Monday, September 11, 2017

රන්දී - පියවර 7

ආසිරිත් මමත් පා පැදියෙන් ගොස් නැවතුනේ එක්තරා හෝටලයක මේසයක් අද්දරය.අපි දෙදෙනා ඇති තරම් ආප්ප කා කිරි තේ බිව්වෙමු.එතැනම ඉද ආසිරි මට කතා කරන්නට විය.

"හුඩා මචං .. උඹ දගලනව වැඩියි වගේ.එග්සෑම් එකට තව ටික දවසයිනෙ තියෙන්නෙ..කට්ට කාගෙන කරල දාමු බං"

"මොකෝ උඹ දාර්ශනික ටෝක් දෙන්නෙ?"

"නෑ බං දවල් සිද්දියෙන් පස්සෙ තමයි මට කල්පනා උනේ මේ හැම එකටම කලින් එග්සෑම් ගොඩ දාගන්න ඔිනි කියල.. ලව් කරල කෙලවුනොත් මොනවත් නෑ.හරියට ඉගෙන ගත්තොත් ඒක හරි තියෙනවනෙ මචං.... ඔය මදෑ.. ආයෙ කෑලි නම් එපා කපේකට."

"හා හා..... බලමුකො කවුද තව ටික දවසකින් අනේ මචං මට අරකිව කොහොම හරි දාගන්න ඕනි කියන්නෙ කියලා....."

"අනේ පල බං.. අරකි හන්ද මාස ගාණක් ඉගෙන ගත්තු  දේවල් ඔලුවට වැටුනෙ නෑ.තව නම් එහෙම වෙන්න ඕනි නෑ.හොද වෙලාවට දැන්ම ඉවරයක් උනේ...."

ආසිරිගේ ආදර කතාව එතැනින් හමාර විය

වෙසක්  පොහොය නිමිත්තෙන් ලැබූණු දින දෙකක පාසල් නිවාඩුව අවසන් වූයේ සිකුරාදාවකින් නිසා එක දිගට දින හතරක නිවාඩුවක් අපට ලැබුණේය.ඉන් පසු ඇරඹුනේ දොලහ ශ්‍රේණිය වෙනුවෙන් නවක සිසුන් ඇතුලත් කර ගැනීමයි.ඔවුන් පැමිණි මුල් දින කීපයම මටත් මගේ මිතුරන් බහුතරයකටත් වැඩ අධික කාලයක් විය.අපි හැමෝම නවක සිසුන් පිළිගැනීමට පංති කාමර වන්දනාවේ ගියෙමු.පාසල ආරම්භ වීමට පෙර පාසලට යන අප කලා, වාණිජ විශයන් සදහා පාසලට පැමිණි නවකයන් සොයා ඇදෙන්නෙමු. විද්‍යා අංශය යටතේ වූ ගණිත, ජීව විද්‍යා හා කෘෂි ක්ෂේත්‍ර වෙනුවෙන් පැමිණි අය නිසැකයෙන්ම අපේ අවධානයට  ලක් වන නිසා අප වැඩිපුර උනන්දු වූයේ කලා හා වාණිජ විශයන් වෙනුවෙන් පැමිණි අයවලුන්ය.
                 ජේත්තුකාරයින් බොහොමයකට විවිධ කෑම වර්ග ගෙන එන ලෙස මා නියෝග කලෙමි.තවත් පිරිසකට ගීතයක් ගායනා කිරීමට හෝ නැටුමක් නැටීමට සිදුවිය.සමහරු අහස දෙස බලාගෙන බොහෝ වේලා ගත කලේ කොයි මොහොතක හෝ අහස කඩා වැටෙනු ඇති බවත් ඊට පෙර ඒ පිලිබදව අප දැනුවත් කරන ලෙස නියෝග කර තිබූ නිසාය.එක්තරා අයෙකුට මිනිසා පලමු වරට හද මත පා තැබූ ආකාරය සජීවීව විස්තර කරන්නට උනන්දු කරවා අපි ඇති සැටි සිනාසුනෙමු.
           මගේ අණ පිලිපැදි බොහෝ දෙනෙක් පසුදාම විවිධ බිස්කට් වර්ග ගෙනැවිත් තිබිණි.ඒවායෙන් කොටසක් ඔවුන්ටද මා ලබා දුන්නෙමි.ඒ හේතුවෙන් අප දුටු විට මුහුණ ඇඹුල් කරගන්නා නවකයින් ඉන් පසු අප වෙත යම් සුහදතාවයක් දක්වන්නට විය.

හැන්දෑවේදී අම්මා හකුරු සමග කහට කෝප්පයක් දුන් විට මට පාසල සිහි විය.ලැබුණු බිස්කට් නිවෙසට ගෙන ආවා නම් සති ගණනක් තේ බීමට එය ප්‍රමාණවත් විය.
"අද ඉස්කෝලෙ හිටිය නම් ලොකූ බිස්කට් කාල මැරෙනව"
"ඒ මොකද?"
"අලුතෙන් ආව එවුන්ට කියල අපි බිස්කට් ගෙන්න ගත්ත"
"පව් ඔයි..තමුසෙට පිස්සුද මල්ලී?"
"චූටි පුතේ..... මං කියල තියෙනව නේද ඔහොම වැඩ කරන්න එපා කියල.. ලමයින්ට බල කරල ගෙන්නන්න ලැජ්ජ නැද්ද..මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ."
අම්මාද කතාවට හවුල් විය.
"නෑ අම්මෙ.හැමෝගෙන්ම නෙවෙයි.ඔය සල්ලි කාරයො වගෙ උඩින් හිටපු අයගෙන් විතරයි "
"කාගෙන්වත් ඔහොම දේවල් හෙම ගෙන්න ගන්නව නෙවෙයි.උඹලගෙ දාංගලේට අහිංසක ලමයි පලි නෑ!"

3 comments: