරන්ටද!
                            ජාත්‍යාලය පෙන්නාගෙන රැල්ල හැදුවාට කිසිම එකෙක්ට පාලනයට එන්නට බැරි නිසා හක්කට බුදු රැස් තියාගෙන බොක්කේ දඩ මස් හංගා ගන්නට නිකන්ම සිද්ද වන්නේය.බලය ලැබුණාට පසු දඩ මස් දිරවන්නට පටන් ගත් විට විරේක කලද නවතා ගන්නට බැරි බව උන්ට තේරෙන්නේ නැත.තේරුණත් ඉන් එහා දෙයක් කරන්නට ජාත්‍යන්තරය කියනා කුම්මැහියන් ඉඩ දේන්නේද නැත.
                                                  ඔය ජාත්‍යන්තරය කියන එවුන් හිතාගෙන ඉන්නේ යුරෝපාකරේ රටවල් වල තරම් මිනිස්සුන්ට තියෙන නිදහස සමෘද්ධිය අනිත් රටවලට ගෑවෙන්නට වත් නැති තරම් කියාය.ඉතිං උන්  අපේ බෙල්ලෙන් අල්ලාගෙන මිරිකද්දී අපිට තවම මැරුණේ නැතැයි කියා සංතෝස විය යුතුය.උන්ට අපි හොදින් ඉන්නට හැදුවාට වැඩක් වෙන්නේ නැත.උන්  කියන හොදේ තියෙන්නට ඕනිය.එහෙම බැරිනම් මොන අයියාත් ගෙදර ගොස් කුඹුරක් කරන් ජීවත් වෙන්නට ලෑස්ති විය යුතුය.සල්ලිකාර ජාත්‍යන්තරේ ඔහොම්මය!
                           යුරෝපයේ රට්ටුන්ටත් උතුරේ දෙමලුන්ට ප්‍රශ්නයක් තියෙන බව කවුරුන් හෝ කියා ඇත.එය එසේ නොවෙතිය කියන්නට කොච්චර හැදුවත් උන්ට ඒවා අලින්ට වැයූ වීනා වගේය.ඉතිං ඒ ගැටලුව නිමන්නට නම් උතුරේ ඉන්න අයට කැමති දෙයක් කර ගන්නට නිදහස දිය යුතුය.හෙන ගහන්නට උන්ට කල්පනා වෙන්නේ ඒවාය.අපේ අයියලාද තමන්ගේ කොටස නියමිත කාලෙටත් කලින් ඉවර කරන්නට පුදුම උවමනාවක් ඇති වන්නේය.පාර්ලිමේන්තුවේ සාපෙල පේල් වෙලා තියෙන උන් විභාගය ගොඩ දාගන්නට මේ තරම් කැප උනා නම් උන් මෙලහකට කැම්පස් වලින් උපාදිත් අරගෙනය.(ඒත් තාමත් අපේ පාර්ලිමේන්තුවේ සාපෙල අසමත් උන් 94ක් ඉන්නවා කියා අමතක කරන්න ) උන්ට උවමනා උතුරු පලාතත් නැගෙනහිරත් එකතු කර අලුත් පලාතක් හදා දෙමලුන්ට සාධාරණය ඉෂ්ට කරන්නටය.කවදා හරි උන් මේ රටෙන් කෑල්ලක් අල්ලාගෙන අලුත් රටක් හදා ගන්නට පාර කපා දෙන්නටය.
                   දැන් මාතෘකාව ස්පාඤ්ඤය!! ඒ රටේ තියෙන්නේත් අපේ රටේ පලාත් සභා වගේ පොඩි ලයින් එකක් ය.ව්‍යවස්ථාවෙන්ම හදා දුන්නු බලතල තියන් ඒ ඒ ඒකක වල ගොයියලා සැපෙන් සනීපෙන් මෙච්චර කල් ජීවත් උනේය.යටින් ගිය පුංච් පුංචි හිත් අමාප කම් වලත්ත කම් නැත්තේම නැති උනත් වැඩ් ගානට ගලාගෙන ගියේය.යටින් තිබුණ පුංචි අමනාපකම් උඩුදුවා ගොහින් ස්පාඤ්ඤයේ සමෘද්ධිමත්ම කැටලෝනියා පලාතේ උදවිය ට තමන් වෙනම රටක පුතීලා කියා හදුන්වා දෙන්නට අයිඩියා පාරක් වැඩ කරන්නේ ඔය අතරේය.ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී තිබුණ ලබු ගෙඩි ටික නිසා උන් ඊයේ අලුත් රටක් යැයි කියා ගත්තේය.ප්‍රජාතන්තරේට හුගාක් කැමති ජාතියන්තරේ කැටලෝනියා පුරවැසියන් සාදරයෙන් පිළිගනියි කියා මට කල්පනා වෙන්නේ ඔය අතරේය.ඒ අයියලා අපිට දීපු ටෝක්ස් හැටියට මෙලහකට රටවල් එකසිය අනූවක විතර තානාපති කාර්යාල දාන්නට කැටලෝනියාවේ පෝලිම් තියෙන්නට උවමනාය.ඒ උනාට සිද්ධ උනේ වෙනමම සීන් කොන් එකක්ය.ට්‍රම්ප් ලොක්කා ස්පාඤ්ඤයට සහය පල කලේය.ස්පාඤ්ඤය කැටලෝනියා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේය.දැන් ස්පාඤ්ඤ විශේෂ බලකාය කැටලොනියාවට පිටත් කර යවන්නේය.හදිසියේවත් ස්පාඤ්ඤය ඇතුලේ වෙන රටක් හදන්නට දෙන්නේම නෑ වගේය.ලගක හිටියා නම් අම්මපල්ලා කියා මරියානෝ රාජයි ලොක්කා මගේ අතට උගේ අතින් ගසා පොරොන්දු වන්නට තිබුණේය.උන්ට එහෙම කරන්නට බලයක් ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ලබ්බක් හන්දා නොව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබ්බ නිසාය.එහෙම එකක් නොතිබුණා නම් මේ දවස් ටිකේ ස්පාඤ්ඤ කැටලෝනියා යුද්ධයක් බලමින් පොර ටෝක් ටිකක් ඉෂු කරන්නට අපිට වාසනාව ලැබෙන්නට තිබුණේය.
    දැන් ආයෙත් ලංකාවට!! අපේ ගොයියෝ ද අලුත් ව්‍යවස්තාවක් හදන්නට පුදුම විදියට දත කන්නේය.අනේ අපිට නම් ඕක හැදුවා කියා බඩ පිරෙන්නේ නැත.හතරවටේ ණය වෙලා තියෙන ණය ටිකෙන් රුපියලක්වත් අඩුවෙන්නේ ද නැත.ඒ උනාට දැන් ලංකාවේ තියෙන ලොකුම කේස් එක ඕකය.අපේ අයටත් උවමනා අර දෙමල අයියලාට තමන් විසින් තමන්ව පාලනය කොරන මොකක්දා් අටමගලකින් උන්ගෙ ප්‍රශ්නය විසදා දෙන්නටය.ඉතිං මධ්‍යම ආණ්ඩුවට තියෙන බලතල ටික ඕසෙට බෙදා දෙන්නට ලොකු ලොකු යෝජනා ගෙනෙන්නේය.අන්තිමට උනුත් අර එකෙක් වලි කකා දිනාගන්නට බැරුව මඩ වලක අවසන් ගමන් ගිය ඊලාම් රාජ්ජය ප්‍රකාශ කලෝතින් අපිට වෙන්නේ අතීසාර වෙච්ච දවසට පුපට මැහුම් දැම්මා වාගේ ඉන්නටය.

 ඒ උනාට අපේ ජනාධිපති උත්තමය.හ: ස්පාඤ්ඤෙ වගේ නෙවෙයි.රට බෙදෙන කිසි දෙයක් කරන්නට දෙන්නෙ නෑ කියල දහ අතේ දිව්රනව.ඒ මදිවට අගමැති මහත්තය.උන්දැ ඊට එහා.රට බෙදන්නට දෙන්නෙම නෑ කියන්නෙ.යකෝ සම්පන්දන් ගොයියත් කියනව එකම රටක් මිස වෙන එකක් නම් එපාමයි කියල.
             මේ මුන්ගෙ බොරු කෙහෙල්මල් නෙ.කොරහෙ කිඹුල්ලු දකිනව.රෙද්ද!

කාටවත් කියනව හෙම නෙමෙයි.මේ පොඩි එකා කටකහනවට කියෝපුව ඒ තරම් ගණන් ගන්න දෙයක් නෑ අායිබොං

Thursday, October 19, 2017

රන්දී - පියවර 11

"ප්‍රොමිස් අනේ.. මොනව උනත් අපි හොද යාලුවොනෙ.යාලුවන්ගෙ දේවල් යාලුවො එක්ක කතා කරන්නෙ නැතුව වෙන කා එක්ක කතා කරන්නද..."
ඉන්දුගේ කතාව එක අතකට නිවැරදිය.අනවශ්‍ය දේවල් ඔලුව තුල පුරවා ගත් විට අවශ්‍ය දේවල් දමා ගැනීමට නොහැකිය.එනිසා අසා සිටීමෙන් ඉන්දුලාට කිසි වැඩක් නොවෙතත් මගේ කතාවට මුල පිරුවෙමි.

"දන්නවනෙ ඉන්දු අපේ තාත්ත තීන්ත බාස්.තාත්තගෙ පඩියෙන් තමයි අපි හතර දෙනාම ජීවත් වෙන්නෙ.ඒත් ඉතිං තාත්තට හැමදාම වැඩ හම්බවෙන්නෙ නෑනෙ.අපෙ ආච්චියි සීයයි මැරුණට පස්සෙ තාත්තට මහ ගේ අයිති උනා.මහ කිවුවට ඒක බොහොම පුංචි ගෙයක්.වැටිල ඉන්න තැනක් තිබ්බට අනිත් දේවලුත් සම්පූර්ණ වෙන්න එපැයි ජීවිතේ හොද වෙන්න.තාත්තට වැඩ නැති දවස් වලට අපේ වියදම් වලට මාර ගේමක් ගහන්න ඕනි.සමහර දවස් වල ක්ලාස් පීස් ගෙවන්නෙ වත්තෙ හැදෙන කෙසෙල් කැනක් එළවලු ටිකක් විකුනල.නෑදෑයො කියල ඉන්න එවුන්ගෙන් සත පහක වැඩක් නෑ.ඕව නිසා හොදට ඉගෙන ගන්න පුලුවන් අක්ක එකපාරක් උසස් පෙල ලියල රස්සාවක් හොයා ගත්ත."
    "මේව දැන දැනම මං තවත් ඉගෙන ගන්න වියදම් කරන එක මගේ හිතට පුදුම අවුලක් තියෙන්නෙ.මේ දේවල් තුෂාරයට ගයානයට කියලවත් හිත නිදහස් කරගන්න මං ට්‍රයි කලේ නෑ.උන් උනත් මගේ දිහා අසරණෙක් දිහා බලනවට මං කැමති නෑ..."
මං ඔහේ කියවාගෙන ගියෙමි.අඩු තරමේ පැය බාගයක් වත් මං එසේ කියවන්නට ඇත.ඉන් පසු කාලයක් පුරා පුපුරු ගසමින් හිත තුල තිබූ සියලු දේ රන්දීටත් ඉන්දුටත් රහසක් නොවීය

"එතකොට අක්ක දැන් මොකක්ද කරන ජොබ් එක?"   
 මගේ කතාවට මොහොතක් වික්ෂිප්ත වී සිටි රන්දී විමසුවාය
"ටවුමෙ පොත් කඩේක වැඩ කරන්නෙ.පලවෙනි පාර රිසල්ට් එකෙන් උනත් එයාට හොද ජොබ් එකකට යා ගන්න පුලුවන්.ඒත් ඒ වෙනකන් කීයක් හරි හම්බකරන්න ඕනි කියල එයා වැඩට යනව.හම්බෙන පඩියෙන් එයාගෙ වියදමට අරන් මටත් කීයක් හරි දීල ඉතුරු වෙන්නෙ කීය උනත් අම්මගෙ අතට ගෙනත් දෙනව වියදමට.ඒත් අම්ම සතයක් වත් වියදම් නොකර අපිට බෑන්ක් එකවුන්ට් හදල ඒවට සල්ලි දානව.කවදාම හරි දවසක ඕනි වෙයි කියල."

"මට මේව උඹලට කියන්න ලැජ්ජ නෑ.කාටවත් මගේ ප්‍රශ්න නොකිය ඉන්න හිතං හිටියට ඒ දේවල් කාට හරි කියල හිත නිදහස් කරගන්න එක ඊට වැඩිය හොදයි.අපේ අම්ම අපිව ජීවත් කරවන්න දගලන හැටි දැක්කම මට මේ හැම දේම දමල ගහල ගිහිං රස්සාවක් කරන්න හිතෙනව.උදේ පාන්දරම ඇහැරගෙන තාත්ත එක්කඑකතඅ වෙලා කඩයප්පං හදල කඩ ගානෙ හිගින් විකුණගෙන එන ඒ දෙන්න අපිට කවදාකවත් අඩුපාඩුවක් තිබ්බෙ නෑ.එයාල නොකෑවත් මටයි අක්කටයි කන්න දුන්න.මට ඒව ඉවසන් ඉන්න බෑ.අපි වෙනුවෙන් අම්මයි තාත්තයි විදින දුක ඇත්තට ම මට දරා ගන්න අමාරුයි."
                          "උඹල මේව ඇහුවම පුදුම හිතෙයි.හරියට පරණ නවකතාවක් වගේ කියල.ඒත් තවම එහෙම මිනිස්සු ඉන්නව."
       "මට පලවෙනි පාරෙන් ගොඩ යන්න පුලුවන් වෙයි කියල මං හිතන්නෙ නෑ.කොහොමටත් ඒකට වග කියන්න ඕකි මමම තමයි.මෙච්චර කට්ටක් කාල මාව ඉස්කෝලෙ යවන පංති යවන අම්මයි තාත්තවයි  අමතක කරල පහු ගිය කාලෙ පිස්සු නටපු හන්ද විභාගෙ ෆේල් උනාම මට මැරෙන්න හිතෙයි...."

"ඔයාලට ගොඩ යන්න තියෙන්නෙ ඔයාගෙ ඉගෙනීමෙන්ම තමයි රොෂාන්.ගොඩදාගනින්..ඔයිට වඩා කට්ට කාපු  එවුන් දැන් හොද තැන් වල ඉන්නෙ උන් කාපු කටු වලින් පාඩම් ඉගෙනගෙන ජීවිතේ හදාගත්තු නිසා."
   "මැරෙනව කියල නිකන් කියනකොට නම් ඒක හරි සරලයි රොෂාන්... ඒත් උවමනා උනත් උඹට එහෙම මැරෙන්න බෑ.අපි ඉපදිච්ච මේ පොලවට ණයයි බං.උ‍ඹේ දෙමව්පියන්ට අක්කට යාලුවන්ට මේ රටට පුලුවන් විදියට යුතුකම් ඉෂ්ට කරපු දවසට විතරයි ඔයා‍ෙගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඔයාට අයිතියක් තියෙන්නෙ. එදාට උඹට මැරෙන්න ඕනි කියල හිතුනොත් මැරියන්...හැබැයි එතකන් උඹ ජීවත් වෙන්න ඕනි!"

ඉන්දුගේ වදන් බොහෝ වේලාවක් මා කල්පනාවේ ගිල්වීමට සමත් විය.

එතැන් පටන් මගේ හිත හැදෙන්නට ඉන්දූත් රන්දීත් බොහෝ දේ කියූවත් ඒ එකක් වත්  හිත ආසන්නයෙන් වත් ගියා දැයි විශ්වාස නැත.
විවේක කාලය සදහා සීනුව නාද කල පසු පරික්ෂණ සදහා විද්‍යාගාරය වෙත ගොස් සිටි මිතුරන් අපසු පැමිණියෝය.එතැන් පටන් මම ඔවුන් සමග ක්‍රිකට් ගැසුවෙමි.ක්‍රීඩාව අවසානයේදී පයිප්පය අසල අපි හැම දොනාම පොරකන්නට වූයේ දහඩිය සෝදා ගන්නටය.ඉඩ ලද සැනින් අවශ්‍යතාවය සපුරා ගත් මා පසෙකට වුනෙමි.මිතුරන්ද හිසේ සිට ගලාගෙන ආ දහදිය සෝදාගෙන මා අසලට පැමිණියේය.

"ඒයි හුඩා.... දන්නවද වැඩක්???"
 අරුණ බැරෑරුම් කමක් ආරූඩ කර ගනිමින් පවසන්නේ ව්‍යාජ දෙයක් නොවන බව අත්දැකීමෙන්ම අප දැනන් සිටියෙමු.
"මොකක්ද බං?"

"තම්බියගෙ කෙල්ලට ප්‍රේමාලෝකෙ එකෙක් කෝචොක් පාරක් දාලලු."

වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ සෆ්රාස් ට කවුරුත් කීවේ තම්බියා කියාය.අපේ පාසල තිබූ නගරයේම පිහිටා තිබූ සහෝදර පාසලකට ප්‍රේමාලෝකය යැයි නම පටබැදී තිබුණේ සැබෑ නම මදක් වෙනස් කරමිනි.කිසි දිනයක එම පාසලේ සැබෑ නම භාවිත නොකල අප  එය හැදින්වූයේ ප්‍රේමාලෝකය නමිනි.
"මොකද කරන්නෙ? අදම ගේමක් දෙනවද ඌට?"
පෞද්ගලික තරහක් නැතත් මට ප්‍රේමාලෝකයේ ඉගෙන ගන්නා උන් වහ කදුරු මෙන් වූයේ විදුහල් දෙක අතර තිබූ තරගය නිසා ය.එය භෞතිකව පෙනෙන්නට තිබූ තරගයක් නොවුනත් අධ්‍යාපනයෙන් හෝ ක්‍රිඩාවෙන් අප අභිබවා නොයන තැනට අප හැම විටම කටයුතු කලෙමු.එනිසා සිසුන් අතර සෑම විටම සීතල තරගයක් ඇති වී තිබුණි.
"මොන කතාද ඔන්න කොමස් එකයි ආට් එකයි දැනටම රෙඩි."    සහන්ද කතාවට හවුල් විය.
"අපරාදෙ බං.. අද අපේ කට්ටියත් නෑ.... මුලු සයන්ස් එකටම ඉන්නෙ අපි ටික දෙනා විතරයි...මොනව කරන්නද ඉතිං..යමං හවසට"
මගේ කතාව සියලු දෙනා හිස සලා අනුමත කලෝය.

Monday, October 9, 2017

Paraviyangala- belihul oya (ආදර කන්ද)





මේ අපේ පලවෙනි කෑම්පින් අත්දැකීම.ඇවිදින්න යන්න, කෑම්පින් කරන්න ගොඩාක් ආසාවෙන් හිටියට ඒක හැමදාම කල් ගිය හීනයක්.ඒත් දවසක් වාහන වහන ටෙන්ට් විකුණම්න් පාරෙ ගිය මනුස්සෙක් නිසා ඒ හීනෙට පාර එළි උනා.මමයි අයියයි ක්ෂණිකව ගත්තු තීරණයක් නිසා ඒ ටෙන්ට් එක සල්ලි වලට ගත්ත.සැලකිය යුතු ඉඩක් හදා ගන්න ඒ හොදටම ඇති.ටෙන්ට් එක ගත්තට කෑම්පින් කරන්න යන්න තැනක් වත් කෑම්පින් කරන මොකක් හරි පිලිවෙලක්වත් අපි දැනන් හිටියෙ නෑ.නමුත් වෙන ඕන දෙයකට සූදානමින් හරියටම සතියකුත් දවස් දෙකකින් උදා වෙන්න තිබ්බ ඔක්තෝම්බර් 4 වෙනිද බෙලිහුල්ඔය ආදර කන්ද නගින්න අපි එකග උනා.එකතු කරගන්න පුලුවන් උන පිරිස 6 දෙනයි.

                                           (පරවියන්ගල  කදු යාය -  උසේ පිලිවෙලින් යා යුතුයි)

   පිටත් වෙන්න කලින් ආදර කන්ද ගැන හොයාගන්න පුලුවන් උන විස්තර ප්‍රමාණය අල්පයි.බෙලිහුල්ඔය කැම්පස් එක ලගට යනකන් අපේ ගමන පටන් ගන්න ඕන කොතනින්ද කියලවත් අපි දැනන් හිටියෙ නෑ.එක අතකට ඒක හොදයි.කෑම්පින් වලට අලුත් අපිට බින්දුවෙ ඉදන් හැම දේම ඉගෙන ගන්න පුලුවන් උනා.ඊලග ගමන සැලසුම් කරන්න ඒ අත්දැකීම් ඕනවටත් වඩා.කොහොම උනත් පේරාදෙණිය කැම්පස් එකට හන්තාන වගේ සබරගමුව කැම්පස් එකේ අයට තියෙන්නෙ ආදර කන්ද හෙවත් පරවියන්ගල. 
                          සබරෙ ගිය කොල්ලෙක් නම් මේ ආදර කන්ද එක වතාවකට වඩා නැගල තියෙන එක ස්තිරයි.ඒ තරමට සබරෙ කොල්ලො ආදර කන්ද එක්ක සම්බන්ධයි.පරවියන්ගලට ආදර කන්ද කියල නම වැටෙන්නත් සබරගමුව කැම්පස් එක හේතු වෙලා.ජූනියර් බැජ් එක ඇවිත් ටික දවසකට පස්සෙ ජ්‍යෙශ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යා වො අලුත් අය මේ කන්ද නගින්න උනන්දු කරන එක සම්ප්‍රදායක්.ඉතිං තමන්ගෙ බැජ් එකේම හිත ගත්තු ගෑනු ලමෙක් ඉන්න පිරිමි ලමෙකුට මේ කදු තරණය තමන්ගෙ හැගීම් ප්‍රකාශ කරන්න හොදම අවස්ථාව.බොහෝ වෙලාවට මේ දුශ්කර කදු තරණයට සහය වෙලා කන්දෙන් බහින්නෙ ප්‍රේමවන්තයො වෙලා කියන එක ප්‍රසිද්ද කතාවක්.ඉතිං එහෙම තැනකට පරවියන්ගල කියනවට වඩා ආදර කන්ද කියල නම් කරන එක උචිතයි කියල ඒ අය හිතන්න ඇති.
             ගමන පිටත් වෙන්න කලින් අපි ඕනි කරයි කියල හිතුනු දේවල් ලිස්ට් එකක් ගහන් ඒ දේවල් එකතු කලා.ගෙවල් වලින් සපයා ගන්න බැරි දේවල් මුදල් එකතු කරල මිලදී ගත්ත.එහෙම ගත්තු ආහාර ද්‍රව්‍ය ඇරෙන්න අනිත් හැම දෙයක්ම වගේ නැවත පාවිච්චි කරන්න පුලුවන් දේවල්.

*ගල් අගුරු පැකට් එකක් (පින්න හෝ වර්ෂාව නිසා දර අවුලන්න බැරි උනොත් කෑම සකස් කර ගැනීමට)
*නයිලෝන් ලණු (ටෙන්ට් එක අටව ගන්නත් හදිසියකදි පාවිච්චි කරන්නත් )
*ඉටි රෙද්දක් (අතර මග වර්ෂාවක් ඇති උනොත් ඒ වෙනුවෙනුත් නිදාගනිද්දි බිමට එලන්නත්)
*සාස්පානක්
*මූලික ප්‍රථමාදාර (පෙනඩෝල්,පිරිටන්,සිද්ධාලේප,පුලුන්, වෙලුම් පටි, තුවාල සදහා දමන බෙහෙත් )
*කල්තබා ගතහැකි පාන් 
*ක්ෂණික නූඩ්ල්ස් පැකට් කීපයක් ( ගමන් සගයො එක් අයෙක්ට එක බැගින්)
*ලයිටරයක් (මේ වගේ ගමනකට ගිනිපෙට්ටි කිසිම විදියකට ගැලපෙන්නෙ නෑ)
*Nescafe 3 in 1 පැකට් කීපයක්.
*මදුරු කොයිල් එකක්
*චීස් 
*තක්කාලි ගෙඩි කීපයකුත් සමග ලොකු ලූණු ගෙඩි කීපයක්
*මීට් බෝල් ටින් එකක්
*පොලිතින් කවර කීපයක්
*භූමිතෙල් භාගයක්
*අගල් 6 පරාල ඇණ 10ක්


මේ පොදු භාණ්ඩ ලයිස්තුවට අමතරව තම තමන් වෙනුවෙන්
*අත් දිග ටී ෂර්ට් එකක්
*සපත්තු ජෝඩුවක්
*වතුර බෝතලයක්, කෝප්පයක්,පිගානක්
*තොප්පියක් 
*පිහියක් (අනිවාර්යය නෑ)
ඇතුලුව සුදුසුයි කියල හිතෙන  දේවල්

තම තමන් සූදානම් කරගන්න අවශ්‍යයි කියල හිතෙන දේවල් සූදානම් කර ගන්න කියල අපි 6 දෙනාවම කලින් දැනුවත් කලා.ගමනට බිස්කට් වැනි සරල ආහාර ගමන් සගයො ගෙනත් තිබුණා.ඒ වගෙම දහවල් ආහාර  තම තමන්ගෙ නිවෙස් වලින් අරන් යන්න තීරණය කලා.
සියලුම දේවල් බෑග් වලට බෙදාගෙන අපි බෙලිහුල්ඔය කැම්පස් හන්දියට එහෙමත් නැත්නම් පඹහින්න හන්දියට යද්දි දවල් 12ට විතර ඇති කොළඹ බදුල්ල මාර්ගයෙ යන බස් රථයකින් හරි බලංගොඩට ඇවිත් එතැනින් පඹහින්න බස් එකක නැගල උනත් පඹහින්න හන්දියට යන්න පුලුවන්.එහෙමත් නැත්තන් කොච්චියෙන් හපුතලේට ඇවිත් කොළඹ හෝ බලංගොඩ බස් එකක නැගල පඹහින්න හන්දියෙන් බැහැගන්න පුලුවන්.
                                          හන්දියෙ හිටපු මිත්‍ර යෙක් ගෙන් පාර අහන් නමෝ විත්තියෙන් අපි ගමන පටන් ගත්ත.කැම්පස් එකට හැරෙන තැන තියෙන ඔරලෝසු කණුව ලග ඉදන් ප්‍රධාන පාරෙ බදුල්ල දෙසට මීටර 400කට ආසන්න දුරක් ගියාම වැලමිට වංගුවත් එක්ක වම් පැත්තෙන් ඉහලට යන පාර තමයි කදු මුදුනට යන්න තියෙන ප්‍රධානතම පාර.කොන්ක්‍රීට් ගල් කුට්ටි අල්ලා සකස් කරල තියෙන නිසා පාර සොයා ගන්න එක පහසුයි.අතුරු පාරට හැරුන තැන ඉදන්ම කන්දකට දුවන පාරක් කියල දැනෙන තරමට යන්න තිබුණු පාර කන්දක ස්වභාවයක් ගන්නෙ.කොන්ක්‍රිට් ගල් අල්ලල සකස් කරපු පාර මීටර දෙසීයකට ආසන්න දුරක් යද්දි ඉවර වෙලා එතැන ඉදන් පස් සහිත පාර පටන් ගන්නව.ඒ වගෙම පාරෙ පලලත් ත්‍රි රෝද රථයක පලලට වඩා අඩු වෙන්න පටන් ගන්නව.පාරෙන් හැරෙන්න තැනක් නැති නිසා කරන්න තියෙන්නෙ කෙලින්ම ගමනේ යන්න විතරයි.
                   ගම අවසන් වෙනවත් එක්ක අඩි පාර හැරෙන්නෙ වනගත ප්‍රදේශයකට. අඩි පාරක් උනත් කලු ගල් අතුරල කාලෙකට කලින් හොදින් තියෙන්න ඇති කියල හිතෙන තරමට නෂ්ටාවශේෂ තැනින් තැන ඉතුරුවෙලා තියෙනව.පඹහින්න මංසන්දියෙ ඉදන් කිලෝමීටරයකට ආසන්න දුරක් යද්දි අපි ලග තිබ්බ වතුර බොහොමයක් ඉවර වෙලා.මේ වගෙ ගමන් ගිහින් නැති නිසා ඇතිවෙච්ච මහන්සියට අපි ඉදිරිය ගැන නොහිතම ලග තිබුණු වතුර බොන ගමන් ඇවිද්දෙ.කොහොම නමුත් මේ වනගත මාර්ගය අවසන් වෙන්නෙ කාලෙකට කලින් ආරණ්‍ය සේනාසනයක් විදියට තිබුණු විශාල ගල් පව්වක් ලගින්.එතැනට කොළඹ බදුල්ල ප්‍රධාන පාරෙ ඉදන් කිලෝ මීටර එක හමාරක් විතර.අවාසනාවකට මීට අවුරුදු එක හමාරකට විතර කලින් ඇති වෙච්ච පරවින්ගල නාය යෑම නිසා ආරණ්‍ය සම්පූර්ණයෙන්ම විනාස වෙලා ඉවරයි.නාය නිසා ගසාගෙන ආපු පස් තට්ටුවට එතැන අඩි 20ක් විතර යට වෙලා.ගලේ ගල් කටාරම දැන් තියෙන්නෙ අතින් අල්ලන මට්ටමෙන්.
                                                                    ආරණ්‍යය තිබූු තැන
         
  ඇතිවෙච්ච මහන්සිය නිසා අපි ආරණ්‍ය තිබුණු තැන නැවතිලා ටිකක් විවේක ගත්ත.එතන තියෙන පිරිසිදු වතුර පාර අපේ හිස් වෙච්ච වතුර බෝතල් පුරව ගන්න උපකාර කලා.ගෙවල් වලින් අරන් අපු දවල් කෑම කන්නත් එතන ඉතාම හොදයි.
            ආරණ්‍ය ලග තියෙන පයිනස් කැලෑවෙන් තමයි හරියටම ගමන පටන් ගන්නෙ.පැහැදිලිව තියෙන අඩි පාර නිසා පාර හොයා ගන්න මහන්සි වෙන්න උවමනා නෑ.ගලා යන දොළ පාරෙන් එගොඩ උනාම පයිනස් කැලේ මැදින් දල බෑවුමක් නගින්න සිද්ද වෙනව.වේලිච්ච පයිනස් කොල අඩි පාරට වැටිල තියෙන නිසා තරමක ලිස්සන ගතියක් තියෙනව.ඒ පුංචි කදු ගැටේ නැග්ගම ගමන ඒ තරම් අමාරු නෑ.පයිනස් හෙවනෙ යන්න තියෙන නිසා අමුතු සුවදකුත් එක්ක හුලං සද්දෙ හොදින් අහන්න පුලුවන්.මීටර 300කින් විතර පයිනස් කැලේ ඉවර වෙනව.ඉන් පස්සෙ තියෙන්නෙ පොලව පුරා වැවුන පුංචි තණ වර්ගයක් විතරයි.අතරින් පතර පයින් ගස් කීපයක් තිබුණත් හෙවණක් වෙන්න ප්‍රමාණවත් නෑ.
        මෙනැත ඉදන් ඊලග සම බිම මුණගැහෙන්නෙ මීටර 400කට වඩා වැඩි දුෂ්කර, ලිස්සන සුලු අඩි පාරක්. දැඩි බෑවුමක් සහිත ඒ දුෂ්කර මාර්ගය ගෙවා දාන්න සෑහෙන වතුර ප්‍රමාණයක් උවමනා වෙනව.ඒ වගෙම කිසි හෙවනක් නැති නිසා මේ විවෘත තණ බිම තරණය කරන්න ඉර අවරට ගිය හැන්දෑවක් හෝ උදේ පාන්දර මිසක් දවල් 10 හවස 3 අතර කාලය නම් කිසි විදියකින් ගැලපෙන්නෙ නෑ.නුපුරුදු කාරයො වෙච්ච අපිට මේ දුෂ්කර මාර්ගයෙ යන්න කකුල් දෙක වගෙම අත් දෙකත් උපකාර උනා.
                                          පලමු ප්‍රධාන තැනිි බිම ට කලින් හමුවන දුෂ්කර බෑවුුම

                 දුෂ්කර ගමන අවසානයෙ තැනි බිම දකිද්දි දැනෙන්නෙ නිවන් ගියා වගේ.එතන කූඩාරම් කීපයක් අටව ගන්න ඕනවටත් වඩා ඉඩ තියෙනව.තැනි බිමට එපිටින් තියෙන පුංචි කැලෑ රොද ඇතුලෙ උනත් ඒ ඉඩ කඩ  ඉතිරි වෙලා තියෙනව.මහා නාය ගිය පාර මේ තැනි බිමට ඉතාම ආසන්නයෙ තියෙන නිසා කෑම්පින් කරන අයට අවශ්‍ය වතුර සපයා ගන්න හරි ලේසියි.විශාල ගස් ගල් පෙරලගෙන පහලට ගිය වතුර පාර අඩි විස්සකට වඩා ගැඹුරු කාණුවක් හදාගෙන ගිහින්.තවමත් ඒ කාණුව මැදින් නාය යන්න කලින් ගලා ගිය පුංචි දිය පාර ගලාගෙන යනව.
          ගමන් මලු තැනි බිමේ තියල අපි හැමෝම දිව්වෙ වතුර හොයාගෙන.ඒ තරම් විඩාවක් දැනෙන්නෙ ගමනෙ දුෂ්කර කම නිසාමයි.නාය ගිහින් විනාස වෙච්ච දොළ පාර මැදින් මොනවත් ම සිද්ද නොවුන ගානට තවමත් වතුර පාර ගලාගෙන යනව.අතිශයින් නොකැලැල් සීතල වතුර දෝතින්ම අරන් බඩ පිරෙනකන් අපි බිව්ව.ඒ සැනසීම හරි අමුතු හැගීමක්.ඇති වෙනකන් වතුර බීල අත පය හෝද ගත්තම හරි අමාරුවෙන් කන්ද නැගගෙන ආව මහන්සිය යටපත් උනා.නාය යෑමත් එක්ක දොල පාර දෙපැත්තෙ තිබුණු මහා ගස් ඇඹරිලා දෙකඩ කැඩිල තිබුණ.කෑම හදාගන්නත් ආරක්ෂාවට ගිනි මැලයක් ගහන්නත් ඇති තරම් දර ඉවුරු දෙපැත්තෙන් ගන්න පුලුවන්.ඒ දර ටික තව අවුරුදු ගානක් කදවුරු බදින්න උදව් වෙයි.මේ ගැන නොදැන අතට අහුවෙන දර ටිකත් උස්සගෙන අමාරුවෙන් කන්ද නැග්ග අපිට නිධානයක් වගේ තිබ්බ දර ගොඩ දැක්කම අපි ගැනම දුක හිතුන.
                  ඇති තරම් වතුර බීල බෝතල් වලටත් පුරවගෙන අපි බෑග් තියපු තැනට ගිහින් මුලින්ම කලේ තේ එකක් හදපු එක.නෙස්කැෆේ අරන ගියාට ඒක ඒ තරම් සාර්ථක උනේ නෑ.ඒ නිසා සීනි ටිකකුත් එක්ක ටී බෑග් ටිකක් අරන් යන එක තමයි හොදම දේ.ඉන් පස්සෙ අදුර වැටෙන්න කලින් කූඩාරම අටව ගන්න අපිට පුලුවන් උනා.කඹයක් එක්ක නයිලෝන් ලණුවක් අරන් ගිය නිසා කූඩාරම අටව ගන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ.ඒ වගෙම පරාල ඇණ ටික කූඩාරම අටව ගන්න ගොඩක් උපකාර උනා.
               කූඩාරම සකස් කර ගත්තට පස්සෙ අරන් ගිය භූමි තෙල් කූඩාරම වටේ ට විසිරෙව්වෙ අපේ ආරක්ෂාවට.සර්පයො උනුහුම තියෙන තැන් වලට ඇදෙනව කියල දැනන් හිටිය නිසා ඒ තර්ජනය වලක්ව ගන්න කරන්න පුලුවන් හොදම ප්‍රතිකාරෙ විදියට භූමි තෙල් යොදා ගත්ත. අපි ටික දෙනෙක් දාඩිය සෝදා හරින අතරෙ තවත් අය අපට අවශ්‍ය කරපු දර එකතු කලා.ඒ සියල්ලම සූදානම් කර ගනිද්දි රාත්‍රිය උදා වෙලා.රාත්‍රී කෑම වේල සූදානම් කරන්න තරම් කාලය ගත වෙලා නොතිබුණ නිසා පරිසරයෙ සුන්දරත්වය විදින්න අපට කාලයක් ලැබුණ.
                        පුංචි විදුලි බුබුලු දහස් ගාණක් දැල්වෙන බලංගොඩ නිම්නය අතිශයින් සුන්දරව පරවියන්ගල කන්දෙ කදවුරු භූමිය අසලට පේනව.පහලින් පෙනෙන සබරගමු විශ්ව විද්‍යාලය පැහැදිලිව අදුන ගන්න පුලුවන්.සීතල හුලං රැල්ලත් එක්ක ඇගට දැනෙන සනීපය විස්තර කරන්න බැරි තරම්.අවට සුන්දරත්වය ඇති තරම් විදපු අපි රාත්‍රී ආහාරය සකස් කලා.රෑ වේල මීට් බෝල් සමග පාන්!
                          වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්නත් ආලෝකය ලබා ගන්නත් කූඩාරමට මදක් එපිටින් විශාල ගිනි මැලයක් දල්වපු අපි නිදි මත එනකන් ආගිය තොරතුරු කතා බස් කරමින් කාඩ් සෙල්ලම් කලා.කාඩ් සෙල්ලමෙන් පස්සෙ රාත්‍රි යෙ විදින්න වෙන සීතටත් සූදානමෙන් අපි නිදාගත්ත.කූඩාරමක් ඇතුලෙ රැය පහන් කරන පලවෙනි දවස නිසා මහන්සියක් දැනුනත් ක්ෂණික නින්දක් ලගා උනේ නෑ.නොකැලැල් පිරිසිදු වාතාශ්‍රය  විදගනිමින් රාත්‍රි යේ පරිසරයට ඇහුන් කන් දෙන එකෙන් ආත්මයම සුවපත් වෙනව.
            පහුවෙනිද පාන්දරින්ම අවදි වෙච්ච අපි ඉර උදාව හරි අපූරුවට විද ගත්ත.එතැනින් පස්සෙ වතුර බෝතල් කීපයක් පමණක් ගත්තු අපි පරවියන්ගල මුදුනට යන ක්‍රියාන්විතය පටන් ගත්ත.පටන් ගත්තු තැන ඉදන්ම දල කන්දක් තරණය කරන්නට සිදු වන නිසා ගමන වෙහෙසකරයි.ඒ වගෙම දැඩි හිරු රැස් වැටෙන්න කලින් කදු මුදුනට යන ගමන පටන් ගන්න එක පහසුවක්.පැය දෙකකට ආසන්න ගමනකින් පස්සෙ අපි කදු මුදුනට ලගා උනා.ඒ චමත්කාරය විස්තර කරනවට වඩා දෑහින් බලාගන්න ලැබීම වාසනාවක්.ඇති තරම් ඒ දර්ශනය විදගත්තු අපි හැකි ඉක්මණින් කදවුරු භූමියට ආපසු එන්න පිටත් උනා.
         කදවුරු භූමියට ආ ගමන් අපි උදෑසන ආහාරය ලෑස්ති කලා.නූඩ්ල්ස් සමග නෙස්කැෆේ අපේ බඩගින්නට පිහිට උනා.ඒ වගෙම ශරීර කෘත්‍ය සදහා ජල පහරෙන් එපිට කැලෑ රොද  උපකාර උනා.එතැනින් පස්සෙ අති තරම් වතුර පුරව ගත්තු අපි ඉර මුදුන් වෙන්න කලින් ආපහු පිටත් උනා.අතර මගදි අපි ඉතුරු කරන් හිටිය පාන් චීස් ලූණු එක්ක තක්කාලි දාල සැන්ඩ්විච් හැදුව.ඒ නිසා බඩගින්න වදයක් උනේ නෑ කොයි වෙලාවකවත්.ආපහු එන ගමනෙදි ත් ආරණ්‍යය තිබුණු තැන මහන්සිය නිවාගන්න ටිකක් නැවතුනු අපි කන්ද නගින්න ගිය වෙලාවෙන බාගයක් ගතවෙද්දි ආපහු ආව.


සැයු
*පරවියන්ගල කාලගුණය ක්ෂණිකව වෙනස් වෙන සුලු නිසා වැස්ස/ සීතල ආදියට සූදානම් වෙලා යන්න
*දැඩි සුලං නිසා ගමනේ සුන්දරත්වය නැති වෙන්න පුලුවන්
*අනවශ්‍ය බඩු නිසා ගමන අපහසු වෙන්න පුලුවන්.ඒ නිසා අත්‍යවශ්‍ය දේ පමණක් අරන් යන්න
*වර්ෂා කාලයක් නම් කරුණාකර කදු තරණය අතහරින්න
*අධික වියලි කාලගුණය සහිත දින වල කදු යාය අවට මිනිසුන් විසින් කන්ද ගිනි තබන නිසා ඒ ගැන අතිශයින් සැලකිලිමත් වෙන්න
*ඔබ රැගෙන යන කිසි දෙයක් ඒ නොකැලැල් පරිසරයේ කොටසක් නොවන නිසා ගෙන යන සියලු දේ නැවත රැගෙන එන්න



චමත්කාරය තෙවැනි ඇසින්
https://www.facebook.com/profile.php?id=100009890866988&sk=photos&collection_token=100009890866988%3A2305272732%3A69&set=a.507436236262734&type=3&pnref=story