Thursday, February 22, 2018

රන්දී - පියවර 14

"අනේ පව් පොඩි පුතා.. ගෙදරට වෙලා ඉන්න ටිකේ වවපු දේවල් විකුණල අද අතට ගානක් හොයා ගෙනනෙ"

වැඩ අවසන් වී හැන්දෑවේ ගෙදරට පැමිණි තාත්තාට අම්මා කියනවා එළිපත්තේ සිටි මං අහගෙනය
 "අනේ වාසනාවන්... පොඩි කමට ඉන්නෙ නැතුව පුතත් කීයක් හරි හම්බකරන එක ලොකු දෙයක්..ඒ ලමයින්ටත් වියදම් තියෙනව නැතෑ.."

අම්මාත් තාත්තාත් මා ගැන ප්‍රශංසනාත්මකව කතා කිරීම මගේ සතුට වැඩි කරන්නට විය...

නිවසටම වී හිදීම කම්මැලි වූ තැන තුෂාර හෝ ගයාන්ගේ නිවසට යාමට මම පුරුදු වුනෙමි.දිනක් සවසක මා ගයාන්ගේ නිවසට යනවිට ඔහුගේ පියා නිවස ඉදිරියෙන් ඇති පිහිඹියා සෙවනේ වූ බංකුව මත සිටිනු හමු විය.
 "විජේ මාමෙ.. ගයාන් ගෙදර ඉන්නවදැ" යි අසමින්ම මා ඔහු වෙත ගියෙමි
"ආ..මේ රොෂන් පුතානෙ..මං හිතන්නෙ පුතා නානව.එතතකන් ඇවිත් ඉදගන්න...."    කියවමින් සිටි පුවත් පත පසෙකට කර ඔහු මටද බංකුවේ ඉඩ සෑදුවේය.
ව්‍යාපාරිකයෙක් වූ ගයාන් ගේ පියා බොහෝ විට සවස් වරුවේ නිවසේ රැදේ.උදෑසන ව්‍යාපාරික ස්ථානයට ගොස් දෛනික කටයුතු අවසන් කරන ඔහු නැවත එතැනට යන්නේ එය වසා දමන වේලාවටය.ඔහු නොරැදෙන වේලාවන් වලදී ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට විශ්වාසවන්ත සේවක මණ්ඩලයක් පුහුණු කර ගන්නට දශක ගණනක් පැරණි වූ ඔහුගේ ව්‍යාපාරික ඤාණයට හැකි වී ඇත.
"කොහොමද පුතේ ඉතිං... දැන් ආයෙම පංති යනවද?"
"තවම නෑ මාමෙ.. ප්‍රතිඵල ආපුවමම යනව.."
අග හිගකම් නිසා පංති යෑම සීමා කරන්නට මං අධිශ්ඨානයෙන් සිටිනා වග පවසන්නට තරම්  සිතට ධෛර්යයක් උපද්දවා ගන්නට නොහැකි විය.
"අපේ කෙනා නම් ඔන්න පටන් ගත්තු දවසෙ ඉදන් දෙවෙනි පාර කරන්න කියල පංති යනව...ප්‍රතිඵල එන්නත් තව වැඩි කාලයක් නෑ මයෙ හිතේ.."
"ඔව් මාමෙ මමත් අහගෙන ප්‍රතිඵල ලගදිම එනව කියල ප්‍රවෘත්ති වලට කියනව..මට නං ඉතිං ඕක ආවත් එකයි නැතත් එකයි.."
"ඒ මොකද පුතේ.?."
"වැඩක් නෑ මාමෙ, මේ පාර නම් අනාගත්ත හොදටම"
"ම්... එහෙම කියල උත්සාහය අතාරින්න එපා පුතා..ඒ වතාවෙ බාරි නම් ඊලග වතාවෙ හරි වැඩේ කරන්න.මේ ලෝකෙ මිනිස්සු දියුණු වෙලා තියෙන්නෙ උත්සාහ කරපු පලවෙනි අවස්ථාවෙන්ම නෙවෙයි."
"ඒක නම් ඇත්ත මාමේ.. මේ පාර ට්‍රයි කරනව උපරිම"
"ඒයි රොෂාන් ... වැඩපන් මෙහෙට!"
නෑමෙන් පසු ඉනේ දවටා ගත් තුවාය සමග ජනෙල් කූරු අතරින් පෙනී සිටි ගයාන් කෑ ගැසුවෙන් එ් දෙසට යන්නට නැගී සිටියෙමි.
"මොකෝ උඹ කාලෙකින් නාල හෙම? කවුරුවත් PHI එනව හෙම කිවුවද?"
"අනේ මේ ... කට වහපං .. ගෙදර නොවුන නම් මං කියල දෙනව තොට කවුද එන්නෙ කියල"
"ඒක නෙවෙයි.. කොහෙද උඹ ගියේ?"
"කොහෙවත් නෑ බං.. නිකමට මේ පැත්තෙ ආවෙ.. පංති ටික අහගෙන යන්නත් එක්ක.. ලබන සතියෙ ඉදන් වත් එන්න කියල හිතං ඉන්නෙ."
ඔහුගෙන් අසා දැන ගත් පුණරීක්ෂණ පංති සදහා ඊලග සතියේ සිට මම සහභාගී උනෙමි.ඒ සියලු පංති පැවතියේ සතියේ දින වල නිසා පාසැල් කාලයේදී සහභාගී වූ උපකාරක පංති වලට වඩා පහසුවක් අත්විදින්නට හැකි විය.වගාවෙන් ලද මුල් ආදායමෙන් ම පංති ගාස්තු ගෙවන විට මට මහත් ආඩම්බරයක් ඇති විය.සෑම පංතියකදීම පාසැල් මිතුරන්ගෙන් උණූසුම් පිලිගැනීමක් මා වෙත හිමි විය.
 පුණරීක්ෂණ පංති ගමන ආරම්භ කර දෙවැනි සතිය වන විට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය.බොහෝ අය නගරයේ අන්තර්ජාල සේවා සපයන ස්ථාන වල පෝලිම් සැදී තමන්ගේ ප්‍රතිඵල දැන ගන්නට උත්සුක විය.සමහරු ප්‍රතිඵල සටහන දැක කදුලු සලද්දී තවත් සමහරු උසස් ලෙස සමත් වීමේ ප්‍රීතිය නිසා කදුලු සලන්නට විය.මට මා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය එලෙසම ලැබී තිබුණි.ප්‍රතිඵල ලැබෙන තාක් ලැබෙන ප්‍රතිඵලය ගැන අවබෝධයෙන් සිටියත් ප්‍රතිඵල සටහනේ සමත් ලෙස සටහන් වී ඇත්නම් කෙතරම් අගේ දැයි සිතින් ප්‍රාර්ථනා කලෙමි.නමුත් අස්වැන්න ලැබෙන්නේ වැපිරූ හැටියට මිස වෙන යම් ක්‍රමයකට නොවේ.

  සියලු විශයන් අසමත් ලෙස සටහන් වූ පත්‍රිකාවත් සමග මා මොහොතකට අතරමං වීමි.පසුගිය කාලයේ මා විසින් ගත කල ජීවිතය නොවන්නට මේ සටහන වෙනස් වන්නට තිබූ බව මා අවබෝධ කරගතිමි.කෙසේ උවද දැන් ඒ ගැන සිහිකර දුක් වීමෙන් පලක් නැත.ඉදිරියේදී මෙවැනි අපහසුතාවයකට මුහුණ නොදීමට කටයුතු කිරීම හැර වෙනත් යමක් ඉතිරි නැත.
  මෙවර විභාගයෙන් අසමත් උවද සතුටු විය හැකි කාරණා බොහොමයක් විය.ඒ එක බඩවැල කඩාගෙන ආ සහෝදරයන් මෙන් පාසලේදී උන් මිතුරන් බොහෝ දෙනෙක් තමන්ගේ කඩයිම ජයග්‍රහනය කර උසස් අධ්‍යාපනය වෙනුවෙන් සුදුසුකම් ලැබීමයි.තුෂාර එස් සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයකුත් ගයාන් එස් සාමාර්ථ තුනකුත් ලබා තිබුණි.සහන් විශයන් දෙකකට පමණක් එස් සාමාර්ථ ලබා අනෙක් විශය අසමත් වී ඇත.
මිතුරන්ගේ ප්‍රතිඵල ත් අනෙකුත් පාසල් වලින් විශිෂ්ඨ ලෙස සමත් වූ අයගේ විස්තර ආදිය කතා කරමින් සිට මා නිවෙසට යන විට රාත්‍රිය උදා වන්නට තිබුණේ අඩ පැයකටත් අඩු කාලයකි.ඒ වන විටත් අම්මාත් අක්කාත් මග බලා සිටියේ මගේ ප්‍රතිඵල දැනගන්නටය
 "කොහොමද පුතේ... පාස්ද?" නිවසට ගොඩ වන විටම අම්මා උනන්දු විය

No comments:

Post a Comment