Friday, September 29, 2017

රන්දී - පියවර 10

"නෑ ඉතිං ඩොක්ටර් කියල ගහපු අලුත්ම කාර් එකක ඉස්කෝලෙ එන කෙනෙක් අපි වගේ සාමාන්‍ය විදියට කන බොන කෙනෙක් වෙන්න බෑනේ.."
"රන්දී මොනාද මූ කියන්නෙ..." යි අසමින් ම ඉන්දූ භාග්‍යා සමග පැමිණ අපට එක් වූවාය.
"මගේ බත් එකේ මස් මාලු නැත්තෙ ඇයි අහනව ..."
 දරුවකු තම මව්ට උත්තර බදින්නාක් මෙන් රන්දී ඉන්දුට උත්තර දුන්නාය
"රොෂාන් මෙයාගෙ බත් එකේ මස් මාලු බලාපොරොත්තු වෙන්න එපා.එයා වෙජිටේරියන්..." භාග්‍යා මා නොදන්නා දෙයක් කීවාය.
"ඇත්තෝ නොකති.. නැත්තෝ දුක් වෙති! "
මගේ කතාව නිසා සිනහව නවතා ගත නොහැකි වූ යෙහෙලියන්ගේ කෑම හිර නොවුනේ වාසනාවකටය.
බඩ පිරෙන්නට බත් කෑ පසු ඔවුන්ට පෙර පයිපය වෙත ගොස් වතුර බිව්වෙමි.විද්‍යාගාරයේ සිටි මිතුරන් පංති කාමරයට එන තුරු කරන්නට වෙනත්  දෙයක් නොවූ නිසා පංතියේ කොනක තිබූ පුටුවක් වෙත ගොස් තවත් පුටුවක් උඩින් කකුල් දෙක තබා ගෙන දෑස පියා ගතිමි.ප්‍රමාණවත් නින්දක් නොලැබීම වඩ වඩාත් දැනෙන්නට වූයේ ආහාර ගැනීමෙන් පසුය.
 යෙහෙලියන් සමග පයිප්පය වෙත ගිය ඉන්දූ ඔවුන් සමග මා අසලට පැමිණියේ පාඩම් වැඩ කෙසේ වෙතත් ඕපා දූප කතාවකට විය යුතුය.
"මොකද කල්පනාව?" මගේ පසෙකින් ඉන්දු පුටුවකට බර විය.
"මොනවත් නෑ ඉන්දූ...., ටිකක් නිදි මතයි වගේ ...ඊයෙ නිදාගද්දි ටිකක් පරක්කු උනා.."
"ඉන්දූ..., මම ලයිබ්‍රියට ගිහින් එන්නම් .. ගත්ත පොත තවම දෙන්න බැරි උනා "යි කියමින් භාග්‍යා පුස්ථකාලයට ගියාය...
"රොෂාන්....., ඔයා ඉන්න මූඩ් එක නම් එච්චර හොද එකක් නෙවෙයි..මොකක් හරි අවුලක්ද...?"
"මොකෝ එහෙම ඇහුවෙ..?"
"නෑ නිකන්... මට මූන දැක්කම එහෙම හිතුනා..."
"අනේ පලයං මොඩියේ ....මට එහෙම අවුලක් නෑ.."
"හා හා පිස්සු ආතෙක් නෙ ඔයා..!. ප්‍රශ්නයක් තියෙයි නම් කාට හරි කියල හිත නිදහස් කර ගන්න.. ප්‍රශ්න තියාගෙන එග්සෑම් කරන්න බෑනෙ..."
"හ්ම්  .. ප්‍රශ්නයක් තිබ්බොත් කියන්නම්කෝ..."
එතැන් පටන් රන්දීත් ඉන්දූත් තොර තෝංචියක් නැතිව කියවන්නට පටන් ගත්තෝය.ඔවුන්ට කියවන්නට ඇත්නම් වෙන මොනවත් අවශ්‍ය නැති සෙයකි!
"මං ආව එකෙන් උඹලගෙ වැඩේ බකල් උනා නේද?... මං ලයිබ්‍රියට ගිහින් අරුන් ටික ආවම මේ පැත්තට එන්නම්කො.."
 පුස්ථකාලයට යෑමට අවශ්‍යතාවය නොතිබුණත් යෙහෙලියන්ගේ වැඩ මා නිසා අතපසු වන්නට දිය යුතු නැතැයි සිතූ නිසා පංති කාමරයෙන් ඉවතට යන්නට නැගී සිටියෙමි.
"අනේ නෑ.. අපිත් කම්මැලිකමේ හිටියෙ..." ඉන්දු මගේ ගමනට එරෙහි වූවාය.
"මං ප්‍රශ්නයක්ද කියල අහපු එකට හිත රිදුනද?"
"පිස්සුද ඉන්දී.. "
"එහෙනම් මෙතන ඉන්න... අපිට දැන් මොනවත් වැඩක් නෑ.."
"හහ්.. මාව නවත්ත ගත්තොත් නම් ජාතක පොත දිගෑර ගත්ත වගේ වෙයි නංගී....."
"ඒකට කමක් නෑ.... කොහෙවත් නොයා මෙහෙ ඉන්නව!"
ඉන්දුගේ පෙරැත්තය නිසා පංති කාමරයෙන් ඉවතට යන අදහස වෙනස් කරන්නට මට සිදුවිය.

"ඒක නෙවෙයි රොෂාන්..දවසක් ඔයා අර කියනව කියපු කතාව අද කියනවද? ඔයාගෙ ජීවිත කතාව?"
"ම්....එව්ව කියන්න බෑ... ඕව අහල උඹල මං දිහා අමුතු විදියට බලයි.අනිත් එක ඒක ඇහුව කියල ඇති වැඩකුත් නෑනෙ"

"බලන්න හරි නොබලන්න හරි ඔය කතාව කියන්න එපෑ.. නේද රන්දී..."
"එව්ව රාජ්‍ය රහස්.!.. උඹල දහ අතේ දිව්රන්න ඕනි රහස් රකිනව කියල" 
මගේ කතාව නිසා ඉන්දූගෙත් රන්දීගෙත් සිනාව දෙගොඩ තලා යන්නට විය.කෙතරම් ඇවටිලි කලත් මගේ ප්‍රශ්න ඔවුන්ට නොකීමට මං ස්ථිර කරගෙන සිටියද අවුල් ජාලයක්ව පැවති සිතුවිලි නිරවුල් කර ගන්නට උවමනාවක් නොතිබුණාම නොවේ

No comments:

Post a Comment