Saturday, August 15, 2020

නායකයා

 මැතිවරණයෙන් ලද අන්ත පරාජය හමුවේ එජාපය  තුල නායකත්ව අර්බුදය උඩු දුවා ඇත.සජිත් ප්‍රමුඛ පිරිසගේ ඉවත්ව යාමෙන් පසු නායකත්වය කෙසේ උවද පක්ශය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු යැයි සිතූ පාක්ශිකයන් පවා රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය තව දුරටත් අනවශ්‍ය බව ප්‍රසිද්දියේ කියන්නට පවා පෙලඹී ඇත.

කිසිවෙකුත් මහමැතිවරණයෙන් එජාපය මේ තරම් පසු බෑමකට ලක් වෙතැයි සිතුවේ නැත.විය හැකි දරුණුතම අවස්තාවේදී පවා රනිල් වික්‍රමසිංහ කොළඹින් පරාජය  වීමක් අනුමාන නොකළද  දශක ගණනක රනිල්ගේ පාර්ලිමේන්තු දිවිය අවසාන විය.අගනුවර උගත් බුද්ධිමත් ජනතාවගේ තේරීම රනිල් යැයි තිබූ සම්මතයටද තවදුරටත් වලංගුභාවයක් නැති බව  සනාථ වී ඇත.

එජාපයේ නව නායකත්වය කා හට හිමිවේදැයි බොහෝ දෙනා විමසිලිමත් වන අතරතුර කරූ ජයසූරිය ප්‍රමුඛ නම් රාශියක් ඉදිරිපත්ව කටයුතු කරනා බව දැන් පැහැදිලිව ඇත.ඉතිහාසයේ ලැබූ අන්ත පරාජයට ලක්ව නන්නත්තාර වී ඇති එජාපයට තවත් මහල්ලෙකුගෙන් ඉටු කරගත  හැකි සේවයක් වෙතැයි විශ්වාස කල නොහැක.එබැවින් රුවන් විජේවර්ධන ද කරලියට එබිකම් කරමින් සිටී.

පරම්පරා උරුමය අනුව එජාපයේ අයිතිය රුවන් සතු උවද ඔහු ජනප්‍රිය නායකයෙකු නොවේ.එවන්නකුට එජාපය වැටී ඇති තැනින් ගොඩ ගැනීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇත.විකල්පය රණතුංග කෙනෙකි.

ජනප්‍රිය නායකයින් බොහොමයක් එජාපය හැරදා යද්දී අර්ජුන එජාපයේ රැදී සිටියේය.දූෂණ චෝදනා නැති අතලොස්සක් දෙනාගෙන් එක් අයෙකි.ඒ සියල්ලටම වඩා රට පුරා විහිදී පැතිරී ඇති පාක්ශිකයන් ගොනු කිරීමට තරම් ජනප්‍රියත්වය ක් අර්ජුනට ඇත.හම්පඩ නාකින්ට වඩා ගැම්මක්,කෙලින් කතාවක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු උපයාගෙන ඇත.ඉදින් විකල්පය විය යුත්තේ එවැන්නෙකි.ප්‍රධාන පක්ශ දෙක තුනට ගොනු වී ඇති දූශිතයන් වංචාකරුවන් පරාජය කර පිරිසිදු එජාපයකින් රටට සේවයක් කල හැකි ඉහළ මට්ටමේ ඇති පිරිසෙන් ප්‍රමුඛයා ඔහුය.

No comments:

Post a Comment