Sunday, February 25, 2018

රන්දී - පියවර 15


"මේ පාර වැඩක් නෑ අම්මේ...."
එක එල්ලලේ පිලිතුරක් දීමට තරම් සිත ශක්තිමත් නැති නිසා මා සැනෙකින් කාමරයට වැදුනෙමි
"අනේ එක විශයක් වත් පාස් නැද්ද?"
අම්මා විමසිලිමත් වන ආකාරය පපුව දවාලන තරමේ විය.වසර ගණනාවක් තිස්සේ කුසට හරි හැටි ආහාරයක් වත් ගමනක් බිමනක් යන්නට ඇදුමක් වත් නොගනිමින් ඉපැයූ සියල්ල මගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කල අම්මාටත් තාත්තාටත් අවසානයේ ඉතිරි වූයේ අසමත් ලෙස සටහන් කල කොල කැබැල්ලක් පමණී.අප සාමාන්‍ය පෙළ සමත් වූ දිනයනුත් අක්කා උසස් පෙළ සමත් වූ දිනයත් මට සිහි විය.ඒ දින වල අම්මාටත් තාත්තාටත්  අපෙන් තොර මාතෘකාවක් නොවීය.තුරුලු කරගෙන මුහුණ සිම්ඹේ නැති උවත්, දහස් ගණන් වටිනා ත්‍යාග නොලැබුණත් අපේ ජයග්‍රහන සමරන්නට අම්මාත් තාත්තාත් සතුටින් වෙහෙසුනු හැටි තවමත් අමතක නැත.ඒ සියලු බලාපොරොත්තු කුඩු පට්ටම් කර දමන්නට තරම් මා නොසැලකිලිමත් වූයේ ඇයි දැයි මටම සිතා ගත නොහැක.
දෑස දෙකොනෙන් කදුලු කැට ගලනවා දැනුනේ මද වේලාවක් ගත වුනු පසුය..
යහලුවනගේ ප්‍රතිඵල ගැන ඇසූ දේවලට වචනයෙන් දෙකින් පිලිතුරු දුන් මම ඇති තරම් නා ගතිමි.වතුර සමග මුසු වූ විට කදුලු පෙනෙන්නේ නැති නිසාවෙන් ගලා ගොස් අවසන් වන තුරු නිදහසේ ගලා යන්නට කදුලු වල ඉඩ දුන්නෙමි.
ප්‍රතිඵල නිකුත් වී සති කීපයක් යනතුරු ම හමුවන සියලු දෙනා විමසුවේ විභාග ප්‍රතිඵල ගැනයි.ඒ හැමට මා නොසගවා අසමත් බව පැවසුවෙමි.ප්‍රතිඵල පැමිණීමත් සමග එතෙක් නිවැරදි ඉලක්කයකින් තොරව කටයුතු කල සිතට නව පණක්,නිවැරදි ඉලක්කයක් ලැබුණි.එනිසාම අලු දූලි මතින් නැගිටින්නට ධෛර්යය ලැබුවෙමි.


*******************************************

දෙවන වර විභාගයට මුහුණ දීමට මාස දෙකක් පමණක් ඉතිරිව තිබුණත් එක දිගටම පාඩම් කටයුතු වල නිරත වී ඇති වූ මහන්සිය මගහරවා ගනු පිණිස මමත්,ගයාන්,තුෂාර,කල්ප,හර්ෂ ආදී කී දෙනෙකුම වෙසක් පොහෝ දා සවස පංසලට එක් රැස් වීමු.අවට තිබූ දන්සැල් කිහිපයකටත් සහභාගී වී සවස සූදානම් කර තිබූ බෝධි පූජා පිංකමට සංවිධාන කටයුතු වලට අපි සහයෝගය ලබා දුන්නෙමු.රාත්‍රිය ලංවත්ම බොහෝ දෙනෙක් පංසලට එක් රැස් විය.පැරණි රජවරුන්ගේ යුගයන් දක්වා ඉතිහාසයක් සහිත පංසල, ප්‍රදේශයේ බොහෝ අය නොවරදවාම පැමිණෙන තැනකි.
        පැමිණි පිරිස අතර පාසල් මිතුරු මිතුරියන්,හිතවතුන්  වැඩි පිරිසක් විය.ඒ නිසාම විභාගය ඉලක්ක කර ගනිමින් ගෙවුනු මාස කීපයේ දුෂ්කරතාව සිතින් මැකී ගියේය.අපි සියලු දෙනා බොධි පූජාවට සහභාගී වීමේ අරමුණින් බෝධි ප්‍රාකාරය අසල රැදෙමින් සිටියෙමු.ස්වාමීන් වහන්සේ බෝධී පූජාව ඇරඹීමට මද වේලාවකට පෙරාතුව හාත් පස දුවමින් සිටි මගේ දෑසට හුරු පුරුදු නෙත් සගලක් ගැටුනත් ඒ කවුදැයි හරි හැටි හදුනා ගැනීමට ඈ අප අසලටම පැමිණෙන තෙක් හිදින්නට සිදු විය.තනි කරලට ගෙතූ මුදු ගැසුනු කෙස් කළඹත් චාම් ඇදුමත් නිසා සිත උමතු කරවන තරමේ සුන්දරත්වයක් රන්දී ගෙන් දිස් විය.
"හම්මට උඩු... මේකි තවත් ලස්සන වෙලානෙ... මට අදුන ගන්න බැරි උනා.... "
ඉන්නේ කොහිදැයි අමතක වුනු නිසා කට ක්ෂණිකයෙන් ක්‍රියාත්මක විය.
"ම්... හුග කාලෙකින් දැක්කෙ.. ඉතිං කොහොමද ඔයාලට? එග්සෑම් එකෙන් පස්සෙ දැක්කමද කොහෙද..."
"ඒකනේ... අපි ඉතිං සැපට දුක් විදිනව.. උඹලට කොහොමද? ආතල්ද? ගයාන්ද කතාවට හවුල් විය.."
වැඩි වේලාවක් යන්නට මත්තෙන් බෝධි පූජා පිංකම ආරම්භ වූයෙන් සියල්ලන්ම හුන් තැන සිටම එයට සහභාගී විය.රන්දීටද සිදු වූයේ සෙනග මැදින් දෙමව්පියන් වෙත නොයා අප සමග රැදෙන්නටය.පූජාව අවසන් වන තුරු අප කලේ රහසින් ආ ගිය තොරතුරු කතා බස් කිරීමයි.
ඇය නැවත දෙමව්පියන් වෙත යන්නට කලියෙන් අප සියලු දෙනාගේම දුරකතන අංක ඇගේ නවීන ජංගම දුරකතනයට ඇතුලත් කරගන්නට විය.

"ඔයාලට බැරි නම් අපිවත් කතා කරන්න ෆෝන් නම්බර් එක දෙන්න තුෂාර.."
"ඔන්න දා ගනින්... බිංදුවයි...."
රන්දීගේ දුරකතන අංක පෝලිමේ අන්තිමයා මම විය.මිතුරන් තමන්ගේ ජංගම දුරකතන අංකය හෝ එවැන්නක් නොමැති අය නිවසේ දුරකතන අංකය හෝ ඇයට ලබා දුන්නෝය.
"රොෂාන් ...ඔයාගෙ නම්බර් එක...?"
"මට මොන ෆෝන් ද බං... පණිවිඩයක් තියේ නම් පොලීසියට කියපං.උන් තත්පරෙන් මට දෙයි"
ඇගේ මුහුණ ක්ෂණිකයෙන් අදුරු වූ යේ ලැජ්ජාවටද එසේත් නැත්නම් වරදකාරී හැගීමෙන්දැයි දන්නේ නැත.
"එක්ස්ට්‍රීම්ලි සොරි රොෂාන්.....මට එඩ්‍රස් එක දෙන්නකො..."
සිහින් ස්වරයෙන් පැවසූ ඇය දුරකතනයේ යතුරු කීපයක් වේගයෙන් ඔබමින් මගේ ලිපිනය ඊට ඇතුලත් කර ගත්තාය.

සවස් යාමයේ පංසලේ ගත කල පැය කීපය නිසා මගේ හිත තරමක් නොසන්සුන් විය.පාඩම් කරන්නට තරම් සිත ට නිදහසක් නැති වූ නිසා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන පිරිත් දේශනාවට කන් යොමා සිටියෙමි.පිරිත් දේශනාව පැය කිහිපයක් ගත වන තුරු ගත වන කාලය ගැන අවධානයක් නොවීය.
රාත්‍රි යේ දී මම ගෙමිදුලට පැමිණියෙමි.පසලොස්වක සද නිසා වැඩි අදුරක් පරිසරයේ නැත.සීතල සුලගත් සමග මුසුව ආ පිච්ච මල් සුවද සිත තවත් කළඹන්නට විය.කෙතරම් නවතාලන්නට උත්සාහ කලත් සිත දිව යන්නේ සවස් යාමයේ දුටු නිල් දෑස සොයන්නටය..කිසි ලෙසක හැබෑ නොවෙනා හීනයක අතරමං වන්නට සිත වෙහෙසෙන අපූරුව!


No comments:

Post a Comment