Monday, October 9, 2017

Paraviyangala- belihul oya (ආදර කන්ද)





මේ අපේ පලවෙනි කෑම්පින් අත්දැකීම.ඇවිදින්න යන්න, කෑම්පින් කරන්න ගොඩාක් ආසාවෙන් හිටියට ඒක හැමදාම කල් ගිය හීනයක්.ඒත් දවසක් වාහන වහන ටෙන්ට් විකුණම්න් පාරෙ ගිය මනුස්සෙක් නිසා ඒ හීනෙට පාර එළි උනා.මමයි අයියයි ක්ෂණිකව ගත්තු තීරණයක් නිසා ඒ ටෙන්ට් එක සල්ලි වලට ගත්ත.සැලකිය යුතු ඉඩක් හදා ගන්න ඒ හොදටම ඇති.ටෙන්ට් එක ගත්තට කෑම්පින් කරන්න යන්න තැනක් වත් කෑම්පින් කරන මොකක් හරි පිලිවෙලක්වත් අපි දැනන් හිටියෙ නෑ.නමුත් වෙන ඕන දෙයකට සූදානමින් හරියටම සතියකුත් දවස් දෙකකින් උදා වෙන්න තිබ්බ ඔක්තෝම්බර් 4 වෙනිද බෙලිහුල්ඔය ආදර කන්ද නගින්න අපි එකග උනා.එකතු කරගන්න පුලුවන් උන පිරිස 6 දෙනයි.

                                           (පරවියන්ගල  කදු යාය -  උසේ පිලිවෙලින් යා යුතුයි)

   පිටත් වෙන්න කලින් ආදර කන්ද ගැන හොයාගන්න පුලුවන් උන විස්තර ප්‍රමාණය අල්පයි.බෙලිහුල්ඔය කැම්පස් එක ලගට යනකන් අපේ ගමන පටන් ගන්න ඕන කොතනින්ද කියලවත් අපි දැනන් හිටියෙ නෑ.එක අතකට ඒක හොදයි.කෑම්පින් වලට අලුත් අපිට බින්දුවෙ ඉදන් හැම දේම ඉගෙන ගන්න පුලුවන් උනා.ඊලග ගමන සැලසුම් කරන්න ඒ අත්දැකීම් ඕනවටත් වඩා.කොහොම උනත් පේරාදෙණිය කැම්පස් එකට හන්තාන වගේ සබරගමුව කැම්පස් එකේ අයට තියෙන්නෙ ආදර කන්ද හෙවත් පරවියන්ගල. 
                          සබරෙ ගිය කොල්ලෙක් නම් මේ ආදර කන්ද එක වතාවකට වඩා නැගල තියෙන එක ස්තිරයි.ඒ තරමට සබරෙ කොල්ලො ආදර කන්ද එක්ක සම්බන්ධයි.පරවියන්ගලට ආදර කන්ද කියල නම වැටෙන්නත් සබරගමුව කැම්පස් එක හේතු වෙලා.ජූනියර් බැජ් එක ඇවිත් ටික දවසකට පස්සෙ ජ්‍යෙශ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යා වො අලුත් අය මේ කන්ද නගින්න උනන්දු කරන එක සම්ප්‍රදායක්.ඉතිං තමන්ගෙ බැජ් එකේම හිත ගත්තු ගෑනු ලමෙක් ඉන්න පිරිමි ලමෙකුට මේ කදු තරණය තමන්ගෙ හැගීම් ප්‍රකාශ කරන්න හොදම අවස්ථාව.බොහෝ වෙලාවට මේ දුශ්කර කදු තරණයට සහය වෙලා කන්දෙන් බහින්නෙ ප්‍රේමවන්තයො වෙලා කියන එක ප්‍රසිද්ද කතාවක්.ඉතිං එහෙම තැනකට පරවියන්ගල කියනවට වඩා ආදර කන්ද කියල නම් කරන එක උචිතයි කියල ඒ අය හිතන්න ඇති.
             ගමන පිටත් වෙන්න කලින් අපි ඕනි කරයි කියල හිතුනු දේවල් ලිස්ට් එකක් ගහන් ඒ දේවල් එකතු කලා.ගෙවල් වලින් සපයා ගන්න බැරි දේවල් මුදල් එකතු කරල මිලදී ගත්ත.එහෙම ගත්තු ආහාර ද්‍රව්‍ය ඇරෙන්න අනිත් හැම දෙයක්ම වගේ නැවත පාවිච්චි කරන්න පුලුවන් දේවල්.

*ගල් අගුරු පැකට් එකක් (පින්න හෝ වර්ෂාව නිසා දර අවුලන්න බැරි උනොත් කෑම සකස් කර ගැනීමට)
*නයිලෝන් ලණු (ටෙන්ට් එක අටව ගන්නත් හදිසියකදි පාවිච්චි කරන්නත් )
*ඉටි රෙද්දක් (අතර මග වර්ෂාවක් ඇති උනොත් ඒ වෙනුවෙනුත් නිදාගනිද්දි බිමට එලන්නත්)
*සාස්පානක්
*මූලික ප්‍රථමාදාර (පෙනඩෝල්,පිරිටන්,සිද්ධාලේප,පුලුන්, වෙලුම් පටි, තුවාල සදහා දමන බෙහෙත් )
*කල්තබා ගතහැකි පාන් 
*ක්ෂණික නූඩ්ල්ස් පැකට් කීපයක් ( ගමන් සගයො එක් අයෙක්ට එක බැගින්)
*ලයිටරයක් (මේ වගේ ගමනකට ගිනිපෙට්ටි කිසිම විදියකට ගැලපෙන්නෙ නෑ)
*Nescafe 3 in 1 පැකට් කීපයක්.
*මදුරු කොයිල් එකක්
*චීස් 
*තක්කාලි ගෙඩි කීපයකුත් සමග ලොකු ලූණු ගෙඩි කීපයක්
*මීට් බෝල් ටින් එකක්
*පොලිතින් කවර කීපයක්
*භූමිතෙල් භාගයක්
*අගල් 6 පරාල ඇණ 10ක්


මේ පොදු භාණ්ඩ ලයිස්තුවට අමතරව තම තමන් වෙනුවෙන්
*අත් දිග ටී ෂර්ට් එකක්
*සපත්තු ජෝඩුවක්
*වතුර බෝතලයක්, කෝප්පයක්,පිගානක්
*තොප්පියක් 
*පිහියක් (අනිවාර්යය නෑ)
ඇතුලුව සුදුසුයි කියල හිතෙන  දේවල්

තම තමන් සූදානම් කරගන්න අවශ්‍යයි කියල හිතෙන දේවල් සූදානම් කර ගන්න කියල අපි 6 දෙනාවම කලින් දැනුවත් කලා.ගමනට බිස්කට් වැනි සරල ආහාර ගමන් සගයො ගෙනත් තිබුණා.ඒ වගෙම දහවල් ආහාර  තම තමන්ගෙ නිවෙස් වලින් අරන් යන්න තීරණය කලා.
සියලුම දේවල් බෑග් වලට බෙදාගෙන අපි බෙලිහුල්ඔය කැම්පස් හන්දියට එහෙමත් නැත්නම් පඹහින්න හන්දියට යද්දි දවල් 12ට විතර ඇති කොළඹ බදුල්ල මාර්ගයෙ යන බස් රථයකින් හරි බලංගොඩට ඇවිත් එතැනින් පඹහින්න බස් එකක නැගල උනත් පඹහින්න හන්දියට යන්න පුලුවන්.එහෙමත් නැත්තන් කොච්චියෙන් හපුතලේට ඇවිත් කොළඹ හෝ බලංගොඩ බස් එකක නැගල පඹහින්න හන්දියෙන් බැහැගන්න පුලුවන්.
                                          හන්දියෙ හිටපු මිත්‍ර යෙක් ගෙන් පාර අහන් නමෝ විත්තියෙන් අපි ගමන පටන් ගත්ත.කැම්පස් එකට හැරෙන තැන තියෙන ඔරලෝසු කණුව ලග ඉදන් ප්‍රධාන පාරෙ බදුල්ල දෙසට මීටර 400කට ආසන්න දුරක් ගියාම වැලමිට වංගුවත් එක්ක වම් පැත්තෙන් ඉහලට යන පාර තමයි කදු මුදුනට යන්න තියෙන ප්‍රධානතම පාර.කොන්ක්‍රීට් ගල් කුට්ටි අල්ලා සකස් කරල තියෙන නිසා පාර සොයා ගන්න එක පහසුයි.අතුරු පාරට හැරුන තැන ඉදන්ම කන්දකට දුවන පාරක් කියල දැනෙන තරමට යන්න තිබුණු පාර කන්දක ස්වභාවයක් ගන්නෙ.කොන්ක්‍රිට් ගල් අල්ලල සකස් කරපු පාර මීටර දෙසීයකට ආසන්න දුරක් යද්දි ඉවර වෙලා එතැන ඉදන් පස් සහිත පාර පටන් ගන්නව.ඒ වගෙම පාරෙ පලලත් ත්‍රි රෝද රථයක පලලට වඩා අඩු වෙන්න පටන් ගන්නව.පාරෙන් හැරෙන්න තැනක් නැති නිසා කරන්න තියෙන්නෙ කෙලින්ම ගමනේ යන්න විතරයි.
                   ගම අවසන් වෙනවත් එක්ක අඩි පාර හැරෙන්නෙ වනගත ප්‍රදේශයකට. අඩි පාරක් උනත් කලු ගල් අතුරල කාලෙකට කලින් හොදින් තියෙන්න ඇති කියල හිතෙන තරමට නෂ්ටාවශේෂ තැනින් තැන ඉතුරුවෙලා තියෙනව.පඹහින්න මංසන්දියෙ ඉදන් කිලෝමීටරයකට ආසන්න දුරක් යද්දි අපි ලග තිබ්බ වතුර බොහොමයක් ඉවර වෙලා.මේ වගෙ ගමන් ගිහින් නැති නිසා ඇතිවෙච්ච මහන්සියට අපි ඉදිරිය ගැන නොහිතම ලග තිබුණු වතුර බොන ගමන් ඇවිද්දෙ.කොහොම නමුත් මේ වනගත මාර්ගය අවසන් වෙන්නෙ කාලෙකට කලින් ආරණ්‍ය සේනාසනයක් විදියට තිබුණු විශාල ගල් පව්වක් ලගින්.එතැනට කොළඹ බදුල්ල ප්‍රධාන පාරෙ ඉදන් කිලෝ මීටර එක හමාරක් විතර.අවාසනාවකට මීට අවුරුදු එක හමාරකට විතර කලින් ඇති වෙච්ච පරවින්ගල නාය යෑම නිසා ආරණ්‍ය සම්පූර්ණයෙන්ම විනාස වෙලා ඉවරයි.නාය නිසා ගසාගෙන ආපු පස් තට්ටුවට එතැන අඩි 20ක් විතර යට වෙලා.ගලේ ගල් කටාරම දැන් තියෙන්නෙ අතින් අල්ලන මට්ටමෙන්.
                                                                    ආරණ්‍යය තිබූු තැන
         
  ඇතිවෙච්ච මහන්සිය නිසා අපි ආරණ්‍ය තිබුණු තැන නැවතිලා ටිකක් විවේක ගත්ත.එතන තියෙන පිරිසිදු වතුර පාර අපේ හිස් වෙච්ච වතුර බෝතල් පුරව ගන්න උපකාර කලා.ගෙවල් වලින් අරන් අපු දවල් කෑම කන්නත් එතන ඉතාම හොදයි.
            ආරණ්‍ය ලග තියෙන පයිනස් කැලෑවෙන් තමයි හරියටම ගමන පටන් ගන්නෙ.පැහැදිලිව තියෙන අඩි පාර නිසා පාර හොයා ගන්න මහන්සි වෙන්න උවමනා නෑ.ගලා යන දොළ පාරෙන් එගොඩ උනාම පයිනස් කැලේ මැදින් දල බෑවුමක් නගින්න සිද්ද වෙනව.වේලිච්ච පයිනස් කොල අඩි පාරට වැටිල තියෙන නිසා තරමක ලිස්සන ගතියක් තියෙනව.ඒ පුංචි කදු ගැටේ නැග්ගම ගමන ඒ තරම් අමාරු නෑ.පයිනස් හෙවනෙ යන්න තියෙන නිසා අමුතු සුවදකුත් එක්ක හුලං සද්දෙ හොදින් අහන්න පුලුවන්.මීටර 300කින් විතර පයිනස් කැලේ ඉවර වෙනව.ඉන් පස්සෙ තියෙන්නෙ පොලව පුරා වැවුන පුංචි තණ වර්ගයක් විතරයි.අතරින් පතර පයින් ගස් කීපයක් තිබුණත් හෙවණක් වෙන්න ප්‍රමාණවත් නෑ.
        මෙනැත ඉදන් ඊලග සම බිම මුණගැහෙන්නෙ මීටර 400කට වඩා වැඩි දුෂ්කර, ලිස්සන සුලු අඩි පාරක්. දැඩි බෑවුමක් සහිත ඒ දුෂ්කර මාර්ගය ගෙවා දාන්න සෑහෙන වතුර ප්‍රමාණයක් උවමනා වෙනව.ඒ වගෙම කිසි හෙවනක් නැති නිසා මේ විවෘත තණ බිම තරණය කරන්න ඉර අවරට ගිය හැන්දෑවක් හෝ උදේ පාන්දර මිසක් දවල් 10 හවස 3 අතර කාලය නම් කිසි විදියකින් ගැලපෙන්නෙ නෑ.නුපුරුදු කාරයො වෙච්ච අපිට මේ දුෂ්කර මාර්ගයෙ යන්න කකුල් දෙක වගෙම අත් දෙකත් උපකාර උනා.
                                          පලමු ප්‍රධාන තැනිි බිම ට කලින් හමුවන දුෂ්කර බෑවුුම

                 දුෂ්කර ගමන අවසානයෙ තැනි බිම දකිද්දි දැනෙන්නෙ නිවන් ගියා වගේ.එතන කූඩාරම් කීපයක් අටව ගන්න ඕනවටත් වඩා ඉඩ තියෙනව.තැනි බිමට එපිටින් තියෙන පුංචි කැලෑ රොද ඇතුලෙ උනත් ඒ ඉඩ කඩ  ඉතිරි වෙලා තියෙනව.මහා නාය ගිය පාර මේ තැනි බිමට ඉතාම ආසන්නයෙ තියෙන නිසා කෑම්පින් කරන අයට අවශ්‍ය වතුර සපයා ගන්න හරි ලේසියි.විශාල ගස් ගල් පෙරලගෙන පහලට ගිය වතුර පාර අඩි විස්සකට වඩා ගැඹුරු කාණුවක් හදාගෙන ගිහින්.තවමත් ඒ කාණුව මැදින් නාය යන්න කලින් ගලා ගිය පුංචි දිය පාර ගලාගෙන යනව.
          ගමන් මලු තැනි බිමේ තියල අපි හැමෝම දිව්වෙ වතුර හොයාගෙන.ඒ තරම් විඩාවක් දැනෙන්නෙ ගමනෙ දුෂ්කර කම නිසාමයි.නාය ගිහින් විනාස වෙච්ච දොළ පාර මැදින් මොනවත් ම සිද්ද නොවුන ගානට තවමත් වතුර පාර ගලාගෙන යනව.අතිශයින් නොකැලැල් සීතල වතුර දෝතින්ම අරන් බඩ පිරෙනකන් අපි බිව්ව.ඒ සැනසීම හරි අමුතු හැගීමක්.ඇති වෙනකන් වතුර බීල අත පය හෝද ගත්තම හරි අමාරුවෙන් කන්ද නැගගෙන ආව මහන්සිය යටපත් උනා.නාය යෑමත් එක්ක දොල පාර දෙපැත්තෙ තිබුණු මහා ගස් ඇඹරිලා දෙකඩ කැඩිල තිබුණ.කෑම හදාගන්නත් ආරක්ෂාවට ගිනි මැලයක් ගහන්නත් ඇති තරම් දර ඉවුරු දෙපැත්තෙන් ගන්න පුලුවන්.ඒ දර ටික තව අවුරුදු ගානක් කදවුරු බදින්න උදව් වෙයි.මේ ගැන නොදැන අතට අහුවෙන දර ටිකත් උස්සගෙන අමාරුවෙන් කන්ද නැග්ග අපිට නිධානයක් වගේ තිබ්බ දර ගොඩ දැක්කම අපි ගැනම දුක හිතුන.
                  ඇති තරම් වතුර බීල බෝතල් වලටත් පුරවගෙන අපි බෑග් තියපු තැනට ගිහින් මුලින්ම කලේ තේ එකක් හදපු එක.නෙස්කැෆේ අරන ගියාට ඒක ඒ තරම් සාර්ථක උනේ නෑ.ඒ නිසා සීනි ටිකකුත් එක්ක ටී බෑග් ටිකක් අරන් යන එක තමයි හොදම දේ.ඉන් පස්සෙ අදුර වැටෙන්න කලින් කූඩාරම අටව ගන්න අපිට පුලුවන් උනා.කඹයක් එක්ක නයිලෝන් ලණුවක් අරන් ගිය නිසා කූඩාරම අටව ගන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ.ඒ වගෙම පරාල ඇණ ටික කූඩාරම අටව ගන්න ගොඩක් උපකාර උනා.
               කූඩාරම සකස් කර ගත්තට පස්සෙ අරන් ගිය භූමි තෙල් කූඩාරම වටේ ට විසිරෙව්වෙ අපේ ආරක්ෂාවට.සර්පයො උනුහුම තියෙන තැන් වලට ඇදෙනව කියල දැනන් හිටිය නිසා ඒ තර්ජනය වලක්ව ගන්න කරන්න පුලුවන් හොදම ප්‍රතිකාරෙ විදියට භූමි තෙල් යොදා ගත්ත. අපි ටික දෙනෙක් දාඩිය සෝදා හරින අතරෙ තවත් අය අපට අවශ්‍ය කරපු දර එකතු කලා.ඒ සියල්ලම සූදානම් කර ගනිද්දි රාත්‍රිය උදා වෙලා.රාත්‍රී කෑම වේල සූදානම් කරන්න තරම් කාලය ගත වෙලා නොතිබුණ නිසා පරිසරයෙ සුන්දරත්වය විදින්න අපට කාලයක් ලැබුණ.
                        පුංචි විදුලි බුබුලු දහස් ගාණක් දැල්වෙන බලංගොඩ නිම්නය අතිශයින් සුන්දරව පරවියන්ගල කන්දෙ කදවුරු භූමිය අසලට පේනව.පහලින් පෙනෙන සබරගමු විශ්ව විද්‍යාලය පැහැදිලිව අදුන ගන්න පුලුවන්.සීතල හුලං රැල්ලත් එක්ක ඇගට දැනෙන සනීපය විස්තර කරන්න බැරි තරම්.අවට සුන්දරත්වය ඇති තරම් විදපු අපි රාත්‍රී ආහාරය සකස් කලා.රෑ වේල මීට් බෝල් සමග පාන්!
                          වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්නත් ආලෝකය ලබා ගන්නත් කූඩාරමට මදක් එපිටින් විශාල ගිනි මැලයක් දල්වපු අපි නිදි මත එනකන් ආගිය තොරතුරු කතා බස් කරමින් කාඩ් සෙල්ලම් කලා.කාඩ් සෙල්ලමෙන් පස්සෙ රාත්‍රි යෙ විදින්න වෙන සීතටත් සූදානමෙන් අපි නිදාගත්ත.කූඩාරමක් ඇතුලෙ රැය පහන් කරන පලවෙනි දවස නිසා මහන්සියක් දැනුනත් ක්ෂණික නින්දක් ලගා උනේ නෑ.නොකැලැල් පිරිසිදු වාතාශ්‍රය  විදගනිමින් රාත්‍රි යේ පරිසරයට ඇහුන් කන් දෙන එකෙන් ආත්මයම සුවපත් වෙනව.
            පහුවෙනිද පාන්දරින්ම අවදි වෙච්ච අපි ඉර උදාව හරි අපූරුවට විද ගත්ත.එතැනින් පස්සෙ වතුර බෝතල් කීපයක් පමණක් ගත්තු අපි පරවියන්ගල මුදුනට යන ක්‍රියාන්විතය පටන් ගත්ත.පටන් ගත්තු තැන ඉදන්ම දල කන්දක් තරණය කරන්නට සිදු වන නිසා ගමන වෙහෙසකරයි.ඒ වගෙම දැඩි හිරු රැස් වැටෙන්න කලින් කදු මුදුනට යන ගමන පටන් ගන්න එක පහසුවක්.පැය දෙකකට ආසන්න ගමනකින් පස්සෙ අපි කදු මුදුනට ලගා උනා.ඒ චමත්කාරය විස්තර කරනවට වඩා දෑහින් බලාගන්න ලැබීම වාසනාවක්.ඇති තරම් ඒ දර්ශනය විදගත්තු අපි හැකි ඉක්මණින් කදවුරු භූමියට ආපසු එන්න පිටත් උනා.
         කදවුරු භූමියට ආ ගමන් අපි උදෑසන ආහාරය ලෑස්ති කලා.නූඩ්ල්ස් සමග නෙස්කැෆේ අපේ බඩගින්නට පිහිට උනා.ඒ වගෙම ශරීර කෘත්‍ය සදහා ජල පහරෙන් එපිට කැලෑ රොද  උපකාර උනා.එතැනින් පස්සෙ අති තරම් වතුර පුරව ගත්තු අපි ඉර මුදුන් වෙන්න කලින් ආපහු පිටත් උනා.අතර මගදි අපි ඉතුරු කරන් හිටිය පාන් චීස් ලූණු එක්ක තක්කාලි දාල සැන්ඩ්විච් හැදුව.ඒ නිසා බඩගින්න වදයක් උනේ නෑ කොයි වෙලාවකවත්.ආපහු එන ගමනෙදි ත් ආරණ්‍යය තිබුණු තැන මහන්සිය නිවාගන්න ටිකක් නැවතුනු අපි කන්ද නගින්න ගිය වෙලාවෙන බාගයක් ගතවෙද්දි ආපහු ආව.


සැයු
*පරවියන්ගල කාලගුණය ක්ෂණිකව වෙනස් වෙන සුලු නිසා වැස්ස/ සීතල ආදියට සූදානම් වෙලා යන්න
*දැඩි සුලං නිසා ගමනේ සුන්දරත්වය නැති වෙන්න පුලුවන්
*අනවශ්‍ය බඩු නිසා ගමන අපහසු වෙන්න පුලුවන්.ඒ නිසා අත්‍යවශ්‍ය දේ පමණක් අරන් යන්න
*වර්ෂා කාලයක් නම් කරුණාකර කදු තරණය අතහරින්න
*අධික වියලි කාලගුණය සහිත දින වල කදු යාය අවට මිනිසුන් විසින් කන්ද ගිනි තබන නිසා ඒ ගැන අතිශයින් සැලකිලිමත් වෙන්න
*ඔබ රැගෙන යන කිසි දෙයක් ඒ නොකැලැල් පරිසරයේ කොටසක් නොවන නිසා ගෙන යන සියලු දේ නැවත රැගෙන එන්න



චමත්කාරය තෙවැනි ඇසින්
https://www.facebook.com/profile.php?id=100009890866988&sk=photos&collection_token=100009890866988%3A2305272732%3A69&set=a.507436236262734&type=3&pnref=story

4 comments: