Wednesday, September 16, 2020

ජීවිතේ එතැනය


 උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ වීමට මත්තෙන් සියලු දුරකතන ක්‍රියා විරහිත කරන මෙන් නිවේදකයා ඉල්ලා සිටියේය.ඒ වන විටත් එය නිශ්ක්‍රීය කර ශාලාවට ඇතුලු වූ අම්මාට දුන් මා මිතුරු පිරිස අතර අසුන් ගතිමි.වසර හතරක දුෂ්කර ක්‍රියාවෙන් පසු එහි අග්‍ර ඵලය ලබන දිනයට ඔවුන් පැමිණ සිටියේ සැහැල්ලු සිතිනි.නානාවිධ වර්ණයෙන් යුත් සාරි වලට පිටින් පොරවා ගත් උපාධී ලෝගුව නිසා ඔවුන් සියල්ලක්ගෙන්ම ගාම්භීර පෙනුමක් දිස් විය. විශ්ව විද්‍යාලයට ඇතුලත් උනු මුල් දින වල නොයෙකුත් ගම් පලාත් වලින් පැමිණ සිටි අපි ඒ තරම් ලං නොවුනත් අවසානය වන විට එක කුස උපන් සහෝදර කැලක් මෙන් අපි බැදී සිටියෙමු.

විශ්ව විද්‍යාල මතකයන් අනුස්මරනය කරමින් සිටි මට පියවි සිහිය ලැබුණේ රවිදු සිහි වූ විටදීය..උසස්පෙල හදාරන අවධියේදී මිතුරු කමින් ඇරඹුනු අපේ සම්බන්ධය මාස කීපයක ඇවෑමෙන් ආදර සබදතාවයක් බවට පත්වීම අහම්බයක් නොවේ.ඔහු විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට අපොහොසත් උවද මගේ උසස් අධයාපනය වෙනුවෙන් අපිරිමිතව සහයෝගය දැක්වීය.විභාග ආසන්න වන විට සති ගණන් නිවෙසට නොගිය මා බලන්නට සතියට නිවාඩු ලැබූ එකම ඉරිදාවෙත් ඔහු කොළඹ පැමිණියේය.

ඉතිං, අධ්‍යපනයෙන් ලැබිය හැකි ඉහලම සම්මානයක් යැයි මං විශ්වාස කල උපාධි ප්‍රධානෝත්සවයේදී  කලු ලෝගුව ඇගලා උපාධි සහතිකයත් අතැතිව ඔහු සමග ඡායාරූපයක් ගැනීමේ මගේ ආශාව අසාධාරණ නොවනු ඇත.අනන්තවත් කාශ්ඨක වල මට හෙවන දුන් ඒ වෘක්ෂය, වැසි ලැබෙන විට අමතක කල නොහැක.

සේවා ආයතනයෙන් නිවාඩු ලබා ඔහු කොළඹ එන්නට පිටත් වී තිබුණේ උත්සවය ආරම්භයටත් පැය කීපයකට කලිනි..ශාලාවට ඇතුලු වීමට පෙරාතුව මා විමසන විට ඔහු සිටියේ පැයක දුරකිනි.අම්මාත් තාත්තාත් රවිදු ගැන නොදන්නා නිසා උපාධි සහතිකයත් රැගෙන ඔහු සමග ඡායාරූප ගැනීම පහසු කටයුත්තක් නොවේ.සියල්ලටම වඩා අපහසු අයියාව මගහැර යාමයි.

නියමිත වේලාව පසු වී මිනිත්තු  විස්සකට හෝ තිහකට පසු උත්සවය අවසාන විය.මිතුරු මිතුරියන් සමග ජංගම දුරකතන වලින් ඡායාරූප ගන්නා අතර තුර ප්‍රධාන ඡායාරූපය ලබා ගැනීම පිණිස අයියා පෝලිමේ තැබුවෙමි.අම්මා අත තිබූ ජංගම දුරකතනය නැවත ක්‍රියාත්මක කිරීමේදී මග හැරුණු ඇමතුම් දුසිමකට ආසන්නය.නියමිත වේලාව පසු වී තිබුණත් මගෙන් ඇමතුමක් නැති තැන ඔහු කලබල වන්නට ඇත.

ලද ඉස්පාසුවෙන් මං ඔහුට ඇමතුමක් ගතිමි.

සදූ මොකද ෆෝන් ඕෆ්? මං ඇවිත් පැයක් විතර ඇති.මොකද වෙන්නෙ බලන්න  කෝල් ගොඩක් ගත්තා.

නෑ අනේ ෆෝන් එක ඕෆ් කරල අම්මට දීල තිබුණෙ..ඔයා දැන් කොහෙද?

මං මේ පරණ බස් එක ලග.. වැස්ස නිසා කොහෙටවත් යන්න බෑ නෙ.

හවස තිස්සේම අනෝරා වැහි වැටුනු බව ශාලාව ඇතුලත හිටි අපට දැනුනේ නැත.බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇති ලංකාවේ ප්‍රථම ජනසතු බස්රථය හෙවන දෙන පියස්සට ඔහු යන්නට ඇත්තේ වර්ෂාවෙන් ආරක්ෂා වීමට විය යුතුය

හරි ඔතන ඉදන් කෙලින්ම එන්න.මං එන්නම්..

අම්මාටත් තාත්තාටත් මදකට හුන් තැනම රැදෙන මෙන් පවසා මං සෙනග අතර අතුරුදන් උනෙමි.

සුදු අත් දිග කමිසයත් කලු පැහැති කලිසමත් හැද කෝට් කවරයද රැගෙන වැස්සේම ඔහු මා සිටි තැනට පැමිණියේය

පොඩ්ඩක් තෙමුණා සදූ..අවුලක් නෑ නේද? 

කෝට් කවරය මා අතට දී ලේන්සුවෙන් වැහි බිංදු පිසිමින් ඔහු විමසයි..

කෝට් එකකුත් ගෙනාවද රවිදු?

ඔව්.. උපාධි ලෝගුව දාල ලස්සනට ඉන්න සදු එක්ක හොද පොටෝ එකක් ගන්න එපැයි..

මං මේ ආදරයට හැමදාම ලෝභ කරමි.මගේ ජීවිතයේ අංශු මාත්‍රයක් ගැන පවා ඔහු සැලකිලිමත් වන අයුරු අපූරුය.

හරි ඉක්මණට අපි පොටෝ එක ගමු.අම්මල හොයන්න කලින් එතනට යන්න ඕනි..

මේ ටයි එක දාන්න සදූ..

මේ කලබලකාර ආදරවන්තයාට තනිවම ටයිපටියවත් බදින්නට බැරිය....

යහලුවන්ගේ පිහිටෙන් අපි පොටෝ කීපයක් ගතිමු.මගේ ජයග්‍රහනයේ සැබෑ උරුමක්කරුවාට උපාධි ලෝගුව පැලද උපාධි සහතිකයක් දරන්නට වාසනාවක් නැති උවද ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුමය.මං මගේ කබායත් හිස් වැස්මත් බලෙන් ඔහු මත දවටා ඡායාරූපයක් ගත්තෙමි.පාංශූ දේහදාරී ඔහු ඒ ඇදුමට පුදුමාකාර ගාම්භීර ගතියක් පෙන්වූයේය..

රවිදු සමග ගත කරන්නට මිනිත්තු කීපයකට වඩා නැති බව අප දෙදෙනාම දැන සිටියෙමු... සතුට නිමා කර මං දෙමහල්ලන් සමග එකතු උනෙමි..

නැවත මට රවිදු සම්බන්ධ වූයේ උත්සවයෙන් පසු නිවස බලා යන අතර තුරදීය..අයියාත් තාත්තාත් කාර් රථයේ ඉදිරිපස සිටි නිසා පසු පස සිටි මට දුරකතනයෙන් කෙටි පණිවිඩ යැවීමට බාධාවක් වූයේ  නැත..

කෝට් එකත් රැගෙන බසයෙන් යාමේ අපහසුව නිසා පිටකොටුවේදී බසයෙන් බැසගත් ඔහු එතැන් සිට සම්මන්ත්‍රණ ශාලව වෙත පැමිණ තිබුණේ ත්‍රී රෝද රථයකින්ය.උත්සවය අවසන වන තුරු සිටි ඔහු නැවත පිටකොටුවෙන් බසයට නගින විට කුලී මුදල හයසිය පණහකට වඩා වැඩි වී තිබී ඇත.එතැන් සිට තවත් පැය තුන හමාරක් බස් රථයෙන් නිවසට යා යුතුව ඇත.අවසානයේ මැදියම් රැය ආසන්නයේදී බසයෙන් බැසගත් ඔහු නිවසට ගොස් තිබුණේ රාත්‍රී ආහාරය රෑ කඩයකින් ගත් පසුය.

මං ඒ අහිංසක ආදරයට පුදුමාකාර තරම් ලොභ වෙමි.විශ්ව විද්‍යාලයේදී නානාප්‍රකාර තරුණයන් මා පසු එද්දීත් නොසැලී ඉන්නට ධෛර්යය ලැබුණේ ඔහුගේ සිනහවෙන්ය.. අතෝරක් දුක් ගැහැට හමුවේදීත් මට ප්‍රාණය දුන්නේ ඒ ආදරයයි.. 

මියැදෙනා තුරාවට අනාගතයේ මගේ සහකරු විය යුත්තේ ඔහුමය..වචනයකින් පාසා මගේ වෙනස්කම තේරෙන්නේ ඔහුට පමණය...ජීවිතයේ සතුට ඇත්තේ ඒ දිලිසෙන දෑස තුලය...




No comments:

Post a Comment