Wednesday, February 7, 2018

මතකයන්...



මේ හැම ඉස්කෝලෙකම වගේ ක්‍රීඩා උත්සව  තියෙන කාලෙ.ඉස්කොලෙන් අයින් වෙලා අවුරුදු එකොලහක් ගෙවිල මම මේ අවුරුද්දෙත් ඉස්කෝලෙ දුවගෙන ගියා ක්‍රීඩා උත්සවේ බලන්න.ගන්කන්දට ඇතුලත් උන දවසෙ ඉදන් අද වෙනකන් ගෙවුන අවුරුදු විස්සකට ආසන්න කාලෙදි මට යන්න බැරි උනා නම් ඒ එක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකට විතරයි.මොන රස්සාව කලත් මීට් එක දවසට එක විදියකට වැඩක් කරගෙන ඉන්න බැරි ලෙඩක් හැදෙනව.ඒක හරියන්න නම් ඉස්කෝලෙට යන්නම වෙනව.
           ගන්කන්දට යන්න කලින් මං ගිය කහවත්ත ප්‍රාථමිකේ නිවාසාන්තර ක්‍රීඩා උලෙලවල් තියා නිකන් තරගයක් වත් ඒ කාලෙ තිබුණෙ නෑ.ඉතිං ගන්කන්දට ගිය ගමන්ම අත්දැකපු නිවාස, ක්‍රීඩා උත්සව කියන දේවල් මට මැජික්! ඇතුලත් උන දවසෙම අපේ ඇතුලත් වීමේ අංකෙන් අපි අයිති වෙන නිවාසෙ මොකක්ද කියල තීරණය උනා.මං අයිති උනේ රුහුණට.හය වසරට අපි ඇතුලත් වෙද්දි නිවාසාන්තර ක්‍රීඩා තරග වලට තෝරා ගැනීම් පටන් අරන්.ඒ  කාලෙට උගන්නන්නෙ නැති නිසා අපිට තවත් සංතෝසයි.අලුත් ඉස්කොලෙ මුණ ගැහුන මුල්ම උත්සවය වෙච්චි ක්‍රීඩා උත්සවය දවසෙ මමයි තව යාලුවෙකුයි එකතු වෙලා අපේ නිවාසෙ පාටින් කොඩියක් මැහුව.මූලික තරග තියපු කාලෙ අයියල අක්කල තම තමන්ගෙ නිවාසෙ පාටින් කොඩි උස්සගෙන කට්ටියව දිරිමත් කරන එක දැකල අපිටත් හිතුන අන්තිම දවසට කොඩියක් හදාගන්න.කලින් දවසෙ ඉටි රෙද්දක් අරන් අම්මට කියල කොඩි කණුව දාන්න සාක්කුවකුත් මහගෙන මං ඉස්කොලෙ ගියෙ.මටත් යාලුවටත් මේ කොඩිය මැද අපේ නිවාසෙ නම ගහන්න ඕනි.දහ අතේ කල්පනා කලත් අපිට ඒකට ක්‍රමයක් මතක් උනේ නෑ.අන්තිමට සුදු කොල වලින් අකුරු කපල ඉටි රෙදි කොඩියෙ අලව ගන්න පුලුවන් උනා.ඉස්කෝල වත්තෙන් හොයා ගත්තු පොලු කෑල්ලකට කොඩියත් අමුණගෙන පිට්ටනියට දුවන් ගිහින් දෙපාර වනනකොට අකුරු ටික ගැලවිලා ගිහින්.අපිට ගානක් වත් නෑ.කලු තෙල් වලින් තණ කොල උඩ ඇදපු මංතීරු ලගටම වෙලා කොඩිය වනද්දි දැනුනෙ අමුතුම ගැම්මක්.ඒ අතරෙ තියෙන තරග වලින් අපේ නිවාසෙ අය දින්නම ඒ අයව තරග අවසන් කරන තැන ඉදන් නිවාස කුටියට එක්කන් එන්න වැඩිහිටි ශිෂ්‍යෙයා අපිව යවනව.ලොකු සෙනගක් බලන් ඉද්දි කොඩියකුත් අරන් පිට්ටනිය මැදින් යන එක දැනුනෙ පුදුමාකාර ආඩම්බර කමක් විදියට.ඒ ආඩම්බරකම නිසා සමහර තරග වලින් අපේ නිවාසෙ අය පැරදුනත් මම හරි යාලුව හරි කොඩියත් අරන් දුවගෙන යනව.ඒ මගේ පලවෙනි නිවාසාන්තර මළල ක්‍රීඩා උලෙලේ මතක.
           
                  කාලය ගෙවිල යද්දි අපි ඉහළ ශ්‍රේණි වලට ගියා.මමත් ක්‍රීඩා අංශ වලට සම්බන්ධ වෙලා ජයග්‍රහන වගෙම පරාජයනුත් අත් වින්ද.පාසලට ඇතුලත් වෙලා වසර කීපයක් ගත වෙද්දි නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක අභ්‍යන්තරය අපිට ටිකෙන් ටික තේරෙන්න ගත්ත.සාමාන්‍ය පාසල් කාලෙදි වැඩිහිටි ශිෂ්‍යයන් ලගකටවත් නොගන්න කණිශ්ඨ ශිෂ්‍ය යො වෙච්චි අපිට ක්‍රීඩා උත්සවය කාලෙට වටිනාකමක් ලැබෙනව.ක්‍රීඩා හැකියාව තියෙන කෙනෙක් නම් වටිනාකම වැඩියි.මං කොහොමත් ඒ වටිනාකමට ආසයි.ලොකු අයියල අක්කල ඇවිත් හුග කාලෙක ඉදන් දන්නව වගේ කතා කරද්දි,ක්‍රීඩා කරනකොට ඔල්වරසන් දෙද්දි දැනෙන්නෙ අමුතු හයියක්.

            පාසල් ජීවිතේ සුන්දරම කාලෙ තමයි 2006 අවුරුද්ද.ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ විභාගය ඉවර කරන් පාසලට ඇවිත් මාස කීපයකින් උදා වෙච්චි අවුරුද්ද.සාමාන්‍ය යෙන් ගන්කන්දෙ ක්‍රීඩා උත්සවයක බැඩි බරක් පැටවෙන්නෙ දොලහ ශ්‍රේණියෙ අයට.ඉතිං 2006 අවුරුද්දෙ ඒ වගකීම ලැබුණෙ අපිට.පලවෙනි නිවාස රැස්වීම  වෙලේ සභාපති විදියට මං තේරුණා.පුංචි කාලෙ ඉදන් ජයග්‍රහනය ප්‍රාර්ථනා කරපු නිවාසයෙ නායක කම!!! බලාපොරොත්තු උනා වගෙම අනිත් නිළධාරී මණ්ඩලයටත් හොද අය පත් උනා.එදා ඉදන් අපේ එකම ඉලක්කය ජයග්‍රහනය!
           නිවාසයෙ නායිකාව විදියට තේරුණේ මගේ ගජයෙක්.මෙච්චර කල් ජීවිතේ හුස්ම වගේ ලගින් ඉන්න අත්තිවාරම වැටුනෙ ඒ නායිකා කම වෙන්න ඕනි.නායකයෙක් විදියට මගේ කර උඩ වැටුනු හැම බරක්ම බෙදා ගන්න ඇය ලගින් උන්න.සැලසුම් හදන් ටිකෙන් ටික දින පහු කරන් යද්දි තරගකාරීත්වය වැඩි නිසාම හොදම යාලුවො පවා තම තමන්ගෙ නිවාස වල රාජකාරියට හිර උනා.හැමෝටම අවශ්‍ය උනේ තමන්ගෙ නිවාසය ජයග්‍රහනය කරවන්න.සමහර වෙලාවට යම් යම් අය අතරෙ නොයෙක් කාරනා නිසා පුංචි පුංචි ගැටුම් ඇති නොවුනම නෙවෙයි.ඒ සියල්ල මැද මං එක්ක හිටගත්තෙ නායිකා යෙහෙලිය සමග මගේ නිලධාරී මණ්ඩලය විතරයි.
        වෙහෙසකර දින ගණනාවකට අවසානයේ නිවාස සෑදීම සදහා නිදි නැති රැයකටත් පසුව සමාප්ති උත්සව දවස උදා උනා.ඒ වෙද්දි පලමු තැන ගන්න මගේ නිවාසයත් සමග තව නිවාසයක් කරට කර සටනක.අපි පුලුවන් හැම උත්සාහයක්ම අරන් අවසන් දවසෙ ක්‍රියාත්මක කරන ක්‍රීඩා ඉසව් වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න සැලසුම් කලා.ක්‍රීඩා උත්සවය අතරතුර විටින් විට නිවේදනය කල ලකුණු තත්වය නිසා හදගැස්ම තව තවත් වැඩි උනා.සියලුම තරග අවසානයේ ආචාර පෙළපාලිය ට පෙරාතුව මුලු පැල්මඩුල්ලම වසාගෙන මහා වර්ෂාවක් ඇති උනා.ඒ වෙද්දි මං හිටියෙ ප්‍රධාන වේදිකාවෙ.ආරාධිත අමුත්තන් ගුරුවරුන් සියල්ලම හිස් බැල්මෙන් බලා හිටියෙ ත්‍යාග ප්‍රදානෝත්සවය  හේදිලා යයිදෝ කියන සැකයෙන් වෙන්න ඕනි.ඇතිවෙච්චි වර්ෂාව නිසා ක්‍රීඩා පිටියෙ තණකොල වසාගෙන ජලය එක් රැස් උනා.මේ නිසා ත්‍යාග ප්‍රධානෝත්සවය අත්හැර දැමුනු බව නිවේදනය වෙද්දි මං මගේ නායිකා යෙහෙලියගෙ කුඩේ යටින් ඇයත් සමගම අපේ නිවාස කුටිය වෙත යමින් හිටියෙ.ජයග්‍රහනය රුහුණු නිවාසය ට හිමි වෙන බව හීනෙන් වගේ නිවේදනය වෙනව මතකයි.මං සතුටට මගේ සගයව තුරුලු කර ගත්තද කොහෙද.සති ගණනාවක මහන්සියෙ අග්‍ර ප්‍රථිපලය අපිට ලැබුණ සංතෝසෙ තවමවත් අකුරු වලට පෙරලන්න හැකියාවක් නෑ.ඒ වෙනකන් නිවාස වලට බෙදිල උරින් උර ගැටුනු අපි සියල්ල දැඩි වර්ෂාවක් ඇද හැලෙද්දිම පිට්ටනිය මැදට පැණල සතුට සැමරුව.නොහොද නෝක්කාඩු ඔක්කොම ඒ වැස්ස එක්ක හේදිලා ගියා.
         ඒ කාලෙ ඩිජිටල් කැමරා ෆේස්බුක් පිටු වගේ ඒව අපිට බොහෝ ඈතින් තිබුණු දේවල්.ෆේස්බුක් ලංකාවට ඇවිත් නැතුවත් ඇති.ෆිල්ම් රෝල් දාන කැමරා තිබුණෙත් එහෙමත් කෙනෙක් ලග.ඉතිං ජීවිතේ වටිනාම දවසක සැමරුම් සියල්ල මතකයට විතරක් ඉතිරි කරන් ගෙවිල ගියා.ඒත් මෙදා පාර මං ඉස්කෝලෙ ගියෙ නිකන්ම නෙවෙයි.අවුරුදු ගානක් තිස්සෙ අතින් වියදම් කරන් පාසලේ ක්‍රියාකාරකම් ආවරණය කරන සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයෙක් විදියට කැමරා ආම්පන්න ගොඩකුත් එක්ක.අපි අපිට ඉතිරි කරගන්න බැරි වෙච්චි සැමරුම් අපේම වර්ථමානිකයන්ට ඉතිරි කරල සියලු කටයුතු අවසානයේ නිශ්ශබ්දව පාසලෙන් ඇවිත් මුදල් එකතු කරල  තේ බිවුව.
 මං කවදත් ඒ කැපකිරීම කරන්නෙ හරි ආසාවෙන්!

මේ මගේ වෑයම                She is the one

No comments:

Post a Comment