" මහා ලොකු ණය කන්දරාව නිසා අසීමාන්තිකව අපේ ආසාවල් හිර කරන් හිටපු අපිට අවුරුදු හතකට පස්සෙ යම් සැනසිල්ලක් උදා වෙනවා සාවිත්‍රී..""
"ඔය ණය මුදල් එක්ක අරගල කරණ කාලෙ මගේ හොඳ පුරුදු සමහරක් වියැකිලා ගියා.. ණය මුදල් ඉල්ලපු අයට නියමිත දවසට ගෙවා ගන්න බැරි උනාම බොරු කිව්වා.., කඩේකින් යම් භාන්ඩයක් අරන් මුදල් ගෙව්වම වැරදිලා මට වැඩි මුදලක් ආපහු දුන්නොත් ඒක නොදී ඉන්න මම පුරුදු උනා.. "
"හෘද සාක්ශියට එකඟව මට එහෙම කරන්න පුළුවන් කමක් නැති උනත් ඒ කාලෙ සවයිව් වෙන්න නම් මට එහෙම කරන්න උනා... "
"මිනිස්සු හරි අසරණයි සාවිත්‍රී.. ක්ශනික කෝපය නිසා මිනී මරණ, කරගන්න දෙයක් ඇත්තෙම නැති තැන හොරකමට පුරුදු උන මිනිස්සු පව්.. මගේ ඇත්දැකීම් එක්ක මට හිතන්නෙ ම ඒ අයට මුල් අවස්ථාවෙ උදව් කරන්න කෙනෙක් හිටියා නම් කවදාවත් එහෙම තැනකට පත් වෙන්නෙ නෑ කියන එක..."
"කොහොම හරි, බිරිඳත් මමත් රැකියා වල එක්තරා ඉහල තනතුරු වලට පත් වෙන්නෙ එකම කාලෙක.. ව්‍යාපාර බිඳ වැටුනට පස්සෙ පහලම තැනක ඉඳන් රැකියාවක් කරන්න මට සිද්ද උනා."
" මේ කිසිම සංතෑසියකට වග කියන්න ඕන නැති මගේ බිරිඳත් ගැහැනියක් හැටියට එයාගෙ තිබ්බ ආශාවල් පැත්තකින් තියලා උපයන හැම සතේම මගේ පව් ගෙවන්න වියදම් කලා...ඒ වගේ බිරිඳක් ලබන්න මම ආත්ම ගණනාවක් පිං කරන්න ඇති සාවිත්‍රි.."
"මම කරපු දේවල් වල ප්‍රතිඵල මටම තනියෙන් ගෙවන්න කියලා බිරිඳ මගෙත් එක්ක නොහිටියා නම් ඒ පීඩනය දරාගන්න බැරුව මම ජීවිතේ නැති කරගන්න පවා ඉඩ තිබුණා.."
බිරිඳ ඩිලාන් වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන, ඒ තේරුම් ගැනීම ගැන ඩිලාන් හිටියෙ පුදුම තරම් කෘතඥව..
අපේ ජීවිත වලට මොන තරම් අහිමිවීම් තිබ්බත් ආදරෙන් කතා කරන්න කෙනෙක් ඉන්න එක මොන තරම්ද කියලා මෙච්චර කරදර වලට මුහුණ නොදීපු මටත් තේරුම් යනවා නම් ඩිලාන් වගේ කෙනෙක්ට ඒක මහ මෙරක් තරම් වෙන්න ඇතිකියලා අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බෙ නෑ.රැවටිලිකාර පෙම්වතෙක්ගෙන් හෙම්බත් වෙච්චි අතීතයක් තිබ්බ මට ඩිලාන් ගෙ ආදරේ ගැන ඉරිසියා හිතුනා..
"අවුරුදු ගානකට පස්සෙ අපි ණය ගෙවන්න පටන් ගත්තා සාවිත්‍රී.. පලවෙනි රුපියල් දහදාහ ගෙවලා දාපු දවසෙ අපි දෙන්නටම සතුටට ඇඬුනා.. ඒ ආරම්භය ගන්න තමයි අවුරුදු ගානක් අපි පෙරුම් පිරුවෙ.."
" මූලික ණය මුදල ටිකෙන් ටික අඩු වෙද්දි පොලිය හැටියට මාසිකව ගෙවපු මුදල් ටික අපි අතේ රැඳෙන්න ගත්තා..ඒකෙන් උනේ මම ගෙවන්න තිබ්බ දේවල් වල බර වේගයෙන් අඩු උන එක..."
"පලවෙනි අවුරුද්ද ගෙවෙනකොට සියල්ලම වගේ මගේ පාලනයට යටත් කරගන්න පුළුවන් උනා.ඒ කියන්නෙ මං උපයපු මුදලින් ණය සහ පොලිය දෙකම ගෙවන්න පුළුවන් වාතාවරණයක් ඇති උනා.. අපි ජීවිතේ ඇත්තටම විඳින්න පටන් ගත්තෙ ඒ කාලෙ සාවිත්‍රී.. අපිට මගහැරුන බොහෝ දේවල් අපිට අත් විඳින්න පුළුවන් උනා.."
"හඳ අල්ලන්න ආස ගමනේ .. කියන ගීතය මම තෝරා ගත්තෙ ඒ සැනසීම ගැන කියන්න..අපි සැහැල්ලුවෙන් පාවෙලා ගියා ඒ කාලෙ..."
"දන්නවද සාවිත්‍රී මගෙ ජීවිතේ සතුට කියන එක වැඩි කාලයක් රැඳෙන්නෙ නැති ගතියක් තියෙනවා..මොන හේතුවකට හරි විවාහයෙන් වසර ගණනාවකට පස්සෙ අවුරුද්දක් එක හමාරක් වගේ කාලයක් මටත් බිරිඳටත් සතුටත් , ආදරෙත් උතුරලා යන්න තරම් ලඟා උනා.. වචන වලින් ඒ ගැන මෙහෙම කිව්වට ඒ සැනසීම වෙනුවෙන් උහුලපු දුක දන්නෙ මමත් බිරිඳත් විතරමයි.. "
"අතේ තිබ්බ අන්තිම රුපියල් දාහ ඉතුරු කරගන්න ඕන කමට දවසට වේලක් දෙකක් නොකා හිටපු, කිලෝමීටර් ගණන් පයින් ගියපු අතීතයක් අපිට තිබ්බා.., "
"ඉරුණ, හිල් උන යට ඇඳුම් හෝද හෝද අඳින්න උනා..අලුත් අවුරුදු වලට වැඩිය ඇඳපු නැති පරණ ඇඳුම් ඇඳගෙන යුතුකම් ඉශ්ඨ කරන්න උනා... දැන් ඒ ගැන මතක් වෙද්දි පුදුමත් හිතෙනවා.. ඒ දවස් වල මං ඇඬුවෙ නැත්තෙ අඬන්න තරම් වත් මනස එක තැනක තිබ්බෙ නැති නිසා.. ඒ වෙනුවට සමහර කැපකිරීම් ඉවසා ගන්න බැරුව මගේ බිරිඳ ඕනි තරම් අඬලා ඇති සාවිත්‍රී..සමහර දවස් වලට මහ මගදි පවා..ඒ වැටුන කඳුලක් ගානෙ මම ඇයට ණය ගැතියි සාවිත්‍රී ..."
"ඩිලාන්...., ඔයා මේ හැම තැනකදිම ඔයා වෙනුවෙන් අති මහත් දේවල් කලා කියන ඔයාගෙ බිරිඳගෙ නම නොකියා ඉන්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා..ඔයා එයාගෙ පුද්ගලිකත්වය ආරක්ශා කරන්නද එහෙම කරන්නෙ??"
"නෑ සාවිත්‍රී...බිංඳුවට වැටිලා අමාරුවෙන් දෙපයින් හිට ගත්තු කෙනෙක් හැටියට මට හංගන්න දෙයක් නෑ..හංගලා මට ලබා ගන්න දෙයකුත් නෑ..., බොහොම විවෘතව මේ දේවල් ඔයාගෙ වැඩසටහන අහන අය එක්ක මම බෙදා ගන්න කැමතියි..අමාරු කාලෙ මං වෙනුවෙන්, මගේ පවුලේ අය වෙනුවෙන් වචනයකින් හරි උදව් උන, සහයෝගය දුන්න අයට කෑ ගහලා ස්තූතියි කියන්න මම කැමතියි. මගේ කතාවෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක මට සතුටක්.මම හිතාමතා ම එයාගෙ නම නොකියා හිටියෙ හේතුවක් ඇතිව.. වැඩසටහන අවසන් වෙද්දි ඔයාගෙ ඒ ප්‍රශ්නෙට පිලිතුරක් ලැබෙයි.."
ඩිලාන්ලගෙ හිත් වල මොනතරම් දුකක් කැකෑරෙන්න ඇද්ද කියලා මට හිතා ගන්න බෑ.. හොඳින් හිනා වෙලා ඉන්න මිනිස්සුන්ගෙත් බිංදුවට වැටුන දුක්ඛදායක ඇතුලාන්තයක් තියෙනවා කියන්න ඩිලාන් තරම් මට වෙන උදාහරණ නෑ..
චන්දිමාගෙ උපන්දින පාටිය වෙලාවෙදි බියර් වීදුරුවක් අතින් අරන් බොහොම ප්‍රසන්නව හිටිය මනුස්සයගෙ කතාව මෙහෙම වෙයි කියලා නිකමටවත් මට හිතා ගන්න බැරි උනා... එයාගෙ යාලුවෙක් කියලා චන්දිමාම මට ඩිලාන්ව හඳුන්වා නොදෙන්න මේ මනුස්සයා මේ කතාව තියන් සදාකාලිකවම ඉන්නත් තිබුණා... දේශපාලනය , කලාව, මිනිස්සු ගැන හරි පලල් විදියට ඩිලාන් එදා මගෙත් එක්ක කතා කලේ මේ ජීවිත කාලෙ ඇතුලත එයා ට අත්විඳින්න සිද්ද උන අත්දැකීම් නිසා වෙන්න ඇති.. ඕන මනුස්සෙක්ගෙ මානසික තත්වය අවබෝධ කරගන්න එයාට පුළුවන් උනේ ඒ නිසා වෙන්න ඕන.
ඩිලාන් වගේ සහකම්පනය, කෘතවේදීත්වය තියෙන මිනිස්සු තමයි රටේ තීන්දු තීරණ ගන්න තැන් වල ඉන්න ඕනි. ඒ වගේ අය තව මනුස්සෙක්ට පුංචිම හරි හානියක් වෙන තීරණ ගන්නෙ නෑ.. නොයෙක් හේතු නිසා ඩිලාන් වගේ මිනිස්සුන්ට සමාජයේ වගකීමක් ඇති තනතුරු දරන්න ලැබෙන්නෙ නෑ. එක අතකට මේ ලෝකෙ මේ තරම් විවිධාකාර වෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. සියල්ල සුමටව ගලාගෙන ගියොත් කිසි ගැටුමක් නැති වෙනවනෙ...
No comments:
Post a Comment