Sunday, June 7, 2020

පරාදයි කොල්ලෝ




මුලින් කියන්න ඕනි මං නාට්‍ය හෝ ඒ සම්බන්ධ විශයක් හදාරල නැති සාමාන්‍ය මනුස්සෙක් වග.තණමල්විලයා මං දකින්නෙ සාමාන්‍ය රසිකයෙක් විදියට.මේ කතාව ගොඩක් ජනප්‍රිය වෙන්න මේ කොරෝනා වසංගතයත් හේතුවක්.කසිකබල් ඉංදියන් පඩංගුයි මුණියගෙ ඉණිමයි නතර උනාට පස්සෙ ප්‍රේක්ෂකාගාරය තණමල්විලයාට හැරුණ.සාමාන්‍යයෙන් මේ වගේ ටෙලියක් බලන අයයි නැති අයයි ඔක්කොම.අනික ගමක කතාවක් පෙන්නද්දි ඒක බලන්න හිතෙන් පොෂ් වෙන්න හීන දකින අපි කොහොමත් ආසයි.
මට හිතෙන හැටියට නලුවෙක් විදියට ලෝකයක් වටින රොෂාන් රවීන්ද්‍රගෙ පලවෙනි අධ්‍යක්ෂණය අසාර්ථකයි.පලවෙනි කාරණාව තමයි කාල පරාසය නිවැරදිව නිරූපණය  වෙන්නෙ නැති එක.හදුන්වා දීමේ වැඩසටහනේදි කියපු හැටියට මේ කතාවට පාදක වෙන්නෙ 1995-2006 කාල පරාසය.ඒ කාලෙ ජංගම දුරකතනයක් කියන්නෙ කොයි තරම් සුඛෝපභෝගී භාන්ඩයක්ද කියල දන්නෝ දනිති.අමතන්නා හදුනා ගැනීමේ සීඑල්අයි පහසුකම නොමිලේ ලැබුණෙ 2005 දි.හැබැයි ටෙලියෙ හැටියට දවසෙ ගතමන්ට් එකට ඔට්ටුවෙන ගැටවරයො අතේ ටෙලිෆෝන් තියෙනවා.සහ ඇමතුම දකිද්දි අමතන්නා කවුද කියල අදුනගන්නවා.ලැබෙන ඇමතුමටත් ගාස්තු අය වෙච්චි ඒ කාලෙ ගැටවරයො දුරකතන පාවිච්චි කරන විදිය දැක්කම 2000න් පස්සෙ ඉපදුන අයට නම් පට්ට ඇති.මට නෑ!
දෙවැන්න, තණමල්විල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කරයි.පසු කාලෙක පාරවල් කාපට් නොවුන නම් දැන් තියෙන පහසුකම් වත් ඒ පැත්තට ලගා වෙන්න තව කාලයක් ගත වෙනවා.ගම් වල හැදෙන මිනිස්සු රස්සාවක් හොයන් කොළඹ යන්නෙ පුදුම මානසික කැළඹීමකින්.ඒ දක්වාම හැදුන වැඩුන පරිසරය, පණට පණ වගේ හිටපු යාලු මිත්‍රයො දාල නොදන්නා රටකට (ඇත්තටම විභාග ඉවර කරල නොයෙක් වැඩ වලට කොළඹ ගිය මුල් කාලෙ ගමේ හිටපු මටත් ඒක වෙන රටක් වගේ) යද්දි දැනෙන හැගීම කොලුවාගේ මූණෙන් පෙන්නන්න අධ්‍යක්ෂකතුමා ට බැරිවෙනව.කාලෙකට කලින් රස්සාව වෙනුවෙන් කොළඹ යන්න ඒ වෙනකන් ගෙවපු ජීවිතේට තිත තියල ඇදුම් බෑග් උස්සගෙන බස් එකට නැග්ග මට ඒ හැගීම ගැන තදට දැනෙනව.

ඊලගට, ගම්වල සාමාන්‍ය විදියට හැදෙන අපි රබර් සෙරෙප්පු ගේ ඇතුලට දාන්නෙ නෑ.එලියට යද්දි සෙරෙප්පු දෙකක් දාන්න පුරුදු උනෙත් ඉස්කෝලෙ 9 10 පංති වල ඉද්දි.මොක කලත් ගෙට යද්දි සෙරෙප්පු හෝ සපත්තු දානෙ යන එක ලොකු වරදක් වගේ හැගීමක් අපට තියෙනව.යමක් කමක් තියෙන යාලුවෙක්ගෙ ගෙදරකට ඒ දවස් වල ගොඩ උනත් සපත්තු දෙක ගලවල ගියෙ  ඒකයි.හැබැයි කොලුවා කොළඹ ආවම ගමේ කොල්ලෙක්ගෙ තියෙන්න ඕන ඒ වගේ අහිංසක ගමේ කම පෙන්නන්න බැරි වෙලා.කොටින්ම ගමේ ඉදන් උපාධි ගැහුවත් කොළඹ සමාජෙට මුහුවෙද්දි තියෙන්න ඕනි කුලෑටි ගතිය, ආත්ම අනුකම්පාව වගේ කාරණා ඉස්මතු වෙන විදියට රගපෑම පෙන්නන්න කොලුවාත් බොසාත් අසමත්.
ඒ හන්ද මට නම්, 
පලවෙනි එක පරාදයි කොල්ලෝ.

No comments:

Post a Comment